තෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇත. පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ ගිය විට පොල් තෙල් මිලද ඉහළ යයි. බැලූ බැල්මට මෙය ටිකක් අභව්‍ය කාරණයකි. පොල් තෙල් එන්නේ මැද පෙරදිගින් නොවේ. එය ඛනිජ තෙලක් ද නොවේ. එහෙත් ඉන්ධන මිල වැඩි කළ විට සියලුම ප්‍රවාහන ගාස්තු ඉහළ යයි. මේ නිසා බඩු සියල්ලෙහිම මිල ද නගී. අපේ රටේ බඩු මිල ඉහළ යෑමට සදාකල්හිම කුමක් හෝ හේතුවක් තිබිණ. එක්කෝ වැස්ස නිසා එළවළු මිල නගී. නැත්නම් අව්ව නිසා වගා පාළු වී එළවළු මිල නගී. එක්කෝ රසායනික පොහොර නැති නිසා සහල් මිල නගී. එහෙමත් නැත්නම් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම නිසා තෙල් මිල නගී. මේ අනුව ඛනිජ තෙල් සහ පොල් තෙල් අතරත් ඛනිජ තෙල් සහ මිනිස් ජීවිතය අතරත් ඇති සම්බන්ධය වටහා ගැනීම පහසු ය. දැනට තිබෙන ආරංචියට අනුව සෑම දෙසතියකටම වරක් ලෝක තෙල් මිලට සාපේක්ෂව මෙරටට ගෙන්වන තෙල්වල විකුණුම් මිල පුනරීක්ෂණය කරනු ලැබේ. ආණ්ඩුව මෙයට කියන්නේ මිල සංශෝධනය යනුවෙනි. මේ මිල සංශෝධනයේදී ලංකා ඉතිහාසයේ අවස්ථා එකකදී හෝ දෙකකදී හැර අන් කිසි දවසක ඛනිජ තෙල් මිල අඩු වූයේ නැත. සති දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි වීමට පටන් ගත්තොත් මතු යම් දිනයකදී වාහනේ වටිනාකමට වඩා වැඩි මිලක් තෙල් ලීටරයක් වෙනුවෙන් ගෙවන්නට සිදුවනවා ඇත. ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුව කියන්නේ අත්‍යවශ්‍ය අය පමණක් සේවයට පැමිණීම ප්‍රමාණවත් බවය. මිනිසුන් වැඩට එන්නේ සාමාන්‍යයෙන් වැඩට එන අය, වැඩට පැමිණීම අවශ්‍ය අය සහ වැඩට පැමිණීම අත්‍යවශ්‍ය යනාදී වශයෙන් කොටස් තුනකටය. සාමාන්‍යයෙන් වැඩට එන අය සහ වැඩට ඒම අවශ්‍ය අය යන දෙගොල්ල ඉවත් කළ විට ඉතිරි වෙන්නේ අත්‍යවශ්‍ය සුළුතරයයි. මේ සුළුතරයෙන් රටක් ඍමබ කළ හැකි නම් එය ඉතා යහපත්ය. මේ තත්ත්වය ආදර්ශයට ගනිමින් අත්‍යවශ්‍ය අය පමණක් ආහාර ගත යුතු බවට අවසාන නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබේ. එවිට ඉතින් දෙකෙන් එකක් වෙන්නේ නැතෑ!
මේ වෙලාවේදී මුළු ලෝකයම ආහාර සහ ඉන්ධන අර්බුදයකට මැදිව සිටී. මේ අර්බුදයේ ඉහළින්ම සිටින රටවල් දෙක ලෙස ඇෆ්ගනිස්තානය සහ ලංකාව හඳුනාගෙන ඇත. හැම කාරණයකදීම දෙවැනියා හෝ තුන්වැනියා හෝ ඊටත් පහළින් සිටීමට සිද්ධ වී ඇති ලංකාවට මේ කාරණයේදී ලැබෙන්නේ ද දෙවැනි තැනය. ශ්‍රී ලංකාව කෙළවා ගත් පරිදි ආර්ථිකය අවුල් කර ගැනීමෙන් වළකින ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා මීට තුන් දිනකට පෙර සඳහන් කළාය. ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගතය සහ මෑත කාලීන යුක්‍රේන අර්බුදය හේතුවෙන් ලෝක ආර්ථික අර්බුදය දරුණු වූ බව ඇගේ මතය වේ. ලෝකයේ වෙනත් රටවල ආර්ථිකය දරුණු වීමේ අවුල හටගත්තේ මේ මෑතකදීය. කොවිඩ් 19 න් පසු සෙසු රටවල් ක්‍රමයෙන් හිස ඔසවා ස්ථාවර බවට පත්වූහ. එහෙත් අප දන්නා කාලයේ සිටම මේ රටේ ආර්ථිකය තිබුණේ ළිං පතුලකය. 1948 මේ රටට නිදහස ලැබුණු දින සිට හැමදාම ආර්ථිකය පරිහානියට පත් විය. ඉස්සර අපේ කලිසමේ පිටුපස සාක්කුවේ හදිසියකට ගැනීම සඳහා කිසියම් මුදලක් තිබිණ. දැන් ඒ සාක්කුවේ කිසිදු මුදලක් නැති අතර හදිසියකදී සිදුවන්නේ කලිසම ගලවා විකිණීමටය. රටක් වශයෙන් ගත්කල තත්ත්වය ද මෙයමය. 1948 දී සුද්දන් රට භාර දී ලංකාවෙන් යන විට ශ්‍රී ලංකාවේ රජය සතුව නිධන් අරමුදල නමැති අරමුදලක් විය. ඇමරිකන් මහ බැංකුවේ අධිපති මණ්ඩලයේ සාමාජිකයකු වූ ජෝන් එක්ස්ටර් ලක් රජයේ ආරාධනයෙන් මෙහි පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටු වූ පසු එම අරමුදල තවත් තර විය. රටේ හදිසි ආපදා අවස්ථාවකදී මුදල් ලබා ගන්නා ලද්දේ මේ කියන නිධන් අරමුදලෙනි. 1977 ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණ විවෘත ආර්ථිකය රට තුළට පැමිණි වහාම මේ නිධන් අරමුදල කඩා බිඳ දමන ලදී. ජෝන් එක්ස්ටර් මිය යන්නේ 2006 දීය. තමා බිහිකළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිධන් අරමුදල තම ඇස් ඉදිරිපිටම කඩා වැටෙනු දුටු මේ සුද්දාට මොනවා හිතෙන්නට ඇද්ද? දැන් නිධන් අරමුදලත් නැත. හදිසියකට ගැනීම සඳහා සත 50 ක්වත් ඉතිරි කරගෙනත් නැත. නිදහසින් පසු මේ රටේ පහළ වූ හැම ආණ්ඩුවක්ම මේ ආර්ථික පරිහානියට වගකිවයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් නිතර කියති. මෙය ඇත්තම කතාවකි. කිසිසේත්ම නිවැරදි කර ගැනීමට නොහැකි වරදකි.
පිළිසරණක් නැතිව නන්නත්තාර වූ අනාථයකුට ආධාර කරමින් ඔහු හෝ ඇය ජීවිතාන්තය තෙක් රැකබලා ගැනීමට කැමති අය ලෝකයේ සිටිති. එහෙත් කුඩු ගසා ක්ලබ් ගාණේ ගොස් රති කෙළියේ යෙදී දිගටම පිස්සු කෙළින අනාථයකු බලා ගැනීමට කව්රුත් සූදානම් නැත. මේ රට පෙරකී දෙවැනි වර්ගයේ අනාථයෙකි.