ජනතාවගේ පැවැත්ම ගැන අවධානය නොකරන ජනතා නියෝජිතයෝ ස්වාර්ථය තකා තීන්දු ගන්නා බව මෑත කාලය තුළ නිරීක්ෂණය කළ හැකි විය. ජන සම්මතවාදය එය නොවන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට හානියකි.
ශ‍්‍රී ලාංකේය රටවැසියන් ඉල්ලන්නේ මොනවාද? දේශපාලනඥයන්ට ජනතා අවශ්‍යතා ගැන කැක්කුමක් නැත. බලයට පත්වන දේශපාලනඥයා බලය ආරක්ෂා කර ගැනීමට වෑයම් කරති. අහිමි වූ පිරිස මාන බලන්නේ ඕනෑම උපක‍්‍රමයකින් බලයට පත්වීමය. බලයේ ඉන්නා කණ්ඩායම ව්‍යවස්ථාව හා එහි වගන්ති තමන්ට රිසි පරිදි වෙනස් කරති. අලූත් නීති පනවන අතර ප‍්‍රතිවාදී දේශපාලන පක්ෂ දුර්වල කර ඔවුන් ගේ අභිලාශ විනාශ කිරීමට වැර දරති. මෙකී පසුබිම අතරවාරයේ බලයේ ඉන්නා පක්ෂ තම කණ්ඩායම ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන මහජන මුදලින් මහත් වරප‍්‍රසාද සපයන්නට පටන් ගෙන තිබේ. බදු රහිත වාහනවල සිට වැඩි වැටප් හා දීමනා, නිල නිවාස, අතට මුදල්, කාර්යාල කුලී යනා දී වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂය වාසි අත්පත් කරගන්නා අතර ඒවා ගැන අවධානයෙන් සිටින පලාත් සභා සහ පලාත් පාලන මහජන නියෝජිතයෝ ද ජනතා මුදල් රිසි පරිදි ස්වකීය සැප පහසුව සඳහා වියදම් කරන්නට පටන්ගෙන තිබේ. අනවශ්‍ය විදේශ සංචාර, අලූත් යාන වාහන, කාර්යාල, ඒවායේ අභ්‍යන්තර පහසුකම් සහ පුටු මේස පවා මිල දී ගන්නට තැත් කරන අවස්ථා මාධ්‍ය අනාවරණය කර ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපත් පාලනයක් අපේක්ෂාවෙන් තමන්ගේ ඡන්දයෙන් නියෝජිතයන් පත් කරගත් පොදු ජනතාව ගේ අරමුණ බිඳ වැටී තිබේ. ජනතාවගේ උවමනාව වූයේ තම නායකයන්ට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දීම නොවේ. රට දියුණු කර සැනසිලි දායක රටක් ගොඩනගා ගැනීම අහිංසක අපේක්ෂාව විය. තම දරුවන්ගේ අනාගතය සාක්ෂාත් කරගැනීම එකම බලාපොරොත්තුව වූ බව සැකයක් නැත. මෙරට දේශපාලනඥයන් ජනතාවගේ සිහින වලට නිගාවක් වී ඇත්තේ ඇයි?
ජනතාවට පොදු ගමනා ගමන පහසුකම් ප‍්‍රමාණවත් නැත. එදිනෙදා ගමන බිමන ඉතාම දුෂ්කර එකකි. බස් රථ හා දුම්රිය සේවා පවත්වාගෙන යන කර්කශ ස්වභාවය වෙනස් කරන්නට ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ මන්ද? සෞඛ්‍ය පහසුකම ඉතා දුර්වලය. රජයේ රෝහල් පද්ධතියේ නිතර අර්බුද පවතී. ඒවායේ අඩුපාඩු එමටය. දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ගැන තෘප්තියක් නැත. හොඳ පාසලක් දිනා ගැනීමට ඇති උවමනාවේ තරම ශිෂ්‍යත්ව විභාගයට ඇති තරඟයෙන් පෙනේ. ජලය හා වැසිකිලි පහසුකම් පවා රහිත පාසල් ඇතැම් ප‍්‍රදේශ වල පවතී. අධ්‍යාපන ක‍්‍රමයේ අසමානතා සමාජ අසහනය වර්ධනය කර තිබේ. ජීවන වියදම ජනතාවට ප‍්‍රශ්නයකි. අධික බදු පනවන අතර නිතර භාණ්ඩ හා සේවා මිල වැඩිවීම සාමාන්‍ය ජනතාව අපහසුතාවයකට පත් කර ඇත.
ඒවා එසේ තිබිය දී රට තුළ සාමාන්‍ය පැවැත්ම සුබදායක එකක් ද? යුක්තිය හා සාධාරණත්වය ගැන විශ්වාස බිඳ වැටී ඇත. නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාවට ප‍්‍රශ්න තිබේ. සමාජ විනය දුර්වල වී තිබේ. බලපුලූවන්කාර පිරිස ආයුධ අතට ගෙන සිටින අතර ඝාතන හා මංකොල්ල බහුලය.
අලූතින් රටක් ගොඩනගන, ජනතා අපේක්ෂා මුදුන් පත් කරන බව සඳහන් කරන ආණ්ඩු බලයට පත්වන නමුත් ජනතාවගේ ඉරණම වෙනස් වී නැත. මහජනතාව හා දේශපාලනඥයන් අතර අවබෝධය තුනී වී තිබේ. ජනතා අභිලාශ කෙරෙහි සාවධාන නොවන පාලකයන් වෙත එල්ල වූ ජන විරෝධතා මෑත කාලය තුළ ලෝකයේ නොසන්සුන්තා ඇති කළ බව මෙහි දී මතක් කළ යුතුව තිබේ. ලෝක නායකයෝ ඒවායෙන් පාඩම් ඉගෙනගෙන තිබේ. මැලේසියාව මහතීර් මොහමඞ් නැවත බලයට පත් කරගත් අතර ඔහු සැප පහසුව සීමා කර ඇත. පකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන් සිය නිල නිවසයෙන් කොටසක් පවා සංස්කෘතික මධ්‍යස්ථානයකට පවරන තීරණයක් ගෙන තිබේ. මෙකී පැති ගැනන මෙරට දේශපාලනඥයන් නොසිතන්නේ මන්ද?
අගෝස්තු 22, 2018
Milinda Prashna Uncategorized ප්‍රතිචාරයක් ලබාදෙන්න
2018/08/22 – ලංකාදීප
milinda-prashna