Thursday, 05 May 2022 07:08

ජනතාවට සහන දෙන හැටි

 

රටේ දුප්පත්ම ජනතාව වෙත තවත් සහනයක් දීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව වැඩිහිටි දීමනා රෝගීන් සඳහා වූ දීමනා, ආබාධිතයන් සඳහා වූ දීමනා හා සමෘද්ධිලාභීන්ගේ දීමනා සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට තීරණය කර ඇත. මාස තුනක් සඳහා වැඩි කළ දීමනා ගෙවීමට ද තීන්දු කර ඇත. ආර්ථික අතින් අතිශය දුෂ්කර කාලයක් පැමිණ ඇති අතර, එහි පීඩනය තීව්‍ර ලෙස දැනෙන්නේ දුප්පත්ම ජනතාවටය. රජය එය වටහාගෙන රටේ පවුල් ලක්ෂ තිස්තුනක් වෙත මේ සහනය දීමට සූදානම් වෙයි. ඒ සඳහා වැය වන මුළු මුදල රුපියල් කෝටි එක්දහස් තුන්සිය තිස්හයක් බව ද සඳහන්ය.

රාජ්‍ය ආදායම් හීන වී ආණ්ඩුව ආර්ථික වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වෙත තල්ලු වී තිබුණ ද, පොදු ජනතාව වෙනුවෙන් දිය යුතු සහන දීමට ඉදිරිපත් වීම සුභදායක තත්ත්වයකි. ලෝකයේ ණය දෙන ආයතන ජනතා සහන කප්පාදු කළ යුතු බවට ද, බදු මුදල් වැඩි කළ යුතු බවට ද උපදේශන සපයන බව ද සත්‍යයකි. එහෙත් මෙකී ආයතන දිළිඳුම ජනතාවගේ සහන කපා හරින්නැයි නිර්දේශ දෙන්නේ නැත. රජයක වගකීම පොදු ජනයාගේ ජීවත් වීම පහසු කිරීමය. ජනාධිපතිවරයා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට නියමිතය. මේ සහන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉහත සාකච්ඡාවෙන් පසුවය.

මේ සහන වැඩසටහනත් සමඟ සෑම දීමනාවක්ම රුපියල් දෙදහස් පන්සියයකින් පමණ වැඩි වී ඇත. වැඩිහිටි දීමනාව රුපියල් දෙදහසක් වන අතර ඊට රුපියල් තුන්දහසක් එකතුකොට මාසිකව රුපියල් පන්දහසක් ගෙවනු ලැබේ. සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත හා වකුගඩු ආධාර ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින සියලු දෙනාට ද මසකට රුපියල් පන්දහස බැගින් ගෙවීමට තීරණය වී ඇත. මෙලෙස පොරොත්තු ලේඛනයේ සිටින මුළු පිරිස ලක්ෂ හතකට වැඩිය. මේ සියලු දෙනාම ආධාර ලැබීමට සුදුස්සෝ වෙති. විශේෂයෙන් පවතින ආර්ථික අර්බුදය නිමා වන තෙක්ම එම පිරිසගේ ජීවත් වීම අතිශය දුෂ්කර බව කිව යුතුය. ඉදිරි මාස තුනක කාලයේදී අර්බුදය යම් පමණකින් විසඳෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එතෙක් ඉහත සහන දිගටම සපයා දීම අතිශය වැදගත්ය.

රටේ පවතින ජන අරගලය දේශපාලන ව්‍යාපාර හා විදෙස් බලවේග විසින් හසුරවනු ලබතැයි විශ්වාස කළ හැකිය. එහෙත් හැබෑවටම ජීවත් වීමේ දුෂ්කරතා නිසා පාරට බැස උද්ඝෝෂණ කරන විශාල පිරිසක් ද මේ අතර සිටිති. ඔවුන්ගේ ඉල්ලීම ජීවත්වීමට පහසුකම් දෙනු යන්නය. රජය මේ පිරිස් ගැන අවධානය යොමු කළ යුතුය. එය පැහැර නොහැර කටයුතු කිරීම සාධනීය තත්ත්වයකි. ආධාරය ලැබෙන්නේ එක පුද්ගලයකුට වුව එයින් පවුලක ජීවන බරට සහනයක් ලැබෙනු ඇත. වකුගඩු රෝගියකු සඳහා මසකට සෑහෙන මුදලක් වැය කළ යුතුය. එබඳු රෝගීහු පවුලකට බරක් ලෙස ජීවත් වෙති. එම රෝගීන්ගේ දීමනාව වැඩි කිරීම පුණ්‍ය කටයුත්තක් සේ සැලකිය හැකිය.

මෙබඳු දුෂ්කර අවස්ථාවලදී එකිනෙක ආණ්ඩු ක්‍රියා කර ඇත්තේ වෙනස් වෙනස් ආකාරවලටය. ඇතැම් ආණ්ඩු දුෂ්කර අවස්ථාවලදී ජනතා සහන කපා හැර ඇත. සමහර ආණ්ඩු සහන අඩු කර ඇත. තව සමහර නායකයෝ ජනතාවට පටි තද කරගන්නැයි කියා සිටියහ. වත්මන් රාජ්‍ය නායකයා ඒ එකක්වත් සිදු කළේ නැත. ඔහු සහන කපා හරිනවා වෙනුවට සහන වැඩි කළේය. මේ නිසා රජයේ වැය බර වැඩි වුව ද ඒවා විඳ දරා ගන්නට රජය ඉදිරිපත් විය. එය විශේෂත්වයකි. ආණ්ඩුවක් ජනතාවාදී වන්නේ ජනතා සහන උපරිම මට්ටමෙන් සපයා දෙන විටය. මේ මොහොතේ ජනතා සහන උපරිමයෙන් සපයා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එය මානුෂීයවාදී තීරණයකි. ජනතා නායකයන් එසේ ක්‍රියා කළ යුතුය.

මේ තීරණයත් සමඟ ආණ්ඩුව හා රාජ්‍ය නායකයා කෙරෙහි පවතින මහජන විශ්වාසය ඉහළ යනු ඇත. එය විරුද්ධ පක්ෂවල උද්ඝෝෂණ රැල්ලට බාධාවක් වන නිසාම විවිධ විවේචන එල්ල වන්නට පුළුවන. ආණ්ඩුවට හා රාජ්‍ය නායකයාට විවේචනවලින් අඩුවක් නැත. ඉදිරියේදී ඒවා සෙමෙන් ඉවත්ව යනු ඇතැයි විශ්වාස කළ හැකිය.

Read 215 times