Sunday, 02 October 2022
දැයක් දිනවූ වදන්

දැයක් දිනවූ වදන්

වසර විසි දෙකකට පෙර මන්ත්‍රීවරයකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුරවිශාල වෙනස්කම් නැත. නැගෙනහිර කොළඹ පිහිටි මගේ නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ දී, අත්විඳින ලද සිද්ධි එම දේශනයේදී දක්වන්නට උත්සාහ කළෙමි. වසර තිහකට කලින් සිට තිබුණ මුඩුක්කු හා පැල්පත් නිවාස එලෙසම තිබෙන අයුරුත්, නිරර්ථක යුද්ධයක පැටැලී සිටින අප මෙම ක්‍රමය වෙනස් නොකළහොත් උද්ගත විය හැකි තත්ත්වයත් එදින සඳහන් කළේ අප සියලු දෙනාටම බරපතළ වගකීමක් ඇති බව දක්වමින්ය. කැළි කසළ පිරි මාවත්, වීදුරු කුටිවල අනර්ඝ සේ අසුරා ඇති ආහාර මිල දී ගන්නට වත්කමක් නැති පිරිස්, පාසල කරා යන එහෙත් එම අධ්‍යාපනය අවසානයේදී ඇති කරන ප්‍රතිඵලය ගැන නොදන්නා දරුවන් ගැන සඳහන් කළෙමි.

ක්‍රමය වෙනස් කරන ප්‍රයත්න ගණනාවකින් පසු හොඳ අනාගතයක් ඇති කළ හැකි බවට විශ්වාසයක් ආරම්භයේදී තිබුණි. ආර්ථික දේහය වෙළාගෙන ඇති පිළිකාව සූක්ෂම සැත්කමකින් ඉවත් නොකළහොත් ඇති වන අනතුර ගැන සඳහන් කළේ විශාල කැක්කුමකින් යුතුවය. එය සාක්ෂාත් කරගැනීම බාරධූර කටයුත්තක් බව පාර්ලිමේන්තුවේ ගත කරන ලද කාලය තුළ පෙනී ගියේය. නිසි එකඟතාවක් නැති ඝෝෂාකාරී සභාවකින් පරිවර්තන ක්‍රියාවලියක් උදෙසා, ධෛර්යයක් ඇති කරන වචනඇසුණේ නැත. ඊළඟ ඡන්දයෙන් ජයග්‍රහණය කරන උපාය ගැන පමණක් වෙහෙසෙමින් සිටි අතර යෝජනා කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ එක්තරා ආකාරයක හාස්‍යයට හේතු විය.

පීඩාකාරී චක්‍රයක ආපසු විඳවන්නට සිදුවීම

මෑත අතීතයේ සිදුවීම් නිරීක්ෂණය කිරීම අවශ්‍යය. දශක තුනක පමණ කාලයක් සමාජය හා ආර්ථික ක්‍රමය විනාශ කරන ලද යුද්ධයකින් හෙම්බත් වී සිටි රට අලුත් හුස්මක් ඉල්ලා සිටියේය. එහිදී ආර්ථිකය ඉතාම වැදගත් බව අවධාරණය කෙරිණ. තාවකාලික විසඳුම් පමණක් සපයන තීරණ නිෂ්ප්‍රයෝජන බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. ගෝලීය තරගකාරීත්වයට ඇතුළු විය යුතුව තිබුණ අතර අපනයනය ඉලක්ක කරගෙන උසස් තත්ත්වයේ භාණ්ඩ අඩු පිරිවැයකින් නිපදවිය යුතුව තිබුණි. යල් පැනගිය බලශක්ති අංශයෙහි නවීකරණයක් ද, තාක්ෂණයෙන් බලගැන්වීමද ඉතාම වැදගත් විය. මැදි ආදායම් රටක අවශ්‍යතා වෙනස් අතර ආධාර බෙදන පැරණි ව්‍යුහ තවදුරටත් වලංගු වූයේ නැත. පටු ආස්ථානයක සිට ක්‍රියා කරන ලද දේශපාලනඥයෝ හා ඇතැම් අන්තවාදී අදහස් ඇති පක්ෂ මෙකී වෙනස්කම්වලට බියපත් වූහ. නොයෙක් අදහස් වපුරුවමින් ඔවුන්ගේ ශෛලියකින් කටයුතු කළහ. වෙනස්කම්වලින් ඇතිවන තත්ත්වයන් ස්වකීය දේශපාලන ගමනට අවහිරයක් වනු ඇති බව උපකල්පනය කළහ. එහි ප්‍රතිඵලය අද අප හමුවේ තිබේ.

ක්‍රමය වෙනස් කරන ප්‍රතිසංස්කරණ යෝජනා කිසිසේත් මිහිරි නැත. ව්‍යාධියක් ඇති විට ප්‍රතිකාර ගන්නට සිදු වේ. ආර්ථිකය දුබල වූ පසු ප්‍රතිකර්ම අවශ්‍යය. තිත්ත බෙහෙත් නියම කෙරේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධ අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත. ඒවා තවමත් www.milinda.org වෙබ් අඩවියෙන් හෝ සමාජ මාධ්‍ය පිටුවෙන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කියැවිය හැකිය. සහනවලට ජනතාව කැමැතිය. ජනතාවට සහන දෙන බව ප්‍රකාශ කර ඡන්දයෙන් දිනා බලය අල්ලා ගැනීමත් දේශපාලනඥයන්ට පහසුය. ආර්ථිකය ගොඩනගන්නටත්, රට දියුණු කරන්නටත් පියවර ගන්නා අතරවාරයේ වැටුප් වැඩි කරන, බඩු මිල අඩු කරන පමණක් නොව අති විශාල සංවර්ධනයක් කරන්නටත් හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. මැතිවරණයෙන් ජයගත් පසු ආර්ථිකයෙහි තරම දැනේ. ඡන්ද වේදිකාවේදී දෙන ලද පොරොන්දු ඉටු කළ නොහැක. අයවැය පරතරය දරුණු තැනකට ගෙන එන තෙක් දෙස් විදෙස් ණය ගන්නා අතර එහි පීඩනය ද පැටැවෙන්නේ සාමාන්‍ය ජනතාවටය.

මෙම විෂම චක්‍රයෙහි ගැලී, එයින්ම යැපුණ දේශපාලන ක්‍රමය අද වනවිට ආපසු හැරවිය නොහැකි තරමට ප්‍රපාතයකය. පරෙස්සමෙන් තීරණ ගෙන වහා කළ යුතු වෙනස්කම් මුල් කාලයේදී ගත හැකිව තිබුණි නම් අද පත්ව ඇති ඉරණම පාලනය කරගත හැකි එකකි. වේදනාව අඩුය. ඉතිහාසයේ සිට කරන ලද වැරැදි ප්‍රතිපත්තිවල විපාක දැන් අප හමුවේ ඇත. විශාල බලාපොරොත්තු සහිතව බලයට පත් වූ ආණ්ඩුවකට සියලුම වැරැදිවලට වන්දි ගෙවන්නට සිදුවීම අභාග්‍යයකි.

තරගකාරීත්වය හා ආයෝජන වැදගත් වන පසුබිම

ශ්‍රී ලංකාව දක්ෂ මානව සම්පතක් සහිත රටකි. ඕනෑම රටක ඉතාම කැපවීමෙන් සේවය කළ හැකි ශ්‍රම බලකායක් ඇත. දක්ෂතම පිරිස වෙනත් රටවල දියුණුව සඳහා සේවයට යවන අතර රටට අවශ්‍ය කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා සඳහා යොදවා නොගැනීම වරදකි. තාක්ෂණ දියුණුව හා ලෝක ආර්ථිකයේ තරගකාරීත්වය අනුව අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කළ හැකිය. අලුත් යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය වෙනුවෙන් ධනය යෙදවිය යුතුව තිබේ. දියුණු වූ රටවල් ඔවුන්ගේ කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධනය සඳහා ලෝකයේ ප්‍රකට ආයෝජන උපයෝගී කරගෙන ඇත. සැපයුම් චක්‍රයට එකතු වී සිටී. ගෝලීයකරණය තුළ තනි රටකට, තනි නිෂ්පාදනයකට පැවැත්මක් නැත. ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ කුඩාය. ලොකු ආයෝජනයකින් කුඩා වෙළෙඳ පොළකට සැපැයීම සඳහා නිෂ්පාදනය කිරීමේදී පිරිවැය ඉහළ මට්ටමකට පත්වේ. එය පාලනය කරන ක්‍රම ඇත. අපනයනය ද අරමුණු කරගෙන නිපදවිය යුතුය. දේශීය ව්‍යවසායකයන් සහ විදේශීය ආයෝජන එකතු කර අපනයන ඉලක්ක ඇති ව්‍යවසායකත්වයට ඉඩ දීම වැදගත්ය. එහිදී අලුත් තාක්ෂණය රටට ලැබේ. මෙරට ශ්‍රමය උපයෝගී කරගත හැකි අතර එහි මෙහෙයුම් අතරතුර රටට බදු ආදායමක් හිමි වේ. තරගකාරීව කරන අපනයනයකින් විදේශ සංචිත උපයාගත හැක.

දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව සම්පාදනය කරන බව අඟවන බරපතළ මිථ්‍යාවක් ඉදිරිපත් කරන ආණ්ඩු මෙරට නිපැයුම් සහ ආනයන භාණ්ඩවල මිල පරතරය සමාන වන තෙක් බදු අය කරන ක්‍රමයක් අනුගමනය කරමින් සිටී. කර්මාන්ත හෝ කෘෂි අංශය ආරක්ෂා වන බව පිළිගත හැක. එහෙත් පාරිභෝගිකයන් අධික මිලක් ගෙවන අතර එය නොපෙනෙන දඩ අය කිරීමකි. සිමෙන්ති, ටයිල්, යකඩ, ගොඩනැගිලි ද්‍රව්‍යවලට බදු පැනවේ. ධාන්‍ය හා බහුලව අලෙවි කරන අර්තාපල් හා ලොකු ලූනු දක්වා දේශීය නිෂ්පාදන සම්බන්ධ යථාර්ථය ද එයයි. සියලුම ජනී ජනයා පාරිභෝගිකයෝය. පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කර නිෂ්පාදන ව්‍යුහය වෙනස් කළ යුතුය. දැනට අනුගමනය කරන්නේ නිෂ්පාදන මිලට පාරිභෝගිකයාට විකිණීමය. එය අනෙක් පැත්තට හැරවිය හැක. පාරිභෝගිකයාට දරාගත හැකි මිලට භාණ්ඩ නිපදවිය යුතුය. එවිට අතිරේක බදු පැනවීම අවශ්‍ය නොකෙරේ. ඇතැම් භාණ්ඩ රට තුළ නිපදවිය හැකි අතර එසේ නොකරන දේ පිටරටවලින් ගෙන්වන්නට සිදුවේ. ඇඟලුම් කර්මාන්තය හොඳම උදාහරණයකි. අඩු වියදමකින් නිෂ්පාදනය කර අපනයනය කළ හැකි වී තිබේ.

ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණ

නිදහස ලැබුණ දිනයේ සිට ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ ආදායමේ තරමට ජීවත්වන උපායකි. වියදම වැඩිවන විට ණය ගැනේ. බදු වැඩි කෙරේ. එයින් පිටස්තර ක්‍රමයකට සූදානම් නැත. අභියෝග සහ අවදානමට මුහුණ දී නැත. රටට ඇති සම්පත් හඳුනාගෙන ඒවා දූරදර්ශීව යෙදවිය යුතුව තිබුණි. කුඩා රටක් වන සිංගප්පූරුව ලෝකයේ ප්‍රකට ආයෝජකයන් කැඳවා නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගෙන ඇත. ඩුබායි රාජ්‍යය ආසියාවේ මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඉන්දියාව දැවැන්තම ආහාර නිෂ්පාදකයා බවට පත්ව සිටී. මෙවැනි පියවරකට ගමන් කරන්නේ හුදෙකලා රටවල් වශයෙන් නොවේ. වෙළෙඳ ගිවිසුම්, ආයෝජන දිරිගැන්වීම් සහ ප්‍රතිඅපනයන අංශ සම්බන්ධ කරගෙනය.

තේ, රබර්, පොල් හා සුළු අපනයන බෝග සඳහා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියකට පත්ව තිබුණි. මෙම වැවිලි අපනයනය අධිරාජ්‍යවාදී රාමුව අනුව වසර පන්සියයකට එපිට අවකාශයක් සඳහා නිර්මාණය වූ එකකි. අද වෙළෙඳ පොළ අවශ්‍යතාව වෙනස් වී ඇත. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන සමස්ත විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වේ. විශාල ඉඩම් ප්‍රමාණයක්, සෑහෙන ශ්‍රමයක් එයට යෙද වේ. මෙම ඉඩම්වල එයට වඩා උත්පාදනයක් සහිත අලුත් වැවිලි බෝග සඳහා හැරවීමක් කළ නොහැකිද? කෘෂි අංශයට එහි වගකීමක් ඇත. අනාගතයේ එන ආහාර හිඟයට සැලසුම් අවශ්‍යය.

රටට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කරන එහි බරින් පීඩාවට පත්ව සිටින අපි මන්නාරම මුහුදු පතුලේ ඇති බොරතෙල් ගැන සිහින දකිමින් සිටිමු. ත්‍රිකුණාමලය හෝ හම්බන්තොට පරිශ්‍ර ආවරණය කෙරෙන බොරතෙල් පිරිපහදු ජාත්‍යන්තර ආයෝජනයකට අවස්ථාව ඇත. නැගෙනහිර හා බටහිර යා කෙරෙන තෙල් සැපයුම ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ නිර්මාණය වී ඇති අතර එවැනි ආයෝජනයකින් උපයාගත හැකි වාසිය රටට මහත් ආස්වාදයක් වනු ඇත. එහෙත් මේවා දැවැන්ත ආයෝජන වන අතර රටවල් හා සංවිධාන එකතු කරගැනීමට දැක්මක් තිබිය යුතුය. අතුරු නිෂ්පාදන වශයෙන් ලබාගත හැකි ලිහිසි තෙල්, ගෑස්, යූරියා සහ තාර මිශ්‍රණ මෙරට ආර්ථිකය අලුත් මාවතකට යොමු කරනු නිසැකය. නිර්භීත තීරණ අවශ්‍යය. අලුත් ආර්ථික සැලැස්මක් ගොඩනගන උපදේශනය මෙහිදී වැදගත්ය. ලෝකයේ ප්‍රකට සමාගම් කැඳවීම සඳහා ගැළපෙන දේශපාලන ස්ථාවරභාවය සහ එය තුළින් ඇති කරන විශ්වාසනීයත්වය අපට අවශ්‍ය කෙරේ.

පෞද්ගලීකරණය රටට ආශිර්වාදයක් වනු ඇත

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ගැන සෑහෙන වතාවක් කරුණු පෙන්වා දී තිබේ. ජාතික සම්පත් වශයෙන් හඳුන්වන ඇතැම් ආයතන බංකොලොත් බෝඩ් ලෑලි පමණක් බව ජනතාව දැන් වටහාගෙන ඇත. මේවා වටිනා දේපළ බව හුවා දක්වන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු හිතවතුන් හා ආධාරකරුවන් නඩත්තු කරන අංශ බවට හරවා ගනිති. ඒවායේ ධනය යෙදවෙන්නේ දේශපාලනඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල ප්‍රතිරූප ගොඩනැගීමටය. ජනතාව වෙත පෙන්වන චිත්‍රයට යටින් වාසි උපයාගන්නා ක්‍රමය ඉතාම නිරර්ථක පැවැත්මක් රටට ඇති කර තිබේ.

ව්‍යාපාර මෙහෙයවන්නට ආණ්ඩුවලට හැකියාවක් නැත. රජයේ නීති අනුව වෙළෙඳාම් කළ නොහැක. දශක ගණනක් තිස්සේ රජයේ ව්‍යාපාර අසාර්ථක වී ඇති අතර ඒවායේ අලාභ ජාතික ආදායම විනාශ කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය මෙහෙයවන්නට සම්බන්ධ කරගන්නා ඉතාම දක්ෂ කළමනාකරුවෝ ඉතාම කෙටි කාලයකින් දේශපාලන අණට අනුව හැසිරෙන අදක්ෂ පුද්ගලයෝ බවට පත් වෙති. අවසානයේදී චෝදනාවලට ද ගැරහීමට ද ලක්වෙති. මෙම ක්‍රම වෙනස් කරනු සඳහා පෞද්ගලිකකරණය දැනට ගැළපෙන උපායකි. ඛනිජ තෙල් අංශයේ කොටසක් සහ වරාය පරිශ්‍රයේ කොටසක් පෞද්ගලික අංශයට පැවැරීමෙන් තරගකාරීත්වයක් හා ඉහළ ආදායම් උත්පාදනය කර දී තිබේ. විදුලි සංදේශ සේවාව පෞද්ගලීකරණය කිරීම ඉතාම විශිෂ්ට ප්‍රතිඵල අත් කර දී ඇත. එම තීරණය නොගෙන සිටියේ නම් ශ්‍රී ලංකාව තාක්ෂණ යුගයට ඇතුළු නොවේ. සන්නිවේදනය සඳහා දැවැන්ත පිරිවැයක් දැරිය යුතු වනු ඇත. එකී අංශයේ තවත් වෙනස්කම් කළ යුතුය. රක්ෂණ, විදුලිය බල, ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍රවල කළ හැකි වෙනස්කම් පාරිභෝගික ජනතාවට වාසි අත්පත් කරදෙනු ඇත. ගුවන් සේවය හා ගුවන් තොටුපොළ තවත් ආයෝජන අවස්ථාවකි. බැංකු හා මුල්‍ය අංශයෙහි ද දැවැන්ත පරිවර්තනයක් කළ හැක. පැරණි යෙදවුම් ක්‍රමවල සිරවී සිටින අංශ නවීන යුගයට හැරවීමෙන් නිසි ජයග්‍රහණ අත්පත් කරගත හැක. එය ආයෝජන අංශවලට ද ප්‍රතිලාභ ඇති කරයි.

ආර්ථික සමානාත්මතාවක් සඳහා

ආර්ථිකයෙහි ඵලදාව රජය සතු කරගැනීම පමණක් නොව ආණ්ඩුවලට හිතවත් පාර්ශ්වවලට පමණක් උරුම කර දීමෙන් උද්ගතව ඇති ගැටලු මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තුන්වැනි විවෘතකරණයක් අවශ්‍යය. එය සමාජයට සාධාරණය හා යුක්තිය ඉටු කරනු ඇත. තෝරාගත් පිරිසකට පමණක් අවස්ථා ලැබෙන, එම අවස්ථා දේශපාලනය විසින් තීරණය කරනු ලබන ව්‍යුහය විශාල විනාශයක් කර තිබේ. ගාලුමුවදොර ඇතුළු රට පුරා තැන තැන පැන නැගී ඇති අරගල එහි ප්‍රතිඵලයකි. 1971දී හා 1987 කාලයේ දී දකුණේ තරුණයන් නැගී සිටියේ අවස්ථා සඳහාය. තරුණ නැගිටීම වටහා ගැනීමට උත්සාහ නොකළ මෙරට ගතානුගතික දේශපාලන ක්‍රමය තරුණ මත යටපත් කළේ මර්දනයකින් බව අමතක කළ යුතු නැත. උතුරේ සන්නද්ධ ව්‍යාපාරය අවසානයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් දක්වා පැතිරිණ. ආර්ථික පීඩනයෙන් කුල බේදයෙන් මිරිකී සිටි තරුණ පිරිසක් ක්‍රමය වෙනස් කරන්නට වෑයම් කළහ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඔවුන්ගේ අදහස් වටහා නොගත් අතර දේශපාලනයෙහි ඇති දැඩි රාමුගත ව්‍යුහය ඔවුන්ගේ නියෝජනයකට ඉඩ ආවරණය කර තිබුණි. ත්‍රස්තවාදය පරාජය කරන ලද නමුත් දකුණ හා උතුර අවධාරණය කරන ලද කරුණුවලට විසඳුමක් සපයා නැත.

ගාලුමුවදොර අරගලකරුවන් කෑ ගසා කියන අදහස් පැහැදිලිය. එහෙත් ක්‍රමය විනාශ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත. තමන් සියලුම දේ දන්නා බව සිතන, අන්‍ය අදහස්වලට එකඟ නොවන පිරිසක් අරගලය තුළ සිටිති. අරමුණක්, දැක්මක් නැති විප්ලවවලින් සංවර්ධනයක් සිදු නොවේ. තරුණ පරපුර බිලිවීම හැර අනෙකක් සිදු නොවේ. විනයක් සහිත, සමාජ එකඟතාවක් සහිත බලවේගයකට ක්‍රමය වෙනස් කළ හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රම සහ දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය නොවීම වරදකි. පක්ෂ විවෘත විය යුතුය. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හිතවාදී කණ්ඩායම්වලට ගොනුවූ පසු තරුණයන්ට ඇතුළුවෙන අවස්ථාවක් නැත. මෙකී තත්ත්වය දැනගෙන නිර්මාණය වන අලුත් දේශපාලන පක්ෂ පවතින ක්‍රමයට විකල්පයක් වී නැත. අලුත් දර්ශනයක්, ප්‍රතිපත්තියක් රහිත පමණක් නොව ප්‍රධාන ධාරාවේ පක්ෂවලින් ගිලිහෙන ඡන්ද එකතු කරන ව්‍යාපාර බවට පත්ව තිබීම කනගාටුදායකය. අධි තාක්ෂණික යුගයේ, සමාජ ආර්ථික ව්‍යුහය ඔරොත්තු දෙන දේශපාලනයක් ගොඩනගන්නට අපි අසමත්ව සිටිමු. සමාජ මාධ්‍ය තුළ හැසිරෙන, තරුණන්ගේ වේදනාව තේරුම් ගත යුතුය. තරුණ නැගිටීම් පාලනය කර වැඩිහිටියන් අවස්ථා හදාගත් රටක් වශයෙන් අතීතයෙන් උගත් පාඩම් අමතක කළ යුතු නැත. මර්දනය මෑත ඉතිහාසයේ ඛේදවාචක අතර තිබේ. පැන නැගී ඇති විරෝධතාවලට දෙන අන්තිම - පියවර කුමක්ද? උත්තරය ගැන අපට අවබෝධයක් තිබේද?

අවස්ථා නිර්මාණය වන, ජනතාව අතට බලය ලැබෙන නිර්බාධී ආර්ථික ක්‍රමයකට ගමන් කළ යුතුය. දේශපාලන ගැතිකම්, නිලධාරිවාදය, අසංවිධිත සංවර්ධනය ජනතාව හෙළාදකින අතර තරුණ පරපුර එහි වැරදි නිරීක්ෂණය කරමින් සිටිති. උසස් අධ්‍යාපනයෙන් පසු රජයේ සේවයට ඇතුළත්වීම අරමුණ විය යුතු නැත. දක්ෂතා ඇති දරුවන්ට ව්‍යවසායකත්වයට දොරටු විවෘත කළ යුතුය. මුහුණු මාරු කිරීමෙන්, ඇමැති චරිත වෙනස් කිරීමෙන් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ව්‍යවස්ථා වෙනස් කිරීම උත්තරයක් නොවේ. පත්වන අපට මුහුණ දෙන්නට සිදුවී ඇති ආර්ථික අර්බුදය බරපතළ එකකි.

ඉදිරි වසරක දෙකක කාලය තවත් දුෂ්කරය. කැපවීමෙන් සැලසුමක් සකස් කර නොගතහොත් ප්‍රශ්න තවත් සංකීර්ණ වනු ඇත. විසඳන ක්‍රමය සඳහා මැජික් විසඳුම් නැත. පසුගිය දශක හතහමාරක කාලයක් ණයට ගත් ධනයෙන් ජීවත් වී තිබේ. උත්පාදනයක් සිදුවී නැත. ආදායමෙන් සියයට අසූවකට වඩා ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කරන රටකි.

ජාතික ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා ණය පොලිය ගෙවන්නට වැය කෙරේ. මෙම තත්ත්වය පාවෙමින් පැවැති අතර හදිසියේ ඇති වූ අකර්මණ්‍යතා රට බෙලහීන කළේය. මැදි ආදායම් ජන කොටස තමන්ගේ අවහිරතා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ආපසු හැරවීම සඳහා සියලුම දෙනා එකතු විය යුතු අතර පවතින අර්බුදයෙන් තමන්ගේ අවස්ථාව ලබාගන්නට තැත් කිරීම සුදුසු නැත.

Posted On Wednesday, 01 June 2022 10:40
 

සිය 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උපන්දිනය දා විශේෂ ආයාචනයක් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අප සැමට හුස්ම ලබාදෙන පිරිසරය ආරක්ෂා කිරීමට දායකත්වය දක්වන ලෙසයි.

සිය උපන්දිනය මෙන්ම ජිවිතයේ සෑම සුබ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජිවත් කරවන පරිසරය සුරකින්න දායකවන්නැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් සිදුකර සිටියා.

Posted On Thursday, 03 September 2020 10:03

ලෝකය මවිත කළ අයින්ස්ටයින්ගේ ක්වොන්ටම් නියමය වෙනුවෙන් ආචාර්ය උපාධියක් දීම ප්‍රතික්ෂේප කළ ඓතිහාසික ලිපිය

ලෝකය වෙනස් කරමින් අද්විතීය මත ඉදිරිපත් කළ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් වටහාගත නොහැකි වූ සමාජය ඔවුන් පිස්සන් හෝ සිහින දකින්නන් ලෙස සලකා බැහැර කළ අවස්ථා විද්‍යා ඉතිහාසයේ සුලභව හමුවෙයි.

Posted On Thursday, 29 December 2016 14:58