Friday, 29 March 2024

වසර 225ක් ලෝකයෙන් තුරන් නොවුණු වසංගතය

Posted On Thursday, 06 August 2020 02:42 Written by
Rate this item
(0 votes)
ස්ටීනියානු වසංගතය 06-08-2020
 
 

චීනයේ සහ ඊසානදිග ඉන්දියාව තුළ ඉපදුණු හඳුනා නොගත් විෂබීජයක් (යර්සීනියා පෙස්ටිස්) ගොඩබිම සහ මුහුදු වෙළෙඳ මාර්ග හරහා අප්‍රිකාවේ මහා විල් කලාපයට ගමන් ගන්නා ලදී. එය වසංගතයක් ලෙස පැතිර යාම ආරම්භ වූයේ ඊජිප්තුවේදීය. බයිසන්තියානු ඉතිහාසඥයෙකු වූ "ප්‍රොකෝපියස් ඔෆ් සීසර්යා" (ක්‍රි.ව. 500-565) විසින් නයිල් ගඟේ උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ "පෙලුසියම්" යන ප්‍රදේශයෙහි වසංගතයේ පළමු පැතිරීම සිදු ව ඇති බව හඳුනා ගත්තේය. "Plague" යන ග්‍රන්ථයෙහි කතුවරයා වන "වෙන්ඩි ඔරෙන්ට්"ට අනුව, රෝගය දෙයාකාරයකින් පැතිරී ඇත. එනම්, උතුරින් ඇලෙක්සැන්ඩ්‍රියාව හරහා සහ නැගෙනහිරි පලස්තීනය හරහා යනාදී වශයෙනි. පළමුවන ජස්ටීනියානු අධිරාජ්‍යයාගේ (ක්‍රි.ව. 527-565) පාලන සමයේදී වසංගතය දරුණු ලෙස පැතිර ගියේ මිලියන ගණනකගේ ජීවිත බිලිගනිමිනි. මෙම වසංගතය ක්‍රි.ව. 542 දී කොන්ස්තන්තිනෝපලය වෙත පැමිණ තිබුණේ එහි ආරම්භයෙන් වසරකට පමණ පසුය.

ජස්ටීනියානු වසංගතය පැතිරවීමට වඩාත් දායකත්වය ලබා දුන්නේ "රැටස් රැටස්" නම් වූ කළු මීයන්ය. එකල කප්පම් වශයෙන් ධාන්‍ය නැව් සහ කරත්ත කොන්ස්තන්තිනෝපලය වෙත යවන ලදී. ක්‍රි.ව. 8 වැනි සියවසේදී අධිරාජ්‍යයේ මූලික ධාන්‍ය සපයන්නා උතුරු අප්‍රිකාව බවට පත් ව තිබූ අතර කඩදාසි, තෙල්, ඇත් දළ සහ වහලුන් ඇතුළු විවිධ වෙළෙඳ භාණ්ඩ ගණනාවක් එහි සිට කොන්ස්තන්තිනෝපලය වෙත යැවිණි. විශාල ගබඩාවල ගබඩා කර තිබූ මෙම ධාන්‍ය, මැක්කන් හා මීයන් සඳහා පරිපූර්ණ අභිජනන භූමියක් සැපයූ අතර එය වසංගතය සම්ප්‍රේෂණය වීම සඳහා අධික ලෙස බලපෑවේය. "Justinian's flea" ග්‍රන්ථයේ රචකයා වූ "විලියම් රොසෙන්" සඳහන් කරන්නේ මීයන් ඕනෑම දෙයක් (එළවළු ද්‍රව්‍ය හා කුඩා සතුන් ඇතුළුව) ආහාරයට ගන්නා බවත් ධාන්‍ය යනු ඔවුන්ගේ ප්‍රියතම ආහාරය බවත්ය. තවදුරටත් නිරීක්ෂණය කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මීයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී උපන් ස්ථානයෙන් මීටර් 200කට වඩා ඈතකට ගමන් නොකරන බවයි. කෙසේ වෙතත්, මෙහි දී සිදු ව තිබුණේ නොදැනුවත්වම ධාන්‍ය බෝට්ටු සහ කරත්ත හරහා මීයන් අධිරාජ්‍යය පුරා විසිර යාමයි.

මෙම යුගයේදී වසංගතය ව්‍යාප්ත වීමට කාලගුණික තත්ත්වයද බලපා තිබූ බව පෙනේ. ඉතිහාසඥයෙකු වන "කොලින් බරාස්"ට අනුව, "ප්‍රොකොපියස්" විසින් එකල දකුණු ඉතාලියේ කාලගුණික විපර්යාසයන් වාර්තා කර තිබේ. ඒ අනුව ගිම්හානය මධ්‍යයේ හිම වැටීම සහ හිමවල අසාමාන්‍යතා, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අඩු කාලගුණය, හිරු එළිය අඩුවීම ආදිය මෙකල ලොව මුහුණ දෙමින් සිටි කාලගුණ විපර්යාස විය. එපමණක් නොව රට කඩාකප්පල් කිරීම්, යුද්ධය ආදියද වාර්තා වීමත් සමග දශක ගණනාවක් පුරා ඇදි ඇදී යාමට නියමිතව තිබූ ගැටලුකාරී තත්ත්වයනට මුහුණ දීමට ලොවට සිදු විය. සුපුරුදු කාලගුණයට වඩා හදිසියේ මතු වූ ශීත කාලගුණය අස්වැන්න කෙරෙහි බලපා තිබූ අතර එමගින් ආහාර හිඟයක්ද ඇති විය. එහෙයින් ආහාර සොයා කලාපය පුරා ගමන් කිරීමට ජනතාවට සිදු විය. මෙම අනිවාර්යය සහ අකැමැත්තෙන් ගමන් ගත් සංක්‍රමණිකයන් සමග විෂබීජය ආසාදනය වී තිබූ මැක්කන්ගෙන් පීඩා විඳිමින් සිටි මීයෝද වූහ. අධික ශීතල හා වෙහෙසට පත්ව කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සමග යුද්ධය මධ්‍යයේ අලුතින් ඇති වූ රෝගාබාධද එකතු විය. ඒ අතර සිදු වූ මීයන්ගේ ජනගහනය වැඩිවීමද වසංගතයක් සඳහා සුදුසු තත්ත්වයක් නිර්මාණය කළේය. එය කෙතරම් බිහිසුණු වූයේද කියතොත් ජස්ටීනියානු වසංගතය හේතුවෙන් යුරෝපයේ ජනගහනයෙන් අඩක් පමණ විනාශ විය.

"ප්‍රොකොපියස්" විසින් ආසාදිතයන්ගේ ස්වභාවය විස්තර කරන්නේ "මායාවන්, බියකරු සිහින, උණ සහ ඉදිමීම, ඉඟටිය, කකුල් සහ කන් පිටුපස ඇති ඉදිමීම්වලින් පෙළෙන අය" ලෙසයි. සමහර රෝගීන් කෝමා තත්ත්වයට පත්වූ අතර අනෙකුත් රෝගීන් මංමුළා වී ඇති බවක් පෙන්නුම් කර තිබේ. බොහෝ වින්දිතයන් මරණයට දින කිහිපයකට පෙර සිට දුක් විඳ ඇති අතර ඇතැම්හු රෝග ලක්ෂණ ආරම්භ වූ වහාම මිය ගියහ. ජස්ටීනියන් වසංගතය යක්ෂයෙකු ලෙස හැඳින්වීමට ජනතාව පෙලඹී සිටියහ. එසේ ම මෙය අධිරාජ්‍යයාගේ වැරදි හේතුවෙන් දෙවියන් වහන්සේ ලබා දුන් දඬුවමක් යැයි පවසමින් වසංගතයේ සම්පූර්ණ වරද ජස්ටීනියන් අධිරාජ්‍යයා වෙත පැවරීමටද ඔවුහු උත්සාහ කළහ.

වසංගතයෙන් දිනකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර කාර්මික, කෘෂිකාර්මික සියලු අංශ ඇන හිටියේය. අධිරාජ්‍යයන්ගේ පවුල්වලටද රෝගය වැලඳී තිබුණෙන් රටවල් ද අරාජික විය. වෛද්‍යවරු කර කියාගත හැකි දෙයක් නොමැති ව අසරණ වූහ. කිසිදු ඖෂධයක් විෂබීජයට එරෙහි ව ප්‍රතික්‍රියා නොකළ හෙයින් ජනතාව සීතල වතුර ස්නානය, සාන්තුවරයන්ගේ ආශීර්වාද ලත් කුඩු භාවිතය, මැජික් සුර, මුදු සහ විවිධ විකාරරූපී ඖෂධ (ඇල්කලෝයිඩ්) ප්‍රතිකාර සඳහා යොමු වූහ.

මෙම වසංගතයේ බලපෑම තවත් වසර 225 ක් පුරා මධ්‍යධරණී ලෝකය පුරා අඛණ්ඩව බල පැවැත්වුණු අතර ක්‍රි.ව. 750දී පමණ එය හදිසියේ අතුරුදහන් විය.

•ශ්‍රීනි ලංකා ජයකොඩි

Read 2594 times