Tuesday, 30 April 2024

අප්‍රේල් මාසයේ බිත්තර රුපියල් 35ට අඩුවෙන්

Posted On Monday, 01 April 2024 04:44

අප්‍රේල් මාසයේ බිත්තර රුපියල් 35ට අඩුවෙන්

 

අප්‍රේල් මාසය තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 35 ට පහළ මට්ටමට ඒමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය.

විශේෂයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙදපළට සැපයීමට පියවර ගන්නා බවත් , අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

අප්‍රේල් මාසය හෙවත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් විවිධ ප්‍රකාශ මාධ්‍යට නිකුත් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇති අතර දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන් යටතේ අලෙවි කෙරේ.

එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ගොස් ඇත. සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබේ.

සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65ක් බවත් දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇතැයිද බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය කීය.

එමෙන්ම කොවිඩ් 19 වසංගත සමයේ දී වසා දමන ලද කුකුළු ගොවිපළ සියල්ල ද මේ වනවිට සක්‍රිය ව පවතී.