Sunday, 08 September 2024

“58 වන රාජ්‍ය ඔසුසල” ගාල්ල හික්කඩුව නගරයේ දී විවෘත කෙරේ

Posted On Monday, 15 July 2024 06:25

“58 වන රාජ්‍ය ඔසුසල” ගාල්ල හික්කඩුව නගරයේ දී විවෘත කෙරේ

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ගාල්ල, හික්කඩුව නව රාජ්‍ය ඔසුසල පසුගියදා (13) පස්වරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ජාලයේ “58 වන රාජ්‍ය ඔසුසල ලෙස නොම්බර 18, බද්දේගම පාර, හික්කඩුව යන ලිපිනයේ (හික්කඩුව දුම්රිය ගේට්ටුව අසල) ස්ථාපිත කළ මෙම රාජ්‍ය ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඡායාරෑපයකට උපහාර පිදීමද සිදුකල අමාත්‍යවරයා පළමු ඖෂධ ගණුදෙණුවද සිදුකලේය. 1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ මෙරට දීප ව්‍යාප්ත ඔසුසල් ජාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

මෙහිදී පැමිණිසිටි පිරිස අමතමින් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ .....

 

“අමාත්‍යවරයා වශයෙන් තමාටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අවශ්‍ය වන්නේත්, අරමුණ ‌වී තිබෙන්නේත්, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණූ කිරීමටත්, සංරක්ෂණය කිරීමටත්, ජනතාවට අවශ්‍ය මූළික සෞඛ්‍ය පහසුකම් ගම තුළදී ලබා දීමට බවත්ය. ඒ සදහා අනාගතවාදීව නවීණ තාක්ෂණය උපයෝගි කරගනිමින් රෝගීන් මාර්ගගතව යොමු කිරීමටත්, විශේෂඥ වෛද්‍ය සේවාව ඇතුලු සියලු සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමත්, තම බලාපොරොත්තුව බව බවකී අමාත්‍යවරයා ඒ වෙනුවන් ප්‍රතිපත්තිමය දිශාණතිය යොමු වී තිබෙන බවද කීය.”

“මෙරට සෞඛ්‍ය දර්ශක ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබුනේ ජනතාවගේ අධ්‍යාපනික මට්ටම ඉහළ යාම නිසා බව පෙන්වා දුන් අමාත්‍යවරයා වර්ථමානය වනවිට සමහර ආසනවල පාසල් 05 - 06 ක් අද වැසීයාමේ තර්ජනයට ලක්වී තිබෙන බවද අධාරණය කලේය.”

“නාගරීකරණයත්, ප්‍රවාහන පද්ධතියේ සංවර්ධනයත් සමග දරුවන් නගරයේ පාසල්වලට යාම එයට හේතුවක් වශයෙන් හෙතෙම පෙන්වා දෙන ලදී. මෙරට සෞඛ්‍ය සේවාව තුළ ශක්තිමත් භෞතික සම්පත් පද්ධතියක් තිබුණත් වර්ථමානයේ තෘතීයික හා මහ රෝහල් වල රෝගී තදබදය වැඩිවී තිබෙන බව සිහිපත් කල අමාත්‍යවරයා, ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන් හිටියත්, පහසුකම් තිබුනත්, ඖෂධ ගොඩනැගිලි තිබුනත් එයට පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය අඩු වී තිබෙන බවද පෙන්වා දෙන ලදී.”

“1971 වර්ෂයේ සිට වසර 50 ක කාළය තුළ ඔසුසල් 50 ක් ස්ථාපිත කර තිබෙන පවත්, පසුගිය මාස 08 ක කාළය තුල රාජ්‍ය ඔසුසල් ශාඛා 08 ක් ස්ථාපිත කරමින් රාජ්‍ය ඔසුසල් ජාලය 58 දක්වා ව්‍යාප්ත කිරීමට හැකිවූ බවද එහි ප්‍රථිඵළ මෙරට ආදරණීය ජනාවට ලැබෙන බවද කීය.”

“සෞඛ්‍ය සේවාවේ ඉදිරි පියවර ගණනාවක් ගනිමින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වැනි ආයතන ලබාදෙන ආධාර උපයෝගි කරගෙන තාක්ෂණික අංශයෙන් සෞඛ්‍ය සේවාව තවතවත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, යන මහත්වරුන් මෙන්ම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය ඖෂධ සංස්ථා‌ව් නිලධාරීන්, ව්‍යාපාරිකයින් ඇතුලු ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් එක්වූහ.