අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාෙවේ නියෝජිතයන් පවත්වන සාකච්ඡා සාර්ථක බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ යම් ගැටලු පැවතිය ද එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඉහළ කළමනාකාරිත්වය විශ්වාස කරයි. සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට යන අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා හදිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බව ප්‍රකාශ වී තිබේ. ඒ අනුව දින විස්සක් ඇතුළත මූල්‍ය උපදේශකයන් පත් කොට එය ඉටු කර ගැනීමට රජය අපේක්ෂා කරයි. ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ක්ෂණික ණය මුදලක් ද රජය අපේක්ෂා කරයි.
පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් සපයමින් ජනතාවට සහන සලසා දීම සඳහා රජය බරපතළ මෙහෙයුමක නිරත වන බව සත්‍යයකි. එය පහසු කාර්යයක් නොවේ. අප ඉල්ලා සිටින වේගයෙන් ණය හා ආධාර දීමට ජගත් ආයතන සූදානම් නැත. ණය හා ආධාර සඳහා ක්‍රියාදාමයක් අනුගමනය කිරීම එම ආයතනවල ක්‍රමය වෙයි. ණය ලබා ගන්නේ නම්; ආයතනය ඉදිරිපත් කරන කොන්දේසිවලට ද යටත් වීමට සිදු වෙයි. එම ආයතන රාජ්‍යයන් සඳහා කාන්දේසි පනවන්නේ මූල්‍ය තත්ත්වය ස්ථායිතාවයකට ගැනීම සඳහාය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණ ද ලෝකයේ මූල්‍ය ස්ථායිතාව ගොඩනැඟීමය.
අලි සබ්රි අමාත්‍යවරයා වොෂිංටනයේ සිට කළ ප්‍රකාශයක් නැවත සිහිපත් කිරීම වටී. ඒ මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ඉලක්ක හා අරමුණු අතහැර මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා කවුරුත් පොදු උත්සාහයක් දැරිය යුතු බවය. එහෙත් රට තුළ එය සිදු වන්නේ නැත. පක්ෂ නායකයන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින අතර ජන අරගලය උත්සන්න තැනකට ගෙන යෑම සඳහා උත්සාහ දරන බව ද පෙනෙයි. ජගත් ආයතන මෙන්ම බලවත් රටවල නායකයෝ ද ශ්‍රී ලංකාවේ සිදු වන දේවල් කෙරෙහි අවධානයෙන් සිටිති. මේ අවස්ථාවේ සමහරු මානව හිමිකම් කොමිසම වෙත යති. තව සමහරු ලෝක බැංකුවට පැමිණිලි ඉදිරිපත් කරති. මේවා සුභදායක දේවල් නොවේ.
තීරණාත්මක අවස්ථාවලදී නායකයන් පොදු එකඟතාවකට පැමිණ අර්බුදය ජය ගත යුතු වුව එවැන්නක් අපේ රට තුළ සිදුවන්නේ නැත. පාර්ලිමේන්තුව රටේ අර්බුදයට විසඳුම් සොයන මූලස්ථානය විය යුතු වුවද එහි දකින්නට ලැබෙන්නේ අර්ථශූන්‍ය විවාදයන් පමණි. ගැටලුවලට කිසිදු විසඳුම් යෝජනාවක් පාර්ලිමේන්තුව වෙතින් ලැබී නැත. කථානායකවරයා ද ඒ බව සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව දින ගණනාවක් රැස්වී විසිර ගොස් ඇති බව පමණක් අපට දැක ගත හැකිය. පාර්ලිමේන්තුව කෙරෙහි පැවැති මහජන විශ්වාසය ද බිඳ වැටී ඇත. එය ද අහිතකර තත්ත්වයකි. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ ව්‍යවස්ථාදායකය ශක්තිමත් විය යුතු බව පිළිගැනීමකි.
රටේ පවතින ප්‍රධාන අර්බුදය ආර්ථිකය කඩා වැටීම බව අවිවාදයෙන් පිළිගත යුතුය. අනෙකුත් අර්බුද ගොඩනැඟී ඇත්තේ ආර්ථික අර්බුදය මතය. ඒ අනුව සමාජයේ සෑම කොටසකම අවධානය යොමු විය යුත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමේ උපාය මාර්ග සෙවීම කෙරෙහිය. ණය හා ආධාර නැතිව රට ගොඩගත නොහැකි බව පළමුව පිළිගත යුතුය. අපට මතක කාලයේ දී ග්‍රීසිය මෙබඳු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. සයිප්‍රසය හා ඉතාලිය ද එබඳු අර්බුදයකට මුහුණ දුන්නේය. එසේ වුව ලෝකයේ සහයෝගය මත වසර කිහිපයක් තුළ එම රාජ්‍යයන් යථා තත්ත්වයට පත් විය. අප ඒවා ආදර්ශයට ගෙන ක්‍රියා කළ යුතුව තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ සාකච්ඡා පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගණනාවක් ද මේ වන විට සමාජගත වී ඇත. ඉන් පැහැදිලි වන්නේ අයි.එම්.එෆ්. සාකච්ඡා අසාර්ථක කිරීමේ වෑයමක් ද පවතින බවය. සමහර දේශපාලන ව්‍යාපාර ආර්ථික අර්බුදයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සුක වෙයි. එය මේ මොහොතේ ඉතා අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන. අපට ආධාර හා සහයෝගය සපයන ප්‍රධාන රාජ්‍යයන් දෙක වන චීනය හා ඉන්දියාව සම්බන්ධයෙන් ද අසත්‍ය ප්‍රචාර පැතිරෙයි. මේ ඔස්සේ රට ගැන භයානක චිත්‍රයක් නිර්මාණය කිරීමට සමහරු වෑයම් කරති. එය නැවැත්විය යුතුය. සමස්ත සමාජයේම සහයෝගය ලැබෙන්නේ නම්; කෙටි කාලයක් තුළ අර්බුදයෙන් ගොඩ යා හැකි බව මධ්‍යස්ථ බුද්ධිමතුන්ගේ මතය වෙයි.
1970 ගණන්වලදී මීට සමාන ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය. එකල මීට වඩා දරුණු ආහාර හිඟයක් ද පැවැතිණි. පාන් ගෙඩියක් මිලට ගැනීම සඳහා බේකරිය ළඟ පැය ගණන් රස්තියාදු වූ මිනිස්සු එදා සිටියහ. අපේ මිනිස්සු ඊට මුහුණ දුන් අතර දේශීය ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ නඟා ගත්හ. හැදෙන සමාජයකට එම පාඩම හොඳටම ප්රමාණවත්ය.
රඹුක්කන පැවති මහජන උද්ඝෝෂණයක් අතරතුර සිදු කළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මරණයට පත්වීම ඛේදජනක සිදුවීමකි. මහජන උද්ඝෝෂණයක් අතරතුර කවර හේතුවක් නිසා හෝ නිරායුධ පුද්ගලයකු පොලිස් වෙඩි පහරට ලක්වීම සාධාරණීකරණය කළ නොහැක. සති කිහිපයක් තිස්සේ රටේ පවතින දේශපාලන ආන්දෝලනය තවත් තීව්ර වී උණුසුම් වීමට රඹුක්කන වෙඩි ප්‍රහාරය ප්‍රබල හේතුවක් විය.
පිළිගත් සම්මත සම්ප්රදාය අනුව රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එයට යටත්ව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු තවත් නීති ක්‍රියාත්මකය. පොලිසියේ නිල මෙහෙවර ගැන සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේය. එහෙත් මෙම කිසිදු නීතියක් මගින් ජනතාවගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සීමා කර නැත. එසේම සාමකාමීව රැස්වීම, විරෝධතා දැක්වීම වැනි දේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවසරය ලබා දී තිබේ. මේ සඳහා ව්‍යවස්ථාවේ වෙනමම මානව හිමිකම් සම්බන්ධ පරිච්ඡේදයක් අන්තර්ගත කර ඇත. එකී මානව හිමිකම් පරිච්ඡේදයේ වගන්ති හතක් මගින් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් තහවුරු කරන අතර එම නිදහස යම් යම් කාරණා මත සීමාකිරීම්වලට යටත් වන බවද දැක්වෙයි. එසේම සමාජය ලබන ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් සමඟ ඉටුකළ යුතු යුතුකම් සම්බන්ධවද කරුණු අවධාරණය කෙරේ.
මේ කවර නීති රීතියක් යටතේ වුවත් ආරක්ෂක අංශ තමන්ට පැවරුණු රාජකාරි ඉටුකිරීමේදී යුක්තිසහගත බව හා සාධාරණකමේ ධර්මය ආරක්ෂා වන ලෙස ක්‍රියා කරනු දැකීම සමාජ අපේක්ෂාවයි. මේ දිනවල රට පුරා ජනතාව විවිධ හේතු මත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටිති. ජනතාව පීඩාවට පත්කර ඇති ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟය මෙන්ම ඒවායේ අධික මිල, විදුලිය කප්පාදුව, දරාගත නොහැකි ජීවන බර මෙම විරෝධතාවලට හේතු වූ ප්‍රධාන කාරණාය. නොවිසඳෙන මෙම ප්‍රශ්න හේතුවෙන් ආණ්ඩු කරන පිරිස ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටියි. පවත්නා තත්ත්වය යටතේ සතියකට භාණ්ඩ හා සේවා වර්ග 10ක 12ක මිල ගණන් විශාල ප්‍රතිශතවලින් ඉහළ නගී. එම මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා මිලට ගන්නට ජනතාවට ශක්තියක්ද නැත. මෙයින් පීඩාවටත් කෝපයටත් පත්වන බහුතර සමාජය රජයට විරෝධය දැක්වීම යුක්ති යුක්තය. මෙවන් සාධාරණ විරෝධතාවක් ප්රචණ්ඩත්වය කරා යොමු නොවන තාක් කල් එය මර්දනයට බලය යෙදවීම බලවත් වරදකි.
රඹුක්කන හටගත් සිද්ධිය ගැන පොලිසිය විසින් ප්‍රකාශ කරන ලද්දේ ජනතාව පොලිසියට පහර දෙන්නට තැත් කිරීමත් තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමත් නිසා අවම බලය යොදවා වෙඩි තැබූ බවය. සාමාන්‍ය ආරක්ෂක සම්ප්රදාය අනුව පොලිස් වෙඩි තැබීමක් කරන්නේ නම් මුලින්ම රබර් උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම කළ යුතුය. රඹුක්කනදී එවැන්නක් සිදු කළ බවට කිසිම තොරතුරක් හෙළිදරව් වී නැත. පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් අවම බලය භාවිත කර ඇත්තේ මනුෂ්‍ය ජීවිතයකට හානි වන ආකාරයටයි. අත අවි දරා සිටින පාර්ශ්ව දෙකක් අතර සිදුවන යුද්ධයකදී නම් මෙවැන්නකට නීතිමය අවකාශයක් ඇත. එහෙත් නිරායුද විරෝධතාකරුවන් කෙරෙහි මේ ආකාරයට අවම බලය භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මෙරට පැවැති උද්ඝෝෂණ හා අරගලවලදී මීට පෙරද මනුෂ්‍ය ඝාතන සිදුවිය. ඒ බොහොමයක් උද්ඝෝෂණ හා අරගල දේශපාලන හේතූ මත සිදුවූ ප්‍රචණ්ඩත්වයට බර ඒවාය. එහෙත් මෙවර රඹුක්කන මනුෂ්‍ය ඝාතනය සිදු වූයේ ආර්ථික අර්බුදය විසින් පීඩාවට පත් ජනතාව සිද්ධ කළ යුක්තිසහගත විරෝධතාවකදීය. ඉන්ධන ලබාගැනීම සඳහා දීර්ඝ වේලාවක් පෝලිම් ගැසී සිටි ප්‍රදේශවාසීන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාම සහ එය පාලනයට ඉදිරිපත් වූ නිලධරයන්ගේ සංයමයකින් තොර විධානයත් නිසා රඹුක්කන ඛේදවාචකය සිදු වූ බව සක්සුදක්සේ පැහැදිලිය. ඒ ගැන දැනටත් අධිකරණ පරීක්ෂණයක් සිදුවන බැවින් අප විසින් පූර්ව නිගමන ලබා දීම සාධාරණ නැත.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් අනුගමනය කරන රටක් ලෙස පාලකයන් ජනතා විරෝධය ඉවසිය යුතුය. අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වරක් මේ ගැන ඉතා සරල බසින් සඳහන් කළේ “රස්නය ඉවසිය නොහැකි නම් කුස්සියෙන් පිටවී යා යුතුය” කියාය. වත්මන් ආණ්ඩුවද දැන් එම තත්ත්වයට පත්වීමට ආසන්නව සිටියි. රටේ තැන් තැන්වල හටගෙන ඇති විරෝධතා පිළිබඳව යුක්තිසහගත ප්‍රතිචාරයක් නොදක්වා ඒවා දියාරු කරන්නට සිතා සිටී නම් මෙවර අත්දැකීම විසින් එම කල්පනාව වැරදීමක් බව පසක් කර දෙමින් සිටින බව සඳහන් කළ යුතුය. පක්ෂ දේශපාලනය අච්චාරු වී ඇති සමාජය නොඉවසන තරුණ පිරිසක් මෙවර ජනතා උද්ඝෝෂණවලට නායකත්වය දෙමින් අලුත් ගමනක් හා මාවතක් පිළිබඳව ඉඟි පළ කරති.
එහෙත් මෙවර විරෝධතා දක්වන විට ඒවාට උපායශීලීව සම්බන්ධ වන ඇතැම් පාර්ශ්ව හෝ දැනුම් තේරුම් නැති ආවේගශීලී පිරිස්, උද්ඝෝෂණයේ අරමුණු විකෘති කිරීමට තැත් කරන්නට ඉඩ තිබේ. මහා මාර්ග වසා දමා උද්ඝෝෂණය කිරීම එවැන්නකි. එවන් පීඩාකාරී දේ සිදු කළ සමහර තැන්වලදී උද්ඝෝෂකයන් බහුතර ජනතා විරෝධයට ලක්වූ අවස්ථාද විරල නොවේ. එහෙත් ගාලු මුවදොර උද්ඝෝෂකයන් සෑහෙන තරම් ආදර්ශවත් ලෙස ජන පීඩා අවම වෙන ආකාරයට ක්‍රියා කරනු දැකීම සතුටකි. එහෙත් යම් යම් පිළිගත් සමාජ සම්මතයන් වන ජාති ආගම් ආදියට නිගරු වන ආකාරයට යමෙක් හැසිරෙන්නේ නම් එබඳු අවස්ථාද පාලනයට නතු විය යුතුය. එසේම උද්ඝෝෂණයේ යෙදෙන සැමදෙනාම සිත්හි තබාගත යුතු ඉතාමත් වැදගත් කරුණ වන්නේ රටේ නීතිය පුරවැසියාගේ අභිලාෂයන්ට වඩා ඉහළින් පවත්නා බවය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා වැදගත් අවස්ථා ගණනාවක් නිර්මාණය වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡාවලදී ඉන්දියාව ඇපකරුවකු මෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත්ව සිටී. මේ අතර, චීනයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය සංවිධානය අපට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටී. මේ සෑම ආයතනයක්ම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව බලවත් ගෙවුම් ශේෂ ගැටලුවකට මුහුණ දී සිටින බවය. එහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟ වීමය. ජනතාවට පැහැදිලි වන ලෙස එය දක්වතොත් ඩොලර් පිළිබඳ හිඟයකි. අපේ විදේශ විනිමය සංචිත අන්තිමටම පල්ලම් බැස ඇති බව රජය පමණක් නොව, ජනතාව ද පිළිගත යුතුය. විදේශ විනිමය හිඟයට උත්තරය උද්ඝෝෂණය යැයි කල්පනා කරන්නේ නම්, එය බලවත් වරදකි.
අයි.එම්.එෆ්. හෙවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියකු කියා ඇත්තේ ශ්‍රී ලංකාව වහාම විදේශ විනිමය උපයන ආර්ථික වැඩපිළිවෙළක් වෙත මාරු විය යුතු බවය. මේ උපදේශනය වැදගත් වන අතර, එය ක්‍රියාත්මක කිරීමට රජය උත්සුක විය යුතුය. වත්මන් මුදල් අමාත්‍යවරයා එබඳු වැඩසටහන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර, ඒවා සාධනීය මට්ටමක පවතින බව ද අයි.එම්.එෆ් ආයතනය පිළිගෙන ඇත. දැන් සිදු විය යුත්තේ එම ආයතනය සමඟ සාකච්ඡා කොට අදාළ වැඩසටහන් තවදුරටත් නිවැරැදි කර ගැනීමය. ඉන් පරිබාහිරව අර්බුදය ජය ගත හැකි වෙනත් මාර්ගයක් අපට නැත. මේ වන විට අපට හොඳ කළමනාකරණයක් තිබිය යුතුය.
ඉන්දියාව අපගේ සහායට පැමිණ ඇපකරුවකු ලෙස ක්‍රියා කිරීම වාසනාවන්ත තත්ත්වයකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලනික සම්බන්ධතා ඉතා හොඳ මට්ටමක පවතින අතර, ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සුක විය යුතුය. රටේ පවතින දේශපාලන ව්‍යාපාර මෙය විවිධාකාරයෙන් විවේචනයට ලක් කළ හැකි නමුදු රජය පැහැදිලි ස්ථාවරයක සිටිමින් ඉන්දියාව සමඟ ඇති ගනුදෙනු දිගටම පවත්වා ගත යුතුය. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන අතර, එය ලෝකයේ බලවත් රාජ්‍යයකි. එය කිසිවිටෙක අමතක නොකළ යුතුය. අපේ ආර්ථිකයට ඍජු බලපෑමක් කළ හැකි ආසන්නම රාජ්‍යය ලෙස ද ඉන්දියාව පිළිගත යුතුය.
චීනය හා ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික වශයෙන් තරගකාරී තත්ත්වයක් පවතින්නේ වුව එය අපට අදාළ කර ගත යුතු නැත. අප ඉන්දියාවෙන්, චීනයෙන් පමණක් නොව අමෙරිකාවෙන් ද ආර්ථික සහයෝගය, ගත යුතුය. බලවත් රටවල් අමතක කොට අපට යා හැකි ආර්ථික ගමනක් නැත. දේශපාලකයන්, උසස් නිලධාරීන් සේම ජනතාවත් එය වටහා ගත යුතුය. අප මේ කිසිදු රාජ්‍යයකට විරුද්ධ විය යුතු නැත. එම රාජ්‍යයන් ගැන අනවශ්‍ය භීතිකාවක් මතු කර ගත යුතු ද නැත. බංග්ලාදේශය අමෙරිකාව සමඟ ඉතා සාර්ථක ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර, ඉන්දියාව සමඟ ද සාර්ථක මට්ටමේ ආර්ථික ගනුදෙනු කරයි. බංග්ලාදේශය වෙනස් වුණේ මෑතකදීය. අද ලෝකයේ දියුණු වන රටවල් විස්ස අතර බංග්ලාදේශය ද තිබේ.
අයි.එම්.එෆ්. ආයතනය වෙතින් අප වෙත ඉදිරිපත් වී ඇති සුබවාදී ප්‍රතිචාරය පිළිගත යුතුය. ඒවා පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ද රජය සූදානම් විය යුතුය. ඊට විවිධ බාධා ඇති වන්නට හැකි වුව ඒවා නොසලකා හරිමින් අයි.එම්.එෆ්. ආයතනය සමඟ කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇත. ඔහු මීට දින කිහිපයකට පෙර කියා සිටියේ මීට පෙර අයි.එම්.එෆ්. ආයතනය සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවය. රාජ්‍ය නායකයා තමන් අතින් සිදු වූ අඩුපාඩු පිළිගැනීම සේම ඒවා ප්‍රකාශයට පත් කිරීමත් යහපත් ප්රවණතාවකි.
හැබෑවටම අපට හොඳ මාර්ගයක් ලැබී ඇත. එය හොඳින් භාවිත කිරීම නායකයන්ගේ වගකීම වෙයි. පවතින අර්බුදයේ කොටස් තුනක් ඇති බව අපි හැමදාම පෙන්වා දුන්නෙමු. එක; ආර්ථික අර්බුදය දෙක; දේශපාලන අවුල හා තුන; මහජනයා පාරට බැසීම යනුවෙන්ය. කොටස් තුන එකිනෙකට සම්බන්ධය. එකක් මත එකක් වැටී තිබේ. එහෙත් ප්‍රධාන අර්බුදය පවතින්නේ ආර්ථිකය මතය. එය විසඳීමට විරෝධතාකරුවන්ට හැකියාවක් නැත. ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ රජයට පමණි. රජය ඒ සඳහා පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඊට රටේ සියලු කොටස්වල සහයෝගය ලැබිය යුතුය.
අලුතින්ම පත්වීම් ලද දොළොස් දෙනකුද ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ. මේ දිව්රුම් දීම සිදු වූයේ පසුගිය දා ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහාය. මෙතෙක් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම මේ හේතුවෙන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් බවට පත් වූ අතර ඉදිරියේදී ද ඔවුන්ට අමාත්‍ය ධූර නොලැබුණහොත් මේ පත්කිරීම් මේ රටේ දේශපාලනයේ සැබෑ හැරවුම් අවස්ථාවක් වනු ඇත.
මෙතෙක් පැවැති සම්ප්රදාය වූයේ අමාත්‍ය පදවි ලබාදීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට සහ හවුල්කාර පක්ෂ නායකයන්ට ප්‍රමුඛත්වය ලැබීමය. එහෙත් මෙවර එය වෙනස් වී පාර්ලිමේන්තුවට නවකයන් වූ කිහිප දෙනකුට ද අමාත්‍ය ධූර හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රථම වතාවට තෝරා පත්කරගනු ලැබූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට අමාත්‍ය පදවියක් හිමිවීම එයට උදාහරණයකි.
පාර්ලිමේන්තුව තුළ නවකයන් වන පිරිසකට පවා කැබිනට් අමාත්‍ය ධූර ලැබීමට හේතු වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙන් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි වෙනසකට බල කෙරුණේ මේ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට ගෙන යන අරගලය විසිනි. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව වුවත් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එකතු කිරීම තුළ දැනට රට තුළ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට විසඳුමක් තිබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් රජය මේ වෙනස්කම සිදුකරන්නට ඇතැයි පැහැදිලිව පෙනී යයි. එය මේ බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුමක් වනු ඇතිදැයි අපට කල් තබා කිව නොහැකි වුවද මෙවැනි වෙනසක් හෝ ඇතිකිරීම හෝ යහපත් බව සඳහන් කළ යුතුය. මේ නිසා අලුත් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරෙන්නේ විශාල වගකීමකි.
නවක අමාත්‍යවරුන් මේ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ රටේ ප්‍රධානම අවශ්‍යතාව බවද පෙන්වා දිය යුතුය. මේ නව කැබිනට්ටුව පත්කිරීමෙන් ආණ්ඩුව අදහස් කරන්නේ පවතින අර්බුදයට කිසියම් හෝ විසඳුමකි. එහෙත් මේ අවශ්‍යතාව ඉටුකිරීමට සහ පිළිගත හැකි විසඳුම් ලබාදීමට පළපුරුද්ද සහ විෂය දැනුමේ පරාසය අඩු නවක අමාත්‍යවරුන්ට හැකියාව තිබේද? යන්න ගැටලුවකි. එම ගැටලුව ජයගැනීමේ අභියෝගය බාර ගැනීමට තරුණ නවක අමාත්‍යවරුන් සූදානම් විය යුතුය. තම හැකියාව පෙන්වීම සඳහා හැකි හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. තමන් අසාර්ථක වීම යනු සමස්ත රජයේම අසාර්ථක වීමක් බව දැන සිටිය යුතුය.
එසේම රටේ පාලනය භාරව තීන්දු ගන්නා කැබිනට් අමාත්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද රටේ මහත් කතිකාවක් ඇතිව තිබේ. ආණ්ඩුවට එරෙහි අරගල කරන තරුණ විරෝධතාකරුවන්ගේ අත රැඳි ඇතැම් පෝස්ටර්වලින් දැක්වෙන්නේ උගත් පුද්ගලයන් අතට පාලනය බාරදිය යුතු බවය. ඒ අතින් සලකා බලන කල මෙවර පත්වීම් ලද අමාත්‍යවරුන් අතරේ කිහිප දෙනෙක්ම උසස් අධ්‍යාපනය හදාරා විදෙස් රටවලින් පවා උපාධි ලබාගත් අය වෙති. කාංචන විජේසේකර මෙරට උසස් අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික උපාධියක් ලැබූවෙකි. ප්‍රමිත බණ්ඩාර බකිංහැම් විශ්වවිද්‍යාලයෙන් සහ ලාට්රොබේ විශ්වවිද්‍යාලවලින් ද ෂෙහාන් සේමසිංහ පේරාදෙණිය සහ දිල්ලි විශ්වවිද්‍යාලවලින්ද, කනක හේරත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ද උපාධි ලබා සිටිතියි වාර්තා විය. එසේම මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය රමේෂ් පතිරණ. ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන් ද මේ ඇමැති මණ්ඩලයට පත්කරනු ලැබ සිටිති. මේ සියලු දෙනා දැන් කළ යුත්තේ තමන්ගේ අධ්‍යාපන දැනුම රටේ අර්බුදවලින් ගොඩ ඒම සඳහා යොදා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්ය ඔවුන් සතුව ඇතැයි අපි විශ්වාස කරමු.
මුළු රටම ගිනියම් වූ යකඩයක් මෙන් පවතින තත්ත්වයක් තුළ තමන්ට ලැබුණු අමාත්‍ය ධූර උත්සවශ්‍රීයෙන් සැමරීමට මේ නවක අමාත්‍යවරුන්ට අවස්ථාවක් නැත. එහෙත් අසහනයට, පීඩනයට, කෝපයට පත්ව සිටින ජනතාවගේ එම පීඩා දුරුකිරීමට කිසියම් හෝ දායකත්වයක් ලබාදීමට තමන්ගේ අමාත්‍ය ධූරවලින් ඔවුන්ට හැකියාවක් ලැබුණොත් එය තමන්ට ලැබුණු අභියෝගය ජයගැනීමක් වශයෙන් සලකා සතුටු විය හැකිවනු ඇත. එසේම මේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අලුත් අමාත්‍යවරුන්ගේ කෙරුවාව මුළු රටේම නිරීක්ෂණයට ලක්වන බව ද සඳහන් කළ යුතුය.
නව අමාත්‍යවරුන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ අමතර වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන අවංක, කාර්යක්ෂම පිරිසුදු පාලනයක් සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසටය. ජනතාව ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක කිරීමට මේ අමාත්‍යවරුන්ට ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. රට ඉතිහාසයේ ඉතා දුෂ්කරම කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටිය දී ලැබී තිබෙන මේ අමාත්‍ය ධූර එම දුෂ්කරතා තුරන් කිරීම සඳහා යොදාගැනීමට නව අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එය ඔවුන් තම දේශපාලන ජීවිතයේ මුහුණදෙන අසීරුම පරීක්ෂණය බවට කතා දෙකක් නැත.
(***)