Sunday, 28 April 2024

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් - ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.

Posted On Thursday, 21 December 2023 05:41

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් - ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.

 

මෙම වසර තුළ අද උදෑසන තෙක් ඩෙංගු රෝගීන් 83,432ක් වාර්තා වී ඇතැයිද, ඉන් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇඅත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද, මෙම වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමෙහි වැඩි වීමක් දක්නට ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අද (20) වර්තමාන ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 65ක් හඳුනාගෙන ඇතැයිද, සාමාන්‍යයෙන් මෙම කාලයේ දිනකට රෝහල් වල ඩෙංගු සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් දහසකට අධික ප්‍රමාණයක් එනම් 1011ක පමණ සාමාන්‍ය අගයක් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඩෙංගු රෝගීන් වැඩි වුවද මෙම වසරේ මේ දක්වා වාර්තා වුණු ඩෙංගු මරණ සංඛ්‍යාව 49ක් බව පැවසූ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා 2009 වසරේ ඩෙංගු මරණ අනුපාතිකය 1%ක් බවද අවධාරණය කළේය.

මෙරට සායනික සහ ළමා වෛද්‍යවරුන්ට ඩෙංගු මරණ අඩුකරගැනීම සහ ඩෙංගු පාලනය සම්බන්ධයෙන් තායිලන්තයේ පුහුණුවක් ලබාදුන් බවද ඉන්පසු මෙරට එම ක්‍රමවේද අනුගමනය තුළින් ඩෙංගු මරණ අනුපාතිකය අවම කරගත හැකිවූ බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට ඩෙංගු නිසා මියයන්නේ 0.06%ක් බවද එනම් පුද්ගලයන් 10,000කට 06 දෙනෙකු බවද පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම තත්ත්වය 2001 වසරේ සිට මේ දක්වා වාර්තා වන අවම ඩෙංගු මරණ අනුපාතය බවද සඳහන් කළේය.

මෙලෙස ඩෙංගු මරණ අනුපාතය අවම මට්ටමෙහි පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වීමද අඩු කරගත යුතු බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. යම් හෙයකින් ඩෙංගු රෝගීන් ඉතා විශාල ප්‍රමාණයක් රෝහල් කරා පැමිණියහොත් රෝහල් වල පවත්නා ධාරිතාවය ඉක්මවා යන බවද, එවිට රෝගීන්ට අවශ්‍ය අවධානය නැතිවී යන බවද පැවසුවේය.

ඩෙංගු රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීමේ සහ ඔවුන් පැය 24ම නියාමනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඩෙංගු රෝගීන්ගේ රැධිර පීඩනය, මුත්‍රා පිටවීම, නාඩි ගැස්ම, රැධිර තරල ශරීරයට කාන්දු වනවාද යන්න නිරන්තරයෙන් අවදානයට යොමුවිය යුතු බවද පැවසුවේය.

සෑම වසරකට මෝසම් වැසි සමයත් සමග ඩෙංගු රෝගය උච්ච අවස්ථා 02ක් පැමිණෙන බව පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම වර්ෂා කාල 02න් පසු ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වන බවද සඳහන් කළේය.

2023 වසරේ මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයිද, වහාම සක්‍රීයව කටයුතු කරමින් මෙම තත්ත්වය වසංගත තත්ත්වයකට යෑම පාලනය කරගත යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.