කතුවැකිය

කතුවැකිය

 

අපගේ වැටහීමට අනුව ප්‍රධාන අර්බුද තුනක් අප ඉදිරියෙහි පවතී. පළමු අර්බුදය ආර්ථිකයේ කඩාවැටීමය. දෙවන අර්බුදය දේශපාලනය තුළ පවත්නා අවුලය. තෙවන අර්බුදය ජනතාව පාරට බැසීමය. මේ සාධක තුනම පවතින්නේ උත්සන්න තත්ත්වයක බව ද කවුරුත් තේරුම් ගත යුතුය. අර්බුද තුනටම ක්ෂණික විසඳුම් අවශ්‍ය බව ද පිළිගත යුතුය. ඉවසීමෙන් හා බුද්ධියෙන් තොරව ඉහත සාධක හසුරවන්නට ගියහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට පුළුවන. දේශපාලකයන්, සිවිල් සංවිධාන පමණක් නොව; පොදු ජනතාවත් මේවා ගැන නිසි වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ආවේග මතින් පමණක් ගැටලුවලට ඇත්ත විසඳුම් සපයා ගත නොහැකිය.

දේශපාලනය හා ආර්ථිකය ගතහොත් ඒ දෙක අතර ඇත්තේ එකිනෙකට සමපාත සම්බන්ධයකි. ස්ථාවර දේශපාලනයක් නැති කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම අපහසුය. අනෙක් අතට ආර්ථිකයේ කඩා වැටීම දේශපාලන අවුල් ඇති කිරීමට හේතුවක් වෙයි. හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිමතය අභියෝගයට ලක්වී ඇත්තේ ද ආර්ථිකයේ කඩාවැටීම නිසාය. මහ බැංකුවේ අභිනව අධිපතිවරයා පෙන්වා දෙන අන්දමට ජනතාව වෙතින් ආර්ථික කරුණු සැඟවීම බලවත් වරදකි. පවත්නා යථාර්ථය පැහැදිළි කරමින් ගැටලුවලට විසඳුම් සපයා ගත යුතුය. එවිට ජනතාව අර්බුද විසැඳීම සඳහා යම් සහයෝගයක් දෙනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අද සිට පැවැත්වීමට නියමිතය. අයි.එම්.එෆ්. ආයතනය වෙත යෑම මීට කලින් සිදුවිය යුතුව තිබුණ ද එය සිදුවූයේ නැත. ඇතැම් දේශපාලකයන්ගේ මතවාද මෙන්ම වැරැදි ආර්ථික උපදේශන ද ඉහත කාරණය කෙරෙහි බලපා ඇති බව පෙනෙයි. එහෙත් ඒ ගැන වාද - විවාද පැවැත්වීමට කාලයක් නැත. කළ යුත්තේ ඉහත සාකච්ඡා සාර්ථක කරගෙන අයි.එම්.එෆ්. ආයතනය වෙතින් උපරිම ආර්ථික සහයෝගයක් ලබාගැනීමය. එම ආයතනය වෙතින් යහපත් ප්‍රතිචාර ලැබෙන බව විශ්වාස කළ හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව; ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

ලෝක බැංකුව ඇතුළු ජගත් මූල්‍යායතන ආර්ථික ණය හා ආධාර ලබා දීමේ දී කරුණු ගණනාවක් සැලකිල්ල්ලට ගනී. ණය ගන්නා රටවල්වලට ණය ගෙවීමේ හැකියාවක් තිබිය යුතුය. එලෙසම ලබාගත් ණය ආර්ථික ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති සඳහා ‍ෙයාමු කළ යුතුය. මේ ආයතන රටක දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන අතර සාර්ථක ආර්ථික ව්‍යාපෘති ද ඉල්ලා සිටී. ඒ සඳහා යම් කොන්දේසි පැනවීමට ද ජගත් ආයතන පෙලඹෙයි. මේවා කෙරෙහි මධ්‍යස්ථ දෘෂ්ටියකින් බැලීමට අප පුහුණු විය යුතුව තිබේ.

 

රටේ මහජන විරෝධතා පවතින්නේ ද උපරිම තලයකය. ජනතාවගේ කැකෑරෙන දුක හා වේදනාව ප්‍රකාශයට පත්වන වේදිකාවක් සේ එය සැලැකිය හැකිය. ඇතැම් දේශපාලන ව්‍යාපාර ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට උත්සුක වන අතර අරගලය ඒ නිසාම වෙනත් අන්ත කරා ගමන් කිරීමට පටන් ගෙන ඇති බවක් ද පෙනෙයි. විදේශීය බලවේග ද අරගලය පසුපස ඇතැයි කිවහොත් එය විහිළුවක් නොව ඉවත දැමිය නොහැකිය. විරෝධතාවල ස්වභාවයට අනුව එය කුමන අන්තයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චය කළ නොහැකිය. ඇතැම්විට අයි.එම්.එෆ්. සාකච්ඡාවලට ද අහිතකර ලෙස මෙය බලපාන්නට පුළුවන. මන්ද ස්ථාවර දේශපාලනයක් නැති රටකට එම ආයතන ආර්ථික ණය ලබාදෙන්නේ නැති බැවිනි.

අර්බුදය දෙස ආපසු හැරී බලන විට එය දැන් පවතින්නේ තුන් ඈඳුතු කතා වස්තුවක් හැටියටය. ආර්ථිකයේ කඩාවැටීම, දේශපාලන අවුල හා මහජන විරෝධතා එකක් නිසා තව එකක් යනාදී ලෙසින් ගොඩනැඟී ඇත. මේ තුනම ජාතික අර්බුද ලෙස පවතී. මෙය තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ විසැඳිය හැකි දෙයක් නොවේ. සමාජයේ සෑම කොටසක්ම යම් කැපකිරීමකට සූදානම් නොවුණහොත් අර්බුදය ජය ගැනීමේ හැකියාවක් නැත. කඹ ඇදීම, කල්මැරීම, වගඋත්තරකරුවන් සෙවීම මේ තීරණාත්මක අවස්ථාවට අදාළ නැත. අපට හැඟෙන පරිදි දැන් සියල්ලන්ගේම අවධානය යොමු විය යුත්තේ අයි.එම්.එෆ්. සාකච්ඡා කෙරෙහිය. එය සාර්ථක කරගැනීමට කවුරුත් වගබලා ගත යුතුය. ඒ සඳහා විශ්වාසය, කැපවීම හා වුවමනාව තිබිය යුතුය.

 

රටේ පවතින තත්ත්වය පාර්ලිමේන්තුවේ වාද විවාද උණුසුම් තත්ත්වයට හරවා තිබේ. එහෙත් පසුගිය දින කිහිපය තුළදීම වචන හරඹ විනා ජනතාව පාරට බැස්ස වූ රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ හරවත් සංවාදයක් එහි සිදු නොවූ තරම්ය.

හිස් වචන හරඹවලින් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. මුළු පාර්ලිමේන්තුවම කතා සාප්පුවක් පමණක් වනවිට රටේ වීදි බැස අරගල කරන ජනතාවගේ විශ්වාසයද ගිලිහී යයි. එය යන්තමින් හෝ රැකගත හැක්කේ ජනතාවට පිළිගත හැකි කතාවලින් පමණි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගියදා කළ කතාව ඒ අතින් පවතින ගින්න ඇවිළවීමට නොව නිවා දැමීමට හේතුවන බව පෙන්වා දිය යුතුය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ මෙවැනි බැරෑරුම් මොහොතක සියලු‍ වාද භේද පසෙකට දමා හැමෝම අවංකවම එකතු විය යුතු බවය. මේ තරම් ප්‍රශ්න තිබියදීත් පාර්ලිමේන්තුවේ පක්ෂවලට එකතුවීමට නොහැකි වීම ගැන ඔහු කතා කළේ කනගාටුවෙනි. මේ රට කළ යුත්තේ අනුර හෝ සජිත් හෝ කියා යම් කිසිවකු සිතනවා නම් එය මේ වෙලාවේ විහිලු‍වක් පමණක් බව කියූ හරීන් අලු‍ත් වෙනසකට සියලු‍ දෙනා සූදානම් විය යුතු බවටද මධ්‍යස්ථ පුද්ගලයකු ජනාධිපති කර මාස 06ක් හරියට මහන්සි වුණොත් රට ගොඩදාගත හැකි වන බවටද විශ්වාසය පළ කළේය. රට හැදීමට මේ පාර්ලිමේන්තුවේ 225ම එකතු විය යුතු බවද තමන් අවුරුද්දකට වැටුප ලබා නොගන්නා බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ කතාව මේ දවස්වල පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන බොහොමයක් හිස් වචන පිරි කතාවලට වඩා හරවත් නිවැරදි දැක්මක් සහිත කතාවක් වශයෙන් අපි දකිමු. බලය යා යුත්තේ කාටදැයි කුළල් කාගන්නා අවස්ථාවක සියලු‍ දෙනාම එක්වී රට ගොඩගනිමු යැයි පැවසීමට සෑහෙන දේශපාලන ධෛර්යයක්, පිටකොන්දක් තිබිය යුතුය. ඒ ධෛර්යය සහ පිටකොන්ද හරීන් ප්‍රනාන්දු මහන්ත්‍රීවරයාට තිබීම ගැන අපි සතුටු වෙමු. එසේම තමන්ගේ දේශපාලන අනාගතය පවා ප්‍රශ්න කිරීමට ලක්විය හැකි මේ ප්‍රකාශය අවංකවම සිදුකෙරුණු අදහස් පළකිරීමක් වශයෙන් හැඳින්වීමටද අපි පසුබට නොවෙමු.

20 වැනි සංශෝධනයෙන් යළි ලබාගත් බලතලද සහිතව තුනෙන් දෙකක පාර්ලිමේන්තුවේ බලයක්ද අතැතිව තම පාලනය ඇරඹූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ජනාධිපති ධුර කාලය තුළදී මෙවැනි ආපසු හැරීමක් නම් කෙදිනකවත් අපේක්ෂා කරන්නට නැත. එසේම විපක්ෂයද මේ තරම් ඉක්මනින් තමන්ට යළි බලය ලබාගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයි සිහිනෙන්වත් සිතන්නට නැත. එහෙත් එය සිදුවී තිබේ.

එහෙත් ගැටලු‍ව ඇත්තේ මෙහිදී අමාරුවේ වැටී ඇත්තේ ආණ්ඩුව පමණක් නොවීමය. මුළු රටම අද ඇත්තේ බරපතළ අනතුරක් අභියසය. එවැනි තත්ත්වයකදී හරීන් ප්‍රනාන්දු වැනි විපක්ෂයේ මන්ත්‍රීවරයකු පරාර්ථකාමී ලෙස අදහස් ප්‍රකාශ කිරීම ගැන අප සතුටු විය යුතුය. රටේ මෙතෙක් පැවති ආත්මාර්ථකාමී දේශපාලන බලලෝභීත්වය තුළ එම කතාව මසුරන් වටින බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

මේ අවස්ථාවේදී සියල්ලටම ප්‍රථමයෙන් රටේ අනාගතය සියලු‍ දේශපාලනඥයන්ගේ ප්‍රමුඛතාව විය යුතුය. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ විශ්වාසය පාර්ලිමේන්තුවේ සියලු‍ මන්ත්‍රීවරුන්ට එකතුව කටයුතු කළ හැකි නම් රට මාස 06කදී වෙනස් කළ හැකි බවයි. කාලවකවානු කෙසේ වෙතත් දැනට රටේ ඇති වී තිබෙන සියලු‍ තත්ත්වයන් විසින් බල කරනු ලබන්නේ රට ගොඩගැනීමේ වැඩපිළිවෙළකට වහාම අනුගත විය යුතු බවකි.

ඒ සඳහා මතගැටුම්, ප්‍රතිපත්ති වෙනස්කම් පසෙකට දමා එකමුතු විය යුතුය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කෙරෙන ආකාරයෙන් පැහැදිලි වෙන්නේ එවැනි කැපකිරීමකට සූදානම් පිරිස ඉතා අඩු බවය. හරීන් ඒ අඩු පිරිසේ ධෛර්ය සම්පන්න එක් මන්ත්‍රීවරයෙකි.

රටේ විරෝධතා ව්‍යාපාරවල ප්‍රමුඛ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවය. එහෙත් මේ ක්‍රියාදාමය එතරම් පහසු නැති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වෙයි. එවැනි ව්‍යවස්ථාමය කාරණාවලදී පාර්ලිමේන්තුවේ සියලු‍ මන්ත්‍රීවරුන්ගේ අවබෝධය සහ එකමුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් සාධකයකි.

එවැනි අවබෝධයක් හරහා පිළිගත හැකි විසඳුමක් ලබාගැනීම අපහසු නොවනු ඇති බව අපගේ වැටහීමය. රට දැන් පවතින තත්ත්වයෙන් වැඩි දවසක් ඉදිරියට යා නොහැක. රටේ ප්‍රශ්න එකපිට එක ගොඩගැසෙමින් පවතින බැවිනි. රටේ ජනතාවට අලු‍ත් අවුරුද්දක් ගැන කිසිදු හැඟීමක් ඇතිනොවන තරමට තත්ත්වය බරපතළ වී තිබෙන බව රජයත් විපක්ෂයත් තේරුම් ගත යුතුය.

මේ වනවිට රජය පාර්ලිමේන්තුවේ කොතරම් අපහසු තත්ත්වයකට පත්වී සිටින්නේද යත් මේ දක්වා කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට පවා අපොහොසත්ව සිටියි. එබැවින් මේ ගැන කාගේත් දැඩි අවධානය යොමුවිය යුතුය.

රටේ ඇතිවන උද්ඝෝෂණ ද දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් සමාජය අතට ගනිමින් සිටින බවක් පෙනේ. මේවාද කිසියම් පාලනයකින් ගිලිහී ගියහොත් තත්ත්වය කුමක් වේදැයි කිව නොහැක.

(***)

 

පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වන ලකුණු මිස ඊට විසඳුම් ලැබෙන ආකාරයක් දැකගන්නට නැත. විරෝධතා ප්‍රචණ්ඩත්වය කරා යොමු වී ඇත. විරෝධතා සමඟ ගින්දරත් ගමන් කරනු දැක ගත හැකිය. විරෝධතාකරුවන් බොහෝ දේවල්වලට ගිනි තබන්නට සූදානම් වන බවක් පෙනෙයි. මේ අතර, ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා තවත් පිරිසක් පාරට බසින්නට සූදානමින් සිටිති. එය කුරුණෑගලදී දැක ගත හැකි විය. රට ඉබාගාතේ යන බවක් පෙනෙන්න ඇති අතර, මෙහි ප්‍රතිඵලය අතිශය භයානක විය හැකිය. අදහස් ප්‍රකාශනයට හා විරෝධතා දැක්වීමට ඉඩ තිබිය යුතු වුව ගිනි තැබීමට, පහර දීමට, මිනීමැරීමට ඉඩ තැබිය යුතු නැත.

රටේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ පවත්වන විවාදය නිෂ්ප්‍රයෝජන එකක් බව ද කාලය නාස්ති කිරීමක් බව ද හොඳටම පැහැදිලිය. පක්ෂ නායකයන් පවා පිස්සු කෙළින බවක් දැක ගත හැකිය. එකිනෙකා තම ප්‍රතිමල්ලවයන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් ද බරපතළ විග්‍රහ ඉදිරිපත් කරමින් ද කාලය විනාශ කරති. ඒ අතර, සභා ගර්භය මැද විරෝධතා පවත්වති. එළියේ සිටින විරෝධතාකරුවන් හා ඇතුළේ සිටින මහජන නියෝජිතයන් අතර වෙනසක් නැත. මහජන නියෝජිතයන් ද අර්බුදයට ගිනි තබමින් ඉන් ආස්වාදයක් ලබන බව පෙනෙයි. එය අතිශය කනගාටුවට කාරණයකි.

පාර්ලිමේන්තු විවාදය පවතින අතර කථානායකවරයා ප්‍රකාශ කළ අතිශය වැදගත් කාරණයක් තිබේ. රටේ බුද්ධිමතුන් ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කථානායකවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වයට වහා විසඳුම් සපයා ගැනීමට අසමත් වුව හොත් ශ්‍රී ලංකාවෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී යා හැකි බවය. 1931 සිට මහජනයාගේ අභිමතයට මුල්තැන දෙන විධිමත් පාලන රටාවක් අපට තිබිණි. එය විනාශ වීම යනු ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව, ශිෂ්ටත්වයත් අහෝසි වීමකි. දේශපාලන නායකයන් ඒ ගැන වගේ වගක් නැතිව ක්‍රියා කිරීම එක අතකින් පුදුමසහගතය; තව අතකින් බියකරුය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආසියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින පැරැණිම රාජ්‍යයන් දෙක ලෙස සලකනු ලැබේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකටම හිමි වූ කීර්ති නාමයක් ද ඇත. ඉන්දියාව විශාල රාජ්‍යයක් වුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම රැකගනිමින් රටට හා ජනතාවට ගැළපෙන පාලන ව්‍යුහයක් සකස් කරගෙන තිබේ. ප්‍රාන්තයෙන්, ප්‍රාන්තයට එහි යම් වෙනස්කම් ද දකින්නට ලැබේ. කුමක් වුව ඉන්දියාවේ රාජ්‍ය පාලන ව්‍යුහය අභියෝගයට ලක් වී නැත. එය විශ්වාසවන්ත ලෙස පවත්වා ගැනීමට එරට නායකයන් ක්‍රියා කර තිබේ. එහෙත් අපේ රටේ ඇත්තේ ඊට වෙනස් තත්ත්වයකි. වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනෙන අතර, මේ මොහොතේත් ඒ ගැන සංවාද පවත්වනු දැක ගත හැකිය.

 

එක පැත්තකින් විරෝධතාකරුවන් රට ගිනි තබමින් අර්බුදය තවත් උත්සන්න කරනු දැක ගත හැකිය. තව අතකින් පාර්ලිමේන්තුව ජනතාවගේ කෝපය තවදුරටත් වර්ධනය වන ලෙස ක්‍රියා කරනු දැක ගත හැකිය. මේ අතර ඩීසල් පෝලිමේ දිග්ගැහෙන්නට පටන්ගෙන තිබේ. ඇතැම් ප්‍රදේශවල පෝලිම් පවතින්නේ දින තුනක සිටය. දැන් කාගේත් අවධානය යොමු වී ඇත්තේ විරෝධතා දෙසටය. ඇතැම් ජනමාධ්‍ය උදේ සිට රෑ වන තුරු ද රාත්‍රියේ සිට එළි වන තුරු ද විරෝධතාම පෙන්වයි. ඒවාම වාර්තා කරයි. තෙල් පෝලිම්වල සිටින සාමාන්‍ය ජනතාවගේ අදහස වන්නේ දැන් අපි ගැන බලන්න කවුරුවත්ම නෑ යන්නය. එහි ඇත්තක් තිබේ. හුඟ දෙනකුට දැන් රටේ ඇත්ත ප්‍රශ්න අමතකය.

රාජ්‍ය නායකයා ඉවත් විය යුතු යැයි විරෝධතාකරුවන් කියා සිටිය ද එය කළ හැකි දෙයක් නොවේ. ජනාධිපතිවරයා හදිසියේ ඉවත් වුව හොත් රට මුළුමනින්ම අරාජික වී බරපතළ විනාශයක් සිදු වන්නට ඉඩ තිබේ. දැනට පවතින පාර්ලිමේන්තුවෙන් සාර්ථක විසඳුමක් අපේක්ෂා කළ නොහැකිය යන්න බොහෝ දෙනකුගේ අදහස වී තිබේ. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම එම අදහස තවදුරටත් තහවුරු කරයි. කඹ ඇදීම, කාලය නාස්ති කිරීම දිගටම සිදු වෙයි. සංචාරක කර්මාන්තය යාන්තමට හිස ඔසවමින් තිබුණ ද දැන් යළිත් එය කඩා වැටෙනු ඇත. එය අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් බව බොහෝ දෙනකුට අමතකය.

ආණ්ඩුවක් නැතිව රටක් පාලනය කරන්නට පුළුවන්කමක් නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සේම ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය දීමට කැමැත්ත පළ කර ඇති බවට වාර්තා පළ වී තිබේ. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට නම් වහාම වැඩසටහන් සකස් කොට ජගත් ආයතන සමඟ සාකච්ඡා කළ යුතුය. මෙය ප්‍රමාද වන තරමට අපේ ආර්ථික අර්බුදයේ ගැඹුර ද වර්ධනය වනු ඇත. ආණ්ඩුවක් නැති අරාජික රාජ්‍යවලට ණය නොව, ආධාර දීමටවත් ජගත් ආයතන ඉදිරිපත් වන්නේ නැත. මේ වන විට ඖෂධ හිඟයක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඖෂධ හිඟය තවදුරටත් සංකීර්ණ තත්ත්වයක් වෙත ඇදී ගිය හොත් රට ඉතා අවාසනාවන්ත අඩියකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.

දැන් සිදු විය යුත්තේ වහාම කැබිනට් මණ්ඩලයක් ස්ථාපනය කොට ජගත් ආයතන වෙතින් ගත යුතු සහයෝගය කඩිනමින් ගැනීමය. පක්ෂ නායකයන් ඊට සහයෝගය දක්වන්නේ නැති නම්, රාජ්‍ය නායකයා තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුය. උද්ඝෝෂණවලින් ආවේග පිට කර ගත හැකිය; එහෙත් රටක් පාලනය කළ නොහැකිය.

රට ගිනිගත් ගිනිහල් ගෙයක් බඳුය. උණුසුම දිනෙන් දින තීව්‍රවනු විනා තුනී වන බවක් ද නොපෙනේ. තවමත් කිලෝමීටර ගණන් දිග්ගැස්සුණු ඉන්ධන පෝලිම් ය. ගෑස් සහ භූමිතෙල්  හිඟය ද නිමාවී නැත. විදුලිය විසන්ධිය පැයයි විනාඩි හතළිහකට සීමා කරන බව අවධාරණය කෙරුණ ද යළිත් පැය හත හමාරක් විදුලිය විසන්ධි කෙරෙන බවද නිවේදනය කර ඇත. දැවෙන - තැවෙන ජනයා කඩිනමින් විසඳුම් ඉල්ලා මාර්ග අවුරා විරෝධය පළ කරති.

විරෝධය පළ කිරීමට ජනයා පෙළඹෙන්නේ ප්‍රශ්න විසඳා ගැනීමට වෙනත් විකල්ප නොමැති හෙයිනි. ඉල්ලීම්, ආයාචනා, බැගෑපත්වීම නොසලකා හැරුණුවිට ඊළඟ පියවර විරෝධය පළ කිරීම ය. එය ජනයාගේ ශුද්ධ වූ අනුල්ලංඝනීය  අයිතියකි. එහෙත් එය භුක්ති විඳිය යුත්තේ සාමුහික විචාර බුද්ධියෙනි. සාමුහික විචාර බුද්ධිය ගිලිහී ගියවිට ආදේශ වන්නේ අවිචාරය  වේ. අවිචාරය තරම් සටන්  බිම්වලට නින්දා සහගත ලප කැළැල් එක් කරන වෙනත් දෙයක් නොමැත. ජීවිතයට සහන ඉල්ලා වීදි බැසි මිනිසුන්ගේ අරගලයට ද එබඳු ලප කැළැල් එක්වනු ඉකුත් දිනවල දක්නට ලැබිණි.

‘ප්‍රචණ්ඩත්වය වූ කලී අශීලාචාර අශිෂ්ට අවියකි’. එම අවි නූතන දියුණු මානව සමාජය තුළ මිනිස් කසළ මෙන් පිටු දකින්නකි. පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන්  රණසිංහ මහතාගේ නිවෙස ප්‍රකෝපකාරීන් අතින් විසුණුවී ගියේය. හිටපු ඇමති ගාමිණී ලොකුගේ සහ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගේ නිවෙස් ඉදිරිපිට ද විරෝධතා  පැවැත්වුණු බව ද වාර්තා විය. හිටපු ඇමැති ගාමිණී ලොකුගේ ගේ නිවස ඉදිරිපිට මහා ගිනි ජාලා නැගෙනු  විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය විය.

හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවෙසටත් ඔහුගේ නිවෙස අබියස ඉදිකෙරෙන හෝටලයටත් දැඩි ලෙස හානි සිදුකර  තිබිණ.

මිනිසුන්ගේ ඉල්ලීම් අතිශයින්ම සාධාරණ ය. යුක්ති සහගත ය. එමෙන්ම මානුෂික ය. එබඳු සටන් මැදට පනින අවස්ථාවාදියෝ සිටිති. කල දුටු කල වළ ඉහ ගැනීමට මාන බලන පිරිස් සිටිති. ඔවුන්ට වුවමනා යම් වින්දනයක් ලැබීමට පමණි. ගිනි අවුළුවා, ගැටුම්  ඇතිකර කපා කොටා ගැනීමට සලස්වා එදෙස බලා  ප්‍රීතිවිය හැකි පටු හා පවිටු මෙන්ම විකල් මනසින් හෙබි දුර්දාන්තයෝ සිටිති.

ඔවුහු උපක්‍රමශීලිව තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කරති. ඒ විරෝධතාකරුවන් මැති ඇමැති නිවෙස්වලට කඩා පනින විට දේශපාලකයන් එහි නැත. එහෙත් ඔවුන්ගේ අඹු දරුවන් එහි සිටිය හැකිය. ඔවුන් මේ අවස්ථාවලට මුහුණ දෙන්නේ කෙසේදැයි විරෝධතාකරුවන් සිතිය යුතුය.

අමතක නොකළ යුතු කාරණයක්ද තිබේ. සාධාරණ අරගල ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය වූ විට ආරක්ෂක අංශවලට එයට මැදිහත්වීමට සිදුවේ. ඇතැම්විට මළ සිරුරු ගණන් කිරීමට සිදුවන තරමේ ප්‍රතිප්‍රහාර එල්ල විය හැකිය. සටන ලෙයින් යකඩින් හා  ගින්දරෙන් මැඬලූ විට එහි වාසිය යන්නේ ජන සටන් නිසා පීඩාවට පත්වන බලධාරීන්ටය. එහෙයින් බලධාරින් වෙනුවෙන් එම බලධාරින්ගේ අනුදැනුම සහිතව හෝ නැතිව එබඳු ප්‍රචණ්ඩත්වයක්  ඇති කිරීමට ඉදිරිපත් වන දේශපාලන අතවැසියන් සිටිය හැකිය. සමාජය අවුල් ජාලයක පැටලුණවිට සිදු නොවිය හැකි දෙයක් නොමැත.

ජනතාව බුද්ධිමත් විය යුත්තේ ඉහත පරිසරයේය. ජනතා සටන් හයිජැක් කිරීමට බලා සිටින දේශපාලන පක්ෂ ද වේ.  ඔවුන්ගේ අතවැසියෝ ජනතාව අතරට රිංගති.  පළමු ගල් පහර ඔවුන්ගෙනි. ඉන්පසුව සටන ඇවිළීයන්නේ අරමුණෙන් බැහැරව ප්‍රතික්‍රියා හා ප්‍රතික්‍රියා  වශයෙනි. ඉතිහාසය පුරා මෙම අත්දැකීම් තිබේ. 88,89 යුගයේ හැට දහසක් පමණ මරා දැමුණි. එයින් හරි අඩක් සටන්කරුවෝ නොවෙති.

පෞද්ගලික එදිරිවාදිකම් නිසා බොහෝ දෙනෙක් මිය ගියහ. අවසානයේදී එම මළසිරුරු බාර වූයේ ‘නාඳුනන තුවක්කුකරුවා’ ට ය. තෙල් ගැලුමයි - ටයරයයි සෑයටය. ප්‍රා, උකුස්සා වැනි අතුරු හමුදා කණ්ඩායම්වලට ය. ඒ මළසිරුරුවල වගකීම බාර ගැනීමට කිසිවෙක් නොවූහ. අවසානයේ දරු සොවින් සුසුමෙන් කාලය ගෙවා දැමීමට අම්මලාට තාත්තාලට සිදුවිය.

කළු ජූලිය ද එසේ ම ය. හමුදා සෙබළුන් දහතුනකගේ මරණ මහා වර්ග සංහාරයක් දක්වා දිග්ගැස්සි ගියේය. භාෂාව විමසා දෙවනුව මරා දමන මහා ශාපලත් පරිසරයක් නිර්මාණය විය. වේළුපිල්ලේ  ප්‍රභාකරන්ට තමන් වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස්  බෝම්බ නිර්මාණය කර ගැනීමට  හැකිවූයේ එම ශාපලත් පරිසරය නිසා ය. ඒ වෙනුවෙන් තිස් වසරකටත් වඩා වැඩි කාලයක් යුද අග්නියෙන් දැවීමට, තැවීමට මෙරට ජනයාට සිදුවිය. රට සියවස් ගණනාවක් ආපස්සට ගියේය. අප තවමත් මේ ගෙවා දමමින් සිටින්නේ එම තාර්කික වන්දිය වේ.

‘නොදන්නාකම විනාශය වළක්වා නැත.’ යන්න ඒකාන්ත සත්‍යයකි. මෙම අර්බුදකාරි පරිසරය තුළ වඩාත් බුද්ධිමත්ව හා විචාරශීලිව කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි. ප්‍රමාදය පමණක් නොව අතිධාවනකාරි වීමත් පරාජයට හා විනාශයට පාවාඩ එළනු ඇත.

 
 

ශ්‍රී ලංකාව තමන්ගේ දිගුකාලීන මිතුරකු බව ද මිතුරාට සහයෝගය දැක්වීමට තම රාජ්‍යය නිසඟයෙන්ම බැඳී සිටින බව ද බිම්ස්ටෙක් පස්වන සමුළුවට සහභාගි වූ බංග්ලාදේශ නියෝජිතයා කියා සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය නිසා බිඳවැටුණු කලාපීය ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා බිම්ස්ටෙක් රටවල් උපරිම සහයෝගයකින් ක්‍රියා කළ යුතු බවය. එලෙසම කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා ද කලාපීය රටවල් ඒකාබද්ධ පරිශ්‍රමයක යෙදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය බිම්ස්ටෙක් නායකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම ද පස්වන බිම්ස්ටෙක් සමුළුව කොළඹදී පැවැත්වීමට ලැබීම ද අපට ලැබුණු මහඟු අවස්ථාවක් සේ සැලකිය හැකිය. පස්වන සමුළුව ගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද වසංගත තත්ත්වය නිසා එය කල් දැමීමට සිදු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමුළුවට නායකත්වය දෙමින් කලාපීය රටවල අවධානය ඉතා වැදගත් විෂය ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි යොමු කිරීම විශේෂත්වයක් සේ සැලකිය හැකිය. බිම්ස්ටෙක් රටවල් හත මුලින්ම සංවාදයට ගෙන තිබුණේ බෙංගාලබොක්ක ආශ්‍රිතව මතුවන ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නය. එහෙත් අද එහි විෂය පථය ඊට වඩා පුළුල් වී ඇත.

ගෙවී ගිය වසර දෙක තුළ බිම්ස්ටෙක් රටවල්වල ආර්ථිකයන් සැලකිය යුතු පසුබෑමකට ලක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතයයි. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයක් සටහන් කරගෙන ඇත්තේ බංග්ලාදේශය පමණි. ගිය වසරේ එහි ආර්ථික වෘද්ධිය 6.3%ක් ලෙස සටහන් වී තිබිණි. ඉන්දියාව, තායිලන්තය යන රටවල් පවා අපේක්ෂිත ආර්ථික වර්ධනයට ළඟා වූයේ නැත. නේපාලය, ශ්‍රී ලංකාව, භූතානය වැනි රටවල ආර්ථික වර්ධනය පහළ මට්ටමක පැවතිණි. මේ අතර, ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයකට මුහුණ දී ඇත. සංචාරක කර්මාන්තය කඩාවැටීම, විදේශීය රැකියා අහිමිවීම හා ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති ද ඒ කෙරෙහි බලපා ඇත. එහෙත් කලාපීය රටවල සහයෝගය මත මේ ගැටලුව ඉතා ඉක්මනින් විසඳාගත හැකි යැයි විශ්වාසයක් ඇතිකර ගත හැකිය.

 

ඉන්දියාව හා බංග්ලාදේශය මේ මොහොතේ ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය දෙමින් සිටිති. බංග්ලාදේශය ඇ. ඩො. මි. දෙසිය පනහක ණය මුදලක් ලබා දුන් අතර, තවත් ඇ. ඩො. මි. දෙසිය පනහක ණය මුදලක් දීමට එකඟ වී ඇත. ඉන්දියාව ඇ. ඩො. මි. දහසක ණය මුදලක් දීමට පියවරගෙන ඇත. මේ වන විට දෙරටේ වෙළෙඳාම 40%කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වී ඇත. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රධාන වෙළෙඳපොළ ඉන්දියාව යැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. කෝටි සියයකට වැඩි විශාල පාරිභෝගික සමාජයකින් යුතු ඉන්දීය වෙළෙඳපොළ ජය ගත හැකි නම්, අපේ ආර්ථිකය ඉතා ඉහළ මට්ටමකට ගෙන යෑමට එය ප්‍රමාණවත්ය. ඉන්දියාවේ සහයෝගයකින් තොරව කලාපීය වෙළෙඳාම සාර්ථක කරගැනීමේ හැකියාවක් ද නැත. ඒ අනුව ඉන්දියාවේ හොඳ හිත ඉතා වැදගත් වෙයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ සමුළුව අමතමින් ඉතා වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළේය. ඒ අතර ප්‍රධාන වන්නේ බලශක්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවය. කලාපීය බලශක්ති අර්බුදය විසඳීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් මෝදි මහතා කලාපයට වැදගත් වන බලශක්ති බෙදාහැරීමේ ජාලයක් ඇති කළ යුතු බව අවධාරණය කළේය. බිම්ස්ටෙක් රටවල් හතම බලශක්තිය අතින් අඩු-වැඩි අර්බුදයක හිර වී සිටිති. ඉන්දියාව වරින්වර පස් වතාවකදී ඉන්ධන මිල ඉහළ දැමූ අතර, ඊට මහජන විරෝධ මතු වී ඇත. නේපාලය විදුලිය සැපයීමේ අර්බුදයකට වරින්වර මුහුණ දෙයි. එය එරටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපායි. කලාපීය රටවල සහයෝගය මත මේ සඳහා විසඳුම් මාර්ගයක් සපයා ගත හැකිය.

බිම්ස්ටෙක් රටවල් හතම සම්පත් අතින් පොහොසත් රාජ්‍යයන් ලෙස සැලකිය හැකිය. නේපාලයේ ජල සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට ගත හොත් රටවල් ගණනාවකට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කළ හැකි යැයි බොහෝදෙනා විශ්වාස කරති. තායිලන්තයේ, ඉන්දියාවේ, නේපාලයේ හා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා ඉහළ මට්ටමකට ගෙන යෑමේ ශක්‍යතා පවතී. එහෙත් සංචාරක කර්මාන්තයෙන් ප්‍රමාණවත් විදේශ විනිමයක් උපයා ගන්නේ තායිලන්තය පමණි. එය ද කොවිඩ් සමය තුළ පහළ ගියේය. මේ රටවල් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කළ හොත් කලාපීය සංචාරක කටයුතු මීට වඩා වර්ධනය වනු ඇත. බිම්ස්ටෙක් සමුළුව ඔස්සේ රටවල් හතේම ආර්ථික වර්ධනයට වැදගත් වැඩ කොටසක් ඉටු කළ හැකිය.

බංග්ලාදේශය යනු ස්වාභාවික විපත්වලින් ද දුප්පත්කමින් ද බෙහෙවින් පීඩාවට පත්ව සිටි රාජ්‍යයකි. වරෙක බංග්ලාදේශය හැඳින්වූයේ ආසියාවේ කඳුළ හැටියටය. එවකට ලොව දුප්පත්ම රටවල් විස්ස අතර බංග්ලාදේශයේ නම ද සටහන් විය. එහෙත් කෙටි කාලයක් තුළදී බංග්ලාදේශය මුළුමනින්ම වෙනස් කිරීමට එරට නායකයන්ට හැකි විණි. අද ලෝකයේ නැඟී එන ආර්ථිකයන් පහෙන් එකක් ලෙස බංග්ලාදේශයට කීර්ති නාමයක් තිබේ. එරට ආර්ථිකය ශක්තිමත්ය. කොවිඩ් සමය තුළ පවා වාර්ෂික ආර්ථික වෘද්ධිය 6% ඉක්මවා සිටින්නට වැඩ කළ ආකාරය එරට නායිකාව සමුළුවේදී පෙන්වා දුන්නාය. බංග්ලාදේශය රට වසා දැමුවේ නැත. අවශ්‍ය ප්‍රදේශ පමණක් වසා දැමුවේ ඉතා කෙටි කාලයකට පමණි. රටේ කර්මාන්ත වහා වැඩ ආරම්භ කළේය. ඇඟලුම් කර්මාන්තය නැවතුණේම නැත. වැඩ වර්ජන හා විරෝධතා පැවැත්වීමට ද ඉඩක් තිබුණේ නැත. බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ දේවල් උගත හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 25 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්විය. මෙය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය යටතේ දෙමළ සන්ධානය සමඟ පැවැති ප්‍රථම හමුව විය.

දෙමළ සන්ධානයෙන් ආණ්ඩුව සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කෙරුණත් එය සිදුවුණේ මේ අවස්ථාවේදී පමණි. ප්‍රමාද වී හෝ මේ සාකච්ඡාව සිදුවීම යහපත් ප්‍රවේශයක් වශයෙන් අපි දකිමු.

මෙවැනි හමුවීම් මේ රජය බලයට පැමිණි මුල් කාලයේදීම සිදුවී නම් සහ එම හමුවීම්වලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසාගෙන තිබී නම් එහි වටිනාකම කිව නොහැකිය. කෙසේ වුවද මෙම හමුවේදී සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු‍ ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමුකරන බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමට ඔවුන්ට ඇරියුමක්ද කළේය.

අප යළිත් කියන්නේ මේ ආරම්භය ගතයුතුව තිබුණේ ආණ්ඩුව පත්වූ මුල් අවධියේදීම බවය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු‍ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා දෙමළ සන්ධාන මන්ත්‍රීන් පිරිසක් උද්ඝෝෂණය කළත් මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාව රජයට දැනී නොතිබුණු බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලනඥයකු වශයෙන් ජාතිය සහ ආගම පිළිබඳ දරන දැඩි ස්ථාවරය මේ රටේ කිසිවකුටත් රහසක් නොවේ. තමන් බලයට පත්වූයේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බව ඔහු මුලසිටම රට හමුවේ ප්‍රකාශ කිරීමට පැකිළුණේ නැත. එය රටේ බහුතරයකගේ පිළිගැනීමට හේතු විය හැකි වුවද රට පාලනය කිරීමේදී සෙසු ජන කොටස්වල අභිලාෂයන් සහ දුක් ගැනවිලි පිළිබඳව සංවේදී වීමද අවශ්‍යය. එසේ නොවීම රටේ එදිනෙදා ගැටලු‍ සංකීර්ණ වන විටදී නැති ප්‍රශ්න ඇතිකර ගැනීමටද හේතු විය හැකිය. සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමෙන් දෙමළ සන්ධානයද තමන්ගේ ප්‍රශ්න පිළිබඳව රජයේ අවධානය යොමු කරවීමට දක්වන උනන්දුව පෙන්වා තිබිණි. ඒ සමඟ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් සඳහා ලැබුණු ඇරියුම ඔවුන් දෝතින්ම පිළිගැනීම පිළිබඳ පුදුම විය යුතු නැත.

මෙවැනි සාකච්ඡාවලදී උතුර නැගෙනහිර සියලු‍ දෙමළ මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන සහාය වැදගත් වන බවද පෙන්වා දිය යුතුය. එහෙත් සර්ව පාක්ෂික සමුළුවට ඔවුන්ගෙන් පිරිසක් සහභාගි වූයේ නැත. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට එසේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිටීම හොඳ ප්‍රවණතාවකි. නියෝජනය වැඩිවන විට පවතින ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව වඩාත් පුළුල් සහ අර්ථවත් ආකාරයට පවත්වාගෙන යා හැක.

මෙහිදී දෙමළ සන්ධාන පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් අතර දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනුකර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු‍ විසඳීම වූ බවද වාර්තා විය. එහිදී දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා තමන්ගේ ප්‍රධානම ඉල්ලීමක් වන එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් සොයාගත යුතු බවත් එවැනි විසඳුමකින් රට සෞභාග්‍යය කරා ගෙනයාම තමන්ගේ අපේක්ෂාව බවත් කියා සිටියේය. එක රටක් සහ එක ජාතියක් ලෙස ක්‍රියාකරමින් පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සියලු‍ පාර්ශ්වයන්ගේ වගකීම බවත් ශ්‍රී ලංකාව පෙරදිග ස්විට්සර්ලන්තය බවට පත්වනු දැකීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ පාර්ශ්ව දෙක අතර සාකච්ඡාව මෙතැනින් ඉදිරියට යා යුතු බවට විවාදයක් නැත. ඒ සමඟ එම සාකච්ඡා පටු දේශපාලන මතභේදවලින් තොරව සහ අන්තවාදී අදහස්වලින් තොරව පවත්වාගෙන යාමත් වැදගත්වනු ඇත. අඩුම තරමින් ජාතික ප්‍රශ්න ලෙස හඳුනාගන්නා ගැටලු‍ දේශපාලන වේදිකාවේ සටන්පාඨ බවට පත් කිරීම වළක්වා ගැනීමට හෝ එකඟත්වයක් ඇතිකර ගත හැකි නම් එය ජයග්‍රහණයක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.


දෙපාර්ශ්වය අතර සාකච්ඡාවල යටිපෙළ අරමුණු සහ සැබෑ අවශ්‍යතා කුමක්දැයි තවම පැහැදිලි නැතිවුවද රටේ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය මේ සාකච්ඡාවට පදනම දැමූ බව නම් පැහැදිලිය. ආර්ථික අර්බුදය මෙතරම් දරුණු අඩියකට පත් නොවී තිබුණා නම් මේ සාකච්ඡාද එක් බලාපොරොත්තුවක් පමණක් වීමට හොඳටම ඉඩ තිබිණි.

ආර්ථික ගැටලු‍ විසඳා ගැනීමට නම් ඉතා දුෂ්කර, අමිහිරි තීන්දු ගැනීමට සිදුවනවා මෙන්ම ජාතික ගැටලු‍ව විසඳීමේදීද එවැනිම ඉතා දුෂ්කර තීන්දු ගැනීමට සිදුවන බව යථාර්ථයයි. මෙහිදී දේශීය සහ විදේශීය වශයෙන් පවතින සැබෑ තත්ත්වය හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව පාර්ශ්ව දෙක විසින්ම අවබෝධ කරගත යුතුය. එහි වඩාත්ම බලපෑම ඇත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන රජයේ පාර්ශ්වයට බවද පැහැදිලිය. අපේ රට ස්විට්සර්ලන්තය වනු දැකීම සම්පන්දන් මහතාගේ කැමැත්ත නම් සාකච්ඡාවලදී දෙමළ සන්ධානයද මස් රාත්තලම නොඉල්ලා නම්‍යශීලී වීම අවශ්‍ය බවද කිව යුතුය.

(***)

 

 

නොමැරී මැරී ජීවත්වීම’ යන්න වහරෙහි එන්නකි. මේ මොහොත යනු මෙරට සකලවිධ ජනයා එම කියමන් ජීවමානව අත්විඳිමින් සිටින මොහොතකි. එම ජනයාත් සූරාකෑමට යමකු පෙළඹෙන්නේ නම් හෙතෙම මනුෂ්‍යයකු විය නොහැකි ය. එබඳු අමනුෂ්‍යයකු සම්බන්ධ පුවතක් අප පුවත්පත  ඉකුත්දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්තිය ළඟ ළඟ එන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සම්බන්ධ ය.

කැකිරාව, ගනේවල්පොල ප්‍රදේශයේ සද්ගුණවත් ව්‍යාපාරිකයෙක් සිටී. මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවෙන් හාල් තොගයක් ආනයනය කර තිබේ. ඒ සිංහල අවුරුදු සමයේ ජනයාට මිලදී ගැනීමටය. එම හාල් තොගය කිලෝ ලක්ෂ 2ක පමණ ප්‍රමාණයකි. එයින් කිලෝ විසි දෙදහක් පමණ ගුල්ලන් ගසා ඇත. ‘ගුල්ලන් හැපෙන්නේ නැතැයි’ එම සද්ගුණවත් ව්‍යාපාරිකයාට සිතෙන්නට ඇත.

ඒ  අනුව එම ගුල්ලන් ගැසූ හාල් ‘හොඳ හාල්’ සමග මිශ්‍ර කර ලාභයක් ලැබීමට ඔහුට කල්පනා විය. උත්සව සමයේ කාර්ය බහුල ජනයාට ‘හොඳ හොඳ දේ’ සොයමින් නාස්ති කිරීමට කාලයක්ද නැත. පරිභෝජනයට නුසුදුසු ආහාරපාන තමන්ට විකුණනු ඇතැයි බොහෝ දෙනෙක් සිතති. ඒ තමන් මෙන්ම අන්‍යයන්ද අවංක යැයි ඔවුන් සිතන හෙයිනි. 

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබිණි. එයින් කියැවුණේ ආනයනික සහල් තොගයක් ගනේවල්පොල ප්‍රදේශයේ හාල් මෝලකදී දේශීය සහල් සමග මිශ්‍රකර වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමක් ඇති බවය. ඒ අනුව එම සහල් මෝල වටලනු ලැබූ අතර එවැන්නක් එහිදී හමුවී නැත. එහි වෙනත් ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඉන්දියාවෙන් ආනයනය කළ සහල් කිලෝ ලක්ෂ 2ක් හමුවී ඇති අතර පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගැසූ සහල් කිලෝ විසි දෙදහසක්ද එහි තිබී ඇත.

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සහල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් එහි වාර්තා අනුව සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවත් ය. එමෙන්ම උත්සව සමය ඉලක්ක කර ගනිමින් එම සහල් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බවත් අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පවසති. 

මහින්දාගමනයත් සමග මේ දිවයින දැහැමි ආර්ථික මාවතකට පිවිසියේ ය. එම දැහැමි ආර්ථික  මාවත නම් කෘෂිකර්මාන්තය වේ. කෘෂි කර්මාන්තයට ජලය අවැසි හෙයින් ඉපැරණි මුතුන් මිත්තෝ සයුර පරයන මහ වැව් ඉදි කළහ. වැවෙන් කපාගත් මහ පස් කඳු අහස සිඹින මහා දාගැබ් බවට පත් කළහ. වැව හා දාගැබ ආශ්‍රිතව ජනාවාස ඉදිකර ගත්හ. ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ අපගේ ශ්‍රේෂ්ඨ ජාතික උරුමය බවට පත් වූයේ එසේ ය. 
වැව ආසන්නයේම දාගැබ ඉදිවීම අපගේ ආර්ථික දර්ශනයේ මූලික සිද්ධාන්තය වේ.

වැව්තලය නිල්වන් දිය කඳින් පිරීගිය කල්හි දාගැබ් සෙවණැල්ල එම වැව්දිය මතට වැටේ. වැව සමෘද්ධියේ සංකේතය වේ. ආර්ථික දියුණුවේ සංකේතය වේ. ඒ මතට දාගැබේ සෙවණැල්ල  වැටීමෙන් සංකේතවත් වන්නේ එම ආර්ථික දියුණුව දැහැමි විය යුතු බවය. අප අපටම  අනන්‍ය උදාර ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් නිර්මාණය කර ගත්තේ එසේය. 

වර්තමාන තත්ත්වය බෙහෙවින් සෝබර ය. පාසල් සිසුවියන් රවටා රැගෙන ගොස් සෙළෙලුන්ට විකුණා කීයක් හෝ අතමිට මොළවා ගන්නා සාපලත් පුද්ගලයෝ සිටිති. පාසල් සිසුවාගේ අතේ ඇති මුදලට අනුව ලිංගික පහස සපයන ගණිකා මඩම් මේ රටේ වෙයි. කලාව සුන්දර වෘත්තියකි. එම සුන්දර වෘත්තියට එක්වීමට කැමති තරුණියන්ට මෙගා ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපෑමට දී ඒ හරහා එම තරුණියන් කාම ගින්නෙන් දැවෙන්නන්ට විකුණන පාපතරයෝ සිටිති. 

පිළුණු එළවළු හවසට කොත්තු රොටි වී යළිත් කෑම මේසයට ගෙනෙන හෝටල් වේ. එක් හෝටලයක සීනි ගබඩාකර තිබුණේ එම හෝටලයේ  වැසිකිළිය තුළ ය. නරක්වූ අල ලූනු ශුද්ධ කර අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට එවන ජාවාරම්කාරයෝ සිටිති. කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේදී කොටුකර ගැනීමට හැකිවූයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගැසූ සහල් මේ උත්සව සමයේ වෙළඳපොළට එවීමට සූදානමින් සිටි අපරාධකරුවෙකුය.

සියලු සත්වයන් ජීවත් වන්නේ ආහාරයෙනි. කුමක් දරා ඉවසා සිටියද මිනිසාට කුසගින්න දරා ඉවසා සිටිය නොහැකිය. ඒ ජනයා රෝගී කරන සුසාන භූමිය ආසන්න කරවන ආහාරපාන ලබාදීම අවීචි මහා නරකාදියෙහි ඉපදීමට හේතුවකි. මෙබඳු පාපතරයන් කොහේ කොතැන ඉපදුණද අපට කම් නැත.

යළි ඉපදීමට නම්  මරණයට පත්විය යුතු ය. අපට අවශ්‍ය වන්නේ එසේ මරණයට පත්වීමට පෙර මතක හිටින දඬුවම් මේ ජාවාරම්කාර පාපතරයන්ට ලබාදීම ය. නීති පොතේ මුද්‍රිත වගන්ති නොපමාව ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒ වෙනුවෙනි.

 

 

 

රටකට විදේශ විනිමය අහිමි වීම ඒ රටේ ආර්ථිකයේ ප්‍රාණය නිරුද්ධ වීමකි. අද අප රට පවතින්නේ එම බරපතළ අනතුරුදායක මට්ටමේය. ඒ අනතුරෙන් ගොඩ ඒමට නම් ඒ පිළිබඳ දීර්ඝ දේශන, වැඩමුළු, රැස්වීම් ඵලක් නැත. රටට විනිමය උපයා දෙන ක්‍රියාමාර්ගවලට වහාම අනුගත විය යුතුය. ඒ සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කර එම ප්‍රතිපත්තිවලට අනුකූල වන සේ තීන්දු තීරණ ගැනීමත් ඒවා අප්‍රමාදව ක්‍රියාවේ යෙදවීමත් අවශ්‍යය.

අපේ විදේශ විනිමය යනු ඩොලර්ය. නිදහස ලබා දශක හතක් ඉක්ම යද්දීත් අප තවමත් කතා කරන්නේ ඩොලර් බිලියන හත අටක ආර්ථිකයක් පිළිබඳ පමණි. එය රටක් වශයෙන් අප මුහුණ දී සිටින ඛේදවාචකයේ ගැඹුර පෙන්වා දෙන්නකි. රටට ඩොලර් ගලා එන ක්‍රමවේද පිළිබඳ ජාතික ප්‍රතිපත්තිවලට වඩා ඊළඟ ඡන්දය ලබාගැනීම සඳහා උපයෝගී වන සිල්ලර ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේ අහිතකර ප්‍රතිඵල දැන් රටම භුක්ති විඳිමින් සිටී.

මේ රට මෙතෙක් පාලනය කළ සෑම ආණ්ඩුවක්ම මේ ‍ඛේදවාචකයේ කොටස්කාරයෝ වෙති. රටේ අනාගත අභිවෘද්ධියට වඩා තමන්ගේ බඩ කට පුරවා ගැනීමේ චේතනාවෙන් වරින්වර ආණ්ඩු වෙනස් කිරීමට දායක වූ පොදු මහජනතාවටද මේ වගකීමෙන් කොටසක් පැවරෙන බවත් කිව යුතුය.

මේ හා සමාන තත්ත්වවලට මුහුණ දුන් දකුණු ආසියාවේ ඇතැම් රටවල් මේ වනවිට එම බඩගෝස්තරවාදී චින්තනයෙන් බැහැරව රටට ලැබෙන ඩොලර් ආදායම් අගය තේරුම් ගනිමින් වැටී සිටින වළෙන් ගොඩඒමට කටයුතු කර ඇති බව ඒ රටවල් ලබා ඇති ආර්ථික වර්ධනයෙන් පෙන්නුම් කරයි. මේ යථාර්ථය නොදකින දේශපාලනඥයන් සිටිත් නම් ඔවුන් තවදුරටත් අනුගමනය කරන්නේ රට ආර්ථික අගාධයකට දැමූ ජරාජීර්ණ යල් පැනගිය ප්‍රතිපත්තිම බව පැහැදිලිය.

ඒ කතාබහට වහ වැටී බඩගෝස්තර දේශපාලනයේ ඇලී ගැලී සිටිමින් තමන්ට ලැබෙන තාවකාලික පටු වාසි ගැන පමණක් සිතා කටයුතු කරන ජනතාවද කරන්නේ රට අමාරුවේ දැමූ ප්‍රතිපත්තිවලට රුකුල් දීමක් පමණි. පවතින තත්ත්වයෙන් මිදී ලොවේ සෙසු රටවල් තම ආර්ථිකය ශක්තිමත් කරගත් ආකාරය සම්බන්ධයෙන් ජනතාවටද දැක්මක්, කියවීමක් තිබිය යුතුය. අලු‍ත් ප්‍රතිපත්ති මත ක්‍රියා කරන පාලකයන් තමන්ටද අවශ්‍ය බව පොදු මහ ජනතාවද පෙන්වා දිය යුතුය. නැත්නම් කවදාවත් මේ නරාවළෙන් ගොඩඒමක් නැත.

ආයෝජන මාර්ග, විකිණීමක්, රටේ සම්පත් සූරාකෑමක්, ජාතිය විනාශ කිරීමක් වශයෙන් හඳුන්වන පටු අදහස් නම් පවුර මුලින්ම විනාශ කර දැමිය යුතුය. එක රජයක් බටහිර රටවලින් ආයෝජන ගෙන එනවිට විපක්ෂයේ සිටින නායකයන් එය ජනගත කරන්නේ බටහිරට අපේ රට විකුණන කූඨ උපක්‍රමයක් හැටියටය.

මේ රටේ සිටින පෞද්ගලික ව්‍යවසායකයන් වුවද ඇතැම් විට විදෙස් ආයෝජකයන් හඳුන්වා දීමට සූදානම් වන අවස්ථා රට විනාශ කරන කුමන්ත්‍රණ වශයෙන් ජනතාවට පෙන්වාදීමට සැරසෙන අවස්ථාද නැත්තේ නොවේ. එවැනි ආයෝජන වලට විරුද්ධව අරගලවලට ජනතාව මෙහෙයවන කාලකණ්නි දේශපාලන මතවාදවලින් මේ රට මිදෙන තාක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට රටට හැකියාවක්ද නැත. මෙයට හොඳම උදාහරණයක් වන්නේ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට ගත් උත්සාහයන්ට අත්වූ ඉරණමය.

මේ රට ගෝලීය භූ දේශපාලනය තුළ සැලකෙන්නේ ආසියානු කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපක්‍රමික වටිනාකමක් සහිත රටක් වශයෙනි. එහෙත් එම වටිනාකමේ ඇති වාසිදායක වාතාවරණයෙන් නිසි ඵල ලබාගැනීමට කිසිදු රජයකට ඕනෑකමක් නොතිබුණු බවත් එය රට තුළ දේශපාලනයේ පුහු සටන් පාඨයක් බවට පෙරළා ගනිමින් බලය ලබාගැනීමේ මෙවලමක් වශයෙන් භාවිතා කළ බවත් කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය.

නිසි ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවා ඩොලර් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට ඉතා සුදුසු පරිසරයක් තිබුණත් පෞද්ගලික විශ්වවිද්‍යාල රටට විනයක්, ශාපයක් වශයෙන් හැඳින්වූ ඇතැම් දේශපාලන නායකයන් විසින් එය උඩු යටිකුරු කෙරිණි. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවීම මේ රටේ මහපාරේ සිදු කෙරුණු අරගලයක් බවට පත්වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

රටේ පිළිගත් අධ්‍යාපන ප්‍රමිතිවලට නොගැළපෙන ප්‍රමිති එහි තිබුණා නම් කළ යුතුව තිබුණේ ඒවා රටට ගැළපෙන ලෙසට වෙනස් කිරීම සඳහා සටන් වැදීම මිස ඒ වෙනුවට එතරම් වටිනා ආයෝජනයක් උපාධි කඩයකට ලඝුකර හපකර විනාශ කිරීම නොවේ.

රටට ඩොලර් උල්පතක් විය හැකිව තිබූ එවැනි ආයෝජන බඩජාරි දේශපාලනයේ ගොදුරු බවට පත්වීමෙන් සිදුව ඇත්තේ රටට ලැබීමට තිබූ ඩොලර් අහිමිවීම පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා එතෙර රටවලට මේ රටේ දරුවන් පිටව යාමෙන් රටේ තිබෙන ඩොලර්ද එතෙරට ඇදී යාමය. දැන් රට මුහුණ දී සිටින ඩොලර් අහේනිය විසඳීම සඳහා තමන්ට රට බාර දෙන්නැයි ඉල්ලීම් කරන දේශපාලනඥයන් මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය දැනගැනීමට රටේ ජනතාව කැමැති වනු ඇත. එය දැනගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙන බවද වටහාගත යුතුය. 

සංචාරක කර්මාන්තය රටට ඇති එක් ඩොලර් උල්පතකි. නිසි ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා විවර කිරීම එවැනි උල්පත් සමූහයක් පාදා ගැනීමකි. ඒ සඳහා ප්‍රබල ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යා යුතු අතර එය සිදුවිය යුත්තේ සියලු‍ ප්‍රධාන දේශපාලන නායකයන්ගේ එකඟත්වයෙනි. එවැනි ප්‍රබල වෙනසකට රට සූදානම්ද යන්න ලොකුම ගැටලු‍වයි.

 

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා සේ බ්‍රිතාන්‍යය එරට සංචාරකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ. එරට වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ. එමගින් මෙතෙක් පැවැති උපදෙස් පසුගිය 07 වැනිදා යාවත්කාලීන කර අලු‍තින් හඳුන්වා දී තිබේ. ඒ උපදෙස්වලට අනුව අලු‍තින් පැමිණෙන සංචාරකයන් කෙසේ වෙතත් පැමිණ සිටින පිරිසද තමන්ගේ සංචාරය කෙටිකර ආපසු යාමට පවා හේතුවනු ඇතැයි බැලූ බැල්මට පෙනී යයි.

 

එම මාර්ගෝපදේශවලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් නරක අතට හැරෙමින් තිබේ. මෙහි කියන පරිදි ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙමින් පවතී. ආනයන භාණ්ඩ සඳහා ගෙවීමට මුදල් නොමැතිවීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇත. වෙළෙඳසල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් ඇති විය හැකිය. විදුලිය බෙදාහැරීම සලාක ක්‍රමයට සිදු කිරීමට හේතු වීමෙන් විදුලි බලය ඇණහිටීම් ද ඇති වනු ඇත.

භාණ්ඩ හිඟය සහ සෙසු පහසුකම් ගැන එසේ අනතුරු අඟවන බ්‍රිතාන්‍ය බලධාරීන් වඩාත්ම බරපතළ තත්ත්වයක් කෙරෙහිද අවධානය යොමුකර තිබේ. එයින් පැවසෙන්නේ ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර සිදු කිරීමට ත්‍රස්තවාදීන් උත්සාහ දැරීමට ඉඩ තිබෙන බවය. කිසිදු වග විභාගයකින් තොරව සිදුවිය හැකි එවැනි ත්‍රස්ත ප්‍රහාර සංචාරකයන් යන එන ස්ථානවලට පවා එල්ල විය හැකිය. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රහාරයේදී සංචාරකයන් ඇතුළු 250කට අධික සංඛ්‍යාවක් මියගිය බවද එම නිවේදනයෙන් සිහිපත් කර තිබේ.

කොවිඩ් හේතුවෙන් බිමටම කඩාපාත් වී තිබූ මෙරට සංචාරක ව්‍යාපාරය යන්තමින් හිස එසවීමට තැත් කරමින් සිටියදී බ්‍රිතාන්‍යයෙන් නිකුත් කෙරුණු මේ උපදෙස් මාලාව හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටීමක් වශයෙන් අප මුලින්ම සඳහන් කළේ ඉහත සඳහන් කරුණු හේතුවෙනි. එම සංචාරක උපදෙස් බ්‍රිතාන්‍යයේ පමණක් නොව සෙසු යුරෝපීය රටවල්ද තම මාර්ගෝපදේශ වශයෙන් සැලකීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. රුසියා - යුක්රේන යුද්ධය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය දැනටමද පසුබැසීමට ලක්ව සිටින මේ අවස්ථාවේ සෙසු යුරෝපීය සංචාරකයන්ද නොපැමිණියහොත් රටට සිදුවනු ඇත්තේ මහා විනාශයකි.

මුළු රටේම ජන ජීවිතය උඩු යටිකුරු කරමින් ජනතාව පෝලිම්වල ගාල් කරමින් රටේ ආර්ථිකය බරපතළ සෝදාපාළුවකට ලක්වීමේ මූලික හේතුව ඩොලර් නොලැබී යාමය. විදෙස් සංචිතය ශීඝ්‍රයෙන් පහළ වැටෙන විට මෙරට ආර්ථික විශ්ලේෂකයෝ රජයට මේ ගැන අනතුරු ඇඟවූහ. ණය එකවර ගෙවා සංචිතය දිය වී යාමට ඉඩ නොහැර ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවෙළකට යා යුතු බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගත යුතු බවටත් ඔවුහු යෝජනා කළහ. 

තමන්ට සියල්ල කළමනාකරණය කරගත හැකි බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේදී ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසිවලට අවනත වීමට සිදුවීමෙන් ජනතාවට මහත් අපහසුතා ඇතිවන බවටත් ආණ්ඩුවේ බලධාරීන්ගේ ප්‍රකාශය බවට පත්ව තිබිණි. රටේ ආර්ථිකය ඉදිරියේදී බරපතළ කඩාවැටීමකට ලක්වනු ඇති බවට උගත්, නූගත් බොහෝ දෙනාට දැනෙමින් තිබිණි. එහෙත් ඒ බව රටේ ආර්ථිකය හසුරුවමින් සිටි බලධාරීන්ට නොපෙනී යාම පුදුමයකි. කන්ටේනර් වරායේ හිර වී තිබෙන විට, ගෑස්, කිරිපිටි පෝලිම් මුලින්ම ඇතිවන විට ඒවා තාවකාලික හේතූන් වශයෙන් පෙන්වා බලධාරීන් කර බා ගෙන සිටි බව මෙහිදී පෙන්වාදීම අවශ්‍යය.

ඊළඟට ඩීසල් ගැටලු‍වත් සමඟ පැය ගණන් විදුලිය කප්පාදු වනවිට දිය යුතු පිළිතුරක් සොයාගැනීම පවා ආණ්ඩුවේ බලධාරීන්ට නොහැකි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මූල්‍ය අරමුදලේ කොන්දේසිවලටත් වඩා බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට පොදු මහජනතාවට සිදුවී තිබේ. 

මූල්‍ය අරමුදලින් ණය අනුමත කර ගැනීමෙන් පසුව මෙසේ සිදුවී නම් එය ඉවසා දරා ගැනීමට ජනතාව දෙවරක් නොසිතනු ඇත. එහෙත් දැන් සිදුව ඇත්තේ ණයක් නොලබාම රටම දැඩි දුෂ්කරතාවල ගොදුරක් බවට පත් වීමය. පසුගිය මාස 06ක කාලය තුළදී ආර්ථිකය සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳ පසු විපරමක් කරන්නේ නම් ආණ්ඩුවේ බලධාරීන්ට වැරැදුණු තැන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. කුමන ක්‍රමයකින් හෝ රට මේ පවතින තත්ත්වයෙන් ගොඩගැනීමට අවශ්‍ය තීරණ ගැනීම තවදුරටත් පමා කළ යුතු නැත.

අද මේ ආර්ථික පීඩනයෙන් දුක් විඳින ජනතාවට අනාගතය ගැන බලාපොරොත්තු ඇති කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් පාලනය කර ගැනීම අපහසු වන තත්ත්වයක් කරා රට ඇදී යාමට ඉඩ තිබෙන බවත් සඳහන් කළ යුතුය.

අපි බොහෝ දේ වරද්දා ගත් රටක පුරවැසියෝ වෙමු. මේ වරද්දා ගැනීම් බොහොමයකට පාර කැපුවේ මේ රටේ දේශපාලන සංස්කෘතිය බවත් ඒ සඳහා ඇතැම් දේශපාලන නායකයන්ද වගකිව යුතු බවත් ඒ සමඟ පෙන්වා දිය යුතුය. වඩාත්ම කනගාටුදායක කාරණාව වන්නේ මේ වැරදි නිවැරදි කර ගනිමින් රටේ ජනතාවද හරි මගට යොමු කිරීමට අවශ්‍ය කැප කිරීම සහ ආදර්ශවත් වීම වර්තමාන දේශපාලන නායකයන් තුළින්ද ඇතැම් අවස්ථාවලදී දැකගත නොහැකි වීමය. එහෙත් මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා කළ ප්‍රකාශයක් මේ තත්ත්වය සමඟ ඍජුවම ගැටගැසී තිබෙන බැවින් ඒ ගැන අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

කැබිනට් තීරණ දැනුම් දීමේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම මහතා කළ මේ ප්‍රකාශයේ සඳහන් වූයේ දේශපාලනඥයා මේ අවස්ථාවේදී අරපිරිමැස්ම ගැන පරමාදර්ශී චරිතයක් විය යුතු බවය. රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් සහ පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු බවය. ජනපති, අගමැති, විපක්ෂනායක ඇතුළු සුවිශේෂී ආරක්ෂාවක් සහිතව ගමන් කළ යුතු ප්‍රභූන් සිටින බවත් ඔවුන් හැර අනෙක් අය මේ මොහොතේ තම කැප කිරීම රට ඉදිරියේ ඔප්පු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව සඳහන් කළත් මෙය ඔහුගේ ප්‍රතිපත්තිය බව පැහැදිලිය. මෙවැනි ප්‍රකාශයක් කිරීමට අවශ්‍යම වන සුදුසුකමද සපුරා සිටීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශයට හිමිවන්නේ ඉහළ වටිනාකමක් බවද එම ප්‍රතිපත්තිය සියලුම ඇමැතිවරුන් අනුගමනය කරන්නේ නම් ඔවුන් මේ දුෂ්කර අවස්ථාවේ මහජනතාවගේ පිළිකුලටත් කෝපයටත් භාජන වීමෙන් වළකිනු ඇති බවද පෙන්වා දිය යුතුය. තනි රථයකින් එදා සිටම ගමන් බිමන් යන දේශපාලනඥයකු වීම ඩලස් අමාත්‍යවරයාගේ එම සුදුසුකම බවද සඳහන් කරමු.

මේ දිනවල තිබෙන පෝලිම් අතුරින් වඩාත්ම රත් වී තිබෙන පෝලිම වන්නේ ඉන්ධන පිරවුම්හල ඉදිරියේ පවතින ඩීසල් පෝලිම් බව රහසක් නොවේ. දින ගණන් තම වාහන පෝලිමේ තබාගෙන බූලිද රැගෙන පෝලිමේ සිටින ජනතාව ඉන්නේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් මලපැන්න තත්ත්වයකිනි. ඔවුන් මාධ්‍යයට ලබාදෙන වොයිස් කට්වලින් තමන්ගේ පුපුරා හැලෙන කෝපය පිටකරනු ඇසිය දැකිය හැකිය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එසේ පෝලිම්වල සිටින ජනතාව දේශපාලනඥයන් පෙරගමන්, පසුගමන් රථ පහක් හයක් සමඟ ගමන් කරනවා දකින විට ජනතාවට කෝපයක් ඇතිවන බවය. අප කියන්නේ කොහොමත් කෝපයට පත්ව පෝලිමේ සිටින ජනතාවගේ එම කෝපය මෙවැනි දර්ශනවලින් දෙගුණ තෙගුණ වන බවය. 

අරපිරිමැස්ම පිළිබඳ මහජනතාව හමුවේ කප්පරක් පොරොන්දු දී බලයට පැමිණෙන බොහොමයක් මැති ඇමැතිවරුන්ට රාජ ඌෂ්ණය වැදුණු ගමන් එම පොරොන්දුව පිළිබඳ මතකය වාෂ්ප වෙයි. එවිට අලුත්ම රථ, පරිවාර රථ පමණක් නොව ඇතැම් අවස්ථාවලදී ඇමැති නිවෙස්වල සිටින බල්ලන්ට බෙහෙත් ගැනීමට පවා ආණ්ඩුවේ රථ යොදාගන්නා අවස්ථාද මේ රටේ තිබූ බවද මෙහිදී මතක් කළ යුතුය.

අද දවසේත් තනි රථයකින් ගමන් බිමන් යන ඩලස් වැනි මැති ඇමැතින් තවත් සිටියත් පරිවාර රථයක් හෝ දෙකක් නැතිව ගමන් බිමන් ඇලර්ජික් වන මැති ඇමැතිවරුන් සිටින බව මහමගදී ඕනෑ තරම් අපේ නෙතට හසුවෙයි. මෙවැනි ආරක්ෂාවක් මේ මැති ඇමැතින්ට අවශ්‍ය ඇයිද යන්න ලොකුම ගැටලුවය. යුද්ධය හෝ වෙනත් ගැටුම් හෝ නොමැති රටක මේ අමාත්‍යවරුන්ට පරිවාර රථ අවශ්‍ය වන්නේ මහජනතාවගෙන් ආරක්ෂාවීමට දැයි ප්‍රශ්න කළ යුතුය. එය එසේ නම් එවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ තමන්ගේම කෙරුවාව නිසා බව ඔවුන් තේරුම් ගත යුතුය.

මේ රජය ආරම්භයේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි තරම් පරිවාර රථ අඩුකර, ජනාධිපති කාර්යාලයේද වියදම් කපා දමා, අධික වියදම් සහිත නිල නිවෙසක්ද භාවිතයට නොගෙන වටිනා ආදර්ශයක් ලබා දුන්නේය. එහෙත් කනගාටුවට කරුණ වන්නේ ජනාධිපතිවරයාගේ එම ආදර්ශය මැති ඇමැතිවරුන් බොහොමයක් විසින් පිටුදැකීමය. වාහන භාවිතය සම්බන්ධයෙන් පමණක් නොව ඇතැම් රාජ්‍ය උත්සවවලදීද අරපිරිමැස්මකින් තොරව කටයුතු කරන අවස්ථා අප දැක තිබේ. දැනට රටේ පවතින තත්ත්වය හේතුවෙන් රාජ්‍ය උත්සව අවම වීම ගැන ඒ අතින් සතුටු විය යුතුය.

පරිවාර රථ නොමැතිව ගමන් බිමන් යෙදීමෙන් වැළකීම කෙසේ වෙතත් තමන්ට අලුත්ම වාහනයකින් ගමන් බිමන් යාමට නොහැකි වීම හේතුවෙන් බොහොමයක් මැති ඇමැතින් සිටින්නේ සතුටකින් නොවන බව යථාර්ථයයි. එහෙත් රටක් දියුණු කිරීමේදී අධික වියදම් කපාහැරීමත් බොරු සෝබන ක්‍රියාවලින් වැළකීමත් අවශ්‍යය. ජනතාවද කැපකිරීම් කළ යුතු වුවත් ඒ සඳහා ඉහළම ආදර්ශය ලැබිය යුත්තේ ආණ්ඩුවේ මැති ඇමැතින්ගෙනි.

එම ආදර්ශය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ලැබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා සියලු මැති ඇමැතින්ගේ සහයෝගය ලැබිය යුතු බව පෙන්වාදීමට කැමැත්තෙමු. වැරදුණු තැන් නිවැරදි කර ගැනීමට හැකි වන්නේ එවැනි කැපකිරීම් මගින් පමණි.