Saturday, 27 April 2024

ඩෙංගු මර්දන සතියේ විශේෂ වැඩසටහන් රැසක්

Posted On Wednesday, 10 January 2024 10:03

ඩෙංගු මර්දන සතියේ විශේෂ වැඩසටහන් රැසක්

 

ජනවාරි 07 සිට 13 දක්වා නම්කර ඇති ඩෙංගු මර්දන සතියේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (10) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ඩෙංගු වැළැක්වීම සහ මර්දනය සඳහා ජාතික මදුරු මර්දන වැඩසටහන යන මැයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශය ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විවිධ ජන කණ්ඩායම් වල සහාය ලබාගෙන ඩෙංගු රෝග මර්දන සතිය ක්‍රියාත්මක කරන බව පැවසූ - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා 07 වනදා ඩෙංගු මර්දන සතිය දීප ව්‍යාප්තව ආරම්භ කළ බවද පැවසුවේය.

ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 70ක් සහ දිස්ත්‍රික්ක 15ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවද, බොහෝ නිවාස පරීක්ෂා කිරීමේදී බොහෝ නිවැසියන් නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමට කටයුතු කර ඇතැයිද, මේ නිසා බොහෝ නිවාස ආශ්‍රිතව ප්‍රගතියක් දක්නට ලැබුණු බවද පැවසුවේය.

ඇතැම් ස්ථාන වල කසල බැහැර කිරීමේ යම් යම් ගැටලු දක්නට ලැබුණු බවද, තව දුරටත් සිය පරිශ්‍ර පිරිසිදුව තබාගන්නා ලෙසද ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

රජයේ ආයතන සහ පාසල් නිවාඩුව අවසන් වීමට පෙර පාසල් අවට පිරිසිදු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය ලේකම්වරයා පසුගිය 2023 වසරේ ඩෙංගු රෝගීන් 88,000කට වඩා වාර්තා වුණු බවද, ඩෙංගු මරණ 58ක් වාර්තා වුණු බවද පෙන්වා දුන්නේය.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූයේ දෙසැම්බර් මාසයේ බවද, දෙසැම්බර් මාසයේ රෝගීන් 11,910ක් වාර්තා වුණු බවද ලොව පුරා රටවල් 88ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අතර මිලියන 05ක් රෝගීන් වාර්තා වී ඇතැයිද මරණ 500ක් පමණ සිදුවී ඇතැයිද මෙය අවදානම් තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇතැයිද පැවසුවේය.

උෂ්ණත්වය ඉහළ යාම, ආර්ද්‍රතාවය වැඩිවීම, වර්ෂාපතනය වැඩිවීම ආදී කාරණා සියල්ලම මෙම තත්ත්වයට බලපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇතැයිද සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.