Friday, 22 April 2022 11:07

අයි.එම්.එෆ්. සාකච්ඡා

 

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා වැදගත් අවස්ථා ගණනාවක් නිර්මාණය වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡාවලදී ඉන්දියාව ඇපකරුවකු මෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත්ව සිටී. මේ අතර, චීනයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය සංවිධානය අපට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටී. මේ සෑම ආයතනයක්ම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව බලවත් ගෙවුම් ශේෂ ගැටලුවකට මුහුණ දී සිටින බවය. එහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟ වීමය. ජනතාවට පැහැදිලි වන ලෙස එය දක්වතොත් ඩොලර් පිළිබඳ හිඟයකි. අපේ විදේශ විනිමය සංචිත අන්තිමටම පල්ලම් බැස ඇති බව රජය පමණක් නොව, ජනතාව ද පිළිගත යුතුය. විදේශ විනිමය හිඟයට උත්තරය උද්ඝෝෂණය යැයි කල්පනා කරන්නේ නම්, එය බලවත් වරදකි.

අයි.එම්.එෆ්. හෙවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියකු කියා ඇත්තේ ශ්‍රී ලංකාව වහාම විදේශ විනිමය උපයන ආර්ථික වැඩපිළිවෙළක් වෙත මාරු විය යුතු බවය. මේ උපදේශනය වැදගත් වන අතර, එය ක්‍රියාත්මක කිරීමට රජය උත්සුක විය යුතුය. වත්මන් මුදල් අමාත්‍යවරයා එබඳු වැඩසටහන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර, ඒවා සාධනීය මට්ටමක පවතින බව ද අයි.එම්.එෆ් ආයතනය පිළිගෙන ඇත. දැන් සිදු විය යුත්තේ එම ආයතනය සමඟ සාකච්ඡා කොට අදාළ වැඩසටහන් තවදුරටත් නිවැරැදි කර ගැනීමය. ඉන් පරිබාහිරව අර්බුදය ජය ගත හැකි වෙනත් මාර්ගයක් අපට නැත. මේ වන විට අපට හොඳ කළමනාකරණයක් තිබිය යුතුය.

ඉන්දියාව අපගේ සහායට පැමිණ ඇපකරුවකු ලෙස ක්‍රියා කිරීම වාසනාවන්ත තත්ත්වයකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලනික සම්බන්ධතා ඉතා හොඳ මට්ටමක පවතින අතර, ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සුක විය යුතුය. රටේ පවතින දේශපාලන ව්‍යාපාර මෙය විවිධාකාරයෙන් විවේචනයට ලක් කළ හැකි නමුදු රජය පැහැදිලි ස්ථාවරයක සිටිමින් ඉන්දියාව සමඟ ඇති ගනුදෙනු දිගටම පවත්වා ගත යුතුය. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන අතර, එය ලෝකයේ බලවත් රාජ්‍යයකි. එය කිසිවිටෙක අමතක නොකළ යුතුය. අපේ ආර්ථිකයට ඍජු බලපෑමක් කළ හැකි ආසන්නම රාජ්‍යය ලෙස ද ඉන්දියාව පිළිගත යුතුය.

චීනය හා ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික වශයෙන් තරගකාරී තත්ත්වයක් පවතින්නේ වුව එය අපට අදාළ කර ගත යුතු නැත. අප ඉන්දියාවෙන්, චීනයෙන් පමණක් නොව අමෙරිකාවෙන් ද ආර්ථික සහයෝගය, ගත යුතුය. බලවත් රටවල් අමතක කොට අපට යා හැකි ආර්ථික ගමනක් නැත. දේශපාලකයන්, උසස් නිලධාරීන් සේම ජනතාවත් එය වටහා ගත යුතුය. අප මේ කිසිදු රාජ්‍යයකට විරුද්ධ විය යුතු නැත. එම රාජ්‍යයන් ගැන අනවශ්‍ය භීතිකාවක් මතු කර ගත යුතු ද නැත. බංග්ලාදේශය අමෙරිකාව සමඟ ඉතා සාර්ථක ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර, ඉන්දියාව සමඟ ද සාර්ථක මට්ටමේ ආර්ථික ගනුදෙනු කරයි. බංග්ලාදේශය වෙනස් වුණේ මෑතකදීය. අද ලෝකයේ දියුණු වන රටවල් විස්ස අතර බංග්ලාදේශය ද තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ පවා බංග්ලාදේශයේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 6%කට වඩා වැඩිය. කොවිඩ් වසංගතය වේගයෙන් රට තුළ ව්‍යාප්ත වුව ද බංග්ලාදේශය සිය අපනයන ක්ෂේත්‍රය ඇද වැටීමට ඉඩ තැබුවේ නැත. කොවිඩ් සමය තුළ පවා එරට ඇඟලුම් කම්හල් වැඩ කළේය. දිගටම වැඩ කළේය. කම්හල් වෙතින් රෝගීන් වාර්තා වූ පසු රෝගීන්ට පමණක් නිවාඩු දුන්නේය. ඇඟලුම් කම්හල් සාර්ථකව පවත්වාගෙන ගියේය. අමෙරිකාවට අවශ්‍ය නිමි ඇඳුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බංග්ලාදේශය සපයයි. එය නොකඩවා ලබා දෙන්නට බංග්ලාදේශය සමත් විය. ඒ අනුව රටේ අපනයන ආදායම් දුර්වල වූයේ නැත. අපටත් එය හොඳ ආදර්ශයකි. කොවිඩ් පැවතිය ද, විරෝධතා පැවතිය ද රටේ නිෂ්පාදන කර්මාන්ත ඉදිරියට ගෙන යා යුතුය.

අයි.එම්.එෆ්. ආයතනය වෙතින් අප වෙත ඉදිරිපත් වී ඇති සුබවාදී ප්‍රතිචාරය පිළිගත යුතුය. ඒවා පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ද රජය සූදානම් විය යුතුය. ඊට විවිධ බාධා ඇති වන්නට හැකි වුව ඒවා නොසලකා හරිමින් අයි.එම්.එෆ්. ආයතනය සමඟ කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇත. ඔහු මීට දින කිහිපයකට පෙර කියා සිටියේ මීට පෙර අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවය. රාජ්‍ය නායකයා තමන් අතින් සිදු වූ අඩුපාඩු පිළිගැනීම සේම ඒවා ප්‍රකාශයට පත් කිරීමත් යහපත් ප්‍රවණතාවකි.

හැබෑවටම අපට හොඳ මාර්ගයක් ලැබී ඇත. එය හොඳින් භාවිත කිරීම නායකයන්ගේ වගකීම වෙයි. පවතින අර්බුදයේ කොටස් තුනක් ඇති බව අපි හැමදාම පෙන්වා දුන්නෙමු. එක; ආර්ථික අර්බුදය දෙක; දේශපාලන අවුල හා තුන; මහජනයා පාරට බැසීම යනුවෙන්ය. කොටස් තුන එකිනෙකට සම්බන්ධය. එකක් මත එකක් වැටී තිබේ. එහෙත් ප්‍රධාන අර්බුදය පවතින්නේ ආර්ථිකය මතය. එය විසඳීමට විරෝධතාකරුවන්ට හැකියාවක් නැත. ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ රජයට පමණි. රජය ඒ සඳහා පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඊට රටේ සියලු කොටස්වල සහයෝගය ලැබිය යුතුය.

Read 247 times