රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පසුගිය රජයන්වල රාජ්‍ය සේවයේ සිදු වූ යම් යම් අක්‍රමිකතාවයන්, දූෂණ, වංචා පිළිබඳ පැමිණිලි ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට, අමාත්‍ය කාර්යාලවලට, මහජන නියෝජිතයින්ට විශාල වශයෙන් ලැබෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වර්තමානයේ ජනතාවට සමහර තොරතුරු හා පැමිණිලි ඉදිරිපත් කිරීමේ උවමනාවක් පවතින බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙම මහජන අවශ්‍යතාවය පිළිබඳව සලකමින් අමාත්‍යංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ හෝ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ මට්ටමින් විමර්ශන ඒකක පිහිටුවීම සඳහා ජනාධිපති විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අවධාරණය කළේය.
මේ අනූව යම්කිසි ආකාරයකට ජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සහ තොරතුරු යම් විධිමත් භාවයක් සහිතව විමර්ශනය කිරීමට අවශ්‍ය කරන ව්‍යූහය නිර්මාණය වෙමින් පවතින බවද වැඩිදුරටත් පැවසුවේය.