Tuesday, 16 April 2024

මැතිවරණ නීති වෙනස් විය යුතුයි!

Posted On Friday, 30 December 2016 09:32

- මැතිවරණ කොමසාරිස්

සුනිල් දයා අල්විස් සහ රංජිත් පද්මසිරි

මැතිවරණයකදී මුදල් වියදම් කිරීම හා වියදම් කරන මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ඡන්ද අපේක්ෂකයන්ගෙන් විස්තර වාර්තා ලබාගැනීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රජයට යෝජනා කර තිබේ.


මැතිවරණ නීති කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද හිමි නාම ලේඛනයට නම එකතු කරගැනීමට නොහැකි වූ අයට මාස 4ක් තුළ සිය නම නාම ලේඛනයට ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම අවධාරණය කරයි.

සුදුසුකම් තිබියදී ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කරගැනීමට අවස්ථාව නොලැබීමෙන් විශාල පිරිසකට සිදුවන අසාධාරණය පෙන්වාදෙන මහින්ද දේශප්‍රිය මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අයට මෙවර මහමැතිවරණයේදීත් ඡන්දය දීමට නොහැකි වූ බවත් ඡන්ද හිමි නාම ලේඛනයට මාස 4ක් තුළ යළි නම ඇතුළත් කර ගැනීමට හැකියාව තිබුණා නම් මෙවර 50000කට පමණ ඡන්දය දීමට ඉඩ ලැබෙන බවත් කීය.

අපේක්ෂකයන් කරන වියදම් විගණනය කර වාර්තාවක් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කළ යුතු බවත් අත්‍යවශ්‍ය සේවාවල රාජකාරියේ යෙදී සිටින අයට තම ලියාපදිංචි ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත රාජකාරිය කරන ස්ථානයට ආසන්න ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය දීමට වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් යෝජනා කර තිබේ.

තවදුරටත් මනාප ක්‍රමය පවත්වා ගෙන යනවා නම් පෞද්ගලිකව අපේක්ෂකයා මනාප අංකය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමය වෙනුවට පක්ෂය මඟින් පොදුවේ මනාප අංකය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් ද ආරම්භ කළ යුතු බවත් මැතිවරණ කොමසාරිස්වරයා කීය.
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Read 1348 times