Tuesday, 29 September 2020

සුන්දරත්වයෙන් පිරුණු බිහිසුණු නගරය

Posted On Tuesday, 04 August 2020 03:28

 

2020-08-04 කඳු මුදුනේ පිහිටි බුබුළු දමන පොකුණකි. එකක් නොව මෙවැනි පොකුණු සිය ගණනක් එහි තැනින් තැන තිබේ. හුස්ම ගන්නා විට දැනෙන්නේ ගෙන්දගම් සුවඳය. මෙහි ඇති අනතුරුදායක බව දැනගත් විට කෙනෙකුට එන්නට නොසිතෙන තරමටම එය බිහිසුණුය. රුදුරු බව සඟවා ගනිමින් මෙලෙස කෙටි නින්දකට වැටී සිටින්නේ ඉතාලියේ ‘කැම්පි ෆ්ලෙග්‍රෙයි’ (Campi Flegrei) ගිනිකන්දය. ලොව ඇති බිහිසුණුම ගිනි කඳු 20 අතරින් එකක් වන එය විසුවියස් ගිනිකන්දටත් වඩා බියකරු බව සැලකේ. මෙවැනි ගිනිකන්දක් සාමාන්‍ය ගිනිකන්දකට වඩා දහස් ගුණයකින් පමණ අනතුරුදායකය. විසුවියස් ගිනිකන්දට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇති මෙය වර්තමානයේදී එය උපරිම ධාරිතාවයෙන් පුපුරා ගියහොත් පොම්පෙ නගරයම විනාශ කරමින් විසුවියස් ගිනිකන්ද පුපුරා ගිය තරමටත් වැඩි විනාශයක් කරනු ඇති බව ගිනිකඳු පිළිබඳ විශේෂඥයන්ගේ අදහසය. වාසනාවකට වසර දහස් ගණනකින් එය පූර්ණ වශයෙන් විදාරණය වී නොමැත.

 


03volcano_sannasa.jpg

කෙසේ වුවද, එසේ නොවූ පමණින් මෙලෙස නිදා සිටින නපුරු යෝදයා අවදි නොවේ යැයි කියන්නට නොහැකිය. නිරන්තර අවධානයෙන් පසුවන විද්‍යාඥයන් වසර 2012 දී අනතුරු ඇඟවීමේ මට්ටම කොළ පැහැ කලාපයේ සිට කහ පැහැ කලාපයට යොමු කළේ එබැවිනි. තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවට ඉන් අදහස් කෙරේ. ඉකුත් අප්‍රේල් මාසයේදී විවිධ පරිමාණයෙන් භූමි කම්පා 34ක් පිළිබඳ නිරීක්ෂණය වීමත් සමග මේ අවදානම තවත් ඉහළ ගොස් ඇත.

ගිනිකන්දේ උණුදිය උල්පත්ද සැලකිල්ලට ගනිමින් ඉතාලි අර්ධද්වීපයේ පිහිටි අයස්කාන්ත නිකේතනයන්ගෙන් සමන්විත නගරයක් ලෙස ප්‍රකට Baiae නගරය පුරාණ රෝම වැසියෝ මෙහි නිර්මාණය කළහ. අගනා මාබල්, විසිතුරු භාණ්ඩ, මූර්ති ආදියද සමග මේ නගරයේ අඩක් පමණ සියවස් ගණනක් තිස්සේ මධ්‍යධරණී මුහුදේ ගිලී පවතී. අද වන විට මෙම අගනා පුරාවිද්‍යාත්මක උරුමය ගිනිකන්ද පුපුරා යාමේ හෝ භූමිකම්පන හේතුවෙන් සෘජුව තර්ජනයට ලක්ව ඇති අතර සමුදුරු පත්ලේ පැවැතීම නිසා වක්‍රවද අවදානමට ලක්ව ඇත. යම් හෙයකින් ගිනිකන්ද පුපුරායාමක් සිදුවන්නේ නම් එයද, භූමිකම්පාවක අවදානමද කල් තබා දැනගැනීමට රෝමානු වැසියන්ට ක්‍රමවේද කිහිපයක් විය. එහෙත් තම නගරය රැක ගැනීමට කළ හැකි කිසිවක් නොවූයේ එය ක්‍රමයෙන් සාගරය විසින් ග්‍රහණයට ගනිමින් තිබූ බැවිනි. කෙසේ වුවද එය තවදුරටත් සත්‍ය නොවන තත්ත්වයක් ඇති වී ඇත. ඒ සාගරයෙන් යටවී ඇති මෙම අගනා පුරාවිද්‍යාත්මක උරුමය මතුපරම්පරාවන්ට ඉතිරි කොට තැබීම සඳහා පුරාවිද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් කණ්ඩායමක් මවිත කරන ලෙස නව තාක්ෂණය යොදාගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින බැවිනි. මෙහි මුල් පදිංචිකරුවන් වූ රෝම වැසියෝ මෙම භූමිය හැඳින්වූයේ ගිනිගන්නා යන අරුත දෙන Phlego නම් ග්‍රීක වදනිනි. ඉංගිරිසියෙන් Phlegraean held යනුවෙන් ව්‍යවහාරයට ආවේද එයමය. Campi Flegre ගිනිකන්දේ බිහිසුණු බවට හේතුව එහි විශාලත්වය හෝ ප්‍රබලත්වය පමණක්ව නොවේ එහි ඇති අහම්බයන්ද නිසාය. විසුවියස් ගිනිකන්ද පුපුරා ගිය විට ලාවා දහරා ගලා යාම පිළිබඳ අනුමාන කළ හැකි වුවද මෙහිදී එසේ කළ නොහැකිය.

 


01_volcano_sannasa.jpg

‘හැමදාම සක්‍රිය වෙන්නේ එකම ස්ථානයක් නොවෙයි. හැම විදාරණයකටම ඊටම ආවේණික කොටස් වගේම ස්ථානයකුත් තියෙනවා.’ ගිනිකඳු පිළිබඳ විශේෂඥයකු වන මොරා එය පැහැදිලි කරන්නේ එලෙසය. ‘මේ නිසා කවදා මෙය පුපුරා යාවි ද කියලා අපට නිශ්චිතව කීමට හැකියාවක් නෑ. යම් විදිහකින් මෙය යළි සක්‍රිය වුවහොත් ඊළඟ පිපිරීම කවදා වෙයිද කියලා අපට සිතාගැනීමට නොහැකියි.’ ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙහි ඇති අවදානමය.

අනෙක් අනතුර එහි ක්‍රියාකාරීත්වයයි. Campi Flegrei ගිනිකන්ද සක්‍රිය වූ විට එහි 90%ක්ම සිදුවන්නේ පිපිරුමකි. අන් අයුරකින් කිවහොත් මෙය පුපුරා ගිය විට අන් ගිනිකඳුවලදී මෙන් ලාවා දහරා පොළව මතුපිටින් ගලා ඒමක් සිදුවන්නේ නැත. මෙහිදී සිදුවන්නේ එම ලාවා ගුවනට විදීමකි. ඒ සමග නිකුත් වන අළුවලින් අහස අඳුරු වේ. මේ නිසා ඒ අවට සිට හුස්ම ගැනීම අපහසුවන අතර හාත්පස දැකීමද අපහසුය.

වසර 39,000කට ඉහතදී මෙම ගිනිකන්ද පුපුරා ගිය විට සිදුවී ඇත්තේ එයයි. එය එම විශාලතම පිපිරුම වූ අතර උණු පාෂාණ කැබලි කි.මී. 70ක් තරම් ඉහළට විසිවන්නට ඇතැයි පැවැසේ. මෙහිදී පිට වූ අළු සයිබීරියාව වැනි දුර ඈත ප්‍රදේශවලින්ද සොයැගැණිනි. මෙම පිපිරුමෙන් පසු ඊළඟ වසර කිහිපයේ ඇති වූ ශීත දේශගුණය නියැන්ඩර්තාල්වරුන්ගේ අවසානය සලකුණු කරන්නට ඇති බව පිළිගැනේ. මීට වසර 15000කට ඉහතදී ද Campi Flegrei යළි පුපුරා ගියේය. මේ පිපිරුම පෙර වතාවේ තරම් දරුණු නොවිණි. එහෙත් සැලකිය යුතු ටුෆා පරිමාවක් වායුගෝලයට නිදහස් විය. එය නේපල්ස් නගරයේ අද දකින වර්ණ ඊට ලබාදීමට තරම් ප්‍රමාණවත්වය. ඉන් නිර්මිත පාෂාණවලින් දේවස්ථාන උමං මාර්ග ආදිය ඉදිවිය. උමං මාර්ගවල ඇති රන් පැහැය ලැබී ඇත්තේ ඒවායිනි.

අවසන්වරට එය පුපුරා ගොස් ඇත්තේ වර්ෂ 1538දීය. ඊට පෙර පිපිරීම් 2 හා සසඳන විට මෙය කුඩා පිපිරීමකි. කෙසේ වුවද එය කි.මී. 5.5ක් තරම් ඉහළට අළු සහ යමහල් විසුරුවාලීමට තරම් පිපිරීමකි. ඉන්පසු මීටර් 123ක් තරම් උස් කන්දක් අලුතින් නිර්මාණය විය. යම් හෙයකින් එවැනි පිපිරුමක් වර්තමානයේ සිදුවුවහොත් ඉතාලියේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වන නේපල්ස්හි දරුණු විනාශයක් ඇති වනු ඇත.

02volcano_sannasa.jpg

අපේ ජීවිත කාලයේ එවැනි විනාශයක් විය හැකිද? විද්‍යාඥ මොරා ඊට පිළිතුරු දෙන්නේ,

‘අපට ඒ ගැන හරියටම කියන්න අමාරුයි. ඕනෑම සක්‍රිය ගිනි කන්දක් පුපුරා යාමට හැකි බව අප දන්නවා. පැහැදිලිවම අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එසේ නොවේවා කියලයි.’

ඒ සමගම ඔහු කියන්නේ බලාපොරොත්තු අත්හැර නොගන්නා ලෙසයි. ‘විසුවියස් වගේම මේ Campi Flegrei ගිනි කන්දක් අපේ සඟයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා... විසුවියස් නිරීක්ෂණය එවැනි ලොව පැරණිම නිරීක්ෂණයයි. ඒ නිසා අපට යම් සැනසිල්ලක් දැනෙනවා.’ එවැනි සමීප නිරීක්ෂණ මගින් යම් පිපිරුමක් පිළිබඳ මාස කිහිපයකට පෙර අනතුරු ඇඟවීමට හැකියාව ලැබේ. එවිට නාගරික ප්‍රදේශ ආරක්ෂිතව හිස්කිරීමට පුළුවන. එම දත්ත, ගිනි කඳු විශේෂඥයන්, එක්රැස්කරන එකම දත්ත සමුදාය නොවේ.

විසුවියස් මෙන්ම Campi Flegrei පිහිටි ප්‍රදේශයේ ඇති පාෂාණද දැඩි නොවන අතර ඉදිකිරීම් සඳහා භාවිතය පහසුය. එමෙන්ම එහි මිදි, ලෙමන් වැනි වගාවන් සඳහා සරු පොළවකි. වෙරළ අඩසඳ වැනි ස්වභාවයකින් යුතුවීම නිසා මුහුදු බොක්කද නිර්මාණය වී තිබේ. යම් හෙයකින් විශාල ගිනි කඳු පිපිරීමක් ඇති වුවහොත් මේ සියල්ල වෙනස් වනු ඇත.

කල්දේරාවේ නැගෙනහිර අන්තයෙන් බැලූ විට පුරාවිද්‍යාත්මක භූමිය ඉහළින් පෙන්නේ මහ සයුරය. ආරුක්කු, තාප්ප, ටෙරය ආදියෙන් සමන්විත එම භූ දර්ශනය ලේයර් කේක් එකක් බඳුය. එවක Baiae යනු ධනවත් හා වංශවත් රෝමන්වරු නිවාඩුගත කිරීම සඳහා තෝරාගත් ජනප්‍රියම නගරය විය. එය පුරාණ ලෝකයේ ලාස්වේගාස්ය. එදා තේජාන්විතව දිස් වූ මූර්ති බිතුසිතුවම්, මාබල් ආදිය අද දැකගත හැකිවන්නේ Campi Flegrei කෞතුකාගාරයේදීය. ඉතිරිව ඇති ගොඩනැගිලි සමහරක් සියවස් ගණනාවකට පෙර ඒවා පැවැති අයුරු සිහිපත් කරති. නේපල්ස් සරසවි බිමෙහිද එම ඉපැරණි ශ්‍රී විභූතියේ මං සලකුණු දිස්වේ.

ආදි රෝමානුවන් මෙහි එන්නට ඇත්තේ අද අප වාසස්ථානයක් තෝරාගැනීමේදී සලකා බලන සාධකද සැලකිල්ලට ගනිමින් බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අතර දේශගුණය මෙන්ම උණුදිය උල්පත් වැනි විශේෂ කාරණාද තිබේ. Baiae නගරය පිළිබඳ පැරැණිම ලිඛිත මූලාශ්‍ර හමුවන්නේ ක්‍රි.පූ. 178 දී පමණය. රෝමන්වරු එය තෝරාගත්තේ විනෝදාශ්වාද මධ්‍යස්ථානයක් වශයෙන්ද සලකාගෙනය. රෝම අධිරාජ්‍යයේ පසුබෑම් ඇති වුවද Baiae හි කීර්තිය තවත් වැඩිවිය. මෙහි කලිගියුලා, පාලමක් ඉදිකළේය. නීරෝගේ මව ඇග්රිපිනා ඇය ජීවත් වූ මන්දිරය තුළදීම මරා දමා තිබුණේද මෙහිය. පසුකාලීනව හේඩ්‍රියන් අධිරාජ්‍යයාගේ අවසානය සාමකාමීව සිදුවූයේද මේ නගරයේ පිහිටි ඔහුගේ මාලිගයේදීය.

සෙනෙතා වැනි දාර්ශනිකයන් Baiae තෝරාගැනීම ගැන මවිත විය යුතු නොවේ. ඔහු ජීවත්වූයේ එහි පිහිටි කඳුගැටය මත වූ මන්දිරයේය. එය බාහිර පරිසරයෙන් තරමක් හුදෙකලා වූ ස්ථානයකි. සාගරයෙන් යට වූ Baiae ජියොවාන් කොකැසියෝ වර්ෂ 1344දී ලියූ නවකතාවේ හැඳින්වූ මිහිමත පිහිටි අතිශය දැකුම්කළු ස්ථානයක් වශයෙනි. වසර 2000ක් පමණ තිස්සේ මෙම නටබුන් සාගරයේ තැන්පත්ව තිබේ. ඒ ඇතැම් තැන්වල මීටර් 4.6ක් තරම් නැතිනම් මීටර් 10ක් තරම් ගැඹුරිනි. නගරයෙන් අඩක් පමණ ඇත්තේ සාගරයට යටවීය.

මිනිසුන්ගේ පමණක් නොව සමුදුරු ජීවින්ගෙන්ද වසන් වූ ඇතැම් කලා නිර්මාණ මුහුදු වැල්ලෙන් වැසී ගොසිනි. තවමත් පෙනෙන්නට ඇති නිර්මාණවල ඉරණම එතරම් සුන්දර නැත. ධීවරයන් මගින් ඒවා කළුකඩයේ අලෙවි වන බවට මත පළවේ. මෙම සමුදුරු පුරාවිද්‍යාත්මක භූමියේ මූර්ති හා කලා නිර්මාණ මෙන්ම වෙනත් පුරාවිද්‍යා කොපමණ තිබේදැයි කිසිවකුත් නිශ්චිතව දැන නොසිටීමද ඊට හේතුවකි. මේ නිසාම පුරාවිද්‍යාත්මක මංකොල්ලයන්ට කොපමණ ගොදුරුවී තිබේදැයි පැවැසීමටද නොහැකිය.

වර්ෂ 2002 දී සාගරයට යට වී ඇති හෙක්ටයාර් 177ක පෙදෙසක් සමුද්‍ර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහි කිමිදුම් කටයුතුවල යෙදීමට අවසර ඇත්තේ බලපත්‍රලාභී කිමිදුම්කරුවන්ට පමණි. ප්‍රදේශවාසීන් පවත්වාගෙන යන ලියාපදිංචි කිමිදුම් ව්‍යාපාර ස්ථාන මගින් මාර්ගෝපදේශකයන්ද සහිතව ඊට අවසර හිමිවේ. මෙම අගනා උරුමයේ පළමු ආරක්ෂකයන් වන්නේ ඔවුන් බැවින් මෙහිදී විශාල වගකීමක් ඔවුන්ට පැවැරී තිබේ. මෙවැනි ව්‍යාපාර ඔස්සේ පුරාවස්තු මංකොල්ලය පාලනය කර ගැනීමට හැකිවී ඇතත් තවත් අභියෝග තිබේ.

මෙය සාමාන්‍ය පුරාවිද්‍යාත්මක උද්‍යානයක් නොවේ. එය මත ආරක්ෂිත වැටක් ඉදිකළ නොහැකිය. වසා දැමීමටද නොහැකිය. එය සැමදාමත් හැම මොහොතකම ඇත්තේ විවෘතවය. එමෙන්ම එය සැමවිටම සමුදුරු ජීවීන්ටද, උදම් රළ ඇතුළු මුහුදු රළ ප්‍රවාහයන්ටද විවෘතය. මිනිසුන්ට අභිමුඛව පවතින්නේය. එබැවින් එම සංරක්ෂණ කාර්යයන් පහසු නැති බව සමුද්‍ර පුරාවිද්‍යාඥයෝ පවසති. එම කාර්යයන්හි 1993 සිට නියැළෙන බාබරා ඩෙජම් ඇතුළු පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම කලා නිර්මාණ සංරක්ෂණය කිරීමේදී බැක්ටීරියා, ස්පොනජි සමුදුරු ජීවය අභියෝගයක් බවය. මෙම ජීවීන්ගේ වාසස්ථාන බවටද ඒවා පවතී.

‘වැලිවලින් වැසී ඇති මෙවැනි පුරාවස්තු මතු කරගන්නවාත් සමග සමුදුරු ජීවීන්ගේ වාසස්ථාන බවට ඒවා පත්වෙනවා. එතැන් සිට ඔවුන්ගේද ක්‍රියාවන් හේතුවෙන් ඒවා විනාශයට ලක්වෙනවා.’ එම ඇතැම් ලකුණු පියවි ඇසින් දැකිය නොහැකිය. අන්වීක්ෂීය පෙනුමකදී දැකිය හැකි සියුම් සිදුරුවලින් කියාපාන්නේ එහි ස්වභාවයයි. Campi Flegrei සමුද්‍ර කෞතුකාගාරයේදී මෙවැනි පුරාවස්තු බොහෝමයක් දැකගත හැකි වේ. පැරණි රෝම ප්‍රතිමාවල අත් පා හිස් ආදිය දැකගත නොහැක්කේ බොහෝ විට එබැවිනි. ක්‍රි.පූ. 1 වැනි සියවසට අයත් සියුස් ප්‍රතිමාව මේ විනාශයේ තරම මනාව කියා පාන්නේය. මෙය මංකොල්ලකරුවන් විසින් සොරාගෙන තිබූ බවද සඳහන් වේ. කාලයක් ලොස් ඇන්ජලිස් කෞතුකාගාරයක තිබූ එය 2018 වසරේදී මෙම කෞතුකාගාරයට යළි භාරදී තිබේ.

ඩේවඩ් පවසන පරිදි Baiae වැනි පුරාවිද්‍යාත්මක භූමියක් ලොව අන් කිසි තැනක ඇතැයි සිතිය නොහැකිය. එබැවින් මේ අමිල උරුමය රැකගැනීමට ඔවුහු වෙහෙසෙති. සාගරයේ කිමිදෙමින් ඉපැරණි මැදුරක නටබුන් අතර සැරිසරා ඔබ්බට යන විට ගිනිකඳු විවරද හමුවේ. එවැනි තැනක ජලයද ඉතා උණුසුම්ය. මෙබඳු ස්ථානයක් හමුවීම යනු ඔබ මේ කිමිදෙමින් සිටින්නේ රමණීය පුරාවිද්‍යාත්මක පෙදෙසකි. අතීත සැමරුම් අතර පමණක් නොව ලොව පුරා බිහිසුණු ගිනි කන්දක අබියස බව සිහිපත් කර දීමකි.

•ධම්මික සෙනෙවිරත්න අරුණ පුවත්පත 

Read 64 times