Sunday, 08 September 2024

2025 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ චක්‍රෙල්ඛණයට සාධනීය සංශෝධන

Posted On Thursday, 20 June 2024 09:38

2025 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ චක්‍රෙල්ඛණයට සාධනීය සංශෝධන

 

පසුගිය වසර වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කරන විට ඇතිවූ දුෂ්කරතා පිළිබඳව සහ දෙමාපියන්ගේ දුක් ගැනවිලි පිළිබඳව පූර්ණ අවධානයක් යොමුකර 2025 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ චක්‍රෙල්ඛණයට අවශ්‍ය සාධනීය සංශෝධන ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සෑම වර්ෂයකදීම මෙරට දරුවන් 250,000 – 300,000 ක් අතර ප්‍රමාණයක් පළමු ශ්‍රේණියට ඇතුලත් වන අතර පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීම සදහා දෙමාපියන් ඉතා විශාල උනන්දුවක් දක්වන බවද, එහිදී එක් එක් පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේදී විවිධ හේතු සාධක මත දෙමාපියන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුවන බවද අවධාරණය කළේය.

ඇතැම් අවස්ථාවල ගංවතුර, නායයෑම් වැනි හේතු මත උප්පැන්න සහතික අස්ථානගත වී උප්පැන්න සහතික ඉදිරිපත් කිරීමට නොහැකි වූ අවස්ථා වල එය ප්‍රශ්නයක් කර නොගනිමින් දරුවන් පාසැල් වලට ඇතුලත් කරගැනීමේ වෙනත් ක්‍රමවේද මෙහි ඇතුලත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

2025 වසරේ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගැනීම සදහා අවශ්‍ය විදිවිධාන විස්තරාත්මකව ඉදිරියේදී පුවත්පත් වල පළවනු ඇතැයිද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.