Friday, 29 March 2024
දසත විත්ති

විදෙස් පුවත්

 

ගවයින් 5,800 ක් සහ නාවිකයින් 43 දෙනෙකු සමග අතුරුදහන්වූ නෞකාවක් සොයා බලධාරීන් විමර්ශන ආරම්භ කොට තිබෙනවා. ඒ මෙම නෞකාව ඉකුත් අගෝස්තු මස 17 වෙනිදා නවසිලන්තයේ නේපීයර් වරායේ සිට චීනයේ ටැන්ගාෂන් වරාය බලා යාත්‍රා කරමින් තිබියදීය.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් නාවිකයෙකු පැසිෆික් මුහුදේ පාවෙමින් සිටියදී ජපාන වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් ඊයේ දිනයේදී බේරා ගෙන තිබෙනවා.

පසුගිය දිනවල චීනයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ ඇතිවූ "Maysak සුළි කුණාටුවට" මෙම නෞකාව හසුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඊයේ දිනයේදී එම නෞකාවෙන් උපකාර ඉල්ලා සංඥා ලැබුණු බවට බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
Gulf Livestock 1 නම් මෙම නෞකාව අඩි 438ක් දිගින් යුක්ත වන අතර එහි පිලිපීන ජාතිකයින් 39ක්, නවසීලන්ත ජාතිකයින් දෙදෙනෙක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු සේවයේ නියුතුව සිට තිබෙනවා.

මේ අතර නවසීලන්තයේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

"මේ සතුන් කිසිදාක මුහුදේ යාත්‍රා කරලා පුරුද්දක් නැහැ. අනිත් අතින් බොහෝ එළ දෙනුන් ගැබ්බරවී සිටින්නට ඇතැයි කියා අප විශ්වාස කරනවා. අතුරුදහන් වූ නෞකා කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අපේ බලවත් ශෝකය පළකර සිටිනවා. මේ අයුරින් සතුන් ප්‍රවාහනය නතර කිරිමට පියවර ගන්න අවශ්‍යයි".

අතුරුදහන් වූ මෙම නෞකාව සහ එහි සේවකයින් සොයා මේ වන විට අදාළ මුහුදු කළාපය තුල බලධාරීන් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන අතර එම මුහුදු කලාපයේ ඇතිවෙමින් පවතින තවත් සුළි කුණාටුවක් හේතුවෙන් මෙහෙයුම් වලට බාධා එල්ල වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා පළකර සිටිනවා.

Posted On Thursday, 03 September 2020 10:55
 

අමෙරිකාවේ දින 14ක් තුලදී ළමුන් 74,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා. මේ දක්වා එරට සිටින දරුවන් 443,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව හෙළිව ඇත්තේ අගෝස්තු මස 06 වෙනිදා සිට 20 වෙනිදා අතර කාල සීමාවේදී මෙලෙස ළමුන් 74,160කට වෛරසය ආසාදනය වී ඇති බවයි.

අගෝස්තු මස 06 වෙනිදා නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් සංඛ්‍යාව 358,469ක් වූ බවත් අගෝස්තු 20 වෙනිදා නිකුත් වූ නවතම වාර්තාව අනුව එය 432,629ක් දක්වා ඉහළ ගොස් ඇත.

නවතම වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ ඉකුත් සති දෙකක කාලය තුලදී අමෙරිකාවේ දරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය සීයයට 21කින් ඉහළ ගොස් තිබෙන බවයි.

 

Posted On Wednesday, 26 August 2020 06:47


ඇමරිකානු ඩොලර් බිලියන 2 කට අධික පීඑන්බී බැංකු වංචා නඩුවේ ප්‍රධාන චූදිත නිරව් මෝඩිගේ බිරිඳ අමී මෝඩිට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත ඉන්ටර්පෝල් ගෝලීය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බව බලධාරීහු අඟහරුවාදා ප්‍රකාශ කළහ. බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ කාර්යාලයේ ඉල්ලීම පරිදි ගෝලීය පොලිස් මණ්ඩලය විසින් රතු දැන්වීමක් නිකුත් කර ඇති බව ඔවුහු පැවසූහ.
ඇය තම කලු සල්ලි යොදවා , නිව්යෝර්ක් නගරයේ ඩොලර් මිලියන 30 ක් වටිනා නිවාස දෙකක් මිලට ගෙන ඇත.

අමි මෝඩි 2018 දී බැංකු වංචා නඩුව හෙළිදරව් වූ වහාම රට හැර ගිය බව ප්‍රකාශ වේ.පලාගිය පුද්ගලයෙකුට එරෙහිව එවැනි දැනුම් දීමක් කළ පසු, ඔිනෑම රටකට ඔහු හෝ ඇය පිටුවහල් කිරීම හෝ පිටුවහල් කිරීමේ කටයුතු ආරම්භ කළ හැක. ඉන්ටර්පෝල් එහි සාමාජික රටවල් 192 න් එය ඉල්ලා සිටී.
ඇගේ ස්වාමිපුරුෂයා නිරව් මෝඩි මේ වන විට එක්සත් රාජධානියේ බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔහු 2019 මාර්තු මාසයේදී ලන්ඩනයේදී අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමෙි කාර්යයේ බ්‍රිතාන්‍ය නිරත වෙයි.ඔහු මේ වසර මුලදී මුම්බායි අධිකරණයක් විසින් පලාගිය ආර්ථික වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඔහුගේ වත්කම් රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
දැනටමත් ඉන්දියාව ඔහු සම්බන්ධිත දේපළවලින් රුපියල් කෝටි 329 ක් රාජසන්තක කර ඇත.
නිරවි මෝඩි නැමති මොහු කවුද ?
ගුජරාටි පවුලක උපත ලැබූ මෝඩි ෆයර්ස්ටාර් ඩයමන්ඩ් ආරම්භ කළ අතර දිල්ලි, මුම්බායි, නිව් යෝර්ක්, ලන්ඩන්, හොංකොං සහ මැකාවු ඇතුළු ලෝකයේ ඉහළ නගරවල සිය ශාඛා විවෘත කල ප්‍රකෝටිපතියෙකි.. 2015 දී නිව්යෝර්ක් හි මැඩිසන් මාවතේ ඔහුගේ පළමු වෙළඳසැල විවෘත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ බව ෆෝචූන් ඉන්දියා වාර්තා කරයි. ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුව 2017 හි ලාබාලම ඉන්දියානුවෙකු ලෙස සනිටුහන් කර තිබිනි.
ඔහුගේ පවුල ඉන්දියාවේ සිටියදී, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා හැදී වැඩුණේ ජාත්‍යන්තර පිරිපහදු කළ දියමන්ති වෙළඳාමේ මධ්‍යස්ථානය ලෙස හැඳින්වෙන බෙල්ජියමේ ය. පසුව ඔහු තම මාමා යටතේ දියමන්ති වෙළඳාම පිළිබඳ පුහුණුව සඳහා ඉන්දියාවට ගියේය. වසර ගණනාවකට පසු ඔහු නිරව් මෝඩි ස්වර්ණාභරණ සන්නාමය ආරම්භ කළ අතර බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද නිරව් මෝඩි සන්නාමයේ ගෝලීය තානාපති ධුරයට පත්විය.
නිරව් මෝඩි විසින් ප්‍රවර්ධනය කරන ලද මුම්බායි ආයතනික ශාඛාවක රුපියල් කෝටි 11,000 ක් වටිනා වංචනික ගනුදෙනු අනාවරණය වී ඇති බව පන්ජාබ් ජාතික බැංකුව (පීඑන්බී) 2016 දී අනාවරණය කළේය.
පීඑන්බී පැමිණිල්ලකට අනුව රුපියල් කෝටි 280 ක වංචා නඩුවක් සම්බන්ධයෙන් මෝඩි, ඔහුගේ බිරිඳ අමි මෝඩි, සහෝදර නිෂාල් මෝඩි සහ ඔහුගේ මාමා වන මෙහුල් චොක්සි යන සියලුම දෙනාට ජනවාරි 29 වනදා සීබීඅයි නඩු පවරා තිබේ. කෙසේ වෙතත්, මෝඩිගේ සමාගම් විසින් සිදු කරන ලද “අනවසර ගනුදෙනු” වල වටිනාකම ඩොලර් මිලියන 1,771.7 ක් බව දැනගත් විට, සීබීඅයි වෙත තවත් පැමිණිල්ලක් ගොනු කළේය.

Posted On Wednesday, 26 August 2020 05:49

රටේ රාජාණ්ඩුව විවේචනය කරන කණ්ඩායමක් අවහිර කිරීමට තායි රජය බල කිරීමත් සමඟ ෆේස්බුක් ආයතනය   ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටී.

ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගම කියා සිටියේ තායිලන්තයේ පරිශීලකයින් රාජකීය කණ්ඩායම් විවේචනය කිරීමට  පිවිසීම වැළැක්වීමට තායි රජය විසින් බල කර ඇති බවයි -  ඒ අනුව අදාළ කණ්ඩායමට ප්‍රවේශ වීමට උත්සාහ කළ පරිශීලකයින්ට සඳුදා රාත්‍රියේ සුවිශේෂී පණිවිඩයක් ලැබුණි: “ඩිජිටල් ආර්ථික හා සමාජ අමාත්‍යාංශයේ නීතිමය ඉල්ලීමකට අනුව තායිලන්තය තුළ කණ්ඩායමට ප්‍රවේශ වීම සීමා කර ඇත.” යනුවෙනි. සාමාජිකයින් මිලියනයක් සිටින කණ්ඩායමක (facebook Grup) තායි රාජකීය පවුල පිළිබඳ ලිපි ඇතුළත් වේ. මෙම කණ්ඩායම අන්තර්ජාතික ලෙස අවහිර කරන ලෙස හා ඉවත්කරන ලෙස රජය ඉල්ලා ඇත.ෆේස්බුක් පසුව කියා සිටියේ රජයේ මෙම අන්තර්ගතය නීති විරෝධී යැයි සැලකූ බවයි.

“මෙවැනි ඉල්ලීම් දැඩි, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි වන අතර මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි” යනුවෙන් ෆේස්බුක් ප්‍රකාශකයෙක් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. "අපි සියලු අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කිරීමට කටයුතු කරන අතර මෙම ඉල්ලීමට නීත්‍යානුකූලව අභියෝග කිරීමට සූදානම් වෙමු." යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

රජය විසින් අදාළ ෆේස්බුක් කණ්ඩායම අවහිර කරන ලද පුවත මුලින්ම වාර්තා කළේ රොයිටර්ස් විසිනි.

ෆේස්බුක් (එෆ්බී) කියා සිටියේ තායිලන්තයේ ෆේස්බුක් නියෝජිතයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට රජය තර්ජනය කිරීමත් සමඟ රට තුළ යම් ආකාරයක දේශපාලන කතා සීමා කරන ලෙස තායි රජයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.නමුත් "තායිලන්තයට තමන්ගේම නීති ඇති අතර සෑම රටකම නීතිවලට ගරු කළ යුතුය."

තායි නීතියට අනුව, රජු, රැජින, උරුමක්කාරයා හෝ සම්බන්දිතයින් යන අයට අපහාස කිරීමෙන් වසර 15 ක සිර ද දඩුවමක් නියම විය හැකිය. සාමාන්‍ය තායි පුරවැසියන්ට මෙන්ම රජයටද රජු වෙනුවෙන් චෝදනා ඉදිරිපත් කළ හැකි බැවින් නීතිය දේශපාලන මෙවලමක් ලෙස වැඩි වැඩියෙන් භාවිතා කර ඇත. එසේ තිබියදීත්, විරෝධතාකරුවන් දහස් ගණනක් මෑත දිනවලදී රටේ අගනුවර වන බැංකොක්හි වීදි බැස ඇත.

සෑම දෙනාගේම සත්‍යයේ බේරුම්කරුවා වන facebook, රටේ රාජාණ්ඩුව විවේචනය කරන කණ්ඩායමකට තායිලන්තයට පිවිසීම තහනම් කර ඇති බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරයි. තායි රජය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කිරීමෙන් පසුව ෆේස්බුක් කණ්ඩායම අවහිර කළේය. 

රාජකීය වෙළඳපොල හෙවත්  Royalist Marketplace නම් මෙම කණ්ඩායම ආරම්භ කරනු ලැබුවේ ජපානයේ වෙසෙන තායි විරුද්ධවාදියෙකු වන පවින් චචවල්පොන්පන් විසිනි. පවින් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ ෆේස්බුක් “ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීම සහ තායිලන්තයේ අධිකාරීවාදය වර්ධනය කිරීම සඳහා ඒකාධිපති පාලන තන්ත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කරන” බවයි.

කෙසේවෙතත් රටක අභ්‍යන්තර නීති හා ෆේස්බුක් නීති ගැටීම පෙන්නුම්කරන  මෙම සිදුවීම් පිලිබඳ  ජාත්‍යන්තර කතාබහක් නිර්මාණය වෙමින් තිබේ.

Posted On Wednesday, 26 August 2020 03:24

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබෙනවා. භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කළේ එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බවයි.

මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ ද මිට දින දෙකකට පෙර රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුවුවා.

Posted On Friday, 21 August 2020 04:57

2018 සිට ලබා ගත හැකි නවතම සංඛ්‍යාලේඛනවලින් ස්ත්‍රී දූෂණ චෝදනා 33,000 කට වඩා වාර්තා වී ඇති ඉන්දියාවේ  - දළ වශයෙන් දිනකට නඩු 91 ක්.විභාගවන පසුබිමක  උතුරු ඉන්දියාවේ 13 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය  කිරීම රට තුළ මහජනයාගේ දැඩි විරෝධයට  හේතු වී තිබේ.

මෙම සිද්ධියට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අදාළ දැරියගේ ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ස්ත්‍රී දූෂණ හා සමූහ දූෂණ පිළිබඳ අමතර චෝදනා එකතු කරමින් ඔවුන්ට නඩු පවරන ලදී.

මෙම දැරිය ඉන්දියාවේ හින්දු කුල ක්‍රමයේ පහලම උප කුලයක් වන  "untouchables" හෙවත් “දලිත් කුලය” පවුලක සාමාජිකාවක් වූ අතර සමාජ ක්‍රියාකාරීන් කියා සිටියේ මෙම අපරාධය ඔවුන්ගේ ප්‍රජාව තුළ භීතියේ වාතාවරණයක් පිළිබිඹු කරන බවයි.

ඉන්දියාවේ කුල ක්‍රමය 1950 දී නිල වශයෙන් අහෝසි කරන ලද නමුත් උපතින් මිනිසුන් මත පනවා ඇති අවුරුදු 2,000 ක් පැරණි සමාජ ධූරාවලිය තවමත් ජීවිතයේ බොහෝ අංශවල පවතී. කුල ක්‍රමය උපතේදී හින්දු භක්තිකයන් වර්ගීකරණය කරයි, සමාජයේ ඔවුන්ගේ ස්ථානය, ඔවුන්ට කළ හැකි රැකියා සහ විවාහ විය හැක්කේ කාටද යන්න නිර්වචනය කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාට එරෙහිව උපලේඛනගත කුල හා උපලේඛන (හිංසනය වැළැක්වීමේ) පනත යටතේ නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය සිකුරාදා දහවල් ලක්මිපූර් කේරි දිස්ත්‍රික්කයේ පාකරියා ගම්මානයේ තම නිවසින් පිටව ගොස් ඇත්තේ අවට වූ  කුඹුරකට වැසිකිලි යාම සඳහා බවත් ඉන් අනතුරුව මෙම සිදුවීමට මුහුණ දී ඇති බවත් පොලිසිය පවසයි.

ඇය ආපසු නොපැමිණි විට ඇගේ පවුලේ අය ඇයව සෙවීමට පටන් ගත් අතර ඇගේ සිරුර උක් කුඹුරක තිබී සොයා ගත් බව පොලිසිය   පැවසීය.

ස්ත්‍රී දූෂණයට විරෝධය දැක්වීමට ඉන්දියානුවන්  කැමතිය , නමුත් සටන ආරම්භ විය යුත්තේ නිවසේදීම ය

පශ්චාත් මරණ පරීක්ෂණයකදී දැරිය දූෂණය කර ගෙල සිරකර මියගොස් ඇති බව පොලිස් පරීක්ෂක කුමාර් පවසයි. සමහර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ඇගේ සිරුර කිසිදු ආකාරයකින් විකෘති වී නොමැති බව ඔහු ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යටතේ දලිතයන්ට එරෙහි හිංසනය “උපරිම මට්ටමක” පවතින බව දලිත් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රසේකර් අසාද් පැවසීය.

"අපේ දියණියන් ආරක්ෂිත නැහැ, අපේ ගෙවල් ආරක්ෂිත නැහැ. අප වටා භීතියේ වාතාවරණයක් පවතිනවා" යැයි අසාද් ප්‍රකාශ කළේය.

දැරියගේ මරණය පිළිබඳ පුවත ඉන්දියාවේ නැවුම් මහජන කෝපයක් ඇති කළ අතර එය කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ පුළුල් ගැටලුව සමඟ පොරබදමින් සිටී.

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2018 සිට ලබා ගත හැකි නවතම සංඛ්‍යාලේඛනවලින් ස්ත්‍රී දූෂණ චෝදනා 33,000 කට වඩා වාර්තා වී ඇත - දළ වශයෙන් දිනකට නඩු 91 ක්. නමුත් විශේෂ වාර්තා  පවසන්නේ ලිංගික අතවරයට ඇති ලැජ්ජාව සහ වින්දිතයින් මුහුණ දෙන සමාජ බාධක හේතුවෙන් සැබෑ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි බවයි.

ඉන්දියාවේ, ලිංගික අතවර අතීතයේ දී බලධාරීන් විසින් නීතිය බලාත්මක කිරීම කෙරෙහි සැලකිලිමත් වීමට වඩා සමාජ හා සංස්කෘතික ප්‍රශ්නයක් ලෙස සලකනු ලැබූ බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසන පරිදි, පවතින නීති කාන්තාවන් ආරක්ෂා කිරීමට අසමත් වී ඇත.

මීට පෙර ඉහළ පෙළේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් මෙන් නොව, දැරියගේ ඝාතනය  වීදි විරෝධතා දක්වා පැතිරී  නැත. ඉන්දියාව පුරා පැතිරී ඇති කෝවිඩ් -19 රෝගය හේතුවෙන් සියල්ල අකර්මන්‍ය වූ පසුබිමක මිලියන 2.6 කට අධික සංඛ්‍යාවක් කෝවිඩ් අසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

CNN ඇසුරෙනි 

Posted On Wednesday, 19 August 2020 09:27
 

අමෙරිකානු ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කර තිබෙනවා.

ඇය සැලකෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු කාන්තාව ලෙසයි.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ පළමු කළු ජාතික කාන්තාව ලෙසද කමලා හැරිස් ඉතිහාස ගත වනවා.

ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිස් පළමුව ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළා. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවයි.

ඇය මෙම තනතුරට නම් කිරීමත් සමග අමෙරිකානු දේශපාලනයද උණුසුම් වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැනටමත් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය සදහා තරග වැදීමට කමලා හැරිස්ට කිසිදු සුදුසුකමක් නොමැති බවයි. 

Posted On Friday, 14 August 2020 09:54
 

පැවති අර්බුද නිමා කරමින් ඊශ‍්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඓතිහාසික ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, රාජතාන්ත‍්‍රික සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමේ අරමුණින්. 

ඊශ‍්‍රායලය සහ ගල්ෆ් අරාබි රටවල් අතර මෙතෙක් කිසිදු රාජත‍්‍රාන්ත‍්‍රික සබඳතාවක් කි‍්‍රයාත්මක වූයේ නැහැ. ඒ අනුව මෙම ගිවිසුම ඊශ‍්‍රායලය, අරාබි රටක් සමග ඉතිහාසයේ අත්සන් කළ තුන්වැනි ගිවිසුම වනවා.

මීට පෙර 1979 වසරේ ඊජිප්තුව සමගත්, 1994 වසරේ ජෝර්දානය සමගත් ඊශ‍්‍රායලය සාම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.
ඊශ‍්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මෙම නවතම ගිවිසුමට එළඹෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැදිහත්වීම විශේෂත්වයක්. මෙම ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙස දැනට අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ විශාල භූමි ප‍්‍රදේශයක් සිය රටට ඇතුළත් කර ගැනිමේ සැලැස්ම අත්හිටුවීමට ඊශ‍්‍රායලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Posted On Friday, 14 August 2020 09:20

2020-08-07 

ශ්‍රී ලංකාවේ පාලක රාජපක්ෂ සහෝදරයන්ගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයකින් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගනී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය (එස්එල්පීපී) තනිවම 146 ක් ජයග්‍රහණය කළ අතර සාමාජිකයින් 225 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායකයේ අවම වශයෙන් ආසන 5ක සහයෝගය ලබාගතහොත් තුනෙන් දෙකක අති බහුතරය ඔවුන්ටයි.

නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන්  ජයගත් හිටපු ජනපති රාජපක්ෂ  ඔහුගේ සහෝදරයා වන  ගෝඨාභය  හට පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම සඳහා තුනෙන් දෙකක 'සුපිරි බහුතරයක්' අවශ්‍ය වේ.

ජනාධිපතිගේ බලතල සීමා කරන පෙර පරිපාලනය විසින් සිදුකරන ලද ව්‍යවස්ථාමය වෙනස්කම් ආපසු හැරවීමට සහෝදරයන්ට අවශ්‍යය.

නිල ප්‍රතිපල වලින්  පෙනී ගියේ කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් දෙවරක් කල් දැමූ මැතිවරණයක් උවත් ජයග්‍රාහි  පක්ෂයට මිලියන 6.8 ක මහජන ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මිලියන 16.2 ක ඡන්දදායකයින්ගෙන් සියයට 70 කට වැඩි පිරිසක් බදාදා ඡන්දය ප්‍රකාශ කළහ.

ප්‍රතිපල ලැබෙමින් තිබියදීත්, අග්‍රාමාත්‍යවරයාගේ බාල සොහොයුරා වන ජනපති  ගෝඨාභය  රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මේ දක්වා ඇති ප්‍රතිපල  මගින් විශිෂ්ට ජයක් SLPP ලබමින් සිටින බවයි.

එස් එල් පී පී ප්‍රබල සාමාජිකයෙකු  වන  උදය ගම්මන්පිල පැවසුවේ ජයග්‍රහණය බලාපොරොත්තු වූවාට වඩා විශාල බවයි.

“අපි බලාපොරොත්තු වුණේ ජයග්‍රහණයක්, දර්ශනීය ජයග්‍රහණයක්, නමුත් මෙතරම්  විශාල ජයග්‍රහණයක් නොවේ,” ගම්මන්පිල වාර්තාකරුවන්ට පැවසීය.

ජය තහවුරු වීමටත් පෙර  පෙර අගමැති නරේන්ද්‍ර මෝදි මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුමක් දෙමින් සුබපැතුම් එක්කර තිබේ.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියා ඇත්තේ අගමැති මෝදි සමඟ “සමීපව” කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, දෙරටේ “මිතුදම තව තවත් ශක්තිමත් කරන බවයි “රාජපක්ෂ පවුල පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරීය. මහින්ද  2005 සිට 2015 දක්වා ජනාධිපති විය.

ගෝඨාභය  ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දා සිට ශ්‍රී ලාංකිකයන් බොහෝ දුරට පවුලේ ජනතාවාදී වේදිකාව නැවත වැලඳගෙන තිබේ.

පුද්ගලයන් 279 දෙනෙකු ඝාතනය  කළ මුස්ලිම් රැඩිකල්වාදීන් විසින් 2019 දී එල්ල කළ   පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ ජාතිකවාදී රැල්ලකින් ඔවුන් ජයග්‍රහණය කරා ගමන් කර තිබේ.

2009 දී මහින්ද ජනාධිපති සිටින අවදියේ  ඔහුගේ සහෝදරයා වූ ගෝඨාභය  ප්‍රධාන චරිතයක් වූ ආරක්ෂක ලේකම් ධුරය දරමින්  දශක ගණනාවක් පුරා පැවති දෙමළ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම සඳහා නිර්දය මිලිටරි මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් රටේ සිංහල බහුතරය විසින් වීරයන් ලෙස සලකනු ලැබේ.

බෙදී ගිය විරුද්ධපක්ෂය  විනාශ විය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට තම ඡන්ද කොට්ඨාශය ද  අහිමි වූ අතර, පෙර  පාර්ලිමේන්තුවේ ආසන 106 ක් තිබූ ඔහුගේ පක්ෂය එක් ආසනයක් දක්වා අඩු කෙරිණි.

මියගිය   ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත්ගේ නායකත්වයෙන් යුත් වික්‍රමසිංහගේ පක්ෂයෙන් වෙන් වූ පක්ෂයකට සියයට 20 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර ආසන 53 ක් ලබා දෙවන ස්ථානයට පත්විය.

පසුගිය පාර්ලිමේන්තුවේ ආසන 16 ක් තිබූ මධ්‍යස්ථ දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ද දරුණු ලෙස පසුබැස ඇත. අගෝස්තු 20 වනදා රැස්වීමට නියමිත නව සභාවේ ඔවුන්ට ආසන 10 ක් පමණක් ඉතිරිව තිබුණි.

මීට පෙර ආසන හයක් තිබූ වාමාංශික පක්ෂයක් බදාදා පැවති ඡන්දයෙන් පසුව තුන දක්වා අඩු විය. හිටපු ලෝක කුසලාන ජයග්‍රාහී නායක අර්ජුන රණතුංගට ද අසුන අහිමි විය.

NDTV ඇසුරෙන් -  

Posted On Friday, 07 August 2020 06:27

කොරොන වයිරස් රෝගීන් වැඩි වුවද අගමැති   මෝඩි අයෝධ්‍යා දේවාලයට මුල්ගල තබයි

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රටේ වඩාත්ම දේශපාලනික හා සංස්කෘතික වශයෙන් භේදභින්න ඉඩම් ආරවුල් නිතර ඇති  කේන්ද්‍රස්ථානය වූ ශුද්ධ භූමියක හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යාවේ ආගමික බැතිමතුන් 135 දෙනෙකු ඇතුළු සම්භාවනීය අමුත්තන් 175 දෙනෙකු සහභාගී වූ උත්සවයකදී  අගමැති මෝඩි කිලෝග්‍රෑම් 40ක් බර රිදී ගඩොලක් තැම්පත්කරමින් ඇරඹුම සටහන් කරණ ලදී.

1992 දී දක්ෂිණාංශික කණ්ඩායම් විසින් කඩා දැමීමට පෙර 16 වන සියවසේ මුස්ලිම් පල්ලියක් තිබූ ස්ථානයේ රාම් සාමිවරයාට දේවමාළිගාවක් ඉදිකරන ලෙස හින්දු කණ්ඩායම් දශක ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය  කළහ. හින්දු අන්තවාදීන් විසින් බබ්රි මස්ජිඩ් විනාශ කිරීම නිදහසින් පසු ඉන්දියාවේ දක්නට ලැබුණු දරුණුතම ප්‍රචණ්ඩත්වයට හේතු වූ අතර රට පුරා කැරලි කෝලාහලවලින් දෙදහසකට අධික පිරිසක් මිය ගියහ.

වසර ගණනාවක නීතිමය සටන් වලින් පසුව, ඉන්දියාවේ ශේෂ්ටාධිකරනය 2019 නොවැම්බරයේ දී හින්දු කණ්ඩායම්වලට සියවස් ගණනක් පැරණි අයෝධ්‍යා ශුද්ධ භූමියේ රාම් කෝවිල ඉදිකිරීමට අවසර ලබා දී ඇති අතර ඒ අනුව  ආරවුල ඵලදායී ලෙස අවසන් විය.

එදින  පැවති කතාවකදී මෝඩි කියා සිටියේ මෙම පන්සල එක්සත්කමේ සංකේතයක් වනු ඇති බවයි.

" සියවස් ගණනක් බලා සිටීම අවසන්. සමහර අයට තම ජීවිත කාලය තුළ මෙය දකින බව විශ්වාස කිරීමට නොහැකි වනු ඇත," මෝඩි අගමැතිවරයා මේ බව පැවසුවේ  තම කොවිඩ් වෛරස් මුහුණු ආවරණ ඉවත් කරමිනි.

"රාම් පන්සල අපගේ පුරාණ සංස්කෘතියේ නවීන සංකේතයක් වනු ඇත. එය අපගේ දේශපේ‍්‍රමී උද්යෝගයට උදාහරණයක් වනු ඇත. එය අපගේ පුරවැසියන්ගේ කැමැත්තෙහි ශක්තියේ සංකේතයක් වනු ඇත," ඔහු පැවසීය.

කෙසේ වෙතත් දිනකට නව කෝවිඩ් අසාදිතයි 50000 ක් පමණ සොයාගන්න ඉන්දියාවේ දිනෙන් දින මරණ සංඛ්‍යාවද ඉහල යන තත්වයක් දකින්නට ඇත.

වීඩියෝව https://www.facebook.com/narendramodi/videos/773891386750228/

Posted On Thursday, 06 August 2020 04:22

COVID-19 ආශ්‍රිත පාසල් වසා දැමීම් මඟින් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ළමුන් සඳහා ඉගැන්වීම, ඉගෙනුම් ද්‍රව්‍ය සහ අන්තර්ජාලය සඳහා ඇති ප්‍රවේශය කපා නොහැර නොමිලේ ලබාදීමට පියවර ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය කියයි.

කෝවිඩ්ව යිරසය ඉගෙනීමේ අර්බුදය ගැඹුරු කරන බැවින් අධ්‍යාපන අයවැය ආරක්ෂා කළ යුතු අතර දුප්පත්ම දරුවන්, ග්‍රාමීය ප්‍රදේශවල සිටින අය සහ ආබාධ සහිත දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Posted On Tuesday, 04 August 2020 05:22

 

2020-08-04 කඳු මුදුනේ පිහිටි බුබුළු දමන පොකුණකි. එකක් නොව මෙවැනි පොකුණු සිය ගණනක් එහි තැනින් තැන තිබේ. හුස්ම ගන්නා විට දැනෙන්නේ ගෙන්දගම් සුවඳය. මෙහි ඇති අනතුරුදායක බව දැනගත් විට කෙනෙකුට එන්නට නොසිතෙන තරමටම එය බිහිසුණුය. රුදුරු බව සඟවා ගනිමින් මෙලෙස කෙටි නින්දකට වැටී සිටින්නේ ඉතාලියේ ‘කැම්පි ෆ්ලෙග්‍රෙයි’ (Campi Flegrei) ගිනිකන්දය. ලොව ඇති බිහිසුණුම ගිනි කඳු 20 අතරින් එකක් වන එය විසුවියස් ගිනිකන්දටත් වඩා බියකරු බව සැලකේ. මෙවැනි ගිනිකන්දක් සාමාන්‍ය ගිනිකන්දකට වඩා දහස් ගුණයකින් පමණ අනතුරුදායකය. විසුවියස් ගිනිකන්දට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇති මෙය වර්තමානයේදී එය උපරිම ධාරිතාවයෙන් පුපුරා ගියහොත් පොම්පෙ නගරයම විනාශ කරමින් විසුවියස් ගිනිකන්ද පුපුරා ගිය තරමටත් වැඩි විනාශයක් කරනු ඇති බව ගිනිකඳු පිළිබඳ විශේෂඥයන්ගේ අදහසය. වාසනාවකට වසර දහස් ගණනකින් එය පූර්ණ වශයෙන් විදාරණය වී නොමැත.

 


03volcano_sannasa.jpg

කෙසේ වුවද, එසේ නොවූ පමණින් මෙලෙස නිදා සිටින නපුරු යෝදයා අවදි නොවේ යැයි කියන්නට නොහැකිය. නිරන්තර අවධානයෙන් පසුවන විද්‍යාඥයන් වසර 2012 දී අනතුරු ඇඟවීමේ මට්ටම කොළ පැහැ කලාපයේ සිට කහ පැහැ කලාපයට යොමු කළේ එබැවිනි. තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවට ඉන් අදහස් කෙරේ. ඉකුත් අප්‍රේල් මාසයේදී විවිධ පරිමාණයෙන් භූමි කම්පා 34ක් පිළිබඳ නිරීක්ෂණය වීමත් සමග මේ අවදානම තවත් ඉහළ ගොස් ඇත.

ගිනිකන්දේ උණුදිය උල්පත්ද සැලකිල්ලට ගනිමින් ඉතාලි අර්ධද්වීපයේ පිහිටි අයස්කාන්ත නිකේතනයන්ගෙන් සමන්විත නගරයක් ලෙස ප්‍රකට Baiae නගරය පුරාණ රෝම වැසියෝ මෙහි නිර්මාණය කළහ. අගනා මාබල්, විසිතුරු භාණ්ඩ, මූර්ති ආදියද සමග මේ නගරයේ අඩක් පමණ සියවස් ගණනක් තිස්සේ මධ්‍යධරණී මුහුදේ ගිලී පවතී. අද වන විට මෙම අගනා පුරාවිද්‍යාත්මක උරුමය ගිනිකන්ද පුපුරා යාමේ හෝ භූමිකම්පන හේතුවෙන් සෘජුව තර්ජනයට ලක්ව ඇති අතර සමුදුරු පත්ලේ පැවැතීම නිසා වක්‍රවද අවදානමට ලක්ව ඇත. යම් හෙයකින් ගිනිකන්ද පුපුරායාමක් සිදුවන්නේ නම් එයද, භූමිකම්පාවක අවදානමද කල් තබා දැනගැනීමට රෝමානු වැසියන්ට ක්‍රමවේද කිහිපයක් විය. එහෙත් තම නගරය රැක ගැනීමට කළ හැකි කිසිවක් නොවූයේ එය ක්‍රමයෙන් සාගරය විසින් ග්‍රහණයට ගනිමින් තිබූ බැවිනි. කෙසේ වුවද එය තවදුරටත් සත්‍ය නොවන තත්ත්වයක් ඇති වී ඇත. ඒ සාගරයෙන් යටවී ඇති මෙම අගනා පුරාවිද්‍යාත්මක උරුමය මතුපරම්පරාවන්ට ඉතිරි කොට තැබීම සඳහා පුරාවිද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් කණ්ඩායමක් මවිත කරන ලෙස නව තාක්ෂණය යොදාගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින බැවිනි. මෙහි මුල් පදිංචිකරුවන් වූ රෝම වැසියෝ මෙම භූමිය හැඳින්වූයේ ගිනිගන්නා යන අරුත දෙන Phlego නම් ග්‍රීක වදනිනි. ඉංගිරිසියෙන් Phlegraean held යනුවෙන් ව්‍යවහාරයට ආවේද එයමය. Campi Flegre ගිනිකන්දේ බිහිසුණු බවට හේතුව එහි විශාලත්වය හෝ ප්‍රබලත්වය පමණක්ව නොවේ එහි ඇති අහම්බයන්ද නිසාය. විසුවියස් ගිනිකන්ද පුපුරා ගිය විට ලාවා දහරා ගලා යාම පිළිබඳ අනුමාන කළ හැකි වුවද මෙහිදී එසේ කළ නොහැකිය.

 


01_volcano_sannasa.jpg

‘හැමදාම සක්‍රිය වෙන්නේ එකම ස්ථානයක් නොවෙයි. හැම විදාරණයකටම ඊටම ආවේණික කොටස් වගේම ස්ථානයකුත් තියෙනවා.’ ගිනිකඳු පිළිබඳ විශේෂඥයකු වන මොරා එය පැහැදිලි කරන්නේ එලෙසය. ‘මේ නිසා කවදා මෙය පුපුරා යාවි ද කියලා අපට නිශ්චිතව කීමට හැකියාවක් නෑ. යම් විදිහකින් මෙය යළි සක්‍රිය වුවහොත් ඊළඟ පිපිරීම කවදා වෙයිද කියලා අපට සිතාගැනීමට නොහැකියි.’ ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙහි ඇති අවදානමය.

අනෙක් අනතුර එහි ක්‍රියාකාරීත්වයයි. Campi Flegrei ගිනිකන්ද සක්‍රිය වූ විට එහි 90%ක්ම සිදුවන්නේ පිපිරුමකි. අන් අයුරකින් කිවහොත් මෙය පුපුරා ගිය විට අන් ගිනිකඳුවලදී මෙන් ලාවා දහරා පොළව මතුපිටින් ගලා ඒමක් සිදුවන්නේ නැත. මෙහිදී සිදුවන්නේ එම ලාවා ගුවනට විදීමකි. ඒ සමග නිකුත් වන අළුවලින් අහස අඳුරු වේ. මේ නිසා ඒ අවට සිට හුස්ම ගැනීම අපහසුවන අතර හාත්පස දැකීමද අපහසුය.

වසර 39,000කට ඉහතදී මෙම ගිනිකන්ද පුපුරා ගිය විට සිදුවී ඇත්තේ එයයි. එය එම විශාලතම පිපිරුම වූ අතර උණු පාෂාණ කැබලි කි.මී. 70ක් තරම් ඉහළට විසිවන්නට ඇතැයි පැවැසේ. මෙහිදී පිට වූ අළු සයිබීරියාව වැනි දුර ඈත ප්‍රදේශවලින්ද සොයැගැණිනි. මෙම පිපිරුමෙන් පසු ඊළඟ වසර කිහිපයේ ඇති වූ ශීත දේශගුණය නියැන්ඩර්තාල්වරුන්ගේ අවසානය සලකුණු කරන්නට ඇති බව පිළිගැනේ. මීට වසර 15000කට ඉහතදී ද Campi Flegrei යළි පුපුරා ගියේය. මේ පිපිරුම පෙර වතාවේ තරම් දරුණු නොවිණි. එහෙත් සැලකිය යුතු ටුෆා පරිමාවක් වායුගෝලයට නිදහස් විය. එය නේපල්ස් නගරයේ අද දකින වර්ණ ඊට ලබාදීමට තරම් ප්‍රමාණවත්වය. ඉන් නිර්මිත පාෂාණවලින් දේවස්ථාන උමං මාර්ග ආදිය ඉදිවිය. උමං මාර්ගවල ඇති රන් පැහැය ලැබී ඇත්තේ ඒවායිනි.

අවසන්වරට එය පුපුරා ගොස් ඇත්තේ වර්ෂ 1538දීය. ඊට පෙර පිපිරීම් 2 හා සසඳන විට මෙය කුඩා පිපිරීමකි. කෙසේ වුවද එය කි.මී. 5.5ක් තරම් ඉහළට අළු සහ යමහල් විසුරුවාලීමට තරම් පිපිරීමකි. ඉන්පසු මීටර් 123ක් තරම් උස් කන්දක් අලුතින් නිර්මාණය විය. යම් හෙයකින් එවැනි පිපිරුමක් වර්තමානයේ සිදුවුවහොත් ඉතාලියේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වන නේපල්ස්හි දරුණු විනාශයක් ඇති වනු ඇත.

02volcano_sannasa.jpg

අපේ ජීවිත කාලයේ එවැනි විනාශයක් විය හැකිද? විද්‍යාඥ මොරා ඊට පිළිතුරු දෙන්නේ,

‘අපට ඒ ගැන හරියටම කියන්න අමාරුයි. ඕනෑම සක්‍රිය ගිනි කන්දක් පුපුරා යාමට හැකි බව අප දන්නවා. පැහැදිලිවම අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එසේ නොවේවා කියලයි.’

ඒ සමගම ඔහු කියන්නේ බලාපොරොත්තු අත්හැර නොගන්නා ලෙසයි. ‘විසුවියස් වගේම මේ Campi Flegrei ගිනි කන්දක් අපේ සඟයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා... විසුවියස් නිරීක්ෂණය එවැනි ලොව පැරණිම නිරීක්ෂණයයි. ඒ නිසා අපට යම් සැනසිල්ලක් දැනෙනවා.’ එවැනි සමීප නිරීක්ෂණ මගින් යම් පිපිරුමක් පිළිබඳ මාස කිහිපයකට පෙර අනතුරු ඇඟවීමට හැකියාව ලැබේ. එවිට නාගරික ප්‍රදේශ ආරක්ෂිතව හිස්කිරීමට පුළුවන. එම දත්ත, ගිනි කඳු විශේෂඥයන්, එක්රැස්කරන එකම දත්ත සමුදාය නොවේ.

විසුවියස් මෙන්ම Campi Flegrei පිහිටි ප්‍රදේශයේ ඇති පාෂාණද දැඩි නොවන අතර ඉදිකිරීම් සඳහා භාවිතය පහසුය. එමෙන්ම එහි මිදි, ලෙමන් වැනි වගාවන් සඳහා සරු පොළවකි. වෙරළ අඩසඳ වැනි ස්වභාවයකින් යුතුවීම නිසා මුහුදු බොක්කද නිර්මාණය වී තිබේ. යම් හෙයකින් විශාල ගිනි කඳු පිපිරීමක් ඇති වුවහොත් මේ සියල්ල වෙනස් වනු ඇත.

කල්දේරාවේ නැගෙනහිර අන්තයෙන් බැලූ විට පුරාවිද්‍යාත්මක භූමිය ඉහළින් පෙන්නේ මහ සයුරය. ආරුක්කු, තාප්ප, ටෙරය ආදියෙන් සමන්විත එම භූ දර්ශනය ලේයර් කේක් එකක් බඳුය. එවක Baiae යනු ධනවත් හා වංශවත් රෝමන්වරු නිවාඩුගත කිරීම සඳහා තෝරාගත් ජනප්‍රියම නගරය විය. එය පුරාණ ලෝකයේ ලාස්වේගාස්ය. එදා තේජාන්විතව දිස් වූ මූර්ති බිතුසිතුවම්, මාබල් ආදිය අද දැකගත හැකිවන්නේ Campi Flegrei කෞතුකාගාරයේදීය. ඉතිරිව ඇති ගොඩනැගිලි සමහරක් සියවස් ගණනාවකට පෙර ඒවා පැවැති අයුරු සිහිපත් කරති. නේපල්ස් සරසවි බිමෙහිද එම ඉපැරණි ශ්‍රී විභූතියේ මං සලකුණු දිස්වේ.

ආදි රෝමානුවන් මෙහි එන්නට ඇත්තේ අද අප වාසස්ථානයක් තෝරාගැනීමේදී සලකා බලන සාධකද සැලකිල්ලට ගනිමින් බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අතර දේශගුණය මෙන්ම උණුදිය උල්පත් වැනි විශේෂ කාරණාද තිබේ. Baiae නගරය පිළිබඳ පැරැණිම ලිඛිත මූලාශ්‍ර හමුවන්නේ ක්‍රි.පූ. 178 දී පමණය. රෝමන්වරු එය තෝරාගත්තේ විනෝදාශ්වාද මධ්‍යස්ථානයක් වශයෙන්ද සලකාගෙනය. රෝම අධිරාජ්‍යයේ පසුබෑම් ඇති වුවද Baiae හි කීර්තිය තවත් වැඩිවිය. මෙහි කලිගියුලා, පාලමක් ඉදිකළේය. නීරෝගේ මව ඇග්රිපිනා ඇය ජීවත් වූ මන්දිරය තුළදීම මරා දමා තිබුණේද මෙහිය. පසුකාලීනව හේඩ්‍රියන් අධිරාජ්‍යයාගේ අවසානය සාමකාමීව සිදුවූයේද මේ නගරයේ පිහිටි ඔහුගේ මාලිගයේදීය.

සෙනෙතා වැනි දාර්ශනිකයන් Baiae තෝරාගැනීම ගැන මවිත විය යුතු නොවේ. ඔහු ජීවත්වූයේ එහි පිහිටි කඳුගැටය මත වූ මන්දිරයේය. එය බාහිර පරිසරයෙන් තරමක් හුදෙකලා වූ ස්ථානයකි. සාගරයෙන් යට වූ Baiae ජියොවාන් කොකැසියෝ වර්ෂ 1344දී ලියූ නවකතාවේ හැඳින්වූ මිහිමත පිහිටි අතිශය දැකුම්කළු ස්ථානයක් වශයෙනි. වසර 2000ක් පමණ තිස්සේ මෙම නටබුන් සාගරයේ තැන්පත්ව තිබේ. ඒ ඇතැම් තැන්වල මීටර් 4.6ක් තරම් නැතිනම් මීටර් 10ක් තරම් ගැඹුරිනි. නගරයෙන් අඩක් පමණ ඇත්තේ සාගරයට යටවීය.

මිනිසුන්ගේ පමණක් නොව සමුදුරු ජීවින්ගෙන්ද වසන් වූ ඇතැම් කලා නිර්මාණ මුහුදු වැල්ලෙන් වැසී ගොසිනි. තවමත් පෙනෙන්නට ඇති නිර්මාණවල ඉරණම එතරම් සුන්දර නැත. ධීවරයන් මගින් ඒවා කළුකඩයේ අලෙවි වන බවට මත පළවේ. මෙම සමුදුරු පුරාවිද්‍යාත්මක භූමියේ මූර්ති හා කලා නිර්මාණ මෙන්ම වෙනත් පුරාවිද්‍යා කොපමණ තිබේදැයි කිසිවකුත් නිශ්චිතව දැන නොසිටීමද ඊට හේතුවකි. මේ නිසාම පුරාවිද්‍යාත්මක මංකොල්ලයන්ට කොපමණ ගොදුරුවී තිබේදැයි පැවැසීමටද නොහැකිය.

වර්ෂ 2002 දී සාගරයට යට වී ඇති හෙක්ටයාර් 177ක පෙදෙසක් සමුද්‍ර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහි කිමිදුම් කටයුතුවල යෙදීමට අවසර ඇත්තේ බලපත්‍රලාභී කිමිදුම්කරුවන්ට පමණි. ප්‍රදේශවාසීන් පවත්වාගෙන යන ලියාපදිංචි කිමිදුම් ව්‍යාපාර ස්ථාන මගින් මාර්ගෝපදේශකයන්ද සහිතව ඊට අවසර හිමිවේ. මෙම අගනා උරුමයේ පළමු ආරක්ෂකයන් වන්නේ ඔවුන් බැවින් මෙහිදී විශාල වගකීමක් ඔවුන්ට පැවැරී තිබේ. මෙවැනි ව්‍යාපාර ඔස්සේ පුරාවස්තු මංකොල්ලය පාලනය කර ගැනීමට හැකිවී ඇතත් තවත් අභියෝග තිබේ.

මෙය සාමාන්‍ය පුරාවිද්‍යාත්මක උද්‍යානයක් නොවේ. එය මත ආරක්ෂිත වැටක් ඉදිකළ නොහැකිය. වසා දැමීමටද නොහැකිය. එය සැමදාමත් හැම මොහොතකම ඇත්තේ විවෘතවය. එමෙන්ම එය සැමවිටම සමුදුරු ජීවීන්ටද, උදම් රළ ඇතුළු මුහුදු රළ ප්‍රවාහයන්ටද විවෘතය. මිනිසුන්ට අභිමුඛව පවතින්නේය. එබැවින් එම සංරක්ෂණ කාර්යයන් පහසු නැති බව සමුද්‍ර පුරාවිද්‍යාඥයෝ පවසති. එම කාර්යයන්හි 1993 සිට නියැළෙන බාබරා ඩෙජම් ඇතුළු පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම කලා නිර්මාණ සංරක්ෂණය කිරීමේදී බැක්ටීරියා, ස්පොනජි සමුදුරු ජීවය අභියෝගයක් බවය. මෙම ජීවීන්ගේ වාසස්ථාන බවටද ඒවා පවතී.

‘වැලිවලින් වැසී ඇති මෙවැනි පුරාවස්තු මතු කරගන්නවාත් සමග සමුදුරු ජීවීන්ගේ වාසස්ථාන බවට ඒවා පත්වෙනවා. එතැන් සිට ඔවුන්ගේද ක්‍රියාවන් හේතුවෙන් ඒවා විනාශයට ලක්වෙනවා.’ එම ඇතැම් ලකුණු පියවි ඇසින් දැකිය නොහැකිය. අන්වීක්ෂීය පෙනුමකදී දැකිය හැකි සියුම් සිදුරුවලින් කියාපාන්නේ එහි ස්වභාවයයි. Campi Flegrei සමුද්‍ර කෞතුකාගාරයේදී මෙවැනි පුරාවස්තු බොහෝමයක් දැකගත හැකි වේ. පැරණි රෝම ප්‍රතිමාවල අත් පා හිස් ආදිය දැකගත නොහැක්කේ බොහෝ විට එබැවිනි. ක්‍රි.පූ. 1 වැනි සියවසට අයත් සියුස් ප්‍රතිමාව මේ විනාශයේ තරම මනාව කියා පාන්නේය. මෙය මංකොල්ලකරුවන් විසින් සොරාගෙන තිබූ බවද සඳහන් වේ. කාලයක් ලොස් ඇන්ජලිස් කෞතුකාගාරයක තිබූ එය 2018 වසරේදී මෙම කෞතුකාගාරයට යළි භාරදී තිබේ.

ඩේවඩ් පවසන පරිදි Baiae වැනි පුරාවිද්‍යාත්මක භූමියක් ලොව අන් කිසි තැනක ඇතැයි සිතිය නොහැකිය. එබැවින් මේ අමිල උරුමය රැකගැනීමට ඔවුහු වෙහෙසෙති. සාගරයේ කිමිදෙමින් ඉපැරණි මැදුරක නටබුන් අතර සැරිසරා ඔබ්බට යන විට ගිනිකඳු විවරද හමුවේ. එවැනි තැනක ජලයද ඉතා උණුසුම්ය. මෙබඳු ස්ථානයක් හමුවීම යනු ඔබ මේ කිමිදෙමින් සිටින්නේ රමණීය පුරාවිද්‍යාත්මක පෙදෙසකි. අතීත සැමරුම් අතර පමණක් නොව ලොව පුරා බිහිසුණු ගිනි කන්දක අබියස බව සිහිපත් කර දීමකි.

•ධම්මික සෙනෙවිරත්න අරුණ පුවත්පත 

Posted On Tuesday, 04 August 2020 03:28

2020_8_3 ඉන්දියාවේ  ඊයේ (02) දිනය තුළ පමණක් කොරෝනා මරණ 758ක් සිදුව තිබෙනවා.

ඊයේ දිනය තුළ එරටින් වාර්තා වු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 52,783ක්. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාධිතයින් 18 ලක්ෂ 5,838ක් වාර්තා වී තිබෙනවා. ඒ කොරෝනා මරණ 38,176ක්ද සමගයි. 

Posted On Monday, 03 August 2020 06:54
 

අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළා. ඒ, නව රෝවරයක් අගහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින්. ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අගහරු මෙහෙයුම නම් කර තිබෙනවා.

රෝවරය අගහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම අමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50 ට ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරුණා.

මාස 7 ක ගමනකින් අනතුරුව එය අගහරු වෙත ළගා වනු ඇතැයි අපේක්‍ෂිතයි. සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් මෙම රෝවරය මගින් අගහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්‍ෂිතයි. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අගහරු පිළිබද දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි. 

Posted On Friday, 31 July 2020 06:09
Page 2 of 3