අපගේ වැටහීමට අනුව ප්‍රධාන අර්බුද තුනක් අප ඉදිරියෙහි පවතී. පළමු අර්බුදය ආර්ථිකයේ කඩාවැටීමය. දෙවන අර්බුදය දේශපාලනය තුළ පවත්නා අවුලය. තෙවන අර්බුදය ජනතාව පාරට බැසීමය. මේ සාධක තුනම පවතින්නේ උත්සන්න තත්ත්වයක බව ද කවුරුත් තේරුම් ගත යුතුය. අර්බුද තුනටම ක්ෂණික විසඳුම් අවශ්‍ය බව ද පිළිගත යුතුය. ඉවසීමෙන් හා බුද්ධියෙන් තොරව ඉහත සාධක හසුරවන්නට ගියහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට පුළුවන. දේශපාලකයන්, සිවිල් සංවිධාන පමණක් නොව; පොදු ජනතාවත් මේවා ගැන නිසි වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ආවේග මතින් පමණක් ගැටලුවලට ඇත්ත විසඳුම් සපයා ගත නොහැකිය.
දේශපාලනය හා ආර්ථිකය ගතහොත් ඒ දෙක අතර ඇත්තේ එකිනෙකට සමපාත සම්බන්ධයකි. ස්ථාවර දේශපාලනයක් නැති කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම අපහසුය. අනෙක් අතට ආර්ථිකයේ කඩා වැටීම දේශපාලන අවුල් ඇති කිරීමට හේතුවක් වෙයි. හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිමතය අභියෝගයට ලක්වී ඇත්තේ ද ආර්ථිකයේ කඩාවැටීම නිසාය. මහ බැංකුවේ අභිනව අධිපතිවරයා පෙන්වා දෙන අන්දමට ජනතාව වෙතින් ආර්ථික කරුණු සැඟවීම බලවත් වරදකි. පවත්නා යථාර්ථය පැහැදිළි කරමින් ගැටලුවලට විසඳුම් සපයා ගත යුතුය. එවිට ජනතාව අර්බුද විසැඳීම සඳහා යම් සහයෝගයක් දෙනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අද සිට පැවැත්වීමට නියමිතය. අයි.එම්.එෆ්. ආයතනය වෙත යෑම මීට කලින් සිදුවිය යුතුව තිබුණ ද එය සිදුවූයේ නැත. ඇතැම් දේශපාලකයන්ගේ මතවාද මෙන්ම වැරැදි ආර්ථික උපදේශන ද ඉහත කාරණය කෙරෙහි බලපා ඇති බව පෙනෙයි. එහෙත් ඒ ගැන වාද - විවාද පැවැත්වීමට කාලයක් නැත. කළ යුත්තේ ඉහත සාකච්ඡා සාර්ථක කරගෙන අයි.එම්.එෆ්. ආයතනය වෙතින් උපරිම ආර්ථික සහයෝගයක් ලබාගැනීමය. එම ආයතනය වෙතින් යහපත් ප්‍රතිචාර ලැබෙන බව විශ්වාස කළ හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව; ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
ලෝක බැංකුව ඇතුළු ජගත් මූල්‍යායතන ආර්ථික ණය හා ආධාර ලබා දීමේ දී කරුණු ගණනාවක් සැලකිල්ල්ලට ගනී. ණය ගන්නා රටවල්වලට ණය ගෙවීමේ හැකියාවක් තිබිය යුතුය. එලෙසම ලබාගත් ණය ආර්ථික ප්රතිලාභ සහිත ව්‍යාපෘති සඳහා ෙයාමු කළ යුතුය. මේ ආයතන රටක දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන අතර සාර්ථක ආර්ථික ව්‍යාපෘති ද ඉල්ලා සිටී. ඒ සඳහා යම් කොන්දේසි පැනවීමට ද ජගත් ආයතන පෙලඹෙයි. මේවා කෙරෙහි මධ්‍යස්ථ දෘෂ්ටියකින් බැලීමට අප පුහුණු විය යුතුව තිබේ.
රටේ මහජන විරෝධතා පවතින්නේ ද උපරිම තලයකය. ජනතාවගේ කැකෑරෙන දුක හා වේදනාව ප්‍රකාශයට පත්වන වේදිකාවක් සේ එය සැලැකිය හැකිය. ඇතැම් දේශපාලන ව්‍යාපාර ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට උත්සුක වන අතර අරගලය ඒ නිසාම වෙනත් අන්ත කරා ගමන් කිරීමට පටන් ගෙන ඇති බවක් ද පෙනෙයි. විදේශීය බලවේග ද අරගලය පසුපස ඇතැයි කිවහොත් එය විහිළුවක් නොව ඉවත දැමිය නොහැකිය. විරෝධතාවල ස්වභාවයට අනුව එය කුමන අන්තයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චය කළ නොහැකිය. ඇතැම්විට අයි.එම්.එෆ්. සාකච්ඡාවලට ද අහිතකර ලෙස මෙය බලපාන්නට පුළුවන. මන්ද ස්ථාවර දේශපාලනයක් නැති රටකට එම ආයතන ආර්ථික ණය ලබාදෙන්නේ නැති බැවිනි.
අර්බුදය දෙස ආපසු හැරී බලන විට එය දැන් පවතින්නේ තුන් ඈඳුතු කතා වස්තුවක් හැටියටය. ආර්ථිකයේ කඩාවැටීම, දේශපාලන අවුල හා මහජන විරෝධතා එකක් නිසා තව එකක් යනාදී ලෙසින් ගොඩනැඟී ඇත. මේ තුනම ජාතික අර්බුද ලෙස පවතී. මෙය තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ විසැඳිය හැකි දෙයක් නොවේ. සමාජයේ සෑම කොටසක්ම යම් කැපකිරීමකට සූදානම් නොවුණහොත් අර්බුදය ජය ගැනීමේ හැකියාවක් නැත. කඹ ඇදීම, කල්මැරීම, වගඋත්තරකරුවන් සෙවීම මේ තීරණාත්මක අවස්ථාවට අදාළ නැත. අපට හැඟෙන පරිදි දැන් සියල්ලන්ගේම අවධානය යොමු විය යුත්තේ අයි.එම්.එෆ්. සාකච්ඡා කෙරෙහිය. එය සාර්ථක කරගැනීමට කවුරුත් වගබලා ගත යුතුය. ඒ සඳහා විශ්වාසය, කැපවීම හා වුවමනාව තිබිය යුතුය.
රටේ පවතින තත්ත්වය පාර්ලිමේන්තුවේ වාද විවාද උණුසුම් තත්ත්වයට හරවා තිබේ. එහෙත් පසුගිය දින කිහිපය තුළදීම වචන හරඹ විනා ජනතාව පාරට බැස්ස වූ රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ හරවත් සංවාදයක් එහි සිදු නොවූ තරම්ය.
හිස් වචන හරඹවලින් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. මුළු පාර්ලිමේන්තුවම කතා සාප්පුවක් පමණක් වනවිට රටේ වීදි බැස අරගල කරන ජනතාවගේ විශ්වාසයද ගිලිහී යයි. එය යන්තමින් හෝ රැකගත හැක්කේ ජනතාවට පිළිගත හැකි කතාවලින් පමණි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගියදා කළ කතාව ඒ අතින් පවතින ගින්න ඇවිළවීමට නොව නිවා දැමීමට හේතුවන බව පෙන්වා දිය යුතුය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ මෙවැනි බැරෑරුම් මොහොතක සියලු වාද භේද පසෙකට දමා හැමෝම අවංකවම එකතු විය යුතු බවය. මේ තරම් ප්‍රශ්න තිබියදීත් පාර්ලිමේන්තුවේ පක්ෂවලට එකතුවීමට නොහැකි වීම ගැන ඔහු කතා කළේ කනගාටුවෙනි. මේ රට කළ යුත්තේ අනුර හෝ සජිත් හෝ කියා යම් කිසිවකු සිතනවා නම් එය මේ වෙලාවේ විහිලුවක් පමණක් බව කියූ හරීන් අලුත් වෙනසකට සියලු දෙනා සූදානම් විය යුතු බවටද මධ්‍යස්ථ පුද්ගලයකු ජනාධිපති කර මාස 06ක් හරියට මහන්සි වුණොත් රට ගොඩදාගත හැකි වන බවටද විශ්වාසය පළ කළේය. රට හැදීමට මේ පාර්ලිමේන්තුවේ 225ම එකතු විය යුතු බවද තමන් අවුරුද්දකට වැටුප ලබා නොගන්නා බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.
මේ කතාව මේ දවස්වල පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන බොහොමයක් හිස් වචන පිරි කතාවලට වඩා හරවත් නිවැරදි දැක්මක් සහිත කතාවක් වශයෙන් අපි දකිමු. බලය යා යුත්තේ කාටදැයි කුළල් කාගන්නා අවස්ථාවක සියලු දෙනාම එක්වී රට ගොඩගනිමු යැයි පැවසීමට සෑහෙන දේශපාලන ධෛර්යයක්, පිටකොන්දක් තිබිය යුතුය. ඒ ධෛර්යය සහ පිටකොන්ද හරීන් ප්‍රනාන්දු මහන්ත්රීවරයාට තිබීම ගැන අපි සතුටු වෙමු. එසේම තමන්ගේ දේශපාලන අනාගතය පවා ප්‍රශ්න කිරීමට ලක්විය හැකි මේ ප්‍රකාශය අවංකවම සිදුකෙරුණු අදහස් පළකිරීමක් වශයෙන් හැඳින්වීමටද අපි පසුබට නොවෙමු.
20 වැනි සංශෝධනයෙන් යළි ලබාගත් බලතලද සහිතව තුනෙන් දෙකක පාර්ලිමේන්තුවේ බලයක්ද අතැතිව තම පාලනය ඇරඹූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ජනාධිපති ධුර කාලය තුළදී මෙවැනි ආපසු හැරීමක් නම් කෙදිනකවත් අපේක්ෂා කරන්නට නැත. එසේම විපක්ෂයද මේ තරම් ඉක්මනින් තමන්ට යළි බලය ලබාගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයි සිහිනෙන්වත් සිතන්නට නැත. එහෙත් එය සිදුවී තිබේ.
එහෙත් ගැටලුව ඇත්තේ මෙහිදී අමාරුවේ වැටී ඇත්තේ ආණ්ඩුව පමණක් නොවීමය. මුළු රටම අද ඇත්තේ බරපතළ අනතුරක් අභියසය. එවැනි තත්ත්වයකදී හරීන් ප්‍රනාන්දු වැනි විපක්ෂයේ මන්ත්‍රීවරයකු පරාර්ථකාමී ලෙස අදහස් ප්‍රකාශ කිරීම ගැන අප සතුටු විය යුතුය. රටේ මෙතෙක් පැවති ආත්මාර්ථකාමී දේශපාලන බලලෝභීත්වය තුළ එම කතාව මසුරන් වටින බවද පෙන්වා දීමට කැමැත්තෙමු.
මේ අවස්ථාවේදී සියල්ලටම ප්‍රථමයෙන් රටේ අනාගතය සියලු දේශපාලනඥයන්ගේ ප්‍රමුඛතාව විය යුතුය. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ විශ්වාසය පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට එකතුව කටයුතු කළ හැකි නම් රට මාස 06කදී වෙනස් කළ හැකි බවයි. කාලවකවානු කෙසේ වෙතත් දැනට රටේ ඇති වී තිබෙන සියලු තත්ත්වයන් විසින් බල කරනු ලබන්නේ රට ගොඩගැනීමේ වැඩපිළිවෙළකට වහාම අනුගත විය යුතු බවකි.
ඒ සඳහා මතගැටුම්, ප්‍රතිපත්ති වෙනස්කම් පසෙකට දමා එකමුතු විය යුතුය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කෙරෙන ආකාරයෙන් පැහැදිලි වෙන්නේ එවැනි කැපකිරීමකට සූදානම් පිරිස ඉතා අඩු බවය. හරීන් ඒ අඩු පිරිසේ ධෛර්ය සම්පන්න එක් මන්ත්‍රීවරයෙකි.
රටේ විරෝධතා ව්‍යාපාරවල ප්රමුඛ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවය. එහෙත් මේ ක්‍රියාදාමය එතරම් පහසු නැති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වෙයි. එවැනි ව්‍යවස්ථාමය කාරණාවලදී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අවබෝධය සහ එකමුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් සාධකයකි.
එවැනි අවබෝධයක් හරහා පිළිගත හැකි විසඳුමක් ලබාගැනීම අපහසු නොවනු ඇති බව අපගේ වැටහීමය. රට දැන් පවතින තත්ත්වයෙන් වැඩි දවසක් ඉදිරියට යා නොහැක. රටේ ප්‍රශ්න එකපිට එක ගොඩගැසෙමින් පවතින බැවිනි. රටේ ජනතාවට අලුත් අවුරුද්දක් ගැන කිසිදු හැඟීමක් ඇතිනොවන තරමට තත්ත්වය බරපතළ වී තිබෙන බව රජයත් විපක්ෂයත් තේරුම් ගත යුතුය.
මේ වනවිට රජය පාර්ලිමේන්තුවේ කොතරම් අපහසු තත්ත්වයකට පත්වී සිටින්නේද යත් මේ දක්වා කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට පවා අපොහොසත්ව සිටියි. එබැවින් මේ ගැන කාගේත් දැඩි අවධානය යොමුවිය යුතුය.
රටේ ඇතිවන උද්ඝෝෂණ ද දේශපාලන පක්ෂවලින් ගිලිහෙමින් සමාජය අතට ගනිමින් සිටින බවක් පෙනේ. මේවාද කිසියම් පාලනයකින් ගිලිහී ගියහොත් තත්ත්වය කුමක් වේදැයි කිව නොහැක.
(***)
පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වන ලකුණු මිස ඊට විසඳුම් ලැබෙන ආකාරයක් දැකගන්නට නැත. විරෝධතා ප්රචණ්ඩත්වය කරා යොමු වී ඇත. විරෝධතා සමඟ ගින්දරත් ගමන් කරනු දැක ගත හැකිය. විරෝධතාකරුවන් බොහෝ දේවල්වලට ගිනි තබන්නට සූදානම් වන බවක් පෙනෙයි. මේ අතර, ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා තවත් පිරිසක් පාරට බසින්නට සූදානමින් සිටිති. එය කුරුණෑගලදී දැක ගත හැකි විය. රට ඉබාගාතේ යන බවක් පෙනෙන්න ඇති අතර, මෙහි ප්‍රතිඵලය අතිශය භයානක විය හැකිය. අදහස් ප්රකාශනයට හා විරෝධතා දැක්වීමට ඉඩ තිබිය යුතු වුව ගිනි තැබීමට, පහර දීමට, මිනීමැරීමට ඉඩ තැබිය යුතු නැත.
රටේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ පවත්වන විවාදය නිෂ්ප්රයෝජන එකක් බව ද කාලය නාස්ති කිරීමක් බව ද හොඳටම පැහැදිලිය. පක්ෂ නායකයන් පවා පිස්සු කෙළින බවක් දැක ගත හැකිය. එකිනෙකා තම ප්රතිමල්ලවයන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් ද බරපතළ විග්රහ ඉදිරිපත් කරමින් ද කාලය විනාශ කරති. ඒ අතර, සභා ගර්භය මැද විරෝධතා පවත්වති. එළියේ සිටින විරෝධතාකරුවන් හා ඇතුළේ සිටින මහජන නියෝජිතයන් අතර වෙනසක් නැත. මහජන නියෝජිතයන් ද අර්බුදයට ගිනි තබමින් ඉන් ආස්වාදයක් ලබන බව පෙනෙයි. එය අතිශය කනගාටුවට කාරණයකි.
පාර්ලිමේන්තු විවාදය පවතින අතර කථානායකවරයා ප්‍රකාශ කළ අතිශය වැදගත් කාරණයක් තිබේ. රටේ බුද්ධිමතුන් ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කථානායකවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වයට වහා විසඳුම් සපයා ගැනීමට අසමත් වුව හොත් ශ්‍රී ලංකාවෙන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ගිලිහී යා හැකි බවය. 1931 සිට මහජනයාගේ අභිමතයට මුල්තැන දෙන විධිමත් පාලන රටාවක් අපට තිබිණි. එය විනාශ වීම යනු ප්රජාතන්ත්රවාදය පමණක් නොව, ශිෂ්ටත්වයත් අහෝසි වීමකි. දේශපාලන නායකයන් ඒ ගැන වගේ වගක් නැතිව ක්‍රියා කිරීම එක අතකින් පුදුමසහගතය; තව අතකින් බියකරුය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආසියාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පවතින පැරැණිම රාජ්‍යයන් දෙක ලෙස සලකනු ලැබේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකටම හිමි වූ කීර්ති නාමයක් ද ඇත. ඉන්දියාව විශාල රාජ්‍යයක් වුව ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම රැකගනිමින් රටට හා ජනතාවට ගැළපෙන පාලන ව්‍යුහයක් සකස් කරගෙන තිබේ. ප්‍රාන්තයෙන්, ප්‍රාන්තයට එහි යම් වෙනස්කම් ද දකින්නට ලැබේ. කුමක් වුව ඉන්දියාවේ රාජ්‍ය පාලන ව්‍යුහය අභියෝගයට ලක් වී නැත. එය විශ්වාසවන්ත ලෙස පවත්වා ගැනීමට එරට නායකයන් ක්‍රියා කර තිබේ. එහෙත් අපේ රටේ ඇත්තේ ඊට වෙනස් තත්ත්වයකි. වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනෙන අතර, මේ මොහොතේත් ඒ ගැන සංවාද පවත්වනු දැක ගත හැකිය.
එක පැත්තකින් විරෝධතාකරුවන් රට ගිනි තබමින් අර්බුදය තවත් උත්සන්න කරනු දැක ගත හැකිය. තව අතකින් පාර්ලිමේන්තුව ජනතාවගේ කෝපය තවදුරටත් වර්ධනය වන ලෙස ක්‍රියා කරනු දැක ගත හැකිය. මේ අතර ඩීසල් පෝලිමේ දිග්ගැහෙන්නට පටන්ගෙන තිබේ. ඇතැම් ප්‍රදේශවල පෝලිම් පවතින්නේ දින තුනක සිටය. දැන් කාගේත් අවධානය යොමු වී ඇත්තේ විරෝධතා දෙසටය. ඇතැම් ජනමාධ්‍ය උදේ සිට රෑ වන තුරු ද රාත්‍රියේ සිට එළි වන තුරු ද විරෝධතාම පෙන්වයි. ඒවාම වාර්තා කරයි. තෙල් පෝලිම්වල සිටින සාමාන්‍ය ජනතාවගේ අදහස වන්නේ දැන් අපි ගැන බලන්න කවුරුවත්ම නෑ යන්නය. එහි ඇත්තක් තිබේ. හුඟ දෙනකුට දැන් රටේ ඇත්ත ප්‍රශ්න අමතකය.
රාජ්‍ය නායකයා ඉවත් විය යුතු යැයි විරෝධතාකරුවන් කියා සිටිය ද එය කළ හැකි දෙයක් නොවේ. ජනාධිපතිවරයා හදිසියේ ඉවත් වුව හොත් රට මුළුමනින්ම අරාජික වී බරපතළ විනාශයක් සිදු වන්නට ඉඩ තිබේ. දැනට පවතින පාර්ලිමේන්තුවෙන් සාර්ථක විසඳුමක් අපේක්ෂා කළ නොහැකිය යන්න බොහෝ දෙනකුගේ අදහස වී තිබේ. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම එම අදහස තවදුරටත් තහවුරු කරයි. කඹ ඇදීම, කාලය නාස්ති කිරීම දිගටම සිදු වෙයි. සංචාරක කර්මාන්තය යාන්තමට හිස ඔසවමින් තිබුණ ද දැන් යළිත් එය කඩා වැටෙනු ඇත. එය අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් බව බොහෝ දෙනකුට අමතකය.
ආණ්ඩුවක් නැතිව රටක් පාලනය කරන්නට පුළුවන්කමක් නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සේම ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය දීමට කැමැත්ත පළ කර ඇති බවට වාර්තා පළ වී තිබේ. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට නම් වහාම වැඩසටහන් සකස් කොට ජගත් ආයතන සමඟ සාකච්ඡා කළ යුතුය. මෙය ප්‍රමාද වන තරමට අපේ ආර්ථික අර්බුදයේ ගැඹුර ද වර්ධනය වනු ඇත. ආණ්ඩුවක් නැති අරාජික රාජ්‍යවලට ණය නොව, ආධාර දීමටවත් ජගත් ආයතන ඉදිරිපත් වන්නේ නැත. මේ වන විට ඖෂධ හිඟයක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඖෂධ හිඟය තවදුරටත් සංකීර්ණ තත්ත්වයක් වෙත ඇදී ගිය හොත් රට ඉතා අවාසනාවන්ත අඩියකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
දැන් සිදු විය යුත්තේ වහාම කැබිනට් මණ්ඩලයක් ස්ථාපනය කොට ජගත් ආයතන වෙතින් ගත යුතු සහයෝගය කඩිනමින් ගැනීමය. පක්ෂ නායකයන් ඊට සහයෝගය දක්වන්නේ නැති නම්, රාජ්‍ය නායකයා තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුය. උද්ඝෝෂණවලින් ආවේග පිට කර ගත හැකිය; එහෙත් රටක් පාලනය කළ නොහැකිය.
රට ගිනිගත් ගිනිහල් ගෙයක් බඳුය. උණුසුම දිනෙන් දින තීව්‍රවනු විනා තුනී වන බවක් ද නොපෙනේ. තවමත් කිලෝමීටර ගණන් දිග්ගැස්සුණු ඉන්ධන පෝලිම් ය. ගෑස් සහ භූමිතෙල් හිඟය ද නිමාවී නැත. විදුලිය විසන්ධිය පැයයි විනාඩි හතළිහකට සීමා කරන බව අවධාරණය කෙරුණ ද යළිත් පැය හත හමාරක් විදුලිය විසන්ධි කෙරෙන බවද නිවේදනය කර ඇත. දැවෙන - තැවෙන ජනයා කඩිනමින් විසඳුම් ඉල්ලා මාර්ග අවුරා විරෝධය පළ කරති.
විරෝධය පළ කිරීමට ජනයා පෙළඹෙන්නේ ප්‍රශ්න විසඳා ගැනීමට වෙනත් විකල්ප නොමැති හෙයිනි. ඉල්ලීම්, ආයාචනා, බැගෑපත්වීම නොසලකා හැරුණුවිට ඊළඟ පියවර විරෝධය පළ කිරීම ය. එය ජනයාගේ ශුද්ධ වූ අනුල්ලංඝනීය අයිතියකි. එහෙත් එය භුක්ති විඳිය යුත්තේ සාමුහික විචාර බුද්ධියෙනි. සාමුහික විචාර බුද්ධිය ගිලිහී ගියවිට ආදේශ වන්නේ අවිචාරය වේ. අවිචාරය තරම් සටන් බිම්වලට නින්දා සහගත ලප කැළැල් එක් කරන වෙනත් දෙයක් නොමැත. ජීවිතයට සහන ඉල්ලා වීදි බැසි මිනිසුන්ගේ අරගලයට ද එබඳු ලප කැළැල් එක්වනු ඉකුත් දිනවල දක්නට ලැබිණි.
‘ප්රචණ්ඩත්වය වූ කලී අශීලාචාර අශිෂ්ට අවියකි’. එම අවි නූතන දියුණු මානව සමාජය තුළ මිනිස් කසළ මෙන් පිටු දකින්නකි. පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ නිවෙස ප්රකෝපකාරීන් අතින් විසුණුවී ගියේය. හිටපු ඇමති ගාමිණී ලොකුගේ සහ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගේ නිවෙස් ඉදිරිපිට ද විරෝධතා පැවැත්වුණු බව ද වාර්තා විය. හිටපු ඇමැති ගාමිණී ලොකුගේ ගේ නිවස ඉදිරිපිට මහා ගිනි ජාලා නැගෙනු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය විය.
හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවෙසටත් ඔහුගේ නිවෙස අබියස ඉදිකෙරෙන හෝටලයටත් දැඩි ලෙස හානි සිදුකර තිබිණ.
මිනිසුන්ගේ ඉල්ලීම් අතිශයින්ම සාධාරණ ය. යුක්ති සහගත ය. එමෙන්ම මානුෂික ය. එබඳු සටන් මැදට පනින අවස්ථාවාදියෝ සිටිති. කල දුටු කල වළ ඉහ ගැනීමට මාන බලන පිරිස් සිටිති. ඔවුන්ට වුවමනා යම් වින්දනයක් ලැබීමට පමණි. ගිනි අවුළුවා, ගැටුම් ඇතිකර කපා කොටා ගැනීමට සලස්වා එදෙස බලා ප්රීතිවිය හැකි පටු හා පවිටු මෙන්ම විකල් මනසින් හෙබි දුර්දාන්තයෝ සිටිති.
ඔවුහු උපක්‍රමශීලිව තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කරති. ඒ විරෝධතාකරුවන් මැති ඇමැති නිවෙස්වලට කඩා පනින විට දේශපාලකයන් එහි නැත. එහෙත් ඔවුන්ගේ අඹු දරුවන් එහි සිටිය හැකිය. ඔවුන් මේ අවස්ථාවලට මුහුණ දෙන්නේ කෙසේදැයි විරෝධතාකරුවන් සිතිය යුතුය.
අමතක නොකළ යුතු කාරණයක්ද තිබේ. සාධාරණ අරගල ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය වූ විට ආරක්ෂක අංශවලට එයට මැදිහත්වීමට සිදුවේ. ඇතැම්විට මළ සිරුරු ගණන් කිරීමට සිදුවන තරමේ ප්‍රතිප්‍රහාර එල්ල විය හැකිය. සටන ලෙයින් යකඩින් හා ගින්දරෙන් මැඬලූ විට එහි වාසිය යන්නේ ජන සටන් නිසා පීඩාවට පත්වන බලධාරීන්ටය. එහෙයින් බලධාරින් වෙනුවෙන් එම බලධාරින්ගේ අනුදැනුම සහිතව හෝ නැතිව එබඳු ප්රචණ්ඩත්වයක් ඇති කිරීමට ඉදිරිපත් වන දේශපාලන අතවැසියන් සිටිය හැකිය. සමාජය අවුල් ජාලයක පැටලුණවිට සිදු නොවිය හැකි දෙයක් නොමැත.
ජනතාව බුද්ධිමත් විය යුත්තේ ඉහත පරිසරයේය. ජනතා සටන් හයිජැක් කිරීමට බලා සිටින දේශපාලන පක්ෂ ද වේ. ඔවුන්ගේ අතවැසියෝ ජනතාව අතරට රිංගති. පළමු ගල් පහර ඔවුන්ගෙනි. ඉන්පසුව සටන ඇවිළීයන්නේ අරමුණෙන් බැහැරව ප්‍රතික්‍රියා හා ප්‍රතික්‍රියා වශයෙනි. ඉතිහාසය පුරා මෙම අත්දැකීම් තිබේ. 88,89 යුගයේ හැට දහසක් පමණ මරා දැමුණි. එයින් හරි අඩක් සටන්කරුවෝ නොවෙති.
පෞද්ගලික එදිරිවාදිකම් නිසා බොහෝ දෙනෙක් මිය ගියහ. අවසානයේදී එම මළසිරුරු බාර වූයේ ‘නාඳුනන තුවක්කුකරුවා’ ට ය. තෙල් ගැලුමයි - ටයරයයි සෑයටය. ප්‍රා, උකුස්සා වැනි අතුරු හමුදා කණ්ඩායම්වලට ය. ඒ මළසිරුරුවල වගකීම බාර ගැනීමට කිසිවෙක් නොවූහ. අවසානයේ දරු සොවින් සුසුමෙන් කාලය ගෙවා දැමීමට අම්මලාට තාත්තාලට සිදුවිය.
කළු ජූලිය ද එසේ ම ය. හමුදා සෙබළුන් දහතුනකගේ මරණ මහා වර්ග සංහාරයක් දක්වා දිග්ගැස්සි ගියේය. භාෂාව විමසා දෙවනුව මරා දමන මහා ශාපලත් පරිසරයක් නිර්මාණය විය. වේළුපිල්ලේ ප්රභාකරන්ට තමන් වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමට හැකිවූයේ එම ශාපලත් පරිසරය නිසා ය. ඒ වෙනුවෙන් තිස් වසරකටත් වඩා වැඩි කාලයක් යුද අග්නියෙන් දැවීමට, තැවීමට මෙරට ජනයාට සිදුවිය. රට සියවස් ගණනාවක් ආපස්සට ගියේය. අප තවමත් මේ ගෙවා දමමින් සිටින්නේ එම තාර්කික වන්දිය වේ.
‘නොදන්නාකම විනාශය වළක්වා නැත.’ යන්න ඒකාන්ත සත්‍යයකි. මෙම අර්බුදකාරි පරිසරය තුළ වඩාත් බුද්ධිමත්ව හා විචාරශීලිව කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි. ප්‍රමාදය පමණක් නොව අතිධාවනකාරි වීමත් පරාජයට හා විනාශයට පාවාඩ එළනු ඇත.