Friday, 26 April 2024

අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය හෙට ඇරඹේ

Posted On Thursday, 11 May 2023 06:02

අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය හෙට ඇරඹේ

 

අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය හෙට ආරම්භ ‍වේ.ප්‍රදර්ශනය මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

 2016 වසරේදී පිහිටුවන ලද සහ, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

ප්‍රදර්ශනය 2023 මැයි මස 12,13 සහ 14 යන දිනවල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට මෙය විවෘත වන අතර, ඇතුළුවීම නොමිලේ. මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර, නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා ආංශික සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා ආංශික සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු සේවා කර්මාන්ත කුසලතා නිපුණතා ආංශික සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා ආංශික සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත කුසලතා නිපුණතා ආංශික සභාව (ASSC) යන නිපුණතා ආංශික සභාවන්ට අදාළ කර්මාන්ත හා ක්ෂේත්‍රවල නව සහ නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” ප්‍රදර්ශනය තුළ මූලික වශයෙන් දැනුම හා අවස්ථාවන් හුවමාරු වේ. මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමුකරවීමටත් මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වනු ඇත. පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවයන් පිළිබඳ දැනුම්වත් කිරීම මෙහි තවත් අරමුණකි.

ඉහත සඳහන් ක්ෂේත්‍ර 5 ට අදාළ වර්තමාන ප්‍රවණතා සහ එම ක්ෂේත්‍ර තුළ පවතින වෘත්තීය අවස්ථාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වෘත්තීය මගපෙන්වීමේ වැඩසටහන් පෙළක්ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරේ. සිසුන්ට සහ රැකියා අපේක්ෂිතයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සේවායෝජකයන් හමුවීමට මෙන්ම අදාළ අංශවල පවතින විවිධ වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැනුම්වත් වීමට මෙය අගනා අවස්ථාවක් වනු ඇත. මේ ඔස්සේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කරවීමටත්, තාක්ෂණය භාවිතා කිරීම හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා සැපයීමටත්, රැකියා වෙළඳපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත හුවමාරු කරගැනීමටත් අපේක්ෂිතය.
Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවක් වනු ඇති අතර, ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.