Thursday, 21 November 2024

කොච්චිකඩේ සහ කටුවාපිටිය පල්ලි කතෝලිකයන්ට සුවිශේෂී වන්නේ ඇයි ? Featured

Posted On Thursday, 26 November 2020 07:22



ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව අතර මුනිවර වන්දනාව ඉතාමත් භකත්‍යාදරයෙන් අතීතයේ පටන්ම සිදුවන ආගමිකවත් පිළිවෙතකි. මේ මුනිවර වන්දනාව අතරින්, ශ්‍රී ලාංකික කතෝලිකයන් අතර වඩාත් ජනප්‍රිය සහ භක්ත්‍යාදරයට ලක්වන ශුද්ධවන්තයන් දෙදෙනකු වන්නේ ශුද්ධ වූ අන්තෝනිතුමන් සහ ශුද්ධ වූ සෙබස්තියන්තුමන්ය.

ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් නැති වූ දේවල් සොයාදෙන සහ බලා‍පොරොත්තු සුන්වූ අවස්ථාවලදී පිහිට වන මුනිවරයාණෝය, ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන් වසංගත රෝග සහ වෙනත් රෝගවලට සුවය ලබාදෙන මුනිවරයාණෝය. කතෝලිකයන් අතර පමණක් නොව වෙනත් ආගමික බැතිමතුන් අතරද මෙම ශුද්ධවන්තයන් දෙදෙනා වන්දනා ගෞරවයට ලක්වීම කැපී පෙනෙන දෙයකි.

පසුගිය පාස්කු ඉරිදා උදෑසන දිව්‍ය පූජාවන් පැවැත්වෙන අවස්ථාවේදී ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයන්ට ලක්වූයේ මෙසේ අන්‍යගාමිකයන්ගේ පවා ගෞරවාදරයට ලක්වූ එම මුනිවරයන් දෙදෙනාට කැපකරන ලද වන්දනා ස්ථාන දෙකකට වීම එක්තරා අන්දමක ෙදෙවෝපගත සිද්ධියකි.


මුලින්ම බෝම්බ ප්‍රහාරයට ලක්වූයේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිවරයා වෙනුවෙන් කැපකරන ලද සිද්ධස්ථානයයි. ඊට තත්පර කීපයකට පසු බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේ, මීගමුව කටුවාපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිවරයා වෙනුවෙන් කැපකරන ලද දේවස්ථානයයි.

බෝම්බ ප්‍රහාරයට ලක් වූ මෙම දේවස්ථාන දෙකෙහිම විශේෂත්වයක් වන්නේ එම දේවස්ථාන දෙකෙහිම වන්දනාවට එන්නේ එම දේවස්ථානයට අයත් බැතිමතුන් පමණක් නොවීමය. ඈත දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන විවිධ ආගමික භක්තිකයන්ගෙන් මෙම දෙව්මැදුරු දෙකම බොහෝ විට පිරී පවතී.
එය අද ඊයෙක සිට නොව බොහෝ ඈත අතීතයක සිටය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය කැපකර ඇත්තේ ශුද්ධ වූ අන්තෝනි මුනිවරයා නමටය. 1195 අගෝස්තු මස 15 දින පෘතුගාලයේ බටහිර ප්‍රදේශයේ උපන් අන්තෝනි මුනිතුමන්ගේ පියා මාටින් අල්‍පෝන්සස් බග්ලියොන්ය. මව ආනා තෙරේසා ට්‍රැවේරාය. අන්තෝනි මුනිතුමන් බෞතීස්ම කරන ලද්දේ පර්ඩ්නැන්ඩු යන නමිනි.

යොවුන් වියේදී සාන්ත අගුස්තීනු තාපසාරාමයකට ඇතුළු වූ එතුමා තාපසවරයකු වශයෙන් එහි ආධ්‍යාත්මික පුහුණුව ලැබිය. පසුකාලයක එතුමා ප්‍රැන්ස්කානු තාපස පිරිසක් සමග තුර්කියට ගොස් එහි කිතු දහම පැතිරවීය. ඒ එහි සිටි මුස්ලිම් ජනතාවටය. ටික කලකින්ම රෝගාතුරවීම නිසා, ඉතාලියට පැමිණ අන්තෝනි මුනිතුමා පාදුවා නගරය තම මූලස්ථානය කරගෙන කිතු දහම දේශනා කරන්නට වූහ.

එතුමා බොහෝවිට හඳුන්වන්නේ පාදුවාවේ අන්තෝනි මුනිතුමන් ලෙසය. එතුමා ජීවත්ව සිටියදීම එතුමා විසින් සිදුකළ ප්‍රාතිහාර්ය බොහෝය. නමුත් වැඩිකල් ජීවත් නොවූ එතුමෝ 1231දී ස්වර්ගස්ථ වූහ. ස්වර්ගස්ථ වී වසරක් ඇතුළත, අන්තෝනිතුමන් ශුද්ධවන්තයකු බවට ශුද්ධ වූ සභාව විසින් පිළිගෙන ප්‍රකාශයට පත්කරන ලදී. එසේම වසරක් ඇතුළත එතුමන් වෙනුවෙන් බැසිලිකා දෙව්මැදුරක් ඉදිකරන ලදී.

ක්‍රි.ව. 1505දී පෘතුගීසීන් ලංකාවට ගොඩබැසීමත් සමගම කතෝලික දහමද සිරිලක ව්‍යාප්ත විය. අනතුරුව 1640 ඕලන්ද ආක්‍රමණයත් සමග පෘතුගීසීන් මෙරටින් ඉවත්ව ගිය අතර, ඕලන්ද පාලන සමයේ මෙරට කතෝලික දහම දේශනා කිරීම, වැලඳගැනීම වන්දනා කිරීම ආදී සියල්ල මරණීය දණ්ඩනයට යටත් විය. 1687දී ජුසේවාස් මුනිතුමා මන්නාරමින් ලංකාවට එන්නේ කිතුදහම නැවත මෙරට ව්‍යාප්ත කිරීමට පසුය.

එයට ටික කලකට පසු මෙරටට එන අන්තෝනියෝ කොච්චියාල් පියතුමා, කොළඹට පැමිණ මැලිබන් වීදියේ (එකල කොළඹ මාළු වෙළෙඳ‍පොළ පැවැතියේ එහිය.) මාළු වෙළෙන්දෙකුගේ නිවසේ නතර වී මාළු වෙළෙන්දෙකු සේ වෙස්වලාගෙන රාත්‍රී කාලයේ රහසේ එහි සිටි කතෝලිකයන් මුණගැසී ඔවුන්ගේ ආගමික වතාවත් ඉටුකරන්නට විය.
පසුකාලයක එහි සිට මෝදර දෙසට පිහිටි මුහුදුබොඩ වත්ත නමැති ස්ථානයේ කුඩා ‍පොල් අතු කඩයක් ආරම්භ කළේය. එයට පෙර එතුමා එම ස්ථානයෙහි සිදුවෙමින් තිබූ මුහුදුකෑම කුරුසියක් සිටුවීමෙන් නතර කර ඇත.

අන්තෝනි කොච්චියාලාගේ කුඩා ‍පොල්අතු කඩය මුලින් හැඳින්වූයේ කොච්චියා‍ලේ කඩය යනුවෙනි. පසුව එය කොච්චිකඩේ යනුවෙන් හැඳින්වෙන්නට වූ අතර එම ප්‍රදේශයද කොච්චිකඩේ යනුවෙන් හැඳින්වෙන්නට විය.
දහවල් කඩයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණි. කලක් යනවිට දහවල් කාලයේද එහි දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නට විය.

1806දී මෙම අන්තෝනි කොච්චියාල් පියතුමාගේ සිල්ලර කඩය කුඩා දේවස්ථානනයක් බවට පත්විය. අන්තෝනියෝ පියතුමා මෙම දෙව්මැදුර තම නාම සාන්තුවරයා වූ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් නමින් නම්කරන ලදී. 1822දී පිරිසක් ගෝවට ගොස් ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවක් ගෙනැවිත් පැරණි දෙව්මැදුර අල්තාරය මත තබා දෙව්මැදුර අන්තෝනි මුනිවරයා නමින් කැපකරන ලදී.

මෙලෙස එම ප්‍රතිමාව ස්ථාපිත කළේ, එයට කලකට පෙර අන්තෝනියෝ කොච්චියා‍ලේ පියතුමා, කුරුසියක් සිටුවා මුහුදුකෑම වැළැක්වීමේ ප්‍රාතිහාර්යය සිදුකළ ස්ථානයේම බව පැවැසේ. පසු කාලයක අන්තෝනියෝ කොච්චියා‍ලේ පියතුමා ස්වර්ගස්ථ වූ අතර එතුමාගේ දේහය භූමිදානය කරන ලද්දේද එම දේවස්ථානය ඇතුළේමය. කොළඹ ප්‍රථම අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ වූ අති උතුම් ක්‍රිස්ටෝපර් බොන්ජන් හිමිපාණන්ගේ දේහය මිහිදන් කර ඇත්තේද කොච්චිකඩේ මෙම දේවස්ථානය තුළමය. ඒ 1892දීය.

ආරම්භයේදී කුඩා දේවස්ථානයක් වූ එය 1938දී අද තිබෙන තත්ත්වයට විශාල කර ගොඩනැංවීම ආරම්භ කළ අතර 1940දී අති උතුම් දේවධර්මාචාර්ය ජේ. ඕසොන් කොළඹ අගරදගුරුතුමන් විසින් නව ගොඩනැගිල්ල ආසිරි ගන්වන ලදී.

1995 ජනවාරි 20 දින මෙරටට වැඩම කළ දෙවන ජුවාම් පාවුලු පාප්තුමන් කටුනායක ගුවන් තොටු‍පොළ සිට විවෘත රථයකින්, ගාලු මුවදොර පිටියේ පැවැත්වූ පිළිගැනීමේ උත්සවයට සම්ප්‍රාප්ත වන අවස්ථාවේ දැඩි විඩාවක් සහ පිපාසයක් දැනී නතරවීමට පැමිණියේද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙතය.

එවකට ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති ඔස්පදෝ පසිල්ලා හිමිපාණන් සහ එවකට කොළඹ අගරදගුරු නික්ලස් මාකස් හිමිපාණන් සමගින් කොච්චිකඩේ පල්ලියට ඇතුළු වී එහි සංක්‍රිස්තියන් කාමරයට ගොස් මුහුණ සෝදා, සුදු රෙදිකඩකින් මුහුණ පිසදා ඉදිරිපස කඩයකින් ගෙනා සිසිල් බිම බෝතලයක් පානය කළහ.

පසුගිය පාස්කු ඉරුදින උදෑසන ඊළඟ බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයටය.ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමා වසංගත රෝගවලදී සහ වෙනත් භයානක රෝගවලදී පිහිටාධාර ලබාදෙන සාන්තුවරයා ලෙස මුළු ලෝකය පුරා කතෝලික අකතෝලික ජනතාව අතර විශේෂ ගෞරවාදරයට පත්ව සිටී.

ප්‍රංශයේ නර්බෝනා ප්‍රදේශයේ උපත ලැබූ සෙබස්තියන් මුනිතුමා ඉගෙනුම ලැබුයේ මිලාන් නගරයේය. ඒ ක්‍රිස්තු වර්ෂ 270 පමණ කාලයේය. කිතු දහම ප්‍රචාරය කිරීම නිසා එවකට සිටි දියොක්‍ලේසියානු අධිරාජ්‍යයාගේ උදහසට ලක්වූ සෙබස්තියන් මුනිතුමාට ඊතලවලින් විද මරන ලෙස අණකරන ලදී. නමුත් එයින් එතුමා ජීවිතක්ෂයට පත්නොවූවත්, පසුව අධිරාජ්‍ය අණ ලෙස මුගුරුවලින් පහර දී ඝාතනය කරන ලදී.

මුල් කාලයේ බෝලවලාන මීසමට අයත්ව තිබූ කටුවාපිටිය ග්‍රාමයේ ‍පොල් අතුවලින් නිර්මාණය වූ දෙව්මැදුරක් මුලින්ම ගොඩනැගුණේ 1869 වර්ෂයේය. අතිගරු හි‍ලේරියන් සිල්ලානි රදගුරුතුමන්ගේ අවසරය මත ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ බස්තියන් සිල්වා, දුමින්ගු සහ අන්තෝනි යන ඉඩම්හිමි වැවිලිකරුවන් තිදෙනාය.
1930දී කටුවපිටිය ස්වාධීන මීසමක් බවට පත්වූ අතර ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ ප්‍රථම පාලකයා වශයෙන් පත්වූයේ ටී. දොන් ජෝන් පියතුමාය.

පරණ දෙව් මැදුර වෙනුවට නව දෙව්මැදුරක අවශ්‍යතාවය ජනතාවට මුලින්ම පෙන්වා දුන්නේ එතුමාය. ගරු එල්. ජෝෂප් කබ්රාල් පියතුමාගේ සමයේදී 1962 අගෝස්තු දෙවන දින මුල්ගල තැබිමෙන් නව දෙව් මැදුරේ වැඩ ආරම්භ කරන ලදී. හෙළ හවු‍ලේ ප්‍රබල සාමාජිකයකු වූ අබා කොස්තා පියනම 1966 කටුවාපිටිය දේවස්ථානයෙහි පාලකයා වශයෙන් පත්වී පැමිණි අතර මහනුවර සහ අනුරාධපුර යුගයන්හි කැටයම් උපයෝගී කරගනිමින් දෙව්මැදුර දේශීය කලා ස්වරූපයට එය නිමාකිරීම සිදුකළේ එතුමාය.

දෙව්මැදුරෙහි ප්‍රධාන වහලය ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවෙහි හැඩතලවලට සමගාමීව, මහනුවර යුගයට අයත්වන චක්‍ර යෂ්ටි හතරක් මත ඉදිකර ඇත. දෙව් මැදුරෙහි ඉදිරිපසෙහි එළිමහන් මුහුණ සේ නෙළුම්මල් පෙති දෙකක් සහ ඉහළට එසවුණ වී හැඩයක් සහිත බිත්තියකි. එහි මැද පෙති හතරක් සහිත නෙළුම් මලක් සහ කුරුසියක් දක්නට ඇත.

දෙව්මැදුරේ ඉදිරිපස මණ්ඩපය දරා සිටින කණු ඇම්බැක්කේ දේවාලයෙහි කණු ස්වරූපයෙන් නිර්මාණය වී ඇති අතර එහි වහලයෙහි උඩ කොටස මහනුවර කැටයම් කලාවට අයත් වලාකුළු බැම්මෙන් නිමවී ඇත.
වසංගත රෝගවලින් සුවය ලබාදෙන ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ පිහිට පතා ඉතා ඈත ප්‍රදේශවල සිට අතීතයේ පටන් වන්දනාකරුවන් කටුවාපිටියට පැමිණ ඇත.

මංගල්‍යය සමයේ කරත්තවලින් පැමිණෙන ඔවුන් දෙව්මැදුර අවට භූමියෙහි කුඩාරම් තනාගෙන දින ගණනක් එහි ගත කළහ. විශේෂයෙන් පල්ලියේ ළිඳෙන් ස්නානය කිරීමෙන් වසංගත රෝගවලින් බේරී සිටීමට සහ ඉක්මනින් සුවපත් විමට හැකිවේය යන විශ්වාසය ඇත. එය අතීතයේ සිටම විය. අදද විවිධ රෝගාබාධවලින් සුවය ලැබිමට පල්ලියේ ළිඳෙහි ජලය ගෙනයෑම සමහර බැතිමතුන්ගේ සිරිතකි.

ජනවාරි මස 20 දින පැවැත්වෙන කටුවාපිටිය දෙව්මැදුරේ මංගල උත්සවය ඇරඹෙන්නේ ජනවාරි 11 දින සිදුකෙරෙන කොඩිගස එසවීමෙනි. දෙව්මැදුර ඉදිරිපිට ප්‍රධාන කොඩි ගස එසවෙන අතර, ගමේ සෑම මංසන්ධියකම කොඩි ගසක් එසවීම කටුවාපිටිය ග්‍රාමයේ දක්නට ලැබෙන සුවිශේෂ සිද්ධියකි. සෙබස්තියන් මුනිදුන්ගේ රුව සහිත රක්ත වරණයෙන් දිදුලන කොඩියක් සෑම නිවසකින්ම ප්‍රධාන කොඩිගසෙහි දක්නට ලැබෙන සුවිශේෂ චාරිත්‍රයකි.

එසේම කොඩිගස ඔසවන අවස්ථාවේදී සෑම නිවසකින්ම කිරිබත් පිස ගෙනැවිත් පල්ලිය ඉදිරිපිටදී බෙදාදෙනු ලැබේ.
වෙනත් කතෝලික ගම්වල දක්නට නොලැබෙන කටුවාපිටිය ග්‍රාමයේ පමණක් දක්නට ලැබෙන තවත් සුවිශේෂ දෙයක් නම් මංගල සමයේ පිරිමි දරුවන් වෙත පමණක් දෙනු ලබන දානයයි. සෑම නිවසකම කැවුම් කොකිස් උයා කිරිබත් සමග පිරිමි ළමයින්ට පමණක් මෙම දානය දෙනු ලබයි.

එසේම මංගල දින සවස පැවැත්වෙන පෙරහරට සෑම පවුලක්ම සහභාගි වෙති. එසේම එවැනි අවස්ථාවක පෙරහර යන මාර්ගයේ වැඩිම තොරණ ඉදිවන්නේ කටුවාපිටිය ග්‍රාමයේය. සමහර වසරක එය පනහ ඉක්මවා යයි.

පීටර් කැනියුට් පෙරේරා
-Lakbima-

Read 1195 times