ආණ්ඩුව තිබියදීම තමන් දරමින් සිටින ධුරයට සමුදී මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට අමාත්‍යවරයකුට සිදුවන්නේ කලාතුරකිනි. එසේ ධුරයට සමුදෙන අවස්ථාවේදී තමන්ගේ නිලධාරීන්ගෙන් වටිනා චරිත සහතිකයක් ලැබීමට තරම් වාසනාවන්ත අමාත්‍යවරුන් හමුවන්නේ ඊටත් වඩා කලාතුරකිනි. මෙසේ කලාතුරකින් වන සිද්ධියක් පසුගියදා දැකගන්නට ලැබිණි. එම අවස්ථාව උදාවූයේ හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගිය අවස්ථාවේදීය.
උදය ගම්මන්පිල අමාත්‍යවරයා තමන් හෙබවූ ධුරයෙන් අස්කරනු ලැබුවේ කවර හේතුවකින්ද යන්න හෝ එහි හොඳ නරක හෝ කතා කිරීම අපගේ අරමුණ නොවේ. එහෙත් ගම්මන්පිල මහතා තමන්ට ධුරයෙන් යන්න සිදුවන බව දැනගෙන අමාත්‍යාංශයට ගොස් තම බඩු බාහිරාදිය බාරදී නිලධාරීන්ට සමුදුන් අවස්ථාවේදී එම අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ධුරය හොබවන කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය කළ ප්‍රකාශයක් අපගේ අවධානය දිනා ගත්තේය. එය සමස්ත රටටම වැදගත් විය හැකි ප්‍රකාශයක් බවද සඳහන් කරනු කැමැත්තෙමු.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ධුරය හොබවන තමන්ට උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයා වශයෙන් කිසි දිනෙක තෙල් ටෙන්ඩර් සම්බන්ධයෙන් කවර ආකාරයක හෝ බලපෑමක් සිදු නොකළ බව ඔල්ගා මහත්මිය එහිදී ප්‍රකාශ කළාය. ඇතැම් අමාත්‍යවරුන් සහ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන ටෙන්ඩර් මගඩි හේතුවෙන් පවතින පැවැති පාලන ක්‍රම පිළිබඳ පොදු මහජනතාවගේ බලවත් පිළිකුල සහ හෙළාදැකීම් මැද මෙවැනි කතාවක් අසන්නට ලැබීම අමාත්‍යවරයකුට ලැබෙන වටිනා චරිත සහතිකයක් වශයෙන් අප හඳුන්වන්නේ එබැවිනි.
දැනට අමාත්‍ය ධුර හොබවන සහ මීට පෙර ආණ්ඩුවලදී අමාත්‍ය ධුර හෙබවූ මන්ත්‍රීවරුන් සියලුදෙනා මේ චරිත සහතිකයට හිමිකම් කිව හැකිද යන්න තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු යැයි අපි යෝජනා කරමු. ඒ අතුරින් කී දෙනකුට තමන්ට තෘප්තිමත් විය හැකි පිළිතුරක් ලැබෙනු ඇතිද? පාඨක ඔබගේ අනුමාන කිරීම අපගේද අනුමානයම බව අපගේ විශ්වාසයයි.
පසුගිය කාලසීමාව තුළදී ඇතැම් අමාත්‍යවරුන් තම ලේකම්වරුන් සමඟ ගැටුම් ඇතිකර ගත් බව අවස්ථා කිහිපයකදීම අපි දුටුවෙමු. ඇතැම් ලේකම්වරුන්ට අමාත්‍යාංශය හැරදා යාමට සිදුවූ අතර තවත් ලේකම්වරු සිය කැමැත්තෙන් ධුරයෙන් ඉල්ලා අස්වූහ. එවැනි තත්ත්වයක් පවතිද්දී බලශක්ති අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ඉහළින්ම අගය කළ යුතු බව කිව යුතුය.
අද ඔහුට අමාත්‍ය ධුරයක් නොමැති වුවත් ඔහු ටෙන්ඩර් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය රටට සැබෑ ලෙසම ආදරයක් දක්වන පොදු ජනතාවගේ ප්‍රශංසාවට ලක්වනු ඇත. ඇමැතිවරුන්ගේ අනිසි ඇඟිලි ගැසීම් හේතුවෙන් ඇතැම් ටෙන්ඩර් ලබාදීම් මාස ගණන් ප්‍රමාද වන බවද ඇතැම් ටෙන්ඩර් කවදාවත් පිරි නොනැමෙන බවද දන්නා අපි මෙය මහත් අගය කළ යුතු ක්‍රියාවක් බව පැවසීමට මොහොතක්වත් නොපැකිලෙමු.
ඇතැම් අමාත්‍යවරුන් විෂය බෙදාදීමේදී තෘප්තිමත් නොවන බවට ඇඟවීම් කරන්නේත් ප්‍රසිද්ධියේ විරෝධය ප්‍රකාශ කරන්නේත් තමන්ගේ ළබැඳියාවන් සමඟ කටයුතු කිරීමේදී අත්වන වාසි හේතුවෙනි. ඇතැම් ටෙන්ඩර් පත් පිරිනැමීමට තමන්ට ළබැඳි පුද්ගලයා හෝ ආයතනය හෝ එනතුරු එම ටෙන්ඩර් පත් ප්‍රමාද කිරීම බොහොමයක් ඇමැතිවරුන්ගේ සිරිතය.
එය මෙරට බඩගෝස්තර දේශපාලනයේ එක් පැතිකඩකි. මේ හේතු නිසා ප්‍රමාද වෙන්නේ රටේ ජනතාවට ලැබිය යුතු සේවාය. එවන් ඇමැතිවරුන් ටෙන්ඩර් මණ්ඩලවලට බලපෑම් සිදුකරන්නේ තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම් හරහා බව රහසක් නොවේ. ඒ අර්ථයෙන් ගත් කල බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඔල්ගා මහත්මිය වාසනාවන්ත නිලධාරිනියක් බව කිවයුතුය.
අමාත්‍යාංශයේ ටෙන්ඩර් ගනුදෙනුවලදී අමාත්‍යවරයා කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොකළ බව හිස කෙළින් තබාගෙන අමාත්‍යාංශයේ සෙසු නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණේ උදය ගම්මන්පිල මහතාගේ එම ප්‍රතිපත්තිය හේතුවෙනි. මෙවැනි ඍජු ප්‍රතිපත්තියක් ආණ්ඩුවේ සියලුම අමාත්‍යවරුන් අනුගමනය කරන්නේ නම් එය රටේම යහපතට හේතු වනු ඇත.
ජරාවට වහවැටුණු අමාත්‍යවරයකුගේ අමාත්‍යාංශයක සේවය කිරීමට ලැබීම බොහොමයක් ප්‍රතිපත්තිගරුක නිලධාරීන්ට මහත් කරුමයකි. අමාත්‍යවරයාගේ නමත් සමඟ තමන්ගේ හමත් යන බව ඔවුහු තම අත්දැකීමෙන් දනිති. දූෂණයෙන්, වංචාවෙන් තොර රටක් ප්‍රාර්ථනය කරන සියලුදෙනාට උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා ලබාදී ඇත්තේ වටිනා ආදර්ශයක් බව සඳහන් කළ යුතුය.
2022/03/09
අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ. පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී. සම්පත් හිගය සලකා අරපිරිමැස්මකින් ක‍්‍රියා කිරීම නරක නැත. පාලන පැනැවීමේ දී සියළුම දෙනාටම සාධාරණ ක‍්‍රම අනුගමනය ඉතාම වැදගත්ය.
ආනයන සීමා පනවා ඇත. වාහන ගෙන්වීම නතර කර තිබේ. විදේශ ගමන් බිමන් සීමා කර ඇති බව පෙනේ. විශ්ව විද්‍යාලයකට ඇතුළුවන අවස්ථාව අහිමි වූ දරු දැරියන්ට විදේශ රටකට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණි. ඇතැම් අංශ යෝජනා කරන පරිදි පිටරට අධ්‍යාපනය තහනම් කළ යුතුය. ඇපල්, මිදි වැනි දේ ආනයනය කිරීම ද නතර කළ යුතු බව කියැවේ. සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු අතර ඒවා රට තුළ නිපදවීමට පියවර ගත යුතු බව ප‍්‍රකාශවන තවත් කරුණකි.
පාලනය නරක නැත. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රම අනුව නීතිය හැදෙන්නේ අසරණ පිරිස පැත්තකට තල්ලූකරම්න් බව ස`දහන් කළ යුතුව ඇත. බලය සහ ධනය ඇති ජන කොටසට කිසිම පාලනයක් බලපාන්නේ නැත.
චන්ද්‍රබාබු නයිදු මහතා මහ ඇමැති වශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශය පාලනය කරන කාලයේ එක්තරා ඇමැතිවරයෙකු ප‍්‍රාන්ත ආණ්ඩුවට මේ හා සමාන යෝජනාවක් ගෙන එන ලදී. ප‍්‍රාන්තයේ සිසුන් ඉගෙනගැනීම සදහා විදේශගතවීම තහනම් කළ යුතු බව එහි දී අවධාරණය කෙරිණ. ‘‘දැනටමත් ඔබගේ දරුවන් පිටරටවල ඉගෙනගන්නේ දැයි’’ ප‍්‍රශ්න කළ මහ ඇමැතිවරයා ‘‘එසේ කරගෙන යන අයට අත් ඔසවන්නැයි’’ එවකට පලාත් සභාව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය. වැඩි දෙනෙකුගේ අත් එසැවිණ. ‘‘පළමුවෙන් ඔබගේ දරුවන් ආපසු කැ`දවන්න. ඔබ සියළු දෙනා එයට එක`ගනම් පමණක් විදේශ අධ්‍යාපනය තහනම් කළ හැකි’’ බව එහි දී කියා සිටියේය.
පාලකයන්ට අනුගමනය කළ නොහැකි තීරණ ජනතාවට පමණක් පැනැවීම සුදුසු නැත. සමාජයට ආදර්ශයක් දිය යුතු පාලකයන්ය. ඉහළ පැලැන්තිය තමන්ගේ කැපවීම පෙන්විය යුතුය. ඔවුන් ආරක්ෂාවන අතරවාරයේ මධ්‍යම පැලැන්තියට සහ ඉහළට නගින නොතිත් ආශාවකිස් පසුවන පහල තලයට බාධා පැනවීම සුදුසු නැත.
ආර්ථික ක‍්‍රමයක උස් පහත්වීම් සිදුෙවි. ප‍්‍රශ්න පැන නැගේ. සම්පත් සීමා සහිත වන අවස්ථා ඇතිවේ. සංකීර්ණ ගැටළු බව පිලිගත යුතුය. ගැටළු නිරාකරණයට ගත හැකි හො`දම පියවර තෝරාගත යුතුය. එම පියවර සමාජයේ හරස්කඩක් නියෝජනය කළ හැකි ගෞරවාන්විත එකක් බවට හැරවීම පාලකයන්ගේ වගකීමකි. නැති බැරි ජන කොටස් වි`දින පීඩනය නොතකා තීරණගැනීම වරදකි. පංති පරතරය වැඩිකරන, සාධාරණ අවස්ථා අහිමිකරන තීරණ ඉදිරියේ හටගත්තත්ත්ව අමතක කළ යුතු නැත. පසුගිය දශක කිහිපය තුළ පැවැති ගැටුම්, අරගල, ත‍්‍රස්තවාදී ක‍්‍රියා අපට උගන්වන ලද පාඩමක් තිබේ. ඒවායේ අමිහිරි අත්දැකීම් අමතක කළ යුතු නැත.
රටට අවශ්‍ය අලූත් නැගිටීමක් වන අතර සමාජය එකතු කරගෙන ගමන ඉක්මන් කිරීමට ගැලපෙන තීරණ අවශ්‍යය. ආර්ථිකය සක‍්‍රීය කරන්නට පියවර ගත යුතුය. ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. මෙතෙක් අනුගමනය කරන ලද රාමුව වෙනස් කිරීම නරක නැත. එම තීරණ වලින් උද්දාමයක්, පිබිදීමක් අපේක්ෂා කළ යුතු අතර සමාජ වෛරය ඇවිලවිය යුතු නැත. මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන වරප‍්‍රසාද ගැන සමාජය තුළ කනස්සල්ලක් තිබේ. දේශපාලන ක‍්‍රමය ගැන පිලිකුලක් ඇත. මහජන නියෝජිතයන් කරන කියන හා හැසිරෙන ආකාරය ගැන ප‍්‍රසන්න හැ`ගීමක් නැත. රටට අවශ්‍ය කරන්නේ එකමුතුවකි. පවතින අවස්ථා අහිමි කිරීම වෙනුවට ඒවා පවත්වාගෙන යන්නට සුදුසු තරමට ගැලපෙන ක‍්‍රමවේදයකි.
අනාගත පරපුරට රටක් - දරුවන්ට හොඳ අනාගතයක් තනන ගමනක සිටි ශ්‍රී ලංකාව දරුණු විනිමය අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට තීරණ ගන්නා තත්ත්වයට වැටී තිබේ. ඉන්ධන හිඟය. ගෑස් නැත. විදුලිය කප්පාදුව අද වන විට අවසන් වන බව කියැවේ. අවශ්‍ය කරන බෙහෙත් වර්ග පවා ආනයනය සීමා කර ඇත. නැවත වටයකින් ආනයනික ද්‍රව්‍ය පාලනයක් ගැන අවධානය යොමු වී ඇති වකවානුවකි.
ආර්ථිකය කළමනාකරණය කර ගැනීම උගහටය. ආණ්ඩුව තුළ ප්‍රශ්න මතු වී තිබේ. විස¾දුමක් කරා ගමන් කරන්නට කරන යෝජනා නොසලකා හැරීම ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළිපිට කැරැල්ලක් මෙහෙයවමින් සිටී. ආණ්ඩුවට සම්බන්ධ පිරිස්, විපක්ෂය, විද්වතුන් රට නැවත ගොඩනඟන අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.
වියදම අඩු කිරීම වෙනුවට ආදායම වැඩි කර ගැනීම
ජන සමාජයේ අප සියලුම දෙනාට පොදු ධර්මතාවක් තිබේ. පහළට වැටෙන්නට කැමැති නැත. එදිනෙදා ගත කරමින් සිටි ජීවිතයෙන් පහළ තැනකට වැටීම ප්‍රශ්නයකි. ආණ්ඩුව තුළ හා ආණ්ඩුවෙන් පිටස්තර පිරිස් යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවල කැපී පෙනෙන එක කාරණයක් ඇත. අඩු කිරීම්ය. සීමා කිරීම්ය. මෙම සීමා පහළ පෙළැන්තියට පමණකි. මැති ඇමැතිවරුන්ගේ විදුලිය බිල, වාහන පරිහරණය, වැටුප් හා දීමනා, විදේශ සංචාර ගැන අවධානයක් නැත. පටි තදකරගත යුතු සාමාන්‍ය ජනතාව පමණක්ද යන විමතිය ඇතිවේ. දුප්පතාගේ බස් රථය නතරවන නමුත් ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වාහන පුරුදු පරිදි එහා මෙහා යයි. දැන් පවතින ආර්ථික ගැටලු නිරාකරණයට හදිසි සාකච්ඡා සඳහා විය හැකිය. නිදහස ලැබුණ දවසේ සිට තිබුණ හදිසි සාකච්ඡා අවසානයේදී රට ගෙනැවිත් තබා ඇති තැන ඍණ ආර්ථිකයකි. ණය ගෙවා ගත නොහැකි සමාජයකි. මැති ඇමැතිවරු පමණක් නොව රජයේ නිලධාරීන්ද පවතින දරුණු පීඩනය ගැන වගකිව යුතුය.
රටට අවශ්‍ය වියදම අඩු කිරීම නොවේ. අවශ්‍ය තරමට වියදම හොයා ගන්නා වැඩපිළිවෙළකි. ප්‍රමාණවත් ආදායමක් උපයා ගෙන ණය ගෙවන්නටත්, අත්‍යවශ්‍ය දේ ආනයනයටත් මඟ පාදා ගැනීමකි.
අය - වැය වාර්තා පෙන්වන පරිදි ජාතික ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැඟ ඇත. රට තුළ උද්ධමනය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ආහාර මිල ගණන් සියයට විසි පහකින් වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. මහ බැංකුව දක්වන පරිදි විදේශ විනිමය සංචිත දරුණු පිරිහීමකය. ත්‍රස්තවාදය පරාජය කරන දැවැන්ත යුද මෙහෙයුමක් පැවැති කාලයේදී පවා නොතිබුණ තරමට විනිමය සීමා වී ඇති බව කියැවේ. විදේශ රටවලට ගෙවිය යුතු ණය පියැවීම අවහිර වී ඇති අතර දිගින් දිගටම කල් ඉල්ලන්නට සිදුවී ඇත. එය සුදුසු පියවරක් නොවේ.
වර්ධනයක් ඇති කරන පියවරවලින් හුස්මක්
ආර්ථිකයට හුස්ම ගැනීම සඳහා වර්ධනයක් ඇති කළ යුතුය. එදා වේල පිරිමසා ගැනීම අරමුණු කරගෙන ගන්නා තීරණවලින් වර්ධනයක් ඇති නොවේ. ආනයන අඩු කරන පසු සිදුවන්නේ කුමක්ද? රේගු බදු පහත වැටේ. වරායෙන් ගෙන්වන දේ නිෂ්පාදන, සේවා හා අලෙවි අංශවලට යොමුවේ. එම අංශවල ලක්ෂ ගණනක පිරිසක් නිරතය. නැවත නැවතත් කරන චක්‍රිය ගනුදෙනුවලින් යැපෙන ප්‍රවාහයක් සිටී. විදේශ විනිමය හිඟය අනුව ආනයනය නතර කරන සේ යෝජනා කිරීම පහසුය. තවත් වටයකින් ආර්ථිකය හිරවන විට තැළෙන පෙළෙන ජනතාවගේ ජීවිත ගැන අවධානය යොමු කරන්නේ කොතැනින්ද?
ආනයන යනු තවත් රටකින් ගෙන එන දේ බව මතක තබාගත යුතුය. ඇපල් සහ මිදි ප්‍රතික්ෂේප කළ හැකිය. එය ජාත්‍යන්තර වෙළෙඳාමේ එක පැත්තකි. ඇමෙරිකාවෙන් ඇපල් ගෙන්වන අතර එයට හිලව් වශයෙන් ඇඟලුම් මිලදී ගනී. ඇපල් ප්‍රතික්ෂේප කරන පසු ඇඟලුම් පමණක් මිලදී ගන්නට සූදානම්ද? කහ ආනයනය නතර කළ පසු ඉන්දියාවේ වගාකරුවන්ට ප්‍රශ්න මතු විය. වාහන ආනයනය නතර කළ පසු ඒවා නිපදවන හා ප්‍රතිඅපනයනය කරන රටවලට දැනෙන කාරණයක් විය. ශ්‍රී ලංකාව කුඩා රටකි. කුඩා වෙළෙඳපොළකි. එම වෙළෙඳපොළ අවහිරවීමද කිසියම් පිරිසකට දැනෙන කාරණයක් බව අමතක කළ යුතු නැත.
ආර්ථිකයට හුස්ම ගැනෙන්නට නම් වර්ධනයක් වුවමනා කෙරේ. පිබිදීමක් අවශ්‍යය. සාමාන්‍යයෙන් ආර්ථිකයක් ඍණ අගයකට පත් වූ පසු නැවත වර්ධනයක් සිදුවේ. වෙළෙඳපොළ සිද්ධාන්තයකි. සුදුසු පියවර අනුව තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ශ්‍රී ලංකාවට වෙළෙඳ ගිවිසුම් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ඇත. තානාපති කාර්යාල ප්‍රධාන රටවල තිබේ. පවතින නිෂ්ක්‍රිය තත්ත්වය වෙනුවට වෙනස්කම් සඳහා සහාය ලබා ගැනීම වරදක් නොවේ.
විදේශ විනිමය උච්ඡාවචනය වැළැක්වීම දැනට පවතින විනිමය හිඟය තවත් උග්‍ර කරන හේතුවක් බව පෙනේ. වේගයෙන් අවප්‍රමාණය වනු ඇති බවට මතු වූ සැකය පදනම් කරගෙන තද රෙගුලාසි පනවා ඇත. ඊයේ එනම් මාර්තු හත්වැනිදා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව විනිමය අනුපාතිකය තරමක් ලිහිල් කර තිබේ. මෙතෙක් පැවැති ඇමෙරිකානු ඩොලරයකට රු. 201.00ක් මිල නියම කර අතිරේකව රු. දහයක් ගෙවන තීරණය වෙනුවට රු.230.00ක මිලක් නියම කර තිබේ. රටට විනිමය ලැබෙන මඟ අවහිරවීම එයින් මඟ හැරෙන්නේ නැත. නීත්‍යනුකූල විනිමය වෙළෙඳපොළට එපිටින් සංචිත හැදෙමින් තිබේ. ප්‍රධාන නගරවල වෙළෙන්‍ෙදා් රුපියල් දෙසියපනහ දක්වා මිලකට ඩොලර් මිලදී ගනිමින් සිටිති. විදේශ ගතවන සහ පිටරටවල් සමඟ ගනුදෙනු කරන පිරිසට විනිමය ලැබෙන්නේ එතැනින්ය. විකුණුම් මිල රු. දෙසියහැත්තෑව දක්වා නැඟ තිබේ. බි්‍රතාන්‍ය පවුමක් රු. තුන්සිය හතළිහකි. මෙම මිල පවතින පසුබිම තුළ රටට එන විනිමය වාණිජ බැංකුවලට නොලැබීම පුදුමයක් නොවේ. සංචාරකයන්ට හෝටල් ගාස්තු විදේශ විනිමයවලින් ගෙවන සේ යෝජනා කළ පසු වාණිජ බැංකුවලට විනිමය ලැබෙන්නේ කෙසේද?
මෙම තීරණාත්මක අවස්ථාවේදී රෙගුලාසි ලිහිල් කළහොත් රටට විනිමය ලැබීම ඉක්මන් වනු ඇත. පිටරටවල සේවය කරන පිරිස වැනි කොටස් ගෙන එන විනිමය සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් නීත්‍යනුකූලව ලැබෙන පසු ඒවා සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩි කරන හේතුවකි. ලක්ෂ විස්සකට වැඩි විදේශ ගත ශ්‍රමිකයන් පිරිසක් සිටින අතර ඔවුන් එවන විනිමය මෙරට වැඩිම ආදායම බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ ප්‍රේෂණ ලැබීම් සීමා වී තිබේ. විනිමය රෙගුලාසි බලපෑම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.
සංචාරක පැමිණීම, ආයෝජනවලින් හෝ වෙනත් ආධාරවලින් රටට සංචිත ලැබුණ පසු විනිමය අගය ශක්තිමත් වන අතර එතෙක් තාවකාලික පියවරක සිටීම පහසු බව මහ බැංකුව කල්පනා කරන බව පෙනේ. එම පියවර සමඟ රට තුළ පැන නැඟී ඇති විකෘතිය බරපතළ අවදානමකි. කිසියම් අවස්ථාවක රෙගුලාසි ලිහිල් කරන්නට සිදුවුවහොත් එකවරම සිදුවිය හැකි විනිමය අනුපාතිකයේ මිල වෙනස්කම් දරාගැනීමට දුර්වල ආර්ථිකයකට හැකිද යන්න වෙනම අධ්‍යයනය කළ යුතුය.
ආයෝජන කැඳවීම ගැන සමාජයේ මතය
විදේශ විනිමය අවශ්‍ය බව ශ්‍රී ලාංකිකයන් දැනගෙන සිටින කරුණකි. අපනයන නංවන්නට, ආයෝජන කැඳවන්නට හෝ තාවකාලික ණයක් ගැනීමට විරුද්ධවන හේතුව කුමක්ද? ඒවා රටට විනිමය ලබාගත හැකි ප්‍රධාන මාර්ග අතළොස්ස අතර තිබේ. ආයෝජන සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇත. කොළඹ වරාය පරිශ්‍රයේ ආයෝජනය ගැන දීර්ඝ විරෝධයක් තිබිණි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කැමැත්තක් නොතිබිණි. රිදීමාලියැද්ද ප්‍රදේශයේ සීනි කම්හලක් ඉදිකිරීම ගැන දැන් ආන්‍ෙදා්ලනයක් ඇත. විනිමය පමණක් නොව විදුලිය අර්බුදයක් පැන නැඟෙන බව පෙනෙන මානයේ යුගදනවි බලාගාරයට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීය. මෙවැනි පටු පිළිවෙළ ජාත්‍යන්තර ආයෝජන අවහිර කරයි. විදේශ විනිමය උපයා ගැනීමට අනෙක් මඟක් යෝජනා නොකරන විද්වත් පිරිස ආයෝජනවලට අවහිර කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? රටට ධනය උපයා ගත හැකි අනෙක් මාර්ගයක් හෙළි නොකරන්නේ ඇයි?
ආර්ථික බලපෑම් ලිහිල් කර ආයතනික පද්ධති නවීකරණය කළ හැකිය. අවශ්‍ය උත්පාදනය තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබේ. තෙල් නැවක් ගෙන්වන්නට වත්කමක් නැති අවස්ථාවක සිටින ආණ්ඩුව මූල්‍ය අරමුදලේ පිටිවහලක් නොලබන හේතුව කුමක්ද? සංචිත පිරිහී, ණය ගෙවා ගත නොහැකි අර්බුදකාරී රටක් ලෙස මූල්‍ය අරමුදලේ සරණ යෑම වෙනුවට සාකච්ඡාවකින්, සංවාදයකින් පසු තීරණ ගැනීම සුදුසුය. දේශපාලන තීරණ, විරුද්ධ පක්ෂයේ බලපෑම් එවැනි පියවරකට ගමන් නොකරන්නට රාමුව සකස් කර ඇති බව පෙනේ. අවසානයේදී තවත් වටයකින් අර්බුදයකට පත්වීම හැර අනෙකක් අපේක්ෂා කළ නොහැකිය.
වාණිජ ණයවලින් අඩාල කරන්නේ අනාගතයයි
විදේශ වෙළෙඳාම සඳහා අවස්ථාව පාදා ගැනීමත්, ආයෝජනවලින් විනිමය ගෙන්වාගැනීමත් පසෙකට කරන ආණ්ඩුව ණය ගැනීම කෙරෙහි වැඩි බරක් තබා තිබේ. ඉන්දියාවෙන් අඩු පොලී ණයක් ගැනීමට සූදානම්ය. පසුගිය වසරේ වෙළෙඳ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් වූ බව මතක් කළ යුතුය. ඉන්දියාවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය කිසිසේත් ප්‍රමාණවත් නැත. චීනයෙන්, බංග්ලාදේශයෙන් ණය ඉල්ලමින් සිටී. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ණය ඉල්ලන පියවරකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති අතර එය ආර්ථිකයෙහි වඩාත් දරුණු තත්ත්වයක් උද්ගත කරනු ඇති බව පෙන්වා දිය යුතුය.
ඉන්දියාවෙන් ලැබෙන ද්වීපාර්ශ්වික ණය හුවමාරුව සුළු පොලියකට බව දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියයට එකකට අඩු පොලියකට ණය ලබා ගත හැකිව ඇති බව සඳහන් කළ යුතුය. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලට සියයට හයක් දක්වා ඉහළ වාර්ෂික පොලියක් ගෙවන්නට සිදුවේ. මෙම අවුරුද්දේ ගෙවන්නට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ ඉතිරි කොටස පියැවීම සඳහා වාණිජ ණය ගැනීමෙන් තවත් වටයකින් ණය අර්බුදයක් කරා යොමුවීම වැළැක්විය නොහැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන පක්ෂ, විද්වත් පිරිස හා පොදු මහජනතාව විශාල කැපවීමකට යා යුතුව තිබේ. වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ආණ්ඩුවට බල කළ යුතුය. පටු විවේචන, අධෛර්යය කිරීම් අවසානයේදී අලවන පැලැස්තරය අනාගතයේදී තවත් වටයකින් අනාගත පරපුර අවදානමකට පත් කරනු ඇත.
ශාමින්ද වත්තේගෙදර