රඹුක්කන පැවති මහජන උද්ඝෝෂණයක් අතරතුර සිදු කළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මරණයට පත්වීම ඛේදජනක සිදුවීමකි. මහජන උද්ඝෝෂණයක් අතරතුර කවර හේතුවක් නිසා හෝ නිරායුධ පුද්ගලයකු පොලිස් වෙඩි පහරට ලක්වීම සාධාරණීකරණය කළ නොහැක. සති කිහිපයක් තිස්සේ රටේ පවතින දේශපාලන ආන්දෝලනය තවත් තීව්‍ර වී උණුසුම් වීමට රඹුක්කන වෙඩි ප්‍රහාරය ප්‍රබල හේතුවක් විය.
පිළිගත් සම්මත සම්ප්‍රදාය අනුව රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එයට යටත්ව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු තවත් නීති ක්‍රියාත්මකය. පොලිසියේ නිල මෙහෙවර ගැන සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේය. එහෙත් මෙම කිසිදු නීතියක් මගින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කර නැත. එසේම සාමකාමීව රැස්වීම, විරෝධතා දැක්වීම වැනි දේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවසරය ලබා දී තිබේ. මේ සඳහා ව්‍යවස්ථාවේ වෙනමම මානව හිමිකම් සම්බන්ධ පරිච්ඡේදයක් අන්තර්ගත කර ඇත. එකී මානව හිමිකම් පරිච්ඡේදයේ වගන්ති හතක් මගින් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් තහවුරු කරන අතර එම නිදහස යම් යම් කාරණා මත සීමාකිරීම්වලට යටත් වන බවද දැක්වෙයි. එසේම සමාජය ලබන ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් සමඟ ඉටුකළ යුතු යුතුකම් සම්බන්ධවද කරුණු අවධාරණය කෙරේ.
මේ කවර නීති රීතියක් යටතේ වුවත් ආරක්ෂක අංශ තමන්ට පැවරුණු රාජකාරි ඉටුකිරීමේදී යුක්තිසහගත බව හා සාධාරණකමේ ධර්මය ආරක්ෂා වන ලෙස ක්‍රියා කරනු දැකීම සමාජ අපේක්ෂාවයි. මේ දිනවල රට පුරා ජනතාව විවිධ හේතු මත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටිති. ජනතාව පීඩාවට පත්කර ඇති ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟය මෙන්ම ඒවායේ අධික මිල, විදුලිය කප්පාදුව, දරාගත නොහැකි ජීවන බර මෙම විරෝධතාවලට හේතු වූ ප්‍රධාන කාරණාය. නොවිසඳෙන මෙම ප්‍රශ්න හේතුවෙන් ආණ්ඩු කරන පිරිස ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටියි. පවත්නා තත්ත්වය යටතේ සතියකට භාණ්ඩ හා සේවා වර්ග 10ක 12ක මිල ගණන් විශාල ප්‍රතිශතවලින් ඉහළ නගී. එම මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා මිලට ගන්නට ජනතාවට ශක්තියක්ද නැත. මෙයින් පීඩාවටත් කෝපයටත් පත්වන බහුතර සමාජය රජයට විරෝධය දැක්වීම යුක්ති යුක්තය. මෙවන් සාධාරණ විරෝධතාවක් ප්‍රචණ්ඩත්වය කරා යොමු නොවන තාක් කල් එය මර්දනයට බලය යෙදවීම බලවත් වරදකි.
රඹුක්කන හටගත් සිද්ධිය ගැන පොලිසිය විසින් ප්‍රකාශ කරන ලද්දේ ජනතාව පොලිසියට පහර දෙන්නට තැත් කිරීමත් තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමත් නිසා අවම බලය යොදවා වෙඩි තැබූ බවය. සාමාන්‍ය ආරක්ෂක සම්ප්‍රදාය අනුව පොලිස් වෙඩි තැබීමක් කරන්නේ නම් මුලින්ම රබර් උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම කළ යුතුය. රඹුක්කනදී එවැන්නක් සිදු කළ බවට කිසිම තොරතුරක් හෙළිදරව් වී නැත. පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් අවම බලය භාවිත කර ඇත්තේ මනුෂ්‍ය ජීවිතයකට හානි වන ආකාරයටයි. අත අවි දරා සිටින පාර්ශ්ව දෙකක් අතර සිදුවන යුද්ධයකදී නම් මෙවැන්නකට නීතිමය අවකාශයක් ඇත. එහෙත් නිරායුද විරෝධතාකරුවන් කෙරෙහි මේ ආකාරයට අවම බලය භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මෙරට පැවැති උද්ඝෝෂණ හා අරගලවලදී මීට පෙරද මනුෂ්‍ය ඝාතන සිදුවිය. ඒ බොහොමයක් උද්ඝෝෂණ හා අරගල දේශපාලන හේතූ මත සිදුවූ ප්‍රචණ්ඩත්වයට බර ඒවාය. එහෙත් මෙවර රඹුක්කන මනුෂ්‍ය ඝාතනය සිදු වූයේ ආර්ථික අර්බුදය විසින් පීඩාවට පත් ජනතාව සිද්ධ කළ යුක්තිසහගත විරෝධතාවකදීය. ඉන්ධන ලබාගැනීම සඳහා දීර්ඝ වේලාවක් පෝලිම් ගැසී සිටි ප්‍රදේශවාසීන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාම සහ එය පාලනයට ඉදිරිපත් වූ නිලධරයන්ගේ සංයමයකින් තොර විධානයත් නිසා රඹුක්කන ඛේදවාචකය සිදු වූ බව සක්සුදක්සේ පැහැදිලිය. ඒ ගැන දැනටත් අධිකරණ පරීක්ෂණයක් සිදුවන බැවින් අප විසින් පූර්ව නිගමන ලබා දීම සාධාරණ නැත.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් අනුගමනය කරන රටක් ලෙස පාලකයන් ජනතා විරෝධය ඉවසිය යුතුය. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වරක් මේ ගැන ඉතා සරල බසින් සඳහන් කළේ “රස්නය ඉවසිය නොහැකි නම් කුස්සියෙන් පිටවී යා යුතුය” කියාය. වත්මන් ආණ්ඩුවද දැන් එම තත්ත්වයට පත්වීමට ආසන්නව සිටියි. රටේ තැන් තැන්වල හටගෙන ඇති විරෝධතා පිළිබඳව යුක්තිසහගත ප්‍රතිචාරයක් නොදක්වා ඒවා දියාරු කරන්නට සිතා සිටී නම් මෙවර අත්දැකීම විසින් එම කල්පනාව වැරදීමක් බව පසක් කර දෙමින් සිටින බව සඳහන් කළ යුතුය. පක්ෂ දේශපාලනය අච්චාරු වී ඇති සමාජය නොඉවසන තරුණ පිරිසක් මෙවර ජනතා උද්ඝෝෂණවලට නායකත්වය දෙමින් අලුත් ගමනක් හා මාවතක් පිළිබඳව ඉඟි පළ කරති.
එහෙත් මෙවර විරෝධතා දක්වන විට ඒවාට උපායශීලීව සම්බන්ධ වන ඇතැම් පාර්ශ්ව හෝ දැනුම් තේරුම් නැති ආවේගශීලී පිරිස්, උද්ඝෝෂණයේ අරමුණු විකෘති කිරීමට තැත් කරන්නට ඉඩ තිබේ. මහා මාර්ග වසා දමා උද්ඝෝෂණය කිරීම එවැන්නකි. එවන් පීඩාකාරී දේ සිදු කළ සමහර තැන්වලදී උද්ඝෝෂකයන් බහුතර ජනතා විරෝධයට ලක්වූ අවස්ථාද විරල නොවේ. එහෙත් ගාලු මුවදොර උද්ඝෝෂකයන් සෑහෙන තරම් ආදර්ශවත් ලෙස ජන පීඩා අවම වෙන ආකාරයට ක්‍රියා කරනු දැකීම සතුටකි. එහෙත් යම් යම් පිළිගත් සමාජ සම්මතයන් වන ජාති ආගම් ආදියට නිගරු වන ආකාරයට යමෙක් හැසිරෙන්නේ නම් එබඳු අවස්ථාද පාලනයට නතු විය යුතුය. එසේම උද්ඝෝෂණයේ යෙදෙන සැමදෙනාම සිත්හි තබාගත යුතු ඉතාමත් වැදගත් කරුණ වන්නේ රටේ නීතිය පුරවැසියාගේ අභිලාෂයන්ට වඩා ඉහළින් පවත්නා බවය.