සමස්ත විදුලි ගාස්තුව 22%කින් අඩු වෙයි - ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 33%කින් පහළට
රාජ්‍ය නිලධාරීන්ට ඇති බලය මහජන යහපතට බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයට කරයි
වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස්
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (අපරාධ විද්‍යාව) ආචාර්ය අනූෂා එදිරිසිංහ
ළමා අපයෝජන දිනෙන් දින ඉහළ යෑම බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. විවිධ පාර්ශ්ව විසින් වරින්වර මේ සම්බන්ධව අවධානය යොමු කළ ද ළමා අපයෝජන වළක්වා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාව සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව දැඩිව පවතී. වර්තමාන සමාජයේ ළමා අපයෝජන වැඩිවීමට බලපාන හේතු, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්ව, නීතිමය තත්ත්වය සහ ළමයින්ගේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, (අපරාධ විද්‍යාව) ආචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.
l ළමා අපචාර සහ ළමා අපයෝජනය යනු එකම දෙකක් ද ?
ළමා අපචාර ළමා අපයෝජන කියන්නේ දෙකක්. බොහෝ විට මාධ්‍ය වාර්තාකරුවන් විසින් මෙය එකක් ලෙස දැක්වීම වැරැදියි. මුද්‍රිත මාධ්‍යවල දී වගේම, රූපවාහිනි මාධ්‍ය තුළත්, සැම විටම ළමයකු අපයෝජනයට ලක් වුණාම භාවිත කරන්නේ අපචාර කියන වචනයයි. ළමා අපචාර යනු ළමයින් විසින් කරන අපරාධ, වැරදිවලටයි. ළමා අපයෝජනය කියන්නේ වැඩිහිටියන් විසින් ළමයින්ට සිදු කරන කායික, මානසික, ලිංගික හිංසන හා නොසලකා හැරීම කියන එකයි. මේවා වාර්තාකරණයේදී වැදගත් වන පාරිභාෂිත පද ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
l ළමා අපයෝජන කාලෙන් කාලෙට යම් සිදුවීමකින් පස්සේ පමණක් කතා කරන, ඒත් බරපතළ ප්‍රශ්නයක් නේද?
අපි හැමදාම මේ ගැන කතා කරනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ කොටසක් මේ සඳහාම වෙන් කරල තිබෙනවා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද මේ පිළිබඳ සොයා බලනවා. මම දකින දෙයක් තමයි මේ ළමා අපයෝජන පිළිබඳ දැනුවත් පිරිස ඉතා සීමිතයි. දැනුවත් කිරීමේ වැඩසටහනකට පැමිණෙන්න කිව්වොත් හැමදාම එන පිරිසක් පමණයි සම්බන්ධ වෙන්නේ. ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පොලිසිය මඟින් සිදු කරනවා. ආසියානු අපරාධ වැළැක්වීමේ සංගමය වන අපිත් ළමා අපයෝජන වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ළමයින් ජීවත් වන ප්‍රදේශය අනාරක්ෂිත නම්, දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී අපට වගකීමක් තියෙනවා ඒ පරිසරය ගැන දරුවන් දැනුවත් කිරීමට. බොහෝ වෙලාවට මේ අපයෝජන පිළිබඳව ජනතාව අවසාන වශයෙන් චෝදනා එල්ල කරන්නේ අම්මාට, ඒක වැරදියි. මවට චෝදනා එල්ල කිරීමෙන් පලක් නැහැ. එම අවස්ථාවලදී අපි චෝදනාව එල්ල කරන්න ඕන අපරාධය සිදු කළ අපරාධකරුටයි. ළමා අපයෝජනයකදී මවට චෝදනා කිරීම මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.
බොහෝ ප්‍රදේශවල දැනුවත් කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයයි. නමුත් දැනුවත් කිරීම ඔවුන්ට අදාළ රාජකාරියක් නොවේ. ඒ රාජකාරිය පැවරෙන්නේ ළමා රක්ෂණ අධිකාරිය හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරීන්ටයි. පළමුව අනාරක්ෂිත දරුවන් සිටින තැන් හදුනාගන්න ඕනෑ ,ඒ ප්‍රදේශ, පවුල් හඳුනා ගන්න ඕනෑ. මේ සියලුම දෙනාගේ එකතුව, ප්‍රාදේශීය වශයෙන් සම්බන්ධතාවය, අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කාන්තාවන්ට හා ළමයින්ට වන අපයෝජන වළක්වා ගන්න රජය පියවර ගත යුතුමයි.
l වර්තමානයේ ළමා අපයෝජන වාර්තා වෙන්නේ අතළොස්සක ප්‍රමාණයක්, ඒවත් ලිංගික අපයෝජන පමණයි, ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ළමා අපයෝජන බොහොමයක් වාර්තා වන්නේ නැහැ. මේවා සැඟවුණු අපරාධ විදිහටයි හඳුන්වන්නේ. සිදු වන අපයෝජනවලින් වාර්තා වෙන්නේ 10%ක ප්‍රමාණයක් පමණයි. 1%ක් පමණ තමා අධිකරණයට ගිහින් අපරාධකරු බන්ධනාගාර ගත වන තැන දක්වා යන්නේ. 100% අපරාධ සිදු වුණත්, 90% මගින් හැලෙනවා. ඒවා වාර්තා කරන්නේ නැහැ. විවිධ හේතු සාධක නිසා සමහර ප්‍රදේශ ගත්තම ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. ඒවා වාර්තා කරන්නේ නෑ. මොකද ඒ දේ කරලා තියෙන්නේ ලේ ඥාතියෙක්. නැතිනම් දන්න කියන අයයි. ආරාධිතයින් කරන ලිංගික අපයෝජන අඩුයි. 2020දි ළමා අපයෝජන 50ක්ද, 2019දී අපයෝජන 34ක්ද, 2018දී අපයෝජන 24ක් ද වශයෙන් වාර්තා වෙලා තියෙනවා. (මූලාශ්‍රය ශ්‍රී ලංකා පොලිසිය කාර්ය සාධන වාර්තාව 2020) 2018 වසරට වඩා 2019 සහ 2020 වසරවලදී පියා සහ ලේ ඥාතීන් විසින් සිදු කළ ලිංගික අපයෝජන වැඩිවෙලා තිබෙනවා.
වයස අවුරුදු 16ත් 18ත් අතර 2018 වසරේ සිදුවීම් 71 වාර්තා වෙලා තියෙනවා, 2019 වසරේදී 72යි, 2020දී 51ක් වාර්තා වෙලා තිබෙනවා.
ලංකාවේ වයස අවුරුදු 16 කියන්නේ ලිංගික කැමැත්ත දෙන වයසයි. ලිංගික කැමැත්ත දෙන්න පුළුවන් වයසෙ කෙනෙක් හෝටලයක හිටියත්, පාක් එකක හිටියත් ඔවුන් අත්අඩංගුවට ගන්න බැහැ. අවුරුදු 16-18ත් අතර වයස්වල දරුවන් අපයෝජනයට ලක්වීම කොවිඩ් කාලයේදී අඩුවෙලා, අනිත් කාලයේ දී වැඩි වෙලා තිබෙනවා. වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් අපයෝජනය කැමැත්ත ඇතිව හෝ කැමැත්ත නොමැතිව වුණත් එය බරපතළ ලිංගික අපරාධයක්.
වයස අවුරුදු 16ට අඩු කැමැත්ත ඇතිව සිදු වූ අපයෝජන 2018 වසරේදී 1199ක්ද, 2019 වසරේදී 1185ක්ද, 2020දි 1290ක්ද වාර්තා වී තිබෙනවා.
ළමයින්ට කෲර ලෙස සැලකීම ද ළමා අපයෝජනයක් වෙනවා. ළමයින්ට ගහනවා, කන්න දෙන්නෙ නෑ, ළමයින්ව හිර කරල තියනවා, ළමයින්ව බැඳලා තියනවා. මේවා ළමා අපයෝජනයේ කොටස්.
l විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විවිධ ආකාරයේ ළමා අපයෝජන බහුලව සිදුවෙනවා නේද? එයට හේතුව කුමක්ද?
වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ලිංගික අපරාධ වැඩිම පළාත සබරගමුව පළාතයි. කඳුකරයේ සිදුවීම් ඉතා අඩුයි. මගේ ස්ත්‍රී දූෂණ ගැන කරපු පරීක්ෂණයේ දී රත්නපුරයේ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ළමා අපයෝජනවලට ගොඩක් හේතුවෙලා තිබුණේ ලඳු කැලෑ බහුල වීම බව නිරීක්ෂණය කර ගැනීමට හැකි වුණා. අටලුගම සිදුවීමේදි, ඒ දැරිය රැගෙන ගිහින් තිබුණේත් ලඳු කැලෑවකටයි. ඒ වගේම මානා කැලෑ ද, කඩොලාන වගේ මඩ ගොහොරු සහිත කැලෑ ස්ථානවලට දරුවෝ බලහත්කාරයෙන් ඇදගෙන යන්න පුළුවන්. ඒක එක්තරා ආකාරයක පාරිසරික සාධකයක්. අපරාධ වැඩිවීමට හේතු වන විදිහට ග්‍රාමීය ප්‍රදේශවල අවකාශය හැදිලා තියනවා.
l ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මව්පියන්ගේ නොසැලකිල්ල හා නොදැනුවත්භාවය ළමා අපයෝජනවලට සෘජුවම බලපාලා තියනවා නේද?
මාපියන්ගේ නොසැලකිල්ල කියන්නේම ළමා අපයෝජනයක්. ඒ නිසා මාපියන්ගේ දැනුවත්භාවය ඉතා වැදගත්. දැන් අපි බැලුවොත් ඕන කෙනෙක් ගාව ස්මාර්ට් ෆෝන් තියනවා. ඒවා මඟින් පුළුවන් ඩිජිටල් විදිහට මේක කරන්න. ළමා අපයෝජන වැළැක්වීමට තිබෙන ආයතන, යාන්ත්‍රණ කාර්‍යක්ෂම විය යුතුයි. ජාතික ළමාරක්ෂණ අධිකාරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා මේ ළමා අපයෝජන වාර්තා කරන්න, දැනුවත් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. ළඟ ගෙදරක ළමා අපයෝජනයක් සිදුවෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක වාර්තා කරන්න. ඒ සඳහා මිනිසුන් දැනුවත් වෙලා තිබීම වැදගත්. තමාගේ දරුවා පමණක් නෙවෙයි, සමාජයේ ඉන්න දරුවෙක් දැක්කත්, කාගේ හරි දරුවෙක් දැක්කත් සොයා බලන්න පුරවැසියන් විදිහට අපට යුතුකමක් තිබෙනවා. මේ සඳහා මාපියන්ගේ අධ්‍යාපන මට්ටම හරි වැදගත්. මාපියන් සහ පවුලේ සාමාජිකයින් නිතරම දැනුවත් වෙලා ඉන්න ඕනෑ.
l ළමා අපයෝජන පිළිබඳව මාධ්‍ය වාර්තා කරන ආකාරය නිවැරදිද? මාධ්‍ය මඟින් ළමා අපයෝජන නිතර නිතර පෙන්වීම හරහා වැරදි මඟ පෙන්වීමක් ඇතිවිය හැකියිද?
මාධ්‍ය වාර්තාකරණයේදී සෑම මාධ්‍ය ආයතනයකටම තියනවා ආචාර ධර්ම පද්ධතියක්. නමුත් මම මෑතක සිට දකින්නේ ලිංගික අපරාධ වාර්තා කිරීමේදී හා ළමා අපයෝජන වාර්තා කිරීමේදී අස්දෙක වහලා පෙන්නනවා. ඇස් දෙක වහලා පෙන්නුවත් ඔවුන් හඳුනගන්න පුළුවන්. අපයෝජනයට ලක්වු දරුවන්ගේ පින්තූර පෙන්වන එක වැරැදියි. අටලුගම සිදුවීමේදි ඒ දරුවාගේ මෘත ශරීරය විවෘතව පෙන්නුවෙ නැහැ. ඒක හොඳ දෙයක්. පිටරටවල ළමා අපයෝජනයකදි කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. වින්දිතයාගේ පැත්තෙන් ඒක පෙන්නන එක යෝග්‍ය නැහැ. සමහර සිදුවීම් ගත්තාම තව කෙනෙක්ට ඒ හරහා පෙලඹවීමක් ලැබෙන්නත් ඉඩ තියනවා. නිතර මාධ්‍ය මඟින් පෙන්වීම හරහා කෙනෙක් උත්තේජනයක් ලබන්නත් පුළුවන්. ඒ වගේම පුවත්පත් මාධ්‍යවල ළමා අපයෝජන වාර්තා කිරීමේදී ප්‍රශ්නයක් තියනවා. බොහෝ වෙලාවට ඒ ප්‍රශ්නය තියෙන්නේ සිංහල පුවත්පත්වලයි. සමහර පුවත්පත්වලට ලිපි ලිවීමේදි වචන භාවිත කරන්නේම නොගැළපෙන විදිහටයි. ඉංග්‍රීසි පුවත්පත්වල මෙම සිදුවීම් වාර්තා කිරීමේදී විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරනවා. දමිළ පුවත්පත්වල තියෙන්නේ අතරමැදි තත්ත්වයක්.
l ළමා අපයෝජන ඉහළ යෑම සඳහා මත්ද්‍රව්‍යවල බලපෑම කෙබඳුද?
මත්පැන් හා මත්ද්‍රව්‍ය තමා ලෝකයේ හැමතැනම ළමා අපයෝජනවලට බලපාලා තියෙන්නේ. පවුල් ආරවුල් ගත්තත්, කාම අපරාධ ගත්තත්, ළමා අපයෝජන ගත්තත් මේ සියල්ලටම හේතුවෙලා තියෙන්නෙ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයයි. ලෝකය පුරාම මත්ද්‍රව්‍යයන් එක්කම මෙය බද්ධ වෙලා තියෙනවා. මම කරපු පරීක්ෂණයේදී 42%ක් තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයත්, ඉතිරි 58%ක් බලපාලා තියෙන්නෙ කාලය හා අවකාශයයි. මිනිසුන් මේ කියන මත්පැන් හා මත්ද්‍රව්‍ය නිදහසට කරුණක් විදියට යොදා ගන්නවා. එසේ කිරීමට ඉඩ නොදිය යුතුයි.
l අපයෝජනයට ලක්වූ වින්දිත දරුවකු නීතියේ පිළිසරණ සොයා යෑමේදී එම ආයතනවලදී හිංසනයට ලක්වෙනවා නේද?
ඒ සඳහා නවතම ක්‍රමවේද සකස් කර තිබෙනවා. ඇත්තටම දරුවකුගෙන් අපරාධය ගැන විමසීම නුසුදුසු ක්‍රියාවක්. වින්දිත දරුවකුගෙන් ඒ පිළිබඳ විමසන්න ගියොත් ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එම දරුවාට කලන්තේ හැදෙන්න පුළුවන්, රෝහල්ගත කරන්න වෙන්න පුළුවන්, කුඩා දරුවන් නිසා ඔවුන් භීතියට පත් වෙන්න පුළුවන්. මේ නිසා ඔවුන්ට මානසික ආබාධ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. යම්කිසි දරුවකුගෙන් සිදුවීම පිළිබඳ එක වරක් අහන්න පුළුවන්, නමුත් ඒ පිළිබඳ නැවත නැවත විමසන්න බැහැ. එහෙම අහන්න ගියොත් ළමයා මානසික පීඩනයකට ලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අනාගතයේදීම මානසික රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. මාධ්‍යවල, චිත්‍රපටවල මේවා නිතර නිතර පෙන්නනකොට ඒ දරුවෝ නැවත වින්දිතභාවයට පත්වෙනවා. ඒක දරුවන්ගේ මානසික සංවර්ධනයට බාධාවක්. මේ නිසා උසාවිය වැනි පරිශ්‍රවලට දරුවා ගෙන්වන්නේ නැතිව, ඔවුන්ගෙන් ගත් වීඩියෝ පටිගත කිරීම් හරහා නඩු ඉදිරියට කරගෙන යනවා. මේ තුළින් වින්දිත දරුවාට වන හිංසනය අවම කරගන්න පුළුවන් වෙලා තියනවා.
l ළමා අපයෝජන වළක්වා ගැනීම නීතියෙන් පමණක් කළ හැකිද?
නීතියෙන් පමණක් එය කරන්න බැහැ. මාපියන්ගේ වගකීම, පවුලේ අයගේ වගකීම, ගමේ වගකීම ඉටු කිරීම වැදගත්. ගමේ තියෙන ප්‍රජා කමිටු හරහා ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. දැනුවත් කිරීම පමණක් නොවෙයි, ගෘප් හදාගන්න පුළුවන්, ළමා සමාජ ඇති කරන්න පුළුවන්, ඒ හරහා ළමයින්ව දැනුවත් කරන්න පුළුවන්. ළමා අපයෝජනය කියන එක සමාජය හංගගෙන ඉන්නේ. ළමා අපයෝජනය කියන එක කුඩා වයසේ සිටම දරුවාට කියා දෙන්න ඕනෑ. පිරිමි දරුවන්ට මේක කියා දෙන්නේ නැහැ, නමුත් පිරිමි දරුවන්ටද ළමා අපයෝජනය ගැන කියා දෙන්න ඕනෑ. මෙම දැනුවත්භාවය පාසල් විෂය නිර්දේශය තුළ කතා කළ යුතු මාතෘකාවක්. අපරාධ යුක්ති පද්ධතිය තුළ නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම වෙන්න ඕනෑ. ඉතා ඉක්මනින් නඩු පවරා චූදිතයන්ට දඬුවම් නියම කළ යුතුයි. බොහෝ දෙනකු දඬුවමට බයයි. මේ නිසා වෙනම අධිකරණයක් පිහිටුවා හෝ ළමා අපයෝජන නඩු ඉක්මනින්ම විමර්ශනය කර දඬුවම් දිය යුතුයි. මෙය නීතිය හරහා පමණක් කරන්න බැහැ, ඒ සඳහා සමාජය ද වෙනස් විය යුතුය. ළමයකුට තනියම කඩේට යන්න පුළුවන් තැනකට නැවත සමාජය එන්න ඕනෑ, එය සමාජය විසින්ම කළ යුතු දෙයක්.
l ලිංගික අපයෝජනයක් සිදු කර,එම දරුවා මරණයට පත් කළ වැරදිකරුවක වූ පුද්ගලයකුට දිය හැකි උපරිම දඬුවම කුමක්ද?
1975/1978 දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත අනුව ලිංගික අපරාධ සදහා දඬුවම් ගැන සඳහන් වෙනවා. ඒවායේ දඬුවම් එකිනෙකට වෙනස්. සමහර සිදුවීම්වලට අවුරුදු 20ට නොඅඩු බරපතළ වැඩ සහිතව සිර දඩුවමක්ද, අවුරුදු 7කට නොඅඩු බරපතළ වැඩ සහිත සිර දඬුවමක් දීමේ හැකියාව තිබෙනවා. එපමණක් නොව වින්දිත දරුවාට වන්දියක් නියම කිරීමේ හැකියාවද අධිකරණයට තිබෙනවා. ලිංගික අපරාධවලදි මීට වඩා වෙනස් දඩුවම් තිබෙනවා. මෙහිදී ළමා අපයෝජන සිදු කළ බවට ඔප්පු වන පුද්ගලයන්ට ඒ උපරිම දණ්ඩනයක් දීමේ ක්‍රියාවලිය ,යාන්ත්‍රණය කාර්යක්ෂම වෙනවා නම් මේ අපරාධ අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් කරපු වරදට මාස දෙක, තුනක් ඇතුළතදී දඬුවම් දෙනවා නම් ඉතා වැදගත්. ඒ සඳහා වෙනම අධිකරණයක් පිහිටුවා හෝ දඬුවම් දීම කළ යුතුයි. අපරාධ යුක්ති පද්ධතියේ දඩුවම් ක්‍රියාත්මක කිරීමේ, උසාවියේ තීන්දු තීරණ දීමේදී කාර්යක්ෂමතාව තිබිය යුතුයි.
රුවන් පුෂ්ප කුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
අවම වශයෙන් ඩොලර් බිලියන 3ක ණය
රජය ජූනි මස මුල IMF සමඟ තවත් තා
ශ්‍රී ලංකාව 1948 නිදහසෙන් පසු
ශ්‍රී ලංකාව සඳහා වන 17 වැනි
තමන් "පුළුල්" ප්‍රතිසංස්කරණ පැ
ආදායම ඉහළ නැංවීම සඳහා බදු සංශෝ
චීනය සහ ජපානය වැනි බැඳුම්කර හි
වසර විසි දෙකකට පෙර මන්ත්‍රීවරයකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුරවිශාල වෙනස්කම් නැත. නැගෙනහිර කොළඹ පිහිටි මගේ නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ දී, අත්විඳින ලද සිද්ධි එම දේශනයේදී දක්වන්නට උත්සාහ කළෙමි. වසර තිහකට කලින් සිට තිබුණ මුඩුක්කු හා පැල්පත් නිවාස එලෙසම තිබෙන අයුරුත්, නිරර්ථක යුද්ධයක පැටැලී සිටින අප මෙම ක්‍රමය වෙනස් නොකළහොත් උද්ගත විය හැකි තත්ත්වයත් එදින සඳහන් කළේ අප සියලු දෙනාටම බරපතළ වගකීමක් ඇති බව දක්වමින්ය. කැළි කසළ පිරි මාවත්, වීදුරු කුටිවල අනර්ඝ සේ අසුරා ඇති ආහාර මිල දී ගන්නට වත්කමක් නැති පිරිස්, පාසල කරා යන එහෙත් එම අධ්‍යාපනය අවසානයේදී ඇති කරන ප්‍රතිඵලය ගැන නොදන්නා දරුවන් ගැන සඳහන් කළෙමි.
ක්‍රමය වෙනස් කරන ප්‍රයත්න ගණනාවකින් පසු හොඳ අනාගතයක් ඇති කළ හැකි බවට විශ්වාසයක් ආරම්භයේදී තිබුණි. ආර්ථික දේහය වෙළාගෙන ඇති පිළිකාව සූක්ෂම සැත්කමකින් ඉවත් නොකළහොත් ඇති වන අනතුර ගැන සඳහන් කළේ විශාල කැක්කුමකින් යුතුවය. එය සාක්ෂාත් කරගැනීම බාරධූර කටයුත්තක් බව පාර්ලිමේන්තුවේ ගත කරන ලද කාලය තුළ පෙනී ගියේය. නිසි එකඟතාවක් නැති ඝෝෂාකාරී සභාවකින් පරිවර්තන ක්‍රියාවලියක් උදෙසා, ධෛර්යයක් ඇති කරන වචනඇසුණේ නැත. ඊළඟ ඡන්දයෙන් ජයග්‍රහණය කරන උපාය ගැන පමණක් වෙහෙසෙමින් සිටි අතර යෝජනා කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ එක්තරා ආකාරයක හාස්‍යයට හේතු විය.
පීඩාකාරී චක්‍රයක ආපසු විඳවන්නට සිදුවීම
මෑත අතීතයේ සිදුවීම් නිරීක්ෂණය කිරීම අවශ්‍යය. දශක තුනක පමණ කාලයක් සමාජය හා ආර්ථික ක්‍රමය විනාශ කරන ලද යුද්ධයකින් හෙම්බත් වී සිටි රට අලුත් හුස්මක් ඉල්ලා සිටියේය. එහිදී ආර්ථිකය ඉතාම වැදගත් බව අවධාරණය කෙරිණ. තාවකාලික විසඳුම් පමණක් සපයන තීරණ නිෂ්ප්‍රයෝජන බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. ගෝලීය තරගකාරීත්වයට ඇතුළු විය යුතුව තිබුණ අතර අපනයනය ඉලක්ක කරගෙන උසස් තත්ත්වයේ භාණ්ඩ අඩු පිරිවැයකින් නිපදවිය යුතුව තිබුණි. යල් පැනගිය බලශක්ති අංශයෙහි නවීකරණයක් ද, තාක්ෂණයෙන් බලගැන්වීමද ඉතාම වැදගත් විය. මැදි ආදායම් රටක අවශ්‍යතා වෙනස් අතර ආධාර බෙදන පැරණි ව්‍යුහ තවදුරටත් වලංගු වූයේ නැත. පටු ආස්ථානයක සිට ක්‍රියා කරන ලද දේශපාලනඥයෝ හා ඇතැම් අන්තවාදී අදහස් ඇති පක්ෂ මෙකී වෙනස්කම්වලට බියපත් වූහ. නොයෙක් අදහස් වපුරුවමින් ඔවුන්ගේ ශෛලියකින් කටයුතු කළහ. වෙනස්කම්වලින් ඇතිවන තත්ත්වයන් ස්වකීය දේශපාලන ගමනට අවහිරයක් වනු ඇති බව උපකල්පනය කළහ. එහි ප්‍රතිඵලය අද අප හමුවේ තිබේ.
ක්‍රමය වෙනස් කරන ප්‍රතිසංස්කරණ යෝජනා කිසිසේත් මිහිරි නැත. ව්‍යාධියක් ඇති විට ප්‍රතිකාර ගන්නට සිදු වේ. ආර්ථිකය දුබල වූ පසු ප්‍රතිකර්ම අවශ්‍යය. තිත්ත බෙහෙත් නියම කෙරේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධ අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත. ඒවා තවමත් www.milinda.org වෙබ් අඩවියෙන් හෝ සමාජ මාධ්‍ය පිටුවෙන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කියැවිය හැකිය. සහනවලට ජනතාව කැමැතිය. ජනතාවට සහන දෙන බව ප්‍රකාශ කර ඡන්දයෙන් දිනා බලය අල්ලා ගැනීමත් දේශපාලනඥයන්ට පහසුය. ආර්ථිකය ගොඩනගන්නටත්, රට දියුණු කරන්නටත් පියවර ගන්නා අතරවාරයේ වැටුප් වැඩි කරන, බඩු මිල අඩු කරන පමණක් නොව අති විශාල සංවර්ධනයක් කරන්නටත් හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. මැතිවරණයෙන් ජයගත් පසු ආර්ථිකයෙහි තරම දැනේ. ඡන්ද වේදිකාවේදී දෙන ලද පොරොන්දු ඉටු කළ නොහැක. අයවැය පරතරය දරුණු තැනකට ගෙන එන තෙක් දෙස් විදෙස් ණය ගන්නා අතර එහි පීඩනය ද පැටැවෙන්නේ සාමාන්‍ය ජනතාවටය.
මෙම විෂම චක්‍රයෙහි ගැලී, එයින්ම යැපුණ දේශපාලන ක්‍රමය අද වනවිට ආපසු හැරවිය නොහැකි තරමට ප්‍රපාතයකය. පරෙස්සමෙන් තීරණ ගෙන වහා කළ යුතු වෙනස්කම් මුල් කාලයේදී ගත හැකිව තිබුණි නම් අද පත්ව ඇති ඉරණම පාලනය කරගත හැකි එකකි. වේදනාව අඩුය. ඉතිහාසයේ සිට කරන ලද වැරැදි ප්‍රතිපත්තිවල විපාක දැන් අප හමුවේ ඇත. විශාල බලාපොරොත්තු සහිතව බලයට පත් වූ ආණ්ඩුවකට සියලුම වැරැදිවලට වන්දි ගෙවන්නට සිදුවීම අභාග්‍යයකි.
තරගකාරීත්වය හා ආයෝජන වැදගත් වන පසුබිම
ශ්‍රී ලංකාව දක්ෂ මානව සම්පතක් සහිත රටකි. ඕනෑම රටක ඉතාම කැපවීමෙන් සේවය කළ හැකි ශ්‍රම බලකායක් ඇත. දක්ෂතම පිරිස වෙනත් රටවල දියුණුව සඳහා සේවයට යවන අතර රටට අවශ්‍ය කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා සඳහා යොදවා නොගැනීම වරදකි. තාක්ෂණ දියුණුව හා ලෝක ආර්ථිකයේ තරගකාරීත්වය අනුව අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කළ හැකිය. අලුත් යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය වෙනුවෙන් ධනය යෙදවිය යුතුව තිබේ. දියුණු වූ රටවල් ඔවුන්ගේ කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධනය සඳහා ලෝකයේ ප්‍රකට ආයෝජන උපයෝගී කරගෙන ඇත. සැපයුම් චක්‍රයට එකතු වී සිටී. ගෝලීයකරණය තුළ තනි රටකට, තනි නිෂ්පාදනයකට පැවැත්මක් නැත. ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ කුඩාය. ලොකු ආයෝජනයකින් කුඩා වෙළෙඳ පොළකට සැපැයීම සඳහා නිෂ්පාදනය කිරීමේදී පිරිවැය ඉහළ මට්ටමකට පත්වේ. එය පාලනය කරන ක්‍රම ඇත. අපනයනය ද අරමුණු කරගෙන නිපදවිය යුතුය. දේශීය ව්‍යවසායකයන් සහ විදේශීය ආයෝජන එකතු කර අපනයන ඉලක්ක ඇති ව්‍යවසායකත්වයට ඉඩ දීම වැදගත්ය. එහිදී අලුත් තාක්ෂණය රටට ලැබේ. මෙරට ශ්‍රමය උපයෝගී කරගත හැකි අතර එහි මෙහෙයුම් අතරතුර රටට බදු ආදායමක් හිමි වේ. තරගකාරීව කරන අපනයනයකින් විදේශ සංචිත උපයාගත හැක.
දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව සම්පාදනය කරන බව අඟවන බරපතළ මිථ්‍යාවක් ඉදිරිපත් කරන ආණ්ඩු මෙරට නිපැයුම් සහ ආනයන භාණ්ඩවල මිල පරතරය සමාන වන තෙක් බදු අය කරන ක්‍රමයක් අනුගමනය කරමින් සිටී. කර්මාන්ත හෝ කෘෂි අංශය ආරක්ෂා වන බව පිළිගත හැක. එහෙත් පාරිභෝගිකයන් අධික මිලක් ගෙවන අතර එය නොපෙනෙන දඩ අය කිරීමකි. සිමෙන්ති, ටයිල්, යකඩ, ගොඩනැගිලි ද්‍රව්‍යවලට බදු පැනවේ. ධාන්‍ය හා බහුලව අලෙවි කරන අර්තාපල් හා ලොකු ලූනු දක්වා දේශීය නිෂ්පාදන සම්බන්ධ යථාර්ථය ද එයයි. සියලුම ජනී ජනයා පාරිභෝගිකයෝය. පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කර නිෂ්පාදන ව්‍යුහය වෙනස් කළ යුතුය. දැනට අනුගමනය කරන්නේ නිෂ්පාදන මිලට පාරිභෝගිකයාට විකිණීමය. එය අනෙක් පැත්තට හැරවිය හැක. පාරිභෝගිකයාට දරාගත හැකි මිලට භාණ්ඩ නිපදවිය යුතුය. එවිට අතිරේක බදු පැනවීම අවශ්‍ය නොකෙරේ. ඇතැම් භාණ්ඩ රට තුළ නිපදවිය හැකි අතර එසේ නොකරන දේ පිටරටවලින් ගෙන්වන්නට සිදුවේ. ඇඟලුම් කර්මාන්තය හොඳම උදාහරණයකි. අඩු වියදමකින් නිෂ්පාදනය කර අපනයනය කළ හැකි වී තිබේ.
ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණ
නිදහස ලැබුණ දිනයේ සිට ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ ආදායමේ තරමට ජීවත්වන උපායකි. වියදම වැඩිවන විට ණය ගැනේ. බදු වැඩි කෙරේ. එයින් පිටස්තර ක්‍රමයකට සූදානම් නැත. අභියෝග සහ අවදානමට මුහුණ දී නැත. රටට ඇති සම්පත් හඳුනාගෙන ඒවා දූරදර්ශීව යෙදවිය යුතුව තිබුණි. කුඩා රටක් වන සිංගප්පූරුව ලෝකයේ ප්‍රකට ආයෝජකයන් කැඳවා නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගෙන ඇත. ඩුබායි රාජ්‍යය ආසියාවේ මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඉන්දියාව දැවැන්තම ආහාර නිෂ්පාදකයා බවට පත්ව සිටී. මෙවැනි පියවරකට ගමන් කරන්නේ හුදෙකලා රටවල් වශයෙන් නොවේ. වෙළෙඳ ගිවිසුම්, ආයෝජන දිරිගැන්වීම් සහ ප්‍රතිඅපනයන අංශ සම්බන්ධ කරගෙනය.
තේ, රබර්, පොල් හා සුළු අපනයන බෝග සඳහා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියකට පත්ව තිබුණි. මෙම වැවිලි අපනයනය අධිරාජ්‍යවාදී රාමුව අනුව වසර පන්සියයකට එපිට අවකාශයක් සඳහා නිර්මාණය වූ එකකි. අද වෙළෙඳ පොළ අවශ්‍යතාව වෙනස් වී ඇත. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන සමස්ත විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වේ. විශාල ඉඩම් ප්‍රමාණයක්, සෑහෙන ශ්‍රමයක් එයට යෙද වේ. මෙම ඉඩම්වල එයට වඩා උත්පාදනයක් සහිත අලුත් වැවිලි බෝග සඳහා හැරවීමක් කළ නොහැකිද? කෘෂි අංශයට එහි වගකීමක් ඇත. අනාගතයේ එන ආහාර හිඟයට සැලසුම් අවශ්‍යය.
රටට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කරන එහි බරින් පීඩාවට පත්ව සිටින අපි මන්නාරම මුහුදු පතුලේ ඇති බොරතෙල් ගැන සිහින දකිමින් සිටිමු. ත්‍රිකුණාමලය හෝ හම්බන්තොට පරිශ්‍ර ආවරණය කෙරෙන බොරතෙල් පිරිපහදු ජාත්‍යන්තර ආයෝජනයකට අවස්ථාව ඇත. නැගෙනහිර හා බටහිර යා කෙරෙන තෙල් සැපයුම ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ නිර්මාණය වී ඇති අතර එවැනි ආයෝජනයකින් උපයාගත හැකි වාසිය රටට මහත් ආස්වාදයක් වනු ඇත. එහෙත් මේවා දැවැන්ත ආයෝජන වන අතර රටවල් හා සංවිධාන එකතු කරගැනීමට දැක්මක් තිබිය යුතුය. අතුරු නිෂ්පාදන වශයෙන් ලබාගත හැකි ලිහිසි තෙල්, ගෑස්, යූරියා සහ තාර මිශ්‍රණ මෙරට ආර්ථිකය අලුත් මාවතකට යොමු කරනු නිසැකය. නිර්භීත තීරණ අවශ්‍යය. අලුත් ආර්ථික සැලැස්මක් ගොඩනගන උපදේශනය මෙහිදී වැදගත්ය. ලෝකයේ ප්‍රකට සමාගම් කැඳවීම සඳහා ගැළපෙන දේශපාලන ස්ථාවරභාවය සහ එය තුළින් ඇති කරන විශ්වාසනීයත්වය අපට අවශ්‍ය කෙරේ.
පෞද්ගලීකරණය රටට ආශිර්වාදයක් වනු ඇත
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ගැන සෑහෙන වතාවක් කරුණු පෙන්වා දී තිබේ. ජාතික සම්පත් වශයෙන් හඳුන්වන ඇතැම් ආයතන බංකොලොත් බෝඩ් ලෑලි පමණක් බව ජනතාව දැන් වටහාගෙන ඇත. මේවා වටිනා දේපළ බව හුවා දක්වන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු හිතවතුන් හා ආධාරකරුවන් නඩත්තු කරන අංශ බවට හරවා ගනිති. ඒවායේ ධනය යෙදවෙන්නේ දේශපාලනඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල ප්‍රතිරූප ගොඩනැගීමටය. ජනතාව වෙත පෙන්වන චිත්‍රයට යටින් වාසි උපයාගන්නා ක්‍රමය ඉතාම නිරර්ථක පැවැත්මක් රටට ඇති කර තිබේ.
ව්‍යාපාර මෙහෙයවන්නට ආණ්ඩුවලට හැකියාවක් නැත. රජයේ නීති අනුව වෙළෙඳාම් කළ නොහැක. දශක ගණනක් තිස්සේ රජයේ ව්‍යාපාර අසාර්ථක වී ඇති අතර ඒවායේ අලාභ ජාතික ආදායම විනාශ කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය මෙහෙයවන්නට සම්බන්ධ කරගන්නා ඉතාම දක්ෂ කළමනාකරුවෝ ඉතාම කෙටි කාලයකින් දේශපාලන අණට අනුව හැසිරෙන අදක්ෂ පුද්ගලයෝ බවට පත් වෙති. අවසානයේදී චෝදනාවලට ද ගැරහීමට ද ලක්වෙති. මෙම ක්‍රම වෙනස් කරනු සඳහා පෞද්ගලිකකරණය දැනට ගැළපෙන උපායකි. ඛනිජ තෙල් අංශයේ කොටසක් සහ වරාය පරිශ්‍රයේ කොටසක් පෞද්ගලික අංශයට පැවැරීමෙන් තරගකාරීත්වයක් හා ඉහළ ආදායම් උත්පාදනය කර දී තිබේ. විදුලි සංදේශ සේවාව පෞද්ගලීකරණය කිරීම ඉතාම විශිෂ්ට ප්‍රතිඵල අත් කර දී ඇත. එම තීරණය නොගෙන සිටියේ නම් ශ්‍රී ලංකාව තාක්ෂණ යුගයට ඇතුළු නොවේ. සන්නිවේදනය සඳහා දැවැන්ත පිරිවැයක් දැරිය යුතු වනු ඇත. එකී අංශයේ තවත් වෙනස්කම් කළ යුතුය. රක්ෂණ, විදුලිය බල, ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍රවල කළ හැකි වෙනස්කම් පාරිභෝගික ජනතාවට වාසි අත්පත් කරදෙනු ඇත. ගුවන් සේවය හා ගුවන් තොටුපොළ තවත් ආයෝජන අවස්ථාවකි. බැංකු හා මුල්‍ය අංශයෙහි ද දැවැන්ත පරිවර්තනයක් කළ හැක. පැරණි යෙදවුම් ක්‍රමවල සිරවී සිටින අංශ නවීන යුගයට හැරවීමෙන් නිසි ජයග්‍රහණ අත්පත් කරගත හැක. එය ආයෝජන අංශවලට ද ප්‍රතිලාභ ඇති කරයි.
ආර්ථික සමානාත්මතාවක් සඳහා
ආර්ථිකයෙහි ඵලදාව රජය සතු කරගැනීම පමණක් නොව ආණ්ඩුවලට හිතවත් පාර්ශ්වවලට පමණක් උරුම කර දීමෙන් උද්ගතව ඇති ගැටලු මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තුන්වැනි විවෘතකරණයක් අවශ්‍යය. එය සමාජයට සාධාරණය හා යුක්තිය ඉටු කරනු ඇත. තෝරාගත් පිරිසකට පමණක් අවස්ථා ලැබෙන, එම අවස්ථා දේශපාලනය විසින් තීරණය කරනු ලබන ව්‍යුහය විශාල විනාශයක් කර තිබේ. ගාලුමුවදොර ඇතුළු රට පුරා තැන තැන පැන නැගී ඇති අරගල එහි ප්‍රතිඵලයකි. 1971දී හා 1987 කාලයේ දී දකුණේ තරුණයන් නැගී සිටියේ අවස්ථා සඳහාය. තරුණ නැගිටීම වටහා ගැනීමට උත්සාහ නොකළ මෙරට ගතානුගතික දේශපාලන ක්‍රමය තරුණ මත යටපත් කළේ මර්දනයකින් බව අමතක කළ යුතු නැත. උතුරේ සන්නද්ධ ව්‍යාපාරය අවසානයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් දක්වා පැතිරිණ. ආර්ථික පීඩනයෙන් කුල බේදයෙන් මිරිකී සිටි තරුණ පිරිසක් ක්‍රමය වෙනස් කරන්නට වෑයම් කළහ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඔවුන්ගේ අදහස් වටහා නොගත් අතර දේශපාලනයෙහි ඇති දැඩි රාමුගත ව්‍යුහය ඔවුන්ගේ නියෝජනයකට ඉඩ ආවරණය කර තිබුණි. ත්‍රස්තවාදය පරාජය කරන ලද නමුත් දකුණ හා උතුර අවධාරණය කරන ලද කරුණුවලට විසඳුමක් සපයා නැත.
ගාලුමුවදොර අරගලකරුවන් කෑ ගසා කියන අදහස් පැහැදිලිය. එහෙත් ක්‍රමය විනාශ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත. තමන් සියලුම දේ දන්නා බව සිතන, අන්‍ය අදහස්වලට එකඟ නොවන පිරිසක් අරගලය තුළ සිටිති. අරමුණක්, දැක්මක් නැති විප්ලවවලින් සංවර්ධනයක් සිදු නොවේ. තරුණ පරපුර බිලිවීම හැර අනෙකක් සිදු නොවේ. විනයක් සහිත, සමාජ එකඟතාවක් සහිත බලවේගයකට ක්‍රමය වෙනස් කළ හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රම සහ දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය නොවීම වරදකි. පක්ෂ විවෘත විය යුතුය. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හිතවාදී කණ්ඩායම්වලට ගොනුවූ පසු තරුණයන්ට ඇතුළුවෙන අවස්ථාවක් නැත. මෙකී තත්ත්වය දැනගෙන නිර්මාණය වන අලුත් දේශපාලන පක්ෂ පවතින ක්‍රමයට විකල්පයක් වී නැත. අලුත් දර්ශනයක්, ප්‍රතිපත්තියක් රහිත පමණක් නොව ප්‍රධාන ධාරාවේ පක්ෂවලින් ගිලිහෙන ඡන්ද එකතු කරන ව්‍යාපාර බවට පත්ව තිබීම කනගාටුදායකය. අධි තාක්ෂණික යුගයේ, සමාජ ආර්ථික ව්‍යුහය ඔරොත්තු දෙන දේශපාලනයක් ගොඩනගන්නට අපි අසමත්ව සිටිමු. සමාජ මාධ්‍ය තුළ හැසිරෙන, තරුණන්ගේ වේදනාව තේරුම් ගත යුතුය. තරුණ නැගිටීම් පාලනය කර වැඩිහිටියන් අවස්ථා හදාගත් රටක් වශයෙන් අතීතයෙන් උගත් පාඩම් අමතක කළ යුතු නැත. මර්දනය මෑත ඉතිහාසයේ ඛේදවාචක අතර තිබේ. පැන නැගී ඇති විරෝධතාවලට දෙන අන්තිම - පියවර කුමක්ද? උත්තරය ගැන අපට අවබෝධයක් තිබේද?
අවස්ථා නිර්මාණය වන, ජනතාව අතට බලය ලැබෙන නිර්බාධී ආර්ථික ක්‍රමයකට ගමන් කළ යුතුය. දේශපාලන ගැතිකම්, නිලධාරිවාදය, අසංවිධිත සංවර්ධනය ජනතාව හෙළාදකින අතර තරුණ පරපුර එහි වැරදි නිරීක්ෂණය කරමින් සිටිති. උසස් අධ්‍යාපනයෙන් පසු රජයේ සේවයට ඇතුළත්වීම අරමුණ විය යුතු නැත. දක්ෂතා ඇති දරුවන්ට ව්‍යවසායකත්වයට දොරටු විවෘත කළ යුතුය. මුහුණු මාරු කිරීමෙන්, ඇමැති චරිත වෙනස් කිරීමෙන් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ව්‍යවස්ථා වෙනස් කිරීම උත්තරයක් නොවේ. පත්වන අපට මුහුණ දෙන්නට සිදුවී ඇති ආර්ථික අර්බුදය බරපතළ එකකි.
ඉදිරි වසරක දෙකක කාලය තවත් දුෂ්කරය. කැපවීමෙන් සැලසුමක් සකස් කර නොගතහොත් ප්‍රශ්න තවත් සංකීර්ණ වනු ඇත. විසඳන ක්‍රමය සඳහා මැජික් විසඳුම් නැත. පසුගිය දශක හතහමාරක කාලයක් ණයට ගත් ධනයෙන් ජීවත් වී තිබේ. උත්පාදනයක් සිදුවී නැත. ආදායමෙන් සියයට අසූවකට වඩා ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කරන රටකි.
ජාතික ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා ණය පොලිය ගෙවන්නට වැය කෙරේ. මෙම තත්ත්වය පාවෙමින් පැවැති අතර හදිසියේ ඇති වූ අකර්මණ්‍යතා රට බෙලහීන කළේය. මැදි ආදායම් ජන කොටස තමන්ගේ අවහිරතා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ආපසු හැරවීම සඳහා සියලුම දෙනා එකතු විය යුතු අතර පවතින අර්බුදයෙන් තමන්ගේ අවස්ථාව ලබාගන්නට තැත් කිරීම සුදුසු නැත.
තෙල් පෝලිම්වල සිටින ජනතාව, උද්ඝෝෂකයන් හෘදයාබාධවලට ලක්ව මිය ගිය බව පසු ගිය දිනවල අපට නිරතුරුවම අසන්න ලැබිණි. තෙල් පෝලිම්වල රැඳී සිටීම, උද්ඝෝෂණවල නිරත වීම මඟින් හෘදයාබාධ ඇතිවේද? එසේ නැත් නම් හෘදයාබාධ ඇති වීමට බලපාන හේතු කාරණා මොනවාද? හෘදයාබාධ වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරු වන බව වාර්තා වන අතර, ඒ අය අතුරින් හෘදයාබාධවලට ලක් වන පිරිස සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බවද පසුගියදා සෞඛ්‍ය අංශ වාර්තා කළේය. මේ පිළිබඳ, කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චමිලා මෙත්තානන්ද මහත්මිය සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි.
- විනාඩි පහකට අඩු පපුවේ වේදනාවක් හාට් ඇටෑක් වීමට ඇති ඉඩ අඩුයි
- ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැදිය යුතුයි
- නීරෝගි සෞඛ්‍ය රටාවකට හුරු වීම ප්‍රධානයි
පෝලිම්වල දිගින් දිගටම රැඳී සිටීමෙන් සහ එක දිගට උද්ඝෝෂණවල නිරත වී සිටි සමහර පුද්ගලයන්ට හෘදයාබාධ වැලඳුණු බව සහ ඒ හේතුවෙන් සමහරු මිය ගිය බවට මතයක් පසුගිය දිනවල අසන්න ලැබුණා. එසේ වීමට පුළුවන් ද?
හෘදයාබාධ හේතුවෙන් දවසකට ශ්‍රී ලාංකිකයන් විසි දෙනෙක් පමණ මිය යන බව වාර්තා වෙනවා. ඒත් ඒක වෙනදට ප්‍රවෘත්තියක් නොවෙයි. පෝලිම්වල හිටගෙන සිටින විට, ඔය සියයට විස්සෙන් එක්කෙනෙක් එතැන සිටින්න පුළුවන්. ඒ නිසා පෝලිම්වල හිටගෙන හිටිය නිසාම හැදුණා කියන්න අමාරුයි. හදවත් රෝගයක් තියෙන කෙනෙක් හිටගෙන සිටිද්දි ඉඳගෙන ඉන්නවාට වඩා ඇඟේ ශක්තිය වැය වෙනවා. ඒත් හෘදයාබාධය හැදුණේ ඒක නිසාමයි කියලා සියයට සියයක්ම කියන්න අමාරුයි. ඒ කෙනා ගෙදර හිටියත් මිය යන්න ඉඩ තිබුණා වෙන්න පුළුවන්.
එසේ නම් හෘදයාබාධයක් කියන්නේ මොකක් ද?
සරලව කිවුවොත් හෘදයාබාධයක් කියන්නේ හෘදයේ එක් කොටසක පේශිවලට රුධිරය ගමනාගමනය මද වීම නිසා සෛල මරණයට පත් වීමයි.
මේ සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවා ද?
හෘදයාබාධයක් ඇති වීමට බලපාන හේතු, පාලනය කරන්න පුළුවන් හේතු සහ පාලනය කළ නොහැකි හේතු වශයෙන් කොටස් දෙකක් දක්වන්න පුළුවන්. වයස එක හේතුවක්. වයසට යද්දි හෘදයාබාධ එනවා වැඩියි. ඒ වගේම පිරිමි අයට හෘදයාබාධ එන එක වැඩියි. ඒත් කාන්තාවන් සහ පිරිමින් අතර මේ වෙනස එන්නේ ආර්තවහරණය එන තුරු පමණයි. ආර්තවහරණයෙන් පස්සේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ හෘදයාබාධ අවදානම එකයි. කාන්තාවන්ගේ ඔසප් වීමත් සමඟ එන හෝමෝනවලින් හෘදයාබාධ හැදෙන එක අඩු කරනවා. ආරක්ෂාවක් සපයනවා. හැබැයි එය නතර වූවායින් පසු කාන්තා-පිරිමි වෙනසක් නැතුව හෘදයාබාධ අවදානම එක හා සමානව පවතිනවා. අනෙක් කාරණය, පවුලේ ඉතිහාසය. උදාහරණයක් වශයෙන්, පවුලේ පිරිමි කෙනකුට අවු 55ට කලින් හෝ ගැහැනු කෙනකුට අවු 65ට කලින් හෝ හෘදයාබාධයක් වැළඳී ඇත් නම්, ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න ඕනෑ. අවුරුදු අසූවට ගිහින් හෘදයාබාධයක් හැදුණු කෙනකු මේ යටතට ගැනෙන්නේ නෑ. අපට මේවා වෙනස් කරන්න බැහැ.
ඒත් වෙනස් කරන්න පුළුවන් ඒවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ; දුම් පානය, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, තරබාරුකම වැනි දේ වගේම, ආතතියත් බලපානවා. තෙල්, සීනි කන එක වැඩි වුණාම, ව්‍යායාම අඩු වුණාම තමයි මේවා එන්නේ. මේ ටික පාලනය කර ගත්තොත් හෘදයාබාධයක් එන එක සියයට අසූවක්ම පාලනය කර ගන්න පුළුවන්.
ඒත් බොහෝ අය ආහාර පාලනය කරන්නෙත්, ලෙඩ රෝග ගැන සැලකිලිමත් වෙන්නේත් වයසට ගියාම නේද?
මෙය වැරැදි අවබෝධයක්. කුඩා වයසේ සිටම රුධිර නාලවල කොලෙස්ට්‍රෝල් තැන්පත් වෙනවා. පොඩි කාලෙදි අප ඒකට කියන්නේ fatty streaks කියලා. Atheromatous plaque කියන විශාල තත්ත්වයට පත් වෙන්නේ ඉන් පසුවයි. මෙය රුධිර වාහිනියේ ලේ ගමනාගමනයට ඇති ඉඩ අඩු කරනවා. හදිසි හෘදයාබාධයකදි ඇතරෝමා එකේ මතුපිට කවරය පුපුරා පළුදු වෙනවා. ඉන් පස්සේ ඒක උඩ විශාල ලේ කැටියක් හැදෙනවා. එවිට එතැනින් ඔබ්බට රුධිර ගමනාගමනය නතර වෙනවා. මෙයින් තමයි හෘදයාබාධයක් ඇති වෙන්නේ. අප ආහාර පාලනය කළ යුත්තේ අවසාන කාලයේ ඉඳලා නොවෙයි. කුඩා කාලයේ ඉඳලාම ආහාර ගැන සැලකිලිමත් විය යුතුයි. අද ළමයින්ගේ ජීවන රටාවත් වෙනස්. ක්ෂණික කෑමට හුරු වෙලා. වැඩි කාලයක් ගත කරන්නේ පරිගණක සමඟ. ව්‍යායාම නැහැ. සමහර ළමයි ගොඩක් මහතයි. ඔවුන්ගේ තියෙන්නේ උදරය මහත් වීම. (abdominal obesity)කොලෙස්ටරෝල් නිසා රුධිර වාහිනීවල ඇතිවෙන වෙනස්කම් පටන් ගන්නේ කුඩා කාලයේ ඉඳලා. මේ නිසා කුඩා අවදියේ ඉඳලාම තමන්ගේ ජීවන රටාව, සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ.
හෘදයාබාධ අවදානමක් තියෙනවා කියලා කලින් දැන ගන්න පුළුවන් ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO risk charts එකක් අපට තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත අපට හෘදයාබාධයක් එන්න කොපමණ අවදානමක් තියෙනවද කියලා ඒ මඟින් බලන්න පුළුවන්. වයස, කාන්තා, පිරිමි බව, සීනි තිබෙනවා ද? කොලෙස්ට්‍රෝල් තත්ත්වය, අධි රුධිර පීඩනය, සිගරැට් බොනවාද? වැනි කරුණු මත ඔබගේ අවදානමත් මේ මඟින් බලන්න පුළුවන්. මෙහි අවදානම සියයට විස්සට වඩා වැඩියෙන් එනවා කියන්නේ, ඊළඟ අවුරුදු දහය ඇතුළත හෘදයාබාධයක් එන්න තියෙන අවදානම ගොඩක් වැඩියි කියන එකයි. සාමාන්‍ය වෛද්‍යවරයකු හමු වීමෙන් වුණත් මේ තත්ත්වය බලා ගන්න පුළුවන්. එවැනි අවදානමක් තියනවා නම්, කලින් කියූ සාධක ටික පාලනය කිරීම කරන්න පුළුවන්. වයස, ගැහැනු-පිරිමි බව වෙනස් කරන්න බැහැ. ඒත්, සීනි, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන්. සිගරැට් බීම නවත්වන්න පුළුවන්. ඒ සඳහා ව්‍යායාම කරන්න ඕනෑ. තෙල් කන එක අඩු කරන්න ඕනෑ. සමහර අයට ඇවිදින විට සහ ව්‍යායාම කරද්දි පපුවේ කැක්කුමක් වැනි ලක්ෂණ, හෘදයාබාධයකට පෙර ඇති වෙන්න පුළුවන්. ඒත් සමහර අයට, කිසිම රෝග ලක්ෂණයක් නැතිව ක්ෂණිකවම හෘදයාබාධයක් හැදෙන්නත් පුළුවන්.
සමහර අයට හෘදයාබාධයකට පෙර රෝග ලක්ෂණ ඇතිවෙන්නේ කොහොම ද?
කුඩා කාලයේ සිටම රුධිර වාහිනී බිත්තියක කොලෙස්ටරෝල් තැන්පත් වෙනවා. මේ ස්ථරය වටේට තව සෛල ඇවිත් කවරයක් වගේ හැදෙනවා. කල් යනනොට ක්‍රමයෙන් කොලෙස්ටරෝල් තැන්පතුව විශාල වෙනවා. ඒ සමඟම රුධිර නාලයේ ලේ ගමනට ඇති ඉඩ අඩු වෙනවා. උඩ කවරය හොඳට සෛල ඇවිත් බැඳිලා තිබේ නම්, එක්වරම මෙය පුපුරන්නේ නෑ. කල්තියා රෝග ලක්ෂණ එන්නේ මෙහෙම අයට. කාලයක් යන විට රුධිර නාලය අවහිර වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් ලේ ගමන් කරනවා. ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් අප ව්‍යායාම කරන්න ගත්තොත් තව ගොඩක් ලේ අවශ්‍ය වෙනවා. මෙතැනින් එන ලේ ටික මදි වෙනවා. එවිට පපුව රිදෙනවා. පපුව බරයි වගේ. angina කියලා කියන්නේ ඒකටයි. ටික දුරක් ඇවිදගෙන යද්දි පපුව හිර වෙනවා. හැබැයි නැවැත්තුවොත් ඒ වේදනාව නැතිව යනවා. මෙය හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණයක්. රුධිර වාහිනියේ බිත්තිය හොඳට තියෙද්දි ලේ කැට හැදෙන්නේ නෑ. මෙතැන කුමන අවස්ථාවක හරි කඩතොලු වුණොත්, ඒ මත ලේ කැටයක් හැදෙන්න පුළුවන්. රුධිර වාහිනිය හොඳටම අවහිර වුණාම, ඉදිරියට ලේ ගමනාගමනය අඩාළ වීම නිසා හෘදයාබාධයක් හැදෙනවා.
සමහර අයට හෘදයාබාධ විවිධ ආකාරයෙන් බලපානවා නේද ?
හෘදයාබාධ වර්ග දෙකක් තියෙනවා. හෘදයේ බිත්තියේ සම්පූර්ණයෙන්ම සෛල මැරෙන එක තමයි ලොකු හාට් ඇටෑක් එකක් කියන්නේ. ඒ්කට අපි කියන්නේ ST EMI කියලා. තව සමහර ඒ්වා තියනවා එහිදී මුළු බිත්තියම මැරෙන්නේ නෑ. ඇතුළේ ටික විතරයි, එයට කියන්නේ NSTEMI කියලා. STEMI තත්ත්වයකට එවෙලේම ලේ කැට දිය වීමට දෙන ඉන්ජෙක්ෂන් හෝ stenting යන ක්‍රම දෙකෙන් එකකින් ලේ ගමන් කිරිම යථා තත්ත්වයට ගත්තේ නැත්නම් හාට් එකේ පේෂි වවන්න විදිහක් නෑ. මේ සෛල ආයෙ වැවෙන්නේ නෑ .ඊට පස්සේ කරන ඔක්කොම ජාති කරන්නේ හාට් ඒකේ ඉතිරි පේශි ටික බේරාගන්න. NSTEMI තමයි, සුළු හාට් ඇටෑක් කියන්නේ. ඒවාට දෙන ඖෂධ වෙනස්. ඒත් stent කරන්නත් පුළුවන්.
රුධිර වාහිනිවල බ්ලොක් තියනවාද කියලා angiogram එකකින් බලන්න පුළුවන්. බ්ලොක් තියනවා නම් මෙයට කල්තියා ප්‍රතිකාර කරන්න පුළුවන්. balloon එකක් දාලා ඇරල තියෙන එක තමයි stent එකක් දානවා කියන්නේ. ඒත් හැම එකටම stent දාන්න බැහැ. එහෙම බැරි විශාල නහරවලට තමයි බයිපාස් කරන්නේ. බ්ලොක් ඒක තියන තැන අනුව කරන්න පුළුවන් දේ වෙනස් වෙනවා. සමහරුන්ට බයිපාස් කරන්න වෙනවා, සමහරුන්ට stent දාලා හරි යනවා.
ඇතැම් අය කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා එක්වරම මිය යනවා. එහෙම වෙන්නේ කොහොම ද?
හදවතට රුධිරය සපයන රුධිර වාහිනි තුනක් තියෙනවා. බොහෝ විට, එකකින් (dominant vessle) හෘදයේ විශාල ප්‍රමාණයකට රුධිරය සපයනවා. මේ මේ ප්‍රධාන රුධිර වාහිනිය සම්පූර්ණයෙන් වැසුණොත් කෙනකු මරණයට පත් වෙන්න පුළුවන්. මීට අමතරව හෘදයේ ගැස්ම පාලනය කරන SA node එකට රුධිරය සපයන නාලය අවහිර වුණොත් හෘදයේ ගැස්ම වෙනස් වෙලා කෙනකු ක්ෂණිකවම මිය යෑමට පුළුවන්.
විවිධ අවස්ථාවලදි අපට හැදෙන පපුවේ කැක්කුම හෘදයාබාධයක් නිසාද කියලා දැනගන්නේ කොහොම ද?
විනාඩි පහකට අඩුවෙන් පවතින පපුවේ වේදනාවක් සාමාන්‍යයෙන් හාට් ඇටෑක් එකක් වීමට ඇති ඉඩ අඩුයි. නිකන් ඉන්නකොට හැදෙන සුළු සුළු පපුවේ කැක්කුම නෙවෙයි. මහන්සි වෙනකොට පපුවේ කැක්කුමක් එනවා නම් ඒ් ගැන අවධානය යොමු කරන්න ඕනෑ. පපුව ඇල්ලුවාම රිදෙනවා නම් ඒ්වා හාට් ඇටෑක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. හාට් එකට ලේ සැපයුම අවහිර වුණොත් විතරයි වේදනාවක් ඇති වෙන්නේ, ඇල්ලුවාට රිදෙන්න බෑ.
තමන්ට හාට් ඇටෑක් ඒකක් එන්න සම්භාවිතාවයක් තියනවා කියලා පරික්ෂා කළ යුතු වෙන්නේ මොන වෙලාවටද ?
ශ්‍රී ලංකාවේ සියයට අසූවක් මරණවලට හේතුව බෝ නොවන රෝග. ඒවා නවත්තන්න තමයි අපි මහන්සි වෙන්නේ. අවුරුදු 35ට වැඩි නම් හැමෝම අධි රුධිර පීඩනය, සීනි බලන්න ඕනෑ. බලලා එම වාර්තා සාමාන්‍ය නම් නැවත වතාවක් අවුරුද්දකින් බලන්න පුළුවන්. දැන් අලුතෙන් ලැබී තිබෙන උපදේශය නම් යම් රෝගියකු වෙන ලෙඩකට රෝහලකට ආවත් අවු 35ට වැඩි නම් රුධිර පීඩනය බලන්න කියලා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් තියෙනවාද බලලා, තමන්ට හාට් ඇටෑක් එකක් එන එකේ සම්භාවිතාවය WHO risk charts එකෙන් බලන්න පුළුවන්. ඒ්කට තියන ඉඩකඩ වැඩි නම් ඒ අය ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මෙමඟින් හාට් ඇටෑක්වලට හේතු වෙන සාධක කල්තියා හඳුණාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන්.
මහන්සි වුණාම පපුව රිදෙනවා නම් සහ හාට් ඇටෑක්වලට අවදානම වැඩි කෙනෙක් නම් මූලික පර්යේෂණ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි එක්සසයිස් ECG එක. මැෂින් එකක දුවලා බලන්න පුළුවන් හාට් එකට ලේ ගමන් තිරිමේ අඩුවක් තියනවා ද කියල. එවැනි තත්ත්වයක් ඇත්නම්, රුධිර නාලවල බ්ලොක් එකක් තියෙනවාද බලන්න Angiogram test කරන්න පුළුවන්. Angiogram විවිධ විධිවලින් කරන්න පුළුවන්. කලින් නම් නහරයක් හරහා වයර් එකක් ඇතුළු කර ඩයි එකක් යවලා තමයි Angiogram test කළේ. ඒක අපහසු “invasive” තත්ත්වයක් නිසා දැන් CT Quaranary Angiogram,cardiac MRI test වැනි නවීන ක්‍රම තියෙනවා හෘදයාබාධ තත්ත්වය බලන්න පුළුවන්.
සාමාන්‍ය ජනතාව මේ කරුණු සම්බන්ධයෙන් නො දැනුවත් හෝ නො සැලකිලිමත් ඇයි?
නොදැනුවත්කම නෙවෙයි තියෙන්නේ. දුම් පානය, තෙල් සහිත ආහාර, සීනි හොඳ නෑ කියලා ගොඩක් අය දන්නවා. ඒත් හාට් ඇටෑක් එකක් හැදෙනකම්ම ඉන්නවා ඒක පාලනය කරන්න. හැබැයි දැනගත යුතු දේ තමයි, හාට් ඇටෑක් එකක් ඇති වුණායින් පස්සේ සම්පූර්ණයෙන් හොඳ කරන්න අමාරුයි. එය වළක්වා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ්ක ගොඩක් අමාරු නෑ. නිරෝගී සෞඛ්‍ය රටාවකට හුරු වෙන එක තමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕනෑ. සිගරට් මත්පැන් හොඳ නැහැ. කොහොමත් බර අඩු කරගන්න ඕනෑ, අධික ලුණු, තෙල් භාවිතය හොඳ නෑ. එළවළු පලතුරු වැඩියෙන් කන්න ඕන. ඒ ටික කරන්න තමයි තියෙන්නේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ හෘදයාබාධ වැඩි බවක් පැවසෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ?
කාලයත් සමඟ අපේ රටේ හෘදයාබාධ වැඩි වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ආයු කාලය වැඩියි. අවුරුදු හැටට වැඩි ප්‍රතිශතය වැඩි වේගෙන යනවා. අපේ රටේ මිය යන ප්‍රමාණය අඩුයි. ඒ් නිසා වැඩිහිටි ජනගහනය වැඩියි. හාට් ඇටෑක්වලට වයස එක සාධකයක් නේ. අනිත් එක තමයි අපේ ආහාර රටාව. කන්නේ ක්ෂණික කෑම, ව්‍යායාම නැහැ, යන්නේ වාහනවල, පරිගණකත් ඒක වැඩිපුර කාලයක් ගත ගත කරනවා. අපේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා නිසා අපට හෘදයාබාධ ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම විවිධ ප්‍රශ්න නිසා ආතතිය වැඩියි. 2000 වසර ඉඳලා ගත්තොත් හෘදයාබාධ ප්‍රමාණය වැඩියි. නමුත් මැරෙන ප්‍රමාණයත් අඩුයි. හේතුව, බෙහෙත් තියනවා, හාට් ඇටෑක් එකක් කලින් දැනගෙන වැළකෙන්න පුළුවන්.
හෘදයාබාධයක් කියලා දැනගත්තාම ඉක්මනින් කළ යුත්තේ කුමක් ද?
හාට් ඇටෑක් එකක් කාටවත් හංගාගෙන ඉන්න බෑ. හරියට පපුව මැද මිරිකනවා වගේ තද ගතියක් දැනෙනවා. වමනය යනවා දාඩිය දානවා, කැක්කුම දරාගෙන ඉන්න බෑ. එහෙම තියෙන කෙනෙකුට හාට් ඇටෑක් කියලා හිතනවානම් ඇස්ප්‍රින් පෙත්තක් දෙන්න පුළුවන්. එහෙම දුන්නට ප්‍රශ්නයක් නෑ. හොඳම දේ තමයි ළඟම රෝහලකට ඉක්මනින් යන එක. එතකොට අවශ්‍ය දේවල් ටික කරනවා. යන ඉක්මනයි මූලිකම. දෙන්න තියන පණිවිඩය තමයි ළඟම තියන රෝහලට පුළුවන් තරම් ඉක්මනට යන්න කියලා.
වර්තමානයේ තරුණ පිරිස රෝගවලට හාට් ඇටැක්වලට ලක් වෙනවා වැඩියි නේ ද?
අද අවුරුදු හතළිහේ සීමාවේ දි හාට් ඇටෑක් දකිනවා. අද හැමෝගේම ජීවන රටාව ගොඩක් වෙනස් වෙලා. ළමා කාලයේ සිටම ව්‍යායාම නෑ පරිගණකත් එක්ක වැඩිපුර කාලයක් ගත කරනවා, ආහාර රටාව වෙනස්. මේ නිසා පස්සේ හැදෙන්න තියන හාට් ඇටෑක් එක ඊට කලින් හැදෙනවා. මීට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතයත් හෘදයාබාධවලට බලපාන්න පුළුවන්.
ඇතැම් අය මෙම රෝගවලට දෙන බෙහෙත් නිසියාකාරව ගන්නේ නැහැ නේද?
ගොඩක් දෙනකුට බෙහෙත් දෙන්නේ තවත් හාට් ඇටෑක් එකක් එන වළක්වන්න. සමහර අය හිතනවා කලින් හාට් ඇටෑක් එකේ අමාරුව හොඳ වුණාම ආයෙ බේත් බොන්න ඕනෑ නෑ කියලා. එයාලගේ දැනුම වැඩි කරන්න ඕනෑ. එකපාර බේත් නවත්වන්නත් හොඳ නෑ. අධි රුධිර පීඩනයට බෙහෙත් ගන්න කෙනෙක් එක පාරට නවත්වලා රුධිර පීඩනය වැඩි වුණොත් එන ප්‍රතිඵල දරුණුයි. බෙහෙත් ගන්නකොට රුධිර පීඩනය පාලනය වුණාට එය නැවැත්තුවොත් ආයෙත් රුධිර පීඩනය වැඩි වෙනවා. දියවැඩියාවත් එහෙමයි. බෙහෙත් බොනකොට පාලනය වුණාට, බෙහෙත් නැවැත්තුවොත් නැවතත් සීනි වැඩි වෙනවා. මේ නිසා ඖෂධ ගැනීමේ දි වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැදිය යුතුයි.
රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය අමාත්‍යවරයා වශයෙන් "අයවැය ආධාර සේවා සහ හදිසි වගකීම්" යටතේ රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිනි, එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අයහපත් ආර්ථික තත්ත්වයන් හේතුවෙන් මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා හැකිතාක් දුරට අවම කිරීම සඳහා 2022 වසර ආරම්භයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්, වතු ප්‍රජාව, විශ්‍රාමිකයන් සහ රාජ්‍ය සේවකයන් සඳහා සහන පැකේජයක් රජය විසින් හඳුන්වා දී ඇති අතර අත්‍යාවශ්‍ය මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු නීති කිහිපයක් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් නව පනත් මාලාවක් ළඟදීම සකස් කරනු ඇත.
සංශෝධනය කිරීමට නියමිත නීති
-2017 අංක 24 දරන දේශීය ආදායම් පනත
-එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 14
-2011 අංක 21 විදුලි සංදේශ බදු පනත
- ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත, 1988 අංක 40
-2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත
එකතු කළ අගය මත බදු, පුද්ගලික ආදායම් බද්ද, ආයතනික ආදායම් බදු අනුපාත අඩු කිරීමට සහ එකතු කළ අගය මත බදු සහ ආදායම් බදු මත බදු පදනම හැකිලීම සඳහා 2019 පසු ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය තීරණය කළ බැවින් මෙම සංශෝධන අවශ්‍ය විය.
මේ නිසා රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු නීති සංශෝධනය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයින් වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.
අනාගත පරපුරට රටක් - දරුවන්ට හොඳ අනාගතයක් තනන ගමනක සිටි ශ්‍රී ලංකාව දරුණු විනිමය අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට තීරණ ගන්නා තත්ත්වයට වැටී තිබේ. ඉන්ධන හිඟය. ගෑස් නැත. විදුලිය කප්පාදුව අද වන විට අවසන් වන බව කියැවේ. අවශ්‍ය කරන බෙහෙත් වර්ග පවා ආනයනය සීමා කර ඇත. නැවත වටයකින් ආනයනික ද්‍රව්‍ය පාලනයක් ගැන අවධානය යොමු වී ඇති වකවානුවකි.
ආර්ථිකය කළමනාකරණය කර ගැනීම උගහටය. ආණ්ඩුව තුළ ප්‍රශ්න මතු වී තිබේ. විස¾දුමක් කරා ගමන් කරන්නට කරන යෝජනා නොසලකා හැරීම ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළිපිට කැරැල්ලක් මෙහෙයවමින් සිටී. ආණ්ඩුවට සම්බන්ධ පිරිස්, විපක්ෂය, විද්වතුන් රට නැවත ගොඩනඟන අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.
වියදම අඩු කිරීම වෙනුවට ආදායම වැඩි කර ගැනීම
ජන සමාජයේ අප සියලුම දෙනාට පොදු ධර්මතාවක් තිබේ. පහළට වැටෙන්නට කැමැති නැත. එදිනෙදා ගත කරමින් සිටි ජීවිතයෙන් පහළ තැනකට වැටීම ප්රශ්නයකි. ආණ්ඩුව තුළ හා ආණ්ඩුවෙන් පිටස්තර පිරිස් යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවල කැපී පෙනෙන එක කාරණයක් ඇත. අඩු කිරීම්ය. සීමා කිරීම්ය. මෙම සීමා පහළ පෙළැන්තියට පමණකි. මැති ඇමැතිවරුන්ගේ විදුලිය බිල, වාහන පරිහරණය, වැටුප් හා දීමනා, විදේශ සංචාර ගැන අවධානයක් නැත. පටි තදකරගත යුතු සාමාන්‍ය ජනතාව පමණක්ද යන විමතිය ඇතිවේ. දුප්පතාගේ බස් රථය නතරවන නමුත් ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වාහන පුරුදු පරිදි එහා මෙහා යයි. දැන් පවතින ආර්ථික ගැටලු නිරාකරණයට හදිසි සාකච්ඡා සඳහා විය හැකිය. නිදහස ලැබුණ දවසේ සිට තිබුණ හදිසි සාකච්ඡා අවසානයේදී රට ගෙනැවිත් තබා ඇති තැන ඍණ ආර්ථිකයකි. ණය ගෙවා ගත නොහැකි සමාජයකි. මැති ඇමැතිවරු පමණක් නොව රජයේ නිලධාරීන්ද පවතින දරුණු පීඩනය ගැන වගකිව යුතුය.
රටට අවශ්‍ය වියදම අඩු කිරීම නොවේ. අවශ්‍ය තරමට වියදම හොයා ගන්නා වැඩපිළිවෙළකි. ප්‍රමාණවත් ආදායමක් උපයා ගෙන ණය ගෙවන්නටත්, අත්‍යවශ්‍ය දේ ආනයනයටත් මඟ පාදා ගැනීමකි.
අය - වැය වාර්තා පෙන්වන පරිදි ජාතික ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැඟ ඇත. රට තුළ උද්ධමනය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ආහාර මිල ගණන් සියයට විසි පහකින් වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. මහ බැංකුව දක්වන පරිදි විදේශ විනිමය සංචිත දරුණු පිරිහීමකය. ත්‍රස්තවාදය පරාජය කරන දැවැන්ත යුද මෙහෙයුමක් පැවැති කාලයේදී පවා නොතිබුණ තරමට විනිමය සීමා වී ඇති බව කියැවේ. විදේශ රටවලට ගෙවිය යුතු ණය පියැවීම අවහිර වී ඇති අතර දිගින් දිගටම කල් ඉල්ලන්නට සිදුවී ඇත. එය සුදුසු පියවරක් නොවේ.
වර්ධනයක් ඇති කරන පියවරවලින් හුස්මක්
ආර්ථිකයට හුස්ම ගැනීම සඳහා වර්ධනයක් ඇති කළ යුතුය. එදා වේල පිරිමසා ගැනීම අරමුණු කරගෙන ගන්නා තීරණවලින් වර්ධනයක් ඇති නොවේ. ආනයන අඩු කරන පසු සිදුවන්නේ කුමක්ද? රේගු බදු පහත වැටේ. වරායෙන් ගෙන්වන දේ නිෂ්පාදන, සේවා හා අලෙවි අංශවලට යොමුවේ. එම අංශවල ලක්ෂ ගණනක පිරිසක් නිරතය. නැවත නැවතත් කරන චක්‍රිය ගනුදෙනුවලින් යැපෙන ප්‍රවාහයක් සිටී. විදේශ විනිමය හිඟය අනුව ආනයනය නතර කරන සේ යෝජනා කිරීම පහසුය. තවත් වටයකින් ආර්ථිකය හිරවන විට තැළෙන පෙළෙන ජනතාවගේ ජීවිත ගැන අවධානය යොමු කරන්නේ කොතැනින්ද?
ආනයන යනු තවත් රටකින් ගෙන එන දේ බව මතක තබාගත යුතුය. ඇපල් සහ මිදි ප්‍රතික්ෂේප කළ හැකිය. එය ජාත්‍යන්තර වෙළෙඳාමේ එක පැත්තකි. ඇමෙරිකාවෙන් ඇපල් ගෙන්වන අතර එයට හිලව් වශයෙන් ඇඟලුම් මිලදී ගනී. ඇපල් ප්‍රතික්ෂේප කරන පසු ඇඟලුම් පමණක් මිලදී ගන්නට සූදානම්ද? කහ ආනයනය නතර කළ පසු ඉන්දියාවේ වගාකරුවන්ට ප්‍රශ්න මතු විය. වාහන ආනයනය නතර කළ පසු ඒවා නිපදවන හා ප්‍රතිඅපනයනය කරන රටවලට දැනෙන කාරණයක් විය. ශ්‍රී ලංකාව කුඩා රටකි. කුඩා වෙළෙඳපොළකි. එම වෙළෙඳපොළ අවහිරවීමද කිසියම් පිරිසකට දැනෙන කාරණයක් බව අමතක කළ යුතු නැත.
ආර්ථිකයට හුස්ම ගැනෙන්නට නම් වර්ධනයක් වුවමනා කෙරේ. පිබිදීමක් අවශ්‍යය. සාමාන්‍යයෙන් ආර්ථිකයක් ඍණ අගයකට පත් වූ පසු නැවත වර්ධනයක් සිදුවේ. වෙළෙඳපොළ සිද්ධාන්තයකි. සුදුසු පියවර අනුව තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ශ්‍රී ලංකාවට වෙළෙඳ ගිවිසුම් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ඇත. තානාපති කාර්යාල ප්‍රධාන රටවල තිබේ. පවතින නිෂ්ක්‍රිය තත්ත්වය වෙනුවට වෙනස්කම් සඳහා සහාය ලබා ගැනීම වරදක් නොවේ.
විදේශ විනිමය උච්ඡාවචනය වැළැක්වීම දැනට පවතින විනිමය හිඟය තවත් උග්‍ර කරන හේතුවක් බව පෙනේ. වේගයෙන් අවප්‍රමාණය වනු ඇති බවට මතු වූ සැකය පදනම් කරගෙන තද රෙගුලාසි පනවා ඇත. ඊයේ එනම් මාර්තු හත්වැනිදා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව විනිමය අනුපාතිකය තරමක් ලිහිල් කර තිබේ. මෙතෙක් පැවැති ඇමෙරිකානු ඩොලරයකට රු. 201.00ක් මිල නියම කර අතිරේකව රු. දහයක් ගෙවන තීරණය වෙනුවට රු.230.00ක මිලක් නියම කර තිබේ. රටට විනිමය ලැබෙන මඟ අවහිරවීම එයින් මඟ හැරෙන්නේ නැත. නීත්‍යනුකූල විනිමය වෙළෙඳපොළට එපිටින් සංචිත හැදෙමින් තිබේ. ප්‍රධාන නගරවල වෙළෙන්ෙදා් රුපියල් දෙසියපනහ දක්වා මිලකට ඩොලර් මිලදී ගනිමින් සිටිති. විදේශ ගතවන සහ පිටරටවල් සමඟ ගනුදෙනු කරන පිරිසට විනිමය ලැබෙන්නේ එතැනින්ය. විකුණුම් මිල රු. දෙසියහැත්තෑව දක්වා නැඟ තිබේ. බි්රතාන්ය පවුමක් රු. තුන්සිය හතළිහකි. මෙම මිල පවතින පසුබිම තුළ රටට එන විනිමය වාණිජ බැංකුවලට නොලැබීම පුදුමයක් නොවේ. සංචාරකයන්ට හෝටල් ගාස්තු විදේශ විනිමයවලින් ගෙවන සේ යෝජනා කළ පසු වාණිජ බැංකුවලට විනිමය ලැබෙන්නේ කෙසේද?
මෙම තීරණාත්මක අවස්ථාවේදී රෙගුලාසි ලිහිල් කළහොත් රටට විනිමය ලැබීම ඉක්මන් වනු ඇත. පිටරටවල සේවය කරන පිරිස වැනි කොටස් ගෙන එන විනිමය සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් නීත්‍යනුකූලව ලැබෙන පසු ඒවා සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩි කරන හේතුවකි. ලක්ෂ විස්සකට වැඩි විදේශ ගත ශ්‍රමිකයන් පිරිසක් සිටින අතර ඔවුන් එවන විනිමය මෙරට වැඩිම ආදායම බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ ප්‍රේෂණ ලැබීම් සීමා වී තිබේ. විනිමය රෙගුලාසි බලපෑම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.
සංචාරක පැමිණීම, ආයෝජනවලින් හෝ වෙනත් ආධාරවලින් රටට සංචිත ලැබුණ පසු විනිමය අගය ශක්තිමත් වන අතර එතෙක් තාවකාලික පියවරක සිටීම පහසු බව මහ බැංකුව කල්පනා කරන බව පෙනේ. එම පියවර සමඟ රට තුළ පැන නැඟී ඇති විකෘතිය බරපතළ අවදානමකි. කිසියම් අවස්ථාවක රෙගුලාසි ලිහිල් කරන්නට සිදුවුවහොත් එකවරම සිදුවිය හැකි විනිමය අනුපාතිකයේ මිල වෙනස්කම් දරාගැනීමට දුර්වල ආර්ථිකයකට හැකිද යන්න වෙනම අධ්‍යයනය කළ යුතුය.
ආයෝජන කැඳවීම ගැන සමාජයේ මතය
විදේශ විනිමය අවශ්‍ය බව ශ්‍රී ලාංකිකයන් දැනගෙන සිටින කරුණකි. අපනයන නංවන්නට, ආයෝජන කැඳවන්නට හෝ තාවකාලික ණයක් ගැනීමට විරුද්ධවන හේතුව කුමක්ද? ඒවා රටට විනිමය ලබාගත හැකි ප්‍රධාන මාර්ග අතළොස්ස අතර තිබේ. ආයෝජන සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇත. කොළඹ වරාය පරිශ්‍රයේ ආයෝජනය ගැන දීර්ඝ විරෝධයක් තිබිණි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කැමැත්තක් නොතිබිණි. රිදීමාලියැද්ද ප්‍රදේශයේ සීනි කම්හලක් ඉදිකිරීම ගැන දැන් ආන්ෙදා්ලනයක් ඇත. විනිමය පමණක් නොව විදුලිය අර්බුදයක් පැන නැඟෙන බව පෙනෙන මානයේ යුගදනවි බලාගාරයට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීය. මෙවැනි පටු පිළිවෙළ ජාත්‍යන්තර ආයෝජන අවහිර කරයි. විදේශ විනිමය උපයා ගැනීමට අනෙක් මඟක් යෝජනා නොකරන විද්වත් පිරිස ආයෝජනවලට අවහිර කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? රටට ධනය උපයා ගත හැකි අනෙක් මාර්ගයක් හෙළි නොකරන්නේ ඇයි?
ආර්ථික බලපෑම් ලිහිල් කර ආයතනික පද්ධති නවීකරණය කළ හැකිය. අවශ්‍ය උත්පාදනය තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබේ. තෙල් නැවක් ගෙන්වන්නට වත්කමක් නැති අවස්ථාවක සිටින ආණ්ඩුව මූල්‍ය අරමුදලේ පිටිවහලක් නොලබන හේතුව කුමක්ද? සංචිත පිරිහී, ණය ගෙවා ගත නොහැකි අර්බුදකාරී රටක් ලෙස මූල්‍ය අරමුදලේ සරණ යෑම වෙනුවට සාකච්ඡාවකින්, සංවාදයකින් පසු තීරණ ගැනීම සුදුසුය. දේශපාලන තීරණ, විරුද්ධ පක්ෂයේ බලපෑම් එවැනි පියවරකට ගමන් නොකරන්නට රාමුව සකස් කර ඇති බව පෙනේ. අවසානයේදී තවත් වටයකින් අර්බුදයකට පත්වීම හැර අනෙකක් අපේක්ෂා කළ නොහැකිය.
වාණිජ ණයවලින් අඩාල කරන්නේ අනාගතයයි
විදේශ වෙළෙඳාම සඳහා අවස්ථාව පාදා ගැනීමත්, ආයෝජනවලින් විනිමය ගෙන්වාගැනීමත් පසෙකට කරන ආණ්ඩුව ණය ගැනීම කෙරෙහි වැඩි බරක් තබා තිබේ. ඉන්දියාවෙන් අඩු පොලී ණයක් ගැනීමට සූදානම්ය. පසුගිය වසරේ වෙළෙඳ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් වූ බව මතක් කළ යුතුය. ඉන්දියාවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය කිසිසේත් ප්‍රමාණවත් නැත. චීනයෙන්, බංග්ලාදේශයෙන් ණය ඉල්ලමින් සිටී. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ණය ඉල්ලන පියවරකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති අතර එය ආර්ථිකයෙහි වඩාත් දරුණු තත්ත්වයක් උද්ගත කරනු ඇති බව පෙන්වා දිය යුතුය.
ඉන්දියාවෙන් ලැබෙන ද්වීපාර්ශ්වික ණය හුවමාරුව සුළු පොලියකට බව දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියයට එකකට අඩු පොලියකට ණය ලබා ගත හැකිව ඇති බව සඳහන් කළ යුතුය. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලට සියයට හයක් දක්වා ඉහළ වාර්ෂික පොලියක් ගෙවන්නට සිදුවේ. මෙම අවුරුද්දේ ගෙවන්නට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ ඉතිරි කොටස පියැවීම සඳහා වාණිජ ණය ගැනීමෙන් තවත් වටයකින් ණය අර්බුදයක් කරා යොමුවීම වැළැක්විය නොහැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන පක්ෂ, විද්වත් පිරිස හා පොදු මහජනතාව විශාල කැපවීමකට යා යුතුව තිබේ. වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ආණ්ඩුවට බල කළ යුතුය. පටු විවේචන, අධෛර්යය කිරීම් අවසානයේදී අලවන පැලැස්තරය අනාගතයේදී තවත් වටයකින් අනාගත පරපුර අවදානමකට පත් කරනු ඇත.
ශාමින්ද වත්තේගෙදර
මිනිසකුගේ සිතට නිරායාසයෙන් ම ඇතිවන හැඟීම් අතර, ආදරය ප්‍රධාන තැනක් ගනී. ‘ආදරය’ යනු, කෙනකුගේ ජීවිතයට උත්තේජනයක් එක්කරන දෙයකි. සිතක් තුළ ආදරයක් හටගත් විට, සිත සතුටින් පිරී යයි. මේ නිසා, තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ප්‍රීතිමත් කිරීම සඳහා, ඕනෑම දෙයක් කළ හැකි ය. ආදරයට එතරම් වූ ප්‍රබල ශක්තියක් තිබේ. ආදරයක් සදාකාලිකව, නොවෙනස්ව පවත්වා ගන්නට නම්, දෙදෙනාගේ ආදරය දෙදෙනාට ම දැනිය යුතු ය.
ආදරය දැනෙන අන්දමින් කටයුතු නොකරන නිසා, බොහෝ සබඳතා තුළ විරසක බව, තනිකම, වෙන්වීම වැනි අවාසනාවන්ත තත්ත්ව ඇති වේ. විශේෂයෙන් පෙම්වතුන්ව සිට, ආදරය කරන සමයට වඩා විවාහයෙන් පසු ඒ ආදරය එලෙසින් ම පවත්වා ගැනීම බොහෝ දෙනකුට ගැටලුවකි. වසර පහක් හයක්, එසේත් නැතිනම් වසර හතක් පමණ කාලයක් පෙම්කොට විවාහ වී, මැසිවිලි නඟන්නේ වසර දෙකක්වත් ගතවන්නට පෙර ය. එසේ නම්, ඒ ගැන ඔබ දැනුම්වත් විය යුතු ය. ඔබත් විවාහ වීමට සිටින පෙම්වතකු හෝ පෙම්වතියක නම්, අඹු සැමියන් අතර විරසක බව ඇතිකරන ප්‍රධාන කරුණු පිළිබඳ දැනුම්වත් විය යුතු ය.
* එකිනෙකා අතර පිළිසඳරක් නොමැති වීම
පෙම්වතුන්ව සිටින කාලයේ කවුරුත්, නිතර මුණගැසීමට, කතාබහ කිරීමට කැමැති ය. නිතර හමු වී පිළිසඳරේ යෙදීමෙන්, එකිනෙකා තේරුම් ගත හැකි ය. එහෙත්, මේ කතාබහ විවාහ වී කලක් ගතවන විට දක්නට ලැබෙන්නේ නැත. දෙදෙනා එකිනෙකාගෙන් දුරස් වේ. බොහෝවිට සැමියා රූපවාහිනිය බැලීම, කාර්යාල රාජකාරි කිරීම ආදියේ නිරත වන විට, බිරිය එදිනෙදා නිවසේ වැඩ කටයුතුවල යෙදෙයි. එහෙත්, දවසේ වැඩපළ අවසන් වූ පසු ඉස්තෝප්පුවට වී තේ පැන් සංග්‍රහයක් රස විඳිමින්, දෙදෙනාට පිළිසඳරේ යෙදීමට හැකිනම්, බැඳීම් ශකිත්මත් වේ. සිතේ ඇතිවී තිබූ පීඩා සංසිඳී යයි.
*ප්‍රියමනාප ලෙස කතා නොකිරීම
ඕනෑම මනුෂ්‍යයකු තවත් මනුෂ්‍යයකුට ප්‍රියමනාප වන්නේ හෝ නොවන්නේ, කතා කිරීමේ විලාසය මත ය. පොල්ලෙන් ගසන්නා සේ කතා කිරීම, ගෞරවයෙන් කතා කිරීමට පුරුද්දක් නැතිකම, හැඟීමෙන් කතා නොකිරීම ආදිය එකිනෙකා අතර ගැටුම් ඇති වීමට හේතු වේ. කිසියම් අවස්ථාවක සැකයක්, රහසක් සිතේ පවතින විට, ප්‍රසන්නව කතා කිරීම අපහසු ය. එහෙත්, එසේ වීමෙන් ඔබට සිදුවන සෙතක් නොමැති බැවින්, හැකි උපරිමයෙන් යළි යථා තත්ත්වයට පත්වීම හොඳ ය. ප්‍රියමනාප ලෙස කතා කිරීම සැබැවින් ම දියුණු කරගත යුතු කුසලතාවකි.
*ආවේග පාලනය කර ගැනීමට අසමත් වීම
කෙනකු තුළ ඇතිවන ආවේග පාලනය කර නොගතහොත්, එය අනිවාර්යයෙන් ම අරගලයකට හේතු වේ. එම ආවේගය පිටකළ විට, නිසැකව ම අනෙක් පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර ලැබේ. ඒ ප්‍රතිචාරය බොහෝ අවස්ථාවල දී ගැටුමක් නිර්මාණය කරයි. ආවේගකාරීව හැසිරුණ බොහෝ පුද්ගලයන් කිසිවකුගේ හොඳක් දකින්නේ නැත. ඒ නිසා, කිසියම් ආවේගයක් ඇතිවූ විට, වැඩක නිරත වන්න. ඒ වගේම, බිරියට හෝ ඔබට ආවේගයක් ඇතිවූ විට, එක් අයකු අනෙකාට ආවේගය පිට කරන්නට ඉඩහැර, නිහඬව සිටීම, ගැටුම් අවම කිරීමට හේතු වේ. පසුව නිදහසේ ඒ ගැන කතාකර, එම ගැටලුව හිතින් මුළුමනින් ම බැහැර කරගත යුතු ය.
* ගෙදර දොර වැඩ සහයෝගයෙන් නොකිරීම
කාන්තාවන් මානසික පීඩනයට ගොදුරු වන කරුණු අතර කැපී පෙනෙන කාරණයක් ලෙස, තනිවම නිවෙසේ බොහෝ වැඩ ප්‍රමාණයක් කරන්නට සිදුවීම සඳහන් කළ හැකි ය. විවාහ වී රැකියාවකට යන කාන්තාවක් නම්, රාජකාරි කටයුතු වගේ ම, නිවෙසේ වැඩපළ ද කිරීමට සිදු වේ. ඒවා බිරිය පමණක් සිදු කරන විට ඇතිවන වෙහෙස අපමණ ය. එම රාජකාරි එදිනෙදාම කිරීමට සිදුවන දේ ය. එබැවින්, සැමියා හා බිරිය යන දෙදෙනා ම එක්ව, සහයෝගයෙන් යුතුව නිවෙසේ එදිනෙදා කටයුතු කිරීම, දෙදෙනාගේ ම මානසික පීඩනය අවම කිරීමට හේතු වේ.
* අගය කිරීම, කෘතවේදීතාව ගැන නොතැකීම
ජීවත් වීමට ආදරය අවශ්‍ය ම යැයි පිළිගන්නේ නම්, නිතර ම කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතු ය. පළමු වැනි කාරණය නම්, අගය කිරීම ය. දෙවැනි කාරණය කෘතවේදී වීම ය. එය වයස් බේදයෙන් තොරව සියල්ලන් බලාපොරොත්තු වන්නකි. කෙනකු තමන් අගය කරනවා දකින්නට කැමැති නම්, තමන් පළමුව අනෙක් තැනැත්තා අගය කළ යුතු ය. කෘතවේදීතාව සම්බන්ධයෙන් ද එය අදාළ ය. අගය කිරීමට, කෘතවේදීතාවට අවශ්‍ය වන්නේ වචන පමණකි. එහෙත්, ඒ සඳහා හිස් වචන ප්‍රමාණවත් නැත. බර වචන හෙවත් හදවතට දැනෙන වචන කතා කළ යුතු ය.
*අනවශ්‍ය සැකය
හේතුවක් නැතුව සැක කිරීම මින් අදහස් කෙරේ. සැකසංකා ඇතිවන්නේ දෙදෙනා දෙදෙනාට විවෘත නොවන නිසා ය. විවාහයෙන් පසු ‘මම’ යන වචනය අහෝසි විය යුතු ය. ‘අපි’ යන වචනය ශක්තිමත් විය යුතු ය. බොහෝ දෙනා ප්‍රේමය සුන්දරයි කියා කීව ද, විවාහය සුන්දර යැයි නොකියන්නේ, ඒ තුළ මුහුණ දෙන්නට සිදුවන අභියෝග නිසාවෙනි. ඒ නිසා, මනා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. නැතිනම් ඔබගේ ප්‍රේමය හත් අවුරුදු ප්‍රේමයක් වුව ද, විවාහ වී වසරකින් බිඳවැටිය හැකි ය.
ඉහත සඳහන් කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඔබට කිසිඳු මුදලක් වැය නොවේ. අවශ්‍ය වන්නේ ඕනෑකමත්, යහපත් ආකල්පත් පමණි. පෙම්වතුන් ලෙස ප්‍රේම කරනවාට වඩා, විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසු පෙරටත් වඩා ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. නැතිනම්, හෙට දිනයේ ඔබේ විවාහ ජීවිතය අපායක් බවට පත් වේ. යුගදිවියට ඇතුළත් වීම යනු එවන් තත්ත්වයක් අපේක්ෂා කිරීමක් නොවන නිසා, අවධානයෙන් මේ කාරණා ගැන සිතමු.
මනෝවිද්‍යා උපදේශක
දිනුක මදුෂාන් වන්නිනායක
Dinamina පුවත්පතට යොමු කළ ලිපියකි.