Saturday, 10 December 2022

හාට් ඇටෑක් එකක් කාටවත් හංගාගෙන ඉන්න බෑ Featured

Posted On Wednesday, 01 June 2022 03:23 Written by
Rate this item
(0 votes)

 

තෙල් පෝලිම්වල සිටින ජනතාව, උද්ඝෝෂකයන් හෘදයාබාධවලට ලක්ව මිය ගිය බව පසු ගිය දිනවල අපට නිරතුරුවම අසන්න ලැබිණි. තෙල් පෝලිම්වල රැඳී සිටීම, උද්ඝෝෂණවල නිරත වීම මඟින් හෘදයාබාධ ඇතිවේද? එසේ නැත් නම් හෘදයාබාධ ඇති වීමට බලපාන හේතු කාරණා මොනවාද? හෘදයාබාධ වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරු වන බව වාර්තා වන අතර, ඒ අය අතුරින් හෘදයාබාධවලට ලක් වන පිරිස සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බවද පසුගියදා සෞඛ්‍ය අංශ වාර්තා කළේය. මේ පිළිබඳ, කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චමිලා මෙත්තානන්ද මහත්මිය සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි.

- විනාඩි පහකට අඩු පපුවේ වේදනාවක් හාට් ඇටෑක් වීමට ඇති ඉඩ අඩුයි
- ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැදිය යුතුයි
- නීරෝගි සෞඛ්‍ය රටාවකට හුරු වීම ප්‍රධානයි

පෝලිම්වල දිගින් දිගටම රැඳී සිටීමෙන් සහ එක දිගට උද්ඝෝෂණවල නිරත වී සිටි සමහර පුද්ගලයන්ට හෘදයාබාධ වැලඳුණු බව සහ ඒ හේතුවෙන් සමහරු මිය ගිය බවට මතයක් පසුගිය දිනවල අසන්න ලැබුණා. එසේ වීමට පුළුවන් ද?

හෘදයාබාධ හේතුවෙන් දවසකට ශ්‍රී ලාංකිකයන් විසි දෙනෙක් පමණ මිය යන බව වාර්තා වෙනවා. ඒත් ඒක වෙනදට ප්‍රවෘත්තියක් නොවෙයි. පෝලිම්වල හිටගෙන සිටින විට, ඔය සියයට විස්සෙන් එක්කෙනෙක් එතැන සිටින්න පුළුවන්. ඒ නිසා පෝලිම්වල හිටගෙන හිටිය නිසාම හැදුණා කියන්න අමාරුයි. හදවත් රෝගයක් තියෙන කෙනෙක් හිටගෙන සිටිද්දි ඉඳගෙන ඉන්නවාට වඩා ඇඟේ ශක්තිය වැය වෙනවා. ඒත් හෘදයාබාධය හැදුණේ ඒක නිසාමයි කියලා සියයට සියයක්ම කියන්න අමාරුයි. ඒ කෙනා ගෙදර හිටියත් මිය යන්න ඉඩ තිබුණා වෙන්න පුළුවන්.

එසේ නම් හෘදයාබාධයක් කියන්නේ මොකක් ද?

සරලව කිවුවොත් හෘදයාබාධයක් කියන්නේ හෘදයේ එක් කොටසක පේශිවලට රුධිරය ගමනාගමනය මද වීම නිසා සෛල මරණයට පත් වීමයි.

මේ සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවා ද?

හෘදයාබාධයක් ඇති වීමට බලපාන හේතු, පාලනය කරන්න පුළුවන් හේතු සහ පාලනය කළ නොහැකි හේතු වශයෙන් කොටස් දෙකක් දක්වන්න පුළුවන්. වයස එක හේතුවක්. වයසට යද්දි හෘදයාබාධ එනවා වැඩියි. ඒ වගේම පිරිමි අයට හෘදයාබාධ එන එක වැඩියි. ඒත් කාන්තාවන් සහ පිරිමින් අතර මේ වෙනස එන්නේ ආර්තවහරණය එන තුරු පමණයි. ආර්තවහරණයෙන් පස්සේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ හෘදයාබාධ අවදානම එකයි. කාන්තාවන්ගේ ඔසප් වීමත් සමඟ එන හෝමෝනවලින් හෘදයාබාධ හැදෙන එක අඩු කරනවා. ආරක්ෂාවක් සපයනවා. හැබැයි එය නතර වූවායින් පසු කාන්තා-පිරිමි වෙනසක් නැතුව හෘදයාබාධ අවදානම එක හා සමානව පවතිනවා. අනෙක් කාරණය, පවුලේ ඉතිහාසය. උදාහරණයක් වශයෙන්, පවුලේ පිරිමි කෙනකුට අවු 55ට කලින් හෝ ගැහැනු කෙනකුට අවු 65ට කලින් හෝ හෘදයාබාධයක් වැළඳී ඇත් නම්, ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න ඕනෑ. අවුරුදු අසූවට ගිහින් හෘදයාබාධයක් හැදුණු කෙනකු මේ යටතට ගැනෙන්නේ නෑ. අපට මේවා වෙනස් කරන්න බැහැ.

ඒත් වෙනස් කරන්න පුළුවන් ඒවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ; දුම් පානය, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, තරබාරුකම වැනි දේ වගේම, ආතතියත් බලපානවා. තෙල්, සීනි කන එක වැඩි වුණාම, ව්‍යායාම අඩු වුණාම තමයි මේවා එන්නේ. මේ ටික පාලනය කර ගත්තොත් හෘදයාබාධයක් එන එක සියයට අසූවක්ම පාලනය කර ගන්න පුළුවන්.

ඒත් බොහෝ අය ආහාර පාලනය කරන්නෙත්, ලෙඩ රෝග ගැන සැලකිලිමත් වෙන්නේත් වයසට ගියාම නේද?

මෙය වැරැදි අවබෝධයක්. කුඩා වයසේ සිටම රුධිර නාලවල කොලෙස්ට්‍රෝල් තැන්පත් වෙනවා. පොඩි කාලෙදි අප ඒකට කියන්නේ fatty streaks කියලා. Atheromatous plaque කියන විශාල තත්ත්වයට පත් වෙන්නේ ඉන් පසුවයි. මෙය රුධිර වාහිනියේ ලේ ගමනාගමනයට ඇති ඉඩ අඩු කරනවා. හදිසි හෘදයාබාධයකදි ඇතරෝමා එකේ මතුපිට කවරය පුපුරා පළුදු වෙනවා. ඉන් පස්සේ ඒක උඩ විශාල ලේ කැටියක් හැදෙනවා. එවිට එතැනින් ඔබ්බට රුධිර ගමනාගමනය නතර වෙනවා. මෙයින් තමයි හෘදයාබාධයක් ඇති වෙන්නේ. අප ආහාර පාලනය කළ යුත්තේ අවසාන කාලයේ ඉඳලා නොවෙයි. කුඩා කාලයේ ඉඳලාම ආහාර ගැන සැලකිලිමත් විය යුතුයි. අද ළමයින්ගේ ජීවන රටාවත් වෙනස්. ක්ෂණික කෑමට හුරු වෙලා. වැඩි කාලයක් ගත කරන්නේ පරිගණක සමඟ. ව්‍යායාම නැහැ. සමහර ළමයි ගොඩක් මහතයි. ඔවුන්ගේ තියෙන්නේ උදරය මහත් වීම. (abdominal obesity)කොලෙස්ටරෝල් නිසා රුධිර වාහිනීවල ඇතිවෙන වෙනස්කම් පටන් ගන්නේ කුඩා කාලයේ ඉඳලා. මේ නිසා කුඩා අවදියේ ඉඳලාම තමන්ගේ ජීවන රටාව, සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ.

හෘදයාබාධ අවදානමක් තියෙනවා කියලා කලින් දැන ගන්න පුළුවන් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO risk charts එකක් අපට තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත අපට හෘදයාබාධයක් එන්න කොපමණ අවදානමක් තියෙනවද කියලා ඒ මඟින් බලන්න පුළුවන්. වයස, කාන්තා, පිරිමි බව, සීනි තිබෙනවා ද? කොලෙස්ට්‍රෝල් තත්ත්වය, අධි රුධිර පීඩනය, සිගරැට් බොනවාද? වැනි කරුණු මත ඔබගේ අවදානමත් මේ මඟින් බලන්න පුළුවන්. මෙහි අවදානම සියයට විස්සට වඩා වැඩියෙන් එනවා කියන්නේ, ඊළඟ අවුරුදු දහය ඇතුළත හෘදයාබාධයක් එන්න තියෙන අවදානම ගොඩක් වැඩියි කියන එකයි. සාමාන්‍ය වෛද්‍යවරයකු හමු වීමෙන් වුණත් මේ තත්ත්වය බලා ගන්න පුළුවන්. එවැනි අවදානමක් තියනවා නම්, කලින් කියූ සාධක ටික පාලනය කිරීම කරන්න පුළුවන්. වයස, ගැහැනු-පිරිමි බව වෙනස් කරන්න බැහැ. ඒත්, සීනි, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන්. සිගරැට් බීම නවත්වන්න පුළුවන්. ඒ සඳහා ව්‍යායාම කරන්න ඕනෑ. තෙල් කන එක අඩු කරන්න ඕනෑ. සමහර අයට ඇවිදින විට සහ ව්‍යායාම කරද්දි පපුවේ කැක්කුමක් වැනි ලක්ෂණ, හෘදයාබාධයකට පෙර ඇති වෙන්න පුළුවන්. ඒත් සමහර අයට, කිසිම රෝග ලක්ෂණයක් නැතිව ක්ෂණිකවම හෘදයාබාධයක් හැදෙන්නත් පුළුවන්.

සමහර අයට හෘදයාබාධයකට පෙර රෝග ලක්ෂණ ඇතිවෙන්නේ කොහොම ද?

කුඩා කාලයේ සිටම රුධිර වාහිනී බිත්තියක කොලෙස්ටරෝල් තැන්පත් වෙනවා. මේ ස්ථරය වටේට තව සෛල ඇවිත් කවරයක් වගේ හැදෙනවා. කල් යනනොට ක්‍රමයෙන් කොලෙස්ටරෝල් තැන්පතුව විශාල වෙනවා. ඒ සමඟම රුධිර නාලයේ ලේ ගමනට ඇති ඉඩ අඩු වෙනවා. උඩ කවරය හොඳට සෛල ඇවිත් බැඳිලා තිබේ නම්, එක්වරම මෙය පුපුරන්නේ නෑ. කල්තියා රෝග ලක්ෂණ එන්නේ මෙහෙම අයට. කාලයක් යන විට රුධිර නාලය අවහිර වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් ලේ ගමන් කරනවා. ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් අප ව්‍යායාම කරන්න ගත්තොත් තව ගොඩක් ලේ අවශ්‍ය වෙනවා. මෙතැනින් එන ලේ ටික මදි වෙනවා. එවිට පපුව රිදෙනවා. පපුව බරයි වගේ. angina කියලා කියන්නේ ඒකටයි. ටික දුරක් ඇවිදගෙන යද්දි පපුව හිර වෙනවා. හැබැයි නැවැත්තුවොත් ඒ වේදනාව නැතිව යනවා. මෙය හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණයක්. රුධිර වාහිනියේ බිත්තිය හොඳට තියෙද්දි ලේ කැට හැදෙන්නේ නෑ. මෙතැන කුමන අවස්ථාවක හරි කඩතොලු වුණොත්, ඒ මත ලේ කැටයක් හැදෙන්න පුළුවන්. රුධිර වාහිනිය හොඳටම අවහිර වුණාම, ඉදිරියට ලේ ගමනාගමනය අඩාළ වීම නිසා හෘදයාබාධයක් හැදෙනවා.

සමහර අයට හෘදයාබාධ විවිධ ආකාරයෙන් බලපානවා නේද ?

හෘදයාබාධ වර්ග දෙකක් තියෙනවා. හෘදයේ බිත්තියේ සම්පූර්ණයෙන්ම සෛල මැරෙන එක තමයි ලොකු හාට් ඇටෑක් එකක් කියන්නේ. ඒ්කට අපි කියන්නේ ST EMI කියලා. තව සමහර ඒ්වා තියනවා එහිදී මුළු බිත්තියම මැරෙන්නේ නෑ. ඇතුළේ ටික විතරයි, එයට කියන්නේ NSTEMI කියලා. STEMI තත්ත්වයකට එවෙලේම ලේ කැට දිය වීමට දෙන ඉන්ජෙක්ෂන් හෝ stenting යන ක්‍රම ‌දෙකෙන් එකකින් ලේ ගමන් කිරිම යථා තත්ත්වයට ගත්තේ නැත්නම් හාට් එකේ පේෂි වවන්න විදිහක් නෑ. මේ සෛල ආයෙ වැවෙන්නේ නෑ .ඊට පස්සේ කරන ඔක්කොම ජාති කරන්නේ හාට් ඒකේ ඉතිරි පේශි ටික බේරාගන්න. NSTEMI තමයි, සුළු හාට් ඇටෑක් කියන්නේ. ඒවාට දෙන ‌‌ඖෂධ වෙනස්. ඒත් stent කරන්නත් පුළුවන්.

රුධිර වාහිනිවල බ්ලොක් තියනවාද කියලා angiogram එකකින් බලන්න පුළුවන්. බ්ලොක් තියනවා නම් මෙයට කල්තියා ප්‍රතිකාර කරන්න පුළුවන්. balloon එකක් දාලා ඇරල තියෙන එක තමයි stent එකක් දානවා කියන්නේ. ඒත් හැම එකටම stent දාන්න බැහැ. එහෙම බැරි විශාල නහරවලට තමයි බයිපාස් කරන්නේ. බ්ලොක් ඒක තියන තැන අනුව කරන්න පුළුවන් දේ වෙනස් වෙනවා. සමහරුන්ට බයිපාස් කරන්න වෙනවා, සමහරුන්ට stent දාලා හරි යනවා.

 

ඇතැම් අය කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා එක්වරම මිය යනවා. එහෙම වෙන්නේ කොහොම ද?

හදවතට රුධිරය සපයන රුධිර වාහිනි තුනක් තියෙනවා. බොහෝ විට, එකකින් (dominant vessle) හෘදයේ විශාල ප්‍රමාණයකට රුධිරය සපයනවා. මේ මේ ප්‍රධාන රුධිර වාහිනිය සම්පූර්ණයෙන් වැසුණොත් කෙනකු මරණයට පත් වෙන්න පුළුවන්. මීට අමතරව හෘදයේ ගැස්ම පාලනය කරන SA node එකට රුධිරය සපයන නාලය අවහිර වුණොත් හෘදයේ ගැස්ම වෙනස් වෙලා කෙනකු ක්ෂණිකවම මිය යෑමට පුළුවන්.

විවිධ අවස්ථාවලදි අපට හැදෙන පපුවේ කැක්කුම හෘදයාබාධයක් නිසාද කියලා දැනගන්නේ කොහොම ද?

විනාඩි පහකට අඩුවෙන් පවතින පපුවේ වේදනාවක් සාමාන්‍යයෙන් හාට් ඇටෑක් එකක් වීමට ඇති ඉඩ අඩුයි. නිකන් ඉන්නකොට හැදෙන සුළු සුළු පපුවේ කැක්කුම නෙවෙයි. මහන්සි වෙනකොට පපුවේ කැක්කුමක් එනවා නම් ඒ් ගැන අවධානය යොමු කරන්න ඕනෑ. පපුව ඇල්ලුවාම රිදෙනවා නම් ඒ්වා හාට් ඇටෑක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. හාට් එකට ලේ සැපයුම අවහිර වුණොත් විතරයි වේදනාවක් ඇති වෙන්නේ, ඇල්ලුවාට රිදෙන්න බෑ.

තමන්ට හාට් ඇටෑක් ඒකක් එන්න සම්භාවිතාවයක් තියනවා කියලා පරික්ෂා කළ යුතු වෙන්නේ මොන වෙලාවටද ?

ශ්‍රී ලංකාවේ සියයට අසූවක් මරණවලට හේතුව බෝ නොවන රෝග. ඒවා නවත්තන්න තමයි අපි මහන්සි වෙන්නේ. අවුරුදු 35ට වැඩි නම් හැමෝම අධි රුධිර පීඩනය, සීනි බලන්න ඕනෑ. බලලා එම වාර්තා සාමාන්‍ය නම් නැවත වතාවක් අවුරුද්දකින් බලන්න පුළුවන්. දැන් අලුතෙන් ලැබී තිබෙන උපදේශය නම් යම් රෝගියකු වෙන ලෙඩකට රෝහලකට ආවත් අවු 35ට වැඩි නම් රුධිර පීඩනය බලන්න කියලා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් තියෙනවාද බලලා, තමන්ට හාට් ඇටෑක් එකක් එන එකේ සම්භාවිතාවය WHO risk charts එකෙන් බලන්න පුළුවන්. ඒ්කට තියන ඉඩකඩ වැඩි නම් ඒ අය ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මෙමඟින් හාට් ඇටෑක්වලට හේතු වෙන සාධක කල්තියා හඳුණාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන්.

මහන්සි වුණාම පපුව රිදෙනවා නම් සහ හාට් ඇටෑක්වලට අවදානම වැඩි කෙනෙක් නම් මූලික පර්යේෂණ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි එක්සසයිස් ECG එක. මැෂින් එකක දුවලා බලන්න පුළුවන් හාට් එකට ලේ ගමන් තිරිමේ අඩුවක් තියනවා ද කියල. එවැනි තත්ත්වයක් ඇත්නම්, රුධිර නාලවල බ්ලොක් එකක් තියෙනවාද බලන්න Angiogram test කරන්න පුළුවන්. Angiogram විවිධ විධිවලින් කරන්න පුළුවන්. කලින් නම් නහරයක් හරහා වයර් එකක් ඇතුළු කර ඩයි එකක් යවලා තමයි Angiogram test කළේ. ඒක අපහසු “invasive” තත්ත්වයක් නිසා දැන් CT Quaranary Angiogram,cardiac MRI test වැනි නවීන ක්‍රම තියෙනවා හෘදයාබාධ තත්ත්වය බලන්න පුළුවන්.

සාමාන්‍ය ජනතාව මේ කරුණු සම්බන්ධයෙන් නො දැනුවත් හෝ නො සැලකිලිමත් ඇයි?

නොදැනුවත්කම නෙවෙයි තියෙන්නේ. දුම් පානය, තෙල් සහිත ආහාර, සීනි හොඳ නෑ කියලා ගොඩක් අය දන්නවා. ඒත් හාට් ඇටෑක් එකක් හැදෙනකම්ම ඉන්නවා ඒක පාලනය කරන්න. හැබැයි දැනගත යුතු දේ තමයි, හාට් ඇටෑක් එකක් ඇති වුණායින් පස්සේ සම්පූර්ණයෙන් හොඳ කරන්න අමාරුයි. එය වළක්වා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ්ක ගොඩක් අමාරු නෑ. නිරෝගී සෞඛ්‍ය රටාවකට හුරු වෙන එක තමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕනෑ. සිගරට් මත්පැන් හොඳ නැහැ. කොහොමත් බර අඩු කරගන්න ඕනෑ, අධික ලුණු, තෙල් භාවිතය හොඳ නෑ. එළවළු පලතුරු වැඩියෙන් කන්න ඕන. ඒ ටික කරන්න තමයි තියෙන්නේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ හෘදයාබාධ වැඩි බවක් පැවසෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ?

කාලයත් සමඟ අපේ රටේ හෘදයාබාධ වැඩි වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ආයු කාලය වැඩියි. අවුරුදු හැටට වැඩි ප්‍රතිශතය වැඩි වේගෙන යනවා. අපේ රටේ මිය යන ප්‍රමාණය අඩුයි. ඒ් නිසා වැඩිහිටි ජනගහනය වැඩියි. හාට් ඇටෑක්වලට වයස එක සාධකයක් නේ. අනිත් එක තමයි අපේ ආහාර රටාව. කන්නේ ක්ෂණික කෑම, ව්‍යායාම නැහැ, යන්නේ වාහනවල, පරිගණකත් ඒක වැඩිපුර කාලයක් ගත ගත කරනවා. අපේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා නිසා අපට හෘදයාබාධ ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම විවිධ ප්‍රශ්න නිසා ආතතිය වැඩියි. 2000 වසර ඉඳලා ගත්තොත් හෘදයාබාධ ප්‍රමාණය වැඩියි. නමුත් මැරෙන ප්‍රමාණයත් අඩුයි. හේතුව, බෙහෙත් තියනවා, හාට් ඇටෑක් එකක් කලින් දැනගෙන වැළකෙන්න පුළුවන්.

හෘදයාබාධයක් කියලා දැනගත්තාම ඉක්මනින් කළ යුත්තේ කුමක් ද?

හාට් ඇටෑක් එකක් කාටවත් හංගාගෙන ඉන්න බෑ. හරියට පපුව මැද මිරිකනවා වගේ තද ගතියක් දැනෙනවා. වමනය යනවා දාඩිය දානවා, කැක්කුම දරාගෙන ඉන්න බෑ. එහෙම තියෙන කෙනෙකුට හාට් ඇටෑක් කියලා හිතනවානම් ඇස්ප්‍රින් පෙත්තක් දෙන්න පුළුවන්. එහෙම දුන්නට ප්‍රශ්නයක් නෑ. හොඳම දේ තමයි ළඟම රෝහලකට ඉක්මනින් යන එක. එතකොට අවශ්‍ය දේවල් ටික කරනවා. යන ඉක්මනයි මූලිකම. දෙන්න තියන පණිවිඩය තමයි ළඟම තියන රෝහලට පුළුවන් තරම් ඉක්මනට යන්න කියලා.

වර්තමානයේ තරුණ පිරිස රෝගවලට හාට් ඇටැක්වලට ලක් වෙනවා වැඩියි නේ ද?

අද අවුරුදු හතළිහේ සීමාවේ දි හාට් ඇටෑක් දකිනවා. අද හැමෝගේම ජීවන රටාව ගොඩක් වෙනස් වෙලා. ළමා කාලයේ සිටම ව්‍යායාම නෑ පරිගණකත් එක්ක වැඩිපුර කාලයක් ගත කරනවා, ආහාර රටාව වෙනස්. මේ නිසා පස්සේ හැදෙන්න තියන හාට් ඇටෑක් එක ඊට කලින් හැදෙනවා. මීට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතයත් හෘදයාබාධවලට බලපාන්න පුළුවන්.

ඇතැම් අය මෙම රෝගවලට දෙන බෙහෙත් නිසියාකාරව ගන්නේ නැහැ නේද?

ගොඩක් දෙනකුට බෙහෙත් දෙන්නේ තවත් හාට් ඇටෑක් එකක් එන වළක්වන්න. සමහර අය හිතනවා කලින් හාට් ඇටෑක් එකේ අමාරුව හොඳ වුණාම ආයෙ බේත් බොන්න ඕනෑ නෑ කියලා. එයාලගේ දැනුම වැඩි කරන්න ඕනෑ. එකපාර බේත් නවත්වන්නත් හොඳ නෑ. අධි රුධිර පීඩනයට බෙහෙත් ගන්න කෙනෙක් එක පාරට නවත්වලා රුධිර පීඩනය වැඩි වුණොත් එන ප්‍රතිඵල දරුණුයි. බෙහෙත් ගන්නකොට රුධිර පීඩනය පාලනය වුණාට එය නැවැත්තුවොත් ආයෙත් රුධිර පීඩනය වැඩි වෙනවා. දියවැඩියාවත් එහෙමයි. බෙහෙත් බොනකොට පාලනය වුණාට, බෙහෙත් නැවැත්තුවොත් නැවතත් සීනි වැඩි වෙනවා. මේ නිසා ‌ඖෂධ ගැනීමේ දි වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැදිය යුතුයි.

රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

Read 920 times Last modified on Wednesday, 01 June 2022 03:33