Tuesday, 11 February 2025

දරුවන් නිතරම ශ්වසන රෝගවලට ගොදුරු වන්නේ ඇයි?

Posted On Thursday, 06 February 2025 05:38

දරුවන් නිතරම ශ්වසන රෝගවලට ගොදුරු වන්නේ ඇයි?

 

මේ දිනවල මවුවරුන් අතර නිරන්තරයෙන් ඇසෙන දෙයක් තමයි දරුවන් නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ආදී ශ්වසන රෝගවලට ගොදුරු වීම.

ඇයි දරුවන් නිතර නිතර ලෙඩ වෙන්නේ? හැම මාසෙකම සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන්නේ ඇයි? ඔවුන්ට එහිදී නිතර නිතර ප්‍රතිකාර ගැනීමට සිදුවෙනවා.
මේ තත්ත්වයට ප්‍රධානම හේතුව වන්නේ බාහිර පරිසරයේ පවතින වෛරස් වර්ගවලට දරුවන් ගොදුරු වීමයි. පෙරපාසල් දරුවන් පරිසරයට නිරාවරණය වීමට පටන් ගන්නා අවස්ථාවේදී අනෙක් අසනීප තත්ත්ව ඇති දරුවන්ට නිරාවරණය වීම නිසා මෙම තත්ත්වය හටගන්නවා.
මෙය ඉතාමත්ම ස්වභාවිත තත්ත්වයක්. ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බාහිර පරිසරයට හුරු වීමෙන් ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය සාමාන්‍ය වෙනවා. ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය මෝරන අවදියේදී මෙම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව නිතර නිතර ඇතිවීම සිදුවෙනවා.
මෙහිදී අවධානයෙන් සිටීමත් අවදානම් ලක්ෂණ හඳුනාගැනීමත් වැදගත් වෙනවා. මෙම තත්ත්වයන් නියුමෝනියාව වැනි සංකීර්ණ ශ්වසන රෝගයක මූලික තත්ත්වයක්ද විය හැකියි.
දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම ඉතාම සාමාන්‍යයයි. ඒ අතර විවිධ රෝග කාරක නිසා සංකීර්ණ සංකූලතා ඇතිවුවහොත් එනම් උණ දින 02කට වඩා පවතී නම් හුස්ම ගැනීමේ වේගය හා හුස්ම ගැනීමේ වාර ගණන වැඩිවේ නම් පපුව වලගැසීමක් සිදුවේ නම්, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් උණ බැස ගිය පසුද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩුවී මලානිකව සිටීනම් සහ වමනය පාචනය වැනි තත්ත්ව ඇතිනම් වලිප්පු තත්ත්ව ඇතිනම්, ශරීරයේ රතු පැහැති ලප ඇතිනම් ඉතාම ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම වැදගත් වෙනවා.
ඊට අමතරව බෝ නොවන රෝග එනම් ඇදුම සහ හතිය හා නිදන්ගත රෝගී තත්ත්ව ඇති දරුවන්ට බෝවන සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග හේතුවෙන් රෝගී තත්ත්ව උත්සන්න විය හැකියි. ඇදුම හතිය වැනි සංජානමය රෝග තත්ත්ව ඇති දරුවන් විවිධ පරිසර තත්ත්ව වලට නිරාවරණය වීමෙන් එම ඇදුම තත්ත්වය උත්සන්න විය හැකියි. මෙවැනි නිදන්ගත රෝග ඇති දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර දීමේදී නියමිත මාත්‍රාව මෙන්ම නියමිත කාලසීමාව සඳහා එම ප්‍රතිකාර ලබාදීම වැදගත් වනවා.
ඉන්හේලර් වැනි ප්‍රතිකාර ලබාදෙන දරුවන්ට ඒවා නියමිත කාලසීමාව දක්වා නිවැරදිව ලබාදීමද ඉතාම වැදගත්. ඇදුම වැනි රෝග වලින් පෙළෙන දරුවන්ට නිවැරදි ප්‍රතිකාර නිසි පරිදි ලබාදීමෙන් ඔවුටන්ද සම වයසේ අනෙක් දරුවන් මෙන් කටයුතු කිරීමට හැකිවෙනවා.
කොවිඩ් වසංගතය සමයේ අප භාවිතා කළ සෞඛ්‍ය පුරුදු වර්තමානයේද ඒ අයුරින් නිවැරදිව භාවිතා කිරීම තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ශ්වසන රෝග වලට ගොදුරු වීමෙන් වැළකීමට හැකිවෙනවා.
දැනුවත් වී ශ්වසන රෝග වලින් දරුවන් මුදාගනිමු.
විස්තරය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ (22) පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.

 

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.