දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට සේවකයන් 5200ක් සඳහා බෝනස් තුනක් ගෙවන බවද ඒ වෙනුවෙන් රුපියල් කෝටි 150ක් වැය කරන බවද පසුගියදා රජයේ පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබිණි. ඊට අමතරව අතිකාල දීමනා සඳහා මාසයකට තෙල් සංස්ථාව වැය කරන මුදල කෝටි 25ත් 30ත් අතර වන බවද සඳහන් විය. මෙසේ බෝනස් සහ අතිකාල සඳහා කෝටි ගණනින් වැයකරන තෙල් සංස්ථාව රුපියල් බිලියන 750කට වඩා ණය බරකින් පෙළෙන විශාලම ණයගැති රාජ්‍ය ආයතනය යැයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන බවද එම මාධ්‍ය වාර්තාවේම සඳහන් විය.
මේ කතාව බැලූ බැල්මට විශ්වාස කළ නොහැකි, වෙන්න බැරි කතාවකි. අප දන්නා තරමින් බෝනස් යනු කිසියම් ආයතනයක් හෝ සමාගමක් හෝ ලබන ලාබයෙන් කොටසක් සේවකයන් දිරිගැන්වීම සඳහා ලබාදෙන දීමනාවකි. පාඩු ලබන ආයතනවලට ඒ අර්ථයෙන් ගත් කල බෝනස් ලබාදීමක් කළ නොහැකිය. බෝනස් ලබාදීමේ මූලිකම කොන්දේසිය ආයතනය ලාබ ලැබිය යුතු වීමය. තෙල් සංස්ථාව රටේ ලොකුම ණයකරුවා වුවද වසරකට රුපියල් කෝටි 150ක් බෝනස් ලබාදීම වෙනුවෙන් වැය කිරීම වෙන්න බැරි කතාවක් යැයි අප මුලින්ම පැවසුවේ එබැවිනි. එයින් සිදුවන්නේ ආයතනයේ ණයගැති භාවය තවත් වැඩි වීමය.
තෙල් සංස්ථාව මේ වනවිට රටේ ප්‍රධානම මාතෘකා අතරින් එකක් බවට පත් වී සිටී. ඒ හොඳ වාර්තා නිසා නොව නරක වාර්තා හේතුවෙනි. සාමාන්‍යයෙන් ඕනෑම රටක තෙල් වෙළෙඳාම හොඳින්ම ලාබ ලබන ව්‍යාපාරයකි. බොහොමයක් රටවල් තෙල් වෙළෙඳාමේදී එය සම්පූර්ණයෙන් රජයටම පාලනය බාර කිරීමෙන් වළකියි. එය ජාතික ආදායමේ කොටසක් මෙන්ම ජාතික ආරක්ෂාවේද කොටසක් බව සැබෑය. එහෙත් පෞද්ගලික අංශය මගින් තෙල් ව්‍යාපාරය පාලනය කරන විට එය රටට බරක් වීමට ඉඩක් නැත. රජයේ නාස්තිකාර වැඩට තෙල් ආයතන මගින් නොමිලේ කිසිවක් ලබාදීමක් නොකෙරෙන අතර රැකියා ලබාදීමක්, රජයේ ගජ මිතු්රන්ට සියලු සැප සම්පත් සහ වරදාන සහිත තනතුරු ලබාදීමක්ද සිදුවෙන්නේත් නැත. බෝනස් ඇතුළු වෙනත් වරප්‍රසාද සේවකයන්ට ලැබෙන්නේත් ලැබෙන ලාබයේ තරමටය. මේ නිසා සේවකයන්ගේ කාර්යක්ෂමතාවද ඉහළය. එසේම වෙනත් ආයතනවලට ණයට තෙල්දීමක් සිදුවන්නේද නැත.
වෙන රටවල් එහෙම වුණත් ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැත. මේ රටේ පෞද්ගලික අංශය මගින් තෙල් වෙළෙඳාම පාලනය කෙරුණු පනහේ දශකයේදී එම සමාගම් කිහිපය හොඳින් ලාබ ලැබූ බවද සේවකයන්ට විවිධ වරප්‍රසාද ලබාදුන් ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන ගිය බවද සඳහන්ය. එහෙත් එවකට තිබූ රජය මගින් ලබාදුන් ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් වශයෙන් එම තෙල් සමාගම් ජනසතු කරනු ලැබීය. එය එදා හොඳ ජනතාවාදී තීන්දුවක් වශයෙන් සැලකුණත් අද රටේ ආර්ථිකයේ මකර කටක් බවට තෙල් සංස්ථාව පත්ව තිබේ. අද තෙල් සංස්ථාව රටට ආඩම්බරයක් නොව රටේ ආර්ථිකයේ කඳ පණුවෙක් බවට පත්ව සිටී. එසේ සිටිමින් රටේ ජනතාවගේ බදු මුදලින් බෝනස් ගෙවයි. අතිකාල දීමනාද ගෙවයි.
තෙල් සංස්ථාව රජයේ විශාලම සේවා සපයන ස්ථානයක් වුවද එය මෙවැනි කරුමක්කාර ණයකරුවකු බවට පත් කිරීමේ පාපකර්මයට ඒවා ජනසතු කළ කාලයේ පටන් මේ දක්වා බලයට පත් සියලු ආණ්ඩු වගකිවයුතුය. තෙල් වෙළෙඳාම රාජ්‍ය ආයතනයක් යටතට පත්වූ පසුව එය තම හෙංචයියන්ට රැකියා ලබාදෙන මධ්‍යස්ථානයක් බවටත් හිතමිතුරන්ගේ මනදොළ සපුරන කප්රුකක් බවටත් පත් කිරීම එහි විනාශයට මුල විය. ඒ සමඟම සෙසු රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණයට තෙල් සැපයීමද ඒවා යළි ආපසු අය කර ගැනීමට සැලසුම්ගත නිසි ක්‍රියාමාර්ගයක් නොතිබීමද තෙල් සංස්ථාව තවදුරටත් දරාගත නොහැකි ණය බරකට ඇද දමා තිබේ. අද පැය ගණන් අඳුරේ සිටීමට සිදුව ඇත්තේද එහි එක් ප්‍රතිඵලයක් වශයෙනි.
විදුලි බල මණ්ඩලය අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයක් බැවින් එයට ණයට තෙල් ලබාදීම් යම්තාක් දුරකට යුක්තිසහගත විය හැකිය. එහෙත් රටේ ඇතැම් බලවතුන්ගේ බොරු සෝබන අවශ්‍යතා හේතුවෙන් පවත්වාගෙන යන රාජ්‍ය සමාගමක තත්ත්වයට ඇදවැටුණු ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ආයතනයට ණයට තෙල් ලබාදුන්නේ කුමන හේතුවකටදැයි වටහා ගැනීම අසීරුය. ශ්‍රී ලංකන් ආයතනය ලාබ ලබන හෝ අඩුම තරමින් පාඩු නොවන ආකාරයට කළමනාකරණය කළ හැකි පාලනාධිකාරියක් පත් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. මේ සියලු වැරදි තීන්දු හේතුවෙන් තෙල් සංස්ථාව රටේ ලොකුම ණයකරුවා බවට පත්ව සිටී.
මේ කුමන හේතුවක් තිබුණත් සංස්ථාව බිලියන සිය ගණනින් පාඩු ලබද්දී බෝනස් සහ අතිකාල වෙනුවෙන් මේ තරම් මුදලක් වැය කිරීම අසාධාරණයකි. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධරයන් අඳුරේ තැබීමට තෙල් සංස්ථාවේ පාලනාධිකාරිය කටයුතු නොකළ යුතු බවද කිවයුතුය.
අර්බුද කළමනාකරණය විද්‍යාත්මක පදනමින් කළ යුත්තකි. එය එසේ නොවූවිට සිදුවන්නේ අර්බුදය උත්සන්න වී අර්බුද සුළියක් නිර්මාණය වීමය. එවිට විසඳුම් සොයාගත නොහැකිව වල්මත්වීමට සිදුවීම ඒකාන්ත ය. නියම ප්‍රතිඵලය පරාජය හා විනාශය පමණි. රට ගමන් කරමින් තිබෙන්නේ එබඳු අඳුරු ප්‍රපාතයකට දැයි සැක සිතෙන තරම්ය.
දෙවසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මුළු රටම කොරෝනා මාරාන්තික උවදුරෙන් බැටකමින් සිටී. බඩු මිල ගුවන්ගතය. කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන ශාපලත් කාලයක් නිර්මාණය වී නැතත් එබඳු යුගයක් උදා නොවේයැයි සහතිකයක්ද නැත. රට ඩොලර් අර්බුදයක පැටලී තිබේ. විසඳුම ලෙස ආදේශවී තිබෙන්නේ විදුලිය කප්පාදුවය. බරපතළ ඉන්ධන හිඟයක ද ලකුණු පහළ වී තිබේ.
එළැඹ ඇත්තේ ගැලවුම්කරුවකු පතමින් කාලය නාස්ති කිරීම නොවේ. මහා සාමුහික ප්‍රයත්නයකින් අර්බුදයෙන් ගොඩ ඒමට මගක් සෙවීමය. එහෙත් එබඳු සාමුහික ප්රයත්නයක් වෙනුවට දක්නට ලැබෙන්නේ ‘නාඩගම්’ වලින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන සිදුවීම්ය. ඇමැති විසින් ඉවත් කරනු ලැබූ සභාපති ‘මමයි තවමත් සභාපති’ යැයි කියමින් සේවයට වාර්තා කරයි. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලිඛිතව දන්වා වැඩ නතර කළද ‘ජනාධිපතිවරයා කීවා’ යැයි කියා සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල්වරිය සේවයට වාර්තා කරන්නීය. අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ‘වැඩ කරන්නට බැහැ’ යැයි කියමින් රාජ්‍ය ඇමැතිවරයෙක් ගෙදර ගියේය. ‘ප්‍රෙස් එකක් තියලා උඹට කුඩු වෙන්න ගහනවා’ යැයි රාජ්‍ය ඇමැතිවරයකු තවත් රාජ්‍ය ඇමැතිවරයකුට තර්ජනය කරන හඬ පටයක් අන්තර්ජාලයේ සැරි සරයි.
මේක රටක්ද නාඩගම් මඩුවක්ද යැයි හිතෙන තරමට මෙම සිදුවීම් ජුගුප්සාජනකය. ‘අන්තො ජටා - බහි ජටා’ යැයි කීවා සේ ඇතුළත් ගැට ය. පිටත් ගැට ය. කප්පිත්තකු නැති නෞකාවක් මෙන් රට පාවෙමින් තිබේ. රටට මේ මොකක්ද වුණේ යැයි හූල්ලමින් කාලය ගත කිරීමට ජනතාවට සිදුවී තිබේ. මෙම ඉරණමෙන් රට ගලවා ගනු පිණිස අල්ප මාත්‍ර වූ උත්සාහයක් හෝ ගන්නා බවක්ද නොපෙනේ.
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉකුත්දා නිකුත් කළ නිවේදනය අතිශයින්ම වැදගත් වන්නේ මෙම පරිසරය තුළ ය. එම නිවේදනයේ සඳහන් වන්නේ වර්තමානයේ මුහුණපා ඇති විපතින් රට මුදා ගැනීමට ආණ්ඩු පක්ෂය හා ප්රතිපක්ෂය නිෂ්ඵල කතා අනවශ්‍ය විවේචන හා වාද විවාදවලින් බැහැරව එක්ව කටයුතු කළ යුතු බව ය. එමෙන්ම මේ අවස්ථාවේ දී සාධාරණ විවේචන ඉතා වැදගත් බවත් පුහුදුන් බිමේ සෑම අයකුම දෝෂ සහිත වූවන් බැවින් ඒවා පෙන්වා දුන්විට ප්රතිවාද නොනගා ඉදිරියට යාම රටේත් සමාජයේත් දියුණුවට හේතුවන බවත් එම නිවේදනයෙන් පෙන්වාදී තිබේ.
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අවධාරණය කරන ඉතා වැදගත් කරුණක් වන්නේ සරල චාම් ජීවන විලාසය අපගේ සංස්කෘතික අනන්‍යතාවක් බවය. වත්මනෙහි ඇති ආර්ථික අර්බුදයට එක් විසඳුමක් වන්නේ එම සරල චාම් දිවිපෙවතට අවතීර්ණවීම බව පෙන්වා දෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ‘සමාජයේ ඉහළ මට්ටම්වල සිටින සියලු දෙනා ආදර්ශයෙන් හා උපදේශයෙන් රටට දැනෙන පරිදි අවංක වූ පොදු යහපත සලකා අධි සුඛෝපභෝගී සංකල්ප හා විහරණවලින් ඈත්ව පරාර්ථකාමී හැඟීම්වලින් වාසය කළ යුතු බව’ පෙන්වා දේ.
රජයේ දේපළ මහජන දේපළ බව පෙන්වා දෙන එම නිවේදනය මහජන දේපළ සොරා නොකෑ යුතු බවට අවධාරණය කරයි. මහජන දේපළවලට අදාළව සිදුවන අල්ලස, දූෂණය හා නාස්තිය වළක්වා ගැනීමට සෑම දෙනාගේම අවධානය යොමුවිය යුතු බවද පෙන්වා දෙයි.
වෘත්තිය කුමක් වුවත් මව්බිම වෙනුවෙන් අවම ලෙස ඵලදායිතාව සියයට 25කින්වත් වැඩිකර ගැනීමට සියලු වෘත්තිකයන් ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සුපිළිපන් සමාජ සංස්කෘතියක් නිර්මාණය කිරීමට පක්ෂ ප්රතිපක්ෂ නායකයන් කිසිදු බේදයකින් තොරව ඉදිරිපත් විය යුතු බවද අවධාරණය කරයි. එමෙන්ම මාධ්‍යයෙහි ක්‍රියාකාරිත්වය කෙරෙහිද අවධානය යොමු කර ඇති බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මාධ්‍ය පක්ෂ, පක්ෂ දේශපාලනය නොසලකා රටේත් ජනතාවගෙන් පොදු යහපත උදෙසා ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙයි.
රටෙහි ඇත්ත තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා නොගෙන විසඳුම් ආදේශ කළ නොහැකිය. එළැඹ ඇත්තේ ‘ප්රාතිහාර්ය’ පෑ හැකි අවස්ථාවක් නොවේ. සියල්ලන්ම අවබෝධයකින් යුතුව කැප කිරීම් හා පරිත්‍යාග කරමින් රට ගොඩනැගීමට තමන්ගෙන් ඉටුවිය යුතු පංගුව වඩාත් වගකීමෙන් යුතුව ඉටුකළ යුතුය.
එක රටක් එක නීතියක් යන සංකල්පය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා මහජනතාවගේ අදහස් මේ දිනවල එකතු කෙරේ. ඒ සඳහා රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර නායක භික්ෂුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රට පුරා සංචාරය කරමින් සිටී. මෙම බලකාය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේදී අදහස් දැක්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර් මොහොමඞ් සුබයිර් කියූ පරිදි ලංකාවේ ඉස්ලාමීය නීතිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති කාති උසාවි ක්‍රමය අහෝසි කළ යුතුය. ශ්‍රී ලංකාවේ නිල නීතිය හෙවත් ආණ්ඩුවේ නීතිය රෝමානු ලන්දේසි නීතියයි. ඊට අමතරව ඉස්ලාමීය නීතිය, උඩරට නීතිය සහ යාපනයට පමණක් බලපාන තේසවලාමේ නීතිය යනුවෙන් නීති තුනක් ඇත. මේවා චාරිත්‍රානුකූල නීති ලෙස හඳුන්වනු ලැබේ. මොහොමඞ් සුබයිර් කියන පරිදි ඉස්ලාමීය දික්කසාද නඩුවලදී කාති උසාවියට එන කාන්තාවෝ අසාධාරණයට ලක්වෙති. කාති උසාවියක නඩු අසන්නේ නීතිය දන්නා විනිශ්චයකාරවරයකු නොව කාතිවරයෙකි. ආගම පිළිබඳ මිස නීතිය පිළිබඳව ඔහුට අවබෝධයක් නැත. එබැවින් ආගම සමග ආධ්‍යාත්මික පටලැවිල්ලක් ඇතිකර ගන්නා හෙතෙම ස්වකීය හැඟීම්වලට අනුකූලව දික්කසාද නඩු විසඳයි. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වන බව මොහොමඞ් සුබයිර් තවදුරටත් කියා තිබේ. ඔහුගේ මතයට මේ පුවත්පත පක්ෂ නැත. එසේම විරුද්ධ ද නැත. අප තුළ ඇති එකම සතුට එතුමා ඉරාකයේ, ඉරානයේ, අරාබියේ හෝ ලිබියාවේ නූපන් කෙනකු වීමය. ඔහු මෙවැනි රටක උපන්නා නම් ඉහත සඳහන් සාක්ෂියෙන් පසු ගෙදර එනු ඇත්තේ පයින් හෝ වාහනයකින් නොව මිනී පෙට්ටියකිනි. මහම්මත්තුමා කවර යහපත් දෙයක් දේශනා කර තිබුණ ද ශුද්ධ වූ බයිබලයේ කොතරම් යහපත් දේ ලියා තිබුණ ද ඇතැම් අන්තවාදී ඉස්ලාමීයයන් ශුද්ධ වූ ඉස්ලාම් ආගම පරිහරණය කරන්නේ දැලි පිහි ගිල දැමූ වඳුරන් මෙනි. දැලි පිහිය ගිල්ලාට පසු වඳුරා කොයි අත හැරුණත් ශරීරය ඇතුළත කැපී යයි.
එවිට කෝපයට පත්වන වඳුරා තමා අවට ඇති පරිසරය හැකි පමණින් වනසා දමයි. මේ ළඟදි ඉස්ලාමීය රටක ඉතා කනගාටුදායක යමක් සිදු විය. එහි විසූ ඉස්ලාමීය පවුලකට අයත් නව යොවුන් දැරියක් සිය ඡුායාරූපය ෆේස්බුක් එකේ පළ කළාය. ඉන් බලවත් සේ කෝපයට පත් ඇගේ වැඩිමහලූ සහෝදරයා ඉස්ලාමීය සංස්කෘතියට ඇය නිග්‍රහ කළ බව කියමින් ඇය ඝාතනය කළේය. පොලිසිය මිනීමරුවා අල්ලාගෙන එල්ලූම් ගස් යැවීමට තැත් කළ නමුදු දැරියගේ දෙමාපියන් සිය දියණියගේ මිනීමරුවා වූ වැඩිමහල් පුත්‍රයාට සමාව දුන් බැවින් ඔහු නිදහස් විය. මෙය ඇතැම් ඉස්ලාමීය සමාජවල තිබෙන ලක්ෂණයකි. මිනීමරුවකුට අභය දානය දීමට මිනී මැරුමට ලක්වූ අයගේ පවුලේ අයට අයිතිය තිබේ. ඇතැම් විට ඒ සඳහා මුදල් වන්දියක් අයකර ගැනීමට මිය ගිය අයගේ පාර්ශ්වයට බලය ඇත. මෙය හඳුන්වන්නේ blood money යනුවෙනි. අගතිය සිදු කළ අය හෙවත් මිනීමරුවා සහ අගතියට පත්වූ අය හෙවත් මියගිය ඇයගේ පාර්ශ්වය අතර අභයදාන ගිවිසුමක් ඇති වුණොත් උසාවියට සහ පොලිසියට ද කට වසාගෙන සිටීමට සිදුවේ. පෙර වාසනාවකට ලංකාවේ බල පැවැත්වෙන චාරිත්‍රානුකූල ඉස්ලාමීය නීතිය තුළ මෙවැනි භයානක අවස්ථා නැත. එයට හේතු වන්නේ රටේ නිල නීතිය වන රෝමානු ලන්දේසි නීතිය, ඉස්ලාම් නීතියට ඉහළින් තිබීමය. ඉහත සඳහන් දීර්ඝ ෙඡ්දය අප ලියන ලද්දේ මේ දිනවල සාකච්ඡාවට ලක්ව තිබෙන ඉස්ලාමයට සම්බන්ධ වෙනත් කාරණයක් උදෙසා ප්‍රවේශයක් ගැනීම පිණිසය. එය මෙසේය;
දැඩි කොන්දේසි මත බහු විවාහ කරගැනීම සඳහා මුස්ලිම් පිරිමින්ට අවසර දීමට මේ වනවිට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කළ යුතුය. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින කාරණයක් බවත් නීතියක් හැටියට සම්මත වී නැති බවත් මුලින්ම අවධාරණය කරමු. යම් හෙයකින් මේ කාරණය සම්මත වුවහොත් එමගින් ඇතිවිය හැකි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම ජාතික පුවත්පතක් වශයෙන් අපගේ යුතුකමකි. ලෝක ඉතිහාසය පටන් ගත්තේම බහු විවාහවලිනි. එය බහු භාර්යා සේවනය සහ බහු පුරුෂ සේවනය යනුවෙන් කොටස් දෙකකට බෙදේ. මේ සම්ප්රදාය පටන් ගත් කාලයේදී මිනිසුන් සහ ගැහැනුන් මහ පොළොව මත සැරිසැරුවේ හෙළුවෙනි. පසුව මිනිසුන් ඉතා හොඳින් ඇඳුම් අඳින්නට පටන්ගත් මධ්‍යකාලීන යුගයේ ද මේ සම්ප්රදාය මෙසේම තිබිණ. ඉස්ලාම් ලෝකයට බහු විවාහය හඳුන්වා දෙන ලද්දේ කිසියම් වැදගත් හේතුවක් නිසාය. ඉස්ලාම් ආගමේ ආරම්භක අවධියේදී එම ආගමිකයන් සහ ඉස්ලාම් නොවන ආගමිකයන් අතර භයානක ආගමික සංග්රාම පැවතින. ඉස්ලාම් භක්තිකයෝ දෙවියන්ගේ අණසක බේරා ගැනීමට යුද කළ අතර අන්‍ය ආගමිකයන් පණ බේරා ගැනීමට යුද කළහ. පණ බේරා ගැනීමට යුද කරන්නා ඉතා දරුණුය.
ඒ නිසා මෙවැනි සටන්වලදී ඉස්ලාමීයයෝ සමූහ වශයෙන් සංහාරයට ලක්වූහ. මෙවිට ඉස්ලාම් වැන්දඹුවන් දස දහස් ගණනින් අරාබිකරයේ තනි වූහ. මෙවැනි විටක ජීවිතය සහ දරුවන් රැක බලා ගැනීම සඳහා කාන්තාවන්ට වෛශ්‍යා වෘත්තියේ යෙදීමට පවා සිදුවෙයි. එබඳු නරක තැන් ඇතිවීම වළක්වාලීම සඳහා ජීවතුන් අතර සිටින පිරිමින් වැන්දඹු කාන්තාවන් කිහිපදෙනකු විවාහ කරගත යුතු බවට මානුෂීය සංකල්පයක් පහළ විය. ඒ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල එක පවුලේ සහෝදරයන් දෙදෙනකුට හෝ තුන්දෙනකුට එක බිරිඳක් විවාහ කරදීමේ වැඩපිළිවෙළක් තිබිණ. බැලූ බැල්මට අවුල් කේස් එකක් වන මෙහි අරමුණ වූයේ පිරිමින්ගේ පවුලේ දේපල කාන්තාවන් අතර බෙදී යෑම වැළැක්වීම ය. මෙය මෙරට සංස්කෘතිය තුළ තිබූ ඉතාම මෝඩ සහ පිළිකුල් සහගත වැඩකි. රෝමානු ලන්දේසි නීතිය පැමිණි පසු මේ ක්‍රමය ඉතා විනීත ලෙස අතුරුදන් විය. ඉන්පසු බහු භාර්යා විවාහ සහ බහු පුරුෂ විවාහ නීති විරෝධී බවට පත්කරන ලදී. සාමාන්‍යයෙන් වෙනත් රටවල පවතින ඉස්ලාමීය නීතියට අනුව එක් පිරිමියකුට කාන්තාවන් 7 කු විවාහ කරගත හැක. මේ වනවිට එසේ විවාහ කරගනු ලබන්නේ අසරණ වැන්දඹුවන් නොව බාල වයස්කාර කන්යාවන්ය. මේ මොහොතේදී මේ රටේ ආගමික යුද්ධයක් නැත. ඉස්ලාමීයයන් ඝාතනය නොවන බැවින් එක පුද්ගලයකු එක කාන්තාවක් නීත්‍යානුකූලව විවාහ කරගැනීම හොඳටම ප්‍රමාණවත් ය. දැනට තිබෙන තත්ත්වයට අනුව සැමියා මළොත් අනාථ වන්නේ එක් ඉස්ලාමීය බිරිඳක් පමණි. කාන්තාවන් 7 කු විවාහ කරගත් සැමියකු මළොත් ඒ සියලූම අසරණ ගැහැනු මහ පාරට වැටෙන්නාහ. මේ නිසා ඉහත සඳහන් බහු විවාහ යෝජනාව ගැන සලකා බැලීමේදී පෙර කී ප්‍රායෝගික කාරණා සහ සංස්කෘතික කාරණා ගැන තක්සේරුවක් කළ යුතුය.
ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවක් මරා දැමීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තමාගේ සිරුරට ආරූඪවී සිටින භූතයකු විසින් මව මරා දමා ඇති බව සැකකාර පුත්‍රයා අවට සිටි අයට කෑගසා පවසා ඇති බව මිලානෝ නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පුවත්පතට පවසා තිබිණි.
මේ පන්නයේ වාර්තා වූ ආසන්නම දෙවැනි සිදුවීම වේ. මෙයට පෙර ආරම්භ වූ පුවතින් කියැවුණේ මරණාසන්නව සිටි දස හැවිරිදි තම පුත්‍රයාට අවශ්‍ය ප්‍රතිකාර නොකර නිවසේ කාමරයක ඇඳක් මත හොවා මවුපියන් දෙපළ යාච්ඤා කරමින් සිට ඇති බවය. ප්‍රතිකාර නොලැබීමෙන් දරුවා මිය ගිය පසු දරුවාට යළි පණ ලැබෙනු පිණිස එම මවුපිය දෙපළ දිගටම යාච්ඤා කරමින් සිට ඇත. නරක්වූ මළ සිරුරෙන් නැගුණු අධික දුර්ගන්ධය නිසා මේ මහා සාපරාධය අනාවරණය විය.
මේ පන්නයේම තවත් සිද්ධියක් වාර්තාවීය. කොරෝනා ප්‍රතිකාර සඳහා පැණියක් නිෂ්පාදනය කළ වෙදාගේ සොහොයුරකුද කොවිඩ් රෝගයෙන් මේ අස්සේ මිය ගියේය.
21 වැනි සියවසේදීත් මෙබඳු මිථ්‍යා මතයන්හි එල්බ ගනිමින් ජීවත් වන මිනිසුන් සිටිය හැකිද යන ප්රශ්නය මතුවේ. සන්නිවේදන විප්ලවයත් සමග මුළු ලෝකයම එකම පවුලක් බවට පත්වී තිබේ. තාක්ෂණික විප්ලවයේ මහිමයෙන් දැනුම සම්බන්ධ ඒකාධිකාරය බිඳ වැටී තිබේ.
ඒ අනුව දැනුම යනු තවදුරටත් ආවරණය වූවක් නොවේ. මෙබඳු සියවසක ජීවත් වන ඕනෑම සාමාජිකයකු එම සියවස ඉල්ලා සිටින වත් පොහොසත්කමින් සමන්විත යුතුය. එසේ සමන්විත වන්නේ නම් සිරුරට ආරූඪ වූ භූතයකු තම මව මරා දමා ඇතැයි පුතෙකුට කීමට අවශ්‍ය වන්නේ නැත. දස හැවිරිදි දරුවකුට අකාලයේ මිය යාමට සිදුවන්නේ නැත.
‘‘නානත්ත කායා - නානත්ත සංඥා’’ යනුවෙන් බුදු බණෙහි සඳහන්ය. සමාජයේ ඇති සංකීර්ණත්වය එමගින් මනාව ප්‍රකාශ වේ. එයින් කියැවෙන්නේ සමාජය තුළ විවිධ වූ වේෂයන්ගෙන් යුත් මිනිසුන් මෙන්ම විවිධ ලෙස සිතන මිනිසුන්ද සිටින බවය. එහෙත් කිසිවකුට ඒනිසාම අපරාධමය වැරැදි කිරිමට අයිතියක් නැත. එබඳු අපරාධමය වැරදි කිරීමට ඉඩදී බලාසිටීමට සෙස්සන්ටද අයිතියක් නැත. මන්ද යත් සමාජයක ජීවත් වන සෑම සාමාජිකයකුටම සමාජීය වගකීමක් ඇති හෙයිනි.
ලෝකයාට ආගම්, දර්ශන පහළ වූයේ මානවයා තුළ අධ්‍යාත්මික විප්ලවයකට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනු පිණිසය. එමෙන්ම විනාශකාරී වූත් අන්තවාදී වූත් මතවාද ආගම දහමට මුවාවී සමාජගත වේ. ක්‍රි.පූ. 6 වැනි සියවස තුළ භාරතයේ පමණක් විවිධ ඇදහිලි හා විශ්වාස 62 ක් වූ බව සඳහන්ය. සිරුරට දැඩි සේ සැප ලබා දීමෙන් විමුක්තිය අත්පත් කර ගත හැකි බව මෙන්ම සිරුරට දැඩි සේ දුක් දීමෙන් විමුක්තිය අත්පත් කරගත හැකි බව එම මතවාදවලින් කියැවේ.
ආගම දහමක් විද්‍යාත්මක කෝණයකින් විග්රහ කළ නොහැකිය. ආගම දහමේ මූලික හරය වන්නේ පුද්ගල චරිතය හැඩ ගැස්සවීමය. ඕනෑම පුද්ගලයකු සමාජයීය සත්වයකු බවට පත් කිරීමය. ගඟක් ගලා යන්නේ ඉවුරු දෙකෙහි රැකවරණය මතය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. ආගම දහමින් සිදුවන්නේ ද එයමය. පළමුව මිනිසා සමාජයට හිතකර සමාජානුයෝජනය වූ සාමාජිකයකු බවට පත් කිරීමය. දෙවැනුව විමුක්තිය වෙත යොමු කිරීමය. පිළිගත් කිසිදු ආගමකින් හා දහමකින් සමාජ විරෝධී සාමාජිකයකු නිර්මාණය නොකරයි.
කරුණු කාරණා එපරදි වුවද ආගම දහම බඩරස්සාව බවට පත් කර ගත් ඇතැම්හු ප්‍රශ්නවලින් පෙළෙන ජනයාට විමුක්තිය සඳහා කෙටි මං තනති. දැනුමෙන් සන්නද්ධ නොවුණු පිරිස් ඒවාට මුළාවෙති. හාස්කම් මගින් ලෙඩ සුව කරන්නන් පිළිබඳව 21 වැනි සියවසේදිත් ඇසේ.
විවිධ මානසික ආබාධ ඇතිවීම ස්වාභාවිකය. ආබාධයේ ස්වරූපය අනුව ඔහු සිතන පතන ආකාරය වෙනස් වේ. සහරාන්ගෙන් එය පැහැදිලි වේ. ඔහු ආගමික උමතුවකින් යුතු වූවෙකි. එහෙයින්ම ස්වයං විනාශය තෝරා ගත්තෙකි. එහෙත් සමාජයේ පොදු පැවැත්මට බාධාකාරී වන හා සමාජයට විනාශය කැන්දන හැසිරීමකට අයිතියක් නැත. මන්ද යත් ඔහුද මෙම පොදු සමාජයේම සාමාජිකයකු වන හෙයිනි.
කිසියම් පුද්ගලයකුගේ හැසිරීමේ යම් වෙනසක් පෙන්වන්නේ නම් එම පුද්ගලයාගේ බාරකරුවන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් පැවරේ. නූතන ලෝකයේ සෞඛ්‍ය ඉතා දියුණු මට්ටමක පවතී. එහෙයින් එදෙසට යනු විනා බැද්දට නොයා යුතුය.