පොලීසිය කවදත් සමාජයට විවාදාපන්න මාතෘකා සපයන ආයතනයකි. පොලීසිය අතින් සිදුවන හොඳ සහ නරක දෙවර්ගයම මාධ්‍යයට ප්‍රවෘත්තිය. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි යන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නම් වූ බුදු වදන ආදර්ශ පාඨය කොටගෙන ක්‍රියාත්මක වන පොලීසිය සැබැවින්ම ධර්මයේ හැසිරෙන්නේද යන්න මේ වනවිට සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. ඒ අතර අපේ පොලීසිය සෙසු රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු මෙන්ම දේශපාලන හස්තයට යටත් වී තිබෙන බවට වන කදිම සාක්ෂියක් පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.
මෙම කතා පුවත එළියට පැමිණියේ එම සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හමුවේදීය. එකී මැති - ඇමැති හමුව පැවතියේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමාගේත් ආණ්ඩුවේ දෙවැනියා වන අගමැතිවරයාගේත් ප්‍රධානත්වයෙනි. එහිදී සබරගමුව පළාතේ පොලීසියකට ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු හා ඇමැතිවරියක අතර මතගැටුමක් හටගැනිණි. මෙම සංවාදයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් මෙන්ම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේද මතය වූයේ පළාත්බද පොලීසිවලට ස්ථානාධිපතිවරුන් පත්කිරීමේදී පළාතේ මන්ත්‍රීවරයාගේ අභිමතය ද විමසා එකී පත්කිරීම් සිදු කළ යුතු බවයි. යථාර්ථය එය නම් තවදුරටත් මෙරට අපක්ෂපාතී ස්වාධීන පොලිස් සේවාවක් පවතී යැයි කාට නම් කිව හැකිද?
පවත්නා වාර්තා අනුව දිවයිනේ පොලිස් ස්ථාන හාරසිය අසූ පහක් පමණ ක්‍රියාත්මකය. ඇතැම් මන්ත්‍රී කොට්ඨාසවල පොලිස් ස්ථාන තුන හතරක් පවතී. පසුගිය කාලයේ අපට අසන්නට දකින්නට ලැබුණු සමහර සිදුවීම්වලදී ජනතාව පොලීසිවල ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමද කැපීපෙනුණි. අනෙක් ආයතනවල මෙන්ම පොලීසියේද විනය පිරිහී තිබෙන බවට වන සාක්ෂි විටින් විට මාධ්‍ය මගින් වාර්තා විය.
නෑම ආයතනයකට ස්වයං ගරුත්වයක් සහ විනයක් තිබිය යුතුය. විනයක් නැති ආයතනයකට පැවැත්මක්ද නැත. පළාතේ දේශපාලන බලවතාගේ කැමැත්ත සහ ආශීර්වාදය මත පත්කෙරෙන පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් යුක්තිය, සාධාරණය හා විනය අපේක්ෂා කළ හැකිද යන්න ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනා කළ යුතුය.
මේ කරුණ සනාථ කරන්නට අපට ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කරන්නටද පුළුවන. මේ දිනවල කුඩු පුරයක් බවට පත්ව ඇති, කේරල ගංජා වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේද කේන්ද්‍රස්ථානයක් වන දකුණු පළාතේ වෙරළබඩ සංචාරක පුරවරයක්ද වන නගරයක පොලිස් ස්ථානාධිපතිවරයා පත්වූයේ පළාතේ දේශපාලන බලධරයාගේ බලවත් නිර්දේශය බවට චෝදනා එල්ලවිය. ඔහු ගැන මාධ්‍යයෙන් එල්ල වූ චෝදනා මෙන්ම පොලිස් මූලස්ථානයට ලැබෙන පැමිණිලිද කෙළවරක් නැත. එහෙත් පොලීසියේ පරිපාලකයන්ට මොහුට ස්ථාන මාරුවක් හෝ දීමට බලයක් නැත්තේ යට කී දේශපාලන බලධරයා ආණ්ඩුවේ බලවතකු නිසා බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති කතාවකි.
මෙම සටහන සඳහා තොරතුරු සම්පාදනය කර ගැනීම පිණිස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සමඟ අප කළ කතාබහකදී අනාවරණය වූයේ නීති පොතක වගන්ති නිසියාකාරව කියවාගන්නට පවා නොහැකි විධිමත් ලෙස නීතිමය ලේඛනයක් හෝ පැමිණිල්ලක් ගොනුකර ගන්නට නොදන්නා පොලිස් ස්ථානාධිපතිවරුන් රාශියක් දේශපාලන නිර්දේශ මත පත්ව සිටින බවයි. මොවුන් මෙලෙස පත්වීම් ලැබූ පසු සේවය කරන්නේ පොලීසියට නොව ඔහු පත් කළ දේශපාලනඥයාටය. එබඳු දේශපාලන ගැත්තන් කරන විනය විරෝධී කටයුතු ගැන පළාතේ උසස් පොලිස් නිලධාරීහු පවා මුනිවත රකිති. ඊට හේතුව දේශපාලන ගැත්තකුට එරෙහිව පියවර ගන්නට යාම තමන්ගේ වෘත්තීය සෞඛ්‍යයට හොඳ නැති නිසාය.
තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මැති ඇමැතිවරුද තම කොට්ඨාසයන්හි පොලිස් ස්ථානවලට තමන්ට අභිමත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නට සටන් කිරීම පුදුමයට කරුණකි. පොලීසිය සම්බන්ධ පත්කිරීම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිවරයා ප්‍රමුඛ පරිපාලන බලධරයෝ සිටිති.
එසේ සිටියදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමන්ට ඕනෑ ස්ථානාධිපතිවරුන් පත් කරන ලෙස කියමින් විෂය භාර අමාත්‍යවරයා සමඟ සටන් කරති. පසුගිය කාලයේ එවැනි එක් නිර්දේශයක් ක්‍රියාත්මක නොකිරීම ගැන උරණ වූ එක්තරා කඳුකර පළාතක මහජන නියෝජිතයකු තමන්ගේ මිනිසුන් පාරට බස්සවා තමන් කියන ස්ථානාධිපති පත් කරගන්නට සටනක් ඇරඹීය. මෙවැනි පසුබිමක රටේ විනයක් ඇති පොලීසියක් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අපි වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කරමු.
පොලීසියේ අද පවත්නා තත්ත්වය පසුගිය දශක දෙක තුනක් තිස්සේම රට පාලනය කළ සෑම ආණ්ඩුවක් විසින්ම ටිකෙන් ටික වර්ධනය කළ බව ප්‍රසිද්ධ කරුණකි. තත්ත්වය ඉතාම නරක අතට හැරෙද්දී පොලිස් සේවාව පාලනය සඳහා ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කෙරිණි. එහෙත් දැන් එම කොමිසමේ බලතලද දේශපාලනඥයන් විසින් අත්පත් කරගෙන සිටින බව පැහැදිලිය.
රටේ සමාජ අසාධාරණය, අපරාධ වැඩිවීම ඇතුළු බොහෝ අයහපත් ප්‍රවණතා වර්ධනය වූයේ විනය පිරිහුණු අය විසින් කරන විනය පාලනය නිසාය. එබැවින් දැන්වත් රටේ පොලීසිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන තත්ත්වයට පත්කළ යුතුය. පොලීසියට ඔවුන්ගේ ආදර්ශ පාඨය අනුව ධර්මයේ හැසිරෙන්නට හැකිවන්නේ එවිටය. එසේ නොකර පොලීසිය තවදුරටත් දේශපාලන බලධරයන්ගේ අතකොළුවක් වන්නට ඉඩහැරියහොත් එය මහා සමාජ ව්‍යවසනයකට පාර කපන බව සක්සුදක් සේ පැහැදිලිය.
ආණ්ඩුව මෙලෙස ක්‍රියා කරන විට මෙම තත්ත්වය සාරගර්භ ලෙස විවේචනය කරන්නට අපේ විපක්ෂය සැදී පැහැදී සිටියි. එහෙත් ඔවුන්ට ආණ්ඩු බලය ලැබුණු දාට ඒ අය ගමන් කරන්නේද පැරැණි පීල්ලේම බව පසුගිය ආණ්ඩු දෙක තුනක කටයුතු පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව හඳුනාගන්නට පුළුවන. එනිසා පොලීසිය ‘පොලිෂ්’ කොට එය විධිමත් සහ දීප්තිමත්, විනයගරුක රාජ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා දැන්වත් සමාජයේ කිසියම් කථිකාවක් ගොඩනැගිය යුතුය. එය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කාර්යභාරයයි.