Thursday, 10 February 2022 05:26

ආණ්ඩුව පීල්ලට ඇවිත්

 

logo

ආණ්ඩුව නියම පීල්ලට ප්‍රවේශ වී ඉදිරි සංවර්ධන කටයුතු කරගෙන යෑමට සැලැසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියට එන වර්ෂ තුනක කාලය කාර්යක්ෂම කාල වකවානුවක් ලෙස හැඳින්විය හැකිය. වගා හානි වූ ගොවීන්ට වන්දි දීම පෙරේදා ආරම්භ විය. රජයේ ඉදිරි වැඩසටහන් පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වන අතර එහි මංගල රැස්වීම ඊයේ අනුරාධපුරයේදී පැවැත්විණි. ඒ අතර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සාර්ථක ඉන්දීය සංචාරයක් නිමාකොට දිවයිනට පැමිණියේය. එම සංචාරයේ අරමුණ ඉන්දියාවේ ආර්ථික සහයෝගය අපට ලබා ගැනීමය.

වත්මන් ආණ්ඩුව ප්‍රචාරය සඳහා විශේෂ පරිශ්‍රමයක් දරන්නේ නැත. පවත්නා ආර්ථික තත්ත්ව යටතේ ප්‍රචාරය හා දේශපාලන වාසිය අමතක කොට ජනතා සේවයට පමණක් සීමා වන්නට ආණ්ඩුවට සිදු වී ඇත. එහෙත් මෙහි නරකක් ද තිබේ. එනම්; ආණ්ඩුවේ වැඩසටහන් පිළිබඳ යථා අවබෝධයක් මහජනයා තුළ තහවුරු නොවීමය. මේ අඩුව නිසා මහජනයා නොමඟ ගිය අවස්ථා තිබිණි. මුළාවට පත්වූ අවස්ථා තිබිණි. කාබනික කෘෂිකර්මය ඊට හොඳ නිදසුනක් ලෙස ගත හැකිය. එම වැඩසටහනෙහි සාරය හා වටිනාකම තවම ජනතාව හොඳින් වටහා ගෙන නැත. එහි ප්‍රතිඵලය වූයේ විපක්ෂයට දේශපාලන විරෝධතා ඇති කිරීමට පාර කැපීමය. ජනතාව දැනුම්වත් නම්; විපක්ෂයට විකාර කරන්න ඉඩක් නොලැබෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ රජය හා මහජනතාව අතර මනා සබඳතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. රජය කරන දේ මහජනයා දැන ගත යුතුය. මහජනයා ඒ සම්බන්ධයෙන් දක්වන සැබෑ ප්‍රතිචාරය රජය දැන ගත යුතුය. මේ සඳහා පළමුව කළ යුත්තේ රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් හඳුන්වා දීමය. දෙවනුව ඒවා මහජනයාගේ සංවාදයට ලක් කිරීමය. තෙවනුව ඒවා සමාලෝචනය කිරීමය. මේ සියල්ලට හොඳ පිළිතුරක් ඉහත කී රැස්වීම් මාලාව තුළ ඇත. එය අනුරාධපුරයෙන් ආරම්භ වීම ද ඓතිහාසික සිද්ධියකි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුවේ මංගල රැස්වීම පැවැත් වූයේ ද අනුරාධපුරයේදීය. එය හොඳ ආරම්භයකි. අනුරාධපුරයෙන් අරඹන දේ වරදින්නේ නැතැ‘යි විශ්වාසයක් අපට ද තිබේ.

වගා හානි වූ ගොවීන්ට වන්දි දීම ආරම්භ කිරීමෙන් ඉහත කී රැස්වීම් මාලාවට තවත් ගැම්මක් ලැබෙනු ඇත. වගා හානි වූ ගොවින් හතළිස්දහසක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඒ සියලු දෙනාට අක්කරයකට රුපියල් හතළිස් දහස ගණනේ වන්දි ගෙවීම සිදුකෙරේ. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි එකසිය විසි අටක් බව ද සඳහන්ය. වන්දි ගෙවීම සඳහා භෝග වර්ග හයක් හඳුනා ගෙන ඇත. එනම්: වී, අර්තාපල්, බඩඉරිඟු, මිරිස්, ලොකු ලූනු හා සෝයා වශයෙන්ය. මේවා වාණිජ වගා ලෙස ද හැඳින්විය හැකිය. ස්වාභාවික හානි, වන අලින්ගේ වගා පාළු ආදිය ද සැලකිල්ලට ගනිමින් වන්දි මුදල් ගෙවීම සිදුවේ. මෙය ගොවියාගේ විශ්වාසය දිනා ගත හැකි හොඳම මාර්ගය වෙයි.

 
ආණ්ඩුවක් හැමවිටම තම ස්ථාවරත්වය ප්‍රදර්ශනය කළ යුතුය. එසේ නොවන කල එක පැත්තකින් ජනතා විශ්වාසය බිඳ වැටෙන අතර තව පැත්තකින් අන්තර්ජාතික සහයෝගය දුර්වල වෙයි. අස්ථාවර ආණ්ඩු සමඟ ආර්ථික ගනුදෙනු පැවැත්වීමට දියුණු රටවල් කැමැති වන්නේ නැත. එබඳු රටවලට ආයෝජකයන් ආකර්ෂණය වන්නේ ද නැත. අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා හැටනව ලක්ෂයකගේ ඡන්දය භාවිත වී ඇති බවය. ඒ හැටනව ලක්ෂයම යළිත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව වටා පවුරක් සේ ගොඩනඟාගත හැකිය. එය කළ හැක්කේ මහජනයා සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීමෙන් පමණි. අප ජනතාව හමුවට යා යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර කළ කතාව මෙහිදී යළි සිහිපත් කිරීම වටී.

ජනාධිපතිවරයා මෑතක කළ කතාවකදී කියා සිටියේ තමන් ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බවය. ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ පොරොන්දු පත්‍රය ‘සෞභාග්‍යයේ දැක්ම’ ලෙස හැඳින්විය හැකිය. කොවිඩ් වසංගතය තුළ වුව එය ක්‍රියාත්මක වෙයි. ආණ්ඩුව නියම පීල්ලට වැටී ඇති බැවින් සෞභාග්‍යයේ දැක්ම වේගවත් ගමනකට මුල පුරනු ඇත.

Read 239 times