අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාෙවේ නියෝජිතයන් පවත්වන සාකච්ඡා සාර්ථක බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ යම් ගැටලු පැවතිය ද එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඉහළ කළමනාකාරිත්වය විශ්වාස කරයි. සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට යන අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා හදිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බව ප්‍රකාශ වී තිබේ. ඒ අනුව දින විස්සක් ඇතුළත මූල්‍ය උපදේශකයන් පත් කොට එය ඉටු කර ගැනීමට රජය අපේක්ෂා කරයි. ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ක්ෂණික ණය මුදලක් ද රජය අපේක්ෂා කරයි.
පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් සපයමින් ජනතාවට සහන සලසා දීම සඳහා රජය බරපතළ මෙහෙයුමක නිරත වන බව සත්‍යයකි. එය පහසු කාර්යයක් නොවේ. අප ඉල්ලා සිටින වේගයෙන් ණය හා ආධාර දීමට ජගත් ආයතන සූදානම් නැත. ණය හා ආධාර සඳහා ක්‍රියාදාමයක් අනුගමනය කිරීම එම ආයතනවල ක්‍රමය වෙයි. ණය ලබා ගන්නේ නම්; ආයතනය ඉදිරිපත් කරන කොන්දේසිවලට ද යටත් වීමට සිදු වෙයි. එම ආයතන රාජ්‍යයන් සඳහා කාන්දේසි පනවන්නේ මූල්‍ය තත්ත්වය ස්ථායිතාවයකට ගැනීම සඳහාය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණ ද ලෝකයේ මූල්‍ය ස්ථායිතාව ගොඩනැඟීමය.
අලි සබ්රි අමාත්‍යවරයා වොෂිංටනයේ සිට කළ ප්‍රකාශයක් නැවත සිහිපත් කිරීම වටී. ඒ මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ඉලක්ක හා අරමුණු අතහැර මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා කවුරුත් පොදු උත්සාහයක් දැරිය යුතු බවය. එහෙත් රට තුළ එය සිදු වන්නේ නැත. පක්ෂ නායකයන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින අතර ජන අරගලය උත්සන්න තැනකට ගෙන යෑම සඳහා උත්සාහ දරන බව ද පෙනෙයි. ජගත් ආයතන මෙන්ම බලවත් රටවල නායකයෝ ද ශ්‍රී ලංකාවේ සිදු වන දේවල් කෙරෙහි අවධානයෙන් සිටිති. මේ අවස්ථාවේ සමහරු මානව හිමිකම් කොමිසම වෙත යති. තව සමහරු ලෝක බැංකුවට පැමිණිලි ඉදිරිපත් කරති. මේවා සුභදායක දේවල් නොවේ.
තීරණාත්මක අවස්ථාවලදී නායකයන් පොදු එකඟතාවකට පැමිණ අර්බුදය ජය ගත යුතු වුව එවැන්නක් අපේ රට තුළ සිදුවන්නේ නැත. පාර්ලිමේන්තුව රටේ අර්බුදයට විසඳුම් සොයන මූලස්ථානය විය යුතු වුවද එහි දකින්නට ලැබෙන්නේ අර්ථශූන්‍ය විවාදයන් පමණි. ගැටලුවලට කිසිදු විසඳුම් යෝජනාවක් පාර්ලිමේන්තුව වෙතින් ලැබී නැත. කථානායකවරයා ද ඒ බව සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව දින ගණනාවක් රැස්වී විසිර ගොස් ඇති බව පමණක් අපට දැක ගත හැකිය. පාර්ලිමේන්තුව කෙරෙහි පැවැති මහජන විශ්වාසය ද බිඳ වැටී ඇත. එය ද අහිතකර තත්ත්වයකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ව්‍යවස්ථාදායකය ශක්තිමත් විය යුතු බව පිළිගැනීමකි.
රටේ පවතින ප්‍රධාන අර්බුදය ආර්ථිකය කඩා වැටීම බව අවිවාදයෙන් පිළිගත යුතුය. අනෙකුත් අර්බුද ගොඩනැඟී ඇත්තේ ආර්ථික අර්බුදය මතය. ඒ අනුව සමාජයේ සෑම කොටසකම අවධානය යොමු විය යුත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමේ උපාය මාර්ග සෙවීම කෙරෙහිය. ණය හා ආධාර නැතිව රට ගොඩගත නොහැකි බව පළමුව පිළිගත යුතුය. අපට මතක කාලයේ දී ග්‍රීසිය මෙබඳු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. සයිප්‍රසය හා ඉතාලිය ද එබඳු අර්බුදයකට මුහුණ දුන්නේය. එසේ වුව ලෝකයේ සහයෝගය මත වසර කිහිපයක් තුළ එම රාජ්‍යයන් යථා තත්ත්වයට පත් විය. අප ඒවා ආදර්ශයට ගෙන ක්‍රියා කළ යුතුව තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ සාකච්ඡා පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගණනාවක් ද මේ වන විට සමාජගත වී ඇත. ඉන් පැහැදිලි වන්නේ අයි.එම්.එෆ්. සාකච්ඡා අසාර්ථක කිරීමේ වෑයමක් ද පවතින බවය. සමහර දේශපාලන ව්‍යාපාර ආර්ථික අර්බුදයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සුක වෙයි. එය මේ මොහොතේ ඉතා අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන. අපට ආධාර හා සහයෝගය සපයන ප්‍රධාන රාජ්‍යයන් දෙක වන චීනය හා ඉන්දියාව සම්බන්ධයෙන් ද අසත්‍ය ප්‍රචාර පැතිරෙයි. මේ ඔස්සේ රට ගැන භයානක චිත්‍රයක් නිර්මාණය කිරීමට සමහරු වෑයම් කරති. එය නැවැත්විය යුතුය. සමස්ත සමාජයේම සහයෝගය ලැබෙන්නේ නම්; කෙටි කාලයක් තුළ අර්බුදයෙන් ගොඩ යා හැකි බව මධ්‍යස්ථ බුද්ධිමතුන්ගේ මතය වෙයි.
1970 ගණන්වලදී මීට සමාන ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය. එකල මීට වඩා දරුණු ආහාර හිඟයක් ද පැවැතිණි. පාන් ගෙඩියක් මිලට ගැනීම සඳහා බේකරිය ළඟ පැය ගණන් රස්තියාදු වූ මිනිස්සු එදා සිටියහ. අපේ මිනිස්සු ඊට මුහුණ දුන් අතර දේශීය ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ නඟා ගත්හ. හැදෙන සමාජයකට එම පාඩම හොඳටම ප්‍රමාණවත්ය.