Saturday, 27 April 2024

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

Posted On Thursday, 02 November 2023 07:51

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

 

අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් සුළු වශයෙන් ඉහළ නගිමින් පවතින බවත් ඒ අනුව පහත් බිම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

මෙම තත්වය හේතුවෙන් අත්තනගල්ල ,ගම්පහ, ජාඇල ,කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය දෙපස පහත්බිම්වල පදිංචි මහජනතාව මෙන්ම මෙම පහත් බිම් ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් සහ රථවාහන මගීන් ද අවධානයෙන් පසුවන ලෙස ඒ මහතා දැනුම් දෙයි.

වර්ෂාපතනය අධික බැවින් දැනට ගංවතුරට යටවී ඇති ස්ථානවල ජල මට්ටම අද දිනය තුළදීද ඉහළ යාමේ හැකියාවක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.එසේම නිල්වලා ගඟේ පහළ ප්‍රදේශ විශේෂයෙන්ම මාලිම්බඩ, මාතර, අතුරලිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ දෙපස පහත්බිම්වල පවතින ජල මට්ටම් තවදුරටත් සුළු වශයෙන් වර්ධනය වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දේ.මෙම ජලමට්ටම් අද දිනය පුරා පැවතිය හැකි බවත් හෙතෙම කියා සිටී.එබැවින් නිල්වලා ගඟ දෙපස පහත් බිම් හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී දැඩි අවධානයකින් සහ සැළකිල්ලකින් කටයුතු කරන ලෙසද සුගීෂ්වර මහතා ඉලිලීමක් කරයි.

ගිංගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම් තරමක් ඉහළ යමින් පවතින බව සඳහන් කරන ඒ මහතා ගිංගඟේ ජල මට්ටම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අර්ථ දැක්වීම් අනුව ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දේ.කෙසේ නමුත් ගිංගඟේ ජල ගලනය අධික බැවින් ගිංගඟ භාවිත කිරීමේදී විශේෂයෙන් දිය නෑම පිහිනීම වැනි කටයුතුවලදී දැඩි සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එසේම කැලණි ගඟේ ජල ගලනය අධික බැවින් එම ගඟ භාවිත කිරීමේදී දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා කැලණි ගඟේ ගංවතුර තත්වයක් ඇති නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කළු ගඟේ කුඩා ගඟේ අතු ගංගාවේ පහළ ප්‍රදේශයේ පවතින ජල මට්ටම අද දිනය තුළ ක්‍රමයෙන් අඩු වී යනු ඇති බව පවසන සුගීෂ්වර මහතා ධාරා ප්‍රදේශවලට වර්ෂාපතනයක් ඇති නොවුන හොත් මෙම ගංවතුර තත්වය අද සවස වන විට සම්පූර්ණයෙන් පහව යනු ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

සමස්තයක් ලෙස දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්ක හරහා වැටී ඇති ගංගාවල ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බැවින් මෙම ගංගාවන් ඉක්මනින් ගංවතුර තත්වයකට පත්වීමේ හැකියාව පවතින අතර මෙම ගංගා අවට පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවීම වැදගත් බවත් සුගීෂ්වර මහතා වැඩිදුරටත් පවසයි.