Thursday, 28 March 2024

පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Posted On Wednesday, 28 June 2017 06:59

2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2017.07.10 දින දක්වා දීර්ඝ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


මෙම අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2017 ජූනි 30 වෙනි දිනෙන් අවසන්වීමට නියමිතව තිබුණ ද එම දිනය කල් දැමීම සම්බන්ධයෙන් පවතින ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මේ වන විට තම අයදුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමාපියන්, තමන් විසින් සහතික කරන ලද අයදුම්පතෙහි පිටපතක්, අදාළ පාසල් වෙත අතින් භාර දී ඒ සඳහා විදුහල්පති වෙතින් ලිපියක් ලබා ගන්නා ලෙස අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

එසේ, පාසල් වෙත අතින් භාර දෙන ලද අයදුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවෙන් ‘ලද බවට’ ලිපියක් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට ද  මෙයින් දන්වනු ලැබේ.

තව ද, මේ වන විට තැපෑලට යොමු කර ඇති අයදුම්පත් යම් හෙයකින්, 2017.06.30 දින පසු වී පාසල් වෙත යොමු වුව ද, එම අයදුම්පත් ද භාර ගැනීමට  විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.