‘‘ලොව නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින්’’ යැයි මැක්සිම් ගෝර්කි ලියා තිබේ. ඒ ලොව නිමැවන මවක් වීමේ අසම සම භාග්‍ය උරුම කරගත් කාන්තාව වෙනුවෙන් වෙන්වූ දිනය අදය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම නිදහස හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනු ලැබේ. එහෙත් එය අද දිනයට පමණක් සීමා නොවිය යුතුය යන්න පළමුව අවධාරණය විය යුතුය.
සාහිත්‍යයේදී ‘‘කාන්තාව’’ යන වචනයට ලබාදී ඇති එක් තේරුමක් වනුයේ ‘‘කාන්දම’ යන්නය. එයින් කියැවෙන්නේ කාන්තාව කාන්දමක් මෙන් ඇදෙන බවය. එනම් ආකර්ශනයකින් යුතු බවය. එබඳු ආකර්ශනයක් සහිත වන්නේ ඇය ස්වභාවයෙන්ම පැහැපත් හා සුන්දරවන හෙයිනි. එහෙත් ඇයට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ එම පැහැපත් හා සුන්දර තත්ත්වයට ගැළපෙන පරිසරයක නොවේ.
කොවිඩ් මාරාන්තික වයිරසය සමස්ත මානව සමාජයටම බරපතළ ලෙස අභියෝගයකි. එම බරපතළ අභියෝගයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවය. ‘‘පවුලේ බර උසුලන්නිය’’ ලෙස ඇයට එම වගකීමෙන් බැහැර වූ ජීවිතයක් නැත. තම පෞද්ගලික ජීවිතයේ සියලු අපේක්‍ෂාවන් යටපත් කර ගනිමින් ජීවන අරගලයට මැදිහත්වීමට ඇයට සිදුවී තිබේ. ඒ අනුව කාන්තාව යනු තවදුරටත් දෙවැනි පන්තියේ පුරවැසියෝ නොවෙති. සමාන අයිතිවාසිකම් ඇත්තෝ වෙති. ඇතැමෙක් එය අමතක කර කටයුතු කරති. ජාත්‍යන්තර කාන්තා දිනය වැදගත් වන්නේ එසේ අමතක පිරිස්වලට ඒවා අලුත් වටයකින් මතක්කර දීමට හැකියාවක් ලැබෙන හෙයිනි.
මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් වනුයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වේ. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් සාතිශය බහුතරය කාන්තාවෝ වෙති. ඔවුන්ට නියැළීමට සිදුවී තිබෙන්නේද සෑම අතින්ම ආරක්‍ෂිත හා ඉහළ ප්‍රමිතියකින් යුත් රැකියාවලද නොවේ. වහල් සේවයෙන් බිඳකුදු වෙනස් නොවන බැල මෙහෙවරකමක් ලෙස පහසුවෙන් අර්ථ දැක්විය හැකි ගෘහසේවය වේ. ශ්‍රමයේ සිට ලිංගිකත්වය දක්වා සෑම ආකාරයටම සූරාකෑමට ඇය ලක්වන්නීය.
ඇතැම් විට ඇයට යළි මවු රටට ඒමට සිදුවන්නේ මිනී පෙට්ටියක උඩුකුරුව සයනය කරමින්ය. නිසැක ලෙසම වෙනස් කළ යුතු වුවද වෙනස් නොවන සරදම්කාරී ඉරණම තම රටට විදෙස් විනිමය එවන මෙම ශ්‍රම බළකාය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය යුතුය. ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද පරීක්‍ෂාවෙන් සිටිය යුතුය. එහෙත් බොහෝවිට සිදුවන්නේ කිසියම් සිදුවීමක් වාර්තාවූ විට නින්දෙන් පිබිදුණාක් මෙන් සිදුකරන කටමැත දෙඩවීමය. ඉන් එහා ගිය ක්‍රියාන්විතයක් දක්නට නැත.
ශ්‍රී ලංකාව යනු වසර දෙදහස් පන්සියයකට එපිට ඈත අතීතයක් සහිත සදාචාරවත් රටකි. උත්තම සංස්කෘතියක් සහිත මෙන්ම සදාචාර බලයක් සහිත රටකි. එම රට තුළ කාන්තාවට හිමිවිය යුතු තැන නොපැකිලව හිමිවී තිබේ. ලොව උසස්ම පදවිය ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ පිළිගැනීම මවු පදවිය වේ. අම්මා හැඳින්වෙන්නේ ‘‘දෙවැනි බුදුන්’’ ලෙසය. එබඳු ගරු ගාම්භීර අභිමානවත් පිළිගැනීමක් කාන්තාවට හිමිය. මෙම තත්ත්වය නොතකා කටයුතු කරන පිරිස් ද සිටිති. එබන්දන් මිනිස් කසළ මෙන් පිටුදැකිය යුතුය.
ගුණවත් මිනිසකු බිහිවන්නේ අගුණට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාන්විත ශක්තිමත්වන තරමටය. ගුණවත් දෙයෙහි අගය වැඩි වැඩියෙන් අවධාරණය වනවිට අගුණට නැඹුරුවීම අවම වේ. ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිදුවිය යුත්තේ එයය. කාන්තාවට හිමි ගෞරවය, පිළිගැනුම මෙන්ම ඇයගේ අයිතිවාසිකම් හා නිදහස මේ ආදී කාරණා සම්බන්ධයෙන් ගැඹුරු කතිකාවතක් නිර්මාණය විය යුත්තේ එය එක් දිනකට පමණක් සීමා නොකරමිනි.
අපගේ සමාජයේ දක්නට ලැබෙන සුලභ දුර්ගුණයක් වන්නේ බොහෝ ජාත්‍යන්තර දින එම දිනයට පමණක් සීමා කිරීමය. අද කාන්තාව සම්බන්ධයෙන් සමුළු පවත්වා, විවිධ හරසර දක්වා ගරු ගාම්භීර දේශන පවත්වා හෙට දිනයේ සිට ඒ සියල්ල අමතක කර පරණ පුරුදු පරිදි කටයුතු කරන්නේ නම් එයින් ඇති ප්‍රයෝජනයක් නැත. එබඳු වාර්ෂික ලිත් සැමරුමකින් ලැබෙන ජයග්‍රහණයක්ද නැත.
සූසැට බරණින් සැරසුණ කාන්තාවකට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා තනිපංගලමේ නිරුපද්‍රිතව යා හැකි පරිසරයක් මෙරට තිබූ බව පැවසේ. එම නිරුපද්‍රිත පරිසරය දැන් තිබේද යන්න විමසා බැලිය යුතුය. කාන්තාව යනු ඇතැමකුට තම සිරුර සනහා ගන්නා සිරුරක් පමණි.
කාන්තාව ‘‘කෙළි බඩුවක්’’ ලෙස සිතන්නෝ සිටිති. එහෙයින් අවධාරණය විය යුතු වැදගත් කාරණයක් වන්නේ මෙබඳු සමාජයක කාන්තාවන්ට පමණක් වෙන්වූ විමුක්තියක් නොමැති බවය. මුළු සමාජයම සභ්‍යත්ව බලයට යටත් කළ යුතුය. එබඳු පරිසරයක සියල්ලන්ට තමන්ගේ ගරුත්වය රැකගෙන ජීවත්විය හැකිය.
පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 225 දෙනාගේ දත්ත පද්ධතියක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව මතුවී තිබේ. මේ සඳහා මන්ත‍්‍රීවරුන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් තොරතුරු ඉල්ලන ලද අතර මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන් 45 ක් අදටත් එම තොරතුරු ලබා දී නැත. ශ‍්‍රී ලංකාවේ පවතින්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකි. මහා මැතිවරණයට පෙර පා පැදියකින් ගමන් කරන සිහින් බට පතුරක් වැනි අපේ මහජන නියෝජිතයා අපේ ගෙදරට පැමිණ අපේ කුස්සියත් අතුගා පස්සත් ලෙවකා අපෙන් ඡුන්දය ඉල්ලයි. ඒ වෙලාවේදී මේ නියෝජිතයා ඉස්කෝලේ ගියාද නැද්ද යන්න ගැන අහන්නට අපට මතක් වෙන්නේ නැත. අප ඉන්නේ තිබෙන ආණ්ඩුවට කෙලවා වෙනත් ආණ්ඩුවක් පත්කර ගැනීමේ චූන් එක පිටය. මේ නිසා අපි ඇස් වසා ගෙනම ගොස් ඡුන්ද කොළය දිගහැර මොහොතකට ඇස් ඇර ඔහුට කතිරය ගසන්නෙමු. අප විසින් කවුන්සලයට යවන ලද එකා බොහෝවිට නොම්බර එකේ කසිප්පුකාරයකු, ස්ත‍්‍රී දූෂකයකු හෝ පල් හොරකු බව අපට දැනගන්නට ලැබෙන්නේ අලූත් ආණ්ඩුවක් පත්වී අවුරුද්දක් පමණ යන විටය. මෙවිට අපි වහ වහා පාර්ලිමේන්තුවට දිව ගොස් මන්ත‍්‍රීතුමාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් ඉල්ලා සිටිමු. මන්ත‍්‍රීවරුන් පිළිබඳ LIST එකක් සෑදීමට පාර්ලිමේන්තුව තීරණය කළේ මෙන්න මේ අවශ්‍යතාව සම්පූර්ණ කරනු පිණිසය. එහෙත් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරුණු සපයා දීමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 45 දෙනකු වැළකී සිටීම පිටුපස කිසියම් හොරයක් තිබෙන්නට පුළුවන. පංගුවක් වෙලාවට ඒ අය ඉස්කෝලේ ගියාට නොගියාක් මෙන් ඔළුව හදාගෙන සිටින අයවලූන් විය යුතුය. එහෙමත් නැත්නම් ඔවුන් ඉස්කෝලේ ගොස් ඇත්තේ ගංවතුර කාලයේදී පමණි. ගංවතුර වැනි ස්වභාවික ව්‍යසනයන් පවතින අවස්ථාවලදී ඉස්කෝල තුළ අනාථ කඳවුරු පිහිටුවන ලැබේ. අපේ මන්ත‍්‍රීතුමා ළමා කාලයේදී එම කඳවුරක රැුකවරණය ලැබුවේ නම් සංඛේතාත්මකව ඉස්කෝලේ ගිය බවක් කීමට පුළුවන.
ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිටින අපේ මන්ත‍්‍රීවරුන් ඇතැම් විට කතා කරන දේවල් දිහා බලා සිටීමේදී අපට පෙනී යන්නේ ඔවුන්ගේ සාමාන්‍ය දැනීම, භාෂා දැනුම, වචන උච්චාරණ හැකියාව ඉතා පහත් මට්ටමක පවත්නා බවය. එහෙත් පුදුමය වන්නේ ශ‍්‍රී ලංකාව සාක්ෂරතාව වැඩිම ජනතාවක් සිටින රටවල් අතරින් එකක් වීමය. ඔබත් අපත් දන්නා පරිදි, ලිවීමට සහ කියවීමට තිබෙන හැකියාව සාක්ෂරතාව යනුවෙන් හඳුන්වනු ලැබේ. අපේ මන්ත‍්‍රීවරු සියලූම දෙනා අකුරු දන්නා බවට කිසිදු තර්කයක් නැත. ඒත් එම අකුරු එකතු කර වචන සෑදීමටත් එම වචන පාවිච්චි කරමින් තර්කානුකූල ලෙස කතා කිරීමටත් උන්නැහේලා දනිත් දැයි අපි නොදනිමු. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සභා ගැබේදී කියන කුණුහරුප කතා ඉතාම පහත් ය. කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් මන්ත‍්‍රීවරුන් කියන කුණුහරුප, එක් මන්ත‍්‍රීවරයකු තවත් මන්ත‍්‍රීවරයකුට අපහාස කරන ආකාරය, තද වුණ විට කියන වල් කතා යන සියල්ල කිසිසේත් අමතක කළ යුතු නැත. ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ගැසුවේය. ඔහු ඇසිඞ් ගැසුවත් මේ තිබෙන සංස්කෘතිය තුළ, ඒ ගැන කවුරුවත් වගකින්නට අවශ්‍ය නැත. මේ රටේ වර්තමාන පාර්ලිමේන්තුවේ පරිහානිගත ස්ථරය පෙන්වීම සඳහා යොදාගත හැකි හොඳම උදාහරණය ජනක තිස්සකුට්ටිආරච්චි මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුව තුළදී වම්බොටු සංඛේත කරගෙන කියූ කතන්දරයයි. රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ගොන් කතා ඉතා පිළිකුල් සහගතය. මර්වින් සිල්වා ද පාර්ලිමේන්තුවේ සිටියදී අසැබි ලෙස හැසිරී තිබේ. ඔහු මන්ත‍්‍රී භික්ෂුවකගේ පුද්ගලික අංශය අතින් මැ`ඩ මහත් වූ වේදනාවක් මුදා හැරියේය. ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය automatic අධ්‍යාපන ක‍්‍රමයකි. පළවන වසරට යන ළමයා ඔටෝමැටිකවම නොඑසේ නම් ස්වයංක‍්‍රීය ලෙසම 11 පංතිය දක්වා ඉස්සරහට යයි. සෑම පංතියකින්ම ඊළඟ ඉහළ පන්තියට ඔහු නිකන්ම දමනු ලැබේ. එහෙත් 11 පංතියේ ඕලෙවල් විභාගයේදී කොල්ලා හිර වන්නේය. ඕලෙවල් විභාගය දෙපාරක් අසමත් වී කිසියම් කෝර්ස් එකක් කිරීමට අධ්‍යාපන ආයතනයකට යන ඔහු ගෑනු ආස්සරය සහ මත් පැන් නිසා එයටද කෙලවා ගනී. මේ කොලූවාගේ පියා දේශපාලනඥයකු නම් පළාතේ ඊළඟ මන්ත‍්‍රීකම කොලූවාට හිමි වෙයි. අපේ නරක කාලය එළඹෙන්නේ මෙහිදීය. තාත්තා ගමෙන් භාගයක් කෑ අතර පුතා සූදානම් වන්නේ ගමේ ඉතිරි භාගයට කෙළීමටය. මේ නිසා ඔහු ගම කා රට කමු යන විඥ්ඥානයට මාරුවෙයි. හරියට සෙට් වුණොත් දේශපාලනයෙන් ගොඩ ඒම ඉතාම සුළු කාරණයකි. වැඬේ වැරදී හිරේ විලංගුවේ වැටෙන දේශපාලනඥයන් පිරිස ඉතා ස්වල්පය. මේ අතර හරියන එකාටත් අධ්‍යාපනික සුදුසුකම් නැත. වරදින එකාගේ තත්ත්වයද එයමය. අවසානයේදී සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන විට මන්ත‍්‍රීවරුන්ට සැඟවීමට සිදුවීමය. මන්ත‍්‍රී මණ්ඩලයට එන එකා අඩුම ගණනේ ඕලෙවල් වත් පාස් කළ යුතු බව මෙයට බොහෝ කලකට පෙර අපි මතයක් වශයෙන් ඉදිරිපත් කළෙමු. එහෙත් කිසි කෙනෙක් ඒ ගැන එදා තැකුවේත් නැත. අද තකන්නේත් නැත. හෙටද නොතකනවා ඇත.
පතුළ නොපෙනෙන අඳුරු ආගාධයක් වෙත රට තල්ලු වෙමින් තිබෙන බව පැහැදිලිය. හාස්කමකින් විනා එය වෙනස් නොවන බවද සත්‍යයකි. මේ වූ කලී රැයක - දෙකක ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල නොවේ. වැරැදි බව දැන දැනත් එමග අත නොහැර එමගේම පැමිණීමේ ප්‍රතිඵලයකි. නිවැරැදි කරගත යුතුව තිබූ බොහෝ තැන් නිවැරැදි කර නොගැනීමේ තාර්කික වන්දිය ජනතාව ගෙවමින් සිටිති.
මේ රටේ බොහෝ රාජ්‍ය ආයතන අකාර්යක්ෂම බව වසන් කළ නොහැක. එහෙත් ඒවා නිවැරැදි වූයේ නැත. එම ආයතන රටට බරක් වූ එමෙන්ම ජනතාවගේ බදු මුදලෙන් නඩත්තු වන ආයතන බවට පත්වී තිබේ. රාජ්‍ය ආයතනයක් රැකබලා ගැනීමේ වගකීම මහා භාණ්ඩාගාරය දරන හෙයින් ඒවායේ සිටින ටයි කෝට්කාර මහත්වරුන්ට එම ආයතන දියුණු කිරීමේ වුවමනාවක්ද නැත. ලක්ෂ ගණනක වැටුප, අමතර දීමනා, නිල රථය, රියැදුරු සමග ඉන්ධන, රැස්වීම් දීමනා ආදී වශයෙන් විශාල ‘පැකේජයකට’ උරුමකම් කියන ගරු කටයුතු මහත්වරු තමන්ට පෑදී ඇති ඉල්ලම සම්බන්ධයෙන් අප්‍රමාණ ලෙස සංතෘප්තියෙන් දවස් ගෙවා දමති.
මෙම තත්ත්වය පැහැදිලි කෙරෙන ඉතා වැදගත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රාජ්‍ය අංශයේ ආයතනවලට නිෂ්පාදන වර්ග 108ක් සැපයීමට අපොහොසත්වීමෙන් එම සංස්ථාවට රුපියල් කෝටි 6කට ආසන්න ආදායමක් අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසන බවය.
රාජ්‍ය ආයතන යනු ‘බිස්නස්’ කරන ස්ථාන නොවන බව සහතිකය. එහෙත් ආදායම් ඉපැයිය හැකි මාර්ග වේ නම් ඒවාට යොමුවීම වැරැදි ද නැත. එසේ ආදායම් උපයන්නේ නම් එම ආයතනය දියුණු කිරීමට, සේවකයන්ගේ සුබසාධනයට යෙදවීම කළ හැකිය. ඉතිරියක් වන්නේ නම් එය මහා භාණ්ඩාගාරයට යොමු කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිදුකර තිබෙන්නේ රුපියල් කෝටි 6කට ආසන්න ආදායමක් අහිමිකර ගැනීමය.
2019 වසරේදී මෙසේ ආදායම අහිමි කරගෙන තිබෙන බව පවසන ජාතික විගණන කාර්යාලය රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලීමට උත්සාහයක් නොදැරීම නිසා නිශ්චිත වෙළඳපොළ කොටසක් අතහැරී යාමේ අවදානමක් පැවතුණ බව ද පවසයි. එමෙන්ම තම වෙළඳපොළ කොටස තීරණය කිරීම සඳහා කාලීනව වෙළඳපොළ සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් වෙළඳපොළ කොටස අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවී තිබේද යන්න පිළිබඳව අවබෝධයක් පවා ආයතනය සතුව නොතිබූ බවත් එම විගණන අංශය පවසයි.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පිහිටුවීමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේද රාජ්‍ය අංශයේ ආයතනවලට නිෂ්පාදන වර්ග සැපයීමය. මන්දයත් ඒවා හිතුමනාපේ නිෂ්පාදනය කළ නොහැකි හෙයිනි. එහෙත් එම වගකීම ඉටුවී නොමැත. එය එසේ වුවත් තම තමන්ට අවශ්‍ය දේ කර ගැනීමට පසුබට වී නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරන එක් කරුණකින් වුවද මනාව පැහැදිලි වේ. එම කරුණ නම් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා තනතුරු 19ක වැඩ බැලීම සඳහා සුදුසුකම් සපුරා නොතිබූ නිලධාරීන් 19 දෙනකු බඳවාගෙන වැඩ බැලීමේ දීමනා ලෙස ලක්ෂ 22කට ආසන්න මුදලක් ගෙවා තිබීමය.
ඉතාම පැහැදිලිව අවධාරණය කළ හැකි වන්නේ එම 19 දෙනාට වැටුප් හා දීමනා ලබාදීම සඳහා පමණක් එම වැඩ බැලීමේ තනතුරු පුදා ඇති බවය. ඒවාට නම් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ බලධාරීන් වගකිව යුතු නැත. මන්දයත් එම පත්වීම් දේශපාලන බලඅධිකාරියේ අවශ්‍යතාවට සිදුවීම බොහෝ සෙයින් ඉඩ ඇති හෙයිනි. තම හෙන්චයියලාට එසේ රාජ්‍ය දේපොළ උරා බීමට ඉඩ දීමට බොහෝ දේශපාලනඥයෝ නිර්ලෝභී වෙති. එමෙන්ම නිර්භය වෙති.
ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක මණ්ඩලය සඳහා ත්‍යාග වවුචර් පත් ලබාදීමට 2019 වසරේදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විරෝධතා නොසලකා රුපියල් විසිපන් ලක්ෂයකට අධික මුදලක් සමුපකාර තොග වෙළඳ සංස්ථාවට ගෙවා ඇති බවය.
ආයතනය වළපල්ලට යවමින් තමන් අභිමත දෑ මුදුන් පමුණුවා ගැනීමේ මජරකම කොතෙක්දැයි ඉහත කරුණෙන්ද ඔප්පු වේ. රට මෙබඳු ප්‍රපාතයක් අද්දරට තල්ලු වී ගොස් තිබෙන්නේ ඉබේම නොවන බව අවධාරණය කළ යුතු වන්නේ එහෙයිනි.