බෙලේ ගුනෙස්, උපන්නේ දුප්පත් පවුලකය. ඇගේ ළමා කාලය දුප්පත්කමින් හා අමිහිිරි අත්දැකීිම් වලින් පිරී තිබිණ. ඇය දරුවන් අට දෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සිය වූවාය. ඇගේ පියා ගල්වඩුවෙකු වූ අතර මව රැකියාවක් නොකළාය. ඉතින් මේ විශාල දරු පවුලට, දුප්පත්කමින් දැඩි ලෙස පීඩා විදින්නට සිදු විය.
මේ දුෂ්කර ජීවිතය වෙනස් කරගන්නට බෙලේගේ අක්කාට ලොකු උවමනාවක් තිබිණ. ඒ නිසා ඇය තම උපන් රට වූ නෝර්වේ අත්හැර, රැකියාවක් සොයාගෙන ඇමරිකාවට ගියාය. යන්තමින් වයස සම්පූර්ණ වූ ගමන්ම බෙලේද අක්කා ගිය මගම ගියාය.
ඇමරිකාවේ චිකාගෝ හි දී හදුනාගත් අයෙකු සමග 1884 වසරේදී ඇය විවාහ වූවාය. ඒ විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු ලැබිණ. ඒ දරු දෙදෙනාම අඩු වයසින් මිය ගියහ. මරණ පරික්ෂණ වලදී වාර්තා වූයේ ඔවුන් මියගොස් ඇත්තේ මහ බඩවැල ඉදිමීමේ රෝගයෙන් බවය.
බෙලේ ඒ දරු දෙදෙනාගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගත්තාය.
ඉන්පසු ඇය තවත් දරුවන් කිහිප දෙනෙකු දරුකමට හදා ගන්නට ගත්තාය.
1900 අවුරුද්දේදී ඇගේ සැමියාද මිය ගියේය. ඔහුගේ මරණය සිදුව ඇත්තේ වස දීමකින් විය හැකි යැයි එක් වෛද්යවරයෙකු සැක පහළ කළ නමුත්, ඔහු මිය ගියේ හෘදයාබාධයකින් යැයි ඔවුන්ගේ පවුලේ වෛද්යවරයා සහතික කළේය.
සැමියා වෙනුවෙන් යොදා තිබුණු ජීවිත රක්ෂණ ඔප්පුවේ වන්දි මුදල ලබා ගත් බෙලේ, ඒ මුදලින් ඉන්ඩියානා ප්රාන්තයේ ලා පොර්ටෙ ප්රදේශයෙන් ගොවිපොලක් මිලදී ගත්තාය.
1902 වසරේදී ඇය නැවත විවාහ වූවාය. එහෙත් වැඩි කල් යන්නට කලින් ඔහුද මිය ගියේය. ඔහුගේ මරණය සිදුවූයේ ගොවිපොලේ යන්ත්රයක කොටසක් ඔහුගේ හිස මතට කඩාගෙන වැටීමෙන් සිදුවූ හදසි අනතුරක ප්රතිඵලයක් ලෙසටය. බෙලේ ඔහුගේ ජීවිත රක්ෂණ මුදලද ලබා ගත්තාය.
දෙවන සැමියාගේ මරණයෙන් පසුව, බෙලේගේ ජීවිතය ඒකාකාර චරියාවකට යොමු විය. තමාට සුදුසු සැමියෙකු සොයා ගැනීම සදහා ඇය පුවත්පත් වලට දැන්වීම් දැම්මාය. ඒ මංගල යෝජනා වල ප්රතිඵලයක් ලෙසින් ඇගේ ගොවිපොල වෙතට බොහෝ පිරිමි ඇදී එන්නට වූහ. ඒ හැම කෙනෙකුටම ඇය කී එක් දෙයක් විය. තමන් සමග විවාහයක් සිදු වෙන්නට නම්, දෙදෙනා අතර හොද විශ්වාසයක් ගොඩ නැගිය යුතුය. ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ ඇගේ ණය තුරුස් ගෙවා දමන්නට ඔහු විසින් මුදල් වියදම් කරන්නේ නම් පමණකි. ඉතින් බෙලේගේ විශ්වාසය දිනා ගන්නට උවමනා වූ අය බෙලේගේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කළහ.
එහෙත්විශ්වාසය දිනාගනු වෙනුවට සිදුවූයේ ඔවුන් අතුරුදහන් වීමය.
“මේ පිරිමි කවුරුවත් විශ්වාස කරන්න බෑ.. බදිනවාම කියලා පොරොන්දු වෙලා ඉදලා හිටි ගමන් අතුරුදහන් වෙනවා...” ඔවුන් ගැන අසන හිත මිතුරන්ට හා අසල්වැසියන්ට බෙලේ කීවේ එහෙමය. ඒ මිනිසුන්ගේ ඥාතීන් බෙලේගෙන් ඒ අය ගැන විමසූ විට බෙලේ කීවේ වෙනත් කතාවකි. බෙලේ ඔවුන්ට කීවේ ඒ අදාල කෙනා, නෝර්වේ, ඔරිගොන් හෝ සෙන්ට් ලුවිස් වෙත ගිය බවය.
එසේම ඇය හදා ගන්නට ගත් එක් දියණියකත් පෙනෙන්නට නොසිටියාය. ඇය කැලිෆෝනියාවේ තිබෙන නේවාසික පාසැලකට ඇතුලත් කළ බව බෙලේ අසල්වැසියන්ටත් ඥාතීන්ටත් කීවාය.
1908 අවුරුද්දේ අප්රේල් විසි අට වැනිදා හිටි හැටියේම, බෙලේගේ ගොවිපොල නිවාසය ගිනිගත්තේය. එහි උන් ගොවිපොල සේවකයින්ට නම් පණ බේරාගෙන පැනගන්නට පුළුවන් වී තිබිණ. එහෙත් බෙලේත් ඇගේ දරුවනුත් ගින්නට හසුවී තිබිණ. ගින්න නිවී ගිය පසුව, නිවසේ බිම් ගබඩාවේ තිබී මළ සිරුරු හතරක් හමු විය. ඉන් තුනක් කුඩා දරුවන්ගේය. එකක් වැඩිහිටි ගැහැණියකගේය. විස්මයට කාරණය වූයේ, ගැහැණු මල සිරුරේ හිස අතුරුදහන් වී තිබීමය. ඒ නිසා එය කාගේදැයි අදුනා ගන්නට නොහැකි විය.
ගොවිපොලේ සේවය කළ හැම කෙනෙකුගෙන්ම පොලිසිය ප්රශ්න කළේය. එයින් එක් සේවකයෙකු කීවේ අමුතු කතාවකි.
“බෙලේ නෝනා මට පවරලා තිබ්බේ වීල් බැරෝවෙන් කුණුරොඩු ගේන එකයි, ඒ කුණුරොඩු ගොවිපොලේ පිටිපස්ස කෙළවරේ තැන් තැන් වල විසිරුවන එකයි. බෙලේ නෝනා කියන තැන් වල තමයි මට කුණුරොඩු විසිරුවන්න සිද්ධ වුණේ..”
මේ අමුතු සාක්ෂියෙන් කෝරලය භාර මුලාදෑනියාගේ සැකයඇවිස්සිණ. වහාම ඒ ප්රදේශ පරික්ෂා කරන්නැයි ඔහු විසින් නියෝග නිකුත් කරන ලදී. ගොවිපොලේ පසුපස කොටස හාරා බලන්නට පටන් ගත් විට එක් ඇටසැකිල්ලක්හමු විය. ඉන්පසු තවත් ඇටසැකිල්ලක්.. එයිනුත් පසුව තවත් ඇටසැකිල්ලක්.. මේ අයුරින් බෙලාගේ ගොවිපොලෙන් හමුවුණු මිනිස් ඇටසැකිළි සංඛ්යාව හතලිහකට වැඩි විය. මිනිස් ජීවිත හතලිහකට වැඩි සංඛ්යාවක් බෙලා අතින් කෙළවර වී තිබිණ. ඒ හතලිස් දෙනා අතර, ඇයව විවාහ කර ගැනීමට පැමිණි පිරිමින්ගේ පමණක් නොව, කැලිෆෝනියාවේ නේවාසික පාසැලකට ගියා යැයි කියූ ඇගේ දියණියගේ ඇටසැකිල්ලත් තිබිණ.
ඉතින් බෙලාට සිදු වූයේ කුමක්ද.?
අර හමුවූ ගැහැණු මලසිරුර කාගේද.? එය බෙලාගේ නොවේ යැයි කියැවිණ. ඒ සිරුර බෙලාගේ සිරුරට වඩා උසින් හා මහතින් අඩු යැයි ඇයව දන්නා අය මෙන්ම වෛද්යවරුද පැවසූහ. එසේම අවසන් දින කිහිපයේදී බෙලා තමන්ට වඩා උසින් හා මහතින් මදක් අඩු ආගන්තුක ගැහැණියක් හා පයුරු පාසානම් පැවැත්වූ බවද වාර්තා විය.
ගින්න ඇති වෙන්නට දින කිහිපයකට පෙර, බෙලා තමන්ගේ බැංකු ගිණුම් වල තිබුණු හැම සතයක්ම ආපසු ලබාගෙන ඇති බව, ඇගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී දැනගන්නට ලැබිණ.
ගොවිපොලේ ගින්නෙන් ඇය මියගියේ නැති බව නම් සහතික විය. එසේ නම් බෙලාට සිදුවූයේ කුමක්ද.?
ඒ ගැන කිසිවක් ඉන්පසු අහන්නට ලැබුණේ නැත.
එහෙත් ඉන්ඩියානා ප්රාන්තයේ බිහිසුණුම මිනීමරු ගැහැණිය ලෙසින් බෙලාගේ නම නම් ඉතිහාසයට එකතු විය.
නිම්මි මුදිතා හේරත්
සති අග අරුණ