Sunday, 28 April 2024

පොල් මයිටා මර්දනයට විලෝපිත මයිටාවෙක් යොදා ගැනීම සාර්ථකයි

Posted On Thursday, 02 November 2023 07:47

පොල් මයිටා මර්දනයට විලෝපිත මයිටාවෙක් යොදා ගැනීම සාර්ථකයි

 

දකුණු පළාතේ පොල් වගාව තුළ දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතනය හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවෙක් යොදා ගැනීම ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි.

පසුගිය කාලය තුළ මෙරට පොල් අස්වැන්න අඩුවීම සඳහා විශාල බලපෑමක් මෙම මයිටා උවදුර නිසා සිදු විය. දකුණු පළාතේ පොල් අස්වැන්න සියයට 60කින් පමණ මෙම වසංගතය නිසා අවම වී තිබේ.

ජෛව පාලන ක්‍රමෝපායක් වශයෙන් දැනට ස්වාභාවික පරිසරයේ ම සිටින විලෝපිත මයිටාවෙක් වන Neoseiulus Barak නැමැති මයිටා විශේෂය යෙදීම මගින් පොල් මයිටා උවදුර සැළකියයුතු ප්‍රමාණයකට අවම කර ගැනීමට හැකි වී ඇත.

මෙම විලෝපිත මයිටාවන් 5000ක් පමණ වරින් වර පොල් ගසේ ගෙඩි අතරට එක දිගට වසර දෙකක්වත් යෙදිය යුතුය.පොල් මයිටා රෝගය සියයට සියයක්ම තුරන් කළ හැකි ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නැති නමුත් මයිටා රෝගය නිසා පොල් ගෙඩි කුඩා වීම සියයට 60කින් පමණ අවම කර ගැනීමට Neoseiulus Barak යෙදීම මගින් හැකිවේ.

පොල් සංවර්ධන මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය සමග කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා සාකච්ඡා කළ අතර එහිදී පොල් මයිටා රෝගය සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධව සාකච්ඡාකර තිබේ.

පොල් වගාවට වැළඳෙන විවිධ රෝග නිසා මේ වනවිට මෙරට පොල් ගස් 370,000ක් ඉවත් කිරීමට සිදු වූ බව ද පොල් පර්යේෂණායතනය සඳහන් කර ඇත.

2022 වර්ෂයේ මෙරටට පොල් අපනයනයෙන් ලද ආදායම USD මිලියන 817කි. මෙම පොල් මයිටා උවදුර නිසා අපනයනය කරන පොල් ප්‍රමාණය ද අඩු වූ බැවින් පොල් මයිටා රෝග මර්දනය සඳහා යොදා ගත හැකි විකල්ප සම්බන්ධව වගාකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද දැනුම්වත් කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ