ඔහුව දකින්නට මා මේ අයුරින් සැරසිය යුත්තේ ඇයි.? මෙය ඔහු විසින් ගෞරවනීය අමුත්තෙකුට කරන සත්කාරයක්ද.? එහෙමත් නැතිනම් මාව මරා දමා, මගේ අළු කින්ජාල් ගංගාවේ පා කර යවන්නට පෙර කරන ශරීර පිරිසිදු කිරීමේ චාරිත්‍රයක්ද.?
“රාජකුමාරි.?”
මගේ දෑසේ බැල්ම අමෝලි දෙසට හැරවිණ. ඇය නැවුම් ඇදුම් ටික මා වෙත දිගු කරගෙන, එකිනෙකට යා වුණු දෙබැමින් යුතුව මා දෙස බලාගෙන සිටින්නීය. ඇගේ මුහුණේ පෙනුම මට පවසන්නේ මේ ඇය මට කතා කළ පළවෙනි වතාව නොවන බවය.
“ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද.?” ඇය ඇසුවාය.
මම ඇයට සිනාවකින් සංග්‍රහ කළෙමි.
“අපොයි නෑ..” සාරිය බද වටා ඔතාගෙන, එහි වැඩ දැමූ පල්ලුව උරහිස උඩින් දමමින් මම කීවෙමි. “මං වෙන කල්පනාවක හිටියෙ..”
“ඔයාට විවේකයක් ඕනද.?” ඇය ඇසුවාය. “මට පුළුවන් මේ වැඩේ ඉවර කරන්න පස්සෙ එන්න..”
හිස සිට දෙපතුළ දක්වාම මා සූදානම් වී හමාරය. තවත් කරන්නට ඉතිරිව තියෙන්නේ මොනවාද.?
“නෑ.” මම කීවෙමි. “ඇත්තටම මම හොදින්.”
එක් මොහොතක් ඇය කතා නැතිව මගේ මුහුණ දෙස බලා උන්නාය. ඉන්පසුව ඇය අර මිටි කනප්පුව දෙසට හිස වැනුවාය.
“එහෙනම් අපි ඔයාගෙ අත් දෙක සරසන්න පටන් ගමු..”
“මගේ අත්..?”
අමෝලි ඇගේ කූඩයෙන් හීන් කූපිිකාවක් පිටතට ගත්තාය.
“ඔව්.” ඇය කීවාය. “මං මෙහෙන්දි ගාන්නම්..”
මට ඉහළට ගත් හුස්ම පහතට දමන්නට බැරි විය. හෙනා මෝස්තර යෙදීම කරන්නේ විශේෂ අවස්ථාවන් වලදී පමණකි. ඒ එක්කෝ විවාහ මංගල්‍යයකදීය. නැතිනම් අවමගුලකදීය.
“එයා මාව මරන්නද යන්නෙ.?”
අමෝලි මුහුණ හකුලා ගත්තාය. ඇයට පිළිතුරු දෙන්නට සෑහෙන වෙලාවක් ගත විය.
“මං දන්නෙ නෑ.” ඇය කීවාය. “එහෙම නොවුණොත් හොදයි කියලා මට හිතෙනව..”
------------------------------------------
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම "මිනී මැරුවේ" එකටය.
අයිලා මගේ ඔත්තුකාරියයි. මම ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව වීමි.
කුඩා කල පටන් කළත්, ඒ "මිනීමැරීම" කුඩාවුන්ගේ සෙල්ලමක් නොවීය. එය අපට පැවරුණු රාජකාරියයි.
ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාට උවමනා විය.
එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය.
එයට හේතුව මා "තවත් එක් විෂ කන්‍යාවක්" නොවීමය.
එසේ නම් මා කවුද.?
නාග වංශයේ එකම එක "රාජකුමාරි" යද.?
රාජධානියක් තරමටම වටිනා සිරකාරියක්ද.?
නැතිනම් සතුරු වංශයක අතුරුදන් වූ කුමරියක්ද.?
---රාජකුමාරී----
විෂ කන්‍යා 02 කොටස
රාජකුමාරිි
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්