කතුවැකිය
මහබැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම
ලංකාවේ අනාගතය පිළිබඳ මේ දිනවල බොහෝ පුරෝකථන සිදුවෙමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් පසුව දින කිහිපයක් ඉක්ම යද්දී එම පුරෝකථනවල බර වැඩි විය. ඒ අතුරින් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ ප්‍රකාශය කැපී පෙනෙයි.
හැකි ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතු බවත් එසේ නොකළහොත් සතියක් දෙකක් බලා තමා ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ රටක දේශපාලන සහ සමාජමය අස්ථාවරත්වයක් තිබෙන තත්ත්වයක් තුළ කිසිදු ජගතකුට ආර්ථිකය ගොඩ දැමිය නොහැකි බවය. තමා මේ සම්බන්ධයෙන් රටේ නායකයන්ටද වෙනත් වගකිවයුතු පාර්ශ්වවලටද දන්වා තිබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය භාරගත්තේ රටේ ආර්ථිකය තිරිංග නොමැති වාහනයක් පල්ලමක් බසින තත්ත්වයක් පවතිද්දී බව නොරහසකි. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වී දින කිහිපයකදී ඉතා වැදගත් දැඩි තීන්දු ගණනාවක් ගනිමින් යන්තමින් වාහනය පල්ලමට යා නොදී තිරිංග යෙදීමට සමත් වූ බව රටටම දැනුණි. රටේ බැංකු පද්ධතිය පිළිබඳ සමස්ත රට තුළ පැවති අවිනිශ්චිතභාවය තුනී කිරීමට ආචාර්ය වීරසිංහ මහතා විසින් ගන්නා ලද එම තීරණ හේතු වූ බව මේ රටේ ආර්ථික විශ්ලේෂකයන් ගණනාවකගේ මතය විය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා අරඹා වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩනැගීම පිළිබඳ යම් බලාපොරොත්තුවක්ද ඇති කළේය.
ධුරය භාරගෙන කෙටි කාලයක් තුළදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එවැනි සාධනීය පියවර ගණනාවක් ගත් නව මහ බැංකු අධිපතිවරයා රටේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ පළ කරන මතය කෙරේ රටේ දේශපාලන අධිකාරියේ අවධානය වහාම යොමුවිය යුතුය. මේ අන්දමින් අස්ථාවර ආකාරයකින් රටට ඉදිරි ගමනක් නැත. අග්‍රාමාත්‍යවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලයකින් තොරව රට මේ අන්දමට තව දින කිහිපයක් පැවතියහොත් රට තුළ ඉන්ධන හිඟය, ගෑස් හිඟය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් උග්‍ර වනු ඇති බවටද මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවා තිබිණි.
කෙසේ වුවද ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ඉහත අදහස් දැක්වූ දිනයේම රාත්‍රියේ ජාතිය අමතමින් ප්‍රකාශයක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළදී පත් කරන බව සඳහන් කළේය. එම ප්‍රකාශයට අනුව යමින් නව අග්‍රාමාත්‍යවරයකු බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ දිව්රුම් දීමට සූදානමක් ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් විය. එය එසේ සිදුවීම රටේ යහපතට හේතු වන බව අමුතුවෙන් කිවයුතු නැත. අගමැතිවරයා ඊයේ සවස දිවුරුම් දුන්නේය.
නව මහ බැංකු අධිපතිවරයාද පත්කර ගනිමින් රට පුරා ඇතිවෙමින් තිබූ පෝලිම් ඇතුළු සමස්ත ආර්ථික අර්බුදයටම විසඳුම් සෙවීමේ මාර්ගයකට අවතීර්ණ වෙමින් සිටී. රටම කණපිට පෙරළුණේ ගාලුමුවදොර සාමකාමී අරගලයට සිදු කළ පාදඩ ප්‍රහාරය හේතුවෙනි. අඳබාල දේශපාලන තකතීරුවන් පිරිසකගේ මෙහෙයැවීමෙන් සිදුකෙරුණු එම මෘග ප්‍රහාරයත් ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් මේ රටේ දේශපාලන සහ ආර්ථික අර්බුදය ගොඩගැනීමට අමාරු අගාධයකට තල්ලු කර දමා තිබේ. ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී ආර්ථිකය නැංවීමට ගත් ශුභවාදී උත්සාහය එම සිද්ධි මාලාවෙන් ආපස්සට ගිය බවය. එසේ ආපස්සට ගිය උත්සාහයන් සියල්ල යළි ඉදිරියට හරවා ගැනීම අලුතින් පත්වෙන ආණ්ඩුවේ මුල්ම ඉලක්කය විය යුතුය. එසේ නොවුණහොත් ඉතා අමාරුවෙන් ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා සෑම උත්සාහයක්ම අසාර්ථක වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති පුරෝකථනය අලුත් ආණ්ඩුවකට කදිම මගපෙන්වීමක් කර තිබෙන බවද සඳහන් කළ යුතුය.
මේ රටේ මූල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුවට මේ දිනවල දොරගුළු වැටී තිබේ. එකදිගට රටේ සිදුවූ අරගල, ආවේගශීලී ජනතා නැගිටීම් හේතුවෙන් ඉතා උණුසුම් වූ පාර්ලිමේන්තුවේදී රටේ ප්‍රශ්න විසඳාගැනීමට කිසිදු හරවත් කතාවක් සිදු නොවීය. අවසානයේ ගාලුමුවදොර ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ ඇතිවූ කලහකාරී තත්ත්වය මගින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පවා ඉතා අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබේ. උද්ගතව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳාගැනීමට ආණ්ඩුවක අවශ්‍යතාව තදින්ම දැනෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නිහඬ වීම රටේම අවාසනාවකි.
රට ගොඩනැගීමට නම් මොන උප්පරවැට්ටියක් දමා හෝ ආර්ථිකය කෙළින් සිටුවිය යුතුය. ඒ සඳහා වඩාත්ම අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේ. එම අදහසට අනුව ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයාටත් අලුතින් පත්වන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් හැකි විය යුතුය. එසේ වුණොත් රට පිළිබඳ ශුභවාදී අදහසක තවදුරටත් රැඳී සිටීමට අප කාටත් හැකිවනු ඇත.
හොඳම විසඳුමට බාධා එපා
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කථාව රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. පවත්නා අර්බුදයෙන් රට මුදාගෙන යළි ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම සඳහා රාජ්‍ය නායකයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග එම කථාවෙහි ඇතුළත්ය. එය විවේචනයට ලක් කරන්නට පෙර සිහි නුවණින් යුතුව යථෝක්ත වැඩපිළිවෙළ විමසා බැලීමට තරම් අප කාරුණික විය යුතුය. මේ වන විට සමාජය තුළ ඇත්තේ සියල්ල විවේචනය කරන හා සියල්ල ප්‍රතික්ෂේප කරන නිෂේධනීය තත්ත්වයකි. සමහරු එම ආස්ථානය ද ඉක්මවා යමින් සියල්ල විනාශ කරන තැනකට තල්ලු වී සිටිති. එය රටේ තත්ත්වය වඩාත් සංකීර්ණ කරයි.
රාජ්‍ය නායකයාගේ කථාව විමසුමට ලක් කළ හොත් එහි ප්‍රධාන කරුණු හතරක් සංගෘහීත වන බව පෙනෙයි. පළමුවැන්න මේ මොහොතේ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පියවර ගනිමින් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට විධිමත් පියවර ගන්නා බවය. දෙවැන්න දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීම හා රාජ්‍ය පාලනය යථාවත් කිරීම සඳහා කාගේත් පිළිගැනීමට ලක් විය හැකි තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමය. තෙවැන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා දහ නව වන ව්‍යවස්ථාව යළි බලගැන්වීමට ප්‍රතිඥාවක් දීමය. හතරවැන්න මේ ක්‍රියාවලිය බලගැන්වීම සඳහා මහජනයාගේ පූර්ණ සහයෝගය ඉල්ලා සිටීමය. මෙහිලා මහජනයාගෙන් ලැබෙන සහයෝගය අතිශයින්ම වැදගත් වෙයි. මහජන සහයෝගයකින් තොරව පවත්නා අර්බුදය ජය ගත නොහැකි බව රාජ්‍ය නායකයා වටහාගෙන තිබේ.
මේ මොහොතේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇත්තේ ප්‍රචණ්ඩත්වය වළක්වා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමය. එහිම තවත් අංශයක් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු පාර්ශ්ව නීතිය හමුවට කැඳවීමය. සාධාරණ සමාජයක් තුළ එය අනිවාර්යයෙන්ම ඉටු විය යුතුය. ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට පහර දී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළ පාර්ශ්වවලට තරාතිරම හා පක්ෂය නොසලකා දඬුවම් දීමට ක්‍රියා කරන බව සඳහන් කරන රාජ්‍ය නායකයා පළමු සිද්ධියෙන් පසු ප්‍රති-ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීමට සහභාගි වූ පාර්ශ්වයන් ද නීතිය හමුවට ගෙන එන බව කියා සිටී. මෙය අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. ප්‍රචණ්ඩ ක්‍රියා කුමන පාර්ශ්වයක් විසින් සිදු කරන ලද්දේ වුව, ඊට නීතිය ක්‍රියාත්මක විය යුතුය.
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සංවාදය බොහෝ කාලයක සිට පවතින්නකි. 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් වන විටද, ඒ පිළිබඳ දැඩි විවේචන ගොඩනැඟිණි. ආචාර්ය එන්.එම්. පෙරේරා විධායක ජනාධිපති ක්‍රමය හැඳින්වූයේ මෙරට දේශපාලනය මුළුමනින්ම අවුල් කරන සාධකයක් හැටියටය. එහෙත් දේශපාලකයන් මෙන්ම ජනතාව ද එම ක්‍රමයට අනුගත වූ අතර, එය ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය තනතුරක් හැටියට තර්කයක් ද ගොඩනැඟිණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දේශපාලන පොරොන්දු පැවතිය ද ඒවා ඉටු වූයේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලරාමුව තව දුරටත් පුළුල් වන අණ පනත් සම්මත කර ගැනීම සිදු විය. මේ තත්ත්වය මහජනයාගේ අප්‍රසාදයට ලක් වූ අතර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු යනුවෙන් ප්‍රබල හඬක් මේ වන විට කරළියේ පවතී. රාජ්‍ය නායකයා ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර ව්‍යවස්ථානුකූලව එය ඉටු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. මෙය දේශපාලනයේ කදිම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහසකට ඊළඟට අවධානය යොමු කළ යුතුය. මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය පිළිබඳ ගැටලුව සති දෙකක් තුළ විසඳෙන්නේ නැත් නම් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවය. එය තීරණාත්මක අවස්ථාවක් බව කිව යුතුය. මහ බැංකු අධිපතිවරයා සිය තනතුර හැර ගිය හොත් ආර්ථික අර්බුදය යළිත් පටන්ගත් තැනටම කඩා වැටෙන බව පිළිගත යුතුය. ඒ අනුව පක්ෂ නායකයන් වහා එකඟතාවකට පැමිණ, තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය කල් නොහැර සිදු විය යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ වන විට ඒ පිළිබඳ සුභදායක තත්ත්වයක් වාර්තා වී ඇත. තාවකාලික ආණ්ඩුවේ අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද මහජන විශ්වාසය දිනාගත් පුද්ගලයන්ගෙන් සමන්විත වීම ඉතා වැදගත්ය. කෙසේ වුව ජනාධිපතිවරයා අර්බුදය විසඳා ගැනීමට සුදුසු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහු උපරිම උත්සාහය ගන්නා බව පෙනෙයි. ඊට සහයෝගය දැක්වීම මේ මොහොතේ අප සතු වගකීමක් සේ සැලකිය හැකිය.
අර්බුදයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි
‘‘ප්‍රමාදය මරණයට හේතුව’’ බව බුදු බණෙහි සඳහන්ය. සදාතනික සනාතනික සත්‍යයකි. මේ රට දැන් ඔප්පු කරමින් තිබෙන්නේ එයයි. නිසි කලට නිසි තීන්දු නොගැනීමේ වන්දිය මුළු රට ගෙවමින් තිබේ. ‘‘ගෝඨා ගෝ ගම’’ සෑම තැනම පැතිරී ඇත. එහි ජාත්‍යන්තර ශාඛාවක් ද ඉදිවී ඇත. ජනතාවගේ පුපුරා හැලෙන පීඩනය එමගින් මනාව පෙන්නුම් කරයි. අද රට අත්විඳිමින් සිටින අර්බුදය නොගෙන්වා ගැනීමට හැකියාව තිබූ බව පැහැදිලිය. එහෙත් නිසි තීන්දු නිසි වෙලාවට නොගැනීම නිසා මෙම අර්බුදය දරා උසුලා සිටිය නොහැකි තරමට වර්ධනය විය.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ මාර්ග පාලම් ආදී ප්‍රාග්ධනය වැය කෙරෙණ මහා පරිමාණ ව්‍යාපෘති නතර කිරීමට රජය තීරණය කර ඇති බවය. එමෙන්ම ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා සහන ඇතුළත් නව අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන බවය.
නිදහස ලැබී හැත්තෑ හතර වසරකි. මෙම හැත්තෑ හතර වසර තුළ අප රට පැමිණ තිබෙන්නේ ඉබාගාතේය. කිසිදු ක්ෂේත්‍රයකට අදාළව ජාතික ප්‍රතිපත්තියක් තවමත් සකස් කර ගැනීමට හැකි වී නැත. රට සංවර්ධනය කිරීමේදී ප්‍රමුඛතාව දිය යුතු අංග මොනවාදැයි වර්ගීකරණයක්ද නැත. ජනතාවගේ මතය වන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛතාවය හිමිවන්නේ යහමින් සල්ලි පිල්ලි ගැසිය හැකි ව්‍යාපෘතිවලට බවය. ඒවා හිතළු පමණක්ම නොවේ. සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් ඒ බව සනාථ කර ඇත.
මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රධාන දුර්ගුණය වන්නේ අනතුරුවල පරිමාව සම්බන්ධයෙන් නිරීක්ෂණ නොකිරීමය. කොරෝනා මාරක වසංගතය ආවේය. එය කල් ඇතිව දැනුම් දී පැමිණි වසංගතයක් නොවේ. එහෙත් එහි පරිමාව සම්බන්ධයෙන් අවබෝධයක් ඉක්මනින්ම ලබාගත යුතුව තිබිණි. එය එසේ වූයේනම් නිසි තීන්දු නිසි වෙලාවට ගැනීමට හැකියාව ලැබේ. එය එසේ සිදුවූ බව සාමාන්‍ය විශ්වාසය වීය. එය හරිහැටි පාලනය නොකළේ යැයි කිසිවකුට කිව නොහැක.
රට තුළ ආර්ථික අර්බුදයක් මතුවන බව ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළේ බොහෝ කාලයක සිටය. එමෙන්ම එම දරුණු ආර්ථික අර්බුදය කොරෝනා මාරක වසංගතය නිසා තවත් දරුණු වන බව වටහා ගැනීමට අමුතු නුවණක් ඇවැසි වන්නේ ද නැත. මන්දයත් එම ලෝක වසංගතය මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ග දෙකක් වන සංචාරක කර්මාන්තයට හා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලට මාරාන්තික බලපෑම් එල්ල කළ හෙයිනි.
මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතුව තිබිණි. එමෙන්ම මහ භාණ්ඩාගාරයේ තත්ත්වය නිවැරැදිව දන්නේ ද ආණ්ඩුවමය. මහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොපමණ කාලයක් රට කරවිය හැකි ද යන්න සම්බන්ධයෙන් ගණන් බැලීමක් කළ යුතුව තිබිණි. ඒ අනුව අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව තිබේ. එහෙත් එසේ නොකර ‘ඕනෑ දෙයක් වෙච්ච දෙන්’ යැයි කියන්නාක් මෙන් ඉබාගාතේ රට පැමිණ තිබේ.
සාමාන්‍ය තත්ත්වයකදීට වඩා අර්බුදකාරී අවස්ථාවක තීන්දු තීරණ ගැනීමට විශේෂඥ දැනුමක් ඇවැසිය. දක්ෂතාව යනු එයයි. එහිදී අර්බුදය සරළම අංශුවට කඩා විග්‍රහ කර ගත යුතුය. නිවැරැදි පින්තූරය මතුවන්නේ එවිටය. ඒ අනුව එයට මුහුණ දීමේ උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ගත යුතුය. අර්බුදය, අවස්ථාවක් බවට පත්කර ගත හැකි වන්නේ එවිටය. අර්බුදය ජය ගැනීමට හැකිවන්නේ එමගින් පමණි.
රටට මුදල් එන මාර්ග කඩතොළු වී තිබේ නම් මහා භාණ්ඩාගාරයේ සංචිත දියවී යමින් තිබෙන්නේ නම් වහා කළ යුතුව තිබුණේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමය. මිනිසාට ජීවත්වීමට ආහාරපාන, නිවාස හා ඖෂධ අවශ්‍ය වේ. වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ මිනිසාට තවත් අත්‍යවශ්‍ය බොහෝ දේ තිබේ. විදුලිය අත්‍යවශ්‍යය. ප්‍රවාහනය ද එසේමය. හැමෝටම නොවුණත් බොහෝ දෙනෙකුට, ගෑස් අවශ්‍යම වේ. විශේෂයෙන්ම නාගරික ජනයාට මෙන්ම මහල් නිවාසවල ජීවත්වන ජනයාට ගෑස් අත්‍යවශ්‍යම වූවකි.
මෙම සටහන තබන මොහොත වනවිට පැය ගණන් විදුලිය කැපේ. කිලෝ මීටර් ගණන් දුරට ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම් ද එසේමය. ඉන්ධන පෝලිම්වල මිය යාමේ ඉරණම බාර ගැනීමට රටේ පුරවැසියාට සිදුවී තිබේ. ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඒවාට ප්‍රමුඛතාව දුන්නේ නම් මේ තරම් පීඩනයක් ජනයාට අත්වන්නේ නැත. ‘‘අපි පාරවල් හදන එක නතර කරන්නේ නෑ’’ යනුවෙන් වාගාඩම්බර පාමින් කටයුතු කළා මිස අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමට වැඩ පිළිවෙළක් නොවීය.
මාර්ග පාලම් වැනි ප්‍රාග්ධනය වැය කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට රජය තීරණය කර තිබෙන්නේ දැන්ය. ගමේ ජනයා ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ කියා කීවේ නිකම්ම නොවන බව අද ඔප්පු වී තිබේ.
හෘදයසාක්ෂිය හා තිත්ත ඇත්ත
මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කථාවෙන් අප කාගේත් ඇස් ඇරෙන බව කිව යුතුය. එලෙසම එම කථාවෙන් රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන බව ද සඳහන් කළ යුතුය. එම කථාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතුය. පළමු කොටසින් කියැවෙන්නේ අපේ ආර්ථිකය පිළිබඳ ඇත්ත කතාවය. ආර්ථිකය ගැන පුරසාරම් කීමෙන් පලක් නැත. ජනතාව හමුවේ ඇත්ත පෙන්වා දිය යුතුය. ආර්ථිකය පිළිබඳ කරුණු සඟවන විට ජනතාව මුළා වෙති. එය සුදුසු දෙයක් නොවේ. දෙවන කොටසින් කියැවෙන්නේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ගත යුතු උපායමාර්ගයන් ගැනය. දැනටම ඒවා ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ.
අලි සබ්රි මහතා පෙන්වා දෙන අන්දමට අපේ විදේශ විනිමය සංචිතවල ප්‍රමාණය ඩොලර් මිලියන පනහකට වැඩි නැත. එය අතිශය දුෂ්කර හා අවාසනාවන්ත තත්ත්වයකි. ඉතා ඉක්මනින් විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට ක්‍රියා කළ යුතුය. නිදහසින් පසු ඇතිවූ දරුණුම ආර්ථික කඩා වැටීමට අපි මුහුණ දී ඇත්තෙමු. බදු කපා හැරීම, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මීට පෙර සාකච්ඡා නොකිරීම අර්බුදය උත්සන්න වීමට බලපෑ හේතු ලෙස හැඳින්විය හැකිය. අනවශ්‍ය ලෙස විදේශ ණය ලබා ගැනීම හා ආදායම් උත්පාදන මාර්ග සඳහා ගත් ණය යොදාගෙන නැති බව ද හෙළිදරව් වී ඇත. රට සතු විදේශ විනිමයෙන් වැඩි ප්‍රතිශතයක් ණය හා පොලී ගෙවීම සඳහා යොදා ගැනීමත් සුදුසු දෙයක් නොවේ.
ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම සඳහා පෙලැඹී ඇත්තේ එක්දහස් නවසිය පනස් ගණන්වල සිටය. එදා ණය ගෙවීම සඳහා දීර්ඝ කාලයක් ලබා දී තිබූ අතර පොලිය ද අදට වඩා බෙහෙවින් අඩුය. එහෙත් මුල් කාලයේ සිටම විදේශ ණය සම්බන්ධයෙන් සාර්ථක කළමනාකරණයක් නොවූ බව පෙනෙයි. 1977න් පසු විදේශ ණය ගැනීම වැඩි වී ඇත. පසු කාලයේදී ණය හා පොලී ගෙවීම සඳහා ද නැවත ණය ලබා ගෙන ඇත. එය මෑතක් වනතුරුම සිදු වී ඇත. ඉදිරියටත් එය කරන්නට සිදු වනු ඇත. ණය හා ආධාර නැතිව රට ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නැත. කවුරුන් ආණ්ඩු බලය ලබාගත්ත ද ආපසු ණය හා ආධාර ගැනීමට සිදු වනු ඇත. යථාර්ථය එයයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ආර්ථික අර්බුදය මාසයකින් දෙකකින් නිමාවට පත් වන්නේ නැත. අර්බුදය විසඳීමට තවත් වසර දෙකක කාලයක් වත් ගත වනු ඇත. එම කාලය තුළ යම් කැපවීමක් කිරීමට රටේ සියලු පුරවැසියන් සූදානම් විය යුතුය. මේ වන විට ජගත් මූල්‍යායතන කිහියක් සමඟ සාකච්ඡා පැවැත්වෙයි. ඒ හැරෙන්නට මිත්‍ර රාජ්‍යයන් අපට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටී. ඉන්දියාව, චීනය, අමෙරිකාව හා බංග්ලාදේශය ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. මිත්‍ර රටවල සහයෝගය ද මෙහිලා තීරණාත්මක සාධකයක් බව පෙන්වා දිය යුතුය. අමෙරිකාව ඩො.මි. 400ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකඟ වී ඇත. අපේ විදේශ ප්‍රතිපත්තියට අනුව ඕනෑම රටකින් ණය හා ආධාර ලබා ගැනීමේ හැකියාව පවතී.
මුදල් අමාත්‍යවරයා සිය කථාවෙන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න කරුණාකර සැබෑ තත්ත්වය වටහාගන්න යන්නය. දෙවැන්න මේ අර්බුදයෙන් ගොඩයෑම සඳහා සහයෝගය ලබා දෙන්න යන්නය. එක අතකින් දේශපාලන ස්ථාවරභාවය ඉතා වැදගත්ය. දුර්වල ආණ්ඩු සමඟ ගනුදෙනු කිරීමට ජගත් ආයතන පෙලඹෙන්නේ නැත. තවත් අතකින් රටේ කර්මාන්ත හා ව්‍යපාර හොඳින් පවත්වාගත යුතුය. අනාගතයේ දුර්වල ආර්ථිකයක් ඇති වෙතැ‘යි උපකල්පනය කළහොත් විදේශ ණය ලැබෙන්නේ නැත. රටේ පවත්නා සමාජ අස්ථාවරත්වය නිසා ආයෝජකයන් රටට එන්නේ නැත. අපේ ඇඟලුම් කර්මාන්තයෙන් ලක්ෂ තිහකට වැඩි පිරිසක් ජීවත් වෙති. ඒ හැරෙන්නට එය විදේශ විනිමය උපදන ප්‍රධාන ක්ෂේත්‍රයකි. එහෙත් රටේ පවතින ජන අරගල නිසා ඇඟලුම් කර්මාන්තය ශීඝ්‍රෙයන් පල්ලම් බසින බව දැක ගත හැකිය.
ගෙවී ගිය වසරේ වැඩ වර්ජන විසි ගණනක් පවත්වා ඇති බව ද එයින් වැඩ කරන පැය ලක්ෂ ගණනක් රටට අහිමි වූ බව ද කියති. ආයෝජන කලාපවල ඇතැම් කර්මාන්තකරුවන් තම ව්‍යාපාර රැගෙන බංග්ලාදේශයට පිලිපීනයට, නේපාලයට යන ප්‍රවණතාවක් මතු වී ඇති බව ද කියැවේ. වර්ජන, දේශපාලන ආරවුල් හා විදුලිය කැපීම වැනි හේතු සාධක නිසා විදේශ ආයොජකයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන. මේවා වෙනස් විය යුතුය. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ඉදිරියේදී ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙයි. බදු මුදල් වැඩි කිරී මට ද සිදු වෙයි. ආදායම් ලබන අය සාධාරණ මුදලක් රටේ පැවැත්ම වෙනුවෙන් ලබා දීම යුක්ති සහගත කාරණයකි.
ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න කොට රට අගාධයක් වෙත ගෙන යනවා ද? නැත හොත් සාමූහික ප්‍රයත්නයක් ඔස්සේ රට යථා තත්ත්වයට ගන්නවා ද? යන්න අප අපගේම හෘදය සාක්ෂියට තට්ටු කොට විමසා බැලිය යුතුය.
ජනතාවට සහන දෙන හැටි
රටේ දුප්පත්ම ජනතාව වෙත තවත් සහනයක් දීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව වැඩිහිටි දීමනා රෝගීන් සඳහා වූ දීමනා, ආබාධිතයන් සඳහා වූ දීමනා හා සමෘද්ධිලාභීන්ගේ දීමනා සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට තීරණය කර ඇත. මාස තුනක් සඳහා වැඩි කළ දීමනා ගෙවීමට ද තීන්දු කර ඇත. ආර්ථික අතින් අතිශය දුෂ්කර කාලයක් පැමිණ ඇති අතර, එහි පීඩනය තීව්‍ර ලෙස දැනෙන්නේ දුප්පත්ම ජනතාවටය. රජය එය වටහාගෙන රටේ පවුල් ලක්ෂ තිස්තුනක් වෙත මේ සහනය දීමට සූදානම් වෙයි. ඒ සඳහා වැය වන මුළු මුදල රුපියල් කෝටි එක්දහස් තුන්සිය තිස්හයක් බව ද සඳහන්ය.
රාජ්‍ය ආදායම් හීන වී ආණ්ඩුව ආර්ථික වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වෙත තල්ලු වී තිබුණ ද, පොදු ජනතාව වෙනුවෙන් දිය යුතු සහන දීමට ඉදිරිපත් වීම සුභදායක තත්ත්වයකි. ලෝකයේ ණය දෙන ආයතන ජනතා සහන කප්පාදු කළ යුතු බවට ද, බදු මුදල් වැඩි කළ යුතු බවට ද උපදේශන සපයන බව ද සත්‍යයකි. එහෙත් මෙකී ආයතන දිළිඳුම ජනතාවගේ සහන කපා හරින්නැයි නිර්දේශ දෙන්නේ නැත. රජයක වගකීම පොදු ජනයාගේ ජීවත් වීම පහසු කිරීමය. ජනාධිපතිවරයා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට නියමිතය. මේ සහන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉහත සාකච්ඡාවෙන් පසුවය.
මේ සහන වැඩසටහනත් සමඟ සෑම දීමනාවක්ම රුපියල් දෙදහස් පන්සියයකින් පමණ වැඩි වී ඇත. වැඩිහිටි දීමනාව රුපියල් දෙදහසක් වන අතර ඊට රුපියල් තුන්දහසක් එකතුකොට මාසිකව රුපියල් පන්දහසක් ගෙවනු ලැබේ. සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත හා වකුගඩු ආධාර ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින සියලු දෙනාට ද මසකට රුපියල් පන්දහස බැගින් ගෙවීමට තීරණය වී ඇත. මෙලෙස පොරොත්තු ලේඛනයේ සිටින මුළු පිරිස ලක්ෂ හතකට වැඩිය. මේ සියලු දෙනාම ආධාර ලැබීමට සුදුස්සෝ වෙති. විශේෂයෙන් පවතින ආර්ථික අර්බුදය නිමා වන තෙක්ම එම පිරිසගේ ජීවත් වීම අතිශය දුෂ්කර බව කිව යුතුය. ඉදිරි මාස තුනක කාලයේදී අර්බුදය යම් පමණකින් විසඳෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එතෙක් ඉහත සහන දිගටම සපයා දීම අතිශය වැදගත්ය.
රටේ පවතින ජන අරගලය දේශපාලන ව්‍යාපාර හා විදෙස් බලවේග විසින් හසුරවනු ලබතැයි විශ්වාස කළ හැකිය. එහෙත් හැබෑවටම ජීවත් වීමේ දුෂ්කරතා නිසා පාරට බැස උද්ඝෝෂණ කරන විශාල පිරිසක් ද මේ අතර සිටිති. ඔවුන්ගේ ඉල්ලීම ජීවත්වීමට පහසුකම් දෙනු යන්නය. රජය මේ පිරිස් ගැන අවධානය යොමු කළ යුතුය. එය පැහැර නොහැර කටයුතු කිරීම සාධනීය තත්ත්වයකි. ආධාරය ලැබෙන්නේ එක පුද්ගලයකුට වුව එයින් පවුලක ජීවන බරට සහනයක් ලැබෙනු ඇත. වකුගඩු රෝගියකු සඳහා මසකට සෑහෙන මුදලක් වැය කළ යුතුය. එබඳු රෝගීහු පවුලකට බරක් ලෙස ජීවත් වෙති. එම රෝගීන්ගේ දීමනාව වැඩි කිරීම පුණ්‍ය කටයුත්තක් සේ සැලකිය හැකිය.
මෙබඳු දුෂ්කර අවස්ථාවලදී එකිනෙක ආණ්ඩු ක්‍රියා කර ඇත්තේ වෙනස් වෙනස් ආකාරවලටය. ඇතැම් ආණ්ඩු දුෂ්කර අවස්ථාවලදී ජනතා සහන කපා හැර ඇත. සමහර ආණ්ඩු සහන අඩු කර ඇත. තව සමහර නායකයෝ ජනතාවට පටි තද කරගන්නැයි කියා සිටියහ. වත්මන් රාජ්‍ය නායකයා ඒ එකක්වත් සිදු කළේ නැත. ඔහු සහන කපා හරිනවා වෙනුවට සහන වැඩි කළේය. මේ නිසා රජයේ වැය බර වැඩි වුව ද ඒවා විඳ දරා ගන්නට රජය ඉදිරිපත් විය. එය විශේෂත්වයකි. ආණ්ඩුවක් ජනතාවාදී වන්නේ ජනතා සහන උපරිම මට්ටමෙන් සපයා දෙන විටය. මේ මොහොතේ ජනතා සහන උපරිමයෙන් සපයා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එය මානුෂීයවාදී තීරණයකි. ජනතා නායකයන් එසේ ක්‍රියා කළ යුතුය.
මේ තීරණයත් සමඟ ආණ්ඩුව හා රාජ්‍ය නායකයා කෙරෙහි පවතින මහජන විශ්වාසය ඉහළ යනු ඇත. එය විරුද්ධ පක්ෂවල උද්ඝෝෂණ රැල්ලට බාධාවක් වන නිසාම විවිධ විවේචන එල්ල වන්නට පුළුවන. ආණ්ඩුවට හා රාජ්‍ය නායකයාට විවේචනවලින් අඩුවක් නැත. ඉදිරියේදී ඒවා සෙමෙන් ඉවත්ව යනු ඇතැයි විශ්වාස කළ හැකිය.
දේශපාලනය කිලිටි කරන මැති ඇමැතින්ගේ දූෂණ
රටම අරගල බිමකි. එය එසේ වූයේ ආර්ථික පීඩනය, ගෑස් හිඟය, ඉන්ධන හිඟය හා විදුලිය අර්බුදය නිසා පමණක්ම නොවේ. කාලයක් මුළුල්ලේ සිටම මෙරට නිදැල්ලේ වැඩෙන අශිෂ්ට, අනීතික, දූෂිත හා අශීලාචාර දේශපාලන සංස්කෘතියට එරෙහිව සමාජයේ පතුල බිඳගෙන එළියට පැන්න විරෝධය ද අරගල බිමට උත්තේජනය සපයා ඇත. ‘‘225 ම එපා’’ යැයි සටන් පාඨ නිර්මාණය වී තිබෙන්නේ ද ඒ අනුවය. දූෂිත දුෂ්ට දේශපාලනයක නියාමන සෑම වර්ණයකටම අයත් දේශපාළුවන්ගේ දණ හිස් වෙවුළුවා තබන්නට අරගල බිම සමත් වී ඇති බව ඒකාන්තය.
දේශපාලනය ගරු කටයුතු මහජන සේවාවක්ව තිබූ යුගයක් මෙරට තිබිණි. එහෙත් එම යුගය පසුකර අප පැමිණ ඇත්තේ සියලු අපරාධ අපචාර හා පාදඩකම් එකට මුසු වූ අශිෂ්ටතම හා අශීලාචාරමය දේශපාලන පල් මඩ ගොහොරුවක් වෙතය. දේශපාලනය යනු පවුල් පිටින්, පරම්පරා පිටින් තවුතිසා දෙව්ලොවට ඔසවා තබන බඩ රස්සාවක් බවට පත්වී තිබේ.
රුපියල් 25ක අල්ලසක් ගත් බවට එල්ල වූ චෝදනාව සනාථ වීම හේතුවෙන් මන්ත්‍රීධුරය අහිමි කරගත් දේශපාලනඥයකු මෙන්ම විවිධාකාරයේ අල්ලස් ගැනීම් හා හොරකම් කිරීම් ආදිය නිසා මන්ත්‍රීධුර අහිමිකර ගත් දේශපාලනඥයන් ගැන අතීතයේ සඳහන්ය. ඔවුන්ගේ නම් ගම් මෙහි සඳහන් නොකරන්නේ ඔවුන්ගේ දූ පුතුන්ට එය අවමානයක් වන හෙයිනි. පියවරුන්ගේ නින්දිත වැඩවලට දරුවන් වන්දි ගෙවිය යුතු නැති හෙයිනි.
එකල දේශපාලනඥයන්ට එසේ දඬුවම් ලැබුණේ නීතියේ ආධිපත්‍යය බලවත්ව තිබූ හෙයිනි. එහෙත් පසු කාලයේදී නීතියේ ආධිපත්‍යය අබල තක්කඩි දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු ද විය නොහැකිය.
ඉකුත් දා විශේෂ ප්‍රවෘත්තියක් මාධ්‍ය පළ කර තිබිණි. හිටපු එක් රාජ්‍ය ඇමැතිවරයකු අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබූ ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ වාහනයක් ඇතුළු වාහන හතක් මෙතෙක් බාර දී නොමැති බවය. එම හේතුව නිසා එම අමාත්‍යාංශයට අලුතෙන් පත් කරන ලද ඇමැතිවරයාට වාහනයක් නොමැති බවය. හිටපු රාජ්‍ය ඇමැතිවරයා සිය නිල රියට අමතරව ඩබල් කැබ් රථයක් ද වෙන්කරගෙන සිට ඇති අතර ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් සිටි ඔහුගේ බිරිඳ හා සම්බන්ධීකරණ ලේකම් වූ සහෝදරයා ද ඩබල් කැබ් රියක් බැගින් ලබාගෙන තිබෙන බව ද එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
කොතරම් අපුල දනවන පුවතක් ද වී ගියා පමණක් නොව නිදහසේ සොරකම් කළ හැකි වන පරිදි නීතිමය පරිසරයක් ද සකස් විය. එයට අමතරව මිනී මරා දඬුවම හිමි වූ අයකු නිදහස් කිරීමේ බලය විධායක ජනාධිපති ධුරයට හිමි විය. එයින් ඕනෑම අනීතික අශිෂ්ට ක්‍රියාවක් කිරීමේ භය නැති වූ දේශපාලන පරම්පරාවක් බිහි විය.
දේශපාලනයට පිවිස මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු වන අයකුට අසීමිත වරප්‍රසාද හිමි වී තිබේ. මන්ත්‍රීවරයකුට මෙන්ම ඇමැතිවරයකුට පෞද්ගලික කාර්ය මණ්ඩල ලැබේ. මන්ත්‍රීවරයකුට මන්ත්‍රී නිල නිවාස ද, ඇමැතිවරයකුට ඇමැති නිල නිවස ද හිමිය. ඇතැම් ඇමැතිවරු ඡන්දයෙන් පරාජය වී ගිය ද ඇමැති නිල නිවාස නැවත රජයට බාර නොදෙති. ලජ්ජා නහර කපා දැමුණාදැයි යන්න අමුතුවෙන් ලිවිය යුතු නැත. මුළු පවුලක්ම අමාත්‍යාංශයෙන් නඩත්තු කිරීමට ලැජ්ජාවක්, භයක් හා හිරිකිතයක් නොවීම සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කර ගත යුතු ද නැත.
මෙයාකාරයෙන් මහජනයාගේ මුදල් ගසා කෑ එකම දේශපාලනඥයා අදාළ රාජ්‍ය ඇමතිවරයා පමණක් නොවේ. 2010-2015 රජයේ මැති ඇමැතිවරුන්ට එල්ල වූ චෝදනා දෙස බලන විට හා 2015-2020 රජයේ ඇමැතිවරුන්ට එල්ල වූ චෝදනා දෙස බැලීමේ දී කොතරම් විශාල පිරිසක් චෞර කප්පිත්තන් ද යන්න පැහැදිලි වේ. එමෙන්ම මෙම දූෂිත දේශපාලන මඩවගුරේ සිටිය ද මඩ තවරා නොගත් දේශපාලනඥයන් සිටින බව ද මතක් කළ යුතුය. එහෙත් ඔවුන්ගේ රැස් වළලු නිවී ගොස් නිර්මාණය වූයේ ‘‘225 එපා’’ යන සටන් පාඨය වේ.
අරගල බිමේ තරුණයන් කියන්නේ ‘‘පාර්ලිමේන්තුව එපා’ යනුවෙන් නොව ‘‘225 ම එපා’’ යන්නය. සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වන පණිවිඩයෙන් කියැවෙන්නේ ‘‘හොරු, වංචනිකයන්, මහජන ධනය සුරා කෑ වුන් අපට එපා යන්නය. රට මේ විපතට පත්වූයේ ඔවුන් නිසා බව ජනතාව දනිති. ප්‍රතිසංස්කරණ සිදුවී මෙම දේශපාලන සංස්කෘතිය පිරිපහදුවට ලක් නොකරන්නේ නම් ජනතාවගේ ප්‍රතිචාරය කුමක් වේද යන්න කල් ඇතිව නියාමනය කළ නොහැකි තරම්ය.
(***)
අයි.එම්.එෆ්. සාකච්ඡා
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාෙවේ නියෝජිතයන් පවත්වන සාකච්ඡා සාර්ථක බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ යම් ගැටලු පැවතිය ද එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඉහළ කළමනාකාරිත්වය විශ්වාස කරයි. සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට යන අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා හදිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බව ප්‍රකාශ වී තිබේ. ඒ අනුව දින විස්සක් ඇතුළත මූල්‍ය උපදේශකයන් පත් කොට එය ඉටු කර ගැනීමට රජය අපේක්ෂා කරයි. ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ක්ෂණික ණය මුදලක් ද රජය අපේක්ෂා කරයි.
පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් සපයමින් ජනතාවට සහන සලසා දීම සඳහා රජය බරපතළ මෙහෙයුමක නිරත වන බව සත්‍යයකි. එය පහසු කාර්යයක් නොවේ. අප ඉල්ලා සිටින වේගයෙන් ණය හා ආධාර දීමට ජගත් ආයතන සූදානම් නැත. ණය හා ආධාර සඳහා ක්‍රියාදාමයක් අනුගමනය කිරීම එම ආයතනවල ක්‍රමය වෙයි. ණය ලබා ගන්නේ නම්; ආයතනය ඉදිරිපත් කරන කොන්දේසිවලට ද යටත් වීමට සිදු වෙයි. එම ආයතන රාජ්‍යයන් සඳහා කාන්දේසි පනවන්නේ මූල්‍ය තත්ත්වය ස්ථායිතාවයකට ගැනීම සඳහාය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණ ද ලෝකයේ මූල්‍ය ස්ථායිතාව ගොඩනැඟීමය.
අලි සබ්රි අමාත්‍යවරයා වොෂිංටනයේ සිට කළ ප්‍රකාශයක් නැවත සිහිපත් කිරීම වටී. ඒ මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ඉලක්ක හා අරමුණු අතහැර මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා කවුරුත් පොදු උත්සාහයක් දැරිය යුතු බවය. එහෙත් රට තුළ එය සිදු වන්නේ නැත. පක්ෂ නායකයන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින අතර ජන අරගලය උත්සන්න තැනකට ගෙන යෑම සඳහා උත්සාහ දරන බව ද පෙනෙයි. ජගත් ආයතන මෙන්ම බලවත් රටවල නායකයෝ ද ශ්‍රී ලංකාවේ සිදු වන දේවල් කෙරෙහි අවධානයෙන් සිටිති. මේ අවස්ථාවේ සමහරු මානව හිමිකම් කොමිසම වෙත යති. තව සමහරු ලෝක බැංකුවට පැමිණිලි ඉදිරිපත් කරති. මේවා සුභදායක දේවල් නොවේ.
තීරණාත්මක අවස්ථාවලදී නායකයන් පොදු එකඟතාවකට පැමිණ අර්බුදය ජය ගත යුතු වුව එවැන්නක් අපේ රට තුළ සිදුවන්නේ නැත. පාර්ලිමේන්තුව රටේ අර්බුදයට විසඳුම් සොයන මූලස්ථානය විය යුතු වුවද එහි දකින්නට ලැබෙන්නේ අර්ථශූන්‍ය විවාදයන් පමණි. ගැටලුවලට කිසිදු විසඳුම් යෝජනාවක් පාර්ලිමේන්තුව වෙතින් ලැබී නැත. කථානායකවරයා ද ඒ බව සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව දින ගණනාවක් රැස්වී විසිර ගොස් ඇති බව පමණක් අපට දැක ගත හැකිය. පාර්ලිමේන්තුව කෙරෙහි පැවැති මහජන විශ්වාසය ද බිඳ වැටී ඇත. එය ද අහිතකර තත්ත්වයකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ව්‍යවස්ථාදායකය ශක්තිමත් විය යුතු බව පිළිගැනීමකි.
රටේ පවතින ප්‍රධාන අර්බුදය ආර්ථිකය කඩා වැටීම බව අවිවාදයෙන් පිළිගත යුතුය. අනෙකුත් අර්බුද ගොඩනැඟී ඇත්තේ ආර්ථික අර්බුදය මතය. ඒ අනුව සමාජයේ සෑම කොටසකම අවධානය යොමු විය යුත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමේ උපාය මාර්ග සෙවීම කෙරෙහිය. ණය හා ආධාර නැතිව රට ගොඩගත නොහැකි බව පළමුව පිළිගත යුතුය. අපට මතක කාලයේ දී ග්‍රීසිය මෙබඳු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. සයිප්‍රසය හා ඉතාලිය ද එබඳු අර්බුදයකට මුහුණ දුන්නේය. එසේ වුව ලෝකයේ සහයෝගය මත වසර කිහිපයක් තුළ එම රාජ්‍යයන් යථා තත්ත්වයට පත් විය. අප ඒවා ආදර්ශයට ගෙන ක්‍රියා කළ යුතුව තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ සාකච්ඡා පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගණනාවක් ද මේ වන විට සමාජගත වී ඇත. ඉන් පැහැදිලි වන්නේ අයි.එම්.එෆ්. සාකච්ඡා අසාර්ථක කිරීමේ වෑයමක් ද පවතින බවය. සමහර දේශපාලන ව්‍යාපාර ආර්ථික අර්බුදයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සුක වෙයි. එය මේ මොහොතේ ඉතා අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන. අපට ආධාර හා සහයෝගය සපයන ප්‍රධාන රාජ්‍යයන් දෙක වන චීනය හා ඉන්දියාව සම්බන්ධයෙන් ද අසත්‍ය ප්‍රචාර පැතිරෙයි. මේ ඔස්සේ රට ගැන භයානක චිත්‍රයක් නිර්මාණය කිරීමට සමහරු වෑයම් කරති. එය නැවැත්විය යුතුය. සමස්ත සමාජයේම සහයෝගය ලැබෙන්නේ නම්; කෙටි කාලයක් තුළ අර්බුදයෙන් ගොඩ යා හැකි බව මධ්‍යස්ථ බුද්ධිමතුන්ගේ මතය වෙයි.
1970 ගණන්වලදී මීට සමාන ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය. එකල මීට වඩා දරුණු ආහාර හිඟයක් ද පැවැතිණි. පාන් ගෙඩියක් මිලට ගැනීම සඳහා බේකරිය ළඟ පැය ගණන් රස්තියාදු වූ මිනිස්සු එදා සිටියහ. අපේ මිනිස්සු ඊට මුහුණ දුන් අතර දේශීය ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ නඟා ගත්හ. හැදෙන සමාජයකට එම පාඩම හොඳටම ප්‍රමාණවත්ය.
සැමට ඉහළින් ඇත්තේ නීතියයි
රඹුක්කන පැවති මහජන උද්ඝෝෂණයක් අතරතුර සිදු කළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මරණයට පත්වීම ඛේදජනක සිදුවීමකි. මහජන උද්ඝෝෂණයක් අතරතුර කවර හේතුවක් නිසා හෝ නිරායුධ පුද්ගලයකු පොලිස් වෙඩි පහරට ලක්වීම සාධාරණීකරණය කළ නොහැක. සති කිහිපයක් තිස්සේ රටේ පවතින දේශපාලන ආන්දෝලනය තවත් තීව්‍ර වී උණුසුම් වීමට රඹුක්කන වෙඩි ප්‍රහාරය ප්‍රබල හේතුවක් විය.
පිළිගත් සම්මත සම්ප්‍රදාය අනුව රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එයට යටත්ව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු තවත් නීති ක්‍රියාත්මකය. පොලිසියේ නිල මෙහෙවර ගැන සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේය. එහෙත් මෙම කිසිදු නීතියක් මගින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කර නැත. එසේම සාමකාමීව රැස්වීම, විරෝධතා දැක්වීම වැනි දේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවසරය ලබා දී තිබේ. මේ සඳහා ව්‍යවස්ථාවේ වෙනමම මානව හිමිකම් සම්බන්ධ පරිච්ඡේදයක් අන්තර්ගත කර ඇත. එකී මානව හිමිකම් පරිච්ඡේදයේ වගන්ති හතක් මගින් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් තහවුරු කරන අතර එම නිදහස යම් යම් කාරණා මත සීමාකිරීම්වලට යටත් වන බවද දැක්වෙයි. එසේම සමාජය ලබන ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් සමඟ ඉටුකළ යුතු යුතුකම් සම්බන්ධවද කරුණු අවධාරණය කෙරේ.
මේ කවර නීති රීතියක් යටතේ වුවත් ආරක්ෂක අංශ තමන්ට පැවරුණු රාජකාරි ඉටුකිරීමේදී යුක්තිසහගත බව හා සාධාරණකමේ ධර්මය ආරක්ෂා වන ලෙස ක්‍රියා කරනු දැකීම සමාජ අපේක්ෂාවයි. මේ දිනවල රට පුරා ජනතාව විවිධ හේතු මත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටිති. ජනතාව පීඩාවට පත්කර ඇති ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟය මෙන්ම ඒවායේ අධික මිල, විදුලිය කප්පාදුව, දරාගත නොහැකි ජීවන බර මෙම විරෝධතාවලට හේතු වූ ප්‍රධාන කාරණාය. නොවිසඳෙන මෙම ප්‍රශ්න හේතුවෙන් ආණ්ඩු කරන පිරිස ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටියි. පවත්නා තත්ත්වය යටතේ සතියකට භාණ්ඩ හා සේවා වර්ග 10ක 12ක මිල ගණන් විශාල ප්‍රතිශතවලින් ඉහළ නගී. එම මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා මිලට ගන්නට ජනතාවට ශක්තියක්ද නැත. මෙයින් පීඩාවටත් කෝපයටත් පත්වන බහුතර සමාජය රජයට විරෝධය දැක්වීම යුක්ති යුක්තය. මෙවන් සාධාරණ විරෝධතාවක් ප්‍රචණ්ඩත්වය කරා යොමු නොවන තාක් කල් එය මර්දනයට බලය යෙදවීම බලවත් වරදකි.
රඹුක්කන හටගත් සිද්ධිය ගැන පොලිසිය විසින් ප්‍රකාශ කරන ලද්දේ ජනතාව පොලිසියට පහර දෙන්නට තැත් කිරීමත් තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමත් නිසා අවම බලය යොදවා වෙඩි තැබූ බවය. සාමාන්‍ය ආරක්ෂක සම්ප්‍රදාය අනුව පොලිස් වෙඩි තැබීමක් කරන්නේ නම් මුලින්ම රබර් උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම කළ යුතුය. රඹුක්කනදී එවැන්නක් සිදු කළ බවට කිසිම තොරතුරක් හෙළිදරව් වී නැත. පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් අවම බලය භාවිත කර ඇත්තේ මනුෂ්‍ය ජීවිතයකට හානි වන ආකාරයටයි. අත අවි දරා සිටින පාර්ශ්ව දෙකක් අතර සිදුවන යුද්ධයකදී නම් මෙවැන්නකට නීතිමය අවකාශයක් ඇත. එහෙත් නිරායුද විරෝධතාකරුවන් කෙරෙහි මේ ආකාරයට අවම බලය භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මෙරට පැවැති උද්ඝෝෂණ හා අරගලවලදී මීට පෙරද මනුෂ්‍ය ඝාතන සිදුවිය. ඒ බොහොමයක් උද්ඝෝෂණ හා අරගල දේශපාලන හේතූ මත සිදුවූ ප්‍රචණ්ඩත්වයට බර ඒවාය. එහෙත් මෙවර රඹුක්කන මනුෂ්‍ය ඝාතනය සිදු වූයේ ආර්ථික අර්බුදය විසින් පීඩාවට පත් ජනතාව සිද්ධ කළ යුක්තිසහගත විරෝධතාවකදීය. ඉන්ධන ලබාගැනීම සඳහා දීර්ඝ වේලාවක් පෝලිම් ගැසී සිටි ප්‍රදේශවාසීන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාම සහ එය පාලනයට ඉදිරිපත් වූ නිලධරයන්ගේ සංයමයකින් තොර විධානයත් නිසා රඹුක්කන ඛේදවාචකය සිදු වූ බව සක්සුදක්සේ පැහැදිලිය. ඒ ගැන දැනටත් අධිකරණ පරීක්ෂණයක් සිදුවන බැවින් අප විසින් පූර්ව නිගමන ලබා දීම සාධාරණ නැත.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් අනුගමනය කරන රටක් ලෙස පාලකයන් ජනතා විරෝධය ඉවසිය යුතුය. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වරක් මේ ගැන ඉතා සරල බසින් සඳහන් කළේ “රස්නය ඉවසිය නොහැකි නම් කුස්සියෙන් පිටවී යා යුතුය” කියාය. වත්මන් ආණ්ඩුවද දැන් එම තත්ත්වයට පත්වීමට ආසන්නව සිටියි. රටේ තැන් තැන්වල හටගෙන ඇති විරෝධතා පිළිබඳව යුක්තිසහගත ප්‍රතිචාරයක් නොදක්වා ඒවා දියාරු කරන්නට සිතා සිටී නම් මෙවර අත්දැකීම විසින් එම කල්පනාව වැරදීමක් බව පසක් කර දෙමින් සිටින බව සඳහන් කළ යුතුය. පක්ෂ දේශපාලනය අච්චාරු වී ඇති සමාජය නොඉවසන තරුණ පිරිසක් මෙවර ජනතා උද්ඝෝෂණවලට නායකත්වය දෙමින් අලුත් ගමනක් හා මාවතක් පිළිබඳව ඉඟි පළ කරති.
එහෙත් මෙවර විරෝධතා දක්වන විට ඒවාට උපායශීලීව සම්බන්ධ වන ඇතැම් පාර්ශ්ව හෝ දැනුම් තේරුම් නැති ආවේගශීලී පිරිස්, උද්ඝෝෂණයේ අරමුණු විකෘති කිරීමට තැත් කරන්නට ඉඩ තිබේ. මහා මාර්ග වසා දමා උද්ඝෝෂණය කිරීම එවැන්නකි. එවන් පීඩාකාරී දේ සිදු කළ සමහර තැන්වලදී උද්ඝෝෂකයන් බහුතර ජනතා විරෝධයට ලක්වූ අවස්ථාද විරල නොවේ. එහෙත් ගාලු මුවදොර උද්ඝෝෂකයන් සෑහෙන තරම් ආදර්ශවත් ලෙස ජන පීඩා අවම වෙන ආකාරයට ක්‍රියා කරනු දැකීම සතුටකි. එහෙත් යම් යම් පිළිගත් සමාජ සම්මතයන් වන ජාති ආගම් ආදියට නිගරු වන ආකාරයට යමෙක් හැසිරෙන්නේ නම් එබඳු අවස්ථාද පාලනයට නතු විය යුතුය. එසේම උද්ඝෝෂණයේ යෙදෙන සැමදෙනාම සිත්හි තබාගත යුතු ඉතාමත් වැදගත් කරුණ වන්නේ රටේ නීතිය පුරවැසියාගේ අභිලාෂයන්ට වඩා ඉහළින් පවත්නා බවය.
අයි.එම්.එෆ්. සාකච්ඡා
ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා වැදගත් අවස්ථා ගණනාවක් නිර්මාණය වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡාවලදී ඉන්දියාව ඇපකරුවකු මෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත්ව සිටී. මේ අතර, චීනයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය සංවිධානය අපට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටී. මේ සෑම ආයතනයක්ම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව බලවත් ගෙවුම් ශේෂ ගැටලුවකට මුහුණ දී සිටින බවය. එහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟ වීමය. ජනතාවට පැහැදිලි වන ලෙස එය දක්වතොත් ඩොලර් පිළිබඳ හිඟයකි. අපේ විදේශ විනිමය සංචිත අන්තිමටම පල්ලම් බැස ඇති බව රජය පමණක් නොව, ජනතාව ද පිළිගත යුතුය. විදේශ විනිමය හිඟයට උත්තරය උද්ඝෝෂණය යැයි කල්පනා කරන්නේ නම්, එය බලවත් වරදකි.
අයි.එම්.එෆ්. හෙවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියකු කියා ඇත්තේ ශ්‍රී ලංකාව වහාම විදේශ විනිමය උපයන ආර්ථික වැඩපිළිවෙළක් වෙත මාරු විය යුතු බවය. මේ උපදේශනය වැදගත් වන අතර, එය ක්‍රියාත්මක කිරීමට රජය උත්සුක විය යුතුය. වත්මන් මුදල් අමාත්‍යවරයා එබඳු වැඩසටහන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර, ඒවා සාධනීය මට්ටමක පවතින බව ද අයි.එම්.එෆ් ආයතනය පිළිගෙන ඇත. දැන් සිදු විය යුත්තේ එම ආයතනය සමඟ සාකච්ඡා කොට අදාළ වැඩසටහන් තවදුරටත් නිවැරැදි කර ගැනීමය. ඉන් පරිබාහිරව අර්බුදය ජය ගත හැකි වෙනත් මාර්ගයක් අපට නැත. මේ වන විට අපට හොඳ කළමනාකරණයක් තිබිය යුතුය.
ඉන්දියාව අපගේ සහායට පැමිණ ඇපකරුවකු ලෙස ක්‍රියා කිරීම වාසනාවන්ත තත්ත්වයකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලනික සම්බන්ධතා ඉතා හොඳ මට්ටමක පවතින අතර, ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සුක විය යුතුය. රටේ පවතින දේශපාලන ව්‍යාපාර මෙය විවිධාකාරයෙන් විවේචනයට ලක් කළ හැකි නමුදු රජය පැහැදිලි ස්ථාවරයක සිටිමින් ඉන්දියාව සමඟ ඇති ගනුදෙනු දිගටම පවත්වා ගත යුතුය. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන අතර, එය ලෝකයේ බලවත් රාජ්‍යයකි. එය කිසිවිටෙක අමතක නොකළ යුතුය. අපේ ආර්ථිකයට ඍජු බලපෑමක් කළ හැකි ආසන්නම රාජ්‍යය ලෙස ද ඉන්දියාව පිළිගත යුතුය.
චීනය හා ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික වශයෙන් තරගකාරී තත්ත්වයක් පවතින්නේ වුව එය අපට අදාළ කර ගත යුතු නැත. අප ඉන්දියාවෙන්, චීනයෙන් පමණක් නොව අමෙරිකාවෙන් ද ආර්ථික සහයෝගය, ගත යුතුය. බලවත් රටවල් අමතක කොට අපට යා හැකි ආර්ථික ගමනක් නැත. දේශපාලකයන්, උසස් නිලධාරීන් සේම ජනතාවත් එය වටහා ගත යුතුය. අප මේ කිසිදු රාජ්‍යයකට විරුද්ධ විය යුතු නැත. එම රාජ්‍යයන් ගැන අනවශ්‍ය භීතිකාවක් මතු කර ගත යුතු ද නැත. බංග්ලාදේශය අමෙරිකාව සමඟ ඉතා සාර්ථක ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර, ඉන්දියාව සමඟ ද සාර්ථක මට්ටමේ ආර්ථික ගනුදෙනු කරයි. බංග්ලාදේශය වෙනස් වුණේ මෑතකදීය. අද ලෝකයේ දියුණු වන රටවල් විස්ස අතර බංග්ලාදේශය ද තිබේ.
අයි.එම්.එෆ්. ආයතනය වෙතින් අප වෙත ඉදිරිපත් වී ඇති සුබවාදී ප්‍රතිචාරය පිළිගත යුතුය. ඒවා පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ද රජය සූදානම් විය යුතුය. ඊට විවිධ බාධා ඇති වන්නට හැකි වුව ඒවා නොසලකා හරිමින් අයි.එම්.එෆ්. ආයතනය සමඟ කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇත. ඔහු මීට දින කිහිපයකට පෙර කියා සිටියේ මීට පෙර අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවය. රාජ්‍ය නායකයා තමන් අතින් සිදු වූ අඩුපාඩු පිළිගැනීම සේම ඒවා ප්‍රකාශයට පත් කිරීමත් යහපත් ප්‍රවණතාවකි.
හැබෑවටම අපට හොඳ මාර්ගයක් ලැබී ඇත. එය හොඳින් භාවිත කිරීම නායකයන්ගේ වගකීම වෙයි. පවතින අර්බුදයේ කොටස් තුනක් ඇති බව අපි හැමදාම පෙන්වා දුන්නෙමු. එක; ආර්ථික අර්බුදය දෙක; දේශපාලන අවුල හා තුන; මහජනයා පාරට බැසීම යනුවෙන්ය. කොටස් තුන එකිනෙකට සම්බන්ධය. එකක් මත එකක් වැටී තිබේ. එහෙත් ප්‍රධාන අර්බුදය පවතින්නේ ආර්ථිකය මතය. එය විසඳීමට විරෝධතාකරුවන්ට හැකියාවක් නැත. ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ රජයට පමණි. රජය ඒ සඳහා පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඊට රටේ සියලු කොටස්වල සහයෝගය ලැබිය යුතුය.
අලුත් ඇමැතිවරුන්ට ලොකු අභියෝගයක්
අලුතින්ම පත්වීම් ලද දොළොස් දෙනකුද ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ. මේ දිව්රුම් දීම සිදු වූයේ පසුගිය දා ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහාය. මෙතෙක් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම මේ හේතුවෙන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් බවට පත් වූ අතර ඉදිරියේදී ද ඔවුන්ට අමාත්‍ය ධූර නොලැබුණහොත් මේ පත්කිරීම් මේ රටේ දේශපාලනයේ සැබෑ හැරවුම් අවස්ථාවක් වනු ඇත.
මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ අමාත්‍ය පදවි ලබාදීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට සහ හවුල්කාර පක්ෂ නායකයන්ට ප්‍රමුඛත්වය ලැබීමය. එහෙත් මෙවර එය වෙනස් වී පාර්ලිමේන්තුවට නවකයන් වූ කිහිප දෙනකුට ද අමාත්‍ය ධූර හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රථම වතාවට තෝරා පත්කරගනු ලැබූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට අමාත්‍ය පදවියක් හිමිවීම එයට උදාහරණයකි.
පාර්ලිමේන්තුව තුළ නවකයන් වන පිරිසකට පවා කැබිනට් අමාත්‍ය ධූර ලැබීමට හේතු වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙන් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි වෙනසකට බල කෙරුණේ මේ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට ගෙන යන අරගලය විසිනි. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව වුවත් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එකතු කිරීම තුළ දැනට රට තුළ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට විසඳුමක් තිබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් රජය මේ වෙනස්කම සිදුකරන්නට ඇතැයි පැහැදිලිව පෙනී යයි. එය මේ බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුමක් වනු ඇතිදැයි අපට කල් තබා කිව නොහැකි වුවද මෙවැනි වෙනසක් හෝ ඇතිකිරීම හෝ යහපත් බව සඳහන් කළ යුතුය. මේ නිසා අලුත් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරෙන්නේ විශාල වගකීමකි.
නවක අමාත්‍යවරුන් මේ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ රටේ ප්‍රධානම අවශ්‍යතාව බවද පෙන්වා දිය යුතුය. මේ නව කැබිනට්ටුව පත්කිරීමෙන් ආණ්ඩුව අදහස් කරන්නේ පවතින අර්බුදයට කිසියම් හෝ විසඳුමකි. එහෙත් මේ අවශ්‍යතාව ඉටුකිරීමට සහ පිළිගත හැකි විසඳුම් ලබාදීමට පළපුරුද්ද සහ විෂය දැනුමේ පරාසය අඩු නවක අමාත්‍යවරුන්ට හැකියාව තිබේද? යන්න ගැටලුවකි. එම ගැටලුව ජයගැනීමේ අභියෝගය බාර ගැනීමට තරුණ නවක අමාත්‍යවරුන් සූදානම් විය යුතුය. තම හැකියාව පෙන්වීම සඳහා හැකි හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. තමන් අසාර්ථක වීම යනු සමස්ත රජයේම අසාර්ථක වීමක් බව දැන සිටිය යුතුය.
එසේම රටේ පාලනය භාරව තීන්දු ගන්නා කැබිනට් අමාත්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද රටේ මහත් කතිකාවක් ඇතිව තිබේ. ආණ්ඩුවට එරෙහි අරගල කරන තරුණ විරෝධතාකරුවන්ගේ අත රැඳි ඇතැම් පෝස්ටර්වලින් දැක්වෙන්නේ උගත් පුද්ගලයන් අතට පාලනය බාරදිය යුතු බවය. ඒ අතින් සලකා බලන කල මෙවර පත්වීම් ලද අමාත්‍යවරුන් අතරේ කිහිප දෙනෙක්ම උසස් අධ්‍යාපනය හදාරා විදෙස් රටවලින් පවා උපාධි ලබාගත් අය වෙති. කාංචන විජේසේකර මෙරට උසස් අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික උපාධියක් ලැබූවෙකි. ප්‍රමිත බණ්ඩාර බකිංහැම් විශ්වවිද්‍යාලයෙන් සහ ලාට්‍රොබේ විශ්වවිද්‍යාලවලින් ද ෂෙහාන් සේමසිංහ පේරාදෙණිය සහ දිල්ලි විශ්වවිද්‍යාලවලින්ද, කනක හේරත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ද උපාධි ලබා සිටිතියි වාර්තා විය. එසේම මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය රමේෂ් පතිරණ. ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන් ද මේ ඇමැති මණ්ඩලයට පත්කරනු ලැබ සිටිති. මේ සියලු දෙනා දැන් කළ යුත්තේ තමන්ගේ අධ්‍යාපන දැනුම රටේ අර්බුදවලින් ගොඩ ඒම සඳහා යොදා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්ය ඔවුන් සතුව ඇතැයි අපි විශ්වාස කරමු.
මුළු රටම ගිනියම් වූ යකඩයක් මෙන් පවතින තත්ත්වයක් තුළ තමන්ට ලැබුණු අමාත්‍ය ධූර උත්සවශ්‍රීයෙන් සැමරීමට මේ නවක අමාත්‍යවරුන්ට අවස්ථාවක් නැත. එහෙත් අසහනයට, පීඩනයට, කෝපයට පත්ව සිටින ජනතාවගේ එම පීඩා දුරුකිරීමට කිසියම් හෝ දායකත්වයක් ලබාදීමට තමන්ගේ අමාත්‍ය ධූරවලින් ඔවුන්ට හැකියාවක් ලැබුණොත් එය තමන්ට ලැබුණු අභියෝගය ජයගැනීමක් වශයෙන් සලකා සතුටු විය හැකිවනු ඇත. එසේම මේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අලුත් අමාත්‍යවරුන්ගේ කෙරුවාව මුළු රටේම නිරීක්ෂණයට ලක්වන බව ද සඳහන් කළ යුතුය.
නව අමාත්‍යවරුන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ අමතර වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන අවංක, කාර්යක්ෂම පිරිසුදු පාලනයක් සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසටය. ජනතාව ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක කිරීමට මේ අමාත්‍යවරුන්ට ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. රට ඉතිහාසයේ ඉතා දුෂ්කරම කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටිය දී ලැබී තිබෙන මේ අමාත්‍ය ධූර එම දුෂ්කරතා තුරන් කිරීම සඳහා යොදාගැනීමට නව අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එය ඔවුන් තම දේශපාලන ජීවිතයේ මුහුණදෙන අසීරුම පරීක්ෂණය බවට කතා දෙකක් නැත.
(***)