Thursday, 25 April 2024

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝගය වෛරසයක්

Posted On Tuesday, 14 March 2023 05:59

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝගය වෛරසයක්

 

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝගය වෛරසයක් හේතුවෙන් හට ගන්නා සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය Lumpy Skin Disease (LSD) බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අවධාරණය කරයි.

මෙම රෝග තත්ත්වය සම්බන්ධව වහාම සොයා බලන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයට (07 දින) උපදෙස් දුන්නේය.

ඒ සම්බන්ධව තොරතුරු පැහැදිලි කළ, අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන් සමරනායක මහතා මෙම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම වාර්තා වී ඇත්තේ 2019 දී බවත් ඉන් පෙර මෙම රෝග තත්ත්වය මෙරටින් වාර්තා වී නැති බවත් සඳහන් කළේය.

වෛරසයක් මගින් ව්‍යාප්ත වන මෙම රෝගය නිසා ගවයින් මරණයට පත් වීම අල්පය. සමෙහි හට ගන්නා ගැටිති ගැළ වී වැටීම නිසා තුවාල සිදු වන අතර ඒවාට ප්‍රතිකාර ලබා දීම මගින් සුවපත් වේ.

එමෙන්ම මෙම රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා නිසා එක්වරක් එම රෝග වැළඳුනු ගවයෙකුට නැවත එම රෝගය වැළදීමේ හැකියාවක් නොමැත. එමනිසා මෙම රෝග තත්ත්වය සම්බන්ධව බියවිය යුතු නැති බවත් පශු වෛද්‍ය නිලධාරින් විසින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් මෙම රෝගය ගව මුඛ හා කුර රෝගය මෙන් සුළගින් ව්‍යාප්ත නොවේ. බෝ විය හැකි එකම ක්‍රමය රෝගී සතුන් අනෙක් සතුන් හා ස්පර්ශ වීමෙන් පමණි. එමනිසා රෝගී සතුන් ගවපට්ටිවලින් ඈත් කර හුදෙකලාව තැබීම කළ යුතුය.එම සතුන් ස්පර්ශ කරන්නේ නම් හොඳින් විෂබීජ නාශක යොදා දෑත් පිරිසුදු කර ගැනීමකින් තොරව අනෙක් සතුන් ස්පර්ශ කිරීම නොකළ යුතුයි.

මෙම රෝග තත්ත්වය දැනට උතුරු පළාතේ දිස්ත්‍රික්ක හතරකම ඇති බවට වාර්තා වන නිසා අද විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා යාමට නියමිතය.එමෙන්ම මෙම රෝගී තත්ත්වය අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා උතුරු පළාතේ සිට සතුන් හා සත්ව නිෂ්පාදන ප්‍රවාහනය තාවකාලිකව තහනම් කර තිබේ.

එමෙන්ම හොඳින් පශු පාලනය සිදු කෙරෙන නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල සත්ව පාලනය සිදු කෙරෙන ගොවිපොළවල්වලට බාහිර පුද්ගලයින් ඇතුල් කිරීම, කිරි එකතු කරන භාජන විෂබීජානුහරණය කිරීමෙන් පසු පමණක් භාවිතයට ගැනීම වැනි රෝග වළක්වා ගැනීමේ පියවර රැසක් මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය සම්බන්ධව බිය විය යුතු නැති අතර ගවයින් මරණයට පත්වීම අවම මට්ටමක පවතින නිසාත්, රෝගය ව්‍යාප්ත වුවහොත් එය කිරි නිෂ්පාදනය අඩාලවීමට මූලික වශයෙන් බලපාන හෙයින් ගවපාලනයෙහි යෙදෙන පුද්ගලයින් ඒ සම්බන්ධව විමසිළිමත් විය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර සිටී.