කතුවැකිය

කතුවැකිය

22 01 26 154142

පොලීසිය කවදත් සමාජයට විවාදාපන්න මාතෘකා සපයන ආයතනයකි. පොලීසිය අතින් සිදුවන හොඳ සහ නරක දෙවර්ගයම මාධ්‍යයට ප්‍රවෘත්තිය. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි යන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නම් වූ බුදු වදන ආදර්ශ පාඨය කොටගෙන ක්‍රියාත්මක වන පොලීසිය සැබැවින්ම ධර්මයේ හැසිරෙන්නේද යන්න මේ වනවිට සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. ඒ අතර අපේ පොලීසිය සෙසු රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු මෙන්ම දේශපාලන හස්තයට යටත් වී තිබෙන බවට වන කදිම සාක්ෂියක් පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

මෙම කතා පුවත එළියට පැමිණියේ එම සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හමුවේදීය. එකී මැති - ඇමැති හමුව පැවතියේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමාගේත් ආණ්ඩුවේ දෙවැනියා වන අගමැතිවරයාගේත් ප්‍රධානත්වයෙනි. එහිදී සබරගමුව පළාතේ පොලීසියකට ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු හා ඇමැතිවරියක අතර මතගැටුමක් හටගැනිණි. මෙම සංවාදයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් මෙන්ම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේද මතය වූයේ පළාත්බද පොලීසිවලට ස්ථානාධිපතිවරුන් පත්කිරීමේදී පළාතේ මන්ත්‍රීවරයාගේ අභිමතය ද විමසා එකී පත්කිරීම් සිදු කළ යුතු බවයි. යථාර්ථය එය නම් තවදුරටත් මෙරට අපක්ෂපාතී ස්වාධීන පොලිස් සේවාවක් පවතී යැයි කාට නම් කිව හැකිද? 

පවත්නා වාර්තා අනුව දිවයිනේ පොලිස් ස්ථාන හාරසිය අසූ පහක් පමණ ක්‍රියාත්මකය. ඇතැම් මන්ත්‍රී කොට්ඨාසවල පොලිස් ස්ථාන තුන හතරක් පවතී. පසුගිය කාලයේ අපට අසන්නට දකින්නට ලැබුණු සමහර සිදුවීම්වලදී ජනතාව පොලීසිවල ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමද කැපීපෙනුණි. අනෙක් ආයතනවල මෙන්ම පොලීසියේද විනය පිරිහී තිබෙන බවට වන සාක්ෂි විටින් විට මාධ්‍ය මගින් වාර්තා විය.

නෑම ආයතනයකට ස්වයං ගරුත්වයක් සහ විනයක් තිබිය යුතුය. විනයක් නැති ආයතනයකට පැවැත්මක්ද නැත. පළාතේ දේශපාලන බලවතාගේ කැමැත්ත සහ ආශීර්වාදය මත පත්කෙරෙන පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් යුක්තිය, සාධාරණය හා විනය අපේක්ෂා කළ හැකිද යන්න ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනා කළ යුතුය. 

මේ කරුණ සනාථ කරන්නට අපට ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කරන්නටද පුළුවන. මේ දිනවල කුඩු පුරයක් බවට පත්ව ඇති, කේරල ගංජා වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේද කේන්ද්‍රස්ථානයක් වන දකුණු පළාතේ වෙරළබඩ සංචාරක පුරවරයක්ද වන නගරයක පොලිස් ස්ථානාධිපතිවරයා පත්වූයේ පළාතේ දේශපාලන බලධරයාගේ බලවත් නිර්දේශය බවට චෝදනා එල්ලවිය. ඔහු ගැන මාධ්‍යයෙන් එල්ල වූ චෝදනා මෙන්ම පොලිස් මූලස්ථානයට ලැබෙන පැමිණිලිද කෙළවරක් නැත. එහෙත් පොලීසියේ පරිපාලකයන්ට මොහුට ස්ථාන මාරුවක් හෝ දීමට බලයක් නැත්තේ යට කී දේශපාලන බලධරයා ආණ්ඩුවේ බලවතකු නිසා බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති කතාවකි.

මෙම සටහන සඳහා තොරතුරු සම්පාදනය කර ගැනීම පිණිස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සමඟ අප කළ කතාබහකදී අනාවරණය වූයේ නීති පොතක වගන්ති නිසියාකාරව කියවාගන්නට පවා නොහැකි විධිමත් ලෙස නීතිමය ලේඛනයක් හෝ පැමිණිල්ලක් ගොනුකර ගන්නට නොදන්නා පොලිස් ස්ථානාධිපතිවරුන් රාශියක් දේශපාලන නිර්දේශ මත පත්ව සිටින බවයි. මොවුන් මෙලෙස පත්වීම් ලැබූ පසු සේවය කරන්නේ පොලීසියට නොව ඔහු පත් කළ දේශපාලනඥයාටය. එබඳු දේශපාලන ගැත්තන් කරන විනය විරෝධී කටයුතු ගැන පළාතේ උසස් පොලිස් නිලධාරීහු පවා මුනිවත රකිති. ඊට හේතුව දේශපාලන ගැත්තකුට එරෙහිව පියවර ගන්නට යාම තමන්ගේ වෘත්තීය සෞඛ්‍යයට හොඳ නැති නිසාය. 

තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මැති ඇමැතිවරුද තම කොට්ඨාසයන්හි පොලිස් ස්ථානවලට තමන්ට අභිමත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නට සටන් කිරීම පුදුමයට කරුණකි. පොලීසිය සම්බන්ධ පත්කිරීම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිවරයා ප්‍රමුඛ පරිපාලන බලධරයෝ සිටිති.

එසේ සිටියදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමන්ට ඕනෑ ස්ථානාධිපතිවරුන් පත් කරන ලෙස කියමින් විෂය භාර අමාත්‍යවරයා සමඟ සටන් කරති. පසුගිය කාලයේ එවැනි එක් නිර්දේශයක් ක්‍රියාත්මක නොකිරීම ගැන උරණ වූ එක්තරා කඳුකර පළාතක මහජන නියෝජිතයකු තමන්ගේ මිනිසුන් පාරට බස්සවා තමන් කියන ස්ථානාධිපති පත් කරගන්නට සටනක් ඇරඹීය. මෙවැනි පසුබිමක රටේ විනයක් ඇති පොලීසියක් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අපි වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කරමු. 

පොලීසියේ අද පවත්නා තත්ත්වය පසුගිය දශක දෙක තුනක් තිස්සේම රට පාලනය කළ සෑම ආණ්ඩුවක් විසින්ම ටිකෙන් ටික වර්ධනය කළ බව ප්‍රසිද්ධ කරුණකි. තත්ත්වය ඉතාම නරක අතට හැරෙද්දී පොලිස් සේවාව පාලනය සඳහා ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කෙරිණි. එහෙත් දැන් එම කොමිසමේ බලතලද දේශපාලනඥයන් විසින් අත්පත් කරගෙන සිටින බව පැහැදිලිය.

රටේ සමාජ අසාධාරණය, අපරාධ වැඩිවීම ඇතුළු බොහෝ අයහපත් ප්‍රවණතා වර්ධනය වූයේ විනය පිරිහුණු අය විසින් කරන විනය පාලනය නිසාය. එබැවින් දැන්වත් රටේ පොලීසිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන තත්ත්වයට පත්කළ යුතුය. පොලීසියට ඔවුන්ගේ ආදර්ශ පාඨය අනුව ධර්මයේ හැසිරෙන්නට හැකිවන්නේ එවිටය. එසේ නොකර පොලීසිය තවදුරටත් දේශපාලන බලධරයන්ගේ අතකොළුවක් වන්නට ඉඩහැරියහොත් එය මහා සමාජ ව්‍යවසනයකට පාර කපන බව සක්සුදක් සේ පැහැදිලිය.

ආණ්ඩුව මෙලෙස ක්‍රියා කරන විට මෙම තත්ත්වය සාරගර්භ ලෙස විවේචනය කරන්නට අපේ විපක්ෂය සැදී පැහැදී සිටියි. එහෙත් ඔවුන්ට ආණ්ඩු බලය ලැබුණු දාට ඒ අය ගමන් කරන්නේද පැරැණි පීල්ලේම බව පසුගිය ආණ්ඩු දෙක තුනක කටයුතු පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව හඳුනාගන්නට පුළුවන. එනිසා පොලීසිය ‘පොලිෂ්’ කොට එය විධිමත් සහ දීප්තිමත්, විනයගරුක රාජ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා දැන්වත් සමාජයේ කිසියම් කථිකාවක් ගොඩනැගිය යුතුය. එය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කාර්යභාරයයි.

 

logo

ආණ්ඩුව නියම පීල්ලට ප්‍රවේශ වී ඉදිරි සංවර්ධන කටයුතු කරගෙන යෑමට සැලැසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියට එන වර්ෂ තුනක කාලය කාර්යක්ෂම කාල වකවානුවක් ලෙස හැඳින්විය හැකිය. වගා හානි වූ ගොවීන්ට වන්දි දීම පෙරේදා ආරම්භ විය. රජයේ ඉදිරි වැඩසටහන් පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වන අතර එහි මංගල රැස්වීම ඊයේ අනුරාධපුරයේදී පැවැත්විණි. ඒ අතර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සාර්ථක ඉන්දීය සංචාරයක් නිමාකොට දිවයිනට පැමිණියේය. එම සංචාරයේ අරමුණ ඉන්දියාවේ ආර්ථික සහයෝගය අපට ලබා ගැනීමය.

වත්මන් ආණ්ඩුව ප්‍රචාරය සඳහා විශේෂ පරිශ්‍රමයක් දරන්නේ නැත. පවත්නා ආර්ථික තත්ත්ව යටතේ ප්‍රචාරය හා දේශපාලන වාසිය අමතක කොට ජනතා සේවයට පමණක් සීමා වන්නට ආණ්ඩුවට සිදු වී ඇත. එහෙත් මෙහි නරකක් ද තිබේ. එනම්; ආණ්ඩුවේ වැඩසටහන් පිළිබඳ යථා අවබෝධයක් මහජනයා තුළ තහවුරු නොවීමය. මේ අඩුව නිසා මහජනයා නොමඟ ගිය අවස්ථා තිබිණි. මුළාවට පත්වූ අවස්ථා තිබිණි. කාබනික කෘෂිකර්මය ඊට හොඳ නිදසුනක් ලෙස ගත හැකිය. එම වැඩසටහනෙහි සාරය හා වටිනාකම තවම ජනතාව හොඳින් වටහා ගෙන නැත. එහි ප්‍රතිඵලය වූයේ විපක්ෂයට දේශපාලන විරෝධතා ඇති කිරීමට පාර කැපීමය. ජනතාව දැනුම්වත් නම්; විපක්ෂයට විකාර කරන්න ඉඩක් නොලැබෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ රජය හා මහජනතාව අතර මනා සබඳතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. රජය කරන දේ මහජනයා දැන ගත යුතුය. මහජනයා ඒ සම්බන්ධයෙන් දක්වන සැබෑ ප්‍රතිචාරය රජය දැන ගත යුතුය. මේ සඳහා පළමුව කළ යුත්තේ රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් හඳුන්වා දීමය. දෙවනුව ඒවා මහජනයාගේ සංවාදයට ලක් කිරීමය. තෙවනුව ඒවා සමාලෝචනය කිරීමය. මේ සියල්ලට හොඳ පිළිතුරක් ඉහත කී රැස්වීම් මාලාව තුළ ඇත. එය අනුරාධපුරයෙන් ආරම්භ වීම ද ඓතිහාසික සිද්ධියකි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුවේ මංගල රැස්වීම පැවැත් වූයේ ද අනුරාධපුරයේදීය. එය හොඳ ආරම්භයකි. අනුරාධපුරයෙන් අරඹන දේ වරදින්නේ නැතැ‘යි විශ්වාසයක් අපට ද තිබේ.

වගා හානි වූ ගොවීන්ට වන්දි දීම ආරම්භ කිරීමෙන් ඉහත කී රැස්වීම් මාලාවට තවත් ගැම්මක් ලැබෙනු ඇත. වගා හානි වූ ගොවින් හතළිස්දහසක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඒ සියලු දෙනාට අක්කරයකට රුපියල් හතළිස් දහස ගණනේ වන්දි ගෙවීම සිදුකෙරේ. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි එකසිය විසි අටක් බව ද සඳහන්ය. වන්දි ගෙවීම සඳහා භෝග වර්ග හයක් හඳුනා ගෙන ඇත. එනම්: වී, අර්තාපල්, බඩඉරිඟු, මිරිස්, ලොකු ලූනු හා සෝයා වශයෙන්ය. මේවා වාණිජ වගා ලෙස ද හැඳින්විය හැකිය. ස්වාභාවික හානි, වන අලින්ගේ වගා පාළු ආදිය ද සැලකිල්ලට ගනිමින් වන්දි මුදල් ගෙවීම සිදුවේ. මෙය ගොවියාගේ විශ්වාසය දිනා ගත හැකි හොඳම මාර්ගය වෙයි.

 
ආණ්ඩුවක් හැමවිටම තම ස්ථාවරත්වය ප්‍රදර්ශනය කළ යුතුය. එසේ නොවන කල එක පැත්තකින් ජනතා විශ්වාසය බිඳ වැටෙන අතර තව පැත්තකින් අන්තර්ජාතික සහයෝගය දුර්වල වෙයි. අස්ථාවර ආණ්ඩු සමඟ ආර්ථික ගනුදෙනු පැවැත්වීමට දියුණු රටවල් කැමැති වන්නේ නැත. එබඳු රටවලට ආයෝජකයන් ආකර්ෂණය වන්නේ ද නැත. අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා හැටනව ලක්ෂයකගේ ඡන්දය භාවිත වී ඇති බවය. ඒ හැටනව ලක්ෂයම යළිත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව වටා පවුරක් සේ ගොඩනඟාගත හැකිය. එය කළ හැක්කේ මහජනයා සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීමෙන් පමණි. අප ජනතාව හමුවට යා යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර කළ කතාව මෙහිදී යළි සිහිපත් කිරීම වටී.

ජනාධිපතිවරයා මෑතක කළ කතාවකදී කියා සිටියේ තමන් ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බවය. ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ පොරොන්දු පත්‍රය ‘සෞභාග්‍යයේ දැක්ම’ ලෙස හැඳින්විය හැකිය. කොවිඩ් වසංගතය තුළ වුව එය ක්‍රියාත්මක වෙයි. ආණ්ඩුව නියම පීල්ලට වැටී ඇති බැවින් සෞභාග්‍යයේ දැක්ම වේගවත් ගමනකට මුල පුරනු ඇත.

22 01 26 154142

ආර්ථිකයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද කුණාටු බහුල සමයක් අපි ගෙවමින් සිටිමු. සමාජයේ රඟදෙන ආර්ථික සහ දේශපාලන අර්බුද විසින් ජන මනස ඔද්දල් කර තිබේ. හොඳ පුවතක් අසන්නට දකින්නට අපේක්ෂා කරන අපට මේ කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ සිත නිවන කතා නොවේ. පසුගිය දිනවල මාධ්‍යයේ පුවත් මැවූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය එබන්දකි.

අධිකරණමය කටයුත්තකට නිමිත්ත වී තිබෙන එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවූ පුවත් අනුව කියැවුණේ වෛද්‍ය පීඨයේ හටගත් නවක වද සිද්ධියක් මර්දනයට දේශපාලන හයිය මත මැර බලය යොදාගත් බවකි. ඊට සම්බන්ධ වූයේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයකු බවට ද ප්‍රකටය.

එම කාරණාව දැන් අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින නිසා දැන්ම ඒ ගැන පූර්ව නිගමනවලට පැමිණීම යුක්ති සහගත නැත. එහෙත් සමාජ සංවාදයට ලක්විය යුත්තේ දේශපාලනඥයන්ගේ හයිය ඔවුන්ගේ දූ පුතුන් හා අනුගාමිකයන් විසින් ආඥාදායක ලෙස භාවිත කිරීම සම්බන්ධයෙනි. රාගම වෛද්‍ය පීඨ සිද්ධියට තම පුත්‍රයා සම්බන්ධ බවට චෝදනා නැගී ඇති බැවින් ඒ ගැන පරීක්ෂණ හමාරවන තුරු තමන් මෙතෙක් දැරූ රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව අරුන්දික ප්‍රනාන්දු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඔහු එම දැනුම්දීම  කළේ ජනාධිපතිවරයා විසින් කරන ලද අවවාදයකට පසුව බවද වාර්තා විය.

රාජ්‍ය ඇමැතිවරයා ඉවත්වීමත්, දින දෙකක් තුළ සිද්ධියට වගකිවයුතු පිරිස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමත් නිසා ආණ්ඩුවේ සායම බේරුණි. එහෙත් මෙය එක් හුදෙකලා සිද්ධියක් ලෙස නොසලකා මෙබඳු අනීතික දේ සිදුවීම වැළැක්වීම පාලක පන්තියටත් සමාජයටත් පැවරුණු සමාන්තර වගකීමකි. පරීක්ෂණ, කොමිෂන් සභා, විශේෂ කමිටු ආදිය ගැන සමාජයේ කිසිදු විශ්වාසයක් නැත. අවශ්‍ය වන්නේ යුක්තිය ඉටුවීම සේම ඒ බව සමාජයට පෙනෙන්නට තිබීම බව නීතිමය සිද්ධාන්තවල සඳහන්ය.

ශ්‍රී ලංකාව වැනි සමාජයේ සෑම ක්ෂේත්‍රයකම දේශපාලනය මුල්බැස ඇති බොහෝ රටවල ඇත්තේ මෙවැනි දේශපාලන සංස්කෘතීන්ය. දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ මෙන්ම ලතින් අමෙරිකානු ඇතැම් රටවල මෙබඳු දේශපාලන හයිකාරකම් බහුලය. එහෙත් ඒ බොහෝ රටවලට වඩා අදීන 2500 වසරක සංස්කෘතික හා ආගමික උරුමයක් අපට ඇතැයි අපි නිරන්තරයෙන් උදම් අනමු. එහෙත් එම සංස්කෘතියේ හා ආගමික උරුමයේ හර පද්ධතිය මෙබඳු අශ්ලීල ක්‍රියා තුළ නියෝජනය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයාගේ අවවාදය නිසා හෝ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යරවරයා සිය තනතුරෙන් ඉවත්වීම යහපත් දේශපාලන සංස්කෘතියකට පාර කැපීමකි. මීට පෙර මේ ආකාරයේ මැති ඇමැතිවරුන් තනතුරුවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඉතාමත් සීමිත වශයෙනි. කලකට පෙර යුගයේ මෙරට ක්‍රියාත්මක වූ පැරණි දේශපාලන සංස්කෘතිය අනුව නම් යම් මැති ඇමැතිවරයකු අතින් වරදක් සිදුවූවා නම් ඉල්ලා අස්වීම කැපී පෙනුණි.

එදා බොහෝවිට කැපීපෙනුණේ ප්‍රතිපත්තිමය හේතු මත මැති ඇමැතිවරුන් ආණ්ඩුවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීමය. මෙහිදී සරල උදාහරණ කිහිපයක් දක්වතොත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ තල්ගොඩපිටිය අල්ලස් කොමිසමෙන් චෝදනා ලත් මැති ඇමැතිවරුන් ගණනාවක්ම තනතුරුවලින් පහ කෙරුණි. පසු කාලයේ ජේ.ආර්. ජනාධිපතිවරයා විසින් සිරිල් මැතිව් අමාත්‍යවරයා ඉවත් කළේ ජනාධිපතිගේ අණ නොතකා උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව ජනපද ඇතිකරන්නට යාම නිසාය. එකල අයවැය විවේචනය කළ එම්.ඩී.එච්. ජයවර්ධන අමාත්‍ වරයා ද ජේ.ආර්. විසින් තනතුරින් ඉවත් කළේය. 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී තමන්ට ඊට එකඟ විය නොහැකි බව කියමින් ගාමණී ජයසූරිය මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.

අතීතයේ මෙවැනි හරබර දේශපාලනයක් ක්‍රියාත්මක වුවද වර්තමානයේ කවර ආණ්ඩුවක් රට පාලනය කළත් වර්තමානයේ සක්‍රියව පවතින දේශපාලන සංස්කෘතිය එදාට සාපේක්ෂව බෙහෙවින් පරිහානියට ලක්ව ඇති බව පොදු සමාජ මතයයි.

අද රටට අවශ්‍ය වන්නේ කුමක්දැයි ඔබට ප්‍රශ්නයක් වන්නට පුළුවන. මෙම පරිහානියෙන් ගොඩ එන්නට නම් දැනට රටට වුවමනා කරන්නේ පවත්නා දේශපාලන සංස්කෘතියේ පූර්ණ වෙනසකි. රාගම වෛද්‍ය පීඨයේ සිදුවීම වැනි හුදෙකලා සිද්ධියක් ගෙන ඊට පැලැස්තරයක් දැමීම ගරාවැටෙන දේශපාලන සංස්කෘතිය නගාසිටුවීමට හොඳ මුක්කුවක් නොවේ. ජනතාව අපේක්ෂා කරන්නේ පූර්ණ වෙනසකි.

මෑතක සිට වත්මන් රජය හුවාදක්වන එක රටක් - එක නීතියක් සංකල්පය වැනි දේ සංකල්පමය තත්ත්වයෙන් ඔබ්බට ගෙන ගොස් යථාර්ථයක් බවට පත් කළ යුතුය. මැති ඇමැතිවරුන් යනු සමාජය තලාපෙලා පාලනය කරන්නට විශේෂ වරප්‍රසාද ලද්දන් නොව පොදු නීතියට යටත් හික්මුණු පිරිසක් බවට පත්වීම ඉතාමත් වැදගත්ය.

22 01 26 154142

දේශපාලනය යනු මස්පිඬු සංදර්ශනයකැයි සිතූ දේශපාලනඥයෝ ඉතිහාසයේ එමට සිටියහ. කඩුවෙන්, කිණිස්සෙන්, කිරිච්චියෙන්, සයිකල් චේන් එකෙන්, ටී පනස් හයෙන් ගනුදෙනු බේරාගත හැකි යැයි සිතූ දේශපාලනඥයෝ හා ඔවුන් සරණ ගිය ඇම්බැට්ටයෝ ඉතිහාසයෙත් සිටියහ. එසේ සිතූ දේශපාලනඥයන්ට අවසන හිමි වූයේ ඉතිහාසයේ කුණු බක්කිය විනා අන් යමක් නොවේ.

ඉතිහාසය යළිත් කරකැවෙමින් තිබෙන සෙයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනය ඉලක්ක කරමින් බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ පැරැණි මාවතේම ගමන් කිරීමට කැමැති පිරිසක් සිටින බවය. විනයගරුක රටක් හදන බවට දිවුරා ශපථ කරමින් බලයට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඒ සුධීමත් අල්තාරය මත කවුරුන් හෝ වසුරු හෙළා තිබේ. එයට ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ඍජු දායකත්වයක් අනුගහ්‍රයක් ඇතැයි අපි නොසිතමු. එහෙත් බිත්තර ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එල්ලවූ කළු පැල්ලම මකා දැමීමට සෑහෙන මහන්සියක් ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකිය. බැඳ දැමිය යුතු සුනඛයන් ලෙහා දැමීමෙන් සිදුවන අලාභය එපරිදිය.

ජාතික ජන  බලවේගය මෙරට දේශපාලනය තුළ සාපේක්ෂ වශයෙන් විනයවත්ය. එහි නායක අනුර කුමාර මහතා කළගෙඩිහේන උත්සව ශාලාව වෙත පැමිණ සිටියේ තම දේශපාලන මතවාදය හා අනාගත දේශපාලන සැලැස්ම සිය පාක්ෂිකයන්ට පැහැදිලි කිරීමටය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එම ප්‍රජාතන්ත්‍රවාදය කුළුගන්වනු පිණිස ලේඛනයේ මෙන්ම භාෂණයේ නිදහස පිරිනමා තිබේ. තමන් කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය ප්‍රදානය කර තිබේ.

රටක ප්‍රජාතන්ත්‍රවාදය කුළුගැන්වෙන්නේ මුද්‍රිත අක්ෂරවල සඳහන් දෑ ක්‍රියාත්මක කිරීමට නිර්බාධක පරිසරයක් ඇති කිරීම තුළය. අනුර කුමාර මහතාට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ දේශපාලන සට්ටැඹියන් රුපියල් කීයකට හෝ පස්ස හරවා තිබෙන්නේ ඒ රටේ මූලික නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටය. ව්‍යවස්ථාවට පිටින් එය උල්ලංඝනය කරමින් කටයුතු කළ සෑම අවස්ථාවක්ම අවසන් වූයේ ලේ, යකඩ සහ ගින්දර මතිනි. ඉතිහාසය අමතක නොකළ යුතු වන්නේ එහෙයිනි.

ඔබ කියන දෙයට මම එකඟ නොවෙමි. එහෙත් එය කීමට ඔබට තිබෙන අයිතිය මම පිළිගනිමි. මේ වූ කලී ශිෂ්ටාචාරයෙන් ඔපවත් වූ ප්‍රජාතන්ත්‍රවාදයෙහි පාදම වේ. ඔබ ප්‍රකාශ කළ යුත්තේ මා කැමැති දේ පමණක් යැයි යමකු සිතන්නේ නම් ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් වස්සෙකි. එහෙත් බලකාමයෙන් මත් වූ විට යසස් කාමයෙන් කුල්මත් වූ විට පදවි ලෝභයෙන් අන්දුන් කුන්දුන් වූ විට සත්‍යයත්, සාධාරණත්වයත්, යුක්තියත් ආදී සකලාකාර මානව ගුණාංග නොවටිනා මිනිස් කසළ බවට පෙනීම අරුමයක් නොවේ. අනුර කුමාර මහතාට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ පාදඩ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ එබන්දෝ වෙති.

බිත්තර ප්‍රහාරයට පැමිණි මැර සේනාංකයේ මැරයන් දෙදෙනකු අල්ලා ගැනීමට එතැන සිටි පිරිස් සමත් වී ඇත. එම මැරයන් දෙදෙනා නිරුපද්‍රිතව පොලිසියට බාර දීමට එම පිරිස් කටයුතු කර තිබේ. නිරුපද්‍රිතව යන වචනය මෙහි භාවිත කරනු ලැබුවේ සහේතුකවය.

මන්දයත් මෙවැනි අවස්ථාවක දී ‘ප්‍රති ප්‍රහාර’ එල්ලවීම ස්වාභාවිකය. එහෙත් මෙහි දී එවැන්නක් සිදුවූ බවට වාර්තා වන්නේ නැත. විනය වනාහි සාඩම්බර වාග් මාලාවන්ගෙන් ප්‍රකාශ කෙරෙන හුදු කතාවක් නොව ක්‍රියාත්මක කර පෙන්විය යුත්තකි. ජාතික ජනබල වේගයේ මහත්වරුන් ඒ විනය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ. එහෙත් මොවුන් අසූව දශකයේ ක්‍රියා කළේ මීට හාත්පසින් වෙනස් ආකාරයෙන් බව ද පෙන්වාදිය යුතුය. එහෙත් ඒ ඉතිහාසයේය.

අත්අඩංගුවට පත් මැරයන් දෙදෙනා තමන් කාගේ කවුදැයි කියා තිබේ. අවශ්‍ය වන්නේ එම ප්‍රකාශ හරහා තිරය පිටුපස සිට මෙම අමන ජඩ ක්‍රියාව මෙහෙය වූ බලවතුන් හඳුනා ගනිමින් ඔවුන් නීතිය රැහැනට හසු කිරීමය. ‘මේ දේ කළේ අප වෙනුවෙන් නොවේදැයි’ සිතමින් බලධාරින් ලිහිල්ව කටයුතු කිරීමට ගියහොත් එක රටක් - එක නීතියක් වැනි සාර සංකල්ප ද විහිළුවට ලක්වී රට යළිත් ම්ලේච්ඡ ගෝත්‍රික යුගයක් දක්වා පසුබසිනු ඇත. අවශ්‍ය වන්නේ වැරැදිකරුවන්ට අනුබල නොදෙන, ඔවුන්ට නීතිය මගින් කටයුතු කරන රටකි. මෙම සිදුවීම් දාමය දෙස ජනතාව බලා සිටින්නේ එහෙයිනි.

 


 

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් විඳි අනේක දුක් ගැහැට පිළිබඳව කතා කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පසුගියදා සිත නිවාගන්නා කතාවක් කියා තිබිණි. ඒ කතාවට අනුව මෙවර මහ කන්නයේදී වගා හානි වූ වී ගොවීන්ට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 4000ක් වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අඩුවන වී කිලෝවක් වෙනුවෙන් රුපියල් 25ක් බැගින් වන්දි ලබාදෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ සඳහන් විය.

අමාත්‍යවරයාට අනුව කාබනික පොහොර භාවිත කිරීමේ වැඩපිළිවෙළේදී අස්වනු හානියක් සිදුවුවහොත් වන්දි ලබාදෙන බවට දුන් පොරොන්දු අනුව රජය මේ පියවර ගෙන තිබේ. කුමන හේතුවක් නිසා වුවද වගා හානි සිදුවූ වී ගොවීන්ට වන්දි ලබාදීම යහපත් පියවරක් වශයෙන් හඳුන්වමු. රට මෙතරම් ආර්ථික අගාධයකට වැටී සිටියදීත් ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි 4000ක් වෙන්කිරීම ගැන රජයට ද ප්‍රශංසාව හිමිවිය යුතුය. එසේ වුවද වගා හානි සිදුවූ තේ, පොල්, එළවළු සහ පලතුරු වගා කරන්නන්ටද වන්දියක් දීමට හැකි වී නම් එය වඩාත් යහපත් තීන්දුවක් විය හැකිය. ඔවුන්ටද සිදුවී ඇත්තේ වී වගා කළ ගොවීන්ට සිදුවූ හානිමය. විශේෂයෙන් එළවළු, බඩඉරිඟු සහ පලතුරු ගොවීන්ට මෙය තමන්ට කොළඹට කිරි - ගමට කැකිරි ආකාරයේ සැලකිල්ලක් දැක්වීමක් වශයෙන් පෙනී යා හැකිය.

වී ගොවීන් සම්බන්ධයෙන් කතා කළහොත් මෙම කෝටි 4000ක වගා හානි වන්දිය ලැබීමට සුදුස්සෝ දස ලක්ෂයකට අධික පිරිසක් සිටිතියි අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි. ඔවුන් වගා කර ඇති මහ කන්නයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 08කට ආසන්න බවද සඳහන් විය. මේ අනුව වගා හානි වන්දි ගෙවීම තරමක සංකීර්ණ කටයුත්තක් බව පැහැදිලිව පෙනී යයි. තමන්ගේ නොවන කුඹුරු වගා කළ ගොවීන්ට වන්දි ලැබෙයිද යන්නත් පැහැදිලි නැත. අමාත්‍යවරයා පවසන ආකාරයට කුඹුරු හෙක්ටයාරයකට ලැබිය යුතු අස්වැන්න හා ලැබෙන අස්වැන්න අනුව අඩුවන ප්‍රමාණයට ගෙවන වන්දිය තීරණය කෙරෙනු ඇත.

අක්කර ගණන් වගා කළ වී ගොවීන්ට ඉහත සඳහන් පරිදි වන්දි ගෙවන විට කිලෝවකට ලැබෙන මුදල කොතරම්දැයි ගණන් බැලුවොත් එය එතරම් විශාල නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. කෝටි 4000ක මුදල ආසන්නව ගොවීන් දස ලක්ෂයක් අතරේ බෙදී යා යුතුය. මේ ක්‍රමයට වන්දිය ලබාගැනීමට ගොවීන්ටද සෑහෙන කට්ටක් කෑමට සිදුවන බවකුත් පෙනෙන්නට තිබේ. පාඩුව සිදුවීදැයි බැලීමට වී අස්වනු කපන තුරු සිටිය යුතුය. එම සංඛ්‍යාලේඛන සකස් කිරීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්වී ප්‍රාදේශීය හා කෘෂිකර්ම සේවා නිලධාරී මට්ටමින් අස්වැන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

මේ කියන මට්ටමින් සියල්ල සිදුවන්නේ නම් යහපත් නමුත් ඒ ආකාරයට නිසි සම්බන්ධීකරණයක් නොමැති වුවහොත් ගොවීන් ඊළඟට උද්ඝෝෂණ පටන්ගනු ඇත්තේ පොහොර ඉල්ලමින් නොව වන්දි ඉල්ලමින් බව සැමදෙනා විසින්ම අවබෝධ කරගත යුතුය. දැනටමත් එවැනි උද්ඝෝෂණ දක්නට ලැබේ. මේ තරම් ප්‍රශස්ත මට්ටමින් රජයේ සියලු දෙපාර්තමේන්තු මුල සිටම කටයුතු කළා නම් ගොවීන්ට වගා හානියක් සිදුවීමට ඉඩක් නොමැති බවද පෙන්වා දීමට කැමැත්තෙමු. කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී එකවර හදිසි නොවී රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළා නම් මේ ආකාරයට ගොවීන්ට වන්දි ගෙවීමට කෝටි දහස් ගණන් වෙන් කිරීමට සිදුවන්නේ ද නැත.

වී ගොවීන්ගේ ප්‍රශ්න සහ සහල් මිල මේ වනවිට රටේ පොදු මහජනතාව දැඩිව පීඩනයට පත්කර තිබේ. වී වගාව පිළිබඳව නිසි අවබෝධයකින් ක්‍රියා නොකිරීමේ අමිහිරි ප්‍රතිඵල මේ වනවිට මුළු රටම විඳිමින් සිටියි. වී ගොවීන්ගේ වගා හානියට වන්දි ගෙවීමක් සිදුවුවද ඒ හේතුවෙන් අස්වැන්න අඩුවීම නිසා සහල් මිල ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාවට ගෙවන්න සිදුව ඇති වන්දියට කවුරුත් වගකියන්නේ නැත. වැඩිදුර යා යුතු නැත. පසුගිය වසරේ ජනවාරියේ රටේ පැවැති වී නිෂ්පාදනය සහ සහල් මිල ගණන් මේ වසරේ ජනවාරිය සමඟ සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය. අස්වැන්න අඩුවීම සහ ඊට සාපේක්ෂව සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති ආකාරය එයින් මැනගත හැක.

අස්වැන්න අඩුවිය හැකි බවට පුරෝකථනය කෙරෙද්දී පිටරටින් හාල් ඇටයක්වත් නොගෙන්වන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනවිට කතා කරන්නේ වී ගොවීන්ට වන්දි ගෙවීම පිළිබඳවය. එහෙත් පිටරටින් හාල් ඇටයක් නොව ටොන් ගණනින් ගෙන්වීමට සිදුවූයේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ වරදකින්ම මිස ගොවීන්ගේ වරදකින් නොවන බව පිළිගැනීමට ආණ්ඩුවට අවසානයේ සිදුව තිබේ. රසායනික පොහොරින් කාබනික පොහොරට මාරුවන ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමට පෙර මේ සියලු කරුණු සමාලෝචනයට භාජන කර තිබුණා නම් ආණ්ඩුව මේ කට්ට කන්නේ නැත.

 

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහරගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු, රියදුරෙකුට පහර  දීමේ සිදුවීමේ ෆේස්බුක් රචනා කියවා, අසා පැය කීපයක් යනවිට එවැනිම නොහික්මුණු රියදුරන් හේතුවෙන් 11 දෙනෙකුට දිවි අහිමි වන තත්වයක් පහුවනදා අලුයම වනවිට අසන්නට ලැබිණි. උඩ පැන පැන පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ගෙදර යැවීමට සියල්ල සුදානම් වෙද්දී එවැනිම රියදුරන් අතින් 11 දෙනෙකු මියයාම ගැන රචනා, අදෝනා, කවි, නිසදැස් කිසිවක් දකින්නට නැත.

මේ වනවිට පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්න කිසිවෙකු නැත. රියදුරා අතින් බරපතල තුවාල ලැබුවෙ  උසස් පොලිස් නිලධාරියෙකු නිසා කනිෂ්ඨ නිලධාරියා මෙසේ පහර දෙන්නට ඇතැයි සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වමින් බොහෝ අය මත පළකර තිබිණි. සමහර විට එය එසේ වන්නටද ඇත. නොවන්නට ද ඇත. අව්ව වැස්ස වාහන දුම දුවිලි දරාගෙන අසීරු ක්‍රියාන්විතයක නිරත වුවත් නිතර ම නරකක් මිස හොදක් නොඅසන්නේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් ය. දිනපතා රිය අනතුරු හේතුවෙන් ජීවිත අහිමිවන සැටි දකින්නේ ඔවුන්ය. අතපය,ශරීර කොටස්  පාරපුරා විසිරෙන හැටි දිනපතා දකින්නේ ඔවුන්ය. මෙසේ තමන්ගේම අම්මා තාත්තා දුවා දරුවන් වැන්නවුන් මහමග තලා පෙලා දමන රියදුරන් උපරිම මාස තුනකින් ඇපමත නිදහස් වේ. පසුව නඩුවෙන්ද නිදහස් වීම සාමාන්‍ය කරුණකි. මෙම සිදුවීම්  මුල සිට අගටම දකින රථවාහන පොලිස් නිලධාරියා මෙසේ මරුවිකාරෙන් සිටීම අරුමයක් නොවෙයි. මේ සිටින්නේ ද මිනිසෙකි ඉවසීමේ සීමාවක් තිබිය හැකිය. නමුත් නිල ඇදුමේ ගෞරවය ඊටත් වැඩිය. එසේ සිතා ඉවසන අවස්ථා ඕනෑතරම්ය. අවසානයේ කොතනින් හෝ මේ පිපිරීම විය හැකිය. පොලිස් නිලධාරියා කළ ක්‍රියාවෙන් රියදුරාද මියයන්නට තිබිණ. ඔහු තවදුරටත් ඉවසිය යුතුව තිබිණි. නමුත් එසේ නොවුණු හේතුව එම අවස්ථාවට අනුව තීරණය විය හැකිය. බදුල්ල පස්සර බස්රථ අනතුරින් රියදුරු ජීවත් වුවද 14 දෙනෙකුට දිවි අහිමි විය.තවත් බොහෝ පිරිසක් පුර්ණකාලීන අන්ගවිකල තත්වයට පත් විය. කුඩා දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් නැතිවිය.ළමයින් බොහෝ පිරිසකට තම ගුරුවරියන් නැතිවිය. දෙමාපියන් ට දරුවන් නැතිවිය.මේ සියල්ලගේ ජීවිත  තීරණය කළ රියදුරා මාස කීපයකින් නැවතත් රියදුරු අසුනේය. මවැනි දෑ නිතර නිතර දකින රථවාහන පොලිස් නිලධාරියා ගේ මානසික මට්ටම ඔබට අපට සිතා ගැනීමටවත් නොහැකිය. මග මරුවාගෙන් ජීවිත රැක ගැනීමට නම් මෙවැනි නිලධාරීන් රථවාහන රාජකාරියේ සිටිය යුතුම නොවන්නේ දැයි වැටහෙන්නේ තමන්ගේම අයෙකුට මෙම ඉරණම අත්වූ දිනක දී පමණි. එතෙක් මෙම රචනා නිසදැස් කවි සංකල්පනා සියල්ල රියදුරාගේ අහිංසක කම වෙනුවෙන් පමණි.

 


logo 1

යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් ස්මාරකය උපකුලපතිවරයාගේ නියෝගය අනුව ඩෝසර් කර කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයෙහි සිසුන් පස් දෙනෙක් උපවාසයක් ආරම්භ කර ඇත්තේ පෙරේදා දිනයේය. මේ පස්දෙනාගෙන් එක අයෙක් මාරාන්තික උපවාසයක යෙදෙන බව පවසා ඇත. උපවාසකරුවන්ගේ ඉල්ලීම වන්නේ එම ස්මාරකය නැවතත් පෙර පරිදිම ඉදිකර දෙන ලෙසය. ඇත්තෙන්ම මෙම ස්මාරකය ලැබුවේ 2018 වසරේය. මෙම ඉදිකිරීම නීති විරෝධී බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කර තිබුණද මෙය ගලවා දැමීමට හිටපු බලධරයින් උනන්දු නොවීය.

නමුත් වත්මන් උපකුලපති ශ‍්‍රී සර්ගුණ රාජා මහතා නිවැරදි තීන්දුවක් ගනිමින් මෙය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඇත්තෙන්ම මෙම ත‍්‍රස්ත ස්මාරකය ඉවත් කිරීම අගය කළ යුතුය. තවදුරටත් බෙදුම්වාදය ප‍්‍රකට කිරීමට හෝ සැමරීමට ඉඩ දිය යුතු නැත. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත සටනින් දෙමළ ජනයාට ලැබුණේ මිනී කඳු මිස අන්දෙයක් නොවේ. වසර ගණනාවක් යාපනය සරසවිය වසා දමා තිබිණි. දැන් සියලූ සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබිය හැක. වෙඩි හඬ නොඇසේ. එසේනම් මියගිය ත‍්‍රස්තයන්ට පහන් දල්වා යළිත් අඳුරු ලේ වැකි යුගයක් ප‍්‍රාර්ථනා කරන සුළු පිරිසකගේ ක‍්‍රියාවන්ට බලධාරීන් විසින් වැට බැඳීම අගය කළ යුතුය. වත්මන් සමාජයට අවශ්‍ය වන්නේ යුද ස්මාරක නොව සාමයේ හා එක්සත්භාවයේ ස්මාරක බව යාපනය උපකුලපතිවරයා නිවේදනය කර ඇත. සැබවින්ම මෙය ඉහළින්ම අගය කළ යුතු ප‍්‍රකාශයකි.

මානුෂීය ගුණාංග විශ්වවිද්‍යාල සිසුන් තුළ ප‍්‍රචලිත විය යුතු වුවත් ත‍්‍රස්ත සිතිවිලි හෝ යුද මානසිකත්වය ප‍්‍රකට විය යුතු නැත. තිලීපන් අනුව යමින් ජීවිතය ජය ගැනීමට නොහැකි බව උපවාස කරන සරසවි සිසුන් අවබෝධ කර ගත යුතුය. යාපන සරසවි සිසුවෙකු වූ තිලීපන් 1987 සැප්තැම්බර් 15 වැනිදා අරඹන ලද මාරාන්තික උපවාසය අවසන් වූයේ සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ ඔහුගේ මරණයෙනි. එදා තිලීපන්ගේ උපවාසය ප‍්‍රභාකරන් යොදා ගත්තේ තම ත‍්‍රස්ත අරමුණු ජය ගැනීම වෙනුවෙනි. එයින් සරසවි සිසුන්ට ලැබුණු ජය කුමක්ද? ගඩොල් ස්මාරකය වෙනුවෙන් අද මාරාන්තික උපවාස කරන්නේ කවරෙකුගේ අරමුණු සඵල කිරීමටද? එය බටහිර වෙසෙන කොටි ඩයස්පෝරාවේ අරමුණු විය හැක. ස්මාරකය කඩා දැමීමත් සමග දෙමළ සන්ධානයටත් යළි ප‍්‍රාණයක් ලැබී ඇති සෙයකි.

එනිසාම යාපනය මහා ශිෂ්‍ය සංගමය සමග එක්ව අද උතුරු නැගෙනහිර හර්තාල් සංවිධානය කර ඇත්තේ යළි කෙසේ හෝ ජනයා අතරට ගොස් බෙදුම්වාදය පැතිරවීමටය. යාපනය නගරාධිපති ධුරය පවා රැකගැනීමට නොහැකි වූ දෙමළ සන්ධානය ගඩොල් ස්මාරක වෙනුවෙන් හර්තාල් සංවිධානය සැබවින්ම විහිළුවකි. ස්මාරක තැනිය යුත්තේ වීරයින් සැමරීමට මිස ත‍්‍රස්තයන් හෝ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිහි කිරීමට නොවේ. ශ‍්‍රී සර්ගුණ රාජා මහතා යාපනය සරසවියට නිග‍්‍රහයක් වන ගඩොල් ගොඩ ඉවත් කර ඇත. එයට හමුදාව හෝ පොලිසිය සම්බන්ධ වූයේ නැත. පසුව පොලිසිය පැමිණිය කළහකාරීන් මෙල්ල කිරීමට පමණි. ගඩොල් ගොඩ හරහා නැවත බෙදුම්වාදය මතු කිරීමේ කූට අරමුණු පරාජය කිරීම යාපනයට පමණක් නොව රටටම යහපතකි. එසේම යාපනය සරසවියේ සිංහල සිසුන් 1500ක් අධ්‍යාපනය ලබන බවත් අප අමතක කළ යුතු නැත.

image 4b4b78501a

 

logo

කාලය ඒ හැටි නපුරු නැත. නරකත් නැත. සුළි කුණාටුව ඇවිත් යන්නට ගියේය. ලොකු හානියක් නැත. රජරටට වාසියක් අත් වී තිබේ. මාස දහයක පමණ කාලයකට අනුරාධපුරය, පොලොන්නරුව ආදී ප්‍රදේශවලට හොඳ වැස්සක් වැටුණේ නැත. හොඳ වැස්සක් නම්; වැව් ටික පිරී යා යුතුය. සුළි කුණාටුවට පින් සිදු වන්නට රජරට සියලු වැව් පිරී ඇත. සුළි කුණාටුවක නරකම ලක්ෂණය ප්‍රහාරාත්මක සුළඟය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පැයට කි.මී.සියයක වේගයකින් සුළං හමන්නට ඉඩ ඇති බවය. එහෙත් එහෙව් හුළඟක් ආවේ නැත. ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත වෙරළ තීරයේ උදම් රළ දක්නට ලැබුණු බවත් සඳහන්ය.

මුලතිව් ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදු වී ඇති බවත්, මහනුවර ප්‍රදේශයේ සුළු නාය යෑම් තත්ත්වයක් දක්නට ලැබුණු බවත් වාර්තා වී ඇත. ගහක් - දෙකක් කඩා වැටීම, වහලයක් සුළඟින් ගසාගෙන යෑම, පස් කන්දක් කඩා වැටීම, ඉවුරක් බිමට පාත්වීම ඒ හැටි ගණන් ගත යුතු දේවල් නොවේ. ජනමාධ්‍ය ආයතන එකිනෙක දිස්ත්‍රික්ක වෙත කණ්ඩායම් යවා තිබුණේ සිද්ධියේ උණුසුම වාර්තා කිරීමටය. දැන් එම කණ්ඩායම්වලට හිස් අතින් ආපසු එන්නට සිදුවේ. අපට නිකමට මෙන් සිතෙන්නේ සුනාමිය රටට කඩා වදින අවස්ථාවේ මෙබඳු සූදානමක් පැවැතියේ නම්; කිසිවකු මරණයට පත් වන්නේ නැති බවය. එහෙත් සුනාමිය යන වචනය අප දැනගත්තේ ද එම විනාශයෙන් පසුවය.

අ‍පේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණක් නොව; විදේශීය ආයතන කිහිපයක් ද බුරවි සුළි කුණාටුව පිළිබඳ තොරතුරු වාර්තා කර තිබිණි. ඒ සෑම වාර්තාවකම සඳහන් වූයේ ශ්‍රී ලංකාවට මෙයින් බලපෑමක් වීමට ඉඩ ප්‍රස්ථා ඇති බවය. කලින් නිගමනවලට අනුව සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා හඹා ගොස් පසුව තමිල්නාඩුවට ඇතුළු වන බව ප්‍රකාශ විය. එහෙත් ආසන්න වාර්තාවල සඳහන් වූයේ එය අරාබි මුහුද දෙසට ගමන් කිරීමට නියමිත බවය. ඒ අයුරින් ම බුරවිය අරාබි මුහුද වෙත ගමන් කරන්නට පටන් ගෙන තිබේ. බෙංගාල බොක්ක මෙන්ම අරාබි මුහුද ද දූපතක් වන ශ්‍රී ලංකාවට බලපෑම්කාරීය. ඒ අනුව අපේ සූදානම ඉදිරියටත් පවත්වා ගැනීම වැදගත්ය. සුළි කුණාටුව නිසා කොවිඩ් - 19 අමතක කිරීමත් නරකය.

උතුරු පළාතේ හා නැඟෙනහිර පළාතේ පාසල් දින කිහිපයක් වසා තිබේ. එය බුද්ධිමත් තීරණයකි. පාසල් විවෘතව පවතින අවස්ථාවක කුණාටුවක් කඩා වැදුණහොත් ඇති වන ඛේදවාචකය අමුතුවෙන් සටහන් කළ යුතු නැත. ජපානයේ පාසල් දරුවෝ ඕනෑම ස්වාභාවික විපතකට සූදානම්ය. ඔවුනට ඊට අදාළ පුහුණුවක් හා දැනුමක් දී ඇත. ස්වාභාවික විපතකදී ක්‍රියා කළ යුතු ආකාරය එම දරුවෝ හොඳින් දනිති. ඔව්හු ඊට අවශ්‍ය ආම්පන්න පවා ළඟ තබා ගනිති. මෙහි අර්ථය ජීවිතාරක්ෂාවයි. එබඳු පුහුණුවක් හෝ දැනුමක් හෝ අපේ දරුවන්ට නැත. එබැවින් පෙර සූදානම රජය විසින් ඇති කළ යුතුව තිබේ. කොවිඩ් වසංගතයට අප මුහුණ දෙන්නේ පෙර සූදානමක් සහිතවය. එම සූදානම සුළි කුණාටුවටද තිබිණි. එය සාධනීය ලක්ෂණයකි.

 

අපේ ධීවර ප්‍රජාවට සුළි කුණාටුවෙන් කිසිදු හානියක් සිදු වී නැත. ඉන් ගම්‍ය වන්නේ ධීවර ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශන හා දැනුම් දීම් හොඳින්ම පිළිගන්නා බවය. එය යහපත් තත්ත්වයකි. ධීවර ප්‍රජාව කාලගුණ අනාවැකි තුට්ටුවකට මායිම් නොකරන කාලයක් තිබිණි. කාලගුණ අනාවැකි මඟින් වහින බව සඳහන් කළොත් එදාට හොඳට පායන බව ප්‍රජාවගේ අදහස විය. සුනාමිය ගැන පුරෝකතනයක් කිරීමට එදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමත් වූයේ නැත. එහෙත් අද වන විට තත්ත්වය මුළුමනින් ම වෙනස්ය. වැස්ස,සුළග, නියඟය, නායයෑම් ගැන නිවැරැදි තොරතුරු දීමට අද අපේ ආයතන සමත් වී ඇත.

දකුණු ආසියා කලාපය ස්වාභාවික විපත්වලට නිරන්තරයෙන්ම ගොදුරු වන භූකලාපයක් ලෙස ප්‍රකටය. බංගලිදේශයේ ගංවතුර, නේපාලයේ නාය යෑම්, ඉන්දියාවේ සුළි සුළං මීට නිදසුන් ලෙස ගත හැකිය. සුනාමිය නිසා දකුණු ආසියාවේ ජීවිත ලක්ෂ දෙකක් අහිමි විය. 2005 ඔක්තෝබරයේ හිමාලය ප්‍රදේශයේ ඇති වූ භුමි කම්පාවෙන් හා නාය යෑමෙන් තවත් ජීවිත දහස් ගණනක් දකුණු ආසියාවට අහිමි විය. අද අපේ දකුණු ආසියාව පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් සාමුහිකව ක්‍රියා කරන්නට පටන්ගෙන තිබේ. සාර්ක් සංවිධානයේ විශේෂ අවධානය කලාපයේ පරිසරය කෙරෙහි යොමු වී ඇත. ස්වභාවික විපත් හා පරිසරය අතර ඍජු සම්බන්ධයක් පවතී. පරිසරය ආරක්ෂා කරන තරමට ස්වාභාවික විපත් ඇතිවීමේ ගතිකය හීන වෙයි. පරිසරය ගැන නැවත සිතා බලන්නට කාලය පැමිණ ඇතැයි කිව හැකිය.

අපට යළිත් කිව හැක්කේ කාලය නපුරු නැත යන්නය. කොවිඩ් වයිරසයට දේශීය ඖෂධයක් හොයාගෙන තිබේ. බුරවිය ඇවිත් කරදර නොකර යන්නට ගියේය.