Thursday, 25 April 2024

මැලෝරි (BIRD BOX -2) Featured

Posted On Wednesday, 04 November 2020 07:23 Written by
Rate this item
(0 votes)

මැලෝරි පන්ති කාමරයක ගඩොල් බිත්තියට තදින් හේත්තු වී සිටී. දොර අගුළු දමා ඇත. ඇය සිටින්නේ තනිවමය. විදුලි පහන් නිවා දමා තිබේ. ඇගේ දෑස් රෙදි පටියකින් බැද ඇත.

පිටත ශාලාවේ අර ප්‍රචණ්ඩත්වය ඇරඹී ඇත.

ඇය ඒ හඬ හොඳින් හඳුනයි. එය ඇගේ බිහිසුණුම සිහින තුළින් ඇයට ඇසී තිබේ. බිඳී වැටුණු නිවහනේ දෝංකාරයන් තුළින් ඇයට එය ඇසී ඇත. ඇගේ පුතු මෙලොවට බිහිවෙන මොහොතේ ඒ නිවසේ උන් හොඳ සිහිය ඇති මිනිසුන් එකිනෙකාගේ සිරුරුවලට පැන ඉරා ගන්නා විට ඒ හඬින් නිවස පිරී ගිය අයුරු ඇයට ඇසී ඇත.

මේ මොහොතේ ටොම් සිටින්නේ ඒ භීෂණය ඇති තැනය. ඒ කොතනදැයි මැලෝරි හරියටම දන්නේ නැත.

ඇය හුස්මක් ඉහළට ගත්තාය. ඒ හුස්ම මද වෙලාවක් රදවා ගත්තාය. ඉන්පසු ඒ හුස්ම පිට කළාය.

ඇය දොරට ළං වූයේ එහි අගුළු හරින්නටය. එය විවර කරන්නටය. ඒ කෑ ගැසීම්, හිස්ටීරියාවල උමතුව මැදට වැදී ඇගේ දියණියවත් පුතාවත් සොයා ගන්නටය. දොරෙන් එහා පැත්තේ මොකක්දෝ පුපුරා බිඳී යන හඬ ඇසිණ. ඒ හඬ හරියට කවුරුන් හෝ ඔවුන්ගේ හිස් බිත්තියේ ගසා ගන්නා හඬ වැනිය.

ඇය වහා දොර අගුළෙන් අත ඉවතට ගත්තාය.

ඇය අන්තිමට දකින විට ඇගේ සය හැවිරිදි දියණිය, ඔලිම්පියා, ටකර් පුස්තකාලයේ බ්‍රේල් පොතක් කියවමින් සිටියාය. විද්‍යාලයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නික්මෙන පැරණි සම්භාවනීය සංගීතයට සවන් දෙමින් තවත් දහ දොළොස් දෙනෙක්ම එහි උන්හ.

මැලෝරි ඒ මිනිසුන්ගේ කටහඩවල්වලට ඇහුම්කන් දෙන්නට පටන් ගත්තාය. ඇයට දැන් වුවමනා මේ ප්‍රචණ්ඩත්වය පුස්තකාලයටද ළඟා වී ඇතිදැයි දැන ගන්නටය. ඇගේ දියණිය වෙතටද ළං වී ඇතිදැයි සැක හැර දැනගන්නටය. එසේ වී ඇත්නම් ඇය මුලින්ම සොයා යා යුත්තේ ටොම්වය.

ඉතින් ඇය ඇහුම්කන් දුන්නාය.

#Malorie - The Sequel To the Global Sensation (BirdBox-2)
#joshmalerman
#මැලෝරි (බර්ඩ්BOX -2)
පරිවර්තනය -
Nimmi Muditha Herath 

Read 935 times