Tuesday, 19 March 2024
ඔබේ වේදිකාව

ඔබේ වේදිකාව

පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික බැතිමතුන්ගේ කලූ දිනයක් වශයෙන් සලකුණු වූ බව නිසැකය. කතෝලික දේවස්ථාන ගණනාවක්, තරු පන්තියේ සංචාරක හෝටල ඇතුළු ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප‍්‍රහාර ගණනාවක් සිදුවිය. මිය ගිය අහිංසක ජනතාව හා විනාශ වූ දේපොල භයානක අත්දැකීමක් බව සඳහන් කළ යුතුය. අන්තර් ජාතිකව පවතින දරුණු ත‍්‍රස්තවාදී කල්ලි මෙකී ප‍්‍රහාරය පිටුපස සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ. ඉකුත් දින ගණනාව තුළ ජන ජීවිතය අඩාල විය. ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති හිඩැස් සම්බන්ධයෙන් වගකිව යුතු අංශ අතර බලවත් විවාදයක් පැවැතිණ. ඔත්තු සේවා දුර්වලවීම හා කලින් කරන ලද අනතුරු ඇඟවීම් ගණනකට නොගැනීම ප‍්‍රශ්නයකි. පාර්ලිමේන්තුවේ දී කරන ලද ප‍්‍රකාශ හා සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විවාදය අවස්ථාවේ දී මැති ඇමැතිවරු දක්වන අදහස් රට පත්ව ඇති තත්ත්වය යහපත් නොවන බව දක්වයි.

 

බාහිර බලවේග රටට ඇතුළු වීම

මෙරට අන්තවාදී කල්ලියක් හා එම කල්ලියට ලැබුණ උපදෙස්, පුහුණුව හා නියෝග ගැන විස්තරාත්මක තොරතුරු අනාවරණයවී තිබේ. බාහිර පාර්ශව වලට මෙරටට ඇතුළුවෙන්නට තිබුණ හිඩැස ගැන අවධානය යොමු කළ යුතුයි. 1980 දශකයේ සිට ශ‍්‍රී ලංකාව අන්තවාදී කල්ලි පෝෂණය වූ බිමක් බව අමතක කළ යුතු නැත. පළමුවෙන් සිංහල අන්තවාදය ඇති විය. එය දකුණේ ත‍්‍රස්තවාදය වශයෙන් රට තුළ විශාල පිපිරීමක් ඇති කළේය. දක්ෂ තරුණ පිරිසක් රටට අහිමි විය. අනතුරුව දෙමල අන්තවාදය ආරම්භ විය. උතුරේ අන්තවාදීහු දකුණේ සිද්ධි වලින් අත්දැකීම් ලැබ ගත් බව නිසැකය. සෑහෙන වශයෙන් අන්තර්ජාතික සහාය ලැබුණ අතර දශක තුනක් තිස්සේ උතුරේ ත‍්‍රස්තවාදය රටට ඇති කළ විනාශය අති විශාල එකකි. නිරීක්ෂණය කළ හැකි අන්දමට මෙමම සිද්ධි පිටුපස මුස්ලිම් අන්තවාදයක් තිබේ. මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයකි. ජාතිය, ආගම හා පංති වශයෙන් රට තුළ විශාල බෙදීම් තිබේ. එය නොයෙක් වර මම පෙන්වා දී ඇති කාරණයකි. දේශපාලන පක්ෂය, ඉගෙනගන්නා පාසල, ජීවත්වන ප‍්‍රදේශය වශයෙන් බෙදීම් ඇති රටක අන්තවාදී බලවේග වලට ඇතුළු වෙන්නට පහසුය. මෙම බෙදීම් වටහා ගෙන නිසි අවස්ථාවේ දී එම පලූදු පිලියම් කිරීමට පියවර ගැනීම නායකයන්ගේ වගකීමකි. අවාසනාවකට අපගේ ජාතික හෝ ආගමික නායකයන් එයට පියවර ගත්තේ නැත. තමන්ගේ ගෝත‍්‍රය එහෙම නැත්නම් නිකාය වෙත කොටුවන ස්වභාවය තුළ අනෙක් පාර්ශව වලට අසාධාරණය, අයුක්තිය, අවිශ්වාසය යන අංශ ක‍්‍රමයෙන් මෝදු විය. මෙවැනි දුර්වල සමාජ ව්‍යුහයක් පවතින විට නොයෙක් ජාති, ආගම් පදනම් කරගෙන අන්තවාදී කල්ලි බිහිවීම අපේක්ෂා කළ යුතුය. එම අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට ජාත්‍යන්තර බිහිසුණු කල්ලි සූදානම්ව තිබේ.

රට තුළ තිබෙන අස්ථාවර භාවය සැලකිය යුතුය. විශාල බේධ තිබෙනවා. හැම තැනම තියෙන්නේ අයාලේ ගිය බවකි. දේශපාලනය ඉතා දුෂිතය. නායකයෝ සුළු දේටත් ගැටුම් ඇති කරගනිති. මෑත කාලය තුළ තිබුණ ආණ්ඩු අසමත්ය. මත් ද්‍රව්‍ය ජාලය. මුදල් විශුද්ධිකරණය හා මිනිස් ජාවාරම් ඉහ වහා ගොස් තිබේ. බලවත් රටවල් ශ‍්‍රී ලංකාව සඳහා ඇති කරගෙන තිබෙන බල අරගලය තවත් පැත්තකි. මෙම අරගලය මගින් බලවත් රටක් අනෙක් තරගකාරී රටක් අධෛර්යය කරනු සඳහා අප රට තුළ ඇතිකරන නොසන්සුන් තත්ත්ව කිසිසේත් සුළු කොට තැකිය යුතු නැත. මෙම පසුබිම මගින් රටේ ස්වභාවය ප‍්‍රශ්න වලින් හැදුණු සැලඞ් එකක් කර තිබේ.

මෙරට රාජ්‍ය බුද්ධි සේවාවට මෙම අර්බුදය ප‍්‍රමාණවත් අන්දමට තේරුම් ගත හැකි යැයි හිතන්නට පුලූවන් කමක් නැත. අපට තිබුණ දක්ෂ බුද්ධි සේවා දේශපාලණීකරනය වී තිබේ. දක්ෂ සේවාවක් හා ඒවායේ නිලධාරීන් හොඳ සේවයක් කළේය. මෑත කාලය තුළ එය අඩපණ කර තිබේ. මෙයින් වූ හානිය මධ්‍යස්ථව සලකා බලන්න අවශ්‍යය. දේශපාලන පක්ෂ වලට බෙදා, බේධ ඇති කර දඩුවම් දෙන විට නිලධාරීන්ගේ විශ්වාසය බිඳ වැටෙන අතර බුද්ධි සේවාව ස්වාධීනව ක‍්‍රියාත්මක නොවේ. මෙම පැති එකින් එක වෙනම සාකච්ඡා කළ යුතුය. පවතින තත්ත්වය තේරුම් ගෙන තීරණ ගැනීමට එයට දූරදර්ශී නායකත්වයක් අවශ්‍යය. අනාගතයේ කවර නායකයෙකු රට පාලනය කළත්, අද තමන්ගේ කාර්යය ඉශ්ඨ කර පරාජය වී ගෙදර යෑම අභිමානයක් සේ හිතන නායකයන් රටට අවශ්‍යය.

 

අවස්ථා අහිමි කරගත් ජන සමාජයක්

අද පවතින මෙම තත්ත්වය ඉතා සංකීර්ණ එකකි. මෙම පසුබිමට අප සියළුම දෙනා වගකිව යුතුය. එක ලාංකිකත්වයක් නිර්මාණය කරගන්නට අසමත් වූ අප ගොඩනගාගෙන තිබෙන සමාජය ඉතාම අන්තවාදී එකකි. සුනාමි ව්‍යසනයට පසු එක රටක් එක සමාජයක් වශයෙන් ගොඩනැගෙන්නට අපට ඉඩක් තිබුණි. දේශපාලනඥයෝ එම අවස්ථාව මග හැරියේය. යුද්ධය අවසන් වූ වහා අප සියළු දෙනාට එකතු වී අලූත් යුගයක් ඇති කරන පියවර ගත හැකිව තිබුණි. එම අවස්ථාව ද ඉතා පටු ආකාරයට අත්හැර දමන ලද බව දැක්විය යුතුය. වටිනා අවස්ථා අත් හරින ලද රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ඉතිහාසයට එකතු වී තිබේ.

දකුණේ ත‍්‍රස්තවාදය මතුවීමෙන් පසු එයට විසªමක් දුන්නේ විශාල මර්දනයකින්. තරුණයන් නගන ලද හඩ ගැන අප කල්පනා කළේ නැත. එවකට ජනාධිපතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස මහතා තරුණ අසහන කොමිසමක් පත් කර කැරැල්ලට හේතු සොයා බැලීය. එතුමාට එයට ධෛර්යයක් තිබුණ නමුත් එම කොමිසන් වාර්තාවෙන් අනාවරණය වූ දේ අවංකව ක‍්‍රියාවට නැගුවාද කියන ප‍්‍රශ්නය අපි අපෙන්ම අහන්න අවශ්‍යය. දෙමල ත‍්‍රස්තවාදයට පසු තරුණයන්ගේ හැබෑ ප‍්‍රශ්නය තේරුම් ගන්න අප උත්සාහ කර නැත. මුස්ලිම් ජාතිකයන්ට, වෙනත් ආගමිකයන්ට වන අසාධාරණ හමුවේ සමහර අවස්ථාවල සුළු පිපිරීම් සිදු විය. ඒවා ගැන ගැඹුරු අධ්‍යයනයකට ගියේ නැත. හේතුව පාලකයන්ගේ පටු ආකල්ප බව දැක්විය යුතුය. පක්ෂ දේශපාලනය ආරක්ෂා කළ අතර නායකයෝ කල්පනා කළේ බලය ගන්නා ආකාරය ගැනය. අනුන්ගේ විපත තමන්ගේ සැපතට හරවා ගත් අතර මෙම ආත්මාර්ථකාමී පාලකයන් දෙස සමාජය බලා සිටියේය. තම නායකයන් ගෝත‍්‍රික අන්දමට පක්ෂ අභිලාශ වෙනුවෙන් සටන් කරන පසුබිමක ජනතාව එක රටක් එක ජාතියක් වශයෙන් හිතන්නේ කෙසේද? මෙම ප‍්‍රශ්න සීමාව ඉක්මවා ගොස් ඇති අතර පුද්ගලයෝ මාරු කිරීමෙන්, ආණ්ඩු වෙනස් කිරීමෙන් මෙම භයානක තත්ත්වයට උත්තර හොයන්න නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. රට තුළ ආකල්ප වෙනස් කළ යුතුය. එක රටක් එක පුරවැසියන් කොට්ඨාශයක් වශයෙන් සිටිය යුතු අප හැමදෙනාටම අනන්‍යතාවය ගැන ප‍්‍රශ්නයක් තිබේ. ඒවා නිරාකරණය කරගැනීමට ඇති කරගන්නා පොදු සම්මුතිය කුමක්ද කියන කාරණය අප සාකච්ඡා කළ යුතුය. උත්තරය අප අතර ඇත. වෙන රටකින් වෙන සමාජයකින් අපට අද උද්ගත වෙලා තියෙන අවසානයක් නොපෙනෙන ඛේදවාචකයට විසදුමක් ලැබෙන්නේ නැත.

 

රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් කළ හැක්කේ කුමක්ද?

අද පවතින තත්ත්වය සලකා බලා සම්පූර්ණ ශුද්ධ කිරීමක් කළ යුතුය. පළමුවෙන් නායකයෝ එක තැනකට පැමිණීම අවශ්‍යය. පටු පක්ෂ දේශපාලනයකින් තොරව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, අනෙක් දේශපාලන පක්ෂ සහ ජාතික හා ආගමික නායකයන් එකතු වී පරිවර්තනයක් ඇති කරන අන්දම ගැන සාකච්ඡා කළ යුතුය. වැරදි කළ පිරිස අත්අඩංගුවට ගත යුතුය. තරාතිරම නොබලා නීති ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය. නීතිමය ක‍්‍රියාමාර්ග වලට අවශ්‍ය ස්වාධීන පසුබිම රට තුළ හැදිය යුතුය. ප‍්‍රතිවාදී දේශපාලනඥයා පාලනය කිරීම බලාගෙන තීරණ ගැනීමේ පැවැත්ම වහා අවසන් කළ යුතු අතර අර්බුද නිරාකරණය උදෙසා අවශ්‍ය නම් අලූත් නීති හැදිය යුතුයි. ඇමරිකාව 2011 සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසු සියළු පක්ෂ නියෝජනය කරන කොමිසමක් පත් කළේය. එම කොමිසමේ නිර්දේශ අනුව අලූත් පණත් සකස් කළ අතර බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය කරන ලදී. ආරක්ෂක අංශ නවීකරණය කළා. කොමිෂන් පත් කළ හැකි නමුත් ජනතාව මෙරට කොමිෂන් ගැන බලන්නේත් සැකයෙනි. ත‍්‍රස්තවාදයට අනුබල දෙන, ව්‍යුහ තුරන් කරන නීති හැදිය හැකියි. දඩුවම් වැඩි කළ හැකියි. නමුත් ඒවා යතාර්ථවාදීව ක‍්‍රියාවට නැගීම ගැන අවධානය යොමු කළ යුතුය.

ව්‍යවස්ථාවක් හදා, ඡන්ද ක‍්‍රමය වෙනස් කර දේශපාලනඥයන්ගේ බලය ආරක්ෂා කරන පියවර පැත්තකින් තබා සමාජය ගොඩනගන අලූත් හර පද්ධති සූදානම් කරගත යුතුව තිබේ. අන්තවාදයෙන් තොර මැද මාවතක් සොයා ගෙන හැම ජන කොටසකටම ගැලපෙන ක‍්‍රමයක් හැදිය යුතුය. මේවා පහසු නැත. සියළු පාර්ශව එකතු කරගැනීම දුෂ්කරය. විශාල කැපවීමක් අවශ්‍යයි. පීඩනයට පත්ව සිටින සියළුම දෙනා එක පියවරක් පස්සට ගෙන අලූතින් හිතන්න අවශ්‍යය. අන්තවාදය කොටු කිරීම සදහා සාමකාමී බලවේග එක්සත් විය යුතුය.

පවතින සංකීර්ණ අන්තවාදී බලවේග පරාජය කිරීම සදහා අනිවාර්යයෙන් අන්තර් ජාතික ප‍්‍රජාවගේ සහාය අවශ්‍ය කෙරේ. ඉන්දියාව මෙම ප‍්‍රහාර ගැන අනතුරු අඟවා තිබුණි. ලෝකයේ අනෙක් රටවල් වලට නවීන උපක‍්‍රම ගැන අත්දැකීම් ඇත. මෙවැනි වෙනස් කම් වලින් හැර ඡුන්දයකින් පත්වෙන වෙනත් ආණ්ඩුවකින් මේවා අලූතින් කරන්න නොහැකිය. අද පවතින ක‍්‍රමය අනුව ආණ්ඩු බලයට පත්වෙන්නේ කල්ලි බලවේගවල ගොදුරු වශයෙනි. ඉතිහාසය පුරා එම තත්ත්වය සනාථ කර ඇත. කල්ලි වල සහායෙන් බලයට එන ආණ්ඩු ජනතාවගේ ඝෝෂාව වෙනුවට සුළු පිරිසකගේ හඩට අවනත වන අතර එය හානිය පුලූල් කරයි. ස්වාධීනව ක‍්‍රියා කරන්න නොහැකි නම් ඉදිරි ඡන්දයෙන් රට පාලනය කරන්න හැකි පිරිසකට බලය දීම ජනතාවගේ කාර්යයකි. හැබෑ ජනතා නායකයන් දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන් බවට පත් විය යුතුය.

අන්තවාදී කල්ලිවල ස්වභාවය

මෑත ප‍්‍රහාරය කළ අන්තවාදී කල්ලි මධ්‍යම පැලැන්තියේ හොඳ පසුබිමක් සහිත නියෝජනයක් බව විශ්ලේෂණය කරන විට පෙනේ. මෙම භයානක කණ්ඩායමේ අරමුණ කුමක්ද? නැවත සමාජය ගොඩනගන අතරවාරයේ එම වැදගත් ප‍්‍රශ්නය නගන්නට අවශ්‍යය. රට තුළ ප‍්‍රශ්න තිබුණ අතර ඒවා සමාජ ගෝලීයකරණය සේ ගෝලීය ත‍්‍රස්තවාදයක් දක්වා ව්‍යාප්ත වුයේ කෙසේද යන කාරණය බුද්ධිමත්ව හිතන්න අවශ්‍යය. අප නොදැනුවත්වම ලෝකයේ භයානක කල්ලි වල කොටස්කරුවන් වී තිබේ. දේශ සිමා රහිත සංවිධාන වලට රට තුළ පදනමක් හදා ඇත. විනාශ වූ ගොඩනැගිලි හදනවා වගේම විනාශ වූ සිත් හදන්න අවශ්‍යය. අන්තවාදයෙන් තොර මධ්‍යස්ථ ආකල්ප රට තුළ දියුණු කළ යුතු අතර වෛරය, පලිගැනීම වැනි දරුණු ආකල්ප රට තුළ තුරන් කරන වැඩ පිලිවෙලක් අවශ්‍යය. ජාතික ආගමික නායකයන්ට වැඩ පිලිවෙලකට මුල් විය හැකිය. නමුත් රට තුළ සාධාරණ සහ යුක්ති සහගත ක‍්‍රමය හදන්නට පාලකයෝ වගබලා ගත යුතුයි. අසාධාරණයක් වෙන විට එය කියාගන්නට කෙනෙක් සිටින ජනතාවට සවන් දෙන පාලකයන් සිටිය යුතුයි.

ගෝලීය ත‍්‍රස්තවාදයට- අන්තර්ජාතික සම්බන්ධතා

ශ‍්‍රී ලංකාවට පවතින තත්වයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා ඉතාම වැදගත්ය. සෑම බලවත් රටක් සමගම ගැඹුරු සම්බන්ධතා ගොඩනගා ගත යුතු අතර ආර්ථික හා සමාජයීය සම්බන්ධතා හා සමානව ආරක්ෂක සම්බන්ධතා තරකරගැනීම සුදුසුය. ලෝකයේ බලවත් රටවල් සමග වෙන වෙනම අනන්‍ය, උපායශීලී සම්බන්ධතා තිබිය යුතු අතර පටු අරමුණු ඇතිව ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන අභිලාශ පැත්තකට කර, ගැලපෙන සියුම් සම්බන්ධතා ජාල හැදිය යුතුය. වෘත්තීය නිපුණ දක්ෂ නිලධාරීහු එකතු කරගැනීම එහිලා ඉතාම වැදගත්ය.

දශක තුනක ත‍්‍රස්තවාදයට මුහුණ දුන් දක්ෂ මානව සම්පතක් රටට සිටී. මෙවැනි අර්බුදයක දී එක පුද්ගලයෙක්, එක නායකයෙක් නොඑසේනම් එක පක්ෂයක් කියන එක වැදගත් නැත. අප වසර හැත්තෑවක් වැරදි කර තිබේ. අද අත්විඳීන්නේ ඒවායේ ප‍්‍රතිඵලය. දරුවන්ට බාර දෙන්නේ මෙම විනාශය ද කියන එක අපි කල්පනා කරන්නට අවශ්‍යය. කතාවට වඩා වැඩ කිරීම වැදගත්ය. සිද්ධි අතරවාරයේ මෙරට නායකයන් දෙස් විදෙස් මාධ්‍ය වලට කතා කරන ලද ආකාරය ඉතා විහිළු සහගතය. මෙරට සිංහල, දෙමල, මුස්ලිම් සෑම දේශපාලන පක්ෂයකම නායකයන් තේරුම්ගත යුතු වැදගත් කාරණයක් තිබේ. ජනතාව එම අය තෝරා ගන්නේ රටට වැඩක් කරන්නටය. සමාජය දියුණු කර සැනසිල්ල ඇති කරන්නටය. ඉතිහාසය පුරා සෑම ත‍්‍රස්තවාදී කණ්ඩායමක්ම තම තමන්ගේ නායකයන් බිලි ගත් බව පෙන්වා දිය යුතුය. එහෙම වුණේ ඇයි. ජනතාවගේ අපේක්ෂා සාක්ෂාත් කළේ නැත. දෙමල සංවිධානයක් තමන්ගේම නායකයන් ඝාතනය කරන විට එම සමාජයේ නායකයන් හිතන්න අවශ්‍යයි. සිංහල නායකයන් ඝාතනය වන විට, මුස්ලිම් නායකයන් ඝාතනය වන විට තමන්ගේ නියෝජනය තුළ වරදක් වී ඇති බව හිතන්නට හැකි නායකයන් රටට අවශ්‍යය.

පාත්ෆයින්ඩර් පදනම හා උරුමයක උල්පත නිර්මාතෘ මිලින්ද මොරගොඩ

30/04/2019 - ලංකාදීප

Posted On Monday, 06 May 2019 07:53

ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප‍්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ‍්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීමට  ඕනෑම ආණ්ඩුවකට සිදුවීම වැලැක්විය නොහැකි අතර උපක‍්‍රමශීලී වීම හැර අන් මගක් නැත.

Posted On Tuesday, 22 May 2018 04:56

වැසි වස්සන ඇල් අතු දී බමුණන්ට

ආයෙමි වංකගිරි පාරමි සපුරන්ට

රුව ඇති දූ පුතුන් පිදුවත් බුදුවන්ට

ප්‍රාණසරි බිසෝ නම් බෑ දන්දෙන්ට

Posted On Saturday, 31 December 2016 15:45

බකිනි ඇළේ සැර පාරේ

බකිනි මල් වැටී පාවේ

සිතිවිලි රොන්සුනු ඉහිරී

බලාපොරොත්තුව පෑරේ

 

Posted On Saturday, 31 December 2016 15:42

ඈත සිට ආ සුවඳ ඔබමය             
සීත අරණේ සුලඟ ඔබමය
නීල නිලුපුල් මල ද ඔබමය
මසිත දැල්වුන පහන ඔබමය

Posted On Friday, 30 December 2016 08:29

සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි
පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි
ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි
පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි

Posted On Friday, 30 December 2016 08:27

නොතිර දියත පෙනෙන ඉමක
නොමැත සදා සුපිපි මලක්
නොනිම් ගගන කිනම් තැනක
වෙයිද සදා දිලෙන සඳක්

Posted On Friday, 30 December 2016 08:25

වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද

Posted On Friday, 30 December 2016 08:23

හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ
බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ
මල් මොකටද මට හිතෙනව විඩ විඩ

Posted On Friday, 30 December 2016 08:10