Thursday, 28 March 2024

දේශපාලනඥයාගේ වාහන භාවිතය

Posted On Thursday, 21 September 2017 05:25

2017/09/13 – ලංකාදීප

වාහන භාවිතාව සම්බන්ධ ආකල්ප වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එක පැත්තකින් වාහනයක අයිතිය අත්හරිමින් ඇත. අනෙක් පැත්තෙන් විසි එක්වැනි සියවසේ වාහනවල තාක්ෂණය සූක්ෂම පරිවර්තනයකට ලක් වී තිබේ. ගමනක් යන්නට වාහනයක් අයිතිකරගත යුතු

නැති අතර එම වාහනයේ ඉන්ධන පරිසර හිතකාමී සහ ආර්ථිකයට වාසිදායක එකකි. මෙකී වෙනස්කම් සමාජයට හදුන්වාදීමේ පුළුල් වගකීමක් මෙරට දේශපාලන නායකයන්ට ඇත. නමුත් මෙරට දේශපාලන නායකයෝ නිල වාහන භාවිතාවේ දී සමාජයට ආදර්ශවත් නොවෙන අතර බලවත් විවේචනයට ද ලක්ව තිබේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ වාහන භාවිතය ඉතා නරක බව සඳහන් කළ යුතුය. ඡන්දය ඉල්ලන කාලයේ සාමාන්‍ය වාහනයකින් එහා මෙහා යන අය බලයට පත් වූ වහා පාරේ ඉගිල්ලෙන්නේ අති සුඛෝපභෝගී වාහන වලින්ය. දියුණුවෙමින් පවතින රටකට නොගැලපෙන තරම් පහසුකම් සහිත මෙම වාහන සමහරවිට වෙඩි නොවදින ඒවාය. අති බලසම්පන්න එන්ජින් ධාරිතාවයක් සහිත හෙයින් ඉන්ධන ලීටරයකින් ගමන් කළ හැකි දුර ඉතාමත් සීමිතය. බලයට පත්වන දේශපාලනඥයන් විශාල වටිනාකමක් ඇති වාහනයක ගමන් කළ යුතු ඇයි? රටට ඔරොත්තු නොදෙන තරම් ඉන්ධන පිරිවැයක් හා වාහන නඩත්තු වියදමක් දේශපාලන නායකයන් වෙනුවෙන් වෙන් කළ යුතු මන්ද?

මෙකී සියළුම දෙනාට පහසුකම් සපයන්නේ ආණ්ඩුවයි. තමන්ගේ වියදමෙන් ගමන් බිමන් කළ යුතු යැයි ප‍්‍රතිපත්ති තීරණයක් ගතහොත් දේශපාලනඥයන් මෙම සුඛෝපභෝගී පාවෙන මාලිගා පරිහරණය අත්හරිනු නිසැකය. ආණ්ඩුව නිල වාහන වියදම් වලට අවශ්‍ය ධනය සොයා ගන්නේ ජනතාවගෙන් අය කරන බදු වලින්ය. බදු පිට බදු පනවා ජනතාවගෙන් සොයා ගන්නා මුදලින් දේශපාලනඥයන්ට ඉතාම වටිනා වාහන සැපයීම යුතුකමක් යැයි පොදු ජනතාව කල්පනා කරනවා නම් ප‍්‍රශ්නයක් නැත. නමුත් තමන්ට බදු පනවා දේශපාලනඥයන්ගේ වාහන වලට අති විශාල වියදමක් දරනවාට සාමාන්‍ය ජනතාව අතරින් කිසිවෙකු කැමැති නැත. එය හොඳටම දන්නා නමුත් මෙරට දේශපාලනඥයන්, විශේෂයෙන් දේශපාලන නායකයන් පාර්ලිමේන්තු වසරප‍්‍රසාද බව දක්වමින් නිල වාහන වලට සීමාවකින් තොරව මහජන මුදල් වියදම් කිරීම යුක්ති සහගත නැත.

බලයට පත්වන මෙරට දේශපාලනඥයන්ට රට ගැන කැක්කුමක් තිබිය යුතුය. මහජන ඡුන්දයෙන් තේරී පත්වෙන්නේ ජනතා මුදලින් සැප විඳීන්නට නොවේ. පවතින දුෂ්කරතා මැඩ රට දියුණු කර ජනතාවගේ ජීවිත යහපත් කරනු සඳහාය. ජනතාවගේ පැවැත්ම උසස් කරනු වෙනුවට ජනී ජනයා මත තව තවත් බදු පනවා අති විශාල වටිනාකමක් සහිත වාහනයකින් ගමන් කිරීමෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?

ලෝකයේ සමහර රටවල නිල වාහනය නිල රාජකාරි වෙනුවෙන් පමණකි. නිල කටයුතු වලට බැහැර ගමන් බිමන් තමන්ගේ වාහනයෙන් හෝ පොදු ප‍්‍රවාහන පහසුකම් වලින් ප‍්‍රයෝජනයට ගන්නා නායකයෝ සිටිති. එම නායකයන්ට ජනතාව ගරු කරන්නේ මහ ඉහළින්ය. නායකයාගේ සරල ආදර්ශවත් ජීවිතය එම රටවල ජනී ජනයා ද භාවිතාවට ගන්නා අතර එය රටක වටිනාකම් ඉහළ නංවන්නට හේතුවකි. තවත් රටවල බලයට පත්වන දේශපාලන නායකයෝ වාහන භාවිතා කරන්නේ ප‍්‍රතිපත්තියකට අනුවය. රජයෙන් සපයන සාමාන්‍ය වාහන භුක්ති විඳීන අතර ධනවතුන් සුපිරි රියවල ගමන් කරද්දී මහජන නියෝජිතයන් සුළු වාහනයක ගමන් කිරීම අවමානයක් යැයි කිසිසේත් සිතන්නේ නැත. මෙය ආකල්ප ප‍්‍රශ්නයකි. නායකයෙකු ගේ බලය හා භාවිතා කරන වාහනය එම බලයේ තරම මනින්නට සංකේතයක්  බවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පමණක් දැයි සැක සිතේ.

අලූත් තාක්ෂණය අනුව විශාල ඉන්ධන වියදමක් නැති, විදුලිය බලය ප‍්‍රයෝජනයට ගත හැකි හොඳ වාහන නිපදවා තිබේ. අඩුම තරමින් ඒවා පරිහරණයෙන් ආදර්ශයක් දෙන්නට දේශපාලන නායකයින්ට වගකීමක් තිබේ. රට තුළ පරිවර්තනයක් කළ හැක්කේ ආකල්ප වෙනස් කිරීමෙන්ය. ඉහළ පැලැන්තියේ නායකයන් ගේ ආදර්ශවත් ජීවිතවලට මෙරට පවතින දුර්වල පැවැත්ම වෙනස් කළ හැකිය. නමුත් නොකරන්නේ එයයි.

Read 1310 times