කතුවැකිය

කතුවැකිය

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහරගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු, රියදුරෙකුට පහර  දීමේ සිදුවීමේ ෆේස්බුක් රචනා කියවා, අසා පැය කීපයක් යනවිට එවැනිම නොහික්මුණු රියදුරන් හේතුවෙන් 11 දෙනෙකුට දිවි අහිමි වන තත්වයක් පහුවනදා අලුයම වනවිට අසන්නට ලැබිණි. උඩ පැන පැන පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ගෙදර යැවීමට සියල්ල සුදානම් වෙද්දී එවැනිම රියදුරන් අතින් 11 දෙනෙකු මියයාම ගැන රචනා, අදෝනා, කවි, නිසදැස් කිසිවක් දකින්නට නැත.

මේ වනවිට පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්න කිසිවෙකු නැත. රියදුරා අතින් බරපතල තුවාල ලැබුවෙ  උසස් පොලිස් නිලධාරියෙකු නිසා කනිෂ්ඨ නිලධාරියා මෙසේ පහර දෙන්නට ඇතැයි සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වමින් බොහෝ අය මත පළකර තිබිණි. සමහර විට එය එසේ වන්නටද ඇත. නොවන්නට ද ඇත. අව්ව වැස්ස වාහන දුම දුවිලි දරාගෙන අසීරු ක්‍රියාන්විතයක නිරත වුවත් නිතර ම නරකක් මිස හොදක් නොඅසන්නේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් ය. දිනපතා රිය අනතුරු හේතුවෙන් ජීවිත අහිමිවන සැටි දකින්නේ ඔවුන්ය. අතපය,ශරීර කොටස්  පාරපුරා විසිරෙන හැටි දිනපතා දකින්නේ ඔවුන්ය. මෙසේ තමන්ගේම අම්මා තාත්තා දුවා දරුවන් වැන්නවුන් මහමග තලා පෙලා දමන රියදුරන් උපරිම මාස තුනකින් ඇපමත නිදහස් වේ. පසුව නඩුවෙන්ද නිදහස් වීම සාමාන්‍ය කරුණකි. මෙම සිදුවීම්  මුල සිට අගටම දකින රථවාහන පොලිස් නිලධාරියා මෙසේ මරුවිකාරෙන් සිටීම අරුමයක් නොවෙයි. මේ සිටින්නේ ද මිනිසෙකි ඉවසීමේ සීමාවක් තිබිය හැකිය. නමුත් නිල ඇදුමේ ගෞරවය ඊටත් වැඩිය. එසේ සිතා ඉවසන අවස්ථා ඕනෑතරම්ය. අවසානයේ කොතනින් හෝ මේ පිපිරීම විය හැකිය. පොලිස් නිලධාරියා කළ ක්‍රියාවෙන් රියදුරාද මියයන්නට තිබිණ. ඔහු තවදුරටත් ඉවසිය යුතුව තිබිණි. නමුත් එසේ නොවුණු හේතුව එම අවස්ථාවට අනුව තීරණය විය හැකිය. බදුල්ල පස්සර බස්රථ අනතුරින් රියදුරු ජීවත් වුවද 14 දෙනෙකුට දිවි අහිමි විය.තවත් බොහෝ පිරිසක් පුර්ණකාලීන අන්ගවිකල තත්වයට පත් විය. කුඩා දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් නැතිවිය.ළමයින් බොහෝ පිරිසකට තම ගුරුවරියන් නැතිවිය. දෙමාපියන් ට දරුවන් නැතිවිය.මේ සියල්ලගේ ජීවිත  තීරණය කළ රියදුරා මාස කීපයකින් නැවතත් රියදුරු අසුනේය. මවැනි දෑ නිතර නිතර දකින රථවාහන පොලිස් නිලධාරියා ගේ මානසික මට්ටම ඔබට අපට සිතා ගැනීමටවත් නොහැකිය. මග මරුවාගෙන් ජීවිත රැක ගැනීමට නම් මෙවැනි නිලධාරීන් රථවාහන රාජකාරියේ සිටිය යුතුම නොවන්නේ දැයි වැටහෙන්නේ තමන්ගේම අයෙකුට මෙම ඉරණම අත්වූ දිනක දී පමණි. එතෙක් මෙම රචනා නිසදැස් කවි සංකල්පනා සියල්ල රියදුරාගේ අහිංසක කම වෙනුවෙන් පමණි.

 


logo 1

යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් ස්මාරකය උපකුලපතිවරයාගේ නියෝගය අනුව ඩෝසර් කර කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයෙහි සිසුන් පස් දෙනෙක් උපවාසයක් ආරම්භ කර ඇත්තේ පෙරේදා දිනයේය. මේ පස්දෙනාගෙන් එක අයෙක් මාරාන්තික උපවාසයක යෙදෙන බව පවසා ඇත. උපවාසකරුවන්ගේ ඉල්ලීම වන්නේ එම ස්මාරකය නැවතත් පෙර පරිදිම ඉදිකර දෙන ලෙසය. ඇත්තෙන්ම මෙම ස්මාරකය ලැබුවේ 2018 වසරේය. මෙම ඉදිකිරීම නීති විරෝධී බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කර තිබුණද මෙය ගලවා දැමීමට හිටපු බලධරයින් උනන්දු නොවීය.

නමුත් වත්මන් උපකුලපති ශ‍්‍රී සර්ගුණ රාජා මහතා නිවැරදි තීන්දුවක් ගනිමින් මෙය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඇත්තෙන්ම මෙම ත‍්‍රස්ත ස්මාරකය ඉවත් කිරීම අගය කළ යුතුය. තවදුරටත් බෙදුම්වාදය ප‍්‍රකට කිරීමට හෝ සැමරීමට ඉඩ දිය යුතු නැත. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත සටනින් දෙමළ ජනයාට ලැබුණේ මිනී කඳු මිස අන්දෙයක් නොවේ. වසර ගණනාවක් යාපනය සරසවිය වසා දමා තිබිණි. දැන් සියලූ සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබිය හැක. වෙඩි හඬ නොඇසේ. එසේනම් මියගිය ත‍්‍රස්තයන්ට පහන් දල්වා යළිත් අඳුරු ලේ වැකි යුගයක් ප‍්‍රාර්ථනා කරන සුළු පිරිසකගේ ක‍්‍රියාවන්ට බලධාරීන් විසින් වැට බැඳීම අගය කළ යුතුය. වත්මන් සමාජයට අවශ්‍ය වන්නේ යුද ස්මාරක නොව සාමයේ හා එක්සත්භාවයේ ස්මාරක බව යාපනය උපකුලපතිවරයා නිවේදනය කර ඇත. සැබවින්ම මෙය ඉහළින්ම අගය කළ යුතු ප‍්‍රකාශයකි.

මානුෂීය ගුණාංග විශ්වවිද්‍යාල සිසුන් තුළ ප‍්‍රචලිත විය යුතු වුවත් ත‍්‍රස්ත සිතිවිලි හෝ යුද මානසිකත්වය ප‍්‍රකට විය යුතු නැත. තිලීපන් අනුව යමින් ජීවිතය ජය ගැනීමට නොහැකි බව උපවාස කරන සරසවි සිසුන් අවබෝධ කර ගත යුතුය. යාපන සරසවි සිසුවෙකු වූ තිලීපන් 1987 සැප්තැම්බර් 15 වැනිදා අරඹන ලද මාරාන්තික උපවාසය අවසන් වූයේ සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ඔහුගේ මරණයෙනි. එදා තිලීපන්ගේ උපවාසය ප‍්‍රභාකරන් යොදා ගත්තේ තම ත‍්‍රස්ත අරමුණු ජය ගැනීම වෙනුවෙනි. එයින් සරසවි සිසුන්ට ලැබුණු ජය කුමක්ද? ගඩොල් ස්මාරකය වෙනුවෙන් අද මාරාන්තික උපවාස කරන්නේ කවරෙකුගේ අරමුණු සඵල කිරීමටද? එය බටහිර වෙසෙන කොටි ඩයස්පෝරාවේ අරමුණු විය හැක. ස්මාරකය කඩා දැමීමත් සමග දෙමළ සන්ධානයටත් යළි ප‍්‍රාණයක් ලැබී ඇති සෙයකි.

එනිසාම යාපනය මහා ශිෂ්‍ය සංගමය සමග එක්ව අද උතුරු නැගෙනහිර හර්තාල් සංවිධානය කර ඇත්තේ යළි කෙසේ හෝ ජනයා අතරට ගොස් බෙදුම්වාදය පැතිරවීමටය. යාපනය නගරාධිපති ධුරය පවා රැකගැනීමට නොහැකි වූ දෙමළ සන්ධානය ගඩොල් ස්මාරක වෙනුවෙන් හර්තාල් සංවිධානය සැබවින්ම විහිළුවකි. ස්මාරක තැනිය යුත්තේ වීරයින් සැමරීමට මිස ත‍්‍රස්තයන් හෝ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිහි කිරීමට නොවේ. ශ‍්‍රී සර්ගුණ රාජා මහතා යාපනය සරසවියට නිග‍්‍රහයක් වන ගඩොල් ගොඩ ඉවත් කර ඇත. එයට හමුදාව හෝ පොලිසිය සම්බන්ධ වූයේ නැත. පසුව පොලිසිය පැමිණිය කළහකාරීන් මෙල්ල කිරීමට පමණි. ගඩොල් ගොඩ හරහා නැවත බෙදුම්වාදය මතු කිරීමේ කූට අරමුණු පරාජය කිරීම යාපනයට පමණක් නොව රටටම යහපතකි. එසේම යාපනය සරසවියේ සිංහල සිසුන් 1500ක් අධ්‍යාපනය ලබන බවත් අප අමතක කළ යුතු නැත.

image 4b4b78501a

 

logo

කාලය ඒ හැටි නපුරු නැත. නරකත් නැත. සුළි කුණාටුව ඇවිත් යන්නට ගියේය. ලොකු හානියක් නැත. රජරටට වාසියක් අත් වී තිබේ. මාස දහයක පමණ කාලයකට අනුරාධපුරය, පොලොන්නරුව ආදී ප්‍රදේශවලට හොඳ වැස්සක් වැටුණේ නැත. හොඳ වැස්සක් නම්; වැව් ටික පිරී යා යුතුය. සුළි කුණාටුවට පින් සිදු වන්නට රජරට සියලු වැව් පිරී ඇත. සුළි කුණාටුවක නරකම ලක්ෂණය ප්‍රහාරාත්මක සුළඟය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පැයට කි.මී.සියයක වේගයකින් සුළං හමන්නට ඉඩ ඇති බවය. එහෙත් එහෙව් හුළඟක් ආවේ නැත. ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත වෙරළ තීරයේ උදම් රළ දක්නට ලැබුණු බවත් සඳහන්ය.

මුලතිව් ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදු වී ඇති බවත්, මහනුවර ප්‍රදේශයේ සුළු නාය යෑම් තත්ත්වයක් දක්නට ලැබුණු බවත් වාර්තා වී ඇත. ගහක් - දෙකක් කඩා වැටීම, වහලයක් සුළඟින් ගසාගෙන යෑම, පස් කන්දක් කඩා වැටීම, ඉවුරක් බිමට පාත්වීම ඒ හැටි ගණන් ගත යුතු දේවල් නොවේ. ජනමාධ්‍ය ආයතන එකිනෙක දිස්ත්‍රික්ක වෙත කණ්ඩායම් යවා තිබුණේ සිද්ධියේ උණුසුම වාර්තා කිරීමටය. දැන් එම කණ්ඩායම්වලට හිස් අතින් ආපසු එන්නට සිදුවේ. අපට නිකමට මෙන් සිතෙන්නේ සුනාමිය රටට කඩා වදින අවස්ථාවේ මෙබඳු සූදානමක් පැවැතියේ නම්; කිසිවකු මරණයට පත් වන්නේ නැති බවය. එහෙත් සුනාමිය යන වචනය අප දැනගත්තේ ද එම විනාශයෙන් පසුවය.

අ‍පේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණක් නොව; විදේශීය ආයතන කිහිපයක් ද බුරවි සුළි කුණාටුව පිළිබඳ තොරතුරු වාර්තා කර තිබිණි. ඒ සෑම වාර්තාවකම සඳහන් වූයේ ශ්‍රී ලංකාවට මෙයින් බලපෑමක් වීමට ඉඩ ප්‍රස්ථා ඇති බවය. කලින් නිගමනවලට අනුව සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හඹා ගොස් පසුව තමිල්නාඩුවට ඇතුළු වන බව ප්‍රකාශ විය. එහෙත් ආසන්න වාර්තාවල සඳහන් වූයේ එය අරාබි මුහුද දෙසට ගමන් කිරීමට නියමිත බවය. ඒ අයුරින් ම බුරවිය අරාබි මුහුද වෙත ගමන් කරන්නට පටන් ගෙන තිබේ. බෙංගාල බොක්ක මෙන්ම අරාබි මුහුද ද දූපතක් වන ශ්‍රී ලංකාවට බලපෑම්කාරීය. ඒ අනුව අපේ සූදානම ඉදිරියටත් පවත්වා ගැනීම වැදගත්ය. සුළි කුණාටුව නිසා කොවිඩ් - 19 අමතක කිරීමත් නරකය.

උතුරු පළාතේ හා නැඟෙනහිර පළාතේ පාසල් දින කිහිපයක් වසා තිබේ. එය බුද්ධිමත් තීරණයකි. පාසල් විවෘතව පවතින අවස්ථාවක කුණාටුවක් කඩා වැදුණහොත් ඇති වන ඛේදවාචකය අමුතුවෙන් සටහන් කළ යුතු නැත. ජපානයේ පාසල් දරුවෝ ඕනෑම ස්වාභාවික විපතකට සූදානම්ය. ඔවුනට ඊට අදාළ පුහුණුවක් හා දැනුමක් දී ඇත. ස්වාභාවික විපතකදී ක්‍රියා කළ යුතු ආකාරය එම දරුවෝ හොඳින් දනිති. ඔව්හු ඊට අවශ්‍ය ආම්පන්න පවා ළඟ තබා ගනිති. මෙහි අර්ථය ජීවිතාරක්ෂාවයි. එබඳු පුහුණුවක් හෝ දැනුමක් හෝ අපේ දරුවන්ට නැත. එබැවින් පෙර සූදානම රජය විසින් ඇති කළ යුතුව තිබේ. කොවිඩ් වසංගතයට අප මුහුණ දෙන්නේ පෙර සූදානමක් සහිතවය. එම සූදානම සුළි කුණාටුවටද තිබිණි. එය සාධනීය ලක්ෂණයකි.

 

අපේ ධීවර ප්‍රජාවට සුළි කුණාටුවෙන් කිසිදු හානියක් සිදු වී නැත. ඉන් ගම්‍ය වන්නේ ධීවර ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශන හා දැනුම් දීම් හොඳින්ම පිළිගන්නා බවය. එය යහපත් තත්ත්වයකි. ධීවර ප්‍රජාව කාලගුණ අනාවැකි තුට්ටුවකට මායිම් නොකරන කාලයක් තිබිණි. කාලගුණ අනාවැකි මඟින් වහින බව සඳහන් කළොත් එදාට හොඳට පායන බව ප්‍රජාවගේ අදහස විය. සුනාමිය ගැන පුරෝකතනයක් කිරීමට එදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමත් වූයේ නැත. එහෙත් අද වන විට තත්ත්වය මුළුමනින් ම වෙනස්ය. වැස්ස,සුළග, නියඟය, නායයෑම් ගැන නිවැරැදි තොරතුරු දීමට අද අපේ ආයතන සමත් වී ඇත.

දකුණු ආසියා කලාපය ස්වාභාවික විපත්වලට නිරන්තරයෙන්ම ගොදුරු වන භූකලාපයක් ලෙස ප්‍රකටය. බංගලිදේශයේ ගංවතුර, නේපාලයේ නාය යෑම්, ඉන්දියාවේ සුළි සුළං මීට නිදසුන් ලෙස ගත හැකිය. සුනාමිය නිසා දකුණු ආසියාවේ ජීවිත ලක්ෂ දෙකක් අහිමි විය. 2005 ඔක්තෝබරයේ හිමාලය ප්‍රදේශයේ ඇති වූ භුමි කම්පාවෙන් හා නාය යෑමෙන් තවත් ජීවිත දහස් ගණනක් දකුණු ආසියාවට අහිමි විය. අද අපේ දකුණු ආසියාව පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් සාමුහිකව ක්‍රියා කරන්නට පටන්ගෙන තිබේ. සාර්ක් සංවිධානයේ විශේෂ අවධානය කලාපයේ පරිසරය කෙරෙහි යොමු වී ඇත. ස්වභාවික විපත් හා පරිසරය අතර ඍජු සම්බන්ධයක් පවතී. පරිසරය ආරක්ෂා කරන තරමට ස්වාභාවික විපත් ඇතිවීමේ ගතිකය හීන වෙයි. පරිසරය ගැන නැවත සිතා බලන්නට කාලය පැමිණ ඇතැයි කිව හැකිය.

අපට යළිත් කිව හැක්කේ කාලය නපුරු නැත යන්නය. කොවිඩ් වයිරසයට දේශීය ඖෂධයක් හොයාගෙන තිබේ. බුරවිය ඇවිත් කරදර නොකර යන්නට ගියේය.

logo 1

හැඬේ අවුල සහ නමේ අවුල මිස වෙනත් ලොකු අවුලක් කොවිඞ් වෛරසයේ නැත. මෙය ද ඉන්ෆ්ලූවන්සා වෛරසයේම ඥාති සහෝදරයෙකි. සිදු වූ ලොකුම අවුල වූ කලී මේ සහෝදරයාට ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රචාරයක් ලැබීමය. මේ වෛරසය මුල් වරට මතු වූයේ චීනයේ වූහාන් පළාතේ තිරිසන් සතුන්ගේ මස් විකුණන මාකට් එකකින් බව සියලූ දෙනාගේම සාමාන්‍ය දැනුමේ කොටසකි. මේ වෛරසය සීතලට දැඩි ලෙස ඔරොත්තු දෙන බැවින් ගිය අවුරුද්දේ දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල වූහාන් පළාත ප‍්‍රමුඛ පළාත් ගණනාවක පැතිර ගියේය. එවිට චීනය සමග ඇති රාජ්‍ය තාන්ත‍්‍රික එදිරිවාදිකම් පිරිමැසීමට කල්පනා කළ ඇමරිකන් ආණ්ඩුව ලෝකයේ භයානකම ලෙඩවලින් එකක් චීනයට බෝවී ඇති බව ප‍්‍රචාරය කළේය. මේ ප‍්‍රචාරයෙන් පැය හැත්තෑ දෙකකට පසු ඇමරිකාවට ද කොවිඞ් 19 බෝවූ අතර ඉන් මාස තුනකට පමණ පසු බි‍්‍රතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන්ට ලෙඬේ බෝ විය. දැඩි සත්කාර ඒකකයට දමන ලද බොරිස් ජොන්සන් පණ බේරා ගත්තේ බොහෝ අමාරුවෙනි. ඉන් මාස කිහිපයකට පමණ පසු ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ලෙඬේ බෝ විය. කොවිඞ් පැතිර යන මුල් අවස්ථාවේදී පමණක් නොව තමාට ලෙඬේ බෝ වන තුරුම මාස්ක් දැමීමේ පූර්ව ආරක්ෂාව ගණන් නොගත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් රෝගය වැළඳෙන බවට ඉඟි කෙරෙන පළමුවැනි කිවිසුම් දෙක තුන ගොස් නාසයෙන් සොටු දියර ගලන්නට වූ කලී වහාම මාස්ක් එකක් දා ගත්තේය.

වැඩිදෙනා නොදන්නා කාරණය නම් කොරෝනා වෛරසයෙන් මියගිය ගාණට වඩා ලෙඬේ බෝ වී සනීප වූ පිරිස ලංකාවේ ජනගහනය මෙන් එකහමාරකටත් වැඩි බවය. මේ වනවිට කොවිඞ් දහනවය ආසාදනය වූ සමස්ත ලෝකවාසී ජනගහනය හාරකෝටි දොළොස් ලක්ෂ තිස් දහස් විසි හයකි. එයින් දෙකෝටි අනූනව ලක්ෂ අනූ පන්දහස් හාරසිය නවයක් හොඳටම සනීප වී ගෙවල්වලට ගොස් සුපුරුදු ජීවිත ගත කරති. ඒ අතර එකොලොස් ලක්ෂ දහසය දහස් පන්සිය නවයක් මිය පරලොව ගොස් සිටිති. සාමාන්‍යයෙන් කොවිඞ් දහනවයෙන් මිය යන්නේ ජීවන යන්ත‍්‍රය තවදුරටත් නඩත්තු කිරීමට බැරි තරමටම නරක් වූ වියපත් ජනතාවය. එසේම බේබදුකම නිසා ස්වෝත්සාහයෙන් ජීවන යන්ත‍්‍රය දිරාපත් කරගත් අය සිටිති. මේ නරක් වූ කොටස්වලට අමතර කොටස් ඇත්තේ අපායේ පමණි. එවැනි අය වැඩි ප‍්‍රසිද්ධියකින් තොරවම තම ගමනාන්තය කරා ගියහ. මේ වෛරසයට වඩා භයානක වෛරස් ලෝක ඉතිහාසයේ තිබේ. රෝම අධිරාජ්‍යය පැවති සමයේදී පැතිර ගිය දරුණු ඉන්ෆ්ලූවන්සා උණක් නිසා එවකට ලොව පැවති විශාලම යුද හමුදාව වූ රෝම හමුදාවෙන් සියයට අනූවක් මිය ගියහ. ඉතිරි වූ සියයට දහය ජීවිතය උදෙසා මාරයා සමග බලගතු සටනක නිරත වූ අය බැවින් යුද බිමට යෑමට තබා කෙලින් හිට ගැනීමටවත් හයියක් නැති නිසා වහා විශ‍්‍රාම ගැන්වීමට සිදුවිය. ඉන්පසු මුල සිටම අලූත් රෝම හමුදාවක් හදන්නට ද සිදුවිය. සාර්ස්, මර්ස්, ඉබෝලා වැනි අති භයානක වෛරස් පිළිබඳ අපි අසා ඇත්තෙමු.

මේවා සෙල්ලම් ලෙඩ නොව ලෝකවාසීන්ගෙන් හතරෙන් එකක්, හතරෙන් දෙකක්, හතරෙන් තුනක් යනාදී වශයෙන් වළපල්ලට යැවීමට ශක්තිය තිබූ උග‍්‍ර වෛරස් වෙති. එහෙත් කවර හෝ තත්ත්වයන් මත එම රෝග පාලනය කිරීමට හැකි වූ අතර එම කිසිදු වෛරසයකින් පන්දහසකට වැඩි පිරිසක් මිය නොයෑම විශේෂ කාරණයක් ලෙස සටහන් කළ යුතුය. කොවිඞ් දහනවය වෛරසය සාර්ස්, මර්ස්, ඉබෝලා තරම් බලසම්පන්න නැති වුවද එය එකිනෙකාට බෝවීමට ඇති හැකියාව වැඩිය. මෙසේ බෝවන අතර ඇමරිකාව ලෝකයේ ජනප‍්‍රියම වෛරසය බවට එය පත් කළේය. අපගේ වැටහීමට අනුව මේ මොහොතේදී ලෝකයේ ජනප‍්‍රියම නාම පදය බවට පත්ව ඇත්තේ කොරෝනාය. දෙවැනි ජනප‍්‍රිය වචනය ඩොනල්ඞ් ට‍්‍රම්ප් විය යුතුය. කොවිඞ් කොරෝනා ඇරඹුණු චීනයේ වූහාන් පළාත ගැන ඒ රටේ ඈත දේශසීමාවල ජීවත්වන චීන්නු පවා නොදනිති.

ලැබුණු ප‍්‍රචාරය සහ එම ප‍්‍රචාරයේ විභවය හේතුවෙන් ශ‍්‍රී ලංකාව විසින් කොරෝනා වෛරසය හඳුනාගෙන ඇත්තේ වසූරියටත් වඩා දරුණු ලෙඩක් ලෙසය. එසේම මේ වෛරසය ආසාදනය වූ අයෙක් හමු වූ විට ගෙවල් පිටින් නිරෝධායනය කිරීම එවැනි පුද්ගලයන් දෙතුන් දෙනකු සිටින ගමක් හමු වූ විට එම ගම සම්පූර්ණයෙන්ම ලොක් ඩවුන් කිරීම වැනි අත්‍යාවශ්‍ය ආරක්ෂක උපක‍්‍රම නිසා මේ රෝගයට ලැබුණු සන්ත‍්‍රාසදායි ජනප‍්‍රියත්වය භුක්ති විඳිනු පිණිස වෙනමම සෙට් වුණු පිරිසක්ද ලංකාවේ වෙසෙති. සෑම සිකුරාදාවකම ඔවුන්ගේ ප‍්‍රාර්ථනය වූයේ සෙනසුරාදා උදේ හයට ඇඳිරි නීතිය පනවා එම තත්ත්වය අඩුම ගාණේ සතියක්වත් පවතින්නේ නම් කොතරම් මැනව ද යන්නය. මේ රෝගයේ දේශීය විභවය කොතරම් ඝනකම් ද යත් ලංකා ඉතිහාසයේ බුද්ධි අංශ සහභාගි වූ පළමුවන රෝගය බවට පත්ව තිබේ. කොරෝනා වෛරසයේ ඉන්ෆ්ලූවන්සා ස්වරූපයට අනුව එයට භයවීමට වඩා වැදගත් වන්නේ ආරක්ෂා වීමය. අද අප ලිව්වේ රටේ පවතින නරක තත්ත්වය පිළිබඳ සරල සාමාන්‍ය කතු වැකියකි. හෙට බෝම්බයක් පත්තු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

 

logoරජයේ නිරෝධායන වැඩසටහන් උපහාසයට, අපහාසයට හා ගර්හාවට ලක් කරන කූට වැඩපිළිවෙළක් ඇති බව පෙනී යයි. සමාජ මාධ්‍ය විසින් සමාජගත කරන ඇතැම් වාර්තාවලින් ඒ බව සනාථ වෙයි. එක්තරා වාර්තාවකට අනුව නිරෝධායන මධ්‍යස්ථානයකදී ආහාරය සඳහා අමු කරවල දී ඇත. එහිම සඳහන් වන අන්දමට නිරෝධායනය සඳහා රැගෙන යෑමේදී පුද්ගලයන්ට සූදානම් වීමට ඉඩක් ලබා දී නැත. වාර්තාවට අනුව තත්පරයකින් සූදානම් වන්නැ’යි නිලධාරීන් කියා ඇත. මෙය කිසිසේත්ම සිදු විය නොහැකි දෙයකි. හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කර ඇති අතර, කිසිදු තැනකදී එවැන්නක් සිදු වී නැති බවට අවධාරණය කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව මහජනයා වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වී ඇත. විශේෂයෙන් මෙහිලා හමුදාව ඉටු කරන කාර්යභාරය කාගේත් අවධානයට ලක් වී ඇත. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේදී හමුදාවේ කාර්යභාරය තීරණාත්මක වෙයි. නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පිට වී යන පුද්ගලයෝ හමුදා නිලධාරීන්ට දණ ගසා වඳිති. සමහරු කවි ගායනා කොට ඔවුන්ට සුබ පතති. තව සමහරු හමුදා නිලධාරීන් දෙවියන්ට සමානයැයි කියා සිටිති. ශ්‍රී ලංකාවේ ඇත්තේ මානුෂීය හමුදාවකි. මිනිසුන්ගේ දුක - කඳුළ - සුසුම ඔවුන්ට හොඳින් දැනෙයි. මෙතෙක් කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකින් ඇත්ත විවේචනයක් ඉදිරිපත් වී නැත.

කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා සාමූහිකව ක්‍රියා කළ යුතු බව ප්‍රකාශයට පත් වී ඇත. එහි අදහස වන්නේ සෑම සමාජ කණ්ඩායමක්ම තම වගකීම් හා යුතුකම් ගැන අවබෝධයකින් ක්‍රියා කළ යුතු බවය. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ කණ්ඩායම් තම වගකීම් හා යුතුකම් ඉටු කරන්නේ නැත. ඒ ගැන හැඟීමක් පවා නැති බව ද පෙනී ගොස් තිබේ. රජය මුල සිටම දූරදර්ශි සැලැසුමකට අනුව අභියෝගයට මුහුණ දෙමින් සිටී. වසංගත ව්‍යාප්තිය වැළැක්වීම, දෛනික ජීවිතය යථා තත්ත්වයට ගැනීම හා ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය කිරීම අතින් ජයග්‍රහණ වාර්තා කරන්නට ද රජය සමත් විය. එහෙත් ඇතැම් පාර්ශ්වවල වගකීම් විරහිත හැසිරීම් නිසා යළිත් කොවිඩ් අවදානම උත්සන්න වන්නට පටන්ගෙන තිබේ.

විවෘත සමාජය වෙතින් ආසාදිතයන් හමු වීම මුළුමනින්ම නැවතී තිබිණි. එය පැවැතියේ සුළු කාලයක් පමණි. සමාජයේ බහුතරය කොවිඩ් නොසලකා හැර ක්‍රියා කළ බැවින් ගැටලුවේ මුල් අවස්ථාව වෙත යළිත් ඇදවැටී තිබේ. මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති එක් පියවරක් වන්නේ කොවිඩ් සෞඛ්‍ය උපදේශනය නීතිගත කිරීමය. ඒ අනුව නිසි සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද, දඬුවම් පැමිණවීමට ද සිදු වනු ඇත. මේ පියවර ගෙන ඇත්තේ ද මහජන සුබ සිද්ධිය සඳහාය. වසරේ මුල් කාර්තුවේ ජනතාව සෞඛ්‍ය උපදේශන අනුව ජන ජීවිතය හැඩගස්වා ගත්තේ වුව දෙවන කාර්තුව වන විට සියල්ල අත්හැර තිබිණි. එහෙත් දැන් කොවිඩ් සමඟ සෙල්ලම් කිරීමට ඉඩක් නැත. ඒ බව කවුරුත් වටහාගත යුතුව තිබේ.

 

මේ වසංගත සමයේ සමාජ මාධ්‍යවල හැසිරීම කිසි සේත් අනුමත කළ නොහැකිය. රජය මේ සම්බන්ධයෙන් විවිධ මාර්ගෝපදේශන සපයා තිබුණ ද අසත්‍ය තොරතුරු ළැව් ගිනි සේ පැතිර යයි. නිරෝධායනයට එරෙහි මඩ ප්‍රචාරයක් මීට පෙර ද දක්නට ලැබිණි. එය මැකී ගියේ නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් නික්මී යන්නට පටන් ගත් තැන සිටය. මේ වන විට පනස් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත. ඒ සඳහා බරපතළ වියදමක් සේම බරපතළ පරිශ්‍රමයක් ද දැරීමට රජයට සිදු වී ඇත. නිරෝධායන ක්‍රියාවලිය වසංගත පාලනයේදී අංක එකට එයි. එය අවුල් වුව හොත් කොවිඩ් පාලනය මුළුමනින්ම අඩාළ වෙයි.

නිරෝධායන වැඩපිළිවෙළ විධිමත් ක්‍රියාවලියකි. එය සැකසී ඇත්තේ සෞඛ්‍ය අංශවල උපදේශනය මතය. කිසියම් නි‍ෙවසකින් හෝ මධ්‍යස්ථානයකින් හෝ නිරෝධායනය සඳහා පුද්ගලයන් රැගෙන යන්නේ පූර්ව දැනුම් දීමකින් පසුවය. පැය ගණනකට පෙර දුරකතනය ඔස්සේ එම පණිවිඩය ලබා දෙයි. නිරෝධායනයට ඇතුළත් දින ගණනට අවශ්‍ය ඇඳුම් හා වෙනත් දේවල් සකස් කර ගැනීමට පැය ගණනක් හොඳටම ප්‍රමාණවත්ය. නිරෝධායනයට එකතු වන පුද්ගලයන්ගේ නිවාස හා වෙනත් දේපොළ සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ද ගනු ලැබේ. නි‍ෙවසක ඇති කරන සුරතල් සතුන් ගැන පවා සොයා බලන ප්‍රතිපත්තියක් නිරෝධායන වැඩසටහනට ඇතුළත්ය. මේවා පිළිබඳ ඇත්ත සමාජ මාධ්‍යවල පළ වන්නේ නැත.

නිරෝධායන මධ්‍යස්ථාන හා සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ ගැන නිරන්තරයෙන් සොයා බලන ජාලයක් රජයට තිබේ. සෞඛ්‍ය අංශ, ආරක්ෂක හමුදා පොලීසිය පමණක් නොව රාජ්‍ය පාලනයට සම්බන්ධ ආයතන ද ඊට එකතු කරගෙන තිබේ. ග්‍රාමසේවක මහත්වරුන් පමණක් නොව; ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද, පළාත් පාලන ආයතන ද මේ ජාලයට සම්බන්ධය. කිසිවකුටත් ස්වකීය වගකීම්වලින් බැහැර වීමේ හැකියාවක් නැත. මෙබඳු පසුබිමක නිරෝධායන මධ්‍යස්ථානවල සේවා කඩා වැටෙන්නට ඉඩක් නැත. ආරක්ෂක අංශවලට අමානුෂික ලෙස ක්‍රියා කරන්නට ඉඩක් ද නැත. කොවිඩ් වැළැක්වීමේ කාර්ය සාධන කමිටුව වරින් වර රැස් වී කටයුතු සමාලෝචනය කරයි.

විශේෂඥයන්ගේ මතයට අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ සුබදායක තැනකය. බරපතළ තත්ත්වයක් ඇති වීමට පෙර කොවිඩ් පාලනය කර ගැනීමේ ඉඩ ප්‍රස්තාව තවම ශ්‍රී ලංකාවට ඇති බව ඔවුන්ගේ අදහසය. මේ තත්ත්වය යටතේ නිරෝධායනය පසුගාමි වුව හොත් සමස්ත ක්‍රියාවලිය අඩපණ වීමට ඉඩ තිබේ. සමාජ මාධ්‍ය පතුරවන බොරුවලට අනුව මහජනයා ක්‍රියා කිරීමට පටන් ගත හොත් සිදු වන්නේ බලවත් විනාශයකි. මේ විනාශය ඇති වීමට පෙර සමාජ මාධ්‍ය යම් පාලනයකට නතු කළ යුතුය. අවම වශයෙන් අතේ පැළ වෙන බොරු ප්‍රචාරය කරන කිහිප දෙනකු හෝ සිරගත කළ යුතුය. එය වගකීමකි.

 

logoරටක ආර්ථිකය හැසිරවීම අතිශය දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියකි. පාරිභෝගිකයාට සහන ලැබෙන විට ගොවියා අඬන්න පටන් ගනී. ගොවියාට සහන සලසන විට පාරිභෝගිකයා අඬන්න පටන් ගනී. මේ අතර සමාගම්වල ක්‍රියාකාරිත්වය වෙනම පවතී. අතරමැදියන්ගේ ක්‍රියාකාරිත්වය ද වෙනම පවතී. මේ සියල්ලම තෘප්තිමත් කරන ආර්ථික වැඩපිළිවෙළක් කිසිවකුට නිර්මාණය කළ නොහැකිය. අවම ලෙස පාරිභෝගිකයා හා ගොවියා යම් පමණකින් හෝ තෘප්තිමත් වන ආර්ථික ක්‍රියාවලියක් සැකසිය හැකි නම් අවුලකින් තොරව ආර්ථිකය ගලා යනු ඇත. නැත හොත් ක්‍රියාත්මක වනු ඇත. නිදහස් වෙළෙඳපොළක් පවතින රාජ්‍යයක එවැන්නක් සිදු කිරීම ද ඉතා අපහසුය. එහෙත් එය කළ යුතුය.

ජීවන වියදම් කමිටුවේ රැස්වීමකදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගොවියා හා පාරිභෝගිකයා තෘප්තිමත් වන ආර්ථික ක්‍රියාවලියක් කෙසේ හෝ ආරම්භ කළ යුතු බවය. ඒ සඳහා ආදර්ශයක් පෙන්වා දුන් ජනාධිපතිවරයා ගොවියා ගසා කන අතරමැදියන්ගේ ක්‍රියාවලිය නවතා දැමීම වැදගත් බව කියා සිටියේය. එය කළ හැක්කේ කෙසේ ද මාර්ග දෙකක් ඇත. පළමු මාර්ගය වන්නේ රජය මැදිහත් වී ගොවියාගේ අස්වැන්න මිලට ගැනීමය. දෙවන මාර්ගය වන්නේ ගොවියාට කෙළින්ම වෙළෙඳපොළ හා සම්බන්ධ විය හැකි අවස්ථාවක් ඇති කිරීමය. දෙවන මාර්ගය වඩාත් ප්‍රායෝගික බව පෙනී යයි. ඊට ගොවි ජනතාව ද එකඟ වනු ඇත.

අතරමැදියන්ගේ ගසා කෑම අපේ වෙළෙඳපොළ තුළ ජයටම සිදු වෙයි. ගොවි බිමට එන අතරමැදියා ඉතා අඩු මිලකට අස්වැන්න කොල්ල කා ගනී. ගොවියා එම මොහොතේ පහසුව තකා අතරමැදියාට හසුවන ආකාරය දැක ගත හැකිය. ඒ හැරත් දුප්පත් ගොවියාට ප්‍රවාහන පහසුකම් නැත. වෙළෙඳපොළ සම්බන්ධතා නැත. මෙහි වාසිය අතරමැදියාට ලැබෙයි. ගොවි බිමට යන අතරමැදියා වට්ටක්කා කිලෝව රුපියලකට දෙකකට මිලට ගනී. එය වෙළෙඳපොළ වෙත එන්නේ ගත් මිලට වඩා දහ ගුණයකින්වත් මිල වැඩි කිරීමෙන් පසුවය. මේ ක්‍රමය නිසා එක අතකින් ගොවියා සූරාකෑමට ලක් වෙයි. තව අතකින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් වෙයි.

මේ දිනවල කහ හිඟයක් පවතී. කහ කුඩු ග්‍රෑම් සියයක් රුපියල් හයසියයට අලෙවි කළ අවස්ථා ද වාර්තා වී තිබිණි. කහ හිඟය ඇති වූයේ කහ ආනයනය නවතා දැමීම නිසාය. රටට අවශ්‍ය තරම් කහ කුඩු සැපයිය හැකි යැයි ගොවියා කියනමුත් එය ඉටු වී නැත. කහ ඇතුළු තවත් පාරිභෝගික භාණ්ඩ රැසක් ආනයනය කිරීම නවතා ඇත්තේ දේශීය ගොවීන්ගේ ඉල්ලීම මතය. එහෙත් ඉන් පාරිභෝගිකයා අමාරුවේ වැටී ඇත. මේ නිසා කළු කඩයක් ද බිහි වී ඇත. පොල් සම්බන්ධයෙන් ඇත්තේ තවත් ගැටලුවකි. වාර්ෂික පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණය ඇතත් එය වෙළෙඳපොළට එන්නේ නැත.

 පොල් ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රජය අලුතින් හෙක්ටයාර් ගණනාවක පොල් වගා කිරීමට යයි. එය පොල් ගැටලුවට හොඳ උත්තරයකි. පොල් සංවර්ධන අධිකාරිය හා පොල් වගාකරුවන්ගේ සංගමය ඒකාබද්ධ වී වෙළෙඳපොළ වෙත පොල් ලබා දීමේ අලුත් වැඩසටහනක් ආරම්භ කර ඇත. එයත් හොඳ උත්තරයක් ලෙස සැලකිය හැකිය. පොල් මිල ඉහළ නංවා ඇත්තේ කෘත්‍රිම ලෙස යැයි සිතන්නට කරුණු තිබේ. එය තනිකරම ව්‍යාපාරික උප්පරවැට්ටියකි. මේවා සම්බන්ධයෙන් දැඩි නීති - රීති අනුගමනය කළත් ඊට මහජන විරෝධයක් එල්ල වන්නේ නැත. මේ වන විට පොල් ගැටලුව යම් පමණකට විසඳී ඇති බව පෙනෙයි. කහ පිළිබඳ ගැටලුවට ද එබඳු විසඳුමක් ක්‍රියාත්මක විය යුතුය.

කොවිඩ් අර්බුදය ද සැලැකිල්ලට ගත් රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතරක ආනයන බදු කපාහැරීමට පියවර ගත්තේය. එය රටේ සමස්ත ජනතාවට ලබා දුන් සහනයකි. ඒ අනුව ටින් මාළු, පරිප්පු, ලොකු ලූනු හා සීනි අඩු මිලට ගත හැකි විය යුතුය. පාරිභෝගික ජනතාව බදු කපා හැරීම ගැන ප්‍රසාදය පළ කරන අතර, ව්‍යාපාරිකයා පසු වන්නේ වෙනත් මතයකය. රජය කියන පිළිවෙළට ව්‍යාපාර ගෙන යා නොහැකි බවට ඔවුහු තර්කයක් ඉදිරිපත් කරති. බදු කපාහරින්නේ නම් අඩු මිලට භාණ්ඩ අලෙවි කරන්නට බැරිකමක් තිබෙන්නට බැරිය. බදු මුදල අහෝසි වූ පසු ව්‍යාපාරිකයාට අඩු මුදලකට භාණ්ඩ ගැනීමට හැකි වෙයි. එහි වාසිය පාරිභෝගිකයා වෙත ද කාන්දු විය යුතුය.

නිදහස් ආර්ථිකයක් තුළ වෙළෙඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් ආණ්ඩුවකට කළ හැක්කේ සොච්චම් ක්‍රියා මාර්ගයකි. අපි ඊයේ ද මේ තීරුව ඔස්සේ ඒ කරුණ පැහැදිලි කළෙමු. එහෙත් සොච්චම් බලපෑම උපායශීලි ලෙස යොදා ගත හොත් වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ යම් බලයක් රජය වෙත ලබා ගත හැකිය. ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට එම බලපෑම මඟින් ගොවියාට හා පාරිභෝගිකයාට යන දෙදෙනාටම සහන ලබා දිය හැකිය. ගොවිතැන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනෝපායකි. ඒ හැරත් රටේ මුළු ජනගහනයෙන් වැඩි පිරිස කුමන හෝ අංශයකින් කෘෂිකර්මයට දායකත්වයක් සපයති. ඒ අනුව ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගොවියාට හිමි විය යුතුය. ඉන් අර්ථවත් වන්නේ ගොවියාගේ ද අත මිට සරු විය යුතු බවය.

අපට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකමේ පාඩුව මෙබඳු අවස්ථාවලදී හොඳින් පෙනී යයි. ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ආර්ථික ක්‍රියාවලියේ නිත්‍යතාවක් ඇති කිරීම වැදගත්ය. එබඳු පසුබිමකදී ආර්ථික වැඩසටහන් වරින්වර වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැත. මේ ආපදා අවස්ථාවේ ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාටම සහන අවශ්‍ය වෙයි.

 


garment146

ශ‍්‍රී ලංකාවේ වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය ගාමන්ට් ෆැක්ටරියකින් මතුවීමත් සමගම මේ රටේ ඇඟලූම් කර්මාන්තයේ වැඩි දෙනා විසින් කතා නොකරනු ලබන පැතිකඩක් ගැන සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබී තිබේ. මේ පැතිකඩ වූ කලී ඇඟලූම් සේවිකාවන් සූරාකෑමට ලක්වීම පිළිබඳ කතාවය. ඒ කතාව ගැන සාකච්ඡා කිරීමට කලින් මතක් කළ යුතු අනෙක් වැදගත් කාරණාව වන්නේ මේ රටේ ඇඟලූම් සේවිකාවන්ට ගතකිරීමට සිදුවී ඇති අන්ත අසරණ ජරා ජීර්ණ ජීවිතයයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තිස්පන් දහසක ශ‍්‍රම බළකායක් වැඩ කරති. මේ තිස්පන්දහසෙන් සියයට හැත්තෑ පහක් පමණ තරුණියෝය. ඔවුන්ගෙන් වැඩිදෙනා කටුනායකට එන්නේ දුර පළාත්වලිනි. එවැනි ඇතැම් ඇඟලූම් සේවිකාවක් ඇගේ පවුලේ වැඩිමලා විය හැකි අතර ඇය කොළඹ රස්සාවකට යෑම එම පවුලේ අනාගතය විසඳන තීරණාත්මක සාධකයක් ලෙසට ගණනය කිරීම එම පවුලේ අය විසින්ම කරනු ලැබේ. මේ වූ කලී ලංකාවේ පහළ මධ්‍යම පන්තියේ සහ දුප්පත් පන්තියේ චින්තනයයි.

කොළඹින් දුර බැහැර පිටිසරබද ගමක දරුවකු රස්සාවකට කොළඹ ඒම ඉහත සඳහන් පන්තීන් දෙක විසින් මීට අවුරුදු සියයකට පෙර සලකන ලද්දේත් නිධානයක් ලැබුණාක් මෙනි; අද සලකන්නේත් නිධානයක් ලැබුණාක් මෙනි. නිධානයේ තරම දන්නේ කොළඹ එන එකාය. එය කිසි කලෙකත් ගොඩගැනීමට බැරි නිධානයකි. ගාර්මන්ට් ෆැක්ටරිවල වැඩට එන පිටිසරබද ගැමි ළමයින් මනසින් දුටු ලෝකය ෆැක්ටරි තුළ නැත. ඔවුහු රුපියල් දහහත් දහස් පන්සියයක හෝ රුපියල් විසි දහසක මූලික පඩියකට ජීවිත පටන් ගනිති. ඔවුන්ට නවතින්නට සිදුවන්නේ බෝඩිමකය. ඒ සඳහා එක් තරුණියකට අවම වශයෙන් බෝඩින් කුලිය ලෙස රුපියල් හත්දහස් පන්සියයක්වත් ගෙවීමට සිදුවේ. ඇය සිටින බෝඩින් කාමරය තුළ තවත් ගාමන්ට් සේවිකාවෝ හතක් හෝ අටක් සිටිති. බෝඩින් අයිතිකාරයා හෝ අයිතිකාරිය මෙය හඳුන්වන්නේ ”හත්දහස් පන්සියයේ කෑලි” හතක් අටක් ලෙසය. බෝඩින් ගාස්තුව ගෙවීමෙන් පසු රුපියල් දස දහසක් හෝ දොළොස් දහස් පන්සියයක් ගමේ සිටින තම පවුලේ අයට යැවීමට මේ තරුණියට පුළුවන. එවිට ඇගේ වියදමට තඹ සල්ලියක්වත් ඉතිරි වන්නේ නැත. එසේ නම් ඊළඟ මාසයේ සිට ඇය ඕ. ටී. කළ යුතුය. ඕ. ටී. වලින් ද ගොඩ ඒමක් නැති ඇය දරිද්‍රතාවයේ පතුලටම වැටෙන්නීය.

මෙසේ දුක් විඳින තරුණියන්ට මුදලෙන් උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලී තරුණයන් බොහෝය. පුණ්‍ය කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි ධනවත් අය ලංකාවේ මෙපමණ සිටින බව දන්නේ නම් ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව මේ රටට ණය දීමට කවදාවත් ඉදිරිපත් නොවනු ඇත. මේ පරිත්‍යාගශීලීන් වැඩිදෙනා අත මේ අසරණ තරුණියෝ ලිංගික කෙළි බඩු බවට පත්වෙති. තමන් කරන ත්‍යාගශීලී උපකාර වෙනුවෙන් මේ නරුම නීච කාලකණ්ණි පිරිමි පෙර කී තරුණියන්ගේ කන්‍යාභාවය ලබා ගනිති. එසේ කන්‍යාභාවය ඉල්ලා සිටින අවස්ථාවේදී මේ තරුණියන් එම ඉල්ලීම බැහැර කිරීමට නොහැකි තරමට කායිකව හා මානසිකව පේ‍්‍රම උගුලේ සිරවෙලාය. ඊළඟ පියවරේදී මේ නීච පිරිමින් වෙතින් එම තරුණියන්ට දීමනා දෙකක් ලැබේ. ඉන් පළමුවැන්න වූ කලී දරු ගැබකි. දෙවැන්න බෙහෙත් නැති සමාජ රෝගයකි. පළමුවැනි ප‍්‍රශ්නය විසඳීමට ගබ්සා කඩවල සිටින හොර දොස්තරවරුන්ට පුළුවන. දෙවැනි ප‍්‍රශ්නයට උත්තරය කොළඹ මහ රෝහලේ තිස් තුනේ කාමරේය. මේ කාමරේ තුළදී වුව ඇතැම් සමාජ රෝග සුව කළ නොහැක. ඒ අතින් බලන විට කොරෝනා යනු සුළු උණකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ‍්‍රිත බෝඩින් කාමර වැඩි හරියක් තුළ විවිධ ගාමන්ට්වල සේවිකාවෝ ලැගුම්ගෙන සිටිති. ඒ අනුව එක් කෙනකුට කොරෝනා හැදුනොත් මුළු කාමරයටම කොරෝනා වැළඳෙයි. බ‍්‍රැන්ඩික්ස් ටේලර් සාප්පුවට හැදුණු කොරෝනා රෝගය නෙක්ස්ට් ගාමන්ට් එකටත්, හෙළ ක්ලෝදින්ග් ගාමන්ට් එකටත් පැතිර ගියේ මෙකී න්‍යායට අනුව විය යුතුය.

ශ‍්‍රී ලංකාව යනු කම්කරු නීති රීතීන් ඉහළින්ම තිබෙන රටකි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පැළ කරන ලද විශාල එන්. ජී. ඕ. ගස් මේ රටේ ඇත. අවාසනාවකට මෙන් මේ එන්. ජී. ඕ. ගස් වලින් ඇඟලූම් සේවිකාවන්ට කිසිම හෙවණක් ලැබී නැති අතර එන්. ජී. ඕ. කට්ටියගේ සේවක අයිතිවාසිකම් පමණක් ඉහළින්ම සුරැකී ඇත. කවර ගාමන්ට් ෆැක්ටරිය කවර බයිලාව කිව්වත් මෙය තමයි සැබෑ තත්ත්වය. ශ‍්‍රී ලංකාවේ ගාමන්ට් ව්‍යාපාරය පටන් ගත්තේම මේ පරිහානිගත තත්ත්වය තුළ සිටය. එය අදටත් එසේමය. වෙනිවැල්ගැට සහ පැරසිටමෝල් පොවා කුණුහරුපයෙන් බැණ තරුණියන්ගෙන් වැඩ ගැනීම ගාමන්ට් ක්ෂේත‍්‍රය තුළ එදත් සිදු විය. අදත් සිදු වෙයි. ආණ්ඩුව කළ යුත්තේ මෙය හෙටත් සිදු නොවීමට වගබලා ගැනීමය. එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒ වෙනුවෙන් කිසිම මඟුලක් කර නැත. ඒ නිසා බ‍්‍රැන්ඩික්ස් තියරිය ඒ ආකාරයෙන්ම පවතින අතර මැල්තස් තියරිය කවදාවත් ගොඩයන්නේ නැත.