Thursday, 28 March 2024

යල කන්නයට වී වගා කටයුතු සඳහා මාර්තු 20 සිට අප්‍රේල් මස 20 දක්වා ජලය නිකුත් කෙරේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Posted On Tuesday, 14 March 2023 05:55

යල කන්නයට වී වගා කටයුතු සඳහා මාර්තු 20 සිට අප්‍රේල් මස 20 දක්වා ජලය නිකුත් කෙරේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

 

යල කන්නයට වී වගා කටයුතු සඳහා මාර්තු 20 සිට අප්‍රේල් මස 20 දක්වා ජලය නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙයි.

යල කන්නය වගා කටයුතු සඳහා තමන් සූදානම් බව සියලු දිස්ත්‍රික් ගොවි නියෝජිතවරු පවසති. යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීම මාර්තු මස 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව (09) කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, කාදර් මස්තාන්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා සියලු දිස්ත්‍රික් ගොවි නියෝජිතවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ යල කන්නයේ වගා කටයුතු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

එහිදී දැනට මහවැලි, වාරිමාර්ග හා සුළු වාරිමාර්ග යටතේ පවතින ජලාශවල පවතින ජල ධාරිතාවය සියයට 77ක් වන අතර සියයට 66ක් දක්වා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට සූදානම්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

දැනට පවතින ජල පහසුකම් යටතේ වී වගාව සියයට 75ක් හා අතිරේක බෝග වගාව සියයට 25ක් වශයෙන් සැලසුම් කිරීමට තීරණය කර තිබේ. කාලගුණික අනාවැකි අනුව මාර්තු මාසය තුළ ඉහළ වර්ෂාපතනයක් තවදුරටත් ලැබීමට නියමිත අතර අප්‍රේල් හා මැයි මාස වල දී ද වර්ෂාව අපේක්ෂා කළ හැකි බව සනාථ කර ඇති නිසා වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

මෙහිදී අදහස් පළ කළ සියලු දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතවරුන් යල කන්නයේ වී හා අතිරේක බෝග වගාවට තම සංවිධාන යටතේ සිටින ගොවි ජනතාව සූදානම් බව පෙන්වා දී තිබේ. ඒ අනුව පහත තීන්දු තීරණ රැසක් ගෙත ඇත.
මෙම මස 23 දින ගන්නොරුවේ දී පැවැත්වෙන කන්න රැස්වීමෙන් අනතුරුව වී හා අතිරේක බෝග සඳහා ජලය නිකුත් කරන දිනය සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණීම. මෙම මස 17 දින මෙරටට ලැබෙන මඬ පොහොර ලැබුනු වහාම උතුරු හා නැගෙනහිර පලාත්වලට බෙදාහැරීමට ප්‍රමුඛත්වය ලබා දීම. වී හා අනෙකුත් අතිරේක බෝග සදහා අවශ්‍ය බීජ කඩිනමින් ලබා දීම. මඩ පොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන රසායනික පොහොර වර්ග තුනම කන්න තුනකට පසු එකම කන්නයට ලැබෙන පළමු අවස්ථාව මෙයවීම නිසා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දීම.මෙවරත් යුරියා පොහොර රුපියල් 10,000ක මිලට හා බන්ඩි පොහොර මිල අඩු කිරීමට පියවර ගැනීම මෙන්ම මඬ පොහොර නිර්දේශිත ප්‍රමාණය වන හෙක්ටෙයාර් 01කට කිලෝග්‍රෑම් 50-55 දක්වා ප්‍රමාණයක් හැම ගොවියෙකුටම ලබා දීම. මඬ පොහොර වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීම
මෙවර යල කන්නයේ දී ද දිස්ත්‍රික් 08ක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීම. එම ගොවීන්ට වාරිකයකට රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් බැගින් සහනාධාරයක් ලබා දීම. සත්ව ආහාර වශයෙන් වගා කළ හැකි ස්ථානවල තෘණ වගාව සඳහා ගොවීන් උනන්දු කරවීම හා ඊට අවශ්‍ය සහන ලබා දීම.වැනි තීරණ රැසක් ගනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් රජය සහන රැසක් ලබා දෙන බවත්, මෙවර යල් කන්නයේ දී ද ගොවි ජනතාවට සහන රැසක් ලබා දීමට රජය සූදානම් බව ද කීය.
එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ කුමන විවේචන එල්ල කළත් රජය ගොවි ජනතාව වෙනුවෙන් සියලු සහන ලබා දෙන බවත්, මෙවර අයවැයෙන් ගොවි ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 56,000ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.