Saturday, 23 November 2024

කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අද සිට

Posted On Monday, 26 February 2018 05:59

භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) න් ආරම්භ කෙරෙන අතර හෙට (28) සිට මාර්තු 02දා දක්වා මෙලෙස අයඳුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
 


ඒ අනුව අයදුම්පත් දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ.
 
මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතයි.
 
වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතුවේ. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ  වලංගුව පවති.
 
කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමි වේ.
 
කොරියානු රැකියා ශ‍්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ විදේශ රැකියා අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණකි.