තෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇත. පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ ගිය විට පොල් තෙල් මිලද ඉහළ යයි. බැලූ බැල්මට මෙය ටිකක් අභව්‍ය කාරණයකි. පොල් තෙල් එන්නේ මැද පෙරදිගින් නොවේ. එය ඛනිජ තෙලක් ද නොවේ. එහෙත් ඉන්ධන මිල වැඩි කළ විට සියලුම ප්‍රවාහන ගාස්තු ඉහළ යයි. මේ නිසා බඩු සියල්ලෙහිම මිල ද නගී. අපේ රටේ බඩු මිල ඉහළ යෑමට සදාකල්හිම කුමක් හෝ හේතුවක් තිබිණ. එක්කෝ වැස්ස නිසා එළවළු මිල නගී. නැත්නම් අව්ව නිසා වගා පාළු වී එළවළු මිල නගී. එක්කෝ රසායනික පොහොර නැති නිසා සහල් මිල නගී. එහෙමත් නැත්නම් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම නිසා තෙල් මිල නගී. මේ අනුව ඛනිජ තෙල් සහ පොල් තෙල් අතරත් ඛනිජ තෙල් සහ මිනිස් ජීවිතය අතරත් ඇති සම්බන්ධය වටහා ගැනීම පහසු ය. දැනට තිබෙන ආරංචියට අනුව සෑම දෙසතියකටම වරක් ලෝක තෙල් මිලට සාපේක්ෂව මෙරටට ගෙන්වන තෙල්වල විකුණුම් මිල පුනරීක්ෂණය කරනු ලැබේ. ආණ්ඩුව මෙයට කියන්නේ මිල සංශෝධනය යනුවෙනි. මේ මිල සංශෝධනයේදී ලංකා ඉතිහාසයේ අවස්ථා එකකදී හෝ දෙකකදී හැර අන් කිසි දවසක ඛනිජ තෙල් මිල අඩු වූයේ නැත. සති දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි වීමට පටන් ගත්තොත් මතු යම් දිනයකදී වාහනේ වටිනාකමට වඩා වැඩි මිලක් තෙල් ලීටරයක් වෙනුවෙන් ගෙවන්නට සිදුවනවා ඇත. ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුව කියන්නේ අත්‍යවශ්‍ය අය පමණක් සේවයට පැමිණීම ප්‍රමාණවත් බවය. මිනිසුන් වැඩට එන්නේ සාමාන්‍යයෙන් වැඩට එන අය, වැඩට පැමිණීම අවශ්‍ය අය සහ වැඩට පැමිණීම අත්‍යවශ්‍ය යනාදී වශයෙන් කොටස් තුනකටය. සාමාන්‍යයෙන් වැඩට එන අය සහ වැඩට ඒම අවශ්‍ය අය යන දෙගොල්ල ඉවත් කළ විට ඉතිරි වෙන්නේ අත්‍යවශ්‍ය සුළුතරයයි. මේ සුළුතරයෙන් රටක් ඍමබ කළ හැකි නම් එය ඉතා යහපත්ය. මේ තත්ත්වය ආදර්ශයට ගනිමින් අත්‍යවශ්‍ය අය පමණක් ආහාර ගත යුතු බවට අවසාන නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබේ. එවිට ඉතින් දෙකෙන් එකක් වෙන්නේ නැතෑ!
මේ වෙලාවේදී මුළු ලෝකයම ආහාර සහ ඉන්ධන අර්බුදයකට මැදිව සිටී. මේ අර්බුදයේ ඉහළින්ම සිටින රටවල් දෙක ලෙස ඇෆ්ගනිස්තානය සහ ලංකාව හඳුනාගෙන ඇත. හැම කාරණයකදීම දෙවැනියා හෝ තුන්වැනියා හෝ ඊටත් පහළින් සිටීමට සිද්ධ වී ඇති ලංකාවට මේ කාරණයේදී ලැබෙන්නේ ද දෙවැනි තැනය. ශ්‍රී ලංකාව කෙළවා ගත් පරිදි ආර්ථිකය අවුල් කර ගැනීමෙන් වළකින ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා මීට තුන් දිනකට පෙර සඳහන් කළාය. ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගතය සහ මෑත කාලීන යුක්‍රේන අර්බුදය හේතුවෙන් ලෝක ආර්ථික අර්බුදය දරුණු වූ බව ඇගේ මතය වේ. ලෝකයේ වෙනත් රටවල ආර්ථිකය දරුණු වීමේ අවුල හටගත්තේ මේ මෑතකදීය. කොවිඩ් 19 න් පසු සෙසු රටවල් ක්‍රමයෙන් හිස ඔසවා ස්ථාවර බවට පත්වූහ. එහෙත් අප දන්නා කාලයේ සිටම මේ රටේ ආර්ථිකය තිබුණේ ළිං පතුලකය. 1948 මේ රටට නිදහස ලැබුණු දින සිට හැමදාම ආර්ථිකය පරිහානියට පත් විය. ඉස්සර අපේ කලිසමේ පිටුපස සාක්කුවේ හදිසියකට ගැනීම සඳහා කිසියම් මුදලක් තිබිණ. දැන් ඒ සාක්කුවේ කිසිදු මුදලක් නැති අතර හදිසියකදී සිදුවන්නේ කලිසම ගලවා විකිණීමටය. රටක් වශයෙන් ගත්කල තත්ත්වය ද මෙයමය. 1948 දී සුද්දන් රට භාර දී ලංකාවෙන් යන විට ශ්‍රී ලංකාවේ රජය සතුව නිධන් අරමුදල නමැති අරමුදලක් විය. ඇමරිකන් මහ බැංකුවේ අධිපති මණ්ඩලයේ සාමාජිකයකු වූ ජෝන් එක්ස්ටර් ලක් රජයේ ආරාධනයෙන් මෙහි පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටු වූ පසු එම අරමුදල තවත් තර විය. රටේ හදිසි ආපදා අවස්ථාවකදී මුදල් ලබා ගන්නා ලද්දේ මේ කියන නිධන් අරමුදලෙනි. 1977 ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණ විවෘත ආර්ථිකය රට තුළට පැමිණි වහාම මේ නිධන් අරමුදල කඩා බිඳ දමන ලදී. ජෝන් එක්ස්ටර් මිය යන්නේ 2006 දීය. තමා බිහිකළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිධන් අරමුදල තම ඇස් ඉදිරිපිටම කඩා වැටෙනු දුටු මේ සුද්දාට මොනවා හිතෙන්නට ඇද්ද? දැන් නිධන් අරමුදලත් නැත. හදිසියකට ගැනීම සඳහා සත 50 ක්වත් ඉතිරි කරගෙනත් නැත. නිදහසින් පසු මේ රටේ පහළ වූ හැම ආණ්ඩුවක්ම මේ ආර්ථික පරිහානියට වගකිවයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් නිතර කියති. මෙය ඇත්තම කතාවකි. කිසිසේත්ම නිවැරදි කර ගැනීමට නොහැකි වරදකි.
පිළිසරණක් නැතිව නන්නත්තාර වූ අනාථයකුට ආධාර කරමින් ඔහු හෝ ඇය ජීවිතාන්තය තෙක් රැකබලා ගැනීමට කැමති අය ලෝකයේ සිටිති. එහෙත් කුඩු ගසා ක්ලබ් ගාණේ ගොස් රති කෙළියේ යෙදී දිගටම පිස්සු කෙළින අනාථයකු බලා ගැනීමට කව්රුත් සූදානම් නැත. මේ රට පෙරකී දෙවැනි වර්ගයේ අනාථයෙකි.
ආහාර අර්බුදයක් පිළිබඳ පුරෝකථන ගණනාවක් පළ වී ඇත. මේ අතර ආණ්ඩුව එම අවදානම බරපතළ ලෙස ගනිමින් ඊට පෙර සූදානමක් ඇති කරන බව ද පෙනී යයි. මේ සමඟ අපගේ සිහියට නැගෙන්නේ සහලින් ස්වයංපෝෂිතව තුන්වේල බත් කා පිටරටට සහල් නිර්යාත කළ රටක් ආහාර අර්බුදයකට මුහුණ දීමට බලපෑ හේතුව කුමක් ද? යන්නය. කෘෂිකර්මය සම්බන්ධයෙන් අතීතයේ සිට පැවැති රටාව වෙනස් වී ඇත. ඇතැම් පාලකයන් කාර්මිකකරණයට හා විවෘත වෙළෙඳපොළට වහල් වී වගාව නොසලකා හළ අතර තව පාලකයෝ කෘෂිකර්මය වෙනස් කිරීමට ගොස් පොට වරද්දා ගත්හ. මේවා අප අතින් සිදුවූ වැරැදි බව නූතන පාලකයන් වටහාගෙන තිබේ. එය එක් අතකින් වාසනාවකි.
වෙළෙඳපොළ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට මේ වන විටත් ආහාර අර්බුදයක් පවතින බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් ගිනි ගණන්ය. ඒ හැරුණු කොට වෙළෙන්දෝ තම සිතැඟි පරිදි සහල් මිල තීරණය කරති. පාන් ගෙඩියක මිල එක්වරම ඉහළ ගියේය. තිරිඟු පිටි, එළවළු, පලතුරු යන කොයි දේත් ගණන්ය. එක් අතකින් ආහාර නිෂ්පාදනය අඩු වී ඇත. තව අතකින් ප්‍රවාහනය හා බෙදා හැරීම අවුල්ය. තවත් අතකින් වෙළෙඳපොළ හැසිරීම අන්තිම නරකය. මේ සෑම දෙයකින්ම තැළෙන්නේ පොඩි වන්නේ අහිංසක දුප්පත් මිනිසාය. වකුගඩු රෝගියාට රජයෙන් දෙන ආධාරය පවුලේ කෑම බීම සඳහා වියදම් කිරීමට සිදු වී ඇත. රටේ පවත්නා ඇත්ත තත්ත්වය එයින් වටහා ගත හැකිය.
අපට දුප්පත්කම අලෙවි කරන්න පුළුවන. ඒ වෙනුවෙන් සැර විවේචන ඉදිරිපත් කරන්නත් පුළුවන. ආණ්ඩුවට එරෙහිව පෙළපාළි යන්නටත් පුළුවන. එහෙත් මේ එකක්වත් ගැටලුවලට විසඳුම් නොවේ. ඒවායින් සිදු වන්නේ කාලය කා දැමීම හා අර්බුදයේ දිග පළල වැඩි කිරීමය. සුද්දා මේ රට හැඳින් වූයේ රත්තරන් භූමියක් හැටියටය. වියළි දණ්ඩක් පොළොව මතට දැමුව හොත් එය දලු ලා වැඩෙන සාරවත් පසක් අපට ඇති බව සුද්දා පෙන්වා දී ඇත. අපේ අතීත මිනිසා එයින් උපරිම ඵල නෙළා ගත්ත ද නූතන මිනිසා එයින් දුරස්ය. පුරන් කුඹුරු අක්කර සිය ගණනක් රටේ පවතී. හිස් ඉඩම්, මුඩු ඉඩම් සෑම පළාතකම තිබේ. මේවායින් නිසි ප්‍රයෝජන ගත හොත් තව පරම්පරා ගණනකට ආහාර ගැටලුවක් ඇති වන්නේ නැත.
රටක ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම ආහාර සුරක්ෂිතතාව යන කාරණා සම්බන්ධයෙන් ස්ථාවර වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් වුව හොත් රටේ වගාවන් ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කර වෙයි. එය කෘෂිකර්මයේ පිරිහීමට හේතුවකි. සමහරුන්ගේ මතයට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ ආරම්භ කළ වගා සංග්‍රාමය දිගටම පැවතුණා නම් මේ වන විට අපේ රට ආහාර අතින් ස්වයංපෝෂිත රාජ්‍යයකි. එදා දේශීය ගොවිතැනට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. ආහාර ආනයනය තහනම් කැරිණි. දේශීය ගොවියා පොහොසත් විය. යාපනයට ගිය මැතිනිය පිළිගැනීම සඳහා මිරිස් මාලයක් පැලැන්දූ බව අපි කවුරුත් දනිමු. වත්මන් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ අප නැවත වගා සංග්‍රාමයක් වෙත යා යුතු බවය. එය බුද්ධිමත් තීරණයක් බව පෙන්වා දිය යුතුය.
කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. මේ කමිටුවේ පළමු කාර්යය වන්නේ රටේ ආහාර නිෂ්පාදනය, සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කිරීමය. එම වාර්තාවල තත්ත්වයට අනුව වගා සංග්‍රාමය පිළිබඳ ඉදිරි සැලසුම් සකස් කිරීමට නියමිතය. ඉදිරි කන්නයේ වී වගාවට සිදු වන්නේ කුමක් ද? රටට අවශ්‍ය මුළු සහල් තොගය එම කන්නයෙන් ලබා ගත හැකි ද? යන කරුණු මෙහිදී විශ්ලේෂණය කරනු ලැබේ. ආහාර අර්බුදයක් ඇති වීමට නියමිත නම් වහාම සාධක දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න ආහාර සුරක්ෂිතතාවයි. දෙවැන්න වගා සංග්‍රාමයයි.
රටේ සමස්ත භූමිය ග්‍රාමීය අංශයට, නාගරික අංශයට හා වතු අංශයට බෙදා වෙන් කළ හොත් වගා බිම් ඇත්තේ ග්‍රාමීය අංශය තුළය. ජනගහනයෙන් වැඩි පිරිස ද එම අංශය තුළ ජීවත් වෙති. ග්‍රාමීය අංශයේ සෑම පුරවැසියකුම පාහේ යම් පමණක ගොවියෙකි. එලෙසම වගා කළ හැකි සුළු හෝ බිම්කඩක් මේ සෑම පුරවැසියකුටම තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ විශාල ගෙමිදුල්වල මිරිස් හා එළවළු වගා කැරිණි. එයින් පවුලක ජීවන බර පිරිමසා ගත හැකි විය. ලිබියාවේ ගඩාෆි පාලන සමය තුළ කුකුළු මස් හා බිත්තර පිළිබඳ අර්බුදයක් මතු විය. ඊට විසඳුමක් ලෙස තට්ටු නිවාසවල කුකුළන් ඇති කිරීමට අවසරය දුනි. එය සාර්ථක පියවරක් වූ අතර ලිබියාවේ මස් හා බිත්තර අර්බුදයට කදිම විසඳුමක් විය.
වුවමනාවක් හා කැප වීමක් ඇතොත් අපේ ආහාර අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගත හැකිය. ආණ්ඩුව පමණක් නොව ජනතාව ද ඊට සූදානම් විය යුතුය. ආණ්ඩුව ජනතාවට උත්තේජකයක් දුන්නොත් අපේ ජනතාව අවදි වී වහලය මත පවා වගා කරන්නට පටන් ගන්නවා ඇත.