Monday, 29 April 2024


විවිධ කාල වකවානු තුළ ලෝකයේ නිමක් නැති උණුසුම් පුවත් නිර්මාණය වීම ඉතාමත් සුලභ කාරණයකි. එලෙස ලෝකය උඩුයටිකුරු කරන පුවත් නිර්මාණය කරන පුවත් උල්පතක් බඳු වන්නේ විද්‍යා ක්ෂේත‍්‍රයයි. නව සොයාගැනීම් හා ඊට අදාළ පර්යේෂණ හා ගවේෂණයන් කියාපාන්නේ අනාගත ලෝකයට විවර වන මං පෙත්ය. මෙලෙස මෙම සතියේ බීබීසී, අල්ජසීරා, නේචර් වැනි ලොව පුරා තිබෙන බොහෝ සුප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්ගේ උණුසුම්ම පුවත වූයේ ”සඳ මතුපිටින් ජලය සොයාගනියි” යන පුවතයි. අභ්‍යවකාශ ගවේෂණය ලොව ආරම්භ වූ දා සිට මිනිසාගේ තිබූ මූලිකම අරමුණක් වන්නේ සඳෙහි ජලය පවතිනවාද? නැත්ද? යන්න සොයාගැනීමයි. කාලෙන් කාලයට පුවත් මවන මේ කාරණය මෙවර සත්‍ය වේද? එම කාරණය සත්‍ය වූවා නම් ඒ කුමන පර්යේෂණයක ප‍්‍රතිඵලයක්ද? අද අපි විමසමු ඒ ගැන.

චන්ද්‍රයා මතුපිට ජලය සොයායෑමේ පරීක්ෂණය 20 වන සියවස දියත් කෙරුණු ඇපලෝ වැඩසටහන දක්වා විහිදී යයි. ධ‍්‍රැවීය චන්ද්‍ර ආවාටවල අයිස් ඇතිවීමේ හැකියාව මුලින්ම යෝජනා කළේ 1961 දී කැල්ටෙක් පර්යේෂකයන් විසිනි. ඇපලෝ ගගනගාමීන් විසින් එකතු කරන ලද චන්ද්‍ර පාෂාණ සාම්පලවල හෝඩුවාවක් සොයා ගත හැකි වුවද, මෙම සාම්පල අපවිත‍්‍ර වීම හේතුවෙන් කරන ලද පර්යේෂණයන් අසාර්ථක විය. 1971 ඇපලෝ 14 යානය ගොඩ බෑ ස්ථානයෙන් ලැබූ සාක්ෂි අනුව සඳ හි ඇති ජලය ගැන මුල්ම හෝඩුවාව ලැබූ අතර 1978 සෝවියට් රුසියාවෙන් දියත් කෙරුණු ලූනා 24 යානයෙන් සඳෙහි ජලය ඇති බව නිශ්චිතව ප‍්‍රකාශයක් නිකුත් විය. ඉන් අනතුරුව චන්ද්‍රයා මත ඇති ජලය ගැන ප‍්‍රකාශ නිකුත් වුවත් 21 වන සියවස වන විට මෙම මාතෘකාවට නැවතත් උණුසුම් මුහුණතක් ලබා දීමට ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (ISRO) මගින් චන්ද්‍රයා වෙත දියත් කෙරුණු චන්ද්‍රයාන් 1 යානය සමත් වන අතර යානයේ ඇති උපකරණ මගින් ලබා ගත් දත්ත අනුව සඳ මත අයිස් වූ ජලය ඇති බවට අනාවරණය කරගැනීමට හැකිවන අතර 2010 මාර්තු මාසයේදී චන්ද්‍රයාන් 1 යානයේ සිටි මිනි-එස්. ඒ. ආර් සඳෙහි උතුරු ධ‍්‍රැවය අසල ස්ථිරවම අඳුරු වූ ආවාට 40 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර ඒවා හි ඇස්තමේන්තු කර ඇති පරිදි මෙටි‍්‍රක් ටොන් මිලියන 600 ක් පමණ ජල අයිස් අඩංගු වනවා. මෙම සොයාගැනීම කෙරෙහි බොහෝ දෙනා විවිධ විවේචනයන් හා අදහස් ඉදිරිපත් විය. නමුත් මෙවැනි විද්‍යාත්මක සොයාගැනීම් හි සැලකිය යුතු හෝ නිමාවක් දකින්නේ තව තවත් පර්යේෂණ කරමින් සිදුකරගන්නා ලද නිශ්චිත තහවුරු කරගැනීම් වලින් පමණි.

අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරමින් අධෝරක්ත නිරීක්ෂණ ගුවන් යානා භාවිත කරමින් අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය පළමු වරට භාවිතා කරන ලද්දේ 1965 වසරේ දීය. නාසා ආයතනයේ ව්‍යාපෘතියක් වූ මෙය සිකුරු ග‍්‍රහයා නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගත් අතර 1969 දී දුරේක්ෂයක්ද ගුවන් යානයක සවිකිරීමේ කුයිපර් ව්‍යාපෘතිය ඇරඹිණි. එහි මූලික අරමුණ වූයේ වායුගෝලයේ ජල-වාෂ්ප අවශෝෂණය අවම කරමින් අධෝරක්ත කිරණ උපයෝගී කරගනිමින් අභ්‍යවකාශ ගවේෂණයයි. 1975 වසර වන විට වැඩ අවසන් වූ මෙම ව්‍යාපෘතියෙන් යුරේනස් ග‍්‍රහලෝකය වටා ඇති මුදු පද්ධතිය සොයා ගැනීම ඇතුළු විද්‍යාත්මක අධ්‍යයන රැසකට මෙම දුරේක්ෂය ඉවහල් විය. අනතුරුව කුයිපර් ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ඇමරිකාවේ නාසා ආයතනයේ 80% ක මූල්‍ය දායකත්වයෙන් හා ජර්මානු ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (DLR) 20% මූල්‍ය දායකත්වයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යවකාශ පර්යේෂණ සංගමයට (USRA) එකතුවෙන් අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වූ නිරීක්ෂණාගාරය වන සොෆියා (SOFIA) ව්‍යාපෘතිය ඇරඹි අතර බෝයිං 747 වර්ගයේ නවීකරණය කෙරුණු ගුවන් යානයක් තුළ ඇති නිරීක්ෂණාගාරය සමගින් තම මංගල පර්යේෂණ චාරිකාව 2010 වසරේ දී ආරම්භ කරන ලදී. මුල් කාලයේ චන්ද්‍රයා ගවේෂණය නොකළ අතර කළු කුහර, තරු පොකුරු සහ මන්දාකිණි වැනි අභ්‍යවකාශ වස්තූන් අධ්‍යන කෙරූ සෝෆියාගේ අවධානය සඳ වෙත යොමු වූයේ 2018 අගෝස්තු මාසයේදීය.

https://sannasa.org/26d74858-5dac-4f76-8679-29dbdc9ff536" width="325" height="155">

අඩි 45,000 ක් පමණ උන්නතාංශයක පියාසර කරමින් අඟල් 106 ක විෂ්කම්භයකින් යුත් දුරේක්ෂයක් සහිත මෙම නවීකරණය කරන ලද බෝයිං 747 ජෙට්ලයිනර් ගුවන් යානය අධෝරක්ත කිරණ යවමින් විශ්වය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීම සඳහා පෘථිවි වායුගෝලයේ ජල වාෂ්පයෙන් 99% ට වඩා ළඟා වේ. සොෆියා දුරේක්ෂ සඳහා එහි අධෝරක්ත කැමරාව භාවිතා කරමින් ජල අණු වලට ආවේණික වූ නිශ්චිත තරංග ආයාමයක් ලබා ගැනීමට හැකි වූ අතර හොඳින් හිරු එළිය වැටෙන ක්ලැවියස් ආවාටය තුළින් ජලය කුඩා ප‍්‍රමාණයක් සොයාගන්නා ලදී. මෙම සොයා ගැනීම පෙන්නුම් කරන්නේ ජලය චන්ද්‍ර පෘෂ්ඨයේ සීතල, සෙවනැලි ස්ථානවලට පමණක් සීමා නොවන බවයි.

මෙහිදී සොෆියා විසින් අනාවරණය කරගත් ජලයට වඩා 100 ගුණයක් සහරා කාන්තාරයේ පසෙහි ජල ඇති අතර මෙපමණ කුඩා ප‍්‍රමාණයක් තිබියදීත්, මෙම සොයා ගැනීම මඟින් ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය රළු, වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින්නේ කෙසේද යන්න පිළිබඳව නව ප‍්‍රශ්නයක් මතු කරයි. එමෙන්ම සඳෙහි පෘෂ්ඨය පිළිබඳ පූර්ව නිරීක්ෂණ මගින් යම් ආකාරයක හයිඩ‍්‍රජන් වර්ගයක් අනාවරණය වූ නමුත් ජලය හා එහි සමීප රසායනික වර්ගයක් වන හයිඩ්‍රොක්සයිල් (OH) අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි විය. මෙම ස්ථානයෙන් ලබාගත් දත්ත වලින් හෙළි වන්නේ මිලියනයකට කොටස් 100 ත් 412 ත් අතර සාන්ද්‍රණයක ජලය (දළ වශයෙන් අවුන්ස 12 ක වතුර බෝතලයකට සමානයි.) චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැතිර ඇති පස් කියුබික් මීටරයක සිරවී ඇති බවයි. එහි ප‍්‍රතිඵලය නේචර් තාරකා විද්‍යාවේ නවතම කලාපයේ ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ජලය චන්ද්‍රයා තුළ නිර්මාණය වීමට හේතු සාධක රැසක් තිබිය හැකිය. චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කා මගින් මේ ජලය රැගෙන ආවා විය හැක. එසේත් නොමැති නම් සූර්ය සුළඟ මගින් ගෙන එන හයිඩ‍්‍රජන් හා චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ඔක්සිජන් යන ඛනිජයන් එකිනෙක රසායනික ප‍්‍රතික‍්‍රියාවක් සිදු කර හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ජලය නිර්මාණය විය හැක. තවද චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කාවන්ගේ විකිරණ මගින් හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ද ජලය නිර්මාණය විය හැක.

”ජලය විද්‍යාත්මක අරමුණු සඳහා මෙන්ම අපගේ ගවේෂකයන්ගේ භාවිතය සඳහා ද වටිනා සම්පතක්” යැයි නාසා හි මානව ගවේෂණ හා මෙහෙයුම් දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධාන ගවේෂණ විද්‍යාඥ ජේකොබ් බ්ලීචර් මහතා පැවසි අතර තවදුරටත් ඔහු පැවසුයේ. ‘‘අපට සඳෙහි ඇති සම්පත් භාවිතා කළ හැකි නම්, නව විද්‍යාත්මක සොයාගැනීම් සක‍්‍රීය කිරීම සඳහා අපට අඩු ජලය සහ තවත් උපකරණ රැගෙන යා හැකිය.” යන්නයි.

ඇත්ත වශයෙන්ම ජලය යනු අප ජීවත් වන ලෝකයට අත්‍යවශ්‍යම සම්පතක් එය අභ්‍යවකාශයට ද වලංගු වේ. සම්පතක් ලෙස සොෆියා සොයාගත් ජලය පහසුවෙන් භාවිතයට ගත හැකිද යන්න තීරණය කළ යුතුව ඇත. නාසා හි ආටෙමිස් වැඩසටහන යටතේ, 2024 මේ පිළිබඳ ගවේෂණයට මිනිසුන් චන්ද්‍ර පෘෂ්ඨයට යැවීමට සූදානම් අතර, එහි අවසානය ඉලක්කය වන්නේ තිරසාර මානව පැවැත්මක් ඇති කිරීමටත් පෙර සඳ මත ජලය තිබීම පිළිබඳව හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමයි. මේ සොයාගැනීමත් සමගම ඉදිරියේදී සඳේ ජනාවාස ඇතිවේවිද, මන්ද යත් ජලය යනු මිනිසාගේ මූලික පැවැත්මට වුවමනා වන සාධකයකි. මෙම සොයාගැනීමේ සත්‍ය අසත්‍යතාව ගැන තීරණය කිරීමට අපට තවත් කලක් බලා සිටීමට සිදුවේ.


මතීෂ සේනානායක / ආර්.ජේ. 
: www.nasa.gov/ www.bbc.com වෙබ් පිටුව භාවිතයෙන්

Posted On Sunday, 01 November 2020 10:47 Written by

ඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රට විශාල ආර්ථිකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසිල ඉන්ධන දහනය කර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ. සූර්ය තාපය එහි පදනමයි. හිරු එළිය උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති හෙයින් අලුත් රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් බිහි වී තිබේ. එම රක්ෂා පරිසර හිතකාමී බව විශේෂයෙන් වාර්තා කරන කරුණකි. මහා පරිමාණ ආයෝජන අංශ ගණනාවක්ද ඉන්දියාවට ලැබී ඇති අතර ඒවා සියල්ල සූර්ය තාපය උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන ව්‍යාපෘති බව සඳහන් කරන්නට අවශ්‍යය.

ඉන්දීය වාර්තා දක්වන අන්දමට 2018 වසරේ සිට 2019 කාලය තුළ සූර්ය තාපයෙන්  විදුලිය නිපදවීමට වැයවන මුදල සියයට විසි හතකින් අඩු වී තිබේ. එය ලෝකයේ අඩුම වියදමකින් කරන නිෂ්පාදනයකි. ඉන්දියාවේ ඉඩම් මිල ඉහළය. ශ‍්‍රමයට ගෙවන මුදල ද සාපේක්ෂව වැඩි බව ප‍්‍රකාශ වෙයි. එහෙත් සූර්ය තාපයෙන් විදුලිය නිපදවන තාක්ෂණය මිල අඩුවෙමින් තිබේ. එහි වාසිය ඉන්දියාව ලබා ගෙන ඇත. බැටරි මගින් විදුලිය ගබඩා කරන අවස්ථාද වේගයෙන් නිර්මාණය වනු ඇතැයි සැලකේ.

තොරතුරු දක්වන අන්දමට ලෝකයේ සූර්ය බලය භාවිතාවට නැඹුරුව වැඩිම කලාපය ආසියාවයි. චීනය, ජපානය හා ඉන්දියාව එහි පෙරමුණ ගෙන තිබේ. 2019 වසරේ මෙම කලාපයේ සූර්ය බලය භාවිතය පමණක් සියයට විසි හතරකින් වර්ධනය වී ඇත. එය ආසියාව පරිසරයට දක්වන කාරුණික භාවය සම්බන්ධයෙන් සංකේතයකි.   

ඉන්දියාවේ බලශක්ති භාවිතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අධික ජනගහනය හා එරට ආර්ථික වර්ධනය සමග විශාල ජන කොටසක ගේ ආර්ථිකය ඉහළට එසැවීම හෙයින් විදුලි පරිභෝජනය වැඩි වී ඇත. ඇස්තමේන්තු අනුව වාර්ෂික ඉල්ලුම සියයට එකොළහකින්ය. එරට ප‍්‍රාථමික බලශක්ති භාවිතය දැනට පවතින තත්ත්වයට වඩා සියයට 156 කින් වසර 2040 වන විට වැඩිවීමක් අපේක්ෂා කර තිබේ. මෙම උවමනාවන්ට අවශ්‍ය තරමට විදුලිය නිපදවීම ගැටලු සහගතය. දැවිතෙල්, ගල්අඟුරු හෝ වෙනත් ක‍්‍රම මගින් විදුලිය නිපදවීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. සූර්ය තාපය වෙනුවෙන් කරන ආයෝජනය දිනෙන් දින අඩුවෙන කාරණය එරට අවශ්‍යතාවයන්ට ගැලපෙන එකක් වී ඇත. ඉන්දියාවේ අඩානි හරිත බලශක්ති ආයතනය වසර 2025 වන විට සූර්ය තාපයෙන් විදුලිය නිපදවන දැවැන්ත බලාගාරයක් ඉදිකරන කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවයි. ලෝකයේ දැනට වාර්තා වන දැවැන්ත ආයෝජනයකි. බලශක්තියට ගෙවන වියදම අඩුවීම විශාල පරිවර්තනයක පළමු පියවර වනු ඇත. විදුලිය මිල අඩුවන විට සෑම කර්මාන්ත හා සේවා අංශයකම පිරිවැය පහත වැටේ. නිෂ්පාදන වල මිල අඩුවෙයි. පාරිභෝගිකයන්ට වාසියකි. අපනයනයට ඉතා වාසිදායක තත්ත්වයකි. අනාගතයේ දී ජාත්‍යන්තර වෙළඳ පොළ ජය ගැනීමට ඉන්දියාවට හේතුවක් වනු නිසැකය. 

ලෝකයේ සිදුවන මෙවැනි පරිවර්තන ශ‍්‍රී ලංකාවට බලපාන අන්දම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සූර්ය තාපයෙන් විදුලිය බලය නිපදවීමට රටට සෑහෙන අවස්ථා තිබේ. යෝජනා විශාල ප‍්‍රමාණයක් සාකච්ඡා වෙමින් පවතී. රජයට පමණක් කරන්නට නොහැකි මෙම ආයෝජන දේශීය ආයෝජනවලට කළ හැකිය. තාක්ෂණය හා හවුල්කාරීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් සමග එකතුවීමට මෙරට ව්‍යවසායකයන්ට අවකාශයක් ඇත. නිසි ප‍්‍රතිපත්ති තීරණ ගැනීම පළමු අවශ්‍යතාවයයි. සාමාන්‍ය ජනතාවට පවා සිය නිවාසවල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් අඩු පොලියට දෙන ණය තවත් අඩු කරන්නට අවස්ථාව තිබේ. ලක්ෂ ගණනින් නිවාස දිවා කාලයේ දී විදුලියට හැරවෙන විට අලුත් විදුලිය බලාගාර අවශ්‍ය නැත. රාත‍්‍රී කාලයට ජල විදුලිය භාවිත කළ හැකිය. ජාත්‍යන්තර ප‍්‍රජාව කොපමණ අවදියෙන් ද යත් සමහර රටවල් දිවා කාලයේදී ජල විදුලි බලාගාර නතර කරනු පමණක් නොව ජලය සූර්ය විදුලියෙන් නැවත ඉහළට පොම්ප කරන ව්‍යාපෘති අරඹා තිබේ. නිදහසේ ගලා යන ජල මාර්ග වලින් ආපසු ඉහළට යැවෙන ජලය නැවතත් රාත‍්‍රී කාලයේ දී විදුලිය නිපදවන ටර්බයින් කරකවමින් පහළට ගමන් කරයි. මේවා විස්මිත දේ නොවන බව අද ලෝක ප‍්‍රජාව තහවුරු කර ඇත. ශ‍්‍රී ලංකාවට ද මෙම අත්දැකීම් ප‍්‍රයෝජනයට ගැනීමට බැරිකමක් නැත. 
තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ලෝකයේ ප‍්‍රබල වෙනස්කම් ඇති කරන ලද බව පැහැදිලිය. එකිනෙකා සමග සම්බන්ධවීමේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය හා තාක්ෂණික දියුණුව දක්වා විශාල පරාසයකට එහි අවස්ථා විහිදී ඇත. නූතන සමාජය තුළ අවම සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානවල පවා තාක්ෂණය භාවිතකර දියුණු වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය ඉතාම අවම කරන්නට පරිගණක සම්බන්ධතා ඉවහල් වී ඇත. මේවාට විදුලිය බලය අවශ්‍යය. අඩු මිලට විදුලිය හා අඩු වියදමකින් දුරකතන සම්බන්ධතා සහිත සමාජ වේගයෙන් දියුණු වන බව සනාථ වී තිබේ. ‍

නොදියුණු රටවල් සහිත අප‍්‍රිකානු කලාපයේ ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටලු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකිවනු ඇති අතර නොබෝදා බ්‍රිතාන්‍ය සමාගමක් සූර්ය බලයෙන් එම රටවල දුර බැහැර ගම්මානවලට ආලෝකය දෙන ප‍්‍රජා ව්‍යාපෘතියක් අරඹා තිබේ. ජපානය ද එයට හවුල් වී ඇත. එය වෙනත් අමතර කතාවකි. ලෝකය ලස්සන තැනක් කරන්නට කැපවන පිරිස් අලුත් අදහස් ඇතිව කැපවෙති. බලය තමන් අත පමණක් තිබිය යුතු යැයි කල්පනා කරන්නේ නැත. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු ඒකාධිකාරයක් විය යුතු යැයි සලකන්නේ ද නැත.  පොදු ජනතාව අතට බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය හිමිවීම අලුත් යුගයක් බව මෙම නවීන මතධාරීහු විශ්වාස කරති. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා ස්වාධීනව සැපයීමට හැකි මාර්ගයක් වශයෙන් විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරකි. විදුලිය බලය ගැන පවතින රාමුගත අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලුත් සංකල්ප බිහි වී තිබේ. ඉන්දියාව ක‍්‍රියා කරන අන්දම හිතන්නට හොඳ පසුබිමක් බව දැක්විය යුතුය.

 උපුටා ගැනීම ? මිලින්ද විග්‍රහය දේශය පුවත්පත
Posted On Saturday, 31 October 2020 05:46 Written by

කොළඹින් පිටවීමට විශාල පිරිසක් උත්සාහ කිරීමත් සමග කොට්ටාව අධිවේගී ප්‍රවේශය අසල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත යාමට අවසර නොමැති නිසා රථ වාහන හරවා යැවීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

Posted On Thursday, 29 October 2020 11:10

ඔබ COVID-19 ආසාදිතයෙක්දැයි හඳුනා ගැනීම සඳහා ඔබේ නාසය ඔබට ම හෝඩුවාවක් ලබා දෙන බව සින්සිනාටි විශ්ව විද්‍යාලයේ කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥයෙක් පවසනවා.

සින්සිනාටි යනු එක්සත් රාජධානියේ ඔහියෝ වල පිහිටි ඉතා ම පැරණි විශ්ව විද්‍යාලයක්.

ගඳ සුවඳ දැනීම නැතිවීම COVID-19 ආසාදනයේ ප්‍රධාන දර්ශකයක් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

COVID-19 හි භෞතවේදය තීරණය කිරීමේදී නාස් කුහරයේ ඇති වැදගත්කම වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් හඳුනාගෙන ඇති බව නාසයේ සහ කෝඨරකවල (Sinus) රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සින්සිනාටි වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය අහමඩ් සේදගාට් පැහැදිලි කරනවා.

COVID-19 සාමාන්‍යයෙන්, නාසය අවහිරවීම හෝ සොටු නිෂ්පාදනය වැනි රෝග ලක්ෂණ (මේවා සාමාන්‍යයෙන් වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවලදී ඇති වන රෝග ලක්ෂණයන්ය.) සමග සම්බන්ධ නොවන බව ඔහු පවසනවා. COVID-19 වෙනත් සාමාන්‍ය සෘතුමය අසාත්මිකතාවන්ගෙන් (Seasonal Allergies) වෙන්කර හඳුනා ගැනීමට තරමක් පහසු වන්නේ ද මේ වෙනස නිසයි.

COVID-19 වෛරසය නාසයේ රෝග ලක්ෂණ වල තරමක් අද්විතීය සංයෝජනයක් සමඟ සම්බන්ධ වන බව ඔහු පවසනවා. කෙනෙකුගේ නාස් කුහරයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ම ගඳ සුවඳ දැනීම නැතිවීම, ‘ඇනොස්මියා’ (Anosmia) ලෙස හැඳින් වෙනවා. එය සිංහලෙන් හඳුන්වන්නේ “අවඝ්‍රාණය” ලෙසයි. මෙසේ හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය COVID-19 රෝගයේ හොඳ අනාවැකියක් වන අතර එය “අනුමාන COVID-19 තත්ත්වයක්” ලෙස සලකා වහාම එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට ලක්වීමට පෙළඹ විය යුතු බවත් ඔහු පවසනවා.

COVID-19 වෛරසය ආසාදනය වන බොහෝ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වී දින දෙකේ සිට 14 දක්වා කාලයක දී උණ, කැස්ස සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පළ කරනවා. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ නිරන්තර පීඩනයක් හෝ පපුවේ වේදනාවක් හෝ ව්‍යාකූලත්වයක් හෝ නැගිට ගැනීමට නොහැකියාවක් හෝ ඇත්නම් නම් වෛද්‍ය ආධාර අවශ්‍ය වෙනවා.එහෙත් බොහෝ දෙනෙකුට එවැනි ආධාර නොමැතිව සුවය ලැබෙනවා.

COVID-19 වෛරසය නිපදවීම නාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය එම රෝගීයා තවමත් රෝග ලක්ෂණ පළ නොකරන හෝ ඉතා මෘදු රෝග ලක්ෂණ පමණක් පළ කරන රෝගයේ මුල් අවධියේදී සිදු වන බවයි ඔහු පවසන්නේ. එවැනි පුද්ගලයින් කිවිසුම් මගින් ඉතා කුඩා බිඳිති ලෙස හෝ නාසය අල්ලා වෙනත් පෘෂ්ඨ ස්පර්ශ කිරීම මගින් හෝ මෙම වෛරසය ව්‍යාප්ත කරනවා.

නාසයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය “COVID-19 හි අතීශය නිශ්චිත දර්ශකයක්” බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම සොයා ගැනීම කරන්නේ වර්තමාන කොරෝනා වෛරසයට සාපේක්ෂව මිනිසාට පීඩා කරන වෙනත් කෝඨරක(Sinus) හා නාසයේ ආබාධ පිළිබඳව කර ඇති අධ්‍යයන 19 ක් විශ්ලේෂණය කිරීමෙන්. පැරිස් වෛද්‍යවරුන් වන ඩොමිනික් සැල්මොන් සහ ඇලයින් කෝරේ (Dominique Salmon and Alain Corré) විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයක් ගැන ද ඔහු ලිපියක සඳහන් කරනවා. එයින් පෙන්නුම් කරන්නේ නාසයේ වෙනත් බාධාවකින් තොරව ඇති වූ ඇනොස්මියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 55 දෙනෙකුගෙන් 94% ක්ම PCR මගින් COVID-19 සඳහා ධනාත්මක වී ඇති බවයි.

පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වූ ඕනෑම වේලාවක ගඳ සුවඳ දැනීම නැතිවීම සිදුවිය හැකි නමුත් මෙය ආරම්භක රෝග ලක්ෂණයක් ලෙස ඇති වූ විට එය විශේෂයෙන් උපදේශාත්මක බව ඔහු පවසනවා.

කෙනෙකුගේ ගඳ සුවඳ හදිසියේ නැතිවීම තමාට COVID-19 ඇතැයි සිතීමට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ නැති බව ඔහු පවසනවා. මෙවැනි පුද්ගලයින් සුපුරුදු පරිදි තම ව්‍යාපාර සහ රාජකාරි කටයුතු කරගෙන යන අතර එමගින් ඔවුන් මෙ⁣ම රෝගයේ වාහකයින් ලෙස ද ක්‍රියා කරනවා.

නාස් කුහරය යනු COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සිරුරට ඇතුල් වන හා ආසාදනයට ලක් වන ස්ථානය විය හැකි බවයි පවසන්නේ.

– වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු

Posted On Thursday, 29 October 2020 07:57 Written by

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.

ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.

Posted On Thursday, 29 October 2020 07:23