Saturday, 27 April 2024

නවීන තාක්ෂණය යොදා ප්‍රතිකාර සිදු කරන “Telemedicine” වැඩසටහන හොරණ මහරෝහලෙන් ඇරඹේ

Posted On Thursday, 08 February 2024 09:52

නවීන තාක්ෂණය යොදා ප්‍රතිකාර සිදු කරන “Telemedicine” වැඩසටහන හොරණ මහරෝහලෙන් ඇරඹේ

 

හදිසි ප්‍රතිකාර සදහා යොමු කෙරෙන රෝගීන්ට නවීන තාක්ෂණය යොදාගෙන මූලික ප්‍රතිකාර සේවා සිදු කරනු ලබන “Telemedicine” වැඩසටහන හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අද(08) ආරම්භ කළෛ්ය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීම සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහාගේ උපදෙස් හා අධීක්ෂණය මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව හදිසි ප්‍රතිකාර (Emergency Treatment) සදහා යොමු වන බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් වඩා පහසුකම් පවතින රෝහල්වලට යොමු කිරීමට ප්‍රථමව අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී ජිවිත අවධානම අවම කිරිමට මුලික රෝහල්වල ප්‍රාථමික සත්කාර හදිසි ප්‍රතිකාර ඒකක තුල නවීන තාක්ෂණය යොදාගෙන ක්‍රියාත්මක කරනු ලබන Telemedicine Programme (වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහන) නියමු ව්‍යාපෘතිය පසුගිය දින හොරණ දිස්ත්‍රික් මහ රෝහල මුලික කරගෙන ස්ථාපිත කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාවන් ඉහළ නැංවීම සදහා හදුන්වා දී ඇති මෙම ව්‍යාපෘතිය මගින් රෝගියාගේ ජිවිත අවධානම ඇති මුල් පැය (Golden Hour) තුල තෘතීයික රෝහල්වල මෙන්ම ඔනෑම ස්ථානයක සිටින වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් ඉතා කෙටි කාලයක් තුල නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබාගැනීම මෙන්ම නිසි රෝග විනිශ්චයකින් පසු මුලික ප්‍රතිකාර සේවාවන් සහ අවශ්‍ය ඖෂධ ලබා දී රෝගියාගේ ජිවිත අවධානම අවම කිරිමට කටයුතු ලබයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එනම් දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ රෝගියා පරීක්ෂා කිරීමේ හැකියාව ලැබීම විශේෂත්වයක් වන අතර මීට ප්‍රථම ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පමණක් මෙම කටයුතු සිදු කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රාථමික රෝහල් සේවාව තුල මෙම නවමු වැඩපිළීවෙල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින අතර, මෙම සේවාවට අදාල හදිසි ඇමැතුම් අංකයක් ද (070 500 0 450) හදුන්වා දි ඇත. කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බලධාරීන්, රෝහල් අධිකාරිය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල “Safe City ලෙස නම්කර ඇති ව්‍යාපෘතිය පිළිබදව සහ “Telemedicine” ව්‍යාපෘතිය පිළිබදව දැනුවත් කිරිම ද මෙහිදී සිදු විය. ඒ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය ඉසුරු ගයාන් මහතාගේ මූලිකත්වයෙනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා I) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර සේවා) වෛද්‍ය සමන්ත රණසිංහ, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුමාල් නන්දසේන, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත තුෂාර යන මහත්ම මහත්මීන් ඇතුලු කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය, හෙද ඇතුලු සේඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.