Friday, 01 April 2022 10:21

බිම්ස්ටෙක් හොඳ අවස්ථාවක්

 

ශ්‍රී ලංකාව තමන්ගේ දිගුකාලීන මිතුරකු බව ද මිතුරාට සහයෝගය දැක්වීමට තම රාජ්‍යය නිසඟයෙන්ම බැඳී සිටින බව ද බිම්ස්ටෙක් පස්වන සමුළුවට සහභාගි වූ බංග්ලාදේශ නියෝජිතයා කියා සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය නිසා බිඳවැටුණු කලාපීය ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා බිම්ස්ටෙක් රටවල් උපරිම සහයෝගයකින් ක්‍රියා කළ යුතු බවය. එලෙසම කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා ද කලාපීය රටවල් ඒකාබද්ධ පරිශ්‍රමයක යෙදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය බිම්ස්ටෙක් නායකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම ද පස්වන බිම්ස්ටෙක් සමුළුව කොළඹදී පැවැත්වීමට ලැබීම ද අපට ලැබුණු මහඟු අවස්ථාවක් සේ සැලකිය හැකිය. පස්වන සමුළුව ගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද වසංගත තත්ත්වය නිසා එය කල් දැමීමට සිදු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමුළුවට නායකත්වය දෙමින් කලාපීය රටවල අවධානය ඉතා වැදගත් විෂය ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි යොමු කිරීම විශේෂත්වයක් සේ සැලකිය හැකිය. බිම්ස්ටෙක් රටවල් හත මුලින්ම සංවාදයට ගෙන තිබුණේ බෙංගාලබොක්ක ආශ්‍රිතව මතුවන ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නය. එහෙත් අද එහි විෂය පථය ඊට වඩා පුළුල් වී ඇත.

ගෙවී ගිය වසර දෙක තුළ බිම්ස්ටෙක් රටවල්වල ආර්ථිකයන් සැලකිය යුතු පසුබෑමකට ලක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතයයි. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයක් සටහන් කරගෙන ඇත්තේ බංග්ලාදේශය පමණි. ගිය වසරේ එහි ආර්ථික වෘද්ධිය 6.3%ක් ලෙස සටහන් වී තිබිණි. ඉන්දියාව, තායිලන්තය යන රටවල් පවා අපේක්ෂිත ආර්ථික වර්ධනයට ළඟා වූයේ නැත. නේපාලය, ශ්‍රී ලංකාව, භූතානය වැනි රටවල ආර්ථික වර්ධනය පහළ මට්ටමක පැවතිණි. මේ අතර, ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයකට මුහුණ දී ඇත. සංචාරක කර්මාන්තය කඩාවැටීම, විදේශීය රැකියා අහිමිවීම හා ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති ද ඒ කෙරෙහි බලපා ඇත. එහෙත් කලාපීය රටවල සහයෝගය මත මේ ගැටලුව ඉතා ඉක්මනින් විසඳාගත හැකි යැයි විශ්වාසයක් ඇතිකර ගත හැකිය.

 

ඉන්දියාව හා බංග්ලාදේශය මේ මොහොතේ ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය දෙමින් සිටිති. බංග්ලාදේශය ඇ. ඩො. මි. දෙසිය පනහක ණය මුදලක් ලබා දුන් අතර, තවත් ඇ. ඩො. මි. දෙසිය පනහක ණය මුදලක් දීමට එකඟ වී ඇත. ඉන්දියාව ඇ. ඩො. මි. දහසක ණය මුදලක් දීමට පියවරගෙන ඇත. මේ වන විට දෙරටේ වෙළෙඳාම 40%කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වී ඇත. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රධාන වෙළෙඳපොළ ඉන්දියාව යැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. කෝටි සියයකට වැඩි විශාල පාරිභෝගික සමාජයකින් යුතු ඉන්දීය වෙළෙඳපොළ ජය ගත හැකි නම්, අපේ ආර්ථිකය ඉතා ඉහළ මට්ටමකට ගෙන යෑමට එය ප්‍රමාණවත්ය. ඉන්දියාවේ සහයෝගයකින් තොරව කලාපීය වෙළෙඳාම සාර්ථක කරගැනීමේ හැකියාවක් ද නැත. ඒ අනුව ඉන්දියාවේ හොඳ හිත ඉතා වැදගත් වෙයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ සමුළුව අමතමින් ඉතා වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළේය. ඒ අතර ප්‍රධාන වන්නේ බලශක්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවය. කලාපීය බලශක්ති අර්බුදය විසඳීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් මෝදි මහතා කලාපයට වැදගත් වන බලශක්ති බෙදාහැරීමේ ජාලයක් ඇති කළ යුතු බව අවධාරණය කළේය. බිම්ස්ටෙක් රටවල් හතම බලශක්තිය අතින් අඩු-වැඩි අර්බුදයක හිර වී සිටිති. ඉන්දියාව වරින්වර පස් වතාවකදී ඉන්ධන මිල ඉහළ දැමූ අතර, ඊට මහජන විරෝධ මතු වී ඇත. නේපාලය විදුලිය සැපයීමේ අර්බුදයකට වරින්වර මුහුණ දෙයි. එය එරටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපායි. කලාපීය රටවල සහයෝගය මත මේ සඳහා විසඳුම් මාර්ගයක් සපයා ගත හැකිය.

බිම්ස්ටෙක් රටවල් හතම සම්පත් අතින් පොහොසත් රාජ්‍යයන් ලෙස සැලකිය හැකිය. නේපාලයේ ජල සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට ගත හොත් රටවල් ගණනාවකට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කළ හැකි යැයි බොහෝදෙනා විශ්වාස කරති. තායිලන්තයේ, ඉන්දියාවේ, නේපාලයේ හා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා ඉහළ මට්ටමකට ගෙන යෑමේ ශක්‍යතා පවතී. එහෙත් සංචාරක කර්මාන්තයෙන් ප්‍රමාණවත් විදේශ විනිමයක් උපයා ගන්නේ තායිලන්තය පමණි. එය ද කොවිඩ් සමය තුළ පහළ ගියේය. මේ රටවල් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කළ හොත් කලාපීය සංචාරක කටයුතු මීට වඩා වර්ධනය වනු ඇත. බිම්ස්ටෙක් සමුළුව ඔස්සේ රටවල් හතේම ආර්ථික වර්ධනයට වැදගත් වැඩ කොටසක් ඉටු කළ හැකිය.

බංග්ලාදේශය යනු ස්වාභාවික විපත්වලින් ද දුප්පත්කමින් ද බෙහෙවින් පීඩාවට පත්ව සිටි රාජ්‍යයකි. වරෙක බංග්ලාදේශය හැඳින්වූයේ ආසියාවේ කඳුළ හැටියටය. එවකට ලොව දුප්පත්ම රටවල් විස්ස අතර බංග්ලාදේශයේ නම ද සටහන් විය. එහෙත් කෙටි කාලයක් තුළදී බංග්ලාදේශය මුළුමනින්ම වෙනස් කිරීමට එරට නායකයන්ට හැකි විණි. අද ලෝකයේ නැඟී එන ආර්ථිකයන් පහෙන් එකක් ලෙස බංග්ලාදේශයට කීර්ති නාමයක් තිබේ. එරට ආර්ථිකය ශක්තිමත්ය. කොවිඩ් සමය තුළ පවා වාර්ෂික ආර්ථික වෘද්ධිය 6% ඉක්මවා සිටින්නට වැඩ කළ ආකාරය එරට නායිකාව සමුළුවේදී පෙන්වා දුන්නාය. බංග්ලාදේශය රට වසා දැමුවේ නැත. අවශ්‍ය ප්‍රදේශ පමණක් වසා දැමුවේ ඉතා කෙටි කාලයකට පමණි. රටේ කර්මාන්ත වහා වැඩ ආරම්භ කළේය. ඇඟලුම් කර්මාන්තය නැවතුණේම නැත. වැඩ වර්ජන හා විරෝධතා පැවැත්වීමට ද ඉඩක් තිබුණේ නැත. බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ දේවල් උගත හැකිය.

Read 261 times