Monday, 29 April 2024


Covid 19 උවදුරත් සමඟම ලෝකයේම පාහේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රම ව⁣ලට යොමු වෙලා තිබෙනවා..
මම දැක්කා ගොඩක් අය එලවලු පලතුරු කල් තබා ගැනිමට ෆ්‍රීසර් එක යොදා ගෙන තිබෙන අයුරු.නිවසේදී වුවද යොදා ඇත්තට ඒ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක්..?
ගොඩක් අය freezer එක යොදා ගනු ලබන්නේ මස් මාළු අයිස්ක්‍රීම් වර්ග කල් තබා ගැනීමට..නමුත් එලවලු පලතුරු කල් තබා ගැනිමට වුවද යොදා ගනු ලබනවා..මෙම ක්‍රමය ඇත්තටම ජීවානුහරණය කරමින් ආහාර කල්තබා ගන්නා ක්‍රමයක් නොවෙයි. මෙහිදී ඉතාමත් අඩු උෂ්ණත්වයක් ලබා දී ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රීයාකාරීත්වය අඩු කරමින් එලවලු පලතුරු වල තත්ත්වය එලෙසින් ම පවත්වා ගන්නවා.ඒ වගෙම මේ frozen vegetables වල තත්ත්වය රදා පවතින්නේ අපි freezing කරන්න යොදා ගන්නා එලවලු පලතුරු වල ගුණාත්මකභාවය අනුවයි.ඒ කියන්නේ freezing කිරීම සදහා නැවුම් බවෙන් යුතු එලවලු පලතුරු යොදා ගත යුතුයි .ඒ වගේම මෙය එලවලු පලතුරු වල තත්ත්වය වැඩි කිරීම සදහා යොදා ගැනිමට හැකියාවක් නෑ..දැන් අපි බලමු freezing කරන නිවැරැදි පියවර මොනාද කියලා..?

1. සුදුසු ඇසුරුමක් ⁣තෝරා ගැනීම.

මෙහිදී එම ඇසුරුම ජල වාෂ්ප වලට පුතිරෝධී ( moiture-vapor resistance), දීර්ඝ කාලයක් භාවිතා කල හැකි ( Durable), පහසුවෙන් සීල් කරගත හැකි සහ අඩු උෂ්ණත්වයට ඔරොත්තු දෙන නොබිදෙන ඇසුරුමක් විය යුතුයි. ඒ සදහා ප්ලාස්ටික් ෆ්‍රීසර් ඇසුරුම් (plastic freezee containers), නම්‍යශීලී ෆ්‍රීසර් බෑග්( flexible freezer bag) නිවසේදී පහසුවෙන් ම යොදා ගන්න පුලුවන්.

2. Blanching කිරීම .

උණු දීයේ තබා ගැනීම ( hot water blanching ) මගින් හෝ ස්ටීම් කිරිම (steam blanching) මගින් එලවලු පලතුරු freezing කිරීම සදහා සකස් කර ගැනිම. Hot water blanching වලදී එලවලු පලතුරු සාමාන්‍ය උෂ්ණත්වයේ ඇති ජලයෙන් හොදින් සෝදාගත යුතුයි.ඉන්පසු 90-100 C උෂ්ණත්වයේ මිනිත්තු 3- 4 ක් පමණ ගිය පසු ඉක්මනින් ඉවතට ගත යුතුයි.මෙසේ කිරීමට හේතුව ප්‍රධාන වශයෙන් එලවලු පලතුරු වල තිබෙන එන්සයිම අක්‍රීය කිරීමටත් මතුපිට ඇති ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමටත්ය. මෙසේ blanching කිරීමට එලවලු පලතුරු තෝරා ගැනිමේදී නැවුම් බවෙන් යුක්ත විය යුතු අතර එය frozen vegetables වල තත්ත්වයට බලපානු ලබනවා.. ⁣ප්‍රධාන වශයෙන් blanching කිරිමෙදී කාලය පිලිබදව වඩාත් සැලකිලිමත් විය යුතුයි. එලවලු වර්ගය සහ කැබලිවල ප්‍රමාණය අනූව blanching කිරීමේ කාලය වෙනස් වෙනවා. වැඩි කාලයක් උණු ජලයේ තැබීම මගින් වර්ණය අඩු වීම, තාප සංවේදී විටමින් විනාශ වී යාමටත්‍ හැකියාව තිබෙනවා.

3. අයිස් සහිත සීතල ජලයේ දැමීම.

උණු ජලයෙන් ඉවතට ගත් එලවලු පලතුරු ඉතා ඉක්මනින් අයිස් සහිත සීතල ජල භාජනයක මිනිත්තු කිහිපයක් ගිල්වා හොදින් නිවෙන්නට හැරිය යුතුය. මෙයට හේතුව එලවලු තැම්බීම වැලැක්වීමය. ඉන්පසු හොදින් ජලය බේරා හැර අසුරන⁣යේ අසුරන්න. Flexible freezing bags වල අගල් 2 - 3 ක් ඉඩ
ඉතුරු විමට හරින්න. ⁣

https://sannasa.org/7c8fcf82-ab37-4460-9587-e7d0cacf3bc6">

4. Freezer තුල ගබඩා කිරීම .

හොදින් ඇසුරුම් කල පසු ඇසුරුම් කල දිනය සටහන් කර 0 F ( -18 C ) හෝ අඩු උෂ්ණත්වයේ තබන්න. මෙලෙස එලවලු පලතුරු වර්ග රාශියක් මාස 4 - 6 ත් අතර කාලයක් කල් තබාගත හැක. ඒ වගේම frozen කල එලවලු අපිට freezee එකෙන් ගත් විගසින් (without thawing) පිසිමට ගන්න පුළුවන්.

සප්නිකා වීරසිංහ
ආහාර නිෂ්පාදන හා තාක්ෂණ කලමණාකරණය
වයඹ විශ්වවිද්‍යාලය.

Posted On Monday, 02 November 2020 11:26

 

සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබේ. හීල්බත් පිළිබදව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද “හීල් බත් කියන්නේ මොනවද?” කියා ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අසන්නට පාසල් දරුවන්ට සිද්ධ වී ඇත්තේ එබැවිනි. කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද හීල්බත් කියන්නේ කුමක්‌දැයි දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත.

හීල්බත් කියන්නේ කුමක්‌ද?. හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි?. ආදී ප්‍රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා බැවින් එම අපැහැදිලිතාවය මගහැරවීම සදහාත් හීල් බත් පිළිබදව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම සදහාත් අපි ඒ ගැන සාකච්ඡා කරමු.

හීල් බත් යනු පෙර දින රෑට උයාගන්නා බතේ ඉතිරිවන කොටසයි. එනම් හීල් බත් ආහාරයට ගැනීම යනු උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගැනීමයි. මෙය බොහෝ දෙනා දියබත් සමග පටලවා ගනී.
දියබත් යනු රෑට ඉතුරුවන බත් දංකුඩයට නැත්නම් බත් ටිකකට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතුඑනු දෙහි ඇඹුල් ආදිය දමා පානයක්‌ වශයෙන් උදේට ආහාරයට ගැනීමට සකසා ගන්නා බතයි. දියබත් සාදාගන්නේ හීල් වූ බත් දංකුඩයෙන් බව සත්‍ය නමුත් හීල්බත් යනු දියබත් නොවන බව දැන් ඔබට වැටහිය යුතුය. දිය බත් යනු හීල් බත් දංකුඩය ආහාරයට ගන්නා එක්‌ ආකාරයකි. නමුත් හීල් බත් යනු දංකුඩය පමණක්‌ නොවේ. කොහොම වෙතත් මේ දෙකෙහිම හොදම ගුණයක් තියෙනවා.

හීල් බතෙහි ගුණ පෝෂණ විද්‍යාත්මක පමණක්‌ නොව ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදී පුඑල් පරාසයක විහිදී පවතියි. හීල් බත් උණු බත්වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්‍රශ්නය එවැනි පුඑල් පරාසයක සිට සළකා බැලීමේදී අපට පහත සදහන් දස වැදෑරුම් ගුණයන් හීල් බතෙහි ඇති බව තහවුරු කර ගත හැකිය.

හීල් බත්වල බී කාණ්‌ඩයේ විටමින් ප්‍රමාණය සහ සී විටමින් ප්‍රමාණය වැඩිය

වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්‌ට්‌ ඇතුඑ හිතකර ක්‌ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්‌ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක්‌ සිදු වේ. අප බත් පීළුනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය උවමනාවටත් වඩා සිදු වී කල් ඉකුත් වූ විටයි. පැසීමේ ක්‍රියාවලියේ හිතකර තත්ත්වයේදී ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා බී විටමින් කාණ්‌ඩයේ විටමින්වල සහ සී විටමින්වල සාන්ද්‍රණය ඉහළ යයි. එනම් හීල් බත් යනු විටමින් වලින් ස්‌වභාවිකව බලකරණයට ලක්‌ වූ ආහාරයක්‌ වේ.

විශේෂයෙන්ම විටමින් බී 12 ශරීරයට ලැබෙන්නේ ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසාය. මස්‌ ආදී සත්ත්ව ආහාර තුලට බී 12 විටමිනය ලැබී ඇත්තේද එම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හරහාය. එහෙත් විටමින් බී 12 ශරීරයට ලබා ගත හැකි එකම මාර්ගය ලෙස ප්‍රචලිත වී ඇත්තේ මස්‌ ඇතුඑ සත්ත්ව ආහාර ගැනීමය. ජනප්‍රිය මතය එසේ වුවත් සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට එකතු කර ගත හැකිය.

හීල් බත් උණු බත් වලටත් වඩා පහසුවෙන් දිරවයි

බත් තිරිගු ආදී අනෙකුත් ධාන්‍ය වලට සාපේක්‌ෂව ඉතා හො`දින් ජීරණය වේ. හීල් බත් වල සිදු වන ඉහත කී පැසීමේ ක්‍රියාවලිය නිසා බත්වල ජීරණ හැකියාව තවදුරටත් දියුණු වේ. විශේෂයෙන් ප්‍රොටීන් වල ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවේ.

හීල් බත් ජෛවී ආහාරයකි

ජෛවී ආහාර ආහාරයට ගන්නා සතුන් ආහාර පිස ආහාරයට ගන්නා මිනිසා සහ මිනිසා විසින් ඇති කරන සතුන්ට වඩා බොහෝ නිරෝගීය. විශේෂයෙන්ම එවැනි සතුන්ට විටමින් ඌනතා සහ දියවැඩියාව, ධමනි තුළ කොලෙස්‌ටරෝල් බැදීම, පිළිකා ආදී නිදන්ගත රෝග ඇත්තේම නැති තරම්ය.
එයට හේතු වන්නේ ආහාර පිසීමේදී පිළියෙළ කිරීමේදී සහ අධික ලෙස ශුද්ධ කිරීමේදී ශරීර සෞඛ්‍යයට හිතකර තාපයට සහ අනෙකුත් භෞතික සහ රසායනික සාධකවලට සංවේදී විටමින් වර්ග, එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග විනාශ වී යාමය. පලතුරු සහ අමුවෙන් ආහාරයට ගත හැකි පලාවර්ග ඇතුඑ එළවඑ අද අතිශයින්ම සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක ආහාර ලෙස සළකන්නේ ඒවා ජෛවී ලෙස ආහාරයට ගත හැකි බැවිනි. එවිට ඒවායේ ඇති හිතකර සංඝටක කිසිවක්‌ විනාශ නොවී ශරීරයට ලැබේ.
බත් පිසගන්නා ආහාරයක්‌ බැවින් උණු බත් ජෛවීය ආහාරයක්‌ වන්නේ නැත. එහෙත් හීල් බත් අප පෙරදී පෙන්වා දුන් ආකාරයට ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා ජෛවී ආහාරයක්‌ බවට පත් වෙයි. එනම් හීල් බත් ජෛවී ආහාර වල ලක්‌ෂණ සහිත සෞඛ්‍යයට බෙහෙවින්ම හිතකර ආහාරයකි.

හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවේ

හීල් බත් ආහාරයට ගැනීමේදී කිසිම මුදලක්‌ වැය වන්නේ නැත. එබැවින් අප වැනි ආදායම් තත්ත්වය සීමාසහිත රටක ජනතාවට සුදුසුම ආහාරයක්‌ වේ. රාත්‍රී ආහාරයෙන් පසු සෑම ගෙදරකම පාහේ බත් සැළකිය යුතු ප්‍රමාණයක්‌ ඉතුරු වේ. බොහෝ දෙනා කරන්නේ මේ බත් ටික හිත් පිත් නොමැතිව වීසී කර දැමීමය. ආහාර ගන්නට සල්ලි නෑ යෑයි නිතර මැසිවිලි නගන අයගේ කුණු ගොඩවල් පරීක්‌ෂා කළ විට ඒවායේ වැඩිපුරම දැක ගත හැක්‌කේ ආහාරයට නොගෙන ඉවත දමන බත්ය.

විශාල පවුලකට පමණක්‌ උදේට හීල් බත් කෑම සඳහා වැඩිපුර සහල් ටිකක්‌ රාත්‍රියට ලිප තබන්නට සිදු වෙයි. නමුත් එයට පාන් වැනි ආහාරවලට මෙන් මහා මුදලක්‌ වැය වන්නේ නැත. ව්‍යාංජනද බොහෝ විට රාත්‍රියට ඉතුරු වන බැවින් ඒවා සමග හීල් බත් කන්නට හැකිය. හීල් බත් කන්නට අමතරව දෙයක්‌ අවශ්‍ය වූවොත් ඒ පොල් සම්බෝලයක්‌ වැනි පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි.

හීල් බත් ඉන්ධන අර්බුදයට හොදම විසදුමකි

හීල් බත් කන විට එක වේලකට වැය වන ඉන්ධන ප්‍රමාණයෙන් දෙවේලකටම උයා ගැනීම සිදුවේ. ඉන්ධන ලෙස දර භාවිතා කළත් ගෑස්‌ භාවිතා කළත් විදුලිය භාවිතා කළත් එයින් විශාල ඉන්ධන ඉතිරියක්‌ සිදුවේ.

හීල් බත් අර පිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයකි

හීල් බත් කෑමේදී බත් ඇටයක්‌ හෝ අහක දමන්නට සිදු වන්නේ නැත. බත් අහක දැමීම කොතරම් පාපකර්මයක්‌ දැයි අපේ අම්මලා ආච්චිලා අපට කියා දී ඇත. බත් අහක දැමීමේ පාපයේ බරපතල කම උගන්වන අම්මා මා කුඩා කලදී කියාදුන් කථාන්දරයක්‌ මෙහිදී මට සිහි වෙයි.

එක්‌තරා ගොවි මහතෙකුගේ බිරියක්‌ ඉතාම අරපිරිමැස්‌මෙන් කටයුතු කරන්නීය. ඇය බත් ඇටයක්‌ වත් අහක දමන්නේ නැත. එහෙත් දිනක්‌ ඇය බත් උයද්දී බත් හැලිය පෙන දමමින් උතුරන විට එක්‌ බත් ඇටයක්‌ ලිප් ගල මතට වීසි වී ඇත. එය දුටු ඇය ඉරටුවක්‌ රැගෙන එම බත් ඇටයද ආපසු බත් හැලියට අරගෙන දමන්නට උත්සාහ කළේය. නමුත් ඇයට ආපසු ගත හැකි වූයේ බත් ඇටයෙන් භාගයක්‌ පමණි. අනෙක්‌ බත් ඇට භාගය ලිපට වැටී පිලිස්‌සී ගියේය. මේ පිළිබදව දුකෙන් පසුවූ එම ගෙවිලිය රෝගාතුරව මිය ගියාය.

එසේ මියගොස්‌ බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට එළදෙනක්‌ වී ගොවි මහතාගේ හරක්‌ පට්‌ටියේම උපන්නාය. ඒ අතර ගොවි මහතා වෙනත් විවාහයක්‌ කර ගත්තේය. අලුත ගෙනා බිරිද කිසිම අර පිරිමැස්‌මක්‌ නැතිව බත් හැලි පිටින් අහක වීසි කරන්නට වූවාය.

කාලයාගේ ඇවෑමෙන් එළදෙනද මිය ගිය අතර ගොවි මහතා එළදෙනගේ අං තට්‌ටුව සහිත හිස්‌ කබල බුලත් කොටුවේ කණුවක ගසා තැබුවේය. ගොවි මහතාගේ දෙවන බිරිය බත් අහක දමන ආකාරය බුලත් කොටුවේ සිට දුටු මියගිය එළදෙනගේ හිස්‌ කබලට පවා සිනා පහළ වූයේ “මා බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට මේ සා සාපයකට ගොදුරු වූවා නම් මේ තරම් බත් අහක දමන මේ ගැහැණියට යන්නට අපායක්‌වත් තියෙනවාද?” කියා සිතීමෙනි.

අපට මෙම කථාව මෙහිදී කියන්නට සිදු වූයේ අද බොහෝ ගෘහණියන් බත් වීසි කිරීම කොතරම් අපරාධයක්‌ දැයි නොසිතා බත් විසි කිරීමේ මහා අපරාධය කරන නිසාය. හීල් බත් කෑමෙන් එම අපරාධය සහමුලින්ම වළකා ගත හැකිය. එය අරපිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයක්‌ වේ.

හීල් බත් බෙහෙවින්ම පරිසර හිතකාමී ආහාරයකි

හීල් බත් කෑමේදී විශාල වශයෙන් ගෘහස්‌ථ ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව ඉහතින් විස්‌තර කරන ලදී. ඉන්ධන දහනයේදී සිදුවන පරිසර දූෂණයද එමගින් අඩු වේ. එසේම දර සහ අනෙකුත් ඉන්ධන වැඩිපුර භාවිතා කරන විට ගස්‌ වැල් ඇතුඑ ස්‌වභාවික පරිසරය විනාශ වේ. ඒ අනුව ඉන්ධන භාවිතය පරිසරයට ඔරොත්තු දෙන මට්‌ටමින් තබා ගැනීමට හීල් බත් කෑම බෙහෙවින්ම උපකාරී වෙයි.

හීල් බත් උදෑසන ගෙදර යුද්ධයට හොදම විසදුමකි

බොහෝ නිවෙස්‌වල උදෑසනට අවදි වූ විට ඇත්තේ එකම යුද්ධයකි. ඒ දරුවන් පාසල් යෑවීමට කලින් කෑම දීම සදහා උයා පිහා ගැනීමටය. දෙමව්පිය වැඩිහිටියන් වැඩට යන්නේ නම් යුද්ධය දෙගුණ තෙගුණ වේ. උදේ නිවසෙන් පිටත්වෙන්නට කලින් උදෑසන උයන ආහාරය කා පිටත්වීම සදහා උදේට උයන්නට පැය එකහමාරක්‌ දෙකක්‌ කළින් අවදි වන්නට සිදු වෙයි. එසේ කළ නොහැකි බොහෝ දෙනා ක්‌ෂණික, කෘත්‍රීම කෑම මුදලාලිලාගේ දංගෙඩියට අසු වී ඇත. එහෙත් උදෑසන ගෙදර යුද්ධය අවම කර ගැනීමටත් ක්‌ෂණික කෑම මුදලාලිලාගෙන් බේරෙන්නටත් ඇති හොදම විසදුම උදේ ආහාරය ලෙස හීල් බත් කෑමයි.

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින්ම දායක වේ. එයට හේතු රාශියක්‌ම පවතියි. හීල්බත් වල බී විටමින් ප්‍රමාණය වැඩි නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වේ. ඒ තුළින් හො`ද ක්‍රියාශීලී මනසක්‌ද ඇති වේ. හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවන නිසා ආහාරවලට යන වියදම බොහෝ දුරට අඩු කර ගත හැකිය.

හීල් බත් දීර්ඝායු ලබාදීමට හේතු වේ

ඉහත විස්‌තර කරන ලද කරුණුවලින් ඔබට පෙනී යන්නේ හීල් බත් වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉහළ බවය. එනම් ඒ තුළින් ලෙඩ රෝග ඇති වීමේ අවදානම අඩු වී කායික සෞඛ්‍යය ප්‍රවර්ධනය වීම සිදුවේ. එසේම හීල් බත් ඉහතින් විස්‌තර කළ ආකාරයට මානසික සහ අධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටද ඉවහල් වේ. එසේ කායික මානසික අධ්‍යාත්මික සෞඛ්‍යය හීල් බත් කෑම තුළින් දියුණු වන විට දීර්ඝායු ලැබීම නියත ලෙසම සිදු වේ.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි.| Lanka Lead News වෙත එක් කළ ලිපියක් ඇසුරෙනි 

Posted On Monday, 02 November 2020 03:51 Written by
කොවිඩ් -19 පරීක්ශණ වැඩිවීම මධ්‍යයේ ප්‍රධාන පීසීආර් යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් ශ්‍රී ලංකාව දුෂ්කර කාලයකට මුහුණ දී සිටී
මුල්ලෙරියාව  මූලික රෝහලේ ඇති වූ බිඳවැටීම හේතුවෙන් බ්‍රහස්පතින්දා වන විට PCR පරීක්ෂණ 20,000 ක් පසුබෑමට ලක් වූ අතර පරීක්ෂණ ප්‍රතිල නිකුත් කිරීමදින පහක් පමණ ප්‍රමාද වී ඇති බව හින්දුස්තාන් ටම්ස් පුවත්පත මීට සුලු මොහොතකට පෙර වාර්තාකර ඇත.

https://www.google.com/amp/s/m.hindustantimes.com/world-news/sri-lanka-faces-tough-time-due-to-breakdown-of-key-pcr-machine-amid-surge-in-covid-19-cases/story-LUcsN9l7X7on7iUASEuT8H_amp.html
Posted On Sunday, 01 November 2020 14:35


------------------------------------------
ඒ 1916 අවුරුද්දේ ගිම්හාන කාලයයි. ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ කින්ග්ස්පෝට් නම් කුඩා නගරයට එය සුවිශේෂී ගිම්හාන කාලයක් විය. ඒ Sparks World Famous Shows නම් වූ සර්කස් කණ්ඩායම ඒ නගරයට පැමිණ උන් නිසාය.
Sparks World Famous Shows එකල ඇමරිකාවේ ප්‍රසිද්ධියක් ඉසිලූ ජංගම සර්කස් කණ්ඩායමකි. විසල් ලොරි රථ පහලොවකින් තැනින් තැනට සංචාරය කෙරුණු මේ සර්කස් කණ්ඩායමේ, විකටයින්, කරණම් ශිල්පීන් මෙන්ම විවිධ සතුන්ද සිටියහ. මේ සියලු සර්කස් ශිල්පීන් අතරින් ප්‍රෙක්ෂකයින්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් තරුව වූයේ “බිග් මේරි” නම් වූ දැවැන්ත සර්කස් ඇතින්නයි. ජම්බෝ නම් වූ ප්‍රසිද්ධ අලියාටත් වඩා මේරි උසින් අගල් තුනක් වැඩි බව, සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ චාර්ලි ස්පාර්ක්ස් නිතරම කීවේය. ඔහුට අනුව නම් මේරි “ඒ වන විට මිහිමත සිටින විශාලතම සත්වයාය.”
ඉතින් 1916 ගිම්හාන කාලයේදී, මේ සර්කස් කණ්ඩායම කින්ග්ස්පෝට් නගරයට එන විට, මේ දැවැන්ත සත්වයාව නරඹන්නට පාර දෙපස සෙනග එක්රැස් වී සිටියහ.
මේරි බෙහෙවින් කීකරු, හීලෑ ඇතින්නියක වූවාය. සන්සුන්ව පාරේ යමින් උන් මේරිගේ අවධානය එක්වරම වෙනතකට ඇදිණ. ඒ පාර අයිනේ වැටී තිබුණු කොමඩු පොත්තක් දෙසටය. යමින් උන් ගමන නැවැත්වූ මේරි, ඒ මිහිරි රසැති පළතුර අහුලා ගන්නට පාරෙන් ඉවතට හැරුණාය.
ඇගේ පිට මත උන් ඇත් ගොව්වාට ඇයව නැවතත් පාරට හරවා ගන්නට උවමනා විය.
මේරි ඉතා කීකරු ඇතින්නක් වුවද, එදා ඇගේ පිටමත උන් ඇත් ගොව්වා, ඇයට හුරු පුරුදු කෙනෙකු නොවීය. රෙඩ් ඒල්ඩ්රිජ් නම් වූ ඔහු අලි ඇතුන් මෙහෙයවීම ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. වෙනකක් තබා, හෝටල් සේවකයෙකු ලෙස රැකියාව කරමින් උන් ඔහු, ඇත්ගොව්වෙකු ලෙස රැකියාව පටන් ගත්තේද මේ කියන දවසට දින දෙකකට පෙරය.
පාරෙන් ඉවතට ඇදෙන ඇතින්නව, යළිත් පාරට හරවා ගන්නට කුමක් කළ යුතුදැයි සිතාගන්නට නොහැකි වූ මේ ඇත් ගොව්වා කලේ ඔහු අත තිබුණු තියුණු හෙණ්ඩුවෙන් ඇතින්නගේ කන පිටුපසට ඇනීමය.
ඕනෑවටත් වඩා වැරෙන් වැදුණු හෙණ්ඩුවේ පහරින් මේරිට දැඩි වේදනාවක් දැනිණ. ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. වේදනාවෙන් මුසපත් වුණු මේරි අතින් ඊලගට සිදුවූයේ ඇගේම දෛවය කණපිට හරවන අවාසනාවන්ත ක්‍රියාවකි.
මේරි තම හොඩවැල පිට දෙසට දිගු කර, පිටේ උන් ඇත්ගොව්වාව හොඩින් අල්ලා ගත්තාය. ඉන්පසු ඔහුව වැරෙන් පොළවේ ගැසුවාය. භීතියෙන් ත්‍රස්ත වූ මිනිසුන් දහස් ගණනකගේ නෙත් ඉදිරිපිටදීම, බිම වැටී උන් ඇත් ගොව්වාගේ හිස්කබල පයින් පාගා චප්ප කළාය.
ඇත්ගොව්වා එතැනම මිය ගියේය.
එහෙත් කතාව එතැනින් නිම වූයේ නැත.
ඒ බිහිසුණු සිදුවීම ඇසින් දුටු මිනිසුන් සිය දහස් ගණනක් උන්හ. ඒ සියල්ලන්ම එක හඩින් ඉල්ලුවේ එකම දෙයකි.
“ඌව මරලා දාන්න.! ඌව මරලා දාන්න.!”
එතැන උන් මිනිසෙකු මේ ඇතින්නට කිහිප විටක්ම වෙඩි තැබුවේය. එහෙත් වෙඩි උණ්ඩයට ඇගේ සම පසාරු කරගෙන යන්නට පුළුවන් වූයේ නැත.
හෙණ්ඩුවෙන් ඇනීමෙන් ලද වේදනාව කෙමෙන් මැකී යත්ම මේරිද ක්‍රම ක්‍රමයෙන් සන්සුන් වූවාය. එයින් පසුව මේරිගෙන් කිසිම කෙනෙකුට හිංසාවක් සිදුවූයේත් නැත. එහෙත් මේරිට සමාව දෙන්නට නගරවැසියෝ කැමති නොවූහ. ඔවුන් දිගින් දිගටම බලධාරීන්ට බල කරමින් කියා සිටියේ මේරිව මරා දැමිය යුතු බවය.
පළපුරුද්දක් නැති ඇත් ගොව්වෙකු සේවයේ යෙදවීම හේතුවෙන් සර්කස් කණ්ඩායමේ හිමිකරුටත් චෝදනා එල්ල විය.
කෙසේ වුවත් සර්කස් කණ්ඩායමේ පාලකයින් හා පුහුණු කරුවන් මේරිට ඒ හැටි කරුණාවන්ත වූ හාම්පුතුන් නොවූහ. වරින් වර නපුරු හිංසාවන්ට මුහුණ දෙන්නටත්, හීලෑ සත්වයෙකුට ලැබිය යුතු සැප පහසුකම් නැති කටුක ජීවිතයක් දරා ගන්නටත් මේරිට සිදුවී තිබිණ. එකල සර්කස් කණ්ඩායමක සතුන්ට සැලකුවේත්, වහල්කමටම උපන් සතුන්ට මෙන් පහත් අන්දමිනි.
මේ කාරණාවන් සාධාරණ ඇසකින් දකින්නට තරම් හැකියාවක් කින්ග්ස්පෝර්ට් නගරයේ වැසියන්ට තිබුණේ නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මේරිගේ වරදට මරණ දඩුවම ලබා දෙන්නැයි කියාය. සර්කස් සන්දර්ශනය පවත්වනවා වෙනුවට, නඩු විභාගයකින් තොරවම මේරිව ප්‍රසිද්ධියේ එල්ලා මරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
කෙමෙන් වැඩෙන මහජන විරෝධය හේතුවෙන් චාර්ලි ස්පාර්ක්ස් ගේ සර්කස් ව්‍යාපාරය නැත්තට නැති වෙන තැනට වැඩ සැලසී තිබිණ. ඒ නිසාම ඔහු මේරිව නගරයේ බලධාරීන්ට බාර දුන්නේය. අන්තිමේදී නගර වැසියන්ගේ ඉල්ලීමට එකග වන්නට නගරයේ පාලකයින්ට සිදු විය. මේරිව එල්ලා මරන්නට තීන්දු කෙරිණ.
බිග් මේරි නමින් ප්‍රසිද්ධව උන් මේ ආසියානු ඇතින්න ඒ වන විට මිනිසුන් විසින් හදුන්වනු ලැබුුවේ “මිනීමරු මේරි” යන නමිනි. ඉතින් “මිනීමරු මේරි”ව ටෙනෙසි ප්‍රාන්තයේම එර්වින් නම් නගරයේ දුම්රිය අංගනයක් වෙත ප්‍රවාහනය කරන ලදී.
ඇයව එල්ලා මරන අන්දම සියැසින් දැක ගන්නට පිරිමින් ගැහැණුන් මෙන්ම කුඩා ළමුන්ද දස දහස් ගණනක් ඒ දුම්රිය අංගනය වටා රැස්ව උන්හ. සැබවින්ම, ඒ එල්ලා මැරීමද “ප්‍රසිද්ධියේ කෙරෙන ඝාතනයක්” යැයි කිවහොත් වැරදි නැත.
ටොන් පහක් බරැති මේ දැවැන්ත සත්වයාව එල්ලා මැරීම පහසු කාර්යයක් නොවීය.
එහෙත් නගර වැසියෝ තමන්ගේ “ප්‍රශ්නයට” විසදුමක් සොයා ගත්හ. ටොන් සියයේ දුම්රිිය මැදිරි ඔසවන දොඹකරයකට යෝධ දම්වැලක් අමුුණා සදා ගත් තාවකාලික තොණ්ඩුවකින් මේරිව එල්ලා මරන්නට සූදානම් කෙරිණ.
අකාලයේ වැහි වැටුණු, අන්ධකාර දිනයක් වුණු එදා, 1916 සැප්තැම්බර් 13 වැනිදා, ඒ තාවකාලික තොණ්ඩුවෙන් මේරිව එල්ලන්නට යාමේදීි සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු සිදුවීිමකි.
තමන්ගේ ගෙල වටා දම්වැල් තොණ්ඩුව පලදවද්දී මේරි බෙහෙවින් සන්සුන්ව උන්නාය. වෙනදාටත් සර්කස් සන්දර්ශනයකට පෙර දම්වැල් පැලදවීම කෙරෙන නිසා ඇය සිතන්නට ඇත්තේ අදත් ඇයට පැවරෙන්නේ එවැනි රාජකාරියකැයි කියාය. එහෙත් දැවැන්ත දොඹකරයේ බැදුණු තොණ්ඩුවෙන් තම සිිරුර කෙමෙන් ඉහළට ඇදෙන විට මේරි බියපත් වූවාය.
මරණය සිතූ තරම් පහසුවෙන් මේරි වෙත ලගා වූයේ නැත. මේරිගේ බරට ඔරොත්තු නොදුන් තොණ්ඩුව කඩා වැටිණ. මේරිගේ දැවැන්ත සිරුර බිම පතිත විය. ඇගේ කොදු ඇට පෙළ බිදී ගිියේය. මේරි වේදනාවෙන් විලාප තියන්නට වූවාය. ඇගේ විලාප හඩ ඇසුවන්ගේ හද කම්පා කරවන සුලු එකක් වීය. කොදු ඇට පෙළ බිදී ගිය මේරි, අසරණ සාවියක මෙන් බිම වැතිරීි උන්නාය. නරඹන්නෝ නිරුත්තරව බලා සිටියහ.
මේරිව එල්ලා මරන කාර්යය භාරව උන් අය දම්වැලින් ගෙතූ දැවැන්ත කඹයකිින් නැවතත් තොණ්ඩුවක් තනා ගත්හ. මෙවර නම් ඔවුන්ගේ උත්සාහය වැරදී ගියේ නැත. මිනිසුන් දහස් ගණනක් තම සර්කස් රංගනයන්ගෙන් පිනවූ මේරි, දහස් ගණනක් වූ අකාරුණික මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටදීම අවසන් හුුස්ම හෙළුවාය.
පැමිණ උන් සෙනග විසිර ගිය පසුව, මියගිය මේරිගේ සිරුර ඒ දුම්රිය අංගනයේම තැනක මිහිදන් කෙරිණ. ඒ සොහොන කොතැනදැයි ලකුණු කර නොතබන්නටත්, ඒ ගැන කතාබහ හිතා මතාම යටපත් කරන්නටත් නගරයේ බලධාරීහු කටයුුතු කළහ.
මේරිගේ මරණය සිදුවී සිය වසරක් ඉක්ම ගොස් ඇතත්, මේරි නම් වූ ඇතින්නගේ මරණය අදටත් එර්වින් නගරයට ලැජ්ජාවකි.
“මේ ඇතින්නක් එල්ලා මරා දැමූ මිනිසුන් ඉන්න නගරයදැයි” සංචාරකයින් විමසන විට නගරවැසියන් පත් වෙන්නේ මහත් අපහසුතාවයකටය.
මේ වරද නිවැරදි කරන්නටදෝ වර්තමානයේ මේ නගරවැසියෝ වාර්ෂිිකව සල්පිලක් පවත්වමින් “ෆයිබර්ග්ලාස්” වලින් තැනූු ඇත් රු විකුණති. ඒ ඇත් රූ විකුණා ලැබෙන මුදල ටෙනෙසි හි හෝහෙන්වෝල්ඩ් අලි අනාථාගාරයට පරිත්‍යාග කරති.
එහෙත් ඔවුන් කළ අපරාධයට වන්දි ගෙවන්නට එය ප්‍රමාණවත් වේදැයි දන්නේ දෙවියන්ම පමණකි.
නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ

Posted On Sunday, 01 November 2020 13:19 Written by

බස්නාහිර පලාත තුල මේ වනවිට ක්‍රියාතමක නිරොධායනය ඇදිරි නීතිය නොවැම්බර් මස 9 වෙනිදා  උදෑසන  5. දක්වා   දීර්ඝ කරන  බව යුද්ධ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා විශෙශ ප්‍රකාශයක් කරමින් කියා සිටි අතර  මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුණෑගල නගරසභා සීමාවට හා කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය ට ද මේ ආකාරයටම ඇදිරි නීතිය ක්‍රියාතමක කර තිබේ. මීට අමතරව 

අද (01) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් 15ක ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 5,738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,663 කි.

 

Posted On Sunday, 01 November 2020 11:05