Sunday, 28 April 2024

2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළට

Posted On Thursday, 02 November 2023 07:55

2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළට

 

2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළ ගොස් ඇති බවත් වැවිලි බෝගයක් ලෙස වගා නොකළද මෙරට තැඹිළිවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම ඉහළ යමින් පවතින බවත් ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමග මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

තැඹිළි වගාවක් වශයෙන් තවමත් මෙරට ප්‍රචලිත වී නොමැති බැවින් පාංශු පරීක්ෂාවක් සිදු කර තැඹිළි වගාවට උචිත ප්‍රදේශයක් හඳුනාගෙන එම ප්‍රදේශය තැඹිළි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කර එම වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ලබන වසර තුළ ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා එහිදී පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එසේම දැනට මෙරට වගාවට සුදුසු තැඹිළි ප්‍රභේදයක් හඳුනාගෙන නොමැති අතර තවමත් වගා කරන්නේ සාම්ප්‍රදායික ලෙස වගා කරන ලද තැඹිළි විශේෂ වේ. නමුත් ඉහළ රසයකින් යුක්ත හා ආකර්ශණීය මෙන්ම කෙටි කාලයකින් ඵල දරණ නව තැඹිළි විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයට උපදෙස් දුන්නේය.

මෙතෙක් වැවිලි බෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිළි සඳහා මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතී.

2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් ලබා ඇති අතර මෙම වසරේ තැඹිලි ගෙඩි මිලියන 14ක් අපනයනය කර රුපියල් මිලියන 140ක ආදායමක් ලබා තිබේ.